..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Tuesday, December 4, 2018

පොකුට්ටා - The Little Devil

පොකුට්ටා
=========

මන් පොකුට්ට ට බය වෙලා තිබ්බ ට කවදාවත් පොකුට්ටව දැකල තිබ්බෙ නම් නෑ.පොකුට්ටව දැකල තිබ්බ අය ඌව විස්තර කරල තිබ්බ විදිහට ඌට ඒ තරම් බයවෙන්න දෙයකුත් තිබ්බෙත් නෑ.

පොකුට්ට කියන නමේ හැටියටම ඌට තිබිල තියෙන්නෙ සුරුන්ඩු ගැහුනු බූසි කොන්ඩයක්.පුන්චි මුදු මුදු ගොඩක් වගේ ඔලුව පුරාමයි , ඔලුවෙ ඉඩ නැතිව ඔලුවෙන් පිට පැනල කන් ඇස් වැහෙන තරමට වට්ටියක් වගේ වැවුන පොකුටු කොන්ඩෙ නිසා පොකුට්ටා කියල කියන්න ඇති.

පොකුට්ටා ගෙ කොන්ඩෙ එහෙම උනාට යන්තම් අඩි දෙකක් විතර උස ඇති කියලයි දැකපු අය කීව කතා අහල දැක්ක වගේ කියන අය නම් කීවෙ. රෝම පිරුන නිරුවත් උඩුකය යි යන්තම් විලිවැහුනු යටි කයයි එක්ක ඕනෙ තැනක පැනල හූනා වගේ ඉන්න පුලුවන් මේ පොකුට්ටා ඒ දවස් වල හිටියෙ අපෙ ඉස්කෝලෙ කන්දෙ ඉස්මත්තෙ තිබ්බ ඉලුක් කැලේ කියල අපි දැන ගත්තෙ ඉලුක්ගාල ආසන්නයේම තියන අටේ පන්තියෙ ගෑණු ළමෙක් මහ දවාලෙ මම හයියෙන් යටිගිරියෙන් කෑගහල කලන්තෙ දාල වැටුනට පස්සෙ......

එදා ඉදල හැමදෑම බය වෙලා වැටුනු ගෑණු ළමය කෑගහපු වෙලාවටම ඒ ගෑණු ළමය විතරක් නෙමේ මුළු අට ශ්‍රේණිය හෝල් එකේම ගෑණු ළමයි යටිගිරියෙන් කෑගහන් කන්ද මුදුනෙ ඉදල පහ පිට්ටෙන්නට දුවන්න පටන් ගත්තා. ඒක මහ පුදුම ලතෝනියක්.මේ දැනුත් මට ඒ හඬ මතකයට එනවා.මහා දුකක් එක්ක තැවරුණු බයක් ඒ හඬේ තිබ්බා. අනිත් කාරණය තමා අවුරුදු11-12 තරම් වයසෙ ගෑණු ළමයි 150ක් විතර එකම සැරේ එකම ස්වරයකින් ලතෝනි තියන කොට කොහොමට ඇද්ද කියල ඔයාලට නම් හිතාගන්නවත් බැරි වෙයි. 

ඔය ගෑණු ළමයි අතර හිටිය එක්කෙනෙක් මන්. වෙන්නෙ මොනා ද, වුනේ මොන ද කියල නොදැනම මාත් කෑගහගෙනම දුවන ළමයි අතරේ වැටෙමින් පෙරලෙමින් නැගිටිමින් කෑගහමින් දුවන්න ගත්තෙ හරියට "අහස පෙරලෙන කතාවේ " හාවාගෙ පස්සෙන් දුවපු සතෙක් වගේ.

