..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Thursday, August 30, 2018

තනිකඩ ජීවිතේ - තම්බපු බිත්තරේ


තනිකඩ ජීවිතේ - තම්බපු බිත්තරේ

-------------------------------------------------



ඔහු තනිකඩ තරුණයෙකි. පවුලෙන් වෙන්වී කුඩා ඇනෙක්සියක ඔහුට ඕනෑ ලෙස ජීවත් වෙයි. 

තනි ඇදක් තැබිය හැකි කුඩා ප්‍රමාණයේ කාමරයක් , තරමක සාලයක්, හීනි දිග අර්තාපල් තීරුවක් වැනි මුළුතැන් ගෙයක් , කුඩා නානකාමරයක් සහිත හුරුබුහුටි ඇනේක්සිය තනිකඩයෙකුට ඕනෑවටත් වඩා ගැලපුන බවක් හැඟුනත් අල තීරුව වන් මුළුතැන් ගෙයි නම් එහාට හැරීමෙහාට හැරෙන්නට සියළු අග පසක වලින් පරිපූර්ණ කාන්තාවකට නොහැකි වනු ඇතැයි සිතේ. 

කුඩා මේසයක් එයටම සෑදු කැරකෙන පුටුවක් , දම්රෝ වර්ගයේ අත් ඇදි සහිත පුටුවක් , එම වර්ගයේම එක් කකුලක් රහිත පුටුවක් , ඇඳක් , ඇඳ මෙට්ටයට අමතරව ඇඳක් රහිත මෙට්ටයක් ඔහු සතු ගෘහ උපකරණ වන අතර කුඩා රයිස් කුකරයක් තනි ගෑස් ලිපයක් කුඩා ගෑස් සිලින්දරයක්. බොට්ල් කූලරයක් සහ විශාල ප්‍රමාණයේ පරිගණක තිරයක් ඔහු සතු විදුලි උපකරණ වලට අයත් වන අතර තැන තැන අවතැන් වී ඇති ඇඳුම් වලට අමතරව විශාල ප්‍රමාණයේ ඇඳුම් බෑගයක් ද ඔහු සතු ආම්පන්න අතර වේ.

කොපමණ වර්ග වල ඇඳුම් තිබුනත් ඔහු සතුව තිබ්බේ එකමෙක සරොමක් බැව් නම්ඇ සත්‍ය වශයෙන්ම පැවසිය හැකි වේ. ඇති දෙයක් ද නැති දෙයක් නැති ඔහුගේ මේසය මත ඔබට ඇවැසි නම් තේ හැන්දද , රේසරය හෝ සබන් කැටය ද දැනට මාස කිහිපයකට පෙර රැගෙන ආ බාගෙට කනලද චොකලට් බාර් ද අවශ්‍ය නම් සොයා ගැනීමට හැකි අතර එයට ඔබ සැලකිය යුතු තරමේ කාලයක් මිඩංගු කළ යුතු අතර ඉවසීම ද ප්‍රගුණ කළ යුතු වේ.එසේම මේසය මත ඇති වයර් සහ ඉලෙක්ට්‍රොනික් ගැජට් අතරේ සිරවී ඔබට සිදුවන අකරතැබ්බ වලට ද වගකිව නොහැකි වේ. 

හිතුනොත් කඩෙන් කන , හිතුනොත් උයන් කන , නොහිතුනොත් නොකා ද ඉන්නා මේ තරුණයා ට එදා බිත්තර දෙකක් තම්බා කන්නට සිතී තිබුණේ එය නිවාඩු දිනයක් වූ බැවින් වන්නට ඇත. හීනි දිග තීරුවක් වැනි කුඩා මුළුතැන් ගෙයි තනි ගෑස් ලිප දල්වා ඒ මත තැබූ ජලය සහිත සාස්පානට බිත්තර එබූ තරුණයා (තරුණයාගේ බිත්තර නොව ) ගොඩ ගැසී ඇති රෙදි කන්ද ද රැගෙන නාන කාමරයට රිංගුවේ උදාවන සඳුදා දිනට ඇඳන් යන්න ඇඳුමක් සොයා ගැනීමට නොහැකි වනු ඇතැයි සිතා විය යුතු ය.

නාන කාමරයේ බිම උක්කුටියෙන් වාඩි වූ විට ඔහුගේ හිසටද වඩා උසින් වැඩි කිලිටි රෙදි තොගයේ කමීස , කලිසම් , ටීෂර්ට් , බැනියම් , යට කලිසම් ,මේස් , ඩෙනිම් කලිසම් සහිත ඇඳුම් තොගය අතරින් ඩෙනිම් කලිසම් තෝරා අයින් කලේ ඩෙනිම් කලිසම් යනු නොසේදිය යුතු ඇඳුම් වර්ගයක් බවට කොල්ලන් විසින් වෙන් කර ඇති බැවින් වන්නට ඇත. 

