..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Wednesday, October 31, 2018

කොහොල්ල බබා

කොහොල්ල බබා



මට මතකයි ඉස්සර අපෙ ගෙදර තිබ්බ මැටි කුස්සියෙ පැති බිත්තියක ලොකු කොහොල්ලෑ ගුලියක් තිබ්බා. ගෙදර කොස් කඩන දවසට පොඩි උත්සවයක් වගේ. ගොඩක් දවසට ගෙදර කොස් කඩන්නේ නිවාඩු දවසක.මොකද  කියනව නම් කොස් කඩල විතරක් මදි නිසා.

කොස් ගෙඩිය බිමට වැටෙන කොටම කෑගල හූ තියන කෙනෙක් අපේ ගෙදර ඒ කාලේ හිටියා ඒ තමා අපේ "බ්ලැකී ". ඌ කොස් කන්න පුදුම පෙරේත බල්ලෙක්. කොස් කඩන දවසට ඉතින් අපේ ගෙදර අයට විතරක් නෙමෙයි.අහල පහල ගෙවල් වලටත් සතුටු දවසක්. මොකද කියනව නම් ඒ හරියෙ ටිකක් ලොකු වත්තකට වගේම සීයල ආතලාට පිං සිද්ධ වෙන්න කොස් හැදෙන ගෙඩි පිරුණු කොස් ගස් තිබ්බෙ අපේ වත්තෙ විතරයි. අනික ඒ කොස් ගස් වලටත් විශේෂිත නම් තිබ්බා. එක කොස් ගහක තිබ්බෙ වැල වෙන කොස්.ඒ ගහේ නම " වැල කොස් ගහ ".තවත් කොස් ගහක තිබ්බෙ " වරක කොස් " ඉතින් ඒ කොස් ගහ වරක කොස් ගහ. ඒ වගේම අපි ආදරේම කරපු කොස් ගහ තමයි "රෝස වරක කොස් ගහ". ඒ ගහේ වරක ඉදුනම රෝස පාටට කිට්ටුයි.ඒ වගේම ලොකු මදුලු. හරිම සුවඳයි .කොස් ඉවුවමත් රසයි. අපි කැමැතිම නැති කොස් ගහ තමයි දූරියන් කොස් ගහ. ඒ ගහේ හැදුනෙ දිගැටි පොළොස් ගැට විතරයි. ඒ ව කවදාවත් කොස් ගෙඩියක් බවට පත් වුනේ නෑ. ඒ වගේම තමා ඒ පොළොස් ගැට ඉවුවම අනිත් ගස් වල පොළොස් ගැට වගේ නෙමෙයි.හරිම මෘදුයි. ඒ ගහේ පොළොස් ගැට ඒ නිසා ගොඩාක් වෙලාවට ඉදි ඉදි ගහ පල්ලෙම වැටිල තිබ්බා මතකයි.හැබැයි ගහ ළඟින් යන් බෑ දූරියන් ගඳට ළඟින් යන ගඳක් තමා ආවේ......

ඔන්න ඉතින් ඉස්කෝල හෙම නිවාඩු දවසට අපි කොස් කඩන්න සෙට් වෙනවා.මෙතනදි අපි කියල කියන්නේ අපේ ගෙදර අය විතරක් නෙමෙයි. අපේ ගෙදර අය වගේම ගෙදර අහළ පහළ නැන්දලත් ගහේ නඟින්න ඇහැකි අයිය කෙනෙක් හරි මාමා කෙනෙක් හරි අනිවාර්යෙන් ඕනි වෙනවා. 

හදිසියෙම්වැ ඉතින්ල ඔහොම ගහට නඟින මාමා කෙනෙක් වැලක් වරකයක් හොයා ගත්ඉතම ඉතින්දි වැඩ වගේම සතුටත්ල වැඩියි..... මොකද කියනව නම් කොස් ගෙඩිය වගේ ලේසියෙන් කඩන්න බැරි නිසා .වැල ගෙඩිය හරි වරකෙ හරි ගහ පල්ලට කැඩුවම සතුටු වෙන එකම කෙනා තමා අපේ "බ්ලැකී " මොකද එතකොට එයාට විතරයි ඒ මුළු කොස් ගෙඩියම අයිති වෙන්නේ. 

