..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Sunday, March 4, 2018

ආදර ප්‍රදී - අවසන් කොටස


ආදර ප්‍රදී - අවසන් කොටස 



ඇය ගැන මතකයට අමතරව ඇය පිළිබඳව සුරැකිව ඇති එකම සිහිවටනය වන්නේ මුද්දරයක තරම ගත් ඇගේ උඩුකය පින්තූරයකි. උරිස් ඇට ඉලිප්පී පෙනෙන ඇගේ කෙසඟ උඩු කය පටි ගවොමකින් සැරසී ඇත.පටි ගවොමේ පටි අතර රෑලි තීරුවක් දිවෙන්නේ පහළට හැලෙන රැළි ඇගේ කුඩා පපුව මතට වැටෙන පරිදිය. මේ පටි ගවොම ඇය තරමටම ඔහුගේ මතකයේ තැන්පත් වී ඇත්තේ ඇය නිතර නිතර ඒ ගවොම ඇදි නිසාම පමණක් නොවේ. 

ඇය නිතරම අදින මේ පටි ගොවොමේ පටි දෙක අස්සෙන් එළියට පනින ඇගේ යට ඇඳුම දුටු කිහිප විටක් ම එය වෙනත් කොල්ලන්ගේ කතා බහට හෝ නෙතට ලක්වනු ප්‍රිය නොවූ ඔහු නිතරම ඇයට ඇවිටිලි කරේ ඒ ගවොම නාදින ලෙසටයි. නමුත් ටික දිනකට පසු නැවතත් ඇය ඒ ගවොමම අදින්නට පටන් ගෙන තිබුනු නමුත් කොහෙන් හෝ සොයා ගත් පිත්තල පැහැති ඉතා කුඩා ආයකටු දෙකකින් ඇගේ යට ඇදුමේ පටි , ගවොමේ පටි වලට අල්ලා හිර කර තිබුනේ යලිදු ඒවාට එළියට පනින්නට ඉඩක් නොදෙන ලෙසිනි. 

වඩාත් හොඳින් නිරීක්ෂණය කල විට පමණක් දැකිය හැකි ඒ පිත්තල පැහැති කුඩා ආයකටු දෙකත් ඇය මෙන්ම සිහින්ව වඩාත් හුරුබුහුටිව ඇගේ කෘශ උරහිස් මතට වී සැඟවී සිටියා ඔහුට මතකය. ඇය එවූ පිටු ගණන් දිග ලියුම් ද , පිටු බාගෙ හදිසි කෙටි ලිපි ද , මතක සැමරුම් කාඩ් පත් ද සමඟින් මේ කුඩා මුද්දර ප්‍රමාණයේ පින්තූරය ද වසර විස්සකට පසුවත් ඔහුගේ කාර්යාල මේසයේ යටම ලාච්චියේ සුරැකිව තිබුණි.

ඉඳහිට දිනක තම කාර්යාල මේසයේ යටම ලාච්චුව හරින ප්‍රධානියා ඉන් යමක් පිටතට ගන්නා අයුරුත් වරු ගණනක් ඒ දේවල් සමඟින් ගත කරන අයුරුත් එදිනට වෙනත් කිසිවෙකුත් සමඟින් සිදුකරන කතා බහ අත්‍යාශ්‍ය දෙයකට පමණක් සීමාවන අයුරුත් හොඳින් නිරීක්ෂණය කලේ ඔහුගේ පුද්ගලික ලේකම්වරිය පමණි. දිනක් ඔහු නැති වේලාවක් බලා යටම ලාච්චුව විවෘත කළ ඇය එහි ඇති පෙම් හසුන් සියල්ලත් පින්තූරත් පුලුස්සා දැමීමට තරම් එඩිතරවී තිබුනා පමණක් නොව , එසේ කිරීමට හේතු ලෙසට ඔහු විවාහකයෙකු බවත් දරු දෙදෙනකුගේ පියකු බවත් මතක් කර දීමටත් අතීතය යනු නැවත නැවත ස්මරණය කරමින් ගිලී කිමිදිය යුතු මතක විලක් නොවන බව පැවසීමට තරම් එඩිතර එකියක වූවා ය...

