..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Friday, July 21, 2017

ගුරුකමේ කලාව නොහොත් මාතර නොවරදින ගුරුකම් අභිරහස්...

ගුරුකමේ කලාව නොහොත් 
මාතර නොවරදින ගුරුකම් අභිරහස්...

පන්තියෙ ළමයින්ගෙ මොහොත එන්නෙ අන්න එතකොට. ටීචර් පන්තියටම පිටුපාල කළු ලෑල්ලේ සුදු අකුරු ලියනවා. ළමයි ඒ වෙලාවට තමා ඔක්කම නසරාණි වැඩ වලට මුල පුරන්නේ. 
කඩදාසි කුරුල්ලො යවන්නේ, ටීචර්ට ඇද කරන්නේ. අතින් කට වහන් හිනා වෙන්නේ....ඒත් හිටි ගමන් “ ආහ්....මොකද සංදීප ඔය කුටු කුටුව “ කියල පන්තිය දිහාවටවත් හැරෙන්නෙ නැතිව ටීචර් හරියටම කීවේ කොහොමද?  . පිටිපස්සෙ බෙල්ල හරියට වෙන්න තදින් ගැට ගහපු කිසිම අවුලක් නැති කොණ්ඩ බෝලය ඇතුලෙ විඩියෝ කැමරාවක් වත් හයි කරල ද ?
“ ටීචර්ගෙ පස්ස පැත්තටත් ඇස් දෙකක් තියනව ද කොහෙද බන් “ ලොකු පන්ති වල ළමයි නම් එහෙම කියනවා.

ඇත්තම කියනව නම් අද කාලේ ගුරුවරයෙක්ට පස්ස පැත්තට ඇස් දෙකක් නෙමේ හතරක් තිබ්බත් වැඩි වෙන්නෑ. ගුරුකම හරියට කරන්නත් , ගුරුකමේ රැදිල ඉන්නත් අන්න ඒ පසුපස ඇස් සෑහෙන ඉවහල් වෙනවා. 

ඇත්තටම ටීචර් කෙනෙක්ට එහෙම කියන්න පුලුවන් වෙන්නෙ පන්තියෙ ළමයි ගැන හොඳ අවබෝධයක් ගත්තම.

ඔයාලට මතක ඇති කාලෙකට කලින් රූපවාහිනියෙ පෙන්වපු රෙදි සෝදන කුඩු දැන්වීමක් තිබ්බා “ටීචර් ඔන්න ශෙහාන් එනවා “ කියලා. ළමයි දුර තියාම ශෙහාන් එන බව දන්නෙ ඒ ළමයට ආවේණික ගඳකින් කියල තමා දැන්වීමේ හැටියට නම් හිතා ගන්න වෙන්නේ.

ඒක ඇත්තටම කියනව නම් බොරුවක් නෙමේ. දාඩිය ගඳ විතරක් නෙමේ ගස් ගඳ , කොළ ගඳ , පරණ හම් ගඳ , දූවිලි ගඳ, මේස් කකුල් ගඳ අඩු වැඩි වශයෙන් ලොකු පොඩි කොයි එකා ළඟිනුත් හමනවා. කොටින්ම ටීචර් ළඟට එන ළමයා කවුද කියලා ඔළුව උස්සන්නෙම නැතිව ටීචර්ට දැන ගන්න පුළුවන් තරමට ඒ සුවඳ ආවේණිකයි.

ඒ සුවඳවල් යට තියන කතාන්දර බොහෝ වෙලාවට දුක් බරයි. අම්ම කෙනෙක් නැති ගෙදරක රෙදි හරියට සේදෙන්නෙ නැති එක , එකම ඇදුම, එකම මේස් සතිය පුරාවටම අදින්නට සිදු වීම , නොයෙකුත් ලෙඩ රෝග වලට ලක් වී සිටීම , පුද්ගලික සනීපාරක්ෂාවට පහසුකම් නැති වීම ආදි හේතු රැසක් මේ ගඳ සුවඳ එක්ක දැවටිලා තියෙන්න පුලුවන්.

