..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Monday, May 7, 2018

කඩවුනු සිල් හෙවත් බූබම්බා

කඩවුනු සිල් හෙවත් බූබම්බා 

-----------------------------------------------


“ මන් බෞද්ධ සමිතියෙ ලේකම් නේ , මට එන්න බැරි වෙයි බන් “

“ ඒ කියන්නෙ උඹටත් සිල් ගන්නම වෙනව ද“

“ නෑ බන් , ඌ සංවිධායක කමිටුවෙ නිසා අනිත් වැඩ ටික බලන්න වෙනවා “

“ ඒ කියන්නෙ මොනවා ද?“

“ දානේ , ගිලන්පස , පිරිකර අරව මෙවුවා “

“ හරි එහෙනම් මෙහෙම කරමු බන් , ඔය වැඩ ටික එකාමාර දෙක වෙද්දි ඉවර වෙයි නේ... “

“ නෑ .... එකොල එකොලාමාර වෙද්දි වැඩ වලින් සෑහෙන කොටසක් ඉවරවෙයි “

“ හරි අපි එහෙනම් මෙහෙම කරමු , හවසට යමු. සිල් පාවාරණය කරන්න කිට්ටු කරල පනිමු “ 

එදා හරිම ත්‍රාසජනක දවසක් වුනා. සිල් සුවඳින් පිරිල තිබ්බ ඉස්කෝලෙ මට හරියට වැඩ තිබුණ. වෙනද අදින නිල් කොට කලිසම වෙනුවට සුදු කොට කලිසමක් ඇදල ඊට උඩින් සුදු සරම ඇදල ලෑස්ති වුනේ වෙනදට වඩා හරිම උනන්දුවකින්. ගෙදරින් හිතන්න ඇති සිල් ගන්න යන්න පුදුම උනන්දුවක් තියන ළමෙක් කියලා. අනික ඉතින් එහෙම වෙන්න එපැයි මන් නෙ බෞද්ධ සංගමේ ලේකම්.........

උදේම ඉස්කෝලෙට ගිහින් ඉස්සෙල්ලාම බැලුවෙ අරුන් තුන්දෙනා ඇවිල්ල ද කියල... උන් දෙන්නත් පුදුම සතුටකින් උන්නේ. “වාසල “ ය ඉන්න නිසා මටත් කිසිම බයක් තිබ්බෙ නෑ. ඌ ලෝකෙ කාලා වතුර බීපු එකා වෙච්චි , කොහ් ගියත් කණෙන් රිංගල හරි එයි....අනික අපෙ තාත්තයි උගේ තාත්තයිත් යාළුවො... 

සංගමේ ලේකම් වෙච්චි මට එදා හරියට වැඩ තිබ්බා.සංවිධායක මණ්ඩලේ කිහිප දෙනෙක් හිටියත් සමහර වැඩ අතර සම්බන්ධීකරණය කරන්න වුනේ මටමයි. මන් නැත්තම් තව ඩිංගෙන් බණ කියන්න වැඩම කරපු පොඩි හාමුදුරුවන්ට ගිලන්පස දෙන්න වෙන් කරල තිබ්බ ගෙදරින් ගෙනාපු අලුත්ම පීරිසි කුට්ටමත් හොයා ගන්න කට්ටියට බැරි වෙන්නේ වැඩි පරිස්සමට ඒක අරන් තියපු තැන මටවත් මතක නැති වෙලා තිබ්බ නිසා. අද හවස වෙද්දි යන්න තිබ්බ ත්‍රාසජනක , කුළුදුල් ගමන සිහි වෙද්දි මගේ මොළය තනිකර එයින් පිරිලා ඉතිරිලා යන නිසා වෙන කිසිම දෙයක් ගැන මතකයක් තියා ගන්න මොළේ ඉඩක් තිබ්බෙ නෑ.

