..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Tuesday, February 28, 2017

“ පන්තියේ කසිබිලිකාරයා හෙවත් චාමර ගේ කතාව“


 “ පන්තියේ කසිබිලිකාරයා හෙවත් චාමර ගේ කතාව“

-----------------------------




“චාමර“ ........................................................    

ඒ නම ඇහෙද්දිත් මගෙ හිතට මහා කලබල ගතියක් දැනෙන්න ගන්නවා. “ මොන විජ්ජුම්බරයක් කරගෙන ද ?“ කියල හිතන්න ගන්නවා. 



අඩි තුනක් තුනාමාරක් විතර උස , තලෙළු ජීවියෙක් මා ලඟ හිටගෙන  අත් දෙක පිටි පස්සට තියන් බැදගෙන , බෙල්ල  උස්සන් මා දිහා බලාගත්ත කළු කර ගත්ත මූණ හද හද බොරු ගොඩාක් එක දිගට කියාන යනවා පේන්න ගන්නවා. විටින් විට එයාගේ පිටුපසට බැදිච්චි දෑත් නිදහස් වෙලා මගෙ පැත්තට දික්වෙන්න ගන්නෙ සිද්ධිය වඩ වඩාත් මට පැහැදිලි කරන්න. 

පන්තියෙ අනිත් ළමයි හැමෝම අපි දෙන්න වටේ අඩ කවයක් විදිහට පෙළ ගැහිලා චාමරට ඇඟිල්ල දික්කරන්  , රවල බලන ගමන් “මෙයා තමා ටීචර්“ කියල එක හඬින් කියනව මට ඇහෙන්න ගන්නවා... 

ඒ මදිවට සුදු ෂර්ට් එකයි සුදු කලිසමයි ඇද ගත්ත වේවැලක් පිටිපස්සට කර ගත්ත කණ්නාඩිදාපු මහත්මයෙක් “ තාමත් බැරි වුනා නේද ටීචර්ට මෙයාව හරියට හදා ගන්න “ කියලා මට තරවටු කරනවා දැනිල මුළු ඉස්කෝලෙම එපා වෙන්න ගන්නවා. 

චාමර කියන්නේ අන්නෙහම මට මහ දවාලේ භයානක හීන පෙන්වන්න ගන්න පුංචි ජීවියෙක්ගෙ නමක්......................

මගේ පන්තියෙ හිටියට මොකද  චාමර සුපර් ස්ටාර් කෙනෙක් වගේ මුළු ඉස්කෝලෙම හඳුනන ළමෙක්. එයිනුත් ළමයි විතරක් නෙමෙයි. හැම ගුරුවරයම “චාමර“ ව අඳුරනවා. 

විදුහල්පති ළඟට අරන් එන නඩුවල විත්තිකරුවන්ගේ නම් ලිස්ට්ටෙකේ ඒ නම නොතිබ්බොත් “ කෝ චාමර ඉදල නැද්ද එදා “ කියල අහන තරමට චාමරගේ හැකියාවන් දිනෙන් දින දියුණු වෙනවා. ඒ නිසා බොහෝ විට නොයෙකුත් අභූත චෝදනා වලටත් නිස්කාරනේ “චාමර“ව අහුවෙනවා. 

පන්තියෙ නම් ලකුණු කරද්දි “චාමර ඉන්නව ද“ කියල ඇහුවම පන්තියෙ ගොඩක් ළමයි. “අෆෝ ටීචර් අද එයා නෑ. අද කණක් ඇහිල ඉන්න පුළුවන් “ කියල කීවත් , චාමර නැති පන්තියේ මට අඩුවක් දැනෙන්න ගන්නවා. චාමර පන්තියෙ ඉන්නෙක වෙලාවකට මහ හරි පහසුවක් අරන් එනවා. පන්තියෙ නම් ලකුණු කරද්දි , පිළිවලට එකින් එක නම් කියා ගෙන යද්දි නමේ අයිතිකාරයාට ත් කලින්ම උත්තර දෙන්නෙ චාමර.

 “ ඉන්නව ටීචර් “ 

“ ඉන්නෝ.......“ 

“ඉන්නවෝ.........“

“ එයා අද නෑ ටීචර්.... මාළු අල්ලන්න ගිහින් “

“ සඳුන් සිරිපාදේ වන්දනාවේ ගිහින් ටීචර්, තව සතියකටවත් එනේකක් නෑ...“ 

“ ඊයෙ පියුමි ආවෙ නැත්තෙ දානෙ ගෙදරක ගිහින් ටීචර්“ 

චාමර නැති දවසට චාමරගෙ යාළුවො කොච්චර සතුටු වුනත් චාමර නම් තමන්ගෙ පන්තියෙ හැම යාළුවෙක් ගැනම ඉන්නෙ අවධානයෙන් කියල ඒ උත්තර අහද්දි මට තේරෙනවා.