සාමාන්‍ය යෙන් මම නම් පන්තියට ගිහින් ආයුබෝවන් කියන්න කලින් කවුරුත් අසුන් වලින් නැගිටිනකම් ඉන්නව. ඊට පස්සෙ පන්තිය පුරා යන ක්ෂණික නමුත් තියුණු බැල්මකින් හැමෝගෙම මූණු ටික මගේ ස්කෑනරයට අහු කර ගන්නවා.

ඒ බැල්මට අහුවෙන අයගෙ ඉන්න , ගෙදර වැඩ ටික කරන් ආපු නැති ඈයෝ , ගෙදර වැඩ කොපි කරපු ඈයෝ, පොත් ගෙනාපු නැති ඈයෝ විතරක් නෙමේ බඩේ අමාරුකාරයෝ, හිසරද කාරියෝ , ඊයෙ රෑට බත් නොකා තරහින් නින්දට ගියපු ඈයෝ , දැන් ඩිංගිත්තකට කලින් කෙල්ලෙක්ගෙන් අහලා “බෑ“ කියල අහගත්ත ඈයෝ...... කවුද කියල වෙන වෙනම කියන්න පුළුවන් තරමේ හැකියාවක් ගුරුවරයෙක්ට තියනවා.

පොත් බලන ගමන් කාටත් හොරා “ මොකද පුතේ අද අවුලෙන් වගේ “ කියල අහද්දි . “ටීචර් කොහොමෙයි ඒක දන්නේ “ කියල ළමයින්ට පුදුම හිතෙන්නෙ ඒකයි.

තවත් සමහර අවස්ථා වල දී ළමයි කියන පට්ට පල් බොරු වලට අහු නොවී , ගුරුකමේ අභිමානය රදව ගන්නටත් ගුරුවරයෙක් සූක්ෂම වෙන්නම ඕනි.

නාම ලේඛනය ලකුණු කරන ගමන් “ මොකද පුතේ ඊයේ නාවේ . ඔන්න ආච්චි මලා කියල නම් කියන්න බෑ හරිද.බඩෙ අමාරුත් බෑ. උණ හැදිලත් බෑ. මට ඇත්තම හේතුව කියන්න “ කියල ළමයට කියන්නෙ ඒකයි.

දරුවෙක් එක්ක කතා කරද්දි දරුවගෙ ඇස් දෙක  දිහා කෙලින් බලන් කතා කරන්නත් , දරුවා ඇස් මඟ අරිමින් කතා කරනව නම් “ මේ බලන්න , මගෙ දිහා බලන් කතා කරන්න “ කියල කියන්නත් දෙවරක් හිතන්න ඕනි නෑ. කොහොමත් , දෑස් දෙස සෘජුව බලන් කතා කරන ලොකු පොඩි සැම ගැන මගේ හිතේ තියෙන්නෙ නම් හරි ප්‍රීතිමත් හැඟීමක්.

සමහර වෙලාවට මේ හොඳට පන්තියෙ හිටි ළමයින්ට හිටි ගමන් , බඩේ අමාරු හැදෙනව.හිස කකියන්න ගන්නවා. පපුව අමාරුව හැදිල “ අයියෝ ටීචර් හුස්ම ගන්නත් බෑ , මාව මැරෙන්න වගේ “ කියල කියල කවුරුත් බය කරනවා .කිසිදේකට බය වෙන්නෙපා. බොහෝ විට ඊළඟ කාලච්ඡේදයේ විෂයට දීපු ගෙදර වැඩ එයා කරන් ඇවිත් නෑ. එහෙමත් නැතිනම් එයා ඒ විෂයට හෝ ගුරුවරයට කැමති නෑ. ඒ වෙලාවට ළමයට නොබැන සුදුසු හොඳම තීරණයක් ගන්නෙක ඔබට බාරයි.

