..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Saturday, January 13, 2018

ද්වන්ද සටන

ද්වන්ද්ව සටන


ඉර  තම දිනයේ උච්චාවස්ථාව පසුකර ඒ වන විට පැයක පමණ කාලයක් ගත වී තිබෙන්නට ඇත.එය හරියටම කීමට හැකියාවක් නැත්තේ හේමලයා ද දකින්නට හැකි වන්නේ විටින් විට කඩින් කඩ බැවිනි.

මධ්‍යහනයේ වූව ද  එතරම්ම සෙවනක් සහිත වැලි පාරක ඇවිදන් යන ප්‍රීතිමත් කුඩා කොලුවෙකි. කොලුවාට සෙවන සදන්නටම මෙන් ඔහු යන පාරේ ඔහු ගෙ හිසට උඩින් අතු පතුර විහිදා ගෙන සිටින විශාල ගස් ද අතු අතර එතී මල් පුපුදා උඩු වියන අලංකාර කරන වැල් ද වෙත ඔහු තම ස්තූතිය පල කරන්නට මෙන් විටින් විට තම  හිස පද්දමින් ,හිසට උඩින් අහස දෙස බලයි...... ගස් වැල් අතු අස්සෙන් පෙනෙන නිල් අහස සමඟින් සිනා සෙයි. ඔහු වමතේ රැදි කුඩා බෙලෙක් පනිට්ටුව ඔහු යන තාලයට ම පැද්දෙයි. එතුල ඇති යමක් “ ඩොකොං ඩොකොං“ හඬින් බෙලෙක් පනිට්ටුවේ එහා මෙහා වැදෙයි.

නිල් කොට කලිසමකින් ද , අකීකරු ලෙස කලිසම අස්සෙන් තැනින් තැනින් එළියට පැන නිදහස විදින සුදු කමිසයකින් ද  සැරසී ඇති කොලුවාගේ දකුණු උරයේ ලා නිල් පැහැති  පොපියන සාලුවකි. පුලුන් මෙන් පිපී උඩට විත් ඇති සාලුවේ අග්ගිසි කොලුවාගේ හුරතල් මූණ මෙන්ම මට සිළුටු වන්නට ඇත. සුදු කමීසයක් වූවත් එය දුහුවිලි , මඩ වලින් දැමූ අකීකරු රටා වලින් හැඩ වී ඇත.

වමතෙහි ඇති පනිට්ටුව පද්ද පද්දා .......  කකුලෙන් කකුල මාරු කරමින් උඩ පනිමින්  වැනෙන හිස බෙල්ල මත සමතුලිතකරමින් පාරේ ඉදිරියටම යන මේ කුඩා කොල්ලා හිටි වනම ගල් ගැසී නවත්න්නේ දුටු අරුම පුදුම දෙයකට ආශක්තවී ය. එය වෛවර්ණ දිලිසෙන ඉතා කුඩා කුරුමිණීයෙක් , පෙර දිනක වැඩ අවසන් නොකර අතහැර දමා ඇති විචිත්‍ර මකූළු දැලක් , සිනිඳුම සිනිඳු පුංචි ම පුංචි පිහාටුවක් හෝ ඔබ හෝ මා නොසලකා හරින නමුත් ඉතා කුඩා වූත් චමත්කාරජනක යමක් වීමට වඩාත් ඉඩ ඇත.නමුත් කොළුවාට වැඩි වේලාවක් එතන රැඳී සිටීමට නොහැකි වෙයි .

“ චූටි පුතා ......................... “

ඔහුට අඩි පහ හයකටත් වඩා ඉදිරියෙන් යන තරුණ කාන්තාව හඬ නඟන්නේ පසු පස නොබලාම ය. තරමක විශාල බේසමක් , බේසම පුරවා ඇති කිලිටි රෙදි ගොඩක් සමඟින් ඇය එය ගෙන යන්නේ ඇගේ ඉනෙහි ආධාරයෙනි. කොල්ලා ඇගේ බසට අවනට වන නමුත් ඒ සඳහා වැඩි වෙලාවක් ගනී.

මොවුන් දෙදෙනා යන පාර කෙළවර වන්නේ කුඩා වතුර පාරකිනි. ස්වභාවිකව තැනී ඇති දිය පහරක් පීල්ලක් බවට පත් කර ඇති අතර කිසිවෙකුත් විසින් නොවසනා ලද දිය පීල්ල , සෑම විටම ඇද හැලෙමින් ඇත්තේ එතැනට එන ඕනෑම අයෙකු නෑවීමට සුදානමිනි.