මොකක් හරි පෙරළියක් කරන්න කියලා ,හැමදාම උදේම ඉස්කෝලෙ එන චාමර ගෙ දිනපතා පැමිණීම අනර්ඝයි, උදේම ඉස්කෝලෙ එන චාමර ඊට පස්සෙ ඉස්කෝලෙ වටේ රස්තියාදුවෙ යනවා.චාමරට බැරිම වැඩේ තමා හිමින් කතා කරනෙක.ඒ බව මතක් කරල දෙන්න මම කියන්නේ “ චාමර මගේ කණ් දෙක තාම හොඳට ඇහෙනව පුතේ “ කියල විතරයි. කොයි වෙලාවකවත් හිමින් ගමනක් නැති , හිමින් කතා නොකරන චාමර, කට ඇරිය ගමන් අටේ පන්තියෙ උළු උඩ යනවා.

පලවෙනි කාලච්ඡේදයට සීනුව නාද වෙලා ත් විනාඩි ගාණක් පහුවෙලා පන්තියට එන චාමර ගෙ නරක පුරුද්ද නැති කරන්න හිතන් දවසක්  මගෙන් හොඳටම බැනුම් අහල මූණ කළු කරන් ඉදපු දවසෙට පස්සෙන්දා දවසෙ ඉදන් සීනුව ගහපු ගමන් පන්තියට ඇවිත් වාඩි වෙලා යාළුවො එක්ක ගුස්ති අල්ලන්න දැන් චාමර පුරුදු වෙලා. 

මගේ බැනුමෙන් පස්සේ මටත් කලින් පන්තියට එන චාමර නිසා මම පන්තියට එන්නත් කලින් චාමරගෙ නම ඉස්සරහින් ලියැවිච්චි නඩු ගොඩක් පන්තියෙ දොරකඩම පොදි ගැහිල මාව පිළිගන්න බලා ඉන්නවා.ඒ වෙලාවට චාමර මයෙ දිහා බලන්නේ “ඕකනෙ ටීචර් මම පන්තියට පරක්කු වෙලා එන්නෙ “ කියන ජයග්‍රාහී ලීලාවෙන්.

චාමර ඉස්කෝලෙ නේන්නෙ එහෙමත් ඉදහිට දවසක නිසා පන්තියෙ ළමයින්ට ඇත්තටම ඒ දවස සමරන්න තරම් විශේෂ දවසක් වෙනෙකෙත් අහන්න දෙයක් නෑනේ කියලා මේ කියවන ඔයාලටත් හිතෙනව ඇති.

ඒත් චාමර ගෙ නොපැමිණීම පන්තිය පාළුවෙන් පුරවනවා. ඒකට මට මගේම හේතු තියනවා. 

චාමරගෙ විශේෂ ලක්ෂණයක් තමා මම පන්තියෙ ඉන්න හැම වෙලේකම මගෙ ළඟින්ම ඉන්න ඕනිකම.ඒකට එයාට විවිධ හේතු තියනවා. විශේෂ හේතුවක් නැතිම උනත් හේතු හදාගන්න චාමර දක්ෂයි. ඒ වගේම එයා තමා මගෙ පන්තියෙ ඉන්න කසිබිලිකාරයා.

කහඹිලියා ඇඟේ ගෑවුනාම ඉන්න බෑ කසනවා.ඒකට හේතුව තමා කහඹිලා කොළේ තියන බූව.ඒ බූව ගෑවුනාම හොඳට සබන් දාලා හෝදල යනකම්ම කසනව. එක විදිහකට ඉන්න බැරි , නිතරම එහා මෙහා දුවන පුංචි ළමයි දැක්කාම ගෙදර වැඩිහිටියො කියන දෙයක් තමා “ මේ ළමය මොනා වෙලා ද කහඹීලියා ගෑවිල වගේ “ කියලා. චාමර ගෙ කල්ක්‍රියාව දැක්කාම මට මතක් වුනෙත් පුංචි කසිබිලිකාරයෙක්.

මේ කසඹිලිගාය නිසා චාමර එයාට හිමි ආසනයේ එක දිගට විනාඩි තුනක් වත් ඉන්නෑ. බැනල , තරවටු කරල බය කරල පුටුවෙ වාඩි කරත් විනාඩි දෙක තුනකින් ළමයෙක් එක්ක රණ්ඩුවට පැටලෙන්න චාමර හරිම දක්ෂයි. ඒ වගේම “ නැ ටීචර් මම නෙමේ............“ කියමින් මගේ මේසය ළඟට එන්නට චාමරට ගත වෙන්නෙ තත්පර කිහිපයයි.

චාමර සමහර දවසට මට ජම්බු ගෙනත් දෙනවා. 

හොරෙන් සාරි ගප්පි ගෙනත් ළමයින්ට විකුණනවා.

හයියෙන් කෑගගහ ඇගිල් උරුක් කරමින් රණ්ඩුවට යනවා.

හරියට බොරු කියනවා.

ඒත් මේ හැමදේටම වඩා ,මම පන්තියෙ ඉන්න වේලාවල් වලට වැඩි වේලාවක් චාමර ගුරු මේසය ළඟම රැදෙන්නෙ ඇයි කියන ප්‍රශ්නයට මම තාමත් උත්තර හොයනවා. 