මේ වගේ තව ගොඩක් “ගුරුකම්“ මම ඉගෙන ගත්තෙ අත්දැකීමෙන්ම තමා. මම ගුරු රස්සාවට ගියපු අලුත ළමයින්ගේ බොරුවලට හරියට අහුවුනා. ඒත් කාලයත් සමඟින් දැන් එයාලට බෑ මාව අන්දවන්න. කොටින් ම සුපුන් ඇස් ලොකු කරල බෙල්ල ඇල කරල , පැන්සල කටින් හපමින් ඇස් පිල්ලන් ගහමින් මගේ දිහා බලන්නේ ගෙදර වැඩ කරන් ආපු නැති දවසට කියන්න හොඳ බොරුවක් කල්පනා කරන ගමන් තියනෙක මම දැන් දන්නවා................................

ප/ලි- මේ විස්තර මම ලීවේ බොහෝම දුෂ්කර පාසලකවත් , නාගරික  පාසලකවත් දරුවන් ගැන දැනගෙන නෙමේ.මම සේවය කරන අර්ධ නාගරික පාසලේ දරුවන් ගැන ලබා ගත් අත්දැකීම් මතයි. මේවා පරිසරය අනුව වෙනස් වෙන්න පුලුවන්. 

උදාහරණයකට  රූප සටහනක් අඳින්න පැන්සලක් නැතිව වෙන ළමයෙක්ගෙ පැන්සලකට රණ්ඩු වෙන ළමයෙක්ට ටීචර්ගෙ පර්ස් එකෙන් පැන්සලක් අරන් දෙන එක ලොකුවට ගන්න ළමයි ඉන්න මගෙ ඉස්කෝලෙත් , “අනේ අපේ සර්ට ටැබ් එකක් නෑ තාත්ති , ගුරු දිනේට අපි සර්ට ටැබ්බෙකක් අරන් දෙමුද “ කියල අහන ළමයි ඉන්න ඉස්කෝලෙකුයි අතර ලොකු වෙනසක් තියෙන්න පුලුවන්.


19 ප්‍රතිචාර:

Indranatha Thenuwara said...

ඉස්කෝලෙ උගන්වන කාලෙ ලමයෙක්ගෙ කෙස් ගහක් හෙලවුණත් මට කියන්න පුලුවන්කම තිබ්බා.

Pradeep Gunarathne said...

එහෙම ගුරුවරු ඉන්නවා. කලාතුරකින්... ඒ අතිං සොසී ටීචර් සුපර්...

Gayan Tharaka said...

මාතර ගුරුකං..
දවසක් සර් කෙනෙක්ට වෙන වැඩක් කර කර ඉදලා මාට්ටු වෙලා මැජික් එකක් කරල බේරුණා

Chandi said...

ලස්සනයි ගුරු ජීවිතේ කථා.

C.J. Vidanapathirana said...

එළකිරි ....
.ආයෙත් ලියන්න හිතුනා

ජයවේවා ...

C.J. Vidanapathirana said...

එළකිරි ....
.ආයෙත් ලියන්න හිතුනා

ජයවේවා ...

Ravi said...

++++++++++++++

ඉයන් said...

nice

ඕනමැන්ටල් said...

ආනන්ද ශාස්ත්රාලෙ හිටපු ටිචර්ලගෙන් දෙතුන් දෙනෙක්වත් ඔහොම හිතුවනන් අපි ගොඩදෙනෙක්ගෙ කතාව මීට වඩා ගොඩක් වෙනස්

ලොකු පුතා said...

නියමයි සොසී...

වාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු ) said...

+++++

sanjaya nadeep said...