නමුත්....ඇගෙන් ද ගිලිහී ගිය මේ පුංචි මුද්දර සයිස් පින්තූරය ලාච්චුවේ අඩියේ ලෑලි දෙකක් අතර හිඩැසක සිරවී තිබී ඔහුට හමුවූයේ හදවතේ හිඩැසි තැනක ඇය ගැන මතකය පෑරි පෑරි තිබෙනා ලෙසටමය.........

ඔහු ළඟ තිබී දැන් මා ළඟට ලැබී ඇති ඊමේල් ලිපියෙහි ඇති ඇමුණුමක් ලෙසින් ඇති ඇගේ පින්තූරය දෙස මා කීපවතාවක් බැලුවාදැයි මතක නැතත් ඇගේ රුව මා මනසින් නම් ලෙහෙසියකට ගිලිහී නොයනු ඇතැයි මට සිතේ. 

ඇය එතරම් රූමත් එකියක නොවුවා ය. නමුත් ඈ සතුව දීප්තිමත් නෙතු සඟලක් හිමිව තිබුණි.ඒ සියල්ලටම වඩා ඔහුගේ හද ගැඹුරේ අදටත් පැල පදියම් වී ඇති ආදරය දිනා ගන්නට ඇය සමත්ව සිටියා ය. නමුත් එදා නුවර රැජිණ හෝටලය ඉදිරිපිට ඔහු එනතෙක් මඟබලා සිටි දිනට පසුව වසර විස්සකටත් වඩා කාලයක් ගත වී තිබුන ද ඇය ගැන කිසිදු විස්තරක් ඔහු සතු නොවී ය.ඇගේ අසරණ ජීවිතය ආගාධයෙන් ගොඩ ගැනීමට තමන් දී තිබූ පොරොන්දු ඉටු කිරීමට නොහැකි වීම නිසා ඔහු සිත වඩ වඩාත් කම්පාට පත් වී තිබුණි. ඇය කොහේ හෝ සතුටින් සිටිනු ඇත කියා සිත හදා ගන්නට ඔහුට නොහැකි වූයේ එබැවිනි. 

ඔය අතර තුර දී ඔහුගේ පාසලේ මිතුරන් විසින් සංවිධානය කරන ලද  ඔහුගේ කණ්ඩායමේ මිතුරු හවුලකට ඇරයුමක් ඔහුට ද ලැබී තිබුණි. එය දුටු වහාම ඔහුගේ සිත තුල වූ බලාපොරොත්තු නැවතත් අලුත් වූයේ ඇය ගැන තොරතුරක් දැන ගැනීමේ බලවත් ආසාව එතරම්මව දැඩි වූ බැවිනි. නමුත් .......... අවාසනාවක මහත , ප්‍රදී ගැන කිසිදු විස්තරක් දත් කිසිවෙකු හමුවට සහභාගීවූවන් අතර නොවී ය. නමුදු ඇගේ එක් මිතුරියක හෝ හමුවට සහභාගී වී නොතිබුනු අතර ඇය හා පාසල් පැමිණි එක් මිතුරයක් පියයුරු පිළිකාවක් වැලදීම හේතුවෙන් ප්‍රතිකාර ලබමින් පසුවන බැව් දැන ගන්නට ලැබුනෙන් ඇයගේ සුව දුක් විමසීමට යාමට  ඔහු එක් දිනක් වෙන් කර ගත්තේ තම දියණියත් කැටුව එහි යාම ට ඔහුට සිදු විය.

සාධාරයෙන් පිළිගත් මිතුරියගේ රූප සෝබාව ඒ වන විට බෙහෙවින් වෙනස් වී තිබුණේ ඇය වයසට යාමටත් වඩා ඇගේ සෝචනීය අසනීපය නිසා ය. දිගු වරලසක හිමිකාරියක්ව සිටි ඇය පාසල් යුවතියක්ව සිටි කාලයේ දී බොහෝ සෝබමානව සිටියා ඔහුට මතකය. ප්‍රදී සමඟින් ඉතා  සමීප මිතුරුකමයක් එවක ඇයට තිබෙන්නට ඇතැයි ඔහු අනුමාන කර තිබුණි. නමුත් නිතරම තමන් ළඟ දැවටෙන දියණියත් අසනීපයෙන් පසුවන මිතුරියත් හමුවේ “ ප්‍රදී “ ගැන සෘජුව විමසීම අපහසු වුව ද ,  ඉඩක් ලද සැණින් “ ප්‍රදී ට කොහොම ද? “ විමසීමට තරම් වසර විස්සක් ඉවසූ සිත නොයිවසිලිල්ලට පත් වී තිබුණි.

