..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Friday, December 29, 2017

මකුනු මැශිම


මකුනු මැශිම නිවසටම - සරලයි , පහසුයි, ඔබ පුදුමකරවන සුලුයි.... ඔබත් අදම ඇනවුම් කරන්න.

-------------------------------------------------------------

ඔන්න ඉතින් පත්තරේ දැකපු දැන්වීම ට චාමරලැයි අම්මත් කීයක් ගියත් මැශිමක් ගෙදෙට්ටම ගෙන්න ගන්න හිතුවෙ ගෙදර මකුනු කරදරේ එන්න එන්නම වැඩි වෙන නිසාමයි. " යටින් මකුනො බදනෝ , උඩින් මදුරුවො උස්සනෝ , මේ බල සමතුලිතය බිදුනු දවසක එක්කො මාව මදුරුවො අරන් යනෝ , නැත්තම් මකුනො මාව ඌරා බීල හපයක් වෙනො “ හැමදාම අතෘප්තිමත් නින්දකින් පස්සෙ ගෙඩි ගැහුනු ඇස් වලින් ඇහැරින චාමර ගෙ කරච්චලෙත් මේ මැශිම ගන්න තිබ්බ උවමනාව ඉක්මන් කරා.
ඇඳට විතරක් සීමා නොවුනු මේ මකුණු කරදරේ ඇදෙන් මෙට්ටෙට , කොට්ටෙට , පුටුවලට , දොර ජනේල රෙදි වලට පවා ව්‍යාප්ත වෙන්න පටන් ගත්තේ චාමරලගෙ ගෙදර මකුණොන්නටම සින්න වෙච්චි ගාණට.

චාමරලගෙ අම්ම නම් මේ ගැන තනිකරම දොස් කීවේ දුම්රිය දෙපාර්තමෙන්තුවේ වැඩ කරපු චාමරලැයි තාත්තට තමා. ඒ ගැන අම්ම පල කරපු සාධාරණ සැකය තමා කෝච්චි ස්ටේශන් තමන්ගෙ කරගෙන ජීවත් වෙච්චි මකුණු ජෝඩුවක් එහෙන් හොරෙන් පැනල එන්න ට්‍රයි කරද්දි තාත්තගෙ ඇඳුම් වල එල්ලිලා චාමරලගෙ ගෙදරට ඇවිත් සිය පරම්පරාව බෝ කරපු බව..... 

කොහොම වුනත් ඉතින් අම්මා , පත්තරේ තිබ්බ විදිහට මකුණො මරුන මැෂිම ගෙන්න ගන්න කටයුතු කලා.වේලාසනින් සල්ලි බැදල නිකම් විස්සෝප වෙන්න ඕනි නැති එකත් මේ මැශිම ැන තිබ්බ විශ්වාසය වැඩි කලා.ඒ මොකද කියනව නම් ගෙදර ලිපිනයයි , අහල තිබ්බ විස්තරයි ලියල යැවුවට පස්සේ මකුණො මරණ මැෂිම ලැබෙන්නේ තැපෑලෙන්. කරන්න තියෙන්නේ පාර්සලේ ආවට පස්සෙ සල්ලි ගෙවල පාර්සලේ ගන්නෙක. ඕකට අපි කීවේ VPP කියලා.

ඉතින් ඔන්න විස්තර යවල වැඩි කල් යන්න කලින් දවසක් පියුම් මාමා චාමරලෙ ගෙදරට ඇවිත් කීවා වීපීපී පාර්සලයක් තියේ , පුලුවන් වෙලාවක තැපැල් කන්තෝරුවට ඇවිත් ඇරන් යන්නෙයි කියලා. හැබැයි වැඩි කල් පහු උනොත් ආපහු හරවල යවනව කියලත් කීවා.

මොන පහු වීම් ද, පණිවිඩේ ලැබුනු ගමන් අම්ම ලක ලෑස්ති වුනා කන්තෝරුවට යන්න. මොකද කියනව නම් මේ මකුණු කරදරේ ඒ තරමට හිතට වදයක්. ඇඳන් වල විතරක් නෙමෙයි. ගෙදර තියන වැල් පුටු වල වැල් ගොතල තියන හිල් අස්සට වෙලා හැංගිලා ඉදල ඔච්චමට එළියට ඇවිත් කාල දුවන මකුණොන්නට හොඳ පාඩමක් උගන්වන්න පුළුවන් සංතෝශය ත් එක්කම අම්ම ගිහින් කන්තෝරුවට සල්ලි ගෙවල පාර්සලය අරන් ආවා.

ඔන්න ඉතින් දැන් ගෙදර කට්ටියත් වට කරන් කට්ටිය පාර්සලය ලිහන්නයි ලෑස්තිය. මේ වෙද්දි ගෙදර ඇඳ පුටු කොට්ට මෙට්ට හැමේකම හිටපු මකුණන්ටත් මේ පණිවිඩේ ගිහින් තිබ්බ නිසා උනුත් අරහෙන් මෙහෙන් ඔළුව දාලා මේ භයානක ගැජට්ටෙක මොකක් ද කියල බලන්නයි සූදානම.

