..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Saturday, June 24, 2017

ප්‍රදීප් ගේ වික්‍රමය

ප්‍රදීප්ගේ වික්‍රමය හෙවත්
හීන් කොටා ගේ කතාව
උදේම ඉස්කෝලෙ ගේට්ටුවෙන් ඇතුළු වෙද්දිම , කාර්යාලය ළඟ ගුරුවරු ගුරුවරියො පොදියට එකතු වෙලා  පුංචි පහේ කුසුකුසුවක්. 

කොච්චර ඒ ගැන අවධානය ගිහින්ද කියනව නම් කට්ටියට උදේ අත්සන් කරන්නත් අමතක වෙලා.

නමයෙ පන්තියෙ විතර පිරිමි ළමයි හයක් හතක් අතුත් පස්සට කරන්, බය වෙලා වගේ පේළියට ඔෆිස් එක ඉස්සරහ හරහට හිටන් ඉන්නවා. එක එක ගුරුවරියො වරින් වර එක එක ළමයගෙන් හිමින් හිමින් මොනාද අහනවා. ළමයිනුත් හරි බයෙන් හැබැයි හොඳට මතක් කර කර උත්තර දෙනවා.

සරමකුයි කමිසයකුයි ඇඳ ගත්ත උස යන්තම් අඩි හතරයි අඟල් ගානක් වෙච්චි පුංචි අසරණ පාට මනුස්සයෙකුත් උඩක් බිමක් ගැන හැඟීමක් නැතිව තවත් පැත්තක හිටගෙන ඉන්නවා.මේ නම්  උදේ පාන්දරම දකින්න හොඳ දසුනක් නම් නෙමේ.

කින්ද මන්ද මුකුත්ම දන්නෙ නැති නිසාත් , ඉස්කෝලෙ වෙන මේ වගේ කසුකුසු “ෆේස් බුකියෙ“ වැටෙන්නැති නිසාත් මමත් හිමීට හොට දාලා බැලුවා. ඒකට මට  තියන හොඳම හේතුව තමා ඉස්කෝලෙ සිද්ධ වෙන ඕනිම අලුගුත්තේරු වැඩක කොණක මගෙ පන්තියෙ ළමයෙක් ඉන්න එක. ඉතින් මේ වගේ වෙලාවක මගෙ බඩ පපුව පත්තු වෙනේක ගැන අමුතුවෙන් කියන්න ඕනි නෑ.

“ප්‍රදීප් නැති වෙලා ලු “

“මොනවා ?“

“ඔවු. . .  ඊයේ ඉස්කෝලෙ ආපු ගමන් ගෙදර ගිහින් නැතෙයි කියලැයි කියන්නේ “

“ නෑ....හ් ..........“

“ ඔය කියන්නෙ අර කළු මිටි , හැමවෙලේම කියෝ කියෝ ඉන්න නමේ බී එකේ ළමය නේද “

“ ඔවු...........“

“ ඉතින් කොහොමෙයි දන්නේ “

“ ඔය ඉන්නෙ ප්‍රදීප්ලැයි තාත්තත් ඇවිත් “ 

“ ඊයේ ඉතින් ඉස්කෝලෙ ඇරිල යනව කවුරුවත් දැකල නැතෙයි “

“ දැකල , සංජීව එක්කලු බයිසිකලෙන් ගිහින් තියෙන්නෙ“

“ දැන් සංජීව ඉස්කෝලෙ අැවිත් ද?“

“ නෑ ...සංජීවත් ඉස්කෝලෙ ඇවිත් නෑ “

“ මාර වැඩේ නේ....“

“ ඒක තමයි. පන්තිභාර ටීචත් ඊයේ ඉදල නෑ “

“ මම ඊයේ හවස දැක්කා ඔය කියන විදිහෙ ළමයි දෙන්නෙක් බයිසිකලේක නැගල යනවා.හැබැයි හවස් වෙලා හින්දා හරියට මූණු දැක්කෙ නම් නෑ “ එහෙම කීවේ ගමේ ඉස්කෝලෙට ටිකක් කිට්ටු , සංජීවලගෙ ගෙදර පැත්තෙ ඉදල එන ටීචර් කෙනෙක්.

“ ඔය ළමයගෙ වැඩේ හැම තැනම ඇවිදිනේක , ඔය කොහෙ හරි ඉදල හවසට ගෙදර එයි. අනික ප්‍රදීප් කියන්නේ ලෝක අණ්ඩයෙක් “ එහෙම කීවේ හෙට අනිද්දා පෙන්ශන් යන්න ඉන්න අපේ සුමනා මිස්.එයාට නම් මේ ගැන ගාණක්ම නෑ වගේ.

“එයාට නම් මොකද , මට නම් හරි බයයි අනේ. මම තමා ඒ පන්තියෙ අන්තිම පීරියඩ් එකේ හිටියේ “ එහෙම කීවේ ඉස්කෝලෙට මේ ඊයෙ පෙරේදා පත්වෙලා ආපු අලුත් ගෘහ විද්‍යාව මිස්.