අපරාදේ කියන්න බෑ මට නම් ස්කෝලෙට ගොඩවෙන කොටම මාව පන්තියෙන් පන්නන්න තරම් සොඳුරු යටිකූට්ටු ප්ලෑන් තිබ්බ ටීචර් ල දෙන්නෙක් උන්න.එක්කෙනෙක් චිත්‍ර ටීචර්. මම ඇඳපු චිත්‍ර කතා ශෛලියට වෛර කරපු එයාට මාව පන්තියෙන් එලවනකම් නින්ද යන්නේ නෑ.ඕ ලෙවල් වලට යත්දී පාස් වුනොත් ලොකු දෙයක් කියන හැඟීම තිබ්බේ.ඒත් මම ඩි එකක් ගත්ත.අපි නම් දන්නවා සර් ල ටීචර් ල පන්තියට එනකොට ගෙදර තත්වේ.දැන් මේ ටීචර් මා එක්ක තරහ වෙන්නෙපා මේවට.

Anith kona said...

මෙහෙම ගුරුවරු වාසනාවන්. අගනුවර පාසැලක ඉගෙනගත්තු නිසා ඇතැම් ගුරුවරු ගැන ලොකු ප්‍රසාදයක් තියෙනවා. ඇතැමුන් නම් ගුරුවෘත්තියටත් නිගා දුන්නා. ඉතින් පැන්සල පවා දරුවන්ට දෙන ඔබ වැනි ගුරුතුමියන් ගැන ගෞරවයක් ඇති වෙන්නේ !

විචාරක Wicharaka said...

ඕකට කියන්නේ ළමා මනෝ විද්‍යාව ඕක ගුරු විද්‍යාලේ න්‍යායාත්මකව කියල දුන්නට එය ප්‍රයෝගිකව තම කුසලතාවය එක්ක වර්ධනය කරගන්න පුළුවන් වෙන්නේ අතලොස්සකටයි. එයිනුත් ඔය වගේ ගුරුවරු හිටියේ ඔබට පෙර පරම්පරාවේ. එම නිසා ඔබ වැනි ගුරුවරු දැකීමත් සිතට ප්‍රිය උපදවනවා. විචාරකතුමා හිටියනම් ඔබට තව ටිකක් ලියනවා.
විචාරක දියණිය

සර්කිට් හංදියේ මඩයා said...

ඔයා වගේ ළමයි තේරුම් අරන් ළමයි එක්ක කටයුතු කරන එක වටිනවා.නැත්නම් උන්ගේ සිතුම් පැතුම් තේරුම් නොගෙන ඕනෙවට වඩා ප්‍රෙෂර් කලාම උන් පිස්සෝ වෙනවා.අපේ හොස්ටල් එකෙත් එකෙක් හිටියා සතිඅන්තේ කිට්ටු වෙද්දී ඌට පට්ට පපුවේ අමාරුවක් එනවා ටිකකලක් යද්දී තමා අපිට තේරුනේ මේක සිකුරාදාට ගෙදර යන්න තාත්තා ගෙන්න ගන්න කරන වැඩක් කියලා :D

Duminda Abeysekara said...

ඇස් දෙක කරකවා හොඳටම බොරුත් ගොතා
තිස් සෙම පන්තියේ ළමයින් කියයි කථා
හුස් මක් ගන්නෙ කොහොමද නිදහසක් පතා
දස් කම් අගය කරනෙමි ගුරුවරුගෙ ඉතා....

ජයවේවා!!!

කල්‍යාණ මිත්‍ර said...

Nice caption :)

Sanjeewa Mendis said...

C.J. Vidanapathirana said...
එළකිරි ....
.ආයෙත් ලියන්න හිතුනා

ජයවේවා ...

C.J. Vidanapathirana said...
එළකිරි ....
.ආයෙත් ලියන්න හිතුනා

ජයවේවා ...

C.J. Vidanapathirana said...
එළකිරි ....
.ආයෙත් ලියන්න හිතුනා

ජයවේවා ...

C.J. Vidanapathirana said...
එළකිරි ....
.ආයෙත් ලියන්න හිතුනා

ජයවේවා ...

Sanjeewa Mendis said...

ඇත්තට උබග් ඉස්කෝලේ වෙනස්

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...