..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Tuesday, October 10, 2017

ආදර ප්‍රදී - 7

ආදර ප්‍රදී - 7  පිලිස්සුනු මතක




--------------------------------

පාසල් විවේකය තවත් එක් සාහිත්‍ය කාලච්ඡේදයක් වන්නේ විවිධ විෂයයන් උගන්වන ගුරුවරුන් කිහිප පොලක් ම කුඩා ආපන ශාලවට රැස් වූ විට යි. එකිනෙකා ගේ දැනුම නොදැනුවත්ම බෙදී විසිරී තේ සුවඳත් වඩේ කර රසත් සමඟින් මුසු වී යන මේ විනාඩි 15ක කාලය ගෙවී යනවා නොදැනේ.

අඩි දහයක් පමණ දිග , අඩි හතරක් පමණ පළල සිහින් තීරුවක තබනා ලද පැරණි උසැති බංකු මේසයක් , ඒ මේසය එක් පස තබා ඇති එවැනිම දිගැති කොට බංකුවක් , අනිත් පස ඇති ඉවත් කරන ලද සිසු පුටු හතරත් විවේකෙ කාලයේ දී ආපන ශාලාවට එන සියළු ගුරුවරුන්ට අසුන් ගැනීමට මදි වූ ඉඩ කඩ වූව ද කිසිවෙකුත් කිසිවෙක්ට දොස් නොකියා ගතවූ කාලච්ඡේද හතරෙහි වියළී ගිය උතුර තේ කහට උණුසුමින් සතපා ගනියි.

“ අපි තේ බොනවා “ කොතරම් දෙනා සිටියත් ගවු ගනනක් දුර සිටිනා ඔහුට මම කෙටි පණිඩියක් තැබුවේ දකුණු අතේ ඇගිලි දෙකක ගුලිකර ගත් හකුරු ගොට්ට සීරුවට සමතුලිත කර ගනිමිනි.

“ ඔයා ගෙ අර ප්‍රදී කතාව දැන් ලියන්නෙ නැතෙයි “ මට කෙලින්ම බංකු මේසය එහා පැත්තේ පුටුවක වාඩි වී සිටි ගුරුතුමිය අසයි. 

පළමුව දැනුන ලැජ්ජාව වසන් කර ගනිමින් “ අයියෝ ...මිසුත් ඒක කියවනවා දැයි මම අසමි “

“ ඔවු ..... ඔයා ඒ ලියන්නේ කාගෙ හරි ඇත්ත කතාවක් ද ?“ ඇය මා දිරිමත් කරමින් අසන්නීය.

“ඔවු .............. මේ ඉන්නෙ එයා .................“ ඒ වන විටද මා අතැගිලි යටට වී තිබූ දුරකතනයේ වූ ඔබේ පින්තූරයක් මම ඇයට පෙන්වමි.

“ කතාවෙ කියල තියන විදිහට මම හිතුවා ලස්සන කෙනෙක් කියලා. ඒ විදිහටම ඉන්නවා “ ඇය පවසන්නේ ඔබේ කඩවසම් මුහුණ දෙස හොඳින් බලමිනි.

“ දැන් මෙයා බැඳල ඉන්නෙ ප්‍රදී ව ද?“  ඇය යළිත් අසයි. 

ආදර ප්‍රදී ලියන්නට මා ඇඟිලි කලකින් නොනැමුනේ ඇයි දැයි එවිට මට සිතේ. එය මා සිත අරක් ගත් එක්තාර ආකරයක ගැහැණු ඉරිසියාවක් වන්නට ද බැරි නැත.

නමුත් නතර කර තැන් පටන් මම නැවත කෙසේ එය ගොතන්නට පටන් ගැනීම අරබන්නේ දැයි මේ වනතුරුද හිතට නිච්චියක් නැත. නමුත් මේ වන විට ද ඇරඹුමක් ලැබී ඇති එහි අවසානයක් දකින තුරු මා ඔබට දුන් පොරොන්දුව අවසන් නොවනු ඇත.