වැල හරි වරක හරි ගාණට ගැට ගහල කඹේකින් ගහෙන් බාන්න ඕනි. ඊට පස්සෙ ඉතින් ගාණට මිම්මට කපල වටේටම බෙදල ඉවර උනාම අපිට ඉතිරි වෙන්නේ වරක ගෙඩිය පල්ලෙ ඇණ ගහගෙන වාඩි වෙලා බඩට දාගත්ත මදුලක් දෙකක් තමා.

ඔහොම කඩන කොස් මන්නෙන් දෙකට පලන්න කලින් ගහේදිම පිහියකින් කපන පොඩි සිදුරකින් ගෙඩිය පැහිලද කියල බලල තමා කඩන්නේ. එහෙම කඩල බමිට ගන්න කොස් ගෙඩිය මන්නෙන් දෙකට පලන්න කලින් ගෙදර තියන කොරහට ලොකු වතුර එකක් පුරවල අරන් එන්නෙ මන්. කොරහ දෙපැත්ත ගගහ ගේන කොට පුරවපු වතුර ටිකෙන් සැලකිය යුතු ප්‍රමාණයක් බිම වුනත් මන්නය වතුරෙන් තෙමල කොස් ගෙඩිය දෙපලු වෙන්න එක මන්නා පාරයි දෙන්නේ.

ඒ වෙද්දි මන් පොල් තෙල් හෙම අත් දෙකේ තවරන් ලේස්ති වෙන්නේ මඳුළු වෙන් කරන වැඩේට.ඊට කලින් අම්මා කොස් ගෙඩියෙ දෙකට කැපුනු තැනින් එන " කොහොල්ලෑ " තල්ලි තල්ලි කෝටු කෑල්ලකට එකතු කරනවා. ඒ කොහොල්ලෑ තමා පසු අවශ්‍යතා සඳහා අර මැටි කුස්සියෙ බිත්තියෙ උඩින් අලවන්නේ. මටම කියල පුංචි කොහොල්ලෑ ගුලියකුත් අර ලොකු කොහොල්ලෑ ගුලියට යටින් මගේ උසට හරියන තැනක වෙනමම නඩත්තු උනා.

අම්මා කපල දෙන වහලු ඇරපු කොස් පලු පොල් තෙල් ගාපු අත් දෙකෙන් ටිකක් බුරුල් කරල මදුලු පාදා ගන්නවා. ඊට පස්සෙ මදුල මදුල උලුප්පලා අරන් පන් කොළ වට්ටියට දානවා.අම්ම නම් කියන්නෙ අපේ අතේ පයේ කුණු ගෑවෙනව මිසක නැතිනම් කොස් හෝදන්නත් ඕනි නෑ කියලයි. 

මදුලු උළුප්පද්දි , පන් කොළ වට්ටියට නොවැටෙන මඳුුළු සංඛ්‍යාවත් එසේ මෙසේ නෙමෙයි. ඒ වෙලාවට අපෙ අම්ම කියන්නේ ."දැන් ඉතින් කොස් තම්බල වැඩක් නෑ . ලුණු කැටයක් කාලා , පස්සට ගිනි කූරක් ඇලුලව නම් ඇති " කියල තමා.

වට්ටියෙ කොස් මඳුළු වල තියන ඉරි ගලවලා , කොස් ඇට මඳුලෙන් පන්වන එක තමා ඊළඟ වැඩේ. ඒකෙදිත් ඉතින් මඳුළු කීපයක් බඩේ වගේම අඬල අඩල කොහොම හරි මගෙ ළඟට ඇවිත් නගුට වන වන ඉන්න "බ්ලැකි" ටත් මඳුලු කීපයක් හොර පාරෙම හම්බෙනවා.

" කනව නේද මදුලු ටික.දැන්  මොනවැයි උයන්නේ "

" නෑ අම්මෙ මේ බ්ලැකි තමා " කියල ඇඟ බේරගන්න ඒ වෙලාවට මට පුලුවන්. 