නිවසට ආසන්නතම පීල්ල මෙය වන අතර , මීට වඩා උසින් වැඩි දිය පහර සැරින් වැඩි පීල්ලෙන් නාන්නට යාම ට නම් කොල්ලා යෞවන වියට එළඹිය යුතුව තිබුණි. නමුත් තවමත් අම්මා ත් සමඟින් නාන්නට යන මේ පුංචි කොල්ලාට ඈත පීල්ලෙන් නාන්නට යන්නට තව කාලය බොහෝ ඉතිරිව ඇත.

හම සුදු මැලි වෙන තෙක් පීල්ලෙන් නෑමත් , පීල්ලෙන් නාන්නට කුඩා වන රොද මැදින් එන ගමනත් කීවතාවක් නෑවද , කීවතාවක් ආවද සැමදාමත් නැවුම් බවක්ම එක්කරනා බැවින් මේ දිය නෑම වූකලී කොල්ලා ට කිසිදු විටක කම්මැලිකමක් ගෙන නොආවේ ය.

 කොතරම් වේලාවක් ගිය ද , කෙතරම් ඇවටිලි කල ද නෑම අවසන් නොකරන කොල්ලා නිසා නිවසේ දහසකුත් එකක් වැඩ ඇති අම්මාගේ අවසන් තීරණය වන්නේ , “උඹ එහෙනම් නාලා ඉවර වෙලා රෙදි බේසමත් අරන් වරෙන් “  යන්නයි. ගෙදරට යන්නට යන අම්මා ,   පීල්ලට යටවී ඇස් රතු වී ඇති තෙක් නාන කොල්ලා  නැවත හැරී බලා “ වැඩි වෙලාවක් ඉන්නෙපා චූටි පුතේ , ඉක්මනට වරෙන් “ යැයි පවසන්නේ චූටි පුතාට නෑම ඇති වීමක් නැති බැව් දන්නා බැවින් වන්නට ඇත...... තව ටික දුරක් ඉදිරියට යන අම්මා “ උඹ කැලෑවෙ තැන තැන කට්ටි පයින්නැතිව විගහින් වරෙන් “ යැයි යලි පවසන්නේ හැරී නොබලාම ය.

ඉන් ටික වේලාවකට පසුව රෙදි බේසමත් හිස තියාගෙන ගෙදර යන්නට පාරට වැටෙන කොල්ලා ට තමා පැමිණී පාර බැව් අමතකව ගොස් මෙන් නැවතත් පාර දෙපස සිරි නරඹමින් ද , වට පිට බලමින් ද, නතර වෙමින් ද, නොයෙක් දෑ ඇහිද මින් ද, විසි කරමින් ද ගෙදර යන්නට පටන් ගනී...............

එසේ යන මේ කුඩා කොල්ලා ට ගේ නෙත ගැටෙන්නේ අපූරු ආකාරයේ ද්වන්ද සටනකි. එයින් වසර තිහකට තිස් පහකට පමණ පසුව ද නොමැකි නොනැසී එදින මතකය එලෙසින්ම පැවතීමට තරම් එය කෙතරම් චමත්කාරජනක ජවනිකාවක් වන්නට ඇති  ද.

රෙදි බේසම ද හිස මත තබා ගෙන සිරි නරඹමින් යන කොල්ලාට කුඩා වන ලැහැබ තුලින් ඇසුනේ අමුතු ආකාරයක සර සර හඩවල් සමඟින් අමුතු ආකාරයේ සතෙකු පුප්පන හඬකි. පාරෙන් පිට පැන වන ලැහැබ තුලට පිය මැනූ කොල්ලා , හඬ එන දෙස පිළිබඳව විමසිලිමත් විය.....................

සර සර හඬින් කොළ පොඩි වෙන හඬත් පුප්පන හඩත් ළඟ ළඟ ඇසෙත්ම කොල්ලා වඩාත් පරිස්සමට පියවර මනින්නට වූයේ හොරෙකු මෙනි. වැඩි වේලාවක් , වැඩි දුරක් යන්නට මත්තෙන් එක්වරම දුඹූරු පැහැති ලෝම ගුලියක් අඩි කිහිපයක් උඩට පනිනවාත් ශූ.........ස්ස්ස් ........... ශුරුස්ස්ස්................ හඬත් ඇසෙන්නට වූයෙන් උන් තැනම ගල් ගැසුනු කොල්ලා සිදු වන දෙය අදහා ගත නොහැකිව කටත් අයා ලොකු කර ගත් දෑස් දල්වා බලාසටින්නට විය................