කෑගහන් දුවපු දෙවනි දවසෙ ළමයි ටික ඔක්කම පිට්ටනියට රැස් කරල අපේ සිත් ශක්තිමත් කරල " කෝ බලන්න දැන් බය නැති මයි අත උස්සන්න " කියපුවාම. ගොඩක් ළමයි අත උස්සපු නිසා මාත් අත උස්සල ඒ ගොඩට ගියත් ,ඊඟළ දවසෙ ඉස්සෙල්ලාම කෑගහන් දිව්වෙ ඒ බය නැති ගොඩේ හිටපු ළමයි ම තමා. දිනපතා විවේකයට කලින් කාලච්ඡේදයේ වෙන මේ සිදු වීම දවසක් දෙකක් තුනක් හතරක් ඉවසුවත් ගුරුවරුන්ට වත් විදුහල්පතිනියටවත් ඉන් එහාට ඉවසන්න බැරි උනා.

ඉස්කෝලෙ හිටපු පිරිමි ගුරුවරු ඉලුක් යාය පීර පීර අර අගුටුමිටු පොකුට්ටා හොයපු වැඩෙන් වුනේ අපේ හිත් වල තිබ්බ බය තවත් වැඩි වුන එක විතරයි. සර්ලටත් වඩා උසට වැවිල තිබ්බ ඉලුක් යායේ ඔය පොකුට්ට හොයනව බොරු කියල අපේ තාත්තත් හිනා වෙවී කීවා මතකයි.

" සර්ලටවත් අහු වුනේ නෑ ඒකා "

" සර්ල කොහෙ අල්ලන්න ද ඌව.... ඌව අල්ලතැහැක්කෙ මන්තරකාරයෙක්ට විතරයි " එහෙම කීවේ මදාරා.

" දැන් අපිත් එක්ක තවත් තරහ වෙයි "

" ඔවු ඌට තරහ ගිහින් ඇත්තේ , ඔළුවෙ කට්ට ගහපු තැන දැන් රිදෙනවත් ඇති "

" මොකක් ද ඒ කතාව "

"අපෙ ආච්චම්මා තමා කීවේ , ඔය පොකුට්ටව ඉස්සර මන්තරකාරයෙක්ට අහුවෙලා තිබ්බා.... මදාරා කතාවට මුල පුරද්දි . කතාව අහන ගමන් කාගෙත් ඇස් හොරෙන් හොරෙන් ඉලුක්යාය පැත්තටත් වැටිලයි තිබුනේ...........

" ඉතින් "

" ඉතින් ඔය මන්තරකාරයා පොකුට්ටව අල්ලන් ගෙදර ගෙනාවා. ඌ හරියට පොඩි ළමෙක් වගේ. බොකුටු ගැහුනු කොණ්ඩෙ හරියට වට්ටිය වගේ. මේකා යකෙක් කියල කිසිම කෙනෙක් දැක්කට විශ්වාස කරන්නෙ නැති වෙන නිසාත් ගෙදර වැඩ වැඩි කියල මන්තරකාරයගේ හාමිනේ හැමවෙලේම කනු කුණු ගාන නිසාත් ගෙදර වැඩට මේ පොකුට්ටව ගේන එක හොඳයි කියල මන්තකාරයට හිතිලා තිබ්බා. අනික් කාරණේ තමා යක්කු වැඩ කරන්න ගියාම ආය මහන්සි නොබල , කම්මැලි නොවී තියන තරමක් , කියන තරමක් වැඩ කරල දෙනවා. "

" ඒකද ඔය යකෙක් වගේ වැඩ ගන්නව කියන්නේ "