--------------------------------------

තරමක අවුල් වී ගිය හිස කෙස් ය , රැවුල හොඳටම වැවී ඇති අතර ට්‍රිමරයක පහස කලකින් ලැබී නොමැති බවක් හැඟේ. තැනින් තැන සුදු වී ගෙන එන අලුත් කෙස් ගස් ය. කළු කෙස් විරාජමානව වැජඹුනත් , තැන තැන හිස ඔසවමින් සිටිනා සුදු වුන් ඒ මුහුණට අනවශ්‍ය මුහුකුරායමක් එක් කිරීමට තැත් කරයි.

රැවුල් ගස් අතරින් සොයා ගත් ඒ දොතොලෙහි සිනාවක අතීත ලකුණක්වත් දැකිය නොහැකි තරමට ගල්වී ඇත. මුහුණෙහි හැඟීම් කියවා ගැනීමට නොහැකි තරමට අජීවී බවින් පිරී ඇත. කණ්නාඩි දෙකෙන් වසන් වී ඇති දෑස් මේසය මත ඇති සුදු කොළයේ කළු අකුරු වලින් එහා මහා කළු කුහරයක නතර වී ඇති බැවක් හැඟේ.

අතෙහි නිතර රැදෙනා කළු තීන්ත පෑන පසෙකින් තැබූ ඔහු තමා ආසන්නයේ ඇති මේස ඇන්ද දෑතින්ම අල්ලා ගෙන සිටිමින් මද කල්පනාවක නිරත වී සිට , කුමක් හෝ සිතන්නටත් කලියෙන්ම තමා කෙලින්ම තිබූ මේස ලාච්චුව අරින්නට වූයේ හඬ නොනැගෙනා ලෙස සීරුවට නම් නොවේ. 

ලාච්චුව අරින හඬින් ගැස්සී ගිය ඔහුගේ දකුණු පස වූ මේසය අසල වූ සුදු හීන්දෑරි යුවතිය කරමින් සිටි වැඩය නවතා ඔහු දෙස බැලූවත් ඔහුට ඒ වගක් වත් නොවීය.

හැරුන මේස ලාච්චුව ඔහුගේ ඉදිරියට ඒමට පටන් ගනිමින් තිබූ කුසෙහි වැදී නරත වී තිබූ අතර මේස ලාච්චුවට අත දැමූ ඔහු ඉතා සීරුවට එයින් එළියට ගත්තේ 4ආර් තරමේ පින්තූරයකි.

එදෙස බලා සිටිනා ඔහුගේ මුහුණේ තදැතිව තිබූ පේශි ලිහිල් ව යනු පෙනෙනු ඇත.වියළිව ගොස් තිබූ දෑස් තෙත්ව දිලිසෙනු දැකිය හැකි වනු ඇත.දෙතොල්  මදහසත් , අමනාපයත් අතර තැනක නැවතෙනු  පෙනෙනු ඇත. 

අද මේ දැන් සිට දින කිහිපයක්ඔහු කිසිවෙක් සමඟින් කතා නොකරන බවත් මුම්බාගත් වනම සිටිනා බවත් ඔහුගේ ඔෆීසි කාමරයේ සිටින  සුදු හීන්දැරි ගැහැණු ළමයා අත්දැකීමෙන් දනී. ඇය ඔහුගේ පුද්ගලික ලේකම්වරියයි.

මෙය ඉවසිය නොහැකි වූ එක් දිනක් , ඇය සැමට රහසේ ඔහුගේ මේස ලාච්චුව හැර , තම ප්‍රධානියා දුක්බරිත කරවන ඒ අපූරු වස්තුව කුමක්දැයි සොයා ගත්තාය.

කළු සුදු ඡායාරූපයක් වූ එහි සිටියේ ඉතාම කෙසඟ සිරුරකට හිමිකම් පෑ තළෙලු යැයි සිතිය හැකි තරුණියකි. ඇගේ දෑස් ඉතාම සෝබමාන විය . කොණ්ඩය කෙටි වූ අතර තරමක් කැරලි ගැසී තිබුනි. බැලූ බැල්මට ඇගේ ප්‍රධානියාත් , ප්‍රධානියා දින ගණකකට ගොළු කර තබනා ඡායාරූපයේ සිටින තරුණියත් එක හා සමාන හැඩරුවින් යුතු බැව් ඇයට සිතුණි. කෙසේ වුවත් ඔහු පැමිණෙන්ට පෙර වහාම මෙය විනාශ කර දැමිය යුතුබැව් හැගුන බැවින් ඉතා කුඩා කැබලි වලට ඉරන ලද ඡායාරූපය ඉන් පසු ගිනිදෙවියා වෙත පුදන්නට යෙදුනි.

