..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Sunday, March 11, 2018

කැලේ පැනිල්ලේ සතුට

කැලේ පැනීම යි විලේ නෑමයි
අයිති ළමයින්ටයි ? 


“ ජනිඳි දී....දී ..............“
“ ඉන්න වා වා වා ..........ටීචා.......“

“ නෙතුලී.....ලී......ලී  “

“ප්‍රසන්ට් ටීචා....චා....චා ...........“

“ පසිඳු ............“

“ඉන්න වෝ..................“

“ කවිඳූ........................“

“ ඉන්ඩෝ.........ඩෝ...............ටීචා......“

“ ප්‍රදීදී...............ප් ............................“

“ ප්‍රදීප්.............................ප්................. ?“  

කිසිදු පිළීතුරක් ‍ නොලැබුන හෙයින් මෙතෙක් වෙලා හිස ගුරු මේසයට පාත් කරන්  ඇඟිලි අතර සිරවී සිටීමට වාසනාවන්ත වූ කළු පෑනින් මදක් වමට බරැති වන සේ එක ලකුණු දමමින් සිටි මම හිස ඔසවා පන්තිය දෙස බැලූ වේ හරියටම ප්‍රදීප් ගේ ඩෙස්කය සහ පුටුව හිස්ව තිබෙනු දුටුව ද ප්‍රදීප් යනු එක තැනක නොරැඳෙන්නෙකු බැවිනි, මගේ විමසිලි දෑස් පිරිමි ළමයින්ගේ පේළි වෙත යොමු කරලුයේ පිළිතුරක් අපේක්ෂාවෙන් බැව් තමන්ගේ ගුරුවරිය ගැන හොඳින් දන්නා දරුවන් දනී.

“ ටීචා . . . . . . .  හීන් කොටා ................“

“ මම කියල තියනව නේද ඔය නම කියන්නෙපා කියලා “

“ එහෙම කියනවට ඌ තරහ නෑ ටීචා .......“

ඔවු ඉතින් ඌට නැති අමාරුවක් නෙ ටිචාට තියෙන්නෙ යැයි හැඟෙන ඒ ප්‍රකාශයෙන් මුවට නැගුනේ මදහසකි.

“ හරි හරි කෝ ඉතින් ප්‍රදීප් .......කැන්ටිමේ යි .........අද ආවැ යි “

“ නෑ .......ටීචා ... නෑ ..........හීන් කොටා අද ඉස්කෝලෙ ආවා “

“ ඉතින් කෝ...........?“

“ ටීචා ................. “ එකකු තෙපර බාන විදිහෙන් ඒ නම් කුමක් හෝ සැලකිය යුතු මට්ටමේ රහසක් බැව් ගුරුවරියට හැඟෙන්නේ ඇගේ ඉව මොවුන් අතර සිටීම නිසා ම තියුණු වී ඇති බැවිනි. පන්තියටම ඇසෙන්නට කිව නොහැකි රහසක් බැව් හැඟවෙන බැවින් ගුරුවරිය නැගිට පන්තිය අතර පිරිමි ළමුන් සිටිනා දිශාවට ගියා ය.

“ ටී.......චා.................“

“ ඔ...වු .........“ 

“ ටීචා හීන් කොටා...............“

“ ඔවු.................“

“ ඌ ටීච පන්සිල් ගන්න කොට බෑග්ගෙකත් අරන් යන්න ගියා ...... “

“ ඔවු ටීච ඔවු..........අපිත් දැක්කා‘

දැන් රහස ,රහසක් නොවන බැවින් පන්තියේ පිරිමි ළමුන් එකා දෙන්නා පිළිතුරු දීමට තරඟයට ඉදිරිපත් වන්නේ මෙතෙක් සඟවා ගෙන සිටි රහස ඔවුන් ද දන්නා එකක් බැව් පෙන්වීමට මෙනි....

