..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Wednesday, October 18, 2017

ආදර ප්‍රදී 8 - වැරදුනු කුරුමානම

ආදර ප්‍රදී
8 - වැරදුනු කුරුමානම



“ උඹ මගෙ කතාව වෙනස් කරනවා “  ඒක නම් කීවෙ ටිකක් විතර නොරිස්සුමෙන්මයි.

“ අනික ......... උඹ දැන් මගෙ කතාව ලියනෙක දවසින් දවස පහු කරනවා “ නොරිස්සුමට තවත් ටිකක් ඔහු එකතු කලා.

“ ඇත්ත ට ........... මට ඉරිසියයි.ඒකයි නොලියන්නේ “ අත් දෙක පිටිපස්සට කරල බංකුවට බර දීලා හිටපු මම දකුණු පැත්තෙ උරහිස පද්දල අරන් ඔහුගෙ උරහිසෙ වද්දන ගමන් කීවේ , ඒ කතාව වැඩිය සීරියස් ගන්නෙ නැති විදිහට. ඒත් දැන් බලද්දි ඇත්තටම මට “ප්‍රදී “ ගැන හරිම ඉරිසියාවක් ඇති වෙමින් තියනව වගේ

“ උඹ මගෙ කතාවේ කොටසක්ම නැති කරල දාලා “

“ මට කීව ටික තමා අනේ මම ලීවේ. ප්‍රදී ඉස්කෝලෙන් ගියාට පස්සෙ , එතන මොකක්ද හිස් ගතියක් තිබ්බ නේ. “

“ නෑ ....... මම උඹට කීවා. ප්‍රදී ෆස්ට් ශයි එක කරාට පස්සෙ සෙකන්ඩ් ශයි එක කරන්න ගාලු ගියා. මට මතක හැටියට නම් සංඝමිත්තෙට. එයාලට තිබ්බා ගාලු කොටුව ඇතුලෙ ලොකු ගෙයක්.ඒක අයිති එයාගේ තාත්තට. හැබැයි .......ඒකෙ හිටියෙ එයාගෙ නැන්දා...........ප්‍රදී ගියේ මේ නැන්ද ළඟට.......... ඒත් උඹ කතාව එහෙම් පිටින්ම වෙනස් කරල “

තව දුරටත් ඒ නොරිස්සුම දරන්න බැරි නිසා නිහඬ වුනු මම පරිගණකය විවෘත කරපු ගමන් ඔහු මට මීට කාලෙකට කලින් එවල තිබ්බ හැම ඊමේල් එකක්ම ආපහු චෙක් කරන්න ගත්තෙ මට මඟෑරුනු ඒ කොටස් ටික හොයන්න.


-------------------------------------------------------------------

ප්‍රදී ව ඇරලන්න ප්‍රදීගේ දඹේතැන්න ගෙදරට ගිය දවස මතකයේ සුන්දර දවසක් වෙලා අදටත් ඉතිරි වෙලා තියනවා. “ සිහින ලොවක් දුටුවා  ...... මතකයි “ සිංදුව ඇහෙද්දි , ඇස් දෙක පියාන ඒ දවසට යන්න අදටත් එයාට පුලුවන් ඇති. 

එදා ඇතිවුනු මිතුරුකම  මේ තරම් සිත රිදවන එකක් වෙයි කියලා මීෂාටවත් හිතෙන්නෙ නැතිවැති.

අනූෂා අත්කර දුන් ප්‍රථම ප්‍රේමයේ මිහිරි මතකයත් , ප්‍රථම විරහවේ අමිහිරි දුකත් හමුවේ , උසස් පෙළ ලියූ මීෂාගේ ප්‍රතිඵලය සුබ දායක එකක් වුනේ නැති නිසා දෙවන සැරේට විභාගයට පෙනී සිටීමට ඔහුට සිදු වූයේ අනූෂා නිසා ඇති වූ අමතක කල නොහැකි විරහව ත් එක්ක.