" ඒක වෙන්නැති.......... ඉතින්...... මන්තරකාරයෙක්ගෙ හාමිනේ උනාට ඒ හාමිනේ යක්කුන්ට හරිම බය අහිංසක ගැහැණු කෙනෙක්. ඒනිසා පොකුට්ටගෙ පොඩි පෙනුම බය නැතිව ගෙදර නවත්තල යන්න ඉහටත් උඩින්....හැබැයි ...........පොකුට්ටා කියන්නෙ මහ කපටි එකා නිසා ඌව හීලා කරන මන්තරයක් දෙහි කට්ටකට මතුරල , ඒ දෙහි කට්ට හරියට පොකුට්ටගෙ ඔළුව මැද්දට වෙන්න ගහල තමා පොකුට්ටව ආන්බාන් කරල තිබ්බේ.අනික .......පොකුට්ටගෙ බූසි කොණ්ඩෙ නිසා දෙහි කට්ටක් තියා  ඒකෙ ඇතුලෙ  මැණික් මාළිඟයක් තිබ්බත් කාටවත් පේන්නෑ.

ඉතින් ................... !!!

පොකුට්ටා හාමිනේ කියන හැම වැඩේම කරා. හාමිනේත් පොකුට්ටට හරියට ආදරේ උනා.හරියට දරුවෙක්ට තරම්.........................

ඉතින්..........!!!

කොච්චර ආදරේ උනත් පොකුට්ටා හිටියෙ කොයි වෙලේ හරි එතනින් පැනල යන්න බලන්.... ඉතින් දවසක් පොකුට්ටා හාමිනේට දර ගේන්න කෑලෙට ගිහින් , ලොකූ දර මිටියකුත් අරන් ආවා........

ඔළුව උඩ තියන් ආපු දර මිටිය දැකල හාමිනේට හරි සතුටුයි............

දර මිටිය බිමින් තියපු පොකුට්ටා ............ බොහොම තෙහෙට්ටු පාටක් මවන් හාමිනේට කිට්ටු උනා.... ඒ ටික අහන් හිටපු අපිත් එකිනෙකාට තව තවත් කිට්ටු උනේ ඉලුක්යාය දිහාම බලාගෙන.

" හාමිනේ......................බලන්නකො පොඩ්ඩක් මගෙ ඔළුව රිදෙනවා....දර කඩන්න අකුලක රිංගද්දි කට්ටක් ඇනිල ද කොහෙද "

පොකුට්ටා ගැන දුක හිතුන හාමිනේ ,වරු ගාණක්  අර බූසි කොණ්ඩෙ පීරලි පීරල කටුව ඇනිල තිබ්බ තැන හොයා ගත්තා............ 

" දෙයියෝ.............. තඩි දෙහි කට්ටක් . උඹ මොකට දෙහි පඳුරු පල්ලෙ ගියැයි " කියපු හාමිනේ කැරලි ගැහුනු කොණ්ඩ ගස් එහාට මෙහාට්ට කරල පාද ගත්ත දෙහි කට්ට එක පාරටම උගුලල අයින් කරා විතරයි...................................

ඉලුක් යාය දිහාම බලන්කටත් ඇරන් ඇස් දොඹ ගෙඩි කරන් කතාව අහන් හිටපු ලසන්ති ලතෝනි තියන්න ගත්තා විතරයි. මුළු හෝල් එකේම ළමයි ඒ ලතෝනියට එකතු වෙලා පිට්ටනිය පැත්තට දුවන්න ගත්ත නිසා අහපු කතා කියපු කතා ඔක්කම අමතක කරපු අපිත්  ලසා වත් ඇඳගෙනම කෑගහගෙනම  දුවන කෙල්ලො ගොඩට එකතු උනා.......


එදා තමා අපි කෑගහගෙන දුවපු අන්තිම දවස...........  

එදා වහාම රැස් උනු දෙමාපිය කමිටුව ඉලුක් ගාල සුද්ද කරන්න පටන් ගත්තා. මනුස්සයෙක්ටත් වඩා උසට වැවුනු ඉලුක් යාය සුද්ද කරද්දි ..... මුට්ටි වගයක් අහුවුනු බවත් , ඒ මුට්ටි වල තිබ්බ දේවල් බොන්න හොරෙන් හොරෙන් ඉලුක් යායට මිනිස්සු ආව බවත් දෙමාපියන් තැන් තැන් වල කතා වෙනව අපට ඇහුනත්..........අපි නම් විශ්වාස කරේම පොකුට්ට තමා ඔය මුට්ටි වල කන බොන දේවල් හදන්න ඇත්තෙ කියලා. 