චාමර විතරක් නෙමේ හයේ පන්තියෙ තවත් පුංචි පිරිමි දරුවෙක් පන්තියට ආපු වෙලාවේ ඉදල වැඩි හරියක් කැමති ගුරු මේසය ළඟට වෙලා මා ළඟින් ඉන්න. ඒ නිසාම දැන් පන්තියෙ දි ගුරු මේසය ළඟ රැදෙන වේලාව අත්‍යාවශ්‍ය උවමනාවන් වලට විතරක් සීමා කරන්න මම පුරුදු වෙලා.ඒත් උවමනාවකට ගුරු පුටුවෙ වාඩිවුන ගමන් කොහේ හරි ඉදල මොකක් හරි හේතුවක් හදාගෙන මගෙ ළඟට එන මේ ළමයි දෙන්නා හොයන්නෙ මොනව ද?

අද උදේම කාලච්ඡේදයෙත් මම චාමර ගෙ පන්තියට ගියා. උගන්නල ඉවරවෙලා පන්තියෙන් සමුගන්න හදද්දි චාමර මගෙ ළඟට ආවා.

“ ටීචර්ට උක් ගස් ගෙනල්ලා ඕනි ද ?“

“ඇයි චාමර ඒ සැරේ මාළු බිස්නස් පැත්තක තියලා උක් ගස් විකුණනවැයි “

“ නෑ ටීචර් හෙට මම යාළුවෙක්ට උක්ගස් ගෙනත් දෙනව. ටීචර්ටත් ඕනිද ඇහුවෙ ඒකයි “

“එන්න චාමර මාත් එක්ක “

පන්තියෙන් සමුඅරන් එද්දි චාමර මගේ පස්සෙන් ආව. පඩි පෙළ ළඟ දි මම චාමර ගෙන් මෙහෙම ඇහුවා.

“ කවුද චාමරලැයි ගෙදර තව ඉන්නේ ?“

“ මායි අම්මයි විතරයි ටීච....“



“ තාත්තා ? “

“ තාත්තා නෑ ටීචර්.................................... “ 

කවදාවත් හිමින් කතා කරන්න බැහැ කියල මම හිතාන හිටි චාමර ඒ වචන ටික කීවේ නම් මගේ කණටත් ඇහෙන්නෙ නැති තරම් හිමීට.............................






චාමරගෙ පන්තියෙ ගුරුතුමිය
මම
෴ සොඳුරු සිත෴

Thursday, February 23, 2017

උණ්ඩුක පුච්චය


උණ්ඩුක පුච්චය
-------------------------------


පන්තිය - 8 ශ්‍රේණිය
කාලච්ඡේදය - අවසාන කාලච්ඡේදය
පාඩම - ශුෂ්ක කලාපීය ශාක පත්‍ර වල අනුවර්තන

දැන් බලන්න “පතොක් “ ගහක්. කෝ බලන්න පතොක් ගහක් දැකල නැති අය අත් උත්සන්න. පන්තියෙ කිසි කෙනෙක් අත් ඉස්සුවෙ නැහැ.මේ වගේ වෙලාවල් වලට හැමදාම බොරුවට අත උස්සන විහඟ විතරක් ඉක්මනට අත උත්සල පාතදාගත්තා. අත උස්සනව වෙනුවට සිද්ධ වුනේ පතොක් ගහේ අතීත කතාවේ ඉදන් පතොක් ගහක් දකින්න පුලුවන් හැම තැනක් ගැනම ළමයි ටික මට විස්තර කියා දීපු එක. ( මුන් පැහිල දන්නෝ වැඩියි.)

“ හරි හරි ඔයාල කියපු ඔක්කෝම හරි. දැන් මට කියන්න බලන්න, පතොක් ගහේ කොළ වලට මොනා ද වෙලා තියෙන්නෙ කියලා,“

අන්න ඒ වෙලාවේ දි නම් කැළඹීච්චි සයුර වගේ තිබ්බ පන්තිය ටිකක් විතර සංසුන් වුනා. 

“ ඇත්තටම කෝ ටීචර් ඒකෙ කොළ. කොළ පාටයි නේ මුළු ගහම “

“ පතොක් ගහේ කොළ නැහැ.එහෙමත් නැතිනම් පතොක් ගහේ කොළ ක්ෂීණ වෙලා ගිහිල්ලා “

“ ක්ෂීණ වෙලා කියන්නෙ මොකක් ද ටීචර්“

“ ක්ෂීණ වෙනවා කියන්නේ නැතිවෙලා යනවා කියනෙක හරියට අපේ මුතුන්මිත්තන්ගෙ තිබ්බ වලිගෙ දැන් අපට නැහැ වගේ (මන් එහෙම කීවේ විද්‍යාගාර බිත්තියෙ එල්ලල තිබ්බ පරිණාමය පෙරහැර පින්තුරය පෙන්වන ගමන්) . ඒ වගේම අපේ උණ්ඩුක පුච්ඡයත් ටික ටික ක්ෂීණ වෙමින් යන අවයවයක් “

“ ඒ කියන්නෙ ටීචර් ඒක පුංචි වෙලා නොපනී යනවැයි“ 

“ ඒ වගේ එකක් තමා “

දැන් මුළු පන්තියම එකිනෙකා එක්ක පතොක් ගහේ ක්ෂීණ වීම ගැන කතාව. ටික වේලාවක් ඒ කතා වලට ඉඩ දුන්නු මම ආය මගේ පාඩමට ආවා.

