..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Monday, August 14, 2017

කුඩා ඔය කුඩා විය

වොට්සන්ගේ ළමා විය 1
කුඩා ඔය -  කුඩා විය

මා එවක හතේ පන්තියේ ඉගෙන ගන්නා කුඩා කොළු ගැටයෙකි. නගරයේ මධ්‍ය විද්‍යාලයකඉගෙනීමට අවස්ථාව ලැබූ කොළුවෙකු වූවත් මා වඩාත් ප්‍රිය කළේ මගේ පියා විදුහල්පති ධුරය දැරූ ඒ කුඩා ග්‍රාමීය පාසලට බැව් පැවසූව හොත් ඔබ අතුරින් යමෙක් පුදුම වූව ද, මෙම කතාව අවසානයේ දී මා එතරම් එම පාසලට ප්‍රිය වූයේ මන්දැයි ඔබට වැටහීමට වඩාත් ඉඩ ඇත.

කුඩා ඔය සිට කිලෝමීටර හයක පමණ දුරක දුශ්කර පා ගමනකින් පසුව හමුවන ඒ සුන්දර කුඩා පාසල ට මගේ ඇති බැදීම , මගේ පියා එම පාසලේ විදුහල්පති ධුරය දැරීම පමණක් ම නොවන්නේ ය.

කණිෂ්ඨ පාසලක් වූ එය , මා අයත් වූ පාසල තරම් පොහොසත් නොවූවත් සාර සොබාවට වැඩුනු ගහ කොළෙන් මලින් ද අපූරු ජීවීන්ගෙන්ද පිරී පැවතුණි.  විදුහල්පතිතුමාගේ අපූරු දඟකාර පුතා වූ මට එම පාසලේ කිසිවකුගෙන් කිසිම දෙයකට කිසිදු බාධාවක් නොවී ම ද නිදහසේ සැරීමට හැකි වීම ද ඒ පාසලට ආදරයෙන් බැදීමට හේතු වූ එක් කරුණක් පමණි.

මගේ පාසලේ වාර විභාග කාල වල දී මෙන්ම ඉඩක් ලද සෑම විටකදීම තාත්තා සමඟින් මෙහි පැමිණිමට මා ගන්නා උත්සාහය නැවතීමට කිසිදු විටක තාත්තා මැදිහත් නොවීමද මා කුඩා කොලුවෙකු වූවත් ඔහු මා කෙරෙහි දැක්වූ ස්වාධිනත්වය ද අද කාලයේ වැඩිහිටියන්ට ආදර්ශයට ගත යුතු අවස්ථා බැව් සටහන් කරමි.

එකල ලෝක බැංකු ආධාර යටතේ පාසල් සිසුන් අතර බෙදා දීම සඳහා ලැබුනු හතරැස් හැඩැති කුඩා බිස්කෝතු (අදිහැස)  අහුරක් මිටට ගුලි කර ගන්නා මම පාසලේ මා කැමතිම කෙනා සොයා පියඹන්නේ මගේ අහස්යාත්තරාවෙනි.

මා ඈතින් ගොඩ බාන අයුරු දකිනා ඔහු මගේ මිට මෙලවී ඇති අත දෙස බලා උගේ කුඩා වලිගය සොලවමින් හිසින් සන්කරන්නේ මගේ අරමුණ සක්සුදක් සේ වටහා ගෙන එයට එකඟත්වය පළ කිරීමට මෙනි.

උගේ පිට පිරිමදිමින් මා මිටි වූ අත උගේ මුව වෙත දිගු කරත්ම උගේ වලිගය සෙලවීම නතර වන්නේ මා අතරැදි හතරැස් බිස්කෝතු වල රස,  රස විදීමට වලිගයේ සෙලවීම පවා බාධාවක් නිසා වන්නට ඇත.

පාසලේ සිටිනා මා සිත්ගත් මේ අපූරු ජීවියා මධ්‍යම ප්‍රමාණයේ හොඳින් වැඩුනු හරකෙකු තරමට වැඩුනු එළුවෙකි. බිස්කෝතු අනුභවයෙන් කුල්මත්වන එළුවා එළු රැවුල් නිකට දෙතුන් වරක් සොලවා බෑ........හ්............හ් බෑ....... හ්.............හ්............. බෑ..............කියන්නේ  , බෑ කීමට බැරි කමකට නම් නොවන අතර මා සිතේ අරමුණ සාක්ෂාත්කර ගැනීමට ඌ සූදානම් බැව් ඇගවීමටය.

ඉන් පසු අසල ඇති අඩි දෙකක් දෙකාමාරක් පමණ උස හුඹස වෙතට එළුවා ළං කරගන්නේ එකවර එළුවා මත නැගීමට තරම් උසක් මා වෙත නොමැති බැවිනි. හුඹසේ පැතලි වී මැදී ඇති ඉහළ කොටස , මා ගේ මේ එළු එළවිල්ලට කොතරරම් සහයක් දක්වා ඇද්දැයි  කියා පාන කදිම සාක්ෂියකි.