සිත් වේදනා නැති කරන්න වෙනත් බොහෝ ක්‍රියාවන් හි නිරත වූ මීෂා ගේ සිත සුවපත් කිරීමට “ ප්‍රදී “ ගේ ආශ්‍රය ඉවහල් වෙන්න ඇති කියල මට ත් හිතෙනවා.

ඒත් , ප්‍රදී . . . .  පලවෙනි සැරේ විභාගයට පෙනී සිටිමෙන් පස්සෙ එයාගේ තාත්තගෙ ගම් ප්‍ර දේශය වෙච්චි ගාලු පුරවරය බලා ගියපු නිසා  මීෂා ගේ විරහී සිත තවත් වේදනාවට පත් වෙන්නට ඇති.

ප්‍රදී ගේ තාත්තාගේ නිවස ගාලු කොටුව තුල වූ විශාල පැරණි නිවසක් කියලත් එහි දැනට පදිංචි වී සිටින්නේ පියාගේ සහේදරයික කියලත් ප්‍රදී , මීෂා ට ලියපු ලියුම් වල තිබිල තියෙනවා.. ඒ ලියුම් පිටු ගාණක් දිගයි කියල මිෂා මට කියල තියෙනවා.

මීෂා ගේ දෙවන උසස් පෙළ කාලය ආරම්භ වන්නේ මෙවැනි ගැටළුකාරී ජීවන අත්දැකීම් මත වුවත් ඔහුගේ සිත ප්‍රදී ළඟ නතර නොවී යැයි කියන්නට තරම් සාධක මට නැහැ.. නමුත් ප්‍රේමයත් - මිතුරුදමත් අතර තැනක නැවතුනු නිමේශයක උපන් ස්නේහයක් ඇය වෙනුවෙන් ඔහු සිත තුල හටගෙන අද වෙනතුරු ද නොනැසී පැවතීම නම් මා සිත තුල ඉරිසියාව ජනිත කරුවන කරුණක් බැව් නොකියාම බැරිය.

පිටු ගණන් දිගැති ඒ ලියුම් පසුකාලීනව මීෂාගේ රූමත් පුද්ගලික ලේකම්වරිය විසින් පුලුස්සා නොදමන්නට , අද වන විට මේ කතාව ගෙතීමට තිබූ “ස්වර්ණමය දායදයක් “ වන්නට ඉඩ තිබුනි.

ඉගෙනීමත් , විරහී සිතත් තුලනය කර ගැනීමට මීෂා “ කරාතේ “ ඇකැඩමියකට බැදී පුහුණුව ලැබූ අතර , එහි සිදුවන සෑම දේම ප්‍රදීට ලියා යැවීමට ද අමතක නොකලේය.

ගුරුවරියක වන මීෂාගේ මවගෙන් කිසිදු උපකාරයක් , දිරි ගැන්වීමක් කරාතේ පන්තිය සදහා නොලැබීම නිසා පන්ති ගාස්තු සොයා ගැනීමට මීෂාට සිදු වූ තවත් අභ්‍යගයකි. නමුත් අද වගේ ඩිජිටල් යුගයක් නොවූ එකල කඩ , සිනමා ශාලා ආදියෙහි නාම පුවරු  ඇදීමෙන් ලබා ගත් මුදල් ඔහුගේ වියදම් පියවා ගැනීමට තරම් ප්‍රමාණවත් වී තිබුනි.

පළවු වර නිමා කර ගත නොහැකි වූ විෂය නිර්දේශයන් නිම කර ගැනීමට පුද්ගලික පන්ති යාමට මීෂාට සිදු වූ අතර ඒ සඳහා කොළඹ නැවතීමත් , නැවතුනු නිවහනේ ගැහැණු ළමයින් සම්බන්ධ කතා ලිවීමටත් තවත් පිටු ගානක් වැය කිරීමට මට සිදු වනු ඇත.