ඉතින් ඊට පස්සෙ කරන්නේ සුද්ද කරපු මදුලු කකුලට තද කරපු මන්නෙ අග්ගිස්සෙන් එක ගාණට කැපෙනෙක.එහෙම එක ගාණටම රූලක් වත් නැතිව කපන්නෙ කොහොමද කියල එදා වගේම අදත් මට තියෙන්නේ පුදුමයක්.

අම්ම මදුලු කපන අතරේ ලිප් බොක්කෙන් ගත්ත අළු පුරවපු පොල් කට්ටක් එක අතකිනුත් ගෙදර තියන මිටි දෙකෙන් පොඩි මිටියත් උස්සන් එන්න දුවන්නෙ මන්.

මදුලු වලින් පන්නපු කොස් ඇට , සිවිඩ්ඩ අයින් කරලා අළු පොල් කට්ටට දාලා අරන් තාත්තා හදල දීපු පොඩි ලී කුට්ටිය උඩින් තියලා කොස් ඇට තලන එකත් මරු වැඩේ. ඕක ලේසි කියල ඔහෙලට හිතුනට . වැඩේ අල්ල ගන්න කම් පට්ට අමාරුයි. මුල දි මුලදි කොස් ඇටේ ලී කොටේ උඩ තියලා දෑත බදල දෙන මිටි පාර වදින කොටම "ටොස් " ගාලා කොහෙ පනිනවද කියල හොයා ගන්නවත් බැරි වෙනවා.

ඊට පස්සේ තමා කොස් ඇටය පැත්තකින් අල්ලගෙන අනිත් පැත්තට මිටි පාර දෙන්න ඉගෙන ගත්තෙ. ඒකත් ලේසි නැති බව දැන ගත්තේ ඇඟිලි දෙතුන් පාරක් මිටි පාරට ලක් උනාට පස්සේ. ඇටේ කුඩු කර ගන්නැතිව ඇට තලන එකත් ( විහිළුවට ගන්නෙපා හරිය ) කලාවක්. නැතිනම් කොස් එක්ක කන් වෙන්නෙ කොස් ඇට කුඩු.

කොස් ඇට තලලා කොස් ඇට පොත්ත අයින් කරනෙක තමා ඇනිත් අමාරු වැඩේ වුනේ. කොස් ඇට පොතු යවලම ඒ කාලේ ඇඟිල් නියපොතු අස්සෙ රිදෙන්න ගන්නවා. කොස් ඇට පොතු යවන්න හරි නියපොත්ත තියෙන්න ඕනි කියල තමා ඒ සැරේ නියපොත්තක් යන්තම් වවන්න තියා ගත්තේ.

කොහොම හරි කොස් ඇට තලන්න කම්මැලි උන දාට කොස් තැම්බෙන කොට කන්න කොස් ඇට නැහැ. එහෙවු දවසට කොස් ඇට හරිම හිඟ නිසා දකින දකින කොස් ඇටය කාගෙ පිගානෙ තිබ්බත් උදුරල කනවා. සමහර කොස් ගස් වල කොස් මුලුදු වලට වඩා රස ඔය කොස් ඇටේ තමා. හැබැයි ඉතින් කොස් ඇට කාපු දවසට ඒවායේ අනිටු ප්‍රතිඵලත් විඳින්න වෙනව කියලා හරියට කොස් ඇට කාපු අය නොදන්නව නෙමෙයි.

ඉතින් අද මන් ලියන්න ආවේ කොස් ඇට ගැනවත් කොස් ගැනවත් නෙමෙයි  කොස් කොහොල්ලැ ගැන.ඒත් දැන් පෝස්ට් එක දන්නෙම නැතිව දිගින් මහතින් වැඩි වුන නිසා කොහොල්ලැ කතාව සමඟින් තවත් පෝස්ටේකින් හමුවෙමු.

11 ප්‍රතිචාර:

thusitha perera said...

මට දැනෙන හැඟීම මොකක්ද කියලා විස්තර කරන්න තේරෙන්නේ නෑ දුකක් වගේ, ශෝකාකූල හැඟීමක්ද,ඒ වගේ ඒ කොස් ගහ තාම තියෙනවද බ්ලැකී අම්මා ගහේ නැගපු මාමලා තාම ඉන්නවද මේ කොයි පළාතෙද කියන්න පුළුවන්ද

ඉයන් said...

