..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Saturday, February 24, 2018

ආදර ප්‍රදී 13

ආදර ප්‍රදී 13


මව විසින් විවෘත කර බලා තිබූ ලිපිය නිවසට ලැබෙන්නට ඇත්තේ තමා නුවර ගිය දිනය ආසන්නයේ දීම වන්නට ඇති බැව් ඔහුට විශ්වාසය. එය කියවා ඇති වූ පසු තැවිල්ල , සහ රිදුනු සිත වසර ගණනාවක් ගති වී ගොස් තිබු අද දිනය වන විට ද සිත පුරාම එදින මෙන්ම තැන්පත්වී ඇති බැව් දැනේ. 

ලිපිය ඉතාම කෙටි වුවත් එහි සඳහන් ව තිබූයේ කෙනෙකුගේ ජීවිතය හා බැදී පැවති තීරණාත්මක හමුවකි. 

 සුළු පියා සහ මව සමඟින් ගෙවෙන නිවසේ විසීම දිනෙන් දිනම ගැටළු සහගත වී ඇති බවත් , තව දුරටත් එම නිවසේ ජීවත්විය නොහැකි තරමට තමන්ගේ ජීවිතයට පත්වී ඇති බවත් එබැවි අවසාන විසඳුම ලෙසින් නිවසින් පිටත්ව නුවර පැමිණෙන බවත් , කිසිවෙකුත් නාඳුනන නුවර තමන් හඳුනනා ,  ජීවිතයේ සිටින එකම විශ්වාසවන්තයා  ඔහු පමණක් බවත් හරියටම  එදිනට විත් රැජිණ හෝටලය ඉදිරිපස දී ඇය හමුවන ලෙසත් ලිපියෙන් දන්වා තිබුණි.

ලිපියේ සඳහන් දිනය ඉක්මව ගොස් මසක පමණ කලක් ගතවී තිබූ අතර එම සඳහන් දිනයේ දී තමන් ද සිටියේ එම නුවරම වීමත් , ඇය රැජිණ හෝටලය අසල තමන් එනතෙක් පෙර මඟ සිටිද්දී කිසිවක් නොදත් අමනුස්සයකු ලෙස මිතුරන් හා එක්ව පාඩම් කරමින් තමන් සිටින ආකාරය මතක් වී ඔහුට උහුලා ගත නොහැකි දුකක් වේදනාවක් දැනෙන්නට විය.

ලිපිය පොඩි කර ගත් අතින්ම බිත්තියට තදින් පහර දුන් මීෂා නලල ද බිත්තියේ හප්පමින් නොහඬා හඬන්නට විය.

ඇය නිසා උපන් ශෝකයත් , ඔහු නිසා උපන් ආත්මානුකම්පාවත් , තම මව නිසා උපන් කෝපයත් කැටි කර ගත් හැඟීම් අස්සෙන් නැවත වාරයක් ඇසුනේ ........... “ අම්මට තිබ්බ අම්මෙ මට මේ ගැන කියන්න “ යන්න පමණි.

සිහි එලවා ගන්නා විට ඔහු සිටියේ මිතුරෙකුගේ බෝඩිමේ ය. නිවසින් පිටත් වී ගිය මීෂා නැවතත් ඒ නිවසට පැමිණියේ වසර ගණනාවකට පසු බැව් මම පසුව දැන ගතිමි.

එදා නුවර දී ඇයට කුමක් සිදු වන්නට ඇත් ද, රැජිණ හෝටලය ඉදිරිපිට ඇය කොතරම් වේලාවක් බලාපොරොත්තුවේ දෑස් දල්වා බලා සිටින්නට ඇති  ද , තමා ගැන අවසානයේ දී ඇය කුමක් සිතන්නට ඇත් ද, තමන්ට  ලෝකයේ සිටි එකම හිතෛශීවන්තයා ද පිටුපෑ බව ඇයට හැඟෙන්නට ඇති ද. නිකමට හෝ ඇගේ ලියුම ඔහුට නොලැබුන බැව් ඇයට සිතෙන්නට ඇති ද. අවසානයේ දී ඇය කුමක් කරන්නට ඇති ද. කෙසේ හෝ ඇය දැන් කොහෝ හෝ යහතින් සිටිනවා ද?

ඇය ගේ මතුගම  නිවසට ලියූ ලිපි දෙකකටම ඇගෙන් පිළිතුරු නොලැබුනු අතර අවසානයේ දී යැවු තෙවන ලිපියට පිළිතුරු ලෙස පැමිණි ලිපිය ද ප්‍රදී විසින් ලියූවක් නොවිනි. එය ඇගේ මව විසින් ලියන ලද ඉතා කෙටි ලිපියක් වූ අතර , ඇය ගැන තව දුරටත් නොසොයන ලෙසත් , ඇයඉක්මනින්ම විවාහ වීමට තීරණය කර ඇති බවත් එහි ලියා තිබුණි.

එම ලිපියෙන් නොසැලුනු මීෂා  ප්‍රදී අසනීපව රෝහල් ගතව සිටින විට තමන්ට දන්වා එවීමට තරම් සිත් ඇතිව සිටි ප්‍රදීගේ යෙහෙළිය ට ද ලිපි කිහිපයක්ම ලියූ නමුදු ඒ එකකට හෝ පිළිතුරක් ලැබුනේ නැති හෙයින් ප්‍රදී ගැන සෙවීම අත් හලේය. නමුත් ඇගේ ජීවිතයට යම් අභාග්‍යසම්පන්න යමක් සිදු වී නම් එයට වගකිවයුතු එකම කෙනා තමා බව ඔහු දැඩිසේ විශ්වාස කලේ ඇය මුළු ලොවක් හැරපියා ඔහු වෙත පැමිණි දිනයේ දී ඇය මඟහැර ගත් වරද තමන් සතු වීම නිසා ය.