“හරි දැන් ලියන්න බලන්න . උදාහරණයට පතොක් කියලත් ලියා ගන්න හරි ය“

කට්ටිය යුහුසුළුව අමතක වෙන්න කලින් පොත් සටහන් දාගන්නව. කාගෙත් ඔළු මේසයට බර වෙලා. ඒත් එක කොණක දෙන්නෙක් විතරක් බරට කතාව. කතාව මෙහෙය වන්නේ විහඟ.අනිකා ඇස් විතරක් නෙමේ කටත් ඇරන් අහන් ඉන්නවා.

“ මොකද ඔතන කතාව. නැගිටිනව දෙන්නම“

“ නෑ ටීචර් මේ.... “

“ ඔවු..කියනව බලන්න මටත් ඇහෙන්න “

“ නෑ ටීචර්...මේ විහඟ කියනවා ගෙදර ගිය ගමන් උණ්ඩුක පුච්චය ක්ෂීන වෙලාද කියල බලනවලු. දැන් බලන්න ලැජ්ජයි ලු “

ටිකක් වෙලා හිටපු මම යන්තම් වචන ගලප ගත්තා. 

“ උණ්ජුක පුච්චය කොහොමෙයි ගෙදර ගිහින් බලන්නේ, ඒක තියෙන්නේ ඇඟ ඇතුලෙ නේ “

අනේ ඉතින් ඊට පස්සෙ මම ශාක පත්‍ර අනුවර්තන පාඩම පැත්තක තියලා “මානව ආහාර ජීරණ පද්ධතිය “ ගැන පාඩම පටන් ගත්තා.............

Wednesday, February 22, 2017

අරුම පුදුම ළමයි - wonderful children - 01

අරුම පුදුම ළමයි - Wonderful Children  - 01


මා පන්ති භාරකාරත්වය උසුලන පන්තිය ( "ICU" පන්තිය ) අමුතුම පන්නයේ ළමයින් ගෙන් පිරී ඇත. 

එහි සිටිනා සියළුම ළමයින් එකෙකුට එකෙක් බෙහෙවින්ම වෙනස් ය. නමුත් ඔවුන් සියළු දෙනාටම පොදු වූ සාධකද පවතින අතර ඒවා ද ඔවුන් හා සමාන්තර අනිකුත් පන්ති වල ළමයින්ට වඩා වෙනස්යැයි මට සිතේ.

ඔවුන් නිතරම සිටින්නේ
සිනාමුසු මුහුණිනි.අසාමාන්‍ය තරමේ සතුටු පොදි ඔවුන් සියළු දෙනා ළඟම කොහේ හෝ රහස් ස්ථානයක සඟවා ඇති අතර නිතර නිතර එම රහස් සතුටු පොදි විවෘත කරමින් තමාගේ ද , තමා ළඟ සිටිනා  අනෙකාගේ ද ඒවා තැවරීම  ඔවුන්ගේ ප්‍රධානම කාර්යයයි..

මා ඔවුන්ගේ දුක්කදායක ගුරුවරියයි. නමුත් ඔවුන්තර සිටින විට දී , ඔවුන් එකිනෙකා අතර නිතර නිතර හුවමාරු වන සතුටු පොදි වැදී මා සිතට ද සතුට බෝවී මම ද සතුටින් පිනා යන්නියක බවට පත් වන්නෙමි. 

ඒ සඳහා මා ඔවුන්ට බෙහෙවින්ම ණයගැතියැයි මට සිතේ.

මා සිත කෝප කරවන තරමට ම ඔවුන්ගේ   ක්‍රියාශීලීත්වය බෙහෙවින්ම වැඩි ය. මා ඔවුන්ගේ කම්මැලි ගුරුවරියයි. ඔවුන්ගේ ක්‍රියාශීලීත්වය කෙතරම්ම වැඩි ද යත් එක් සීරුවකට පුටුවේ වාඩි වී විනාඩි තුනක් සිටීමට ද බැරි තරම් ය. කට නොසෙල්වා සිටිය හොත් කතා කිරීමට බැරිවේයැයි බියක් ඔවුනතර ඇතිවා මෙනි. 

ඔවුන් අතර නිතර නිතර තරඟයට සිදු වන පුංචි පුංචි රණ්ඩු බේරීමට මැදිහත් වීමෙන්ම මා ද ක්‍රියාශීලි ගුරුවරියකට බවට නිරායාසයෙන්ම පත්වී ඇති බවක් මට හැඟී යයි.