අඩි කිහිපයක් උඩ සිට නැවත පොළවට වැටුණු ලෝම ගුලිය යළිත් යමක් වටේ කැරකෙන්නට වූයේ කොල්ලෙක් සිටින වගේ වගක් වත් නැතිවය ...... දුඹුරු පැහැ ලෝම ගුලිය “ මුගටියෙකි “ ලෝම ඉස්සී , කෙලින් ගැස්සී තිබූ බැවින් සාමාන්‍ය ප්‍රමාණයට වඩා විශාලවී සිටි මුගටියා පුප්පමින් ගස්සමින් පස්සා ගාත් වලින් සිට ගනිමින් , ඉදිරි ගාත් වලින් ඉතා ක්ෂණිකව යමකට පහර එල්ල කරමින් සිටිනා තැනින් එහාට මෙහොට යමින් යමෙකුට හෝ යමකට .

දුටු දෙයින් කොල්ලා තිගැස්සී ගිය නමුත් රෙදි බේසමත් එතනම දමා බියෙන් කෑගසමින් දුවන්නට තරම් බියක් පැන නැගුන මුත් හැමදාමත් එක ලෙස කුතුහලය දැල්වන කොල්ලෙකු බැවින් නිරීක්ෂිත දෙනෙතින් යුතුව තරමක් පසුපසට ගිය කොල්ලා මේ අපූරු ද්වන්ද සටන වෙත හෙලූ නෙතින්ම පසුවන්නට විය.

මුගටියා පුප්පන්නේ කළු හා සුදු පැහැති වෛයිරන් වැටුණු , තරමක විශාල පයන්න පෙනෙන පෙනේකින් යුතු වූ දඟර ගසා ගෙන ඉහළ කර ගත් පෙන ගොබය පුම්බා ගෙන සිටිනා නාග රාජයෙකුට ය. මෙතරම් විශාල නයෙකු මින් පෙර කිසිදිනක ඔහු දැක තිබුනේ නැත. පෙන ගොබය පුම්බමින් ,.....වනමින් , පද්දමින් මුගටියා දෙසටම යොමු වූ නාගයා ගේ දෑසට මේ කුඩා කොල්ලාගේ පැමිණීම අසුවූයේ නැති ගානය. නාගයාට පමණක් නොව මුගටියාට ද ඔහුගේ පැමිණිම එතරම් වැදගත් නොවූ ගාණය.

දෙදෙනාටම තමාගේ පැමිණිම වැදගත් නොවූ බැව් දැනගත් කොල්ලා  ද ටික වෙලාවකට පසුව රෙදි බේසම බිමින් තමා ඒ මත වාඩි වී ද්වන්ද සටන නරඹන්නට වූයේ , සටන නිමා වන බවක් පෙනෙන්නට නොමැති නිසා ය. කැරකෙමින් පුප්පමින් උඩ පනිමින් විවිධ ශබ්ද වර නඟමින් වට කීපයකින්ම කෙරෙමින් තිබූ සටන නිමාවන අයුරක් පෙනෙන්නට නොවීය. පස්සා පැත්තෙන් දැනුනු අමුතු තෙත ගතිය ද නොසලකා හැර සටන දෙසටම යොමූ වූ නෙත් සිත් ඇතිව සිටි කොල්ලාට කාලය ගත වන බවක් නොදැනුන නමුත් හදිසියේම නිවස මතක් වී නැඟී සිටින විට තෙත රෙදි බේසම මැද සෑදුනු බොක්කකි. යමක් සිහි වී ලා මෙන් දෑතින්ම තම පස්සා පැත්ත ඇල්ලූ කොල්ලාගේ අතට දැනුනේ තෙතකි. කොල්ලාට සිනා පහල විය. යලිත් සටන දෙස බැලූ කොල්ලා රෙදි බේසම හිස මතට ගෙන ලහි ලහියේ පාරට පැන නිවස දෙසට හැකි වෙර යොදා දුවන්නට විය.

නිවසෙහි මිදුලේ ඇති රෙදි වැල ලඟ බිමින් බේසම තැබූ චූටි පුතා රෙදි ගොඩවල් පිටින් ලහි ලහියේ ගෙන රෙදි වැලේ අතරින් පතර ඔහේ දැමුවේ සටන මේ වන විටද අහවර වී තිබුනොත් මෙතරම් වෙලා නැරඹූ දෙයින්ද පලක් නොමැති බැව් සිතමිනි.

නමුත් තවත් විනාඩි කිහිපයකට පසු දිවගෙන එතනටම එන විට ද සටන අවසන් වී නොතිබුණ බැවින් කොල්ලා ඉමහත් සතුටට පත් විය.මුගටියා තරමක වෙහෙසට පත් වී සිටි බවක් පෙනුන අතර නාගයා ගේ තැන තැන ලේ ගැලීම් දකින්නට හැකි විය.