ඒ අස්සෙ අර හරහට හිටගෙන හිටපු ළමයි එක එක කතා කියනවා.

ඒ ප්‍රදීප්ගෙ පන්තියෙ ඉන්න ප්‍රදීප්ගෙ යාළුවො.

“ ටීචර් එයා අපි කාටත් කැන්ටිමෙන් කන්න අරන් දුන්නා“

“ ඔවු ටීචර් .... මම මේ කැන්ටිමෙන් කන අන්තිම දවස අදයි කියලත් ප්‍රදීප් කීවා “

“ නෑ ...........හ් ..............“

“ ඉතින් ප්‍රදීප් කොහේ හරි යනව කියල ඔයාලට කීවැයි “

“ නෑ ටීචර් ...........හැබැයි මාතර යන්නෙ කොහොමද කියල එයා අපෙන් ඇහැව්වා “

“ එයා මොකටෙයි මාතර යන්නේ ?“

“ හාවෝ ගන්න මාතර යන්න ඕනි කියල තමා අපට කීවේ “

“ ඉතින් ඔයාල මාතර යන හැටි කීවැයි ?“

“ නෑ ටීචර්.............අපි කවුරුවත් මාතර යන හැටි දන්නෑ.... “

ඒ අස්සෙ තවත් කට්ටියක් ප්‍රදීප්ගෙ තාත්ත අල්ලන් ඒ අහිංසක මනුස්සයට තවත් වද හිංසා කරනවා.

“ ඇයි මනුස්සයො පොලිසියෙ ඇන්ට්‍රියක් දැම්මෙ නැත්තේ.?“ යන්න ගිහින් දැම්ම ඇන්ට්‍රියක් දාන්න. ඒක තමා මේ වෙලාවෙ ඉස්සෙල්ලම කරන්න තියෙන්නෙ . කවුද දන්නෙ මෙලහකටත් මොනා වෙලා ද කියලා “

අහිංසක පෙනුමක් තියන ඒ පුංචි මනුස්සයත් ප්‍රදීප් වගේමයි. 

ඒ අස්සෙ සමහර ගුරුවරු දන්න කියන නම්බර් වලට කතා කර කර ප්‍රදීප් ගැන තියන හෝඩුවාවල් ඔස්සේ හොයල බලනවා. 

ප්‍රදීප් කියන්නේ මුළු ඉස්කෝලෙම ඉන්න ළමයි වගේම , මුළු ඉස්කෝලෙම ඉන්න ගුරුවරුත් දන්න ළමයෙක්.ඉන්නෙ නමයෙ වුනාට එකොළහේ ළමෙක්ටත් වඩා සාමාන්‍ය බුද්ධිය වැඩිච්චි පැහිච්චි සීයෙක්.

 ප්‍රදීප් ටිකක් තළෙලු පාටින් කළු පාටට කිට්ටු වෙන හමකට උරුමකම් කීවා. ප්‍රදීප්ගෙ තාත්තත් හරියටම ඒ පාටයි. ඒ වගේම ප්‍රදීප් කියන්නේ අපේ ඉස්කෝලෙ ඉන්න සිංහලෙන් ඉගෙන ගන්න දෙමළ ළමයින් කීපදෙනා අතුරින් කෙනෙක්.

නමුත් අනිත් දෙමළ ළමයින්ට වඩා ප්‍රදීප් හරිම කටකාරයි.එයා පන්තියෙ ඉන්නෙ එයාට ඕනි විදිහට.එයාට හිතුනොත් ලියනවා.එයාට හිතුනොත් ගණන් හදනවා.හැබැයි එයා ගුරුවරයෙක් නෙමේ ශක්‍ර දේව රාජයා ඇවිත් කීවත් ඒ කියන වැඩේ නම් කරන්නෙම නැති විදිහෙ ළමයෙක්. මේ අවු අස්සේ ඉස්කෝලෙ පළවෙනි කාලච්ඡේදය පටන් ගන්න සීනුවත් නාද වුනා.

වෙලාවට මගෙ පන්තියෙ චාමර හොද එකා. ඕකා කොහේ ගියත් මට හරි කියල යයි. මම හිත හදා ගෙන චාමරගෙ පන්තියට ගියා.

පන්තියේ කොට බිත්තියට බර දීලා මම එනකම් බලා ඉන්න පන්තියෙ සෙට් එක දැකල මට හිනහත් ගියා. කොච්චර දඟ කරත් මගෙ ළමයි පැනල යන්න තරම් පිස්සො නෙමේ. උන් හරි හොඳ ළමයි. ඒත් පන්තියට ඇතුලු වෙන්නත් කලින්ම , අංක එකටම කෑගහන්න ගත්තෙ චාමර.

