..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Sunday, September 24, 2017

මොළේ මැටි ද? මැට්ටෙක් ද? කොච්චර ඉගැන්නුවත් වැඩ බෑ ද?

මොළේ මැටි ද? මැට්ටෙක් ද? කොච්චර ඉගැන්නුවත් වැඩ බෑ ද?



කොච්චර ඉගැන්නුවත් මුකුත්ම බැරි ළමයි ඉන්නවා.හැබැයි එයාල හරිම උනන්දුයි. කොච්චර නම් උනන්දුයි ද කියනව නම් අහන ඕනිම ප්‍රශ්නයකට එයාල උත්තර දෙනවා.හැබැයි ඒ උත්තර වැරදි. 
නමුත් මොකක් හරිම උත්තරයක් හයියෙන් කෑගහල කියන්න තරම් එඩිතර ගතියක් එයාලට තියනවා. උත්තරේ නම් අහන ප්‍රශ්නයට ගෑවිලාවත් නොයන එකක් වුනත් උනන්දුවෙන් ඉන්න බව දැනෙනෙක සතුටක්. 
ඒත් මෙයාලට කොහොම උගන්වන්නද කියල මට තේරෙන්නෑ. කොච්චර ඉගැන්නුවත් බෑ. මම එයාලගේ දෙවෙනි විද්‍යා ටීචර්. කලින් කෙනා අයින් වුනා. දැන් මම අහුවෙලා. මම දැන් උගන්වන්නෑ. එයාල කැමැති දේවල් කරන්න දෙනවා. ආහාර දාමයක් කියන්නෙ මොකක් ද කියලා කොච්චර ඉගැන්නුවත් එයාලට තේරෙන්නෑ. අන්තිමට පින්තූර ගේන්න කියලා ආහාර දාම හදල අලවන්න දුන්නා. ඔන්න ඒ සැරේ ටික දෙනෙක් ගොඩ ගියා. තව ටික දෙනෙක් තාමත් එහෙමයි. 
එයාලට හිතාගන්න බෑ ඊහිස දාන්න ඕනි කොයි අතට ද කියලා. පූසා කන්නේ මීය ද ? මීයා කන්නෙ පූසා ද ? කියල ටික වෙලාවකින් එයාලට ප්‍රශ්නයක්..... ඒක ඇයි එයාලට ප්‍රශ්නයක් වෙන්නෙ කියනෙක මට ඊට වඩා ප්‍රශ්නයක්...
එකම දේ දස වතාවකට වඩා කියල දීලා එකම ප්‍රශ්නය ආපහු ඇහුවම ත් උත්තර දීගන්න බැරි වුනාම මට පිස්සු හැදෙන්න ඔන්න මෙන්න වගේ. වසන්කර ගන්න හදන කේන්තිය එක්ක මගේ මුහුණ දකින එයාලගෙ මූණු මා ගැන අනුකම්පාවෙන් පිරෙනව දකිද්දි මටත් හරිම දුකක් දැනෙනවා.
සමහර එයාලට වැඩ බෑ කියල මුහුණටම කියනව. සමහරු එයාලගේ පන්ති වලට ඉගැන්වීම ප්‍රතික්ෂේප කරනවා. තවත් සමහරු ඇවිත් මොකක් හරි දෙයක් කියා දීලා යනවා. ඒත් ඒ කිසිම වෙලාවක මේ දරුවන් ගුරුවරයා එක්ක තරහක් නැහැ. එයාලට තියෙන්නෙ දුකක්.ඒ තමන් ගැන නෙමෙයි. තමන්ට මෙච්චර මහන්සි වෙලා උගන්නලත් ඇයි අපට ටීචර්ව සතුටු වෙන උත්තරයක් දෙන්න බැරි කියන දුක. ඒ දුක මට දැනෙන නිසා මට තවත් පීඩනය වැඩි වෙනවා. කොහොමද උගන්වන්නේ ?
“ ක්‍රියාකාරකම් “ - ක්‍රියාකාරකම් කරන්න එයාල හරිම කැමැති. පන්තියක ඉන්න දක්ෂ ළමයින්ට වඩා , දෙයක් ගේන්න කීවම නොවරදවා පන්තියට අරන් එනවා. ඒ විතරක් නෙමෙයි. ගෙනාපු වෙලාවෙ ඉදලම “ මොකටෙයි ටීචර් මේක ගෙන්න කීවේ “ “ මක්කයි මේකෙන් වෙන්නෙ ටීචර්“ “ අනේ ටීචර් අද මේ පාඩම කරන්නැතෙයි “ දාහක් ප්‍රශ්න.
