..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Monday, November 13, 2017

හංසජිත් ගේ පුනරාගමනය



හංසජිත් ගේ පුනරාගමනය
-----------------------------

නෙතට හුරු පුරුදු නැති කුඩා කොලුවෙකි. නිල් කොට කලිසමත් සුදු කමීසයත් ඇඟ ට නුහුරු බවක් ගෙනෙයි. සුදු කමීසයේ උඩ බොත්තම් දෙකද නොපියවී ඇත්තේ මුරණ්ඩුකම ප්‍රදර්ශණය කරනවාට වඩා නුහුරු බව හුවා දක්වමිනි. පාසලේ ළමයින් කොපමණ ද සිටිය ද , අලුතින් පාසලට පැමිණෙන දරුවෙකු හඳුනා ගැනීමට නොහැකියාවක් මේ කුඩා පාසල තුල නැත. සෑම දරුවෙක්ම නෙතට පුරුදය , කණට හුරුය. 

“ පුතා අලුතින් ද ඉස්කෝලෙ ආවේ , මොකද ඔය කමීසයේ බොත්තම් දෙකම ඇරල දාලා “

කිසිම ගරු සරුවක් නොදැක්වූ කොල්ලා “ මොකක් ?“ යැයි ඇසුවේ කමීසයේ බොත්තම් දැමිය යුතු බැව් ඔහු නොදන්නා බැව් හඟවමිනි.

“ නෑ ටීචර් . . . එයා ඉස්කෝලෙ ආවා ඉස්සර. කාලෙකට පස්සෙ අදයි ආපහු ඇවිත් තියෙන්නේ “

“ ඇත්තෙයි ? , මොකෝ ආපහු ඉස්කෝලෙ එන්න හිතුනේ “

“ නෑ ටීචර්. ගමේ මිනිස්සු පෙත්සම් ගහලා..... බාප්ප මාව ඉස්කෝලෙ එවුවා ,මම ආස නෑ ඉස්කෝලෙ එන්න. මම දවසට දළු කිලෝ විස්සක් කඩනවා. හරක් දක්කනවා. වත්තෙ වැඩ කරනවා.මම කැමැති ඒවට. ඉස්කෝලෙ එනේක හරිම වදයක් “

මේ කොල්ලා සමඟ පාසල් පැමිණීමේ වැදගත්කම කතා කිරීමට මේ වේලාව නොවන බැව් හැඟුනෙන් එම කතාව එතැනින් නිම වූ අතර ඔහුගේ පන්ති බාර ගුරුතුමා විසින් දන්වා ඇති පරිදි ඉන් පසු දින ඔහු පාසලට පැමිණ සිටියේ තම මවත් සමඟිනි. එක දිගට දින ගණන් මාස ගණන් පාසල් නොපැමිණියවුන් නාම ලේඛනයෙන් කපා හරින අතර , ඕනෑ විට එන්නටත් එපා වූ විට හැර දමා යන්නත් පාසල තෝතැන්නක් නොවන බවත් , දරුවා දිනපතා පාසල් එවීමට කටයුතු කිරීම දෙමාපිය වගකීමක් බවත් පෙන්වා දී ම එහි අරමුණ වන්නට ඇත. නමුත් ඔහුගේ පසුබිම් කතාව අනුව ඔහු තවත් දින කීයක් පාසල් ඒ දැයි කීම උගහට වේ.

ඔහුගේ තනිකඩ මව නැවත විවාහ වීමෙන් පසුව නිවසට පැමිණි බාප්පා විසින් මොහු නැවත පාසල් එවීමට කටයුතු කර ඇත. ඔහුගේ යටි අරමුණු කුමක් වුවත් දරුවා පාසල් ඒම සතුටට කරුණකි. නමුත් ඔහුගේ කැමැත්ත අන් තැනක නතර වෙද්දී අසතුටින් පාසල් පැමිණිම වනාහි ඔහුට මෙන්ම තවත් අයට අපහසුතා ගෙනෙනු ඇත. මෙවැනි දරුවන් මේ පාසලේ පහළ ශ්‍රේණි වල ඉදහිට හෝ හමුවීම අරුමයක් නොවන අතර , මොවුන්ගේ දෙමාපියන් තම දරුවාපාසල් නොපැමිණිම නීතිමය වරදක් බැව් තවමත් නොදන්නවා වන්නට ඇත.වදෙන් පොරෙන් පාසල් යැවීමට වඩා , අතේ හුරුවෙන් , හිතේ දහිරියෙන් ජීවත් වීම ට ඉඩ දීම දෙමාපියන්ගේ හිත සැනසිල්ලට පත් කරනවා වන්නට ඇත. ඔවුන් ඒ තරම් සරල වෙද්දි අපි මේ තරම් සංකීර්ණව හිතන්නේ ඇයි දැයි විටෙක මට සිතේ. හංසජිත් තවත් කොපමණ කලක් පාසල් ඒ දැයි හරියටම පැවසීමට නොහැකි වූවත් , දෙමාපියන් විසින් පාසල් එවනු ලදුව මා පාසල් ආවා මිසක , පන්තියෙන් පන්තිය උසස් වූවා මිසක , උසස් පෙළ වැට ගාවදී අනාගතය ගැන යාන්තමින් හෝ සිතන තුරු මටද හරි හමන් අරමුණක් නොතිබි බැව් නම් ඉදුරාම පැවසිය හැකි ය.

6 ප්‍රතිචාර:

දේශක යා said...

උසස් පෙල ජීවිතයේ හැරවුම් ලක්ෂය වන්නෙ අතලොස්සක් සදහා පමනි

Mahesh Rathnayake said...

මෙහෙත් ඉන්නවා හංසජිත් වගේ කොලුවෙක්
ඌත් ඔය වගේමයි වෙනසකට තියෙන්නේ මේ අහ තේ දළු නෑ හැබැයි උගෙ රාජකාරිය හරක් දක්කන එක
පොරට දැං යමක් කමක් තියෙනවා
අනෙ මංද

chef-architect said...

ඔවුන් ඒ තරම් සරල වෙද්දි අපි මේ තරම් සංකීර්ණව හිතන්නේ ඇයි දැයි මටත් සිතේ.......!

Rangana Ranathunga said...

Children should not be allowed to make dicision by themselves...

Ravi said...

/ ඕනෑ විට එන්නටත් එපා වූ විට හැර දමා යන්නත් පාසල තෝතැන්නක් නොවන බවත් .../

මෙතන කියන්න ඕන "තෝතැන්නක්" කියල නෙවෙයි "අම්බලමක්" කියල.

තෝතැන්න කියන්නෙ යමක් ඉතා සරුවට වර්ධනය වන සාර භූමියකට...."මනබන්ධනීය ගතිගුණයන්ගෙන් හෙබි රූමත් සහ බුද්ධිමත් යුවතියන්හට තෝතැන්නක්වූ අකුරැහි ප්‍රදේශයේ උසස් වර්ගයේ සුනඛයින්ගෙන්ද හිඟ වූයේ නොවේ..." ලයික් දැට්..යූ අන්ඩර්ස්ටුඩ් මෑම්?

විචාරක Wicharaka said...

මවැනි තත්වයන්වලට බලපාන ප්‍රධාන සාධකයක් විදියට මම දකින්නේ පොඩි කාලෙම විවිධ හේතු නිසා ළමයින්ට අධ්‍යාපනය එපා උනාම එය වයසින් මුහුකුරා යද්ද්ි තවත් වැඩිවෙනවා
විචාරක දියණිය

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...