..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Thursday, August 3, 2017

රජ මාවත දිගේ

රජ මාවත දිගේ 


මේරි සහ වොට්සන් පහුගිය දවසක ලොකු සවාරියක් ගිහින්..... අද කතාව ඒ ගැන. මේරිගෙ පැත්තෙන් විතරක් නෙමේ වොට්සන් ගෙ පැත්තෙනුත් කතාවක් තියන එක ලස්සන වෙනසක්.ඒ නිසා කතෘ අයිතියෙන් හරියටම බාගයක් වොට්සන්ට දෙන්න වෙනවා.



ආදරණීය වොට්සන්

---------------------------

කාලෙකට පස්සෙ ,ඔයත් එක්ක ජිප්පෙකේ ගියපු ඒ අපූරු ගමන මට විස්තර කරන්න වචන නැහැ.ජීවිතේ අමතක නොවන ලස්සන දේවල් තියෙන්නෙ කිසිම ප්ලෑනක් නැති දේවල් වල කියල වැඩියෙනුත් එක්ක ඔප්පු වෙච්චි සුන්දර ගමනක් ඒක. ඔබ කරපු ඒ යෝජනාව පිළිගන්නත් , ප්‍රතික්ෂේප කරන්නත් බලය තිබ්බෙ මට නිසා ඕනිම වෙලාවක ඒ ගමන නොගිහින් ඉන්න ඕනෑවටත් වඩා ඉඩකඩක් මට තිබ්බා. ඒත් ජීවිතේ දී වැඩිපුර මුරණ්ඩු , අසංවිධානාත්මක තීරණ අරන් නොතිබ්බ මට ඒ දඩබ්බර තීරණය ගන්නෙක ලේසි වුනේ නම් නෑ.


අංක ගණන් කර කර , කම්මැලි දහ අට වංගුවේ උඩට යනව ද , පාළු වුනත් සතුට පිරුණු රජ මාවතේ රජෙක් එක්ක අශ්වය පිටේ යනව ද කියල තීරණය වුනාට ඒ පාරක අතරමන් වුනොත් මට මොනා වෙයිද කියල දිගින් දිගට හිතලා, නොවෙන්න ඉඩ තිබ්බ ඛේදවාචකයකින් සිතුවිල්ල නිම කරන පුරුද්ද ඒ වෙද්දි මම නතර කරල තිබ්බා.


නුවරින් පටන් අරන් අම්පිටිය , හැරගම, මයිලපිටිය , රන්දෙණීගල හරහා මහියංගනයට ඇවිත් , ආපහු දහ අට වංගුවෙන් නැගල හුන්නස්ගිරියට ගියපු ඒ ගමන සැබෑම උන්මාදයක්.

වැඩිපුර වාහන නොගිය , අඩුපුරම මිනිසුන් හිටිය ඒ පාළු පාරවල් වල ලස්සන වැඩි වුනේ ඔයා මගේ ළඟම දකුණු අත පැත්තෙන් හිටපු නිසා.

විටෙන් විටේ මගෙ දිහා බලමින්, අරහෙන් මෙහෙන් දුවන පාරවල් නතර වෙන නගරවල් ගැන කිය කිය , ඒ පාරේ අහුවෙන මහ ගස් , හුළඟට ඇඹරිලා ගියපු කුරු ගස් ගැන බැදුනු ආදරේ ගැන කිය කිය ඒ අතරට අඩු වැඩි ය විදිහට අතීතයේ සැඟවුනු තැන් මතක් කර කර ගියපු ඒ ගමන වඩාත් රොමෑන්ටික් වුනේ පාළු පාරේ පාලුම තැනක , දෙකක නතර වෙද්දි මට ලැබුනඔයාගේ ආදරබර හාදු නිසා කියල නම් නොකියාම බෑ.
නිතර නිතර දකින්නට නොලැබෙන ඔයාගේ අර සුන්දර සිනාව දකින්නත් , කණ්නාඩියට යටින් තියන ඇස් වල හැඟීම් කියවන්නත් මට පුළුවන් වුනේ ඔයාගේ වම් අත පැත්තෙන් , නමුත් ඔයාට ටිකක් දුරින් යන්න මට ඉඩ ලැබුන නිසා.

ගමන ගිහින් ආවට මොකද , ගෙදරට පය තිබ්බ ගමන් මට දැන ගන්න ඕනි වුනේ අපි ආපහු ඒ වගේ ගමනක් යන්නේ කවදද කියලයි.

ඉතින් ආදරණිය වොට්සන්.... මේ සංකීර්ණ අභිරහස් ජීවිත අතරේ , ජීවිතේ දැනෙන රසබර හැඟීම් විඳගන්න මේ වගේ පිස්සු ගමනක් මාව එක්කරන් ගියාට ඔයාටත් ඔයාගේ අශ්වයා වෙච්චි “ලෑන්ඩ්රෝවරයටත් “ බොහොම කෘතඥ වෙනවා.