ඔහු දෙස සෘජුව බැලූ ඇය , වහා ඔහු ගේ දෑස් මඟහැරියේ ඔහු ඇසූ පැණය ද එලෙසින්ම මඟහරිමිනි. ඒ මඟහැරීමේ ඉරියව්ව තුලින් ඇය නම් කුමක් හෝ තොරතුරක් දන්නා බැව් ඔහුට ස්ථිර වූයෙන් ඇගේ මුහුණට නැවතත් එඹුනේ මෙවර නම් පිළිතුරක් නොදී මඟහැරීමට නොහැකි ලෙසට. ඔහුගේ තීක්ෂණ දෑසේ සටහන්ව තිබූ ආයාචනය මඟහැරිය නොහැකි තරමට ප්‍රබල වූයෙන් මෙතෙක් කල් මා අකුරු කරමින් ආ කතාවේ “ ආදරණීය ප්‍රදී “ ගේ ඉරණම සැලකර සිටිමට ඇයට සිදු විය.




-----------------------------------------

පසු කතාව -

එදා සිට අද දක්වා ගත වූ කාලය තුලදි ඇගේ ඉරණමේ එකම වගඋත්තරකරු තමන් යැයි ඔහුට නිතර නිතර සිහිවේ. එකම නුවරක කිලෝමීටර් කීපයක් දුර  දෙතැනක ඇය ඔහු එනතෙක් බලා සිටීමත් , ඒ කිසිවක් නොදැන ඒ නුවරම තැනක කාමරයකට වී ඔහු මිතුරන් සමඟින් ගත කිරීමත් සිහිවන විට දී ඔහුගේ සිත දුකින් පිරී ය යි.සතියකට දෙතුන් දවසක් රැජිණ හෝටලය ඉදිරිපස ඔහු  එන තෙක් ඇය බලා සිටි තැන නැවතී සිටිමින් ඇය සිටින්නට ඇති අයුරු මතක් කර ගනිමින් සිත පාරවා ගනිමින් වේදනා විදියි.

අවසානයේ මේ කිසිදු දෙයකට කොහෙත්ම සම්බන්ධයක් නැති මා සොයා එන ඔහු ප්‍රදී ගේ දිවිනසාගැනුමට ඔහු කෙලින්ම වගකිවයුතු දැයි අසයි............ 

ඔහුගේ සිතැඟි ගැන , ඔහු ගැන කිසිවක් නොදන්නා මා පවසන්නේ “ ඔවු , ඔයාත් වැරදි තමයි “ යන්නයි..... ටිකින් ටික ප්‍රදී ගේ කතාව ඔස්සේ ප්‍රදීටත් වඩා ඔහුව හඳුනා ගන්නට අවස්ථාව සැලසෙන විට ඔහුට කියූ කතාව වෙනස් කර ගන්නට ඇත්නම් යැයි මට සිතුනු වාර අනන්ත ය. 

මිනිසුන් ගෙනෙනා ආයුෂ වලට තවත් කෙනෙකුට වගකිව හැකි නොවන මුත් ජීවිතයේ යම් යම් තීරණ ගන්නා විට දී ඔවුන්ගේ ජීවිත වල පුරුකක් වී සිටින අපටද එහි කොටසක් වීමට සිදු වීම නොවලැක්විය හැකි කරුණකි....... 

නමුත් ඔහු ඇයට කෙතරම් ආදරේ දැයි දන්නා එකම ප්‍රාණියා මම වෙමි.මිය ගිය පසුත් ඔහුගේ ආදරයක සෙවනේ ජීවත් වන ඇයට කෙසේ මේ ගැන පවසන්නේ දැයි නොදැන , අවසන කලහැකි එකම දෙය මෙසේ බ්ලොග් පිටු කීපයක අකුරු අතර ඒ ආදර කතාව තවරා තිබීමට ගත් උත්සාහයේ අවසානයයි මේ.


2 ප්‍රතිචාර:

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...