“ ඔවු...........මොකෝ වුනේ කියන්න “

“ හීන් කොටා .......ළමයි පන්සිල් ගන්න කොට බෑග්ගෙකත් අරන් යන්න ගියා...........අපි ඌව නතර කර ගත්තා ටීචා..........හැබැයි ටිහකින් ආපහු බෑග්ගෙක අරන් ඉස්කෝලෙන් යන්න ගියා “

“ අපි කීවට ඇහැව්වෙ නෑ ටීචා...........“ 

“ කොහෙද යනවා කීවේ......................ගෙදරෙයි ? “

“ දන්නෑ ටීචා ............... ඌ මුකුත් ම කිවේ නෑ “ 

“ එහෙමෙයි ................හොඳයි බලා ගමු කෝ .......... අනිත් දවසෙ කවුරු මොන හේතුවකට ඉස්කෝලෙන් එළියට ගියත් මට කියල යන්නෝනි  හරි ය................ ඉස්කෝලෙ ආවට පස්සෙ කාටවත් හිතුන හිතුන වෙලාවට ඉස්කෝලෙන් එළියට යන්න බෑ.... මේක අම්බලමක් නෙමේ ,හිතුන හිතුන වෙලාවට එන්නයි යන්නයි තේරුනැයි “

“ ඔවු ටීචා.......“ සියල්ලන්ම හිස සලමින් එකම විට පිළිතුරු දුන්නේ මා කියූ සියල්ල අකුරක් නෑරම පිළිගන්නා එවුන් පරිද්දෙනි. 

මම ප්‍රදීප් වෙත පැවසිය යුතු ඔවදන් පන්ති පැමිණ සිටින ළමයින්ට පවසා නැවතත් නාම ලේඛණය ලකුණු කරන්නට පටන් ගතිමි..... පන්තියේ සිටින අහිංසකම සහ දිනපතාම පාසල් පැමිණෙන දරුවෙකු වූ තවකෙකු ද අද පැමිණ සිටියේ නැති බැවින් ඒ ගැන ද සිතට දැනුනේ කුතුහලයකි. එම කුතුහලය වැඩි වූයේ ඔහු පාසල් පැමිණ සිටියා ද නැතිද යන්න පිළිබඳව ළමයින් අතර ඇති වූ කසුකුසුව නිසා ය.

“ සමන් ආවා බන් .................“

“ නෑ බන් ඌ අද ආවේ නෑ ..............“

“ නැත්තෙ මොකෝ........මම දැක්ක නේ බස් එකෙන් බැහැල අපිත් එක්කමයි පන්තියට ආවේ................“

දෙදෙනාගේම පාසල් පැමිණීම සැකයට භාජනය වී තිබූ නමුත් ඔවුන් පාසල් පැමිණි බවට පිළිගත හැකි කිසිදු සාක්ෂියක් නොමැති වූයේ එක් එක් සිසුවා විවිධාකාරයේ අදහස් පළ කල බැවිනි.

මෙසේ දවස ගෙවී යන අතර තුර පාසලට ලැබුනු පණිවිඩය කි.

“ ඉස්කෝලෙ ළමයි වගයක්  කැලේ මැද හරියෙ තියන ගල් වලේ නානවා ..... සුදු ඇදුම් වලින් අඳුර ගත්තෙ ඉස්කෝලෙ කියලා ......... “

 වහාම ක්‍රියාත්මක වූ පාසල් ගුරුභවතුන් කීප පොලක් තොරතුරු ලැබුනු ස්ථානය වෙත පිටත්ව ගියේත් , බියෙන් සැලෙන හදවත් සමඟින් ඔවුන් පැමිණෙන තෙක් අප බලා සිටියේත් කුමකින් කුමක් වුවාදැයි හරියටම නොදන්නා බැවිනි..... පාසල් පැමිණි පසු දරුවකුගේ භාරකරු වන්නේ පාසලේ පන්තිභාර ගුරුවරයා ඇතුලු පාසල් ආචාර්ය මණ්ඩලයයි , ඒ අතර තුරු ඔවුනට සිදු වන ඕනෑම මට්ටමක කරදරයකට , බාධකයකට අසනීපයකට ඇතුළු සියළුම ආකාරයේ අඩම්තේට්ටම් වලට වගකිව යුත්තේ ගුරුමණ්ඩලයයි. ඒ පැමිණෙන සියළුම දුක් කරදර වලින් දරුවා ආරක්ෂා කර දෙමින් නැවතත් පාසල් අවසානයේ දී දෙමාපිය භාරකරුවන් වෙත දරුවා භාර දීම ඔවුන්ගේ යුතුකම මෙන්ම වගකීම ද වන්නේය ....

නමුත් ..............................