උදේ දානේ , ගිලන්පස  , මල් වට්ටි , සුවඳ හඳුන්කූරු අතරේ මගේ සිතුවිලිත් එතිලා පාවෙලා යද්දි දන්නෙම නැතිව දවල් දානෙ වෙලාවත් ලං වෙලා තිබ්බා. දවල් දානෙට වැඩිය හාමුදුරුවහන්සේලාගේ පා දෝවනය කරල පිහිදාන්න තිබ්බ තුවායත් තුරුල් කරන් ඉද්දි ඒක හැම තැනම හොයපු පොඩි සුජී බලෙන්ම වගේ මගෙන් තුවාය උදුරන් ගියේ “ උඹට නම්  අද මොකක් හරි වෙලා.මේ ලෝකෙ නෙමෙයි ඉන්නෙ.මෙන්න මෙහෙ දියන් තුවාය .හාමුදුරුවො පා දෝවල උඩ බලන් ඉන්නවා අතන “

ඒ බැනුමෙන් සිල් මඩුවට ආපහු වැඩිය මගෙ හිත නොසන්නුව වට පිට බලද්දි තමා වාසල එහා කොණේ ඉදල මට අත වනනව දැක්කේ.මිනිහට ටිකක් තරහ ගිහින් තිබ්බ කියල මට හිතුනෙ , ගොඩක් වෙලා මා එනකම් බලන් හිටිය කියල දැනුන නිසා.

ඔන්න ඉතින් වාසලයයි , මායි චතුරයි ඉස්කෝලෙ ප්‍රධාන ගේට්ටුවෙන් වත් පස්සෙ ගේට්ටුවෙන් වත් නැතිව කැලෑ පාරකින්ම අපේ ගමන යන්න පිටත් වුනා. ඉස්කෝලෙ නොපෙනිලා යන දුරක් ගියාට පස්සේ එච්චර වෙලා අරහෙ මෙහෙ ඇතිල්ලි ඇතිල්ලි තුත්තිරි ඇනිල තිබ්බ සුදු පාට සරම කඩල බෑග්ගෙකට  දාලා දිලිසි දිලිසි තිබ්බ සුදු පාට කොට කලිසම පිටින් තුන්දෙනාම දැන් ටවුමට යන බස් එක එනකම් බලා හිටියෙ අදුරන කවුරුවත් මුලිච්චි වෙයි ද කියල පරිස්සම් වෙන ගමන්.

ගමන සුබ මොහොතකින් පිටත් වෙලා තිබ්බ කියල වාසලය කීවේ අදුරන කිසිම කෙනෙක් මුලිච්චි නොවුන නිසා. අනික ඉතින් අපි අදුරන ගොඩක් අය මේ වෙද්දිත් ඉස්කෝලෙ සිල් මඩුවෙ නිසා ඒ හැටි කලබල වෙන්න දෙයක් තිබ්බෙත් නෑ.

චිත්‍රපටි හෝල් එකට ළං වෙද්දි ලොකුවට ලස්සනට අතින් ලියපු “ ඔන්න බබෝ බිල්ලො එනවා “ කියන ලස්සන අකුරු අතරින් තඩි විශාල ඇඟක් තියන මනුස්සයෙක් වගේ කෙනෙක්ව ඇඳල තිබ්බා. චිත්‍රපටිය බලන අතර තුර දි තමා මට තේරුනේ ඒ ඇදල තිබ්බෙ “ බූබම්බා “ කියලා.

විශාල හෝල්ලෙක ලෑලි පුටුවක වාඩි වෙලා කකුල් දෙකවත් බිම ඇතිල්ලෙන්න උස මදිව මන් බලපු පළවෙනි චිත්‍රපටිය තමයි ඒ. ඒකෙ හිටිය මහ විශාල භූතයා එකෙ හිටපු නළුවගෙයි නිළියගෙයි ආදර කතාවට හරියට උදව් කරා. ඌ තමයි බූබම්බා කියන්නේ. චිත්‍රපටිය බලන්න ආපු මිනිස්සු විසිල් ගගහ කෑගගහ බූබම්බට සපෝට් එක දෙන කොට අපි තුන්දෙනත් ඒකටම එකතු වුනා.

