..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Wednesday, March 21, 2018

බැන්කු බදු නැති සල්ලි තැන්පතුව


බැන්කු බදු නැති සල්ලි තැන්පතුව


මට මතක හැටියට අපේ කියන ගෙයක් කඩල දැම්මෙ එක සැරයයි. ඒකත් තාත්තගේ ආතම්මා හදපු ගෙයක්. කුඩ ගලෙන් බැදලා හුණු කපරාරු කරල සමර ගාලා තිබ්බ ඒ ගෙදර හරිම සරලයි.

බිත්තියෙ තිබ්බ හුණු බදාමය හරිම තුනීයි. අපි ඉතින් පොඩි කාලේ ඔය බිත්ති කෑලි නියපොතු අස්සෙන් ගලෝ ගලෝ ගන්නවා.කුඩ ගලෙන් හදල සිමෙන්ති කපරාරුව තිබ්බෙ කාමරයක් සහ සාලේ කෑල්ලකුත් පොඩි ඉස්තෝපු කෑල්ලකත් විතරයි. අනිත් කොටස තනිකර මැටි බිත්ති.

ආතම්මා නැති උනාට පස්සෙ අපේ තාත්තට ඕනි වුනා ඔය මැටි බිත්ති කොටස කඩල දාලා අලුතින් කොටසක් ගෙට එකතු කරන්න. ඉතින්........මැටි කපරාරු බිත්ති කඩන එක හරිම බරපතල වැඩක් විදිහට වැඩිහිටියන්ට පෙනුනත් අපට නම් ඒක හරිම විනෝදජනක වුනා.... මැටි බිත්ති අතර ට යනවට තාත්තා නිතරම කෑගැහුවත් මැටි බිත්ති අතර තිබිලා හමුවුනේ බොහොම රසවත් දෙයක්...... කොටින්ම ඒක හරිම පැණි රසයි......... පැණි බේරෙන මීවද. ඒ තරම් පැණී රස සජීවී මී වදයක් මේ වෙනකන් මම දැකල නෑ.කොටින්ම එදා මී පෑණි කාලා කාලා හොඳටම මත් වුනා මට මතකයි.අන්තිමට වැඩේ බාගෙට තියෙද්දි කට්ටිය වැටුනු වැටුනු තැන් වලට වෙලා හිටියා.


ඒක නෙමෙයි හොඳම වැඩේ..... මැටි බිත්ති වලින් වට වෙලා තිබ්බ බිම , හොඳ හැටි ගොම මැටි ගාලා පදම් වෙච්චි පොළවක්.ඔය පොළෝ කෑල්ලත් අයින් කරන්න තාත්තට ඕනි වුනා.... ඩේවිඩ් සීයගේ කරත්තෙට බදින ගොනාගෙ කොළ පාට උණු ගොමයි .... වත්ත පහළින් හොයල හොයල බාල්දි පිරෙන්න ගේන හුඹස් මැටියි අනල බිම ගානෙක හරි රසවත් වැඩක්. ඒ සුවඳ මේ ලියද්දිත් මට දැනෙනවා.

ගොම වල ඉන්න තඩි කළු කුරුමිණියො අයින් කරල ලොකු හබරල කොළ දෙහෙකට මැදි කරල උණු ගොම ගෙනත් බාල්දියකට දාලා දිය කරල නිවිති පාත්තියට දැම්මාම මෙන්න කොළේක සයිස්..... 

මම හිතන විදිහට ලෝකෙ ඉන්න සත්තු අතුරින් කැත නැති මල පහ පිට කරන එකම සතා තමයි හරකා. හරි...ඔන්න ඉතින් එහෙම තට්ටු දෙක තුනක් නෙමෙයි දහ දොලහකටත් වඩා ගාපු බිම අලවංගු පාරින් කුට්ටි කුට්ටි තට්ටු තට්ටු කැඩිල යනවා............

වෙලාවකට හිතට දුකකුත් දැනෙනවා.... බිම කඩන්න අලංවගු පාර ගහන්නෙ තාත්තා. දෑත බදල උඩට උස්සල බිමට පාත්වෙන අලවංගුව එක සැරේම මොකක් ද එකක වැදිල කුඩු වෙන සද්දයක් අපි කාටත් ඇහුනා.

වැඩ කර කර හිටපු කවුරුත් එක සැරේම එතනට එකතු වුනා. කට්ටිය අස්සෙන් රිංගල ගිහින් අලවංගු පාර වැදිච්චි තැන ඇණ ගහන් වාඩි වෙන්න මට ඉඩ ලැබුනා.

අලවංගු පාර වැදුන තැන තිබ්බෙ පොඩි සිදුරක් හැදිලා.ඒක හරියට කෙළවරක් නැති තැනකට විහිදෙනව කියල මට හිතුනෙ එඹිල බැලුවමයි. මොළේට එක සැරේට ආපු අදහසක් අනුව මම මගේ දකුණු අත අර සිදුර අස්සෙන් පොළව අස්සට එඹුවා.
“ සතෙක් සරුපයෙක් ඉන්න ගුහාවක් ද දන්නෑ...මෙන්න මෙහෙට එනවා “ කියල අම්ම මාව මගෙ වම් අතින් අල්ලල අදිද්දිත් මගේ දකණු අත වැලමිටටත් ටිකක් ළඟට එන්න අගක් කොණක් නැති අර මහා ගුප්ත සිදුර ඇතුලට ගිහින් තිබ්බා.

අම්ම ඇදල ගනිද්දිම මගේ අතේ ඇගිලි වලට මොකක්දෝ පතුලක් අහුවෙනවා දැනුන නිසා අම්මගෙ ග්‍රහණයට අසුවුනු වමත ගසා දැම්මෙ  “අහුවුනා අහුවුනා “ කියලා කෑගහන ගමන්මයි.