අප පාසල් යන කාලයේ “ කැළේ පැන්න “ ළමයින් සොයන්නට කිසිවෙකු හෝ පැමිණියේ බොහෝ කලාතුරකිනි. උදයේ පාසල් පැමිණෙන ගමන අතර තුර කැලේ පැණීම විනෝදශීලි වැඩකි. පාසල් නිමාවන වේලාව අල්ලා නැවතත් නිවසට යන පාරේ දී පාසල් ළමයින් සමඟින් එක් වී හොඳ දරුවන් මෙන් ගෙදර යන කොල්ලන්ඒ කාලයේ දී කිසිවෙකුටත් විශේෂයක් ගෙන නොආවේ ය. එයට හේතුව වන්නට ඇත්තේ , කැළේ කොලේ සතා සීපාවා සේම එකල මිනිසුන් බහුතරයක් ද “ ළමයින් “ ළමයින් ලෙසටම සැලකූ බැවින් සහ දරුවන් වෙත ස්වභාදහමේ ආරක්ෂාව ලැබීමත්නො මිනිසුන්ගේ බැල්මට හසු නොවීමට තරම් වාසනාවන්ත වීමත් වන්න්ට පුලුවන.....නමුත් අද ............ දරුවෙකු ඇසට දකින තෙක් හදවතේ හඬ නතර වී පවතී..........

පාසල් පැමිණීමත් ගල් වලේ නාන්නට යාමත් අහඹු සිදුවීමක් නොවන බවත් “ කල් ඇතිව සංවිධානය “ කරන ලද කුමන්ත්‍රණකාරී රහස්‍ය විනෝදචාරිකාවක් බවත් දැන ගන්නට ලැබුනේ දිය නාමින් සිටිද්දි අත් අඩංගුවට පත් ළමයින්ගෙන් එකා එකා ගෙන ප්‍රශ්ණ කර බලන විට යි.

ඒ වන විටත් නඩයේ ප්‍රධාන සංවිධායක ධූරය දරමින් සිටි “ හීන් කොටා “ තම නඩය අතහැර දමා එතැනින් මාරු වී ගොස් තිබූ අතර අත් අඩංගුවට පත් ව සිටියේ අහිංසකයින් බැව් බැලූ බැල්මට පෙනී ගිය අතර , ඔවුන් ගෙන් ලැබුනේ සත්‍ය තොරතුරු බවට පැහැදිලිව වටහා ගැනීමට අපහසු නොවී ය.................

ඒ අතර සිටි “සමන් “ ගේ කළු සුන්දර මුහුණ තවත් කළු වී ගොස් වචනයක් කතා කර ගැනීමට නොහැකි තරමට ගොළු වී ගොස් විදුහල්පතිකාමරයෙන් එළියට ආ විගසින් හසු වූයේ මට යි.ඔහුගේ වත සැරසී තිබුනේ පාසල් නිල ඇඳුමින් නොව දුඹුරු පැහැති කමීසයකින් සහ තද දුඹුරු පැහැති දිගත් නැති කොටත් නැති කලිසමකිනි .  

“ මොකෝ සමන් වුනේ. කෝ යුනිෆෝම් “ 

බියට පත් වී සිටි ඔහුව තවත් බියට පත් කරනු නොරිසියැයි හැඟුන හෙයින් මම සාමාන්‍ය ලෙස ට ඔහු ගෙන් ඇසුවෙමි.

“ නෑ ..ටීචා .............ඊයේ උදේ ප්‍රදීප් කීවා හෙට ඉස්කෝලෙ එද්දි පාට ඇඳුම් අරන් එන්න , මම උඹලව නියම තැනකට එක්කරන් යන්නම් කියලා “

“ ඉතින් ...........?“

මා දෑස් දෙස සෘජුව බැලීම තව දුරටත් කළ නොහැකි වූවක් නිසා දෝ බිම බලාගත් සමන් “ ඉතින් ටීචා ..........මමත් පාට ඇඳුම් අරන් ආපු නිසා .. ප්‍රදීප් කතා කලාම ගියා “

මගේ මුවගේ නැඟුන සිනාව සඟවා ලනු නොහැකි වූවක් වුවත් ඔහු තව දුරටත් බිම බලානම සිටි බැවින් මගේ සිනහව සඟවා ලන්නට ද මට ඇවැසි නොවී ය.

“ ඒ කියන්නේ.............පාට ඇඳුම් ටික ...සමන්ගෙ බෑග් එකට පැනල හැංඟිල්ලා හිටිය නිසා සමන්ටත් ඒ ගමන නොඟිහින්ම බැරි වුනා “

බිම බලාන සිටිමින්ම සිටින සමන්ගේ මුවට ද සිනහවක් නැඟෙන බැව් වටහා ගැනීමට මට ඔහුගේ මුහුණ දැකීමට අවශ්‍ය නොවුණි.

