..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Sunday, April 9, 2017

බල්ලෙකුගේ හදවත

බල්ලෙකුගේ හදවත


 
“ අපෝ මේකා යකෙක් නේ “ යැයි ඇතැමෙකු පවසන අතරේ , තවත් ඇතැමෙකු පවසන්නේ ඒකා වෘක පරම්පරාවේ එකෙකු වීමට වඩාත් ඉඩ ඇති බවයි. ඒ අතරේ ද ඇතැමෙකු  ඌ දෙස වඩා විමසිලිමත්ව බලමින් පමණට  වඩා අසාමාන්‍ය ලෙස දිගු හොම්බ සාක්ෂි කර  පවසන්නේ ඒකා නරියෙකