..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Friday, October 13, 2017

ගුරු පඬුරු

ගුරු පඬුරු


සත්‍ය කතාවක් ඇසුරිනි ............

කුඩයට දැරිය නොහැකි වැසි බිදු හමුවේ , කුඩය යටින් යන ඇය වැසි දෙකකට හසුවූවාක් මෙන් තෙමී ගියා ය. සාරිය ඇඟට ඇලී පය පැටලී වැටෙන්නට ද ගියා ය. නමුත් වැස්ස කිසිදු අනුකම්පාවක් නොමැතිව වසිමින් තිබූ අතර , ඇය හා වරුසාව අතරින් වාහන  එහා මෙහා ගියේ මහා ඝෝසාවෙන් නලා හඬවමිනි. 

වේගයෙන් කටු කැරකැවෙමින් ඇති නගරයේ ඔරලෝසුවට වැස්ස නිසා හිමින් කැරකරවීමට බැරිවාක් මෙන් ම සඳුදා දිනයේ එහා මෙහා දුවනා මිනිසුන්ට ද වරුෂාවකට මොහොතක් නැවතීමට ඉඩක් නම් කොහෙත් ම නැතිවාක් මෙනි.

ඇය සිටියේ මහ නගරයක තදාසන්න උප නගරයක තුන්මන් හංදියක් අසල වූ කුඩා බස් නැවතුමක කුඩයක් ඉහලා ගෙනය. අද ඇයට පාසල් යා යුතු දිනයක් නොවූ අතර රාජකාරිමය කටයුත්තක් සඳහා කලාප කාර්යාලයට යා යුතුම වී තිබුනි.

ඇය යා යුතු වූයේ ඇගේ වම් පසට  දිවෙනා බසයක වූ අතර ඇය වෙනදාට යන්නේ ඇගේ දැන් දකුණු පසට දිවෙනවා බසයකට ගොඩ වී ය. ඇය යනෙන මේ ගමන අතර තුර දී නිතර ඇයට මුණ ගැසෙන අය  අතර ඇගේ ගෝලයන් ද වූ අතර එය ඉතා සාමාන්‍ය වී , ඇය ගුරුවරියක වීම කිසිදු විටක කිසිවෙකුට වැදගත් නොවී ය.

මඟට බට වහා අපි කවුරුන් ද යන්න කිසිදු විටක කිසිවෙකුට වැදගත් නොවන අතර වැදගත් එකම දේ කෙසේ හෝ තමන්ගේ ගමනාන්තයට ළඟා විමයි.

ඇය සිටිනා ස්ථානයට ලම්භකව දිවෙන්නෙ නගරයට යා යුතු ප්‍රධාන මාර්ගයයි. තුන්මන්සල වෙන් කිරීමට යොදා ඇති රවුමේ විවිධ වර්ගයේ මල් පිපී වැස්සට තෙමී පොළව බදාගෙන මියැදෙන්නට ආසන්නව ඇත. නමුත් වැස්ස පායන පාටක් නම් ඇත්තේම නැත.

ඒ ප්‍රධාන මාර්ගයේ වැස්සට තෙමෙමින් තම රාජකාරි කරමින් සිටි පොලිස් නිළධාරියකුගේ ඇස් වසා හදිසියේම ඇය සිටි පැත්තට කැපූ ත්‍රීවිලයක වැසි ආවරණය ක්ෂණිකව එක් අතකින් නිරාවරණය වනවාත් , ත්‍රී විලය ඇය ළඟින් නතර කරනවාත් සමඟින්ම ඇය ත්‍රීවිලය තුලට විසිවූයේ ත්‍රීවිල් රියදුරාගේ කෑගැසීමේ තමටමට ය.

 “ නගින්න මිස් නගින්නනනනන...නගින්න නගින්න..... ඉක්මන් කරල නැත්තම් අරූ ලියනවා “

චාරයක් නැති ත්‍රීවිලය වහාම වාහන අතරින් කපා ඇය පාසල් යන දෙසට හෙවත් ඇගේ දකුණු පසට පදවන්නට ගත් වහාම ඇය පියවි සිහියට විත් “ අනේ ළමයෝ මම අද ඉස්කෝලෙට නෙමේ යන්නේ “ යැයි යන්තමින් කියා ගත්තාය.