එකෙකුගේ කලබලවීම් වලට මැදිහත් වී මාගේ ආසනයට පැමිණීමටත් පෙරම තවකෙකු සමඟින් පැටලෙන ළමයකු කරා යාමට සිදු වන නිසා මට ද එක විනාඩියක් එක ලෙසට ගුරු පුටුවේ වාඩි වී සිටීමට නොලැබෙන බැවින් මම ඔවුන්ගේ දඩිබිඩි ගුරුවරිය වීමට සුදුසුකම් ඕනෑවටත් වඩා සපුරා ඇති බව මටම හැඟී ය යි.

මොවුන් සියළු දෙනාගේම දැකිය හැකි අනිත් පොදු ලක්ෂණය නම් දුක්කදායක එකකි. මොවුන් සියළු දෙනාගේම සාක්ෂරතා හැකියාව , කියවීම, ගණිත හැකියාව , තර්කන හැකියාව , විශ්ලේශණ හැකියාව අනිකුත් සමවයස් ළමයින්ට වඩා අඩු වීමයි ඒ.

නමුත් , ඉදිරිපත් වීම් , සෞන්දර්ය කුසලතා , කණ්ඩායම් හැඟීම් , සංවේදීබව මෙන්ම ශක්තිමත් බවින් ද ඔවුන් අනිකුත් අයට වඩා ඉදිරියෙන් සිටීම මා සිත අස්වසාලයි. ඉතා සරලම උදාහරණයක් මඟින් දක්වන්නේ නම් , මාගේ  කටින් “ අපි එහෙනම් දැන් මේ පින්තූරය එල්ලමු“ යැයි පිටවු සැණින්  අනිත් මිනිත්තුවේ ඔවුන් මා අසල සිටින්නේ අවශ්‍ය කලමණා සියල්ල අතින් කටින් එල්ලා ගෙනය. 

මොවුන් සියළු දෙනාම මා වැනි ගුරුවරියන් පසු කරමින් පැමිණ ,  පසුගිය වසර කිහිපය තුල දී සිදුවූවාක් මෙන්ම මේ වසර අවසානයේ දී මා ද හැර යනු ඇත. නමුත් ඔවුන්ගේ මතක හැර යාමට ඉඩ දිය නොහැකි වන්නේ ඔවුන් අනිකුත් සියළුම දෙනාට වඩා මට සුවිශේෂී වන බැවිනි.

එබැවින් , ඔවුන්ගෙන් එකෙකු බැගින් ගෙන ඔවුන් වටා ගොඩනැගී ඇති කතාන්දර ය ඔබ හා බෙදා ගැනීමට මෙය අවස්ථාවක් කර ගැනීමට සිතේ............

මතක තබා ගන්න. 
මේ පන්තිය අරුම පුදුමය. 
එහි සිටින අරුම පුදුමකරුවන් ගණන 6ක් වන අතර අරුම පුදුමකාරියන් ගණන 12කි. 

මෙතැන් සිට ඉදිරියට එයින් එකෙකු බැගින් ගෙන ඔවුන්ගේ සතුටේ රැස් වලල්ල වටා ගෙතී ඇති දුක්කදායක කතා දිගහැරීමට මම බලාපොරොත්තු වෙමි.


-----------------------------------------------------------------------------


පළවෙනි දිගහැරුමෙන්  - “පන්තියේ කසඹිලිකාරයා“ ගේ කතාන්දරය බලාපොරොත්තුවන්න.

ප/ලි- මෙහි දී යොදා ගන්නා නම් , ගම් සියල්ල මන:කල්පිත ඒවා වන බව කරුණාවෙන් සලකන්න. ළමයින්ට ද ඔවුන්ගේම පුද්ගලිකත්වයක් ඇති අතර එය සුරැකීම ඔවුන්ගේ ගුරුවරිය වන මාගේ වංගකීමයි.


අරුම පුදුම ළමයින්ගේ , ගුරුවරිය

මම
෴ සොඳුරු සිත ෴

Monday, February 20, 2017

වැස්ස


වැස්ස වහින්න පටන් ගත්තේ එයා දිහා ආපහු හැරිලවත් නොබල ගේට්ටුවෙ කොක්කවත් නොදා පාරට අඩිය තිබ්බ ගමන්මයි. හිමීට බින්දු දෙක තුනක් වැහැල පටන් ගත්ත වැස්ස උන් හිටි ගමන් හිතා ගන්නවත් බැරි තරමේ වැහි ගුලි සට සට ගාලා වැටෙන්න ගත්තා.කුඩේ ඇදිල තිබ්බ රෙද්ද ට ඒ සට පට වේගය දරා ගන්න බැරි වුනා. හරියට මගෙ හිත ඇදල එලල තිබ්බ තීරණය වගේ.

සමුගන්න වෙලාව ළං වෙද්දි ම අහස කළු කරලයි තිබ්බේ. ඒත් වහින්න ගත්තෙ සමුගැනීම සිද්ධවුනා කිවලා හරියටම ස්ථීර වුනාට පස්සෙ.

ඒ වැස්ස නිසා ඇස් වල කඳුළු වලට නිදහසේ කම්මුල් දිගේ උණුසුම්ව ගලා යන්න පුලුවන් වුනා.කූඩේට ඔරොත්තු නොදුන්න වැස්ස කුඩේ හිල් කරන් මාව තෙමන්න ගත්තේ හිතේ තිබ්බ දුක තරමට අඬන්න බැරිතරමට වගේ.