--------------------------

“ අයියෝ .............ඇයි එයා ඒක පිච්චුවේ “ දැන් මට එයා කළු ද සුදු ද කියලවත් බලා ගන්න නෑනේ . කවුද ඇත්තටම ඒ පින්තූරෙ හිටියෙ ? 

“ ප්‍රදී “

“ මොනවා ...............?“

“ ඉතින් ඇයි ඔයාගේ සෙක්‍රරටරි ඒ පින්තූරය පුච්චල දැම්මේ ?“

“ ඒ වෙද්දි මම කසාද බැදල නිසා.මට දරුවො ඉන්න නිසා.පින්තූරෙ බැලුවට පස්සෙ දවස් ගානක් කතා නොකර බුම්මන් ඉන්න නිසා “

“ ඒ කියන්නේ............ඉස්කෝලෙ කාලෙන් පස්සෙ ප්‍රදීව හමුවුනේ නැද්ද ඔයා “

“ හමුවුනා........ අපි ඉස්කෝලෙන් අවුට් උනාට පස්සෙත් එයා මට දිගටම ලිවුවා. “

“  මට දෙන්න කො ඒ ලියුම් “

“ ඒ ලියුම් ටිකත් අර ෆොටෝ එකත් එක්කම අර කෙල්ල පුච්චල දැම්මා “

“ හ්ම් .....................“

“ ප්‍රදී ........ විභාගෙන් පස්සෙ එයාගේ අම්මල ලඟට ගියා. ගියා නෙමේ ...ඇත්තටම එයාට යන්න සිද්ධ වුනා. එයාගේ තාත්තයි අම්මයි වෙන් වෙලා හිටියෙ කියල මම ඔයාට කියල ඇති නේ. තාත්ත ළඟ එයා හිටියේ. ඒත්  .........එයාගේ අවාසනාවට වගේ තාත්තත් නැති වුනා ........ ඊට පස්සෙ එයා එයාගෙ අම්ම ළඟට ගියා “

“ අම්ම ළඟට ..........ඉතින් හොඳයි නෙ. කෙල්ලෙක්ට අම්ම ළඟ ඉන්න තියනම් කොච්චර හො දද ?“

“ අම්ම ........ ආයපු කසාඳ බැදල හිටියෙ. ඒ මනුස්සය මිනීමරුවෙක් ද කොහෙ ද ? ප්‍රදීටත් ඒ මිනිහගෙන් කරදර තිබ්බා . . . . කොහොම වුනත් ප්‍රදීට මගෙ අතින් වුනේ ආපහු කවදාවත් හදන්න බැරි වරදක් ........ “

“ ඔයා ප්‍රදීප බලන්න ගියා ද?“

“ ඔවු .......... එක ලස්සන වෙසක් පෝය දවසක් අල්ලල මම ගියා එයා බලන්න “


ඒ ගමන ගැන දැන ගන්න නම් ඊළඟ කොටස කියවන්න වෙනවා....





5 ප්‍රතිචාර:

Yasith Gamage said...

ආදර කතාවක්ද?
ඔය කෙහෙම්මලට කරන්න පුළුවන් එක දෙයයි. ශක්තිමත් මිනිස්සු දුර්වලයන් කරන එක.
ඒ නිසා අයින්ස්ටයින් කිව්වා වගේ සතුටින් ඉන්න නම් පුද්ගලයෙකුට ආදරය නොකර අරමුණකට ආදරේ කරන්න ඕන.

ලිඛිතා said...

:-|

වාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු ) said...

++++

තඩියා said...

++++

විචාරක Wicharaka said...

ගුරුවරුන්ට ගෝලයන් මතක නැතිඋනාට තමන්ගේ ජීවිතේ පරමාදර්ශි වෙච්ච ගුරුවරූ ගැන ගෝලයන්ට හොඳට මතකයි .
විචාරක දියණිය

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...