ඔවුන් කළ දේ වැරදිය.... 

ඔවුන් කැලේ පැණීමට තෝරා ගත්තේ පාසල් වේලාවයි. කිසිවෙකුටත් නොපවසා එහි යාම ද ඔවුන් කල විශාලම වරදකි. නමුත්......................

ඔවුන් කළ දේ ඇත්තටම වැරදි ද?

ඔවුන් කළ දේ වැරදි නම් ................. ඇත්තට ම එහි වරදකරුවන් කවුද ?

දවසේ වැඩ අහවර කර විඩා නිවනු වස් පයිප්පය දිගේ පැමිණ හිසට උඩින්විසිර යන  වතුර මලෙන් පැමිණෙන වතුර ට හැකි ද?

කැළේ ගල් වලේ , විලේ බැස ලබන නිවා සැනහිල්ල ට අලගු තැබීමට ක්ලෝරින් වලින් පෙඟුනු  ඇල්මැරුණ වතුර මලට නම් කිසිදා නොහැකි වනු අැත....................


5 ප්‍රතිචාර:

Praසන්ன said...

උදේ ඉඳල රෑ වෙනකල් ඉස්කෝල, ටියුෂන් වලින් පිරිච්ච ජීවිතයක් ගතකරන ළමයි ඒකෙන් හෙම්බත් උනාට පස්සෙ ඔය වගේ වැඩ කරනව ටීචා.

හීන්කොටා ඔය සංවිධානාත්මක වැඩේ කරල තියෙන්නෙත් ෆේස්බුක් වලින්ද දල්ලෑ.

තඩියා said...

+++++++++++

Kalana said...

එකල ක්‍රිකට් ක්‍රීඩාවේඋපරිමයට පත්ව සිටි අපට ගමේ ඉතිරි කොල්ලන්ට අභියෝග කිරීම කජු කනවා වැන්නක් විය . බොහෝ විට සවස ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදුනු අප සමහර දිනවල රොබින් හුඩ් ,ටාසන් වැනි කිලිපොලා යන ක්‍රීඩාවලද නිරත වූයෙමු . වත්ත පහලින් ගලා ගිය කුඩා ඇල මැදින් කොටයක් දැමු අප ලීයකින් කඩු සටන්කරගත් අතර පැරදුනු එක ඇලට වැටී මඩ නා ගෙන එන්නේ අනිත් උන්ගේ සමච්චල් සිනා මදය . තවත් දිනවල ආච්චි අම්මා සහ වැඩට සිටියා වූ සෝමා ට හොරෙන් අප යන්නේ පහල අතහැර දාපු කුබුරේ වෙල් මාලු ඇල්ලීමට ය . පපුව වනතෙක් මඩට බැස වෙල් මාලු ඇල්ලීම කරන අප දිනක් විෂ සහිත හුන්ගේක් පවා ඇල්ලුවා මතකය . අල්ලන මාලු පරිස්සමෙන් ජෑම් බෝතල් වල අසුරන අප නිවසට ගෙනයන්නේ පරිස්සමෙනි . බත් ඇට වලින් පාන් කැබලි වලින් සංග්‍රහ කරන අප උදේ බලද්දී ගොඩක් මලු බෝතල් වලින් බිමට පැන වතුර නැතුව මැරිලා ය . ඔය අයුරින් ආරම්භ වන සුරතල් මසුන් ඇතිකිරීම කෙලවර වන්නේ පියාගේ පොකට්ටුවෙන් සල්ලි හොරකම් කර මලු මිලට ගැනීම වැනිපහත් වැඩ වලිනි . තවත් දින වල අසල පිහිටි කැලයට පනින අප බට කපා කටු කොටු සොයා බට තුවක්කු සාදන්නේ තවෙකුට හමේ පලු එන ගානට බට තුවක්කුවෙන් වෙඩි තියා ගැනීමේ අරමුනින් ය .

http://magelokaya01.blogspot.com/2017/10/blog-post_26.html

අරු said...

ලස්සන අදහස් එක්ක... 😊😊

Oasis ක්ෂේම භූමිය said...

සුන්දර අදහස්. අපිට නොලැබුණ අපි නොවිඳි ළමා කාලය ඉතාමත් ලස්සනට අකුරු කරලා.ජය වේවා

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...