තව කියන්න දේවල් ගොඩක් තිබ්බත් ඔබේ ආදරෙත් අරන් මම නිදාගන්නට යනවා. ඔබට සුබ රාත්‍රියක්

මීට ඔබේ ආදරණිය
මේරි
කවදාවත් නැතිව උදේ පාන්දර ඇහෙරෙන කොට මේරිට මෙන්න පිළිතුරක් ඇවිත්


-------------------------------------------------

ආදරණිය මේරි


උඹ එහෙන් පිටත් වෙනකොටම මං හිටියෙ දෙගිඩියාවක. මේරි මට තනියෙන් හමුවෙයිද, අනික මේ අන්ඩර කොලු කෙලි නඩයයි, හැම මුල්ලකම වැලි ඇට හොයන උඹේ රස්සා සගයො ටිකයි මගෑරලා වහං වෙන්නෙ කොහොමද.
අනික ඉතින් මං තනියෙන් හිතුවට උඹ අස්සය පිටේ දාං යන්න අර කලින් දවසෙ වගෙ මාව මෙතනින් දාල යන්න කිව්වොත් කියල හිතුන තමයි.

මොකක් උනත් කලින් දවසෙ සන්තකේට තිබුන එකෙන් ඩීසල් ගැහුවෙ ඕන කජ්ජක් කියල. ආවුද ටිකත් දා ගත්තෙ හදිසියක් උනොත් මේරිත් එක්ක පාරෙ ලගින්නයැ.

මොනා උනත් උඔ නුවරින් නැග්ගට පස්සෙත් මට හරි හිතක් තිබුනෙ නෑ කොහෙ යන්නද කියල. ඒත් එක පාර මතක් උනේ මයියංගනේ ගියානං මොකද කියලයි.

මාලිගාව ලඟින් උඹව දාගත්තට මේ යකඩ ගොඩත් එක්ක යූ ටර්න් ගහන්න පුළුවනෑ, එතකොටයි ඔළුවට ආවෙ යකඩෝ අම්පිටියෙන් ගුරුදෙනියට දාල රජ මාවතේ ගියානං නිකං වචන වලිං කියන්ඩ බැරි ලස්සනක් විඳගෙන ගියෑකි කියන එක.

රජ මාවතට දාන්ඩ කලිං පටු වංගු පාරෙ යනකොට උඹේ කට නැවතිලා තිබුනෙ නොකිව්වට මේ කොහෙ යනවද කියල අහනව වගෙ.

ඒත් රජ මාවතට දැම්මට පස්සෙ පපුව උඩ පාත යන වේගෙ වාහනේ වේගෙට වඩා අඩු උනා කියල නං තේරුනා මට.

කාලත් හිටියෙ නැති හිංද අර තරුණ අම්මගෙ කඩෙන් ගත්ත බනිස් දෙකයි, ඉස්පංචි දෙකයි අපේ බඩගිනින නිව්ව.

යන ගමන් ඉතිං කවුරුත් අහන්නැති මගේ පරන කතා අහන ගමං, මං හිනා වෙන බව දැන ගත්තෙ උඔ ඒක කිව්වමයි.

ඇත්තටම මුලින්ම වාහනෙ නැවැත්තුවෙ වංගු ටික කරකවලා අමාරුවට. ඒත් ඉතිං උඔගෙ කතා කරන ඇස් දැක්කම හාදුවක් නොදී කොහොමද ඒවට. ඒක ඉතින් මූණ පුරා දුවල නැවතුනෙ .

ලොග්ගල් ඔය බන්ට් එක මං ආසම තැනක්, එක පැත්තක වැවයි, කඳු යායයි,ඒ එක්කම උඹේ ලේයර් කපපු කෙස් ටික හරියට වැවට උඩින් දඟලපු වලාකුල් වගේ. ඒත් ඉතිං උඔ දිහා බලං මේක කරකවන්න ගියෝතිං දෙන්නම නවතින්නෙ වතුරෙ හන්ද ඒ ආසාව හැංගුව. මොකද ලෑන්ඩ්රෝවර් එලෙව්වට පීනන්ඩ ඇහැකියැ.

මං හිතන්නෙ උඔ හීල්ලුවෙ මහියන්ගනයට කිමි 12 බෝඩ් එක දැක්කම නේද?

උඔගෙ නඩේ තාමත් දිගන කියල දැනගත්තම ආය ඉතින් පාරෙ දාල එන්නයැ. මේ වෙනකොට මං මොකක්ද කියන්නෙ ඒක උඹ විශ්වාස කරන බව මං දැනං හිටිය.
ඉතින් කට්ටිය හම්බෙනකං නගිමු කිව්වම උඔ එක පයිං හිටියෙ ඒකනෙ.