අම්ම වටේ වට වෙච්චි ගෙදර කට්ටියගෙ ඉවසීම පැනල තිබ්බෙ පාර්සලේ ඇතුලෙ තියන මකුණු මරන මැෂිම බලන්න.ඒත් චාමරලැයෙ අම්මගෙ මූණෙ නම් තිබ්බෙ හරිම නිවිච්චි පෙනුමක්....හරියට කියනව නම් මැෂිම දකින්නත් කලින්ම අම්මගෙ හිතට දැනිල තිබ්බෙ මකුණු වසංගතයෙන් ගෙදරම නිදහස් වුනා වගේ හැඟීමක්.

ඔන්න ඉතින් , පාර්සලේ හොඳට ගැට ගහල තිබ්බ රතු පාට ලොකු රෙඩ් ටේප්පෙක ලිහුවා. ඊට පස්සේ පාර්සලය වටේට පිළිවලට ඔතල තිබ්බ කාකි දුඹුරු පාට තඩි සිමෙන්ති කොළේ වගේ එකත් නොයිරෙන්නම පරිස්සමට ගැලෙව්වෙ , ඒ වගේ කොළ ඒ කාලේ ගෙදරක හරි දුලබ නිසා සහ ආපහු ප්‍රයෝජනයට ගන්න පුළුවන් නිසා.....

ඔන්න ඒ සැරේ මතු වුනේ දුඹුරු පාට ඝන කාඩ්බෝඩ් පෙට්ටිය. කර කර හිටි වැඩේ නතර කරපු අම්ම , අම්ම වටේට එකතු වෙලා ඉන්න අයගෙ මූණු දිහා බැලුවෙ සතුටින්.

“ අයියෝ අම්මා...........ඕක ඇරල බලන්න කෝ “ ඉවසිල්ලක් නැති ළමයි කෑගහනවා.

පෙට්ටි පියන් දෙක හරිම පරිස්සමින් අත් දෙකෙන් දෙපැත්තට කරපු අම්මගෙ මූණෙ තිබ්බ මන්දස්මිතය , කුතුහලය පිරිච්චි මූණක් බවට පත් වුනේ පෙට්ටි පියන් දෙක ඇරිච්චි ගමන්මයි. එතන ඉදල අම්මගෙ තිබ්බ ඉවසලිවන්ත ගතය නැතිව ගිහින් කලබලකාරි ඉරියවු ඉස්මතු වෙන්න ගත්තා.
පෙට්ටිය ඇතුලට අත දාපු අම්ම එයින් එළියට ගත්තේ අඩි භාගයක් විතර දිග ,රවුම් , හරියට පුංචි මෝල්ගහක් වගේ යකඩ කෑල්ලක්. ඒක දිහා නලලත් රැලි කරන් බලා හිටපු අම්ම , අම්ම දිහා බලා ඉන්න අයියගෙ අතට අර පුංචි මෝල්ගහ එක වගේ එක දුන්නේ “ මේ මොකක් ද බන් “ කියන්න වගේ....

ඔන්න ඊළඟට ............ පෙට්ටියෙන් එළියට ගත්තේ පුංචි හතරැස් ඝනකම් , ටිකක් බර ලී කුට්ටියක්......... ඒක හරියටම මැද හරියට වෙන්න පුංචියට ........... යන්තමට ..........වලක් හාරල තිබ්බා.......

                                    - එපමණයි - 

එදායින් පස්සෙ චාමරලැයි අහා මකුණු කරදරේ සදහටම තුරන් වුනා ද කියල නම් මන් හරියටම කියන්න දන්නෙ නෑ....හැබැයි අරහෙන් මෙහෙන් එඹීගෙන භීතියෙන් ... මේ අරුම පුදුම මැශිම දිහා බලා හිටපු මකුණෙ රැළ හිනා වෙන සද්දෙ නම් මට ඇහුණා.........



11 ප්‍රතිචාර:

ඩ්‍රැකී said...

පරණ කතාවක් ඔපමට්ටං කළාට අපි අහුවෙයි

Praසන්ன said...

එදායින් පස්සෙ චාමරල සම්බෝල වලට එහෙම මකුණු කුඩු එකතු කරනවලු ද?

C.J. Vidanapathirana said...

මට තියෙන ප්‍රශ්නේ, මේ කතන්දරේට වෙන එකෙක් ගාව ගන්නෙ නැතුව මං වගේ අහිංසක, නිකැලැල්, නිර්මල චාමරයවම ගාවගත්තේ ඇයි ?????

MPP Gunasinghe said...

මාත් මැෂින් එකක් ගෙනාගන්න ඕනි

කොච්චි මිරිස් said...

lol

කණ්ඩා ~ Kanda said...

ඔය ඉතිං චාමරයට දැනටම මළ පැනල, සාධාරණයිනෙ ;-D

රන්වන් මකරා said...

මාරයිනෙ

- හැපි ජෑ මා අවුරුදු -

එක් මානවිකාවක් said...

ඒකට නම් මමත් පුදුමයට පත්වුණා :)

අපි පුංචි කාලේ ගෙදර වේවැල් පුටු වගේක මකුණෝ හිටිය.
මදුරුවන්ට තෙල් ගහන මාම කෙනෙක් ගෙන් බෝතලේකට තෙල් ටිකක් ඉල්ලන්, පාන් තිරෙකින් වේවැල් වල සිදුරු වලට තෙල් ගාල, ටික දවසකින් හේදුවම මකුණු කරදරේ ඉවර උනා.

අඟහරුවා. said...

ඒ මොන මගුලක්ද ඒ??

Pra Jay said...

heh

ලහිරු said...

පව් චාමර !

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...