ඒත් ............................. චිත්‍රපටිය ඉවරවෙලා ටවුමට එද්දි , ගමට යන බස් එක අපට මිස් වෙලා තිබ්බා. හරියටම තත්පර ගාණකින් ඒ බස් එක අද්දල තිබ්බත් අපේ ප්ලෑන් එකේ හැටියටම අපි ආවනම් ඒ බස් එක මඟෑරෙන්නෑ කියල වාසල කීවේ චිත්‍රපටි ශාලාවෙන් කවුරුත් යනකම්ම එළියට නොබැහ ඉදල අන්තිම මොහොතත් හෝල් එකේ විච්චූරණ බල බල ඉදල මඟදිගට බූබම්බාගේ නැවත විකාශයන් රඟපාමින් අපි ආපු නිසා........

ඒ වෙද්දි අපේ ගෙදර තත්ත්වය මට හිතා ගන්නවත් බැරි තරම් බැරූරුම් වෙලා කියල මට තේරුනේ ගමට යන අන්තිම බස් එකේ ඇවිත් රෑ වෙලා පාර දිගේ ගෙදර යද්දි ගෙදර යන්න කලින් මඟට ඇවිත් පාර දිහා බලා ඉන්න අම්මගෙ මූන දැක්කාමයි.

කොච්චර බොරු කීවත් අම්මගෙන් මිදෙන්න බැරි විත්තිය මට තේරුම් ගිහින් තිබ්බත් තාත්ත එදා ගෙදර නැති එක හිතට ගෙනාවේ සහනයක්.............

ඒත් ඊට පහුවෙනිදා පාන්දරම ගෙදර ආපු තාත්තගෙ අතට අහුවෙච්චි වහලෙ ගහල තිබ්බ කෙවිට පිට මැද්දට දෙක වදිද්දි  මාව බේර ගන්න වත් බූබම්බා නම් ආවේ නෑ.

7 ප්‍රතිචාර:

ලිඛිතා said...

හි හි හි
දැන් කාලේ කළා නම් :
1. ළමයා යහතින් එන්න තියෙන සම්භාවිතාවය භායනක අගයක් ගන්නවා.
2. ළමයින්ට එහෙම ගහනවද දෙමවුපියෝ?

ඒ මතක ඔහොම ලියන්න ලැබෙන එකම වාසනාවක්. මමත් දඟ වැඩ කරලා සෑහෙන්න black list වෙලා තියෙනවා. ඒවා ලිව්වොත් මගේ අම්මෝ !

Maathalan - Priyantha Hewage said...

https://gadyanohothkavi.blogspot.com/2018/05/blog-post_13.html

Lalith perera said...

😄😃😄😃😄😃

C.J. Vidanapathirana said...

චිත්‍රපටියක් බලපු දැඩි වරදට අපේ එකෙක් ඉස්කෝලෙන් අස් කරා

ඌ බේරගන්නත් බූම්බබා ආවේ නෑ...

ජ ය වේ වා !!!

වාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු ) said...

👍 👍 👍

kaveesha lasith said...

Niyamai

Ravi said...

බූබම්බගෙ කතාව පෙන්නුවෙ හැත්තැ පහේ නැත්නම් හයේ...මම බැලුවෙ කෑගල්ලෙ ඡායා හෝල් එකේ. යාලුවොත් එක්කනම් නෙවෙයි, දෙමව්පියොත් එක්කම ගිහිල්ල.

බූ බම්බට හිටියෙ මට මතක විදිහට සිරිල් පොන්නම්පෙරුම..ඕකෙ ජෝ මැරතන් එකකින් දිනනව. ඒකෙ තෑග්ගට හම්බෙන්නෙ මහ විසාල කප් එකක්. ඒ කප් එක ඇතුලෙ තමයි බූ බම්බා ඉන්නෙ...

ඌ එලියට එන්නෙ දුමක් වගෙ..එහෙම ඇවිල්ල මහ හයියෙන් හිනාවෙලා කෑගහනව "බූ බම්බා ගබස්කා...." කියල..කොහොම හරි එහෙමම නෙවෙයි නම් ඊට සමාන වචනයක්...හෙහ්,හෙහ්,

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...