+++++++

Praසන්ன said...

මදෑ කොහොල්ලැ බබෙක් ගැන පෝස්ට් එකක් බලන්න ආව.
කොස් ඇට මිරිසට හොදි හදල කාල නැද්ද?

අරු said...

හොඳ ළමා කාලෙකට හිමිකාරියක් ඔයා.. ඇත්තටම මේ ජීවිත දැන් ළමයින්ට නැහැ...

෴සොඳුරු සිත෴ said...

@Thusitha Perera
නෑ. අපි දැන් ඒ් පැත්ත පළාතකවත් නෑ. 1995 ‌ෙදෙසැම්බර් වලට පස්සෙ අපි ඒ් පැත්තට සමුදීලා ආවා. දැන් ඒ් ‌ෙකොස් ගස් නැහැ.ඊට කලින් බ්ලැකිත් මැරුණා...මටත් දුකයි.මතකය විතරක් ඉතිරි

Sujeewa Abegunawardhana said...

හරිම අපුරුයි. කොස් කඩද්දි, සුද්ද කරද්දි පුදුම එකමුතුවක් රොක් වෙන්නේ. ඒ වගේම පුවක්ම කොලපතත්ට පුදුම ලබැඳියාවක් පාන්නේ කොස් එක්ක මට මතකයි අපේ තාත්තා කොස් ඇට ශුද්ධ කලේ කොස් ඇට ටික උඩින් වංගෙඩිය කරකවලා. ගානට පොතු ගැලවිලා එනවා. අායෙම අර එකතු කරපු කොහොල්ලෑ ගුලියෙන් ටිකක් අරන් ගෙදර වතුර කල ගෙඩියේ පළුදු වූ තැන්වල තියලා ඊට උඩින් රෙදි පැලැස්තරයක් දමලා පුච්චනවා. ඒක දීර්ඝ කාලීන පිලියමක්.

විචාරක Wicharaka said...

ඔබ ඔය කියන විදියෙ කොස් කාපු ගෙදරක් තමා අපේ අම්මටෙග් මහගෙදර . ඒ ගෙදරත් එක රසට වෙන්වෙච්ච ගස් තිබිලා තියෙනවා අපිත් ඒ ගෙදර කුඩාකළ ගියාම ඔය විදියෙ අත්දැකීම් වලට මුහුණ දීලා තියෙනවා . අදකාගෙ ළමයින්ට නම් මැජික් වගේ වෙලා තියෙන්නේ ඒ ගැමි පරිසරය ගහට කොළට ආදරය තිරිම කොන්ක්‍රීට් වනාන්තර බිහිවීම නිසා රසවත් මතකයක්
විචාරක දි්‍යණිය

ලිඛිතා said...

අත්දෙක ඔසවා අනුමත කරමි. අතිශය භයානක ලෙස වරකා පෙරේතයෙක්මි. මෙහෙම කොස කැඩිල්ලක් අහන්න දකින්න ලැබිච්ච කෙනෙක් විදියට මේ මතක හරි සුන්දරව දැනුනා. තාමත් කොස් ගෙඩියක් දැක්කාම සියලු වැදගත්කම් අමතක ගිහින් ඔය කියන ජාතියේ කොහොල්ලා බබෙක් වෙනවා.
ඒකත් ආට් එකක්!

Pra Jay said...

++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

Anuruddha Weligamage said...

මගේ රේඩියෝ කෙටිකථා සදහා ඔබේ කතා භාවිතා කරන්නට අවසර දෙන්න කැමතිද කියල අහන්නත් කැමතියි . මම මේ වනවිට බස්සීගේ නවාතැන , පරිවර්තන , හැලප කඩේ , තිලක සිත , කට්ටකාඩුව , සිරාගේ කාමරේ සහ ට්‍රාන්ස් සිල්වේනියා බ්ලොග් අඩවි වල පලවූ කථා වලින් නිර්මාණ කර තිබෙනවා .

Unknown said...

ඔය ලස්සන කතා ටිකත් එකතු කරලා ලස්සන පොතකුත් ලියන්නකෝ.
මේ ලස්සන මතක් නිකන්ම වියැකිලා යන්න දෙන්න එපා...

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...