කොළඹ නැවතීමට ඔහුට සිදු වන්නේ පාසලේ සිටි උසස් පෙළ ගුරුවරුන් සියල්ලන්ම ඔහුගේ පාසලේ විදුහල්පති සමඟින්ම කොළඹ නගරයේ ප්‍රධාන පාසලකට ස්ථාන මාරු කල බැවිනි. අද මෙන් පුද්ගලික පන්ති බහුල නොවූ එකල කොළඹට විත් දෙවන වර විභාගයට ඇවැසි නොලැබූ දැනුම ලබා ගන්නට සිදු වූ ව ද , සතියේ දින දෙක තුනක පාසල් මිතුරන් සමඟින් එක් වී පාඩම් වැඩ කිරීමට ද කරාටේ පන්තියට යාමට ද , ප්‍රදීට පිටු ගණන් ලියුම් ලිවීමට ද ඔහුට තිබූ හැකියාව ගැන මම තවමත් පුදුම වන්නෙමි.

පාසලේ ප්‍රධාන ගොඩනැගිල්ලක පන්ති කාමරයක කුටු කුටු ගානා කෙල්ලන් කොල්ලන් රැසක් ලොකු ගැටළුවකට මුහුණ දී ඇති බැව් දුර සිටන මට පෙනේ.පාසලේ ඉඩ කඩ මදි වූයෙන්  ද යහළුවන් සියල්ලන්ටම එකතු වීමට හැකි කාලය වූයෙන් ද ඔවුන් සියළු දෙනා පාසලේ එකතු වන්නේ ඇදිරි වැටුන විට බැව් ඔවුන්ගේ කතාවෙන් හැඟේ

“ මේ වැඩේ කරන්න බෑ බන් . බලහන් දැන් කොහොමද කියලා ඕර්ගනික් කෙමිස්ට්‍රි ටික මම අහ ගන්නේ “

“ චුරු චුරු ගාන්නැතිව හිටපන් කො බන් ගෑණි වගේ . මගෙ ලග හොද ප්ලෑන් එකක් තියනවා. වරෙන් කො යන්න.අනිත් වුන් හිටපල්ලා. අපි ඉක්මනට එනවා.... “

ඉස්සර වූ කොල්ලෙකු , තවත් කොල්ලන් දෙන්නෙකු ද සමඟින් පාසලෙන් පිටව යනු පෙනේ. මීෂා ද ඒ අතර වේ.

පාසලෙන් පිටත වැටි ඇති පාර දිගේ යන ඔවුන් වසා ඇති කුඩා කඩයක් ළඟ නතර වෙනු පෙනේ. ඉස්සර වී පැමිණි කොල්ලා වට පිට විපරමෙහි යෙදෙන අතර  , තවකෙකු කඩයේ විවෘත වී ඇති කොටසට ගමන් කර එහි වහලය දෙස විපරමින් බලයි. නැවත එළියට එන ඔහු අනිත් දෙදෙනාට “වරෙන් “ යැයි හිසින් සන් කරයි.

දැන් තිදෙනාම සිටින්නේ කඩයේ කුඩා විවෘත හිඩැසේය. තිදෙනාම වහලය දෙසට යොමූ නෙත් ඇතිව කටත් අයාන බලා සිටිති. මම ද හිස හොවා උඩ බැලූවෙමි.




සිංහල උළු හෙවිලි කර වහලේ කිසිදු විශේෂත්වයක් මට නම් නොපෙනේ. නමුත් වහලය බිම් මට්ටමේ සිට සැලකිය යුතු උසකින් යුතු ය.

“ උඹ නැගපන් කරට “

ඉස්සර වී පැමිණි කොල්ලා මීෂා ගේ පිටට තට්ටු කරමින් හිමින් පවසයි. එ් වදන් ගිලිහෙත්ම අනිකාගේ පිටට නැගි කෙට්ටු මීෂා ගේ අත වහලයේ තිබූ යමක් වෙත දිගු වනවාත් සමඟම කඩයේ විවෘත කොටසේ තිබූ ආලෝකය නැතිව ගොස් ඝන අදුර පැතිර යන්නට විය.