අන්තිමට දහ අටත් නැගල හුන්නස්ගිරියෙ නැවතුනෙ මහන්සියට වඩා ආය කවද හම්බෙයිද දන්නැති හන්ද.
මොනා උනත් උඹේ දොළදුක සම්පූර්ණ උන එකට මටත් සන්තෝසයි.

ඒ අතරේ ගමන රොමැන්ටික් කරාටත් ඉස්තූති, ආයෙත් යං තව එකක්, මේ පරීක්ෂණ වැඩ ඇති වෙලා ඉන්නෙ දැං. නැවත හමුවෙන තුරු පරිස්සමිං.

මේ
ඔබේ ආදරණිය වොට්සන්

6 ප්‍රතිචාර:

කිඹුලී said...

ඊයේ රෑත් කියෙව්වා ... හරි පුරැදු අපුරැ ගතියක් දැනෙනවා... ��

Dhammika Nishshanka said...

Wish that write more and more..romance

සෙව්වන්දිය said...

lassanayi

SDC said...



ඔය වොටා මා විණි නම් ඌ මෙසේද ලියන්නට ඉඩ තිබිණි...


ඔයැයි ට කියන්ඩ ඔයැයිල ගමන පිටත් වෙනකොටත් ජීප් එක තිවුනෙ දුනු ලාල් ගෙ ගරාජ් එකෙ..මේකට ඔරිජිනල් දුනු කොල දෙකක් දාමු...මෙව්ව ඉන්ගිරිස් වාහන මෙව්වට මේ ඉන්දියන් මල ජරාව ඔබන්ඩ එපා..වෑල්ඩින් ධර්මෙ අයිය කියත්දි මට අපේ රට ගැන හීන් ආඩම්බරයකුත් ආව...මේ හදිස්සියෙ කොහෙන් හොයන්නද... ඔරිජිනල් කොල ...ඔන්න ඕක ගලවල වෑල්ඩින් කරල හිටං හැඩ ගහපං ඉක්මන්ට..මේ මහත්තය හෝම්ස් සර් එක්ක හදිසි ගමනක් යන්ට.. නැතුව ඕෆ් රෝඩ් පදින්ඩ නෙමෙයි දුනු ලාල් මල්ලි සැර දැම්ම.. දොස්තර මහත්තුරු කවද්ද ඔෆ් රෝඩ් පැද්දෙ දර්මෙ අයිය මගෙ ආඩම්බරේ කුඩු කරන ගමං ඇඟිලෙ තීච්ච හුනු ඩිංග බෆර් එකේ ඉලුව...
නුවර එන්න ඉගිල්ලුනේ ඔය ඔක්කොමත් කරං...නෙලුන්දෙනියෙ කඩුගන්නාවෙ කඳු අදින කොට මේකි තාම ලමිස්සි වගේ කියල මට හිතුනෙ ඔයා ගැන නෙමෙයි ජීප් එක ගැන...ඔයැයි රජ මාවතේ යංය කීවම පපුවෙ තීච්ච බිත්තර මල්ල එලියෙන් තිව්ව..ගොඩක් ස්තුතියි ඔයා මගෙ බාගෙට ඇරිල තිවුනු කටයි වෙවුලන ඇඟිලියි නොදැක්ක එකට...
මහියන්ගනෙන් ආපහු එද්දිං වේරගංතොටින් හසලකට තියෙන කෙලිං පාරෙ ඔයාවත් දාගෙන එලවන්න හිතුන ලෑන්ඩ්‍ රෝවර් එකේ පිස්ටන් හිනාවෙන්න..ඒත් සෙනිකව බ්‍රේක් එකට කකුල ගියේ වෑල්ඩිං කරපු දුනුකොල මතක් වෙලා....මගෙ පැත්තකින් ඉන්නෙ ලමයි දාස් ගානකගෙ ඇස් පාදන මැණිකක්නෙ....
ඔයැයිට මතකෙයි අර නුගේතැන්න පාර අයිනෙ කිතුල් පැණි විකුණන කඩ කෑල්ලෙ හිටපු පුංචි එකී...මට නම් මේ මුලු ගමනින්ම ඔයාගෙ සතුට ඇරුනම මතක හිටියෙ ඒ පොඩි එකීගෙ හිනාව විතරමයි.....

වොට්ස්

මනස්ගාත සටහන්කරු said...

අද තමයි මම හිතන්නේ මුලින්ම මම මේ පැත්තට ගොඩ උනේ . හෙමීට කියවලා එන්නම්කෝ පරණ ඒවා . පුළුවන් වෙලාවක අපේ පැත්තටත් ගොඩ වෙලා බලලා යන්න

අරු said...

හරි ලස්සනයි

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...