හුඹහට පය තබා එළුවාගේ පිටට නඟින තෙක්ම කිසිදු හැල හොල්මනක් නොමැතිව සිටීමට තරම් එළුවා සහ මා අතර  වූ ලෙංගතුකම වැඩී තිබුණි.

එළුවාගේ පිටට නැගී , පස්ස මදක් ඔසවා , තට්ටම් වල යට කොටසින් අඩක් පමණක් එළුවාගේ පිට මත තබා කොන්ද තරමක් ඇල කර එළුවාගේ බෙල්ලට සමාන්තරව දික් වී උගේ  අ: කොට දෙකෙන් අල්ලා ගත් විට ගමනට සියල්ල සූදානම් බව දෙදෙනාටම සක් සුදක් සේ පැහැදිලිය.

ඉන් පසු ඌත් මාත් එක් අයකු බවට පත් වන අතර පාසල් වත්තේ රවුමක් දුවන එළුවා , හුඹස තිබූ ගස යටට පැමිණ නතර වූ පසු නම් කොතරම් ලෙංගතු වූවත් නැවත රවුමක් යාමට උනන්දුවක් නැති සේ නොසෙල්වී සිටින්නේ අර කුඩා හතරැස් බිස්කට්  අහුරක්ලැබෙන තෙක් ය.


මා වයසින් වැඩෙත්ම කුඩා ඔය කුඩා පාසලත් , එළුවාත් මනසින් තුරන් වී ගොස් මනසේ එම ස්ථාන වෙනත් අයවලුන් විසින් අයත් කර ගත්ත ද පරිණත පිරිමියෙකු විලසින් ලෑන්ඩ් රෝවරයේ නැගී කුඩා ඔය පසු කරනා සෑම අවස්ථාවක දී ම ඒ එළුවාගේ මිහිරි  මතකය කුඩා ඔය වියළි සුළඟට මුසු වී පරිණත මගේ හදවත අදත් තෙත් කරන්නට සමත් ය.

6 ප්‍රතිචාර:

තඩියා said...

අතීතය කෙතරම් සුන්දරද.. ගැමි මිහිරියාව අදටත් විද ගැනීමට කොතරම් අප උත්සාහා ගන්නවාද?? අනාගත පරපුරට එලුවන්ගෙන් වැඩක් නැත.. ඔබඔබා සිටීමට ජන්ගම දුරකතන ඇත...ඔවුන් ජීවත් වන්නේ වෙනම ලෝක වලය.

ලිඛිතා said...

එළුවෙක්ට විස්කෝතු වලින් 'පෙට්‍රල්' ගසා රවුමක් පැදීම....

සත්ව හිංසනය
ආහාර අපතේ යැවීම
නොමිලේ ලබාදෙන ආහාර අවභාවිතය
රැකියා ස්ථානයේ නොමනා හැසිරීම්
පිඩිත පංතියෙන් පලප්‍රයෝජන ගැනීම ( නයා විසින් ගොනුකරන ලද හුඹස් නඩුව)
පියාගේ බලතල අවභාවිතය


වැනි කාරණා සවිස්තරව දැක්වුවාට ස්තුතිය!

SDC said...

එළු පැදීම බයානකය..ඕකුන්ගේ කේඩෑරි අතපය වහා බිඳෙන සුලුය..හරක් පැදීමට වොට්සන් මල්ලීට අවස්තාවක් නොලැබීම ගැන කනගාටුවෙමි. ඔබට මඩ හා කිනිතුල්ලන් ගැන අපුලක් නොමැතිනම් මීහරක් පැදීම වනාහි පොඩි කොලුවන්ට ඉහලම ආතල් එකකි.

මනස්ගාත සටහන්කරු said...

ජිවිතේ කියන්නේ සමරු අහුරක් කියන්නේ නිකන් නෙවෙයි නේ

විචාරක Wicharaka said...

එකල ඔබ විදි සුන්දරත්වය දැන් ළමයින්ට අහිමිවීම තමයි අධ්‍යපනයේ වර්තමාන ඛේදවාචකය . දැන් ප්‍රින්සිපල්ලා තමන්ගේ ළමයව තම පාසලේ නොව තිබෙන හොදම පාසල වෙත යැවීමට ඕනෑම වැඩක් කිරීමට සූදානම්ය.ළමයින් සෞන්දර්යාත්මක ස්වභාවික පරිසරයෙන් කොන්ක්‍රීට් වනාන්තරයකට පැමිණීම ඔවුන්ගේ අභාග්‍යයයි.
විචාරක diyaniya

වාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු ) said...

+++++

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...