අහෝ ............මුන් වැනි ජඩ කොල්ලන්. කඩයේ විවෘත කොටස ආලෝකමත් කරමින් තිබූ බල්බය දැන් ඇත්තේ , පාසලේ ඔවුන් කලින් නැවතී සිටි පන්ති කාමරය ආලෝකයෙන් පුරවා ලමිනි. ඔවුන් පාඩම් කරයි. එකිනෙකාට විහිලු ද කරයි. ඒ අතර මීෂා ට ප්‍රදී ගේ මතකය ද විටින් විට විත් යයි.ඇතැම්  විට අනුෂා ද සිත පාරයි. එවිට ඔහු කොළයක කොණක අදින බලි කුරුටු මගින් තම හැඟීම් මුදා හරියි.

“ මොනා ද බන් කරන්නේ , අනේ බන් මට මේ ටික තේරෙන්නෑ කියා දීපන් කෝ. උඹ ඉතින් කොළඹ ගිහින් අතෑරිච්චා ඉගෙන ගෙන ආවට අපට කොයින්ද බන් එහෙම චාන්ස් “ 

“ ඒ බන් අපි බල්බෙක ගලවල තියල යමු ද?“

“ ඕනි නෑ බන් . අපි වගේ මරිසි වැඩ කරන වුන් වෙන නැතිවැති නෙ. අනික ඉස්කෝලෙ බල්බ් උස්සන්නෙ කවුද බන් “ රැ බෝ වී වැඩිවිට එකිනෙකාගෙන් සමුගන්නා ඔවුහු යලිත් හමුවන පොරොන්දු පිට සමුගනිති.

නමුත් , ඔවුනටද වඩා මරිසියන් සිටිනා බැව් දැන ගන්නා විට ප්‍රමාද වැඩි ය. දින දෙක තුනකින් අතුරුදන් වන ඔවුන්ගේ විදුලි බල්බයේ හිස් තැන පිරවීමට නැවතත් මීෂා ඇතුලු තිදෙනා පැරණි කඩයේ විවෘත හිඩැසේ එකා පිට එකා නැගිලාය.

කෙට්ටු , සැහැල්ලු මීෂා උඩම කොණේය. ඔහු බල්බය ගැනීමට අත දිගු කලා පමණි.

“සලා..............................න් .“  

එකවර  සියල්ල අඳුරු වූ අතර  තිදෙනා ගෙම්බන් පොලවෙ ගැසුවා සේ  විසිරී ගොස්තැ න තැන වැටී සිදුවු කිසිවක් ගැන නිච්චි නැතිවා සේ අතපත ගාන්නට විය.

“ මොකක් ද යකෝ ඒ වුනේ ?“

“ කවුද යකෝ බල්බ් එකට පයිල් කටුවක් ගහපු පරයා ...............“  

“ වරෙන් බන් යන්න ..........“

බිදුනු වීදුරු කටු ද , ඇනුනු දණහිස් කටු ද , රිදෙන ඇග පත ද සමගින් තිදෙනා පාසල වෙත දුවනු පෙනේ..... 

“ හොඳ වැඩේ “ යැයි සිනා සෙමින් මා ඔවුන් තිදෙනා දෙස බලා සිටිමි. . .. . .  ඉදිරියෙන්ම දුවනා කෙට්ටු නමුත් හැඩකාර මීෂා දෙස බලා සිටිමි.  

4 ප්‍රතිචාර:

ලිඛිතා said...

interesting...

තඩියා said...

######

Pra Jay said...

++++

දේශක යා said...

ලිප්ටන් සීට් එක බලන්න ගියේ නැතෙයි?

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...