තෙමිච්චි කිකිළි වගේ , වායු සමනය කරපු බස් එහෙක මුල්ලෙ ආසනේකට ගුලි වෙලා, අධීවේගී පාරේ මම ගෙදර එද්දි හිත නම් තිබ්බෙ තාමත් අර ගේට්ටුව ගාව නැවතිලා. ගේට්ටුව ගාව නැවතිච්චි හිතයි , ඊට කිලෝමීටර් සීයටත් වඩා දුරින් ඉන්න ගතයි හරියට ගලප ගන්න බැරිව මහ රාත්තිරියෙ ගත්ත උණ දැන් නම් සනීප වෙමින් තියනවා. ඒ දොස්තර දුන්න බේත් වලට ද නැතිනම් “ ඔයාට කුඩයක් තිබ්බ ද? වැස්සට අහුවුනා ද? පරිස්සමින් ගෙදර ආව ද ? “ කියන වචන ටිකට ද කියල හරියටම කියන්න නම් බෑ.

වැස්සට අහුවෙච්චි

මම
සොඳුරු සිත

Tuesday, February 14, 2017

ගෙම්බෙක් දැමීම




ප්‍රභාසංස්ලේශණය තමා මේ මුළු පෘථිවියටම අවශ්‍ය සූර්ය ශක්තිය තිර කරන ජීව ක්‍රියාවලිය.
ඕකෙදි ඕනි වෙනවා වායු ගෝලයෙන් කාබන් ඩයොක්සයිඩ් වායුව සහ පසෙන් ජලය.
හරිත ශාක වල තියන හරිත ලව ඇතුලෙ සිද්ධ වෙන මෙම ක්‍රියාවලියෙන් නිපදවෙන ප්‍රධාන ඵලය තමා ග්ලූකෝස්. අතුරු ඵලය තමා අප කාටත් ශ්වසනය කරන්න අවශ්‍ය වන ඔක්සිජන් වායුව. ඒ තමා පාඩමේ ඉතාම කෙටි හැඳින්වීම .

පිට්ටෙන්නම ගෙවිච්චි දවස් හමාර කරල ආයමත් පොත් පිටු අතරේ මේ දඟ මලු ටික රදවන්න අමාරු , පොත් පිටු අතරෙත් එයාල තාමත් පිට්ටෙන්නෙ වෙච්චි දේවල් කතා කරන නිසා ඒ එහා මෙහා යන හිත් වලට පහුගිය පාඩම සාරාංශ කරල දීලා අද පාඩමට ආවා.
අද පාඩම තමා ශාක ප්‍රභාංසංස්ලේශණයේ දී පිටවන වායුව මොකක් ද කියල පරීක්ශනාත්මකව සෙවීම. ඒකට අපට හයිඩ්‍රිල්ලා ඕනි වුනත් අවසාන කාලච්ඡේදයේ දී හයිඩ්‍රිල්ලා ගෙන්න් පහළ තියන ඇළට බහිනව කියනෙක ඉතින් ඉබ්බා දියේ දෑවා වගේ වැඩක් නිසා පරීක්ෂණය හෙටට කල් දාලා අපි අද ඇටවුම ඇදල පරීක්ෂණයේ පියවර ගැන සාකච්ඡා කරන්න පටන් ගත්තා.
මෙන්න මෙතන දි ආව ප්‍රශ්නයක් තමා කොහොමද අපි අඩු කාලයකින් , පිටවන වායු පරිමාව වැඩි කර ගන්නෙ කියනෙක.... උත්තර නම් කලින්ම ටියුශන් මාස්ටර්ල දීල තිබ්බ නිසා ප්‍රධානම ආකාර දෙකක් ළමයි කට පාඩමින් ම කීවා.ඒ තමයි.
1. වැඩි හිරුඑළියක් ලැබෙන තැනක ඇටවුම සවි කිරීම
2. ඇටවුමට යොදන හයිඩ්‍රිල්ලා ශාක ප්‍රමාණය වැඩි කිරිම.

මේ ක්‍රම දෙකට අමතරව ජලයේ අඩංගු කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය වැඩි කිරීමෙනුත් අපට පුලුවන් අඩු කාලයක දී වැඩි වායු ප්‍රමාණයක් (ඔක්සිජන්) එකතු කර ගන්න.
ඒකට මොනාද අපට ගන්න පුලුවන් පියවර කියල ඇහුවම...... බොහොම ක්ෂනික ආපු උත්තරයක් තමා
“ ටීචර් අපි වතුරෙකට ගෙම්බෙක් දාමු “ කියන විසඳුම.... ඇත්තටම ඒ විසඳුම වැරදිම නැහැ. ගෙම්බා ශ්වසනය මඟින් ජලයට කාබන් ඩයොක්සයිඩ් වායුව එකතු කරනව ඒ වගේම එයාට ශ්වසනයට ජලයේ තියෙන ඔක්සිජන් වායුව ඕනි වෙනවා. ඒ ගැන ඇති වුනු සංවාදය රසවත් එකක් වුනා. කොහොමත් පෙළ පොතේ නැති පැත්තකට ළමයිගෙ හිත යනව කියන්නෙම පාඩම ඉතා රසවත් වෙනවා කියනෙක තමා.
ප/ලි - ජීවීන්ගේ ශ්වසනයට අවශ්‍ය වායුව කුමක් ද යන්නත් , ප්‍රභාසංස්ලේශණය අවශ්‍ය වායුව සහ ප්‍රභාසංස්ලේශණයේ දී පිට කරන වායු කුමක් ද යන්නත් දැන ගැනීම ඔබේ වයසේ හැටියට නම් අයත් වන්නේ සාමාන්‍ය දැනීම ගොඩටයි....