නෑමට ද රෙදි සේදීමට ද දෙකටම අදාල එකම සබන් කැටය වූ ලයිෆ් බෝයි සබන් කැටය අර අතට මේ අතට ගාමින් ඔහු රෙදි සෝදයි. මේ කරදර ඉවර වෙන්නට ගැහැණියක ගෙන එන්නට සිතු නද මේ විදින දුක එයට වඩා හොඳ යැයි බීමට වැටුනු විට පවසන මිතුරන්ගෙ කතා නිසා සක්සුදක්සේම දැන ඉන්නා ඔහු ආයාසයෙන් වුව ද මල්ටි පර්පස් මැශිමක් කැන්දා ගෙන ඒම යටපත් කර ගනියි.බේසම වතුරෙන් පිරෙයි.රෙදි එකින් එක සේදෙයි.... 
ආහ් මට කියන්නට අමතක වුනා ඔහු සතු නිශ්චල චංචල වත්කම් වලට තරමක් ලොකු තැඹිලි පාට ප්ලාස්ටික් බේසමකුත් ඇතුලත් කර ගන්න ඕනි. අන්න ඒ බේසමට පිරෙන වතුරින් රෙදි එකින් එක සේදෙයි. ආය වතුර පිරෙයි රෙදි සේදෙයි..... බේසමට වතුර පිරෙන හඬත් බේමට ඔබා පොගවා ගන්නා රෙද්දෙන් බේරෙන වතුර හඩත් අතරින් එකවරම ඇසුනේ කණ ළඟම පිපිරූ බෝම්බ හඬකි.... 

" බෝම්බ "? 

බෝම්බ පුපුරපු කාලය ඉවරයිනේ. මොකක් ද ?ඒ..

ගැස්සී ගිය තරුණයාගේ සී අකුරුක් මෙන් තිබූ කශේරුව එස් අකුරට විත් නැවතුන අතර තත්පර කීපයක් හොදින් ඇහුම්කන් දුන් තරුණයාට ප්‍රධාන පිපුරුමෙන් සුළු මොහොතකට පසුව කුඩා පිපුරුමක ද හඬ ඇසුන අතර මීදුමක් වැනි සිහින් දුමක් පාවි යනවා වැසී නොමැති නානකාමරයේ දොර අතරින් පෙනෙන්නට වූ විට ඔහුට තම පියවි සිහිය එලවා ගත හැකි විය.............

" හුටා...........බිත්තරේ .............."

තෙත පිටින්ම මුළුතැන් ගෙට දිවගියතරුණයාට දැක ගත හැකි වූයේ වතුර ලෙල්ලටම සිදී ගොස් කළු වෙමින් කර වෙමින් පවතින සාස්පානත් , සාස්පානෙහි මැද ඇති පිපිරී ගිය එක් බිත්තරයකුත් පමණි. තමන් බිත්තර දෙකක් තැම්බීමට දැමූ බැව් හොඳින්ම මතක ඇති තරුණයාට ඉඹේටම උඩ බැලුන අතර වහලයේ රීප්පයක රැදී තිබුනු බිත්තර සුදු මදයකින් කොටසක් තරුණයාගේ විවෘත මුඛයට වැටුනි.

(සත්‍ය කතාවකි - ඔබට ඔහුගේ ඇනික්සියේ මුළුතැන් ගෙට යා හැකි නම් අදද රීප්පයක ඇලී දුක් විදිනා බිත්තර සුදු මදය දැක ගත හැකිවනවා ඇත )

7 ප්‍රතිචාර:

Indranatha Thenuwara said...

බිත්තරයක් පුපුරනවා කියල ඇහුවාමයි...!!!
හැබැයි කතාවනං බොහො ම රසවත්..! (බිත්තරේටත් වඩා) මොකද මාත් බිත්තරවලට හෙන ආසයි නෙව..!!

Praසන්ன said...

හොඳ වෙලාවට බුවාට මෛක්‍රොවේව් එකක් නොතිබ්බෙ. හැක්..

dpr tecnika said...

බිත්තර බෝම්බ .හැක්.😂😂

එක් මානවිකාවක් said...

මටත් මේක වුණා. තනියම උයන්න ගත්තු මුල් කාලෙ. ටිකක් වෙනස් කම් කීපයක් එක්ක.

මම ලිපේ තියල තිබුණේ බිත්තර කිරි හොද්දක්. ඉතින් වහලේ සහ බිත්තියේ තිබුනේ කිරි හොදි සමග බිත්තර මික්ස් වෙලා. :)
රෙදි හේදුවේ නැහැ. ඉන්න ගෙදර රෙන්ට් එක ඉවර වේගෙන එන නිසා, අලුත් තැනක් හොයාගන්න අමාරු වෙලා ටිකක් හිතේ අප්සට් එකෙන් හිටියෙ.

උදුනේ ගින්දර අඩු කළා 5 ඉඳන් 3 ට. හොද්ද නටන එක අඩු වුණු නිසා එකපාරට ඔලුවට ගියේ ලිප නිවුවා කියල. (මේක ගින්දර පේන්නේ නැති ලිපක්) හිටියෙත් ගෙයක් හොයාගන්න විදිය කල්පනා කර කර.

ලිප නිවල තියල, වොෂ් එකක් දාන් එන්න ගියා. බඩගින්නේ එනකොට හොදි වහලෙ. එතකොට තමයි මතක් වුණේ, ලිප අඩු කළා මිසක් නිවල නැහැ කියල. :(

jhothisha lanka said...

බිත්තර බෝම්බ ගැන ඇහුවමයි..තාම තනිකඩද?

කල්‍යාණ මිත්‍ර said...

අර අල පෙති තීරු කුස්සියේ විස්තරේ ඇහුවම කරන්න හිතපු යෝජනාවක් අකුලා ගත්තා.. :))))

Nimal Dissanayake said...

තනිකඩයෝ ඔහොමමයි! අත් දුටුවයි, සත්තයි.

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...