“ ටීචර් ..............හීන් කොටා අතුරුදහන් වෙලා ලු නේද “

“ හරි හරි . . එයා කොහෙද ගිහින්. ආපහු ගෙදර එයි. ඔයාලහෙම කාටවත් නොකියා කොහෙවත් යන්නෑ හරි ද. අඩුම ගානේ මටවත් කියල යන්නෝනි යන තැනක “

“ හරි හරි ටීචර් බය වෙන්නෙපා.අපි එහෙම පැනල යන්නෑ “

ඒ පිරියඩ් එකේ උගන්වනවට වඩා තිබ්බෙ “හීන් කොටා ගෙ අලගිය මුලගිය තැන් කියෝන එක.“

අපේ පන්තියෙ ළමයින්ට අනුව හීන් කොටා කියන්නේ , අනුන්ගෙ සල්ලි හොරකම් කරන , කමකට නැති නරක ළමයෙක්. ඒ වුනාට මගේ හිතේ නම් තිබ්බෙ බයක්. 

ඇත්තටම ප්‍රදීප්ට මොනා වෙලා ඇත් ද?

“ ප්‍රදීප් ගැන ආරංචියක් නැතෙයි ?“

පළවෙනි කාලච්ඡේදෙ අවසන් වෙලා ,පහළට බහින පඩිපෙලේ මැද හරියෙදි හමුවුනු මිස්ගෙන් මම ඇහුවා.
“ අන්න ගෙදර ඉන්නවලු “

“නෑහ්....“

“ඔවු....කාගෙද මහත්තයෙක්ගෙ ගෙදර නැවතිලා නෙ පහුගිය ටිකේ ඉස්කෝලෙ ඇවිත් තියෙන්නේ. ඒ ගෙදරින් සල්ලිත් හොරෙන් අරන් ඇවිත් තමා ඔය අලකලංචි ටික ඔක්කම කරල තියෙන්නේ. ඒ මහත්තය ට කෝල් කරාම විස්තරේ කීවේ. ඒ මහත්තය ඒ වෙලාවෙම ප්‍රදීප්ගෙ ගෙදර ගිහින් බලද්දි කොල්ල අන්න ගෙදර ලු “

“ යකෝ මූ මරන්නෙපැයි “

“ ඇත්තටම මම නම් හිතුවෙ ප්‍රදීප් හොරමුලකට එකතු වෙලා වහන් වෙලා ගිහින් කියල“

“ කියන්න බෑ. ඌ ඒ වගේ එකා තමා “ 

“ වැඩිවිස්තර නම් ඉතින් කොල්ලගෙන්ම තමා අහගන්න වෙන්නේ “

හැබැයි තාමත් එදායින් පස්සෙ “ප්‍රදීප් “ ඉස්කෝලෙ පැත්ත පලාතේ ආවේ නම් නෑ. සමහර විට ලබන සතියෙ අඟහරුවාදට ඉස්කෝලෙ එන්න හිතන් ඉන්නව ඇති.

 ගෙදරින් ඉස්කෝට , ඉස්කෝලෙන් ගෙදෙට්ට ගතවෙන මේ ළමා ජීවිතයේ දී මේ විදිහෙ කට්ටි පැනීමක තියන සුන්දර ආශ්වාදය ඇත්තටම ඒ වෙලාවෙදි මගේ හිතටත් දැනුනා.

ඉතින් ප්‍රදීප් එහෙනම් මේ ගැන වැඩි විස්තර කතා කරන්න. අපි අඟහරුවාදට හමුවෙමු...................



7 ප්‍රතිචාර:

Upul Nishantha said...

සිකේ... මාතරට යන්න දන්නැති ළමයි ඉන්නවද අකුරැස්සෙ තාම

Praසන්ன said...

හොඳා හොඳා. හෙනං අඟහරුවාදම නඩුව අහමු.

රසිකොලොජිස්ට් - Rasikologist said...

මේ බ්ලොග් එකේ මොකක් හරි සැක සහගත විජට් එකක් තියෙන බව අපේ ඔෆීසියේ සර්වර් එක මට කියා ඇත.

Ajith Perakum Jayasinghe said...

දැන් ඔය ඉස්කෝලෙ හාමිනේලා ටික ඌව මරුමුස් කරලා ඌ ඉස්කෝලෙ එන එක නවත්තනවද?

Pradeep Gunarathne said...

අනේ පුලුවන්නං ඒ දරුවව ඉස්කෝලෙට ගෙන්නගන්න. නැත්තං ඇත්තටම හොර මුලකට එකතු වෙලා වහං වෙලා යයි...

ගෝල්ඩ් ෆිෂ් said...

හැබැයි අඟහරුවාදා බදාදා වෙන්න බෑ...

Master - Owner at the සිංහලෙන් Tricks said...

හරිම ලස්සන භාෂාවක් අක්කා... සෑහෙන්න හිත ඇදිලා ගියා... සුභ පතනවා අක්කට... ඔව් අක්කා ඒ ළමයට වෙන අයට වඩා වැඩියෙන් ආදරේ කරන්න.. ඉස්කෝලෙ තියෙන්නෙ නරක ලමයිනට හැදෙන්නයි මට දැනෙන විදියට.. පව් දරුවෙක් වගේ ආරකෂා කරගන්න.. අක්කටත් ගොඩක් පිං...

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...