පෙර මෙන් වඩාත් උද්වේගකර නොවූනද දෙදෙනාම සටන අත්හැර ඇති බවක් නම් පෙනෙන්නට නොවීය. නාගයා ගේ පෙර එසවී තිබූ පෙන ගොබයේ ශක්තිය හීන වී තිබෙනු පෙනුනි. කොල්ලාට මුගටියා ගැනත් නාගයා ගැනත් සිතුනේ දුකකි. කැරකි කැරකි පල්ලම් බසිමින් හුස් හුස් ගාමින් සිටි මුගටියා , එකවරම ලෝම පුප්පාගෙන අඩි තුනක් පමණ උඩට විහිදී ගොස් හරියටම නාගයාගේ පෙන ගොබය මතටම පතිත විය , මෙතෙක් දුරින් දුරින් පැවති සටන එකා මත එකා වෙලෙන්නට ගති , මුගටියාගේ සිරුරේ සෑම තැනම විහිදෙන ලෙසින් නාගයාගේ නම්‍යශීලි දිගැටි ශරීරය වෙලී තිබුණි. පිටතට දික් වී තිබූ නාගයාගේ කෙටි වලිග අග්ගිස්ස කෙලින් වී හිසක් මෙන් වී , කොල්ලා  දෙස බලා සිටිනවාක් මෙන් පෙනුනි. එකිනෙකා ඉතා තදින් වෙලී සිටි ඒ මොහොත සටනෙහි උද්වේගකරම අවසන් හෝරාව විය. දෙදෙනාගෙන් කවුරුන් දිනයි ද සිතා ගන්නට නොහැකි වූ තැන දෙදෙනාම පරදින බවක් කොල්ලාට හැඟෙන්නට වූයෙන් ඔහුගේ සිතට දැනුනේ තදබල කණගාටුවකි. නමුත් එක් වරම මුගටියාගේ සිරුරෙහි වෙලී තිබුණු නාග දේහය ක්‍රමයෙන් ලිහිල් වී යන්නට වූ අතර සිය ලොම් සිරුර ගසා දමමින් සිරුර අරක් ගෙන තිබූ නාග වෙලිල්ල ඉවත ලූ මුගටියා , ක්ෂණිකව කොල්ලා දෙස බලා දත් විලිස්සා , සුස්....හඬ නඟමින් වන ලැහැබ තුලට දුවන්නට විය.


සිදු වූ සියල්ල නිසා උපන් බිය ට වඩා කුතුහලය දැඩි වූයෙන් නාග දේහය නොසෙල්වන බැව් සැකහැර දැන ගත්තා කොල්ලා ටිකින් ටික එතැනට කිට්ටු විය.................... එකවරම සෙලවුනු නාගයාගේ වලිග අග්ගිස්ස නිසා පිටුපසට විසි වී ගිය ද , ලොකු පයන්නක් සමඟින් පිපී වැනෙමින් තිබූ පෙනය හැකිලී ගොස් , එය නාගයාගේ සිරුරින් ද වෙන් වී ඈතට වැටී තිබෙනු දුටු කොල්ලා , මහත් දුකින් පීඩිතව පාර දිගේ නිවස දෙසට දුවනු දැකිය හැකි විය.

9 ප්‍රතිචාර:

අඟහරුවා. said...

අම්මෝ.. ඕක සෑහෙන්න දුර්ලභ දර්ශනයක්. අර මොකද්දෝ ෆිල්ම් එකක් ගහන්න යද්දී ඒ කැමරා ටීම් එකට ඔය ෆයිට් එකක් හම්බුනාලු. ඒක වීඩියෝ කරලා, පස්සේ ෆිල්ම් එකේ කෑල්ලක් විදියටම දැම්මලු. දෙයියන්ගේ රටේ ද කොහෙද ෆිල්ම් එක හරියට මතක නෑ.

Ravi said...

එම්බා දරුව! නිවැරදි වදන වනාහී "ද්වන්ද්ව" යන්නයි.

Kalana said...

ලස්සනම ලස්සනයි!

tech සයුර (Rohan Dhananjaya) said...

+++++++++++++++++++++++++++++++++++++++++++++

෴සොඳුරු සිත෴ said...

@ රවී
හරියට හරි අයියා. ඔය වචනෙ මට මතක හිටින්නෙම නෑ. මොකටෙයි අල් දයනු දෙකක්ම කියල එකක් දාලා මතක තියා ගන්නවා.ස්තුති ඔයාට

෴සොඳුරු සිත෴ said...

@ කලන
ස්තුති කලන

෴සොඳුරු සිත෴ said...

@අඟහරුවා
අඟහරුවා මාරයි නේ. තරුණ කොල්ලෙක් වුනාට ඉතාම පැරණි දේවල් ගැන හොඳ මතකයක් තියන පාටයි.ස්තුති මල්ලි

෴සොඳුරු සිත෴ said...

ටෙක් සයුර....ඔබටත් ස්තුති යාළුවා

Menaka Wasantha said...

කියවව්වා..............

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...