ඇගේ සිහින් කෘශ ශරීරයත් , ඇය ජීවිතයේ විදි වේදනා සියල්ලත් , ඇගේ නිල්මිණි දෑසත් ඔහුගේ මතකට නොනැගෙන දිනක් නොමැති තරම් වූයෙන් ප්‍රදීගේ මැදිහත් වීම නිසාම නවතා දමා තිබූ දුම්බීමටත් , දිනපතා මත්පැන් පානයටත් යොමු වූ මීෂා පුරුද්දක් ලෙස ගංජා සුරුට්ටු ඉරීමටත් යොමු වූයේ විශ්ව විද්‍යාල ජීවිතයේ ලද මහා නිදහස ද උපයෝගී කර ගනිමිනි. 

කිසිදාක උඩ බොත්තම් දෙක තුනක් නොපියවෙන කමීසයක් හැද , දිගු කලිසමකින් හෝ රෑ කෝච්චියේ යනෙන ඇතැම් දිනක සරමකින් ද රබර් සෙරෙප්පු පය ලා මුහුණ පුරා රැවුල වවා වසාගන්නට හදන මුහුණේ දුක පිරි දෑස් සැඟවුනු කණ්නාඩි කූට්ටම් අතරින් ඉදහිට සිනාසෙන ඔහු පෙන්වා “ කවුද මේ , කොල්ලා “ යැයි ඇසූ ඕනෑම කෙනෙකුට ලැබෙන එකම පිළිතුර වන්නේ , “ හොඳ කොල්ලෙක් , එකම වරද දිනපතාම බොනේක තමයි. “ 

රැජිණ හෝටලය කහ ඉර ඉදිරිපස ට වී යමෙකු එනතෙක් මේ සුන්දර තරුණයා මඟ බලා සිටිනවා  ඇතැම් දිනෙක සමහරුන්ගේ දෙනෙතට ලක් වේ. ඇය එදා තමා එනතෙක් මෙතැන මෙහෙම බලා සිටින්නට ඇතැයි සිතමින් කල් මැරීම ද ඔහුගේ සිතට යම් සැනසිල්ලක් ගෙනෙනවා වන්නට ඇතැයි එවිට මට සිතේ.

විශ්ව විද්‍යාල ජීවිතයේ ඔහුගේ හොඳකම නිසාම ඔහු වටා නිතර නිතර ගැවසී ගත් විවිධාකාර කෙල්ලන්ගේ අඩුවක් නොමැති වූ අතර ඉන් ඇතැමෙක් ඔහු ගැන ඇතිකර ගත් ප්‍රේමණීය බලාපොරොත්තු සහගත වූ කෙල්ලන් විය. නමුත් ප්‍රදීගේ මතක අතර සෑම දිනකම අග මධුපිරි වීදුරුවට යට කරන මීෂාට තරුණියක් ගැන ඇල්මක් ඇතිවීමට කල්ගත වූ අතර එය ද විශ්ව විද්‍යාලයෙන් පිටත දී අහඹු ලෙස මුණ ගැසුණු තරුණියකි.

දින , සති , මාස අවුරුදු ගණන් ගෙවී යද්දී ඇය ගැන මතකය අමතක වූවා යැයි පැවසීම නිවරදි නොවන නමුත් ඇය ගැන මතකය මතුපිටට ඒමට තරමක් ජීවිතයට නිනව්වක් නොමැති විය. විවාහය , දරුවන් ලැබීම , රැකියාව අතර ගත වී යන කාර්ය බහුල පැය වල දී කාර්යාල මේසයේ යටම ලාච්චුවේ සුරැකිව තිබුනේ ඇය ගැන මතක සටහන් ය. 

ඇය කොහේ හෝ යහතින් සිටිනවා වන්නට ඇතැයි ඔහු බොහෝ විට සිතයි. තමන් දැන් දරු දෙදෙනකුගේ පියෙකු වී ඇති සේම ඇය ද දියණිකගේ හෝ පුතෙකුගේ මවක් වී නුවර රැජිණ හෝටලය ඉදිරිපිට ඔහු එනතෙක් රැදී සිටිද්දී හටගත් සංතාපය අමතක කර සිටිනවා වන්නට ඇත. 

ඔය අතරතුරු දිනක හදිසියේම තම පාසල් මිතුරන්ගේ හමුවකට යාමට මීෂාට ඉඩකඩ ලැබෙන්නේ අහම්ඹයෙකි........

අවසාන කොටස ඊළඟ ට 

2 ප්‍රතිචාර:

akila kurera said...

ඉක්මනට ඉක්මනට ලියන්ටකෝ.....මීට තඩියා

෴සොඳුරු සිත෴ said...

තඩියා
ඔවු..ලබන සැරේ අවසන් කොටස..එතකොට මගෙ හිත නිදහස්...මේක මම කෙනෙක්ට උනු පොරොන්දුවක් නිසා ලියන කතාවක් .

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...