Sunday, February 12, 2017

අවසන් පණිවිඩය - Final Notice



මී විතට පෙම් බදින
පිරුණු හිත - නුඹේ
ඒ හිතට පෙම් බදින
සොඳුරු සිත - මගේ
මේ දවස් දෙක තුනත්
කල්පයක් - වගේ
ආයමත් හමුනොවෙමු
පෙම් කතා - පොතේ


෴ සොඳුරු සිත ෴



ඒත් රුබෙයියාට් මෙන්න මෙහෙම කියල තියනවා

කුකුළන් හඬලන විට,
සුරාහල ඉදිරියෙ සිට
‘දොර හරින්න‘ කියා,
ජනයා මොර දුන්හ.
“ජීවිතය කෙටි වන්නෙන්
මැරී යළි නො එන්නෙන්
දොර හරින්“
(රුබයියාට්-ඕමාර් ඛයියාම්)



Wednesday, February 1, 2017

බල්ලාගේ ආහාර සලාකය - Daily Food Quota of Shadow




මේ දින වල නිවසේ ඇති දරුණුතම ආර්ථික අර්බුදය ට හේතුව වන්නේ ,ආහාර සඳහා බත පිසීමයි. 

තුන්වේල බත් බුදින නිවෙස් හිමියන්ට මෙය ඉතා දරුණුවට දැනීමට හේතු වන්නේ නිවැසියන් විසින් ආහාරයට ගන්නා බත් පිස ගැනීමට අවශ්‍ය රතු කැකුළු සහල් කඩයෙන් මිල දී ගැනීමට සිදු වීමත් , ( කාලයක් අඳේට කළ කුඹුරු දැන් නිවැසියන් සතුව නැත)  රතු හාල් කිලෝවක මිල රුපියල් එකසිය පනහ ආසන්නයට ම මිල ගොස් තිබීමත් ය. 

පාන් අහාරයට එක් කර ගැනීම නිවසේ ඉතාම කලාතුරකින් සිදු වන අතර එයද විනෝද ජනක ජොලි කෑමක් ලෙස ඉදහිට චූන් පාන් ත්‍රීවීලය පසුපසින් දිව ගොස් ගන්නා ජොලි පාන් ගෙඩියකි. 

කෙසේ හෝ දැනට නිවසේ වියදම අඩු කර ගැනීමට ගත හැකි ක්ෂණික විසඳුම වන්නේ නිවසේ බත් බුදීම අඩු කර ගැනීමයි. නමුත් මෙම අඩු කිරීම කාගේ පිඟානෙන් සිදු කරනවා ද යන්න ඊළඟට පැමිණි ගැටළුවයි. 

මෙහි දී නිවසේ සියළු දෙනාගේ දෑස් නතර වූයේ නිවසේ සිටින ඉතාම අහිංසක නිවැසියා වෙතයි. ඒ මගේ අසරණ සිවුපා වා වූ “ශැඩෝ“ නැමැති බල්ලාය. තම තමන්ගේ පිඟානේ ඇති බත් ඇට ප්‍රමාණය නොසලකා හැරි නිවෙසියන් සියලු දෙනා අර අහිංසකයාගේ පිඟානෙහි බත් ඇට අඩු කිරීම සාධාරණිකරණය කිරීමට ඉදිරිපත් කල කරුණු අතර ,


* බල්ලන් නිවෙස් වල ඇති කරන්නේ නිවසේ ඉතිරිව ඉවත දමනා ඉදුල් කෑමට බවත් එබැවින් නිවැසියන් ආහාරයට ගත් පසු ඉතිරි වන යමක් ඇත් නම් පමණක් බල්ලා‍ගේ පිඟාන පිරවිය යුතු බවත්


* රාත්‍රී කාලයේ දී බල්ලන්ට ආහාර නොදෙන අතර එයට හේතුව බල්ලා රාත්‍රී ආහාරය ගෙන සැපට නිදන නිසා බවත් එවිට බල්ලාගේ ප්‍රධාන රාජකාරිය වූ හොරුන්ගෙන් නිවෙස ආරක්ෂා කිරීමට බල්ලාට නොහැකි වන බවත් , නිවෙසට පැමිණෙන හොරුන් බල්ලා ද ඔසවාගෙන ගොස් හොඳ ගාණකට විකිණීම පවා සිදු කළ හැකි බවත් ඉදිරිපත් වූ කරුණු අතර තිබූ අතර එය ද්වේශ සහගත කරුණු දැක්වීමක් ලෙසට සටහන් කර ගනු ඇතැයි සිතමි.