“ප්‍රායෝගික වැඩ“ - ලැබ් එකට එන්න කොයි ළමයත් හරිම කැමැති. ඒත් පුංචි පන්ති වල ළමයි ආවම ටීචර්ට ටිකක් විතර කරදරයි. ඇහැ ගහගෙන ඉන්න වෙනවා. නැතිනම් පරමාණු බෝම්බයක් හදල පුපුරවල තමා ඒ ගොල්ලො ආපහු යන්නේ. ඉගෙනීමේ වැඩ කොහොම වුනත් . ප්‍රාෙයා්ගික වැඩ කරන්න ඒ තරම් එයාල සූක්ෂමයි.
“ ක්ෂේත්‍ර චාරිකා “ - ඇවිදින්න......... අනේ ටීචර් මරු. අපි දොළට යමු. ඇළෙන් වතුර ගේමු. පිට්ටනියට යමු. ඇවිදින්න එයාල හරිම ආසයි. මට තේරෙන විදිහට මේ ළමයි අකැමැති පන්ති කාමරයට. පන්තියෙ තියන පුටු වලට. මේසෙට , ඒ ඔක්කටම වඩා පොතට සහ පෑනට.
“ සෙල්ලම් “ - සෙල්ලම් කරන්න ? මේ ටීචර්ට නම් පිස්සු.සෙල්ලම් කරන්න දෙනවද පීරියඩ් එකේ. කියල මුලින් හිතුවත් පස්සෙ එයාලම සෙල්ලමට යනවා.හැබැයි පාඩම සෙල්ලමට සම්බන්ධ කරන්නෙ කොහොමද කියන එක නම් සෙල්ලම් වැඩක් නෙමෙයි.
“ ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන් “ - හරි කැමැති.හැබැයි දෙන උත්තර වැරදි. ඒ නිසා අපට උත්තර ගන්න පුලුවන් විදිහෙ ප්‍රශ්න අහන්න වෙනවා. දිනන පිළට බිස්කට් එකක් , කඩි බිත්තර පැකට් එකක් හරි දෙන්න පුලුවන් නම් වටිනවා.
නාට්‍ය , සාකච්ඡා , පැවරුම් මෙකී නොකී තව ගොඩාක් ක්‍රම තියනවා. හැම ක්‍ර මේම හැමේකටම හරියන්නෑ. එක එක දේට හරියන ක්‍රම හොයා ගන්න වෙනවා. ටීචර්ට නම් වැඩ වැඩි වෙනවා. හැබැයි හිමින් හිමින් දියුණූ වෙන නිසා සෑහෙන ඉවසන්නත් වෙනවා.
ලකුණු 70කට යන්න එයාලට බැරි වෙයි. හැබැයි හිටියට වඩා ගොඩාක් හොඳ වෙයි.
මීටත් වඩා හොඳයි එක එක ළමයට එයාල කැමැති විදිහට උගන්වන්න පුලුවන් නම්.ඒත් විනාඩි 40ක පීරීයඩ් එකක ළමයි 40ක් එක්ක හතලිස් විදිහකට උගන්වන්න ? පුළුවන් ද?
“ සිලබස් එක “ එක පැත්තකින් තියන් “ වාර සටහන් “ දිනයටම යන්න. විභාගෙ වෙද්දි ඔක්කම කවර් කරන්න මේ හැමදේමත් එක්ක මේවා කරන්න අමාරු වැඩක් නෙමෙයි. ඇත්තටම ඒක කරන්න බැරි වැඩක්.
ගෙදර ඉන්න අම්මට තාත්තට ලියන්න කියන්න බැරි වෙද්දි. ගෙදර ඉන්න වැඩිමහලු සහෝදර සහෝදරියන්ගේ ළමයි බලා ගන්න වෙද්දි. හත් අට දෙනා එකම කාමරයක නිදියද්දි . මේ ළමයි මෙහෙම හරි ඉස්කෝලෙ එනේක ගැන සතුටු වෙන්න ඕනි.
උගුර ලේ රහ වෙනකම් කියල දීලත් , බොහොම බලාපොරාත්තු සහිතව පොත උස්සන් ඇවිත් පෙන්නල “ ටීචර් මේ හරි ද?“ කියල වැරදි උත්තරයක් පෙන්වද්දි . හිනා වෙලා ඉවසන්න , ලේ කෝප කර නොගන්න. ඒ හිත නොතැලෙන්න ආයමත් කලින් වගේම වචනයෙන් වචනය කියා දෙන්න තරම් ඉවසිල්ලක් දියුණු කරගනිමින් යන