ඉලුක්  යාය ළඟ තිබ්බ අපේ  පන්ති  එතනින් අයින් කරල පිට්ටනිය ළඟ පන්තිකාමර වලට අපිව දැම්මෙ මදාරා කීව විදිහට ආය කවදහරි කලින් හිටියටත් වඩා තරහින් අපෙන් පලිගන්න පොකුට්ටා එයි කියල අපි තදින්ම විශ්වාස කරපු නිසා .

මන්
එදා පොකුට්ටට බයෙන් දුවපු 
අටේ පන්තියෙ ගෑණු ළමයා 

5 ප්‍රතිචාර:

Sumith Niriella said...

පොකුටු යකාගෙ බෝඩ් එක පිටිපස්සෙ ඉඳලා තියෙන්නෙ නම් කසිප්පුකාරයෝ; නැතනම් රා කාරයෝ.

හැබැයි ඒ කතාව ලස්සනයි.
මාහිංගොඩ - තොරණගොඩ - ගැටහැත්ත - යකුදාගොඩ.... ඇහැලියගොඩ අවට ගම් සම්බන්ධ (නම් හැදුන) ජනප්‍රවාදයත් ඔය කතාවමයි.
ඒ කතාවෙ යකා හාමිනේට කියල කට්ට ගලවගන්නෙ මන්තරකාරයා තොවිලෙකට ගිහින් ඉන්නැද්දි.
කට්ට ගලවගත්ත ගමන් යකා හාමිනේව මරලා දරුවත් අරං පැනල යනවා. ඒ ගිහින් මන්තරකාරයා නටමින් හිටිය තොවිලෙ තොරණට උඩින් ළමයව පෙන්නනවා. ඒ තොරණ උඩින් පෙන්නපු තැන අද හඳුන්වන්නෙ “තොරණගොඩ“ කියලා(තොරණඋඩ > තොරණකඩ > තොරණගොඩ)
මෙතනදි වැඩේ වැරදුන බව තේරුණ මංතරකාරයා යකා අල්ලගන්න නූලකට මතුර මතුර ගැට ගහමින් ඌ පස්සෙ එළවනවා. එහෙම එලවලා හැත්තෑවෙනි ගැටය ගහපු තැනදි යකාව අල්ලගන්නවා. අද එතන හඳුන්වන්නෙ “ගැටහැත්ත“ කියලා
එහෙම අල්ලලත්ත යකාව ගෙනත් තවත් තැනක පුච්චනවා. අද එතනට කියන්නෙ “යකුදාගොඩ“

Miyuru said...

පුංචි කාලෙ ඉතින් ගෑණු ළමයින්ට ඔහොම දෙයක් තිබුනොත් මදෑ. මට නම් හිතා ගත්තැකි, බය වෙන්න පේවෙලා බලන් හිටිය හැටි කට්ටිය. එයාලගෙ සද්දෙ ගැන එහෙම.
සුමිත් ලස්සනට සොඳුරු නොකියූ ටික කියලා තියෙනවා.

Sanduni Perera said...

ලස්සනයි නෙව

කණ්ඩා ~ Kanda said...

හපොයි සොසී, එහෙමත් දුවනිනං වාලෙ දුවනවද ?

ගෑල්ලමයින්ගෙ ඔක්කොම ලොකු වැඩ පරඩැලක් පෑගෙනකං, කැරපොත්තෙක් දකිනකං විතරයි කියල රට්ටු කියන්නෙ ඔය හන්දනෙ 🙂

ලොකු පුතා said...

ඔය පොකුටු යකාටමද ගොපළු යකා කියන්නේ...

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...