* බල්ලා විසින් දැන් දැන් වැඩිපුර ආහාර ගැනීම අරබා ඇති බවත් එබැවින් බල්ලා ඉතා ඉක්මනින් තරබාරු විය හැකි බවත් එය උගේ සෞඛ්‍ය තත්ත්වය අවධානමේ හෙලීමක් වන අතර එවිට අමතර වියදමක් දැරීමට සිදු වන බවත් වැඩිදුර කරුණු දැක්වීමකින් ඉදිරිපත් විය.

මෙම ප්‍රධාන කරුණු වලට අමතරව තවත් බොහෝ කරුණු ඉදිරිපත් වුයේ අහිංසකයාගේ පිඟානෙහි වූ බත් ඇට එකින් එක ඉතා සීඝ්‍රෙයන් අඩු කරමිනි.

අවසානයේ දී නිහඩව සිටි මාගේ වාරය ඉදිරිපත් වූයෙන් නැඟී සිටී මම බල්ලාගේ බත් පතට විරුද්ධව ඉදිරිපත් වී තිබූ කරුණු සියල්ල දැඩි සේ නිශ්ප්‍රභා කළෙමි. 

බල්ලා යනු මිනිසාගේ සමීපතම සත්ත්වයා බවත් ,එය ඉතා මෑතක ඇති වූ සබධතාවක් නොවන අතර මිනිසා ශිෂ්ඨාචාරගත වීම ආරම්භ වීමටත් කලියෙන් සිට සිදු වූ වක් බවත් පෙන්වා දුන් අතර බල්ලාගේ බත් පත අඩු කිරීම සත්ත්වවේදීන්ගේ රාජ්‍ය නොවන සංවිධාන වල කණට යොමු වුව හොත් අපට විරුද්ධව දරුණු ගනයේ නඩු පවා වැටීමට පුළුවන් බවත් පෙන්වා දුන්නේ ඔවුන් ඉදිරිපත් කල කරුණු හකුලා ගැනීම අපේක්ෂා කරමිනි.

එසේම , ජර්මනිය නිජබිම කරගත් මෙවැනි බලු රාජයෙක් නිවසේ සිටීම නිවැසියන්ට ගෞරවයක් සහ ආඩම්බරයක් ගෙන එන බවත් කෙසඟ ගැහුනු බල්ලෙකු නිවසේ ගෞරවය සහමුලින්ම කෙලෙසා දැමීමට සමත් විය හැකි බවත් පෙන්වා දුන්නේ මුලෑදැනියෙකු මෙන් කෙළින් කර ගත් හිසකින් සහ ගස්සා පිටුපසට කර ගත් උරහිස් දෙක නටවමිනි.

නමුත් ,

නොසිතූ ලෙසින් නැඟී සිටි  අවශේෂ නිවෙසියන් එකාවන්ව හිදිමින් , ඒ සියල්ලටම එකඟ බවත් නමුත් බල්ලා නිවෙසට ගෙන ආ පුද්ගලයා ගේ පිඟානෙන් වැඩිපුර බත් අඩු කර යුතු බවත් ඒකමතිකව තීරණය කරමින්ම බල්ලා වෙත දිගුව තිබූ දබරැගිලි මා වෙත යොමු කරමින් අවසන් තීන්දුව දීමට ඔන්න මෙන්න  තිබුනා පමණි.


නිවෙසට මේ සිවුපාවා ගෙන ආවේ මම බවත් , ඒ ගෙන ඒමට නිවැසියන් කිසිවෙකුත් හවුල් නොවූ බවත් , නිවැසියන් නිවසේ නොවන අවස්ථාවක් කල්  යල් බලා සොයමින් සිට හොර රහසේම ඌ නිවසට ගෙනාවේ මම බවත් සිහි වී.....

“ නෑ ....නෑ....කලින් විදිහ හොඳයි. බල්ලන්ට රෑට බත් කන්න කොහොමත් හොඳ නෑ තමා. අනික දැන් මූ ගජඉලන්දාරි බල්ලෙක් නේ. දැන් පෝෂණය දෙන්න ඕනි කාලෙ ඉවරයි. අපි කලින් කතා කර ගත්ත විදිහට බල්ලගෙන්ම අඩු කරමු නෙහ් ..........“ 

යැයි පවසමින් ,එතෙක් වේලා බල්ලාගේ පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටී මම අවසානයේ දී සිට ගෙන සිටියේ අවශේෂ නිවැසියන් සියල්ල න් අතර බල්ලාට සම්මුඛව හා ප්‍රතිපාර්ශවිකව හිදිමින්,  නමුත් බල්ලාගේ බැල්මෙන් මුවා වෙමින් දෑස් සඟවා ගනිමිනි.



ප/ලි- පසු දින උදෑසන බල්ලා වත්ත පහළ කොස් ගස දෙසට යනවා කිහිප දෙනකු විසින් දැක තිබුණි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...