මම
෴සොඳුරු සිත෴

PS- මැටි ගොඩවල් වලින් මැටි පදම් කරල ඒවා අරන් සකයෙ තියල, කරකවල හැඩ කරල , ලස්සන මැටි භාණ්ඩ හදන්න හැමෝටම බැහැ.

5 ප්‍රතිචාර:

kumara said...

පන්තියේ සිසුන් කවුදැයි හඳුනාගෙන ඇති ඔබට මගේ ප්‍රණාමය.

ඩබ්.කේ said...

ගුරුවරියකගෙන් ගුරුවරියකට සිරස නමා ආචාරය!!!!!

Ravi said...

ඇස්වලට කඳුලු ආවෙ දෙවෙනි ඡේදෙ කියවල ඉවර වෙනකොටම...ඒ ඒ අහිංසක දරුවන් වෙනුවෙන්..ඊලඟට හතරවෙනි ඡේදෙ කියවල ඉවරවෙනකොට ආයම කඳුලු ආව..ඒ උඹ වෙනුවෙන්...

මොනව කියල කරන්නද? ලෝකෙ තියන සියලු මහ දෝසෙටම ප්‍රතිකර්ම අපි ලඟ නැහැනෙ.

ඒ වගෙ විශේෂ අවශ්‍යතා තියන දරුවන් හඳුනාගෙන ඒ අයට විශේෂ උපක්‍රම යොදාගෙන ඉගැන්වීමේ ක්‍රම වෙන රටවල තියනව කියල මම අහල තියනව. ඒත් අවාසනාවට එහෙම තත්වයක් අපේ රටේ තව කල්පයකින්වත් ඇතිවෙයි කියල හිතන්න අමාරුයි.

ඒත් එතෙක් ඒ දරුවන්ට උඹේ ශක්ති ප්‍රමාණයෙන්වත් වැඩිමහල් සහෝදරියක්, මවක් සහ ගුරුවරියක් වීමට දරණ උත්සාහය පිළිබඳව මගේ හෘදයාංගම ස්තූතිය!!!

Praසන්ன said...

පොතේ අධ්‍යාපනයෙන් තොර ලොවක් නැති ගිරවු හදන ලංකාවෙ අධ්‍යාපන රටාවට ඔය වගේ ළමයින්ට උගන්න එකනං සෑහෙන අමාරු වැඩක්. පොඩි කාලෙ ඉඳලම පොතෙන් පිට පැනල ඒ වගේ ළමයින්ට ගැලපෙන රටාවෙන් උගැන්වුවොත් ඔය ළමයි වැඩි හරියක් ගොඩ දාගන්න පුලුවන්. වෙන බොහෝ රටවල් වල වෙන්නෙ ඒ විදියට වග මම අහල තියෙනව. ඒ වගේම කොච්චර දඩබ්බර උනත් පොඩි දේටත් ඔය ළමයි සංවේදීයි.

මොනව උනත් හැකි පමණින් ඒ ළමයින් වෙනුවෙන් වෙහෙසෙන ඔබට මගේ ආචාරය.

තඩියා said...

++++++++++

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...