“අයියෝ ............ටීචර් .........හරි කමක් නෑ ..........දැන් ටීචර්ට යන්න ඕනි  කොහාට ද “ 

“මට යන්නෝනි කොළඹ පැත්තට.මට 234ක් ගන්න පුලුවන් තැනකින් බස්සන්න ළමයෝ “

“ හරි හරි  .......ඔහොම ඉන්න “ නැවතත් පොලිස් නිලධාරියාගේ දෑසට වැලි ගසමින් ගිනිමහ වැස්සේ ප්‍රධාන පාරෙන් කොළඹ දෙසට කැපූ ත්‍රීවිලය එක හුස්මට කොළඹ දෙසට පිඹින්නට විය.

“ ඔය  ළමයායායා...................“

“ අයියෝ ..........මාව ටීචර්ට මතක නැතිව ඇති. ඒ අනාට මම ටීචර්ගෙ ඉස්කෝලෙට තමා ගියේ. මම හැමදාම දකිනවා ටීචර් ඉස්කෝලෙට යන්න ඉන්නවා.මම හිතුවෙ අදත් ඉස්කෝල යන්න කියලා. වැස්ස නිසා තමයි ආටා එක ඇල්ලුවේ “

“ පුතා කොයි පැත්තට යන ගමන් ද “

“ මම කිරිබත්ගොඩට යන ගමන් “

“ එහෙම ද, අනේ පුතේ මාව 234ක ට දාන්න“

“ හරි හරි ටීචර් බය නැතිව ඉන්න කෝ. යන්න ඕනි කලාපෙට නෙ .මම බස් එකක් අල්ලල නතර කරන්නම් “

වාහන අස්සෙන් රිංගමින් , ඇතැමුන්ට මහ හඩින් බනිමින් ඉතා අවිචාරවත් ලෙස එලවු ත්‍රීවිලය අවසානයේ දී තමාට ඉදිරියෙන් ගමන් කරමින් තිබූ 234 බසයක් පසු පස ලුහුබදින්නට විය. අවසානයේ දි එක් නැවතුමක බසය නතර වූ වහා ම නැවතූ බසය පසු කරමින් ගොස් බසයට ඉදිරියෙන් ත්‍රීවිලය නැවතූ හෙතෙම ත්‍රීවිලයෙන් බැස ගියේ ෂර්ට් කොලරය බෙල්ල පසුපසට කරමින් දෑත් දෙපසට දිගු කරමිනි.

“ එන්න ටීචර් ........... “

“ නගින්න ටීචර් ............“

ඇය බසයට ගොඩවන විට ඇය පසු පසින්ම බසයේ පාපවුරුවේ පඩි දෙකක් නැගගත් කොල්ලා “ මේ අපේ ටීචර් .........කවුරු හරි සීට් එකක් දෙන්න වාඩි වෙන්න “ යැයි හඩ නැගුවේ මුළු බසයටම ඇසෙනා ලෙසටය.

ඒ හඬින් මදක් පසුබා ගිය ගුරතුමිය ලත් තැනම වූ ආසනය ට ඉක්මනින් සිය සිරුර බර කර ආසනය තුලට ගිලී ගියා ය.

“ එහෙනම් ටීචර් මම යනවා“ ඉතා යටහත් ලෙස පැවසූ ඔහු පාපුවරෙුවෙන් බිමට බැස , පාපුවරුවට නැග ගත් කොන්දොස්තරට “ මේ අර අපේ ටීචර් කෙනෙක් හරිය. කලාපෙ ලගින් බස්සනවා තේරුනා ද. නැත්තම් මම බලා ගන්නම් .මතකනේ කලාපෙ ලග “ යැයි පවසමින් කොන්දොස්තර කොලුවාගේ පිට හරහා තම අත්ලේ පහස මුදා හැරියේය.

මේ සියල්ල නිසා තක්බීර් වී සිටි ගුරුතුමිය , තම ගමන මුලුල්ලේ මද , නිවසට පැමිණි තැන සිට නින්දට යනතුරු ද ඒ ළමයා කවුදැයි මතක් කල ද අද වනතුරුත් ඔහු කවුරුදැයි හඳුනා ගැනීමට ඇගේ ගුරු සිත අපොහොසත් වී ඇත.