ඔන්න ඒ සැරේ මගෙ අත්දෙක යටින් කිහිලි අස්සෙන් දාපු තාත්තගෙ යෝධ අත්දෙකෙන් මාව උස්සල අනිත් පැත්තෙන් තිබ්බෙ හරියට ව්‍ඳුරු පැටියෙක් උස්සන්නා වාගේ.

අලවංගුව පැත්තක් තිබ්බ තාත්තා අර තිබ්බ සිදුර වටේට පොල්කට්ටකින් හාරල හාරලා මතු කර ගත්තේ කළු ගැහිච්චි ලොකු මුට්ටියක්. ඒ මුට්ටියේ කට රෙදි පාන්කඩේකින් ඇදල වහල කට වටේට ලණු පොටකින් ගැට ගහල තමා තිබ්බේ. රෙදි පාන්කඩේ දිරල මගේ ඇගිල්ලකට ද කොහෙදෝ හිල් වෙලා තිබ්බා.

අම්ම නම් හිටියේ හොඳටෝම බය වෙලා. තාත්තට නම් කට කොණකට හිනාවක් ඇවිත් තිබ්බා.

“ ඔන්න පුතේ ආතම්මගේ සබ්බ සකල මනාව “  තාත්ත එහෙම කියන ගමන් අර තඩි මුට්ටිය මගේ දෑතට දුන්නා. මට උස්ස ගන්න බැරි තරම් බර වෙච්චි ඒ මුට්ටිය වැටෙන්න නොදී තියා ගන්න මගෙ පපුවට හේත්තු කර ගන්න සිද්ධ වුනා........
මුට්ටිය ඇතුලෙ පිරෙන්න තිබ්බෙ කාසි , ඊට අමතරව ඉදහිට නෝට්ටුත් නොතිබ්බම නෙමෙයි.ආතම්මගෙ මරණෙ වත්ත කොණක වල දාලා ආපු දවසෙ නැන්දල මුළු ගේම පීර පීර හොයල තියෙන්නෙ මෙන්න මේක තමයි කියල තාත්ත කියනව මට ඇහුනා.... 

ඒ මුට්ටියට අමතරව තවත් මුට්ටියක් ඉතිරි පොළව  බිදිද්දි හමුවුනත් ඒ මුට්ටිය පිරෙන්නම සල්ලි තිබ්බෙ නෑ.තාත්ත ඒ මුට්ටි වල සල්ලි කඩේට දීලා නෝට්ටු කරන් ඒ සල්ලි වලින්ම ගෙයි කැඩුව ටික අලුතින්ම හැදුවත් අම්ම නම් ඒ සල්ලි වලින් ටිකක් ළඟ තියාගෙන ගේ හදල ඉවර වුනාට පස්සෙ හාමුදුරු දානයක් දීලා ආතම්මට පිං දුන්නා මට මතකයි.

දැන් අපිට ඒ ගේ නැහැ. ගේ විතරක් නෙමෙයි ඒ පලාතම විකුණල දාලා තාත්තගේ මුල්ම ගමේ පදිංචියට ඇවිත් දැන් සෑහෙන කලක්. දැන් අපේ ගෙදර බිත්ති සිමෙන්ති ගඩොල් වලින් බැදපුවා. පොළව සුදු ටයිල් කරපු බිමක්.වහල පේන්නැති වෙන්න සිවිලිමක් . එක්කෙනාට එක කාමරේ බැගින් තියන ටිකක් ලොකු ගෙයක්....ඒත් තාමත් ඉදහිට හීනෙන් පරණ කටුමැටි ගේ බිත්ති අතර සරන්න මගේ හිතට අමතක වෙලා නෑ........

ප/ලි - මේ කතාව මතක් වෙන්න එක හේතුවක් තමයි බැන්කුවෙ තියන තුට්ටු දෙකටත් ගහන බද්ද වැඩි කරපු එක.

10 ප්‍රතිචාර:

අටම්පහුර said...

මී වදයක්ද .. කනයි වදයක්ද

කොළොම්පුරේ (අසංග රණසිංහ ආරච්චි) said...

ඔවාට නෝනේ කියන්නේ මුට්ටි කාසි කියලා. බලාගෙන ඔවාට අයිතිවාසිකම් කියන බහිරවයොත් ඉන්නවා.

තඩියා said...

++++++++++

Praසන්ன said...

දැං ඔහේත් හදන්නෙ බැංකුවෙ සල්ලි දාන්නැතුව පොලොවෙ මුට්ටි යට කරන්නද?

Unknown said...

ehema thamai dan karanne wenne.amaruwen hamba karana thuttuwatamane kelinna hadanne.

Pra Jay said...

//කැත නැති මල පහ පිට කරන එකම සතා තමයි හරකා//

හාවා, එලුවා, මුවා ................

Oasis ක්ෂේම භූමිය said...

මමත් අහලා තියෙනවා ඉස්සර කාලේ මේ විදියට සල්ලි මුට්ටි වල එහෙම තැන්පත් කළා කියලා.

udara jayasinghe said...

බදු ගෙවන්න කැමති නැතේ- සේවා වල ඵල ලබන්න කැමති පුතේ

හා පැටික්කි (MS) said...

Praසන්ன අයියගේ පස්නේ තමා පස්නේ දැන්...... ටයිල් පොලවේ මුට්ටි වල දාන්නේ කොහොමෙයි.......

Sisira Fernando said...

නිදන් කරපු රත්තරන් මුතු මැනික් කාරියත් හම්බ වෙන්න ඇති නේද?

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...