14 ප්‍රතිචාර:

Lalith perera said...

මරු කතාව ,

තඩියා said...

ඔන්න පන්තියෙ අන්තිම පේලියේ හිටපු කොල්ලෙක්. ටීචට මතක නැති වුනාට කොල්ලට මතකයි ටීචව

Buddhika Erandi Jayasinghe said...

මාත් ආවේ කියන්න තඩියා කියපු කතාවමයි :) :)

ආචාර්ය Weerakoon said...

එකෙන්ම ගුරුවරු අමතක කොට දැමු නමුත් හැමදාමත් ගුරුවරුන්ව හදේ තබසිටින අවසන් පේලියේ එකෙක්

Mahesh Rathnayake said...

අන්තිම ⁣ පේලියක හිටිය සඟයෙක්

විචාරක Wicharaka said...

ගුරුවරුන්ට ළමුන් අමතක වුවත් ළමයි ගුරුවරුන් මතක තබා ගනිති. හේතුව ළමයට පොතේ දැනුම මෙන්ම ජීවිත දැනුමද ඇතැම් ගුරුවරු ලබා දෙන නිසාය. ගුරුවරුන් මතක තබා ගන්නා අයට වරදින්නේද නැත. පඩුරු වෙනුවන් නොව ළමුන් වෙනුවෙන් වෙහෙසෙන ගුරුවරුඅද සමාජයේද සිටිති
විචාරක දියණිය

surangamlr said...

ඒ පස්සෙ පේලියෙ මෝඩයෙක්

෴සොඳුරු සිත෴ said...

කලකින් මොකද මෙච්චර කමෙන්ටු කියල මට පුදුමත් හිතුනා. ඉස්සර නම් ඉතින් (2009 /2010 වගේ කාල වල) පුදුමාකාර කමෙන්ටු තොග පිටින් වැටුනනනේ.... ඒකට දැන් ඉතින් එක කමෙන්ටුවක් දැක්කත් සතුටුයි. කියවන අය ගොඩක් හිටියට , කමෙන්ටුවක් වියදම් කරන්නෙ එහෙමත් කෙනෙක් නේ. ස්තූති එහෙම කාලය මිඩංගු කරල මා වෙනුවෙන් කමෙන්ටුවක් ලීවාට....

තරඟයක් නොමැත said...

මම වගේම අන්තිම පේලියේ එකෙක්.අන්තිම පෝලිමේ එවුන් තමා වැඩි හරියක් ගුරුවරු දැක්කම කතා කරන්නේ. උන් තමා ඉස්කෝලේ කාලේ වැඩියෙන්ම බැනුන් ඇහුව්වෙත් ගුටි කෑවේත්. එත් ඒ ගුරුවරු හැමදාම අපේ හිත් වල උඩින්ම ඉන්නවා. ලස්සන කතාවක්. පොෂ් එවුනට හරි යන්නේ නෙති වෙයි. එත් මට හිතට වැදිච්ච කතාවක්.

[°•_•°] {`^`…´^´} (~•`_´•~) said...

ඉස්සර කමෙන්ට්ස් ගොඩයි ඒවට උත්තරත් ගොඩයි. දැන් පෝස්ට් එක්ක කකමෙන්ට්ස් කියවද්දි මිනිස්සු පිස්සො වගේ තනියම කියවලා ගිහින් වගේ. ඒත් මේ ලිවිල්ල රහයි. ජයවේවා!

ලිඛිතා said...

wonderful

කණ්ඩා ~ Kanda said...

මට ගමේ ඉස්කෝලෙ ගුරුවරු වගේම ඒ මිනිස්සු අපේ ඇස් පාදන්න ගත්තු වෙහෙස මතක් උනා. නමුත් පහු කාලෙකදි ගෙන්දගම් පොළවෙදි නම් බොහොම අඩුවෙන් එහෙම අය හමු වුණේ :)

සෙව්වන්දිය said...

සමහර විට වෙන පංතියක හිටපු ළමයෙක් වෙන්න ඇති.

kenji@japan said...

පට්ට ගුණවත් තුන්රිය එලවන කොල්ලෝ ඉන්නවා....හැබැයි පාරේ වාහනය අරගෙන යන එකනම් ...ලෙසටම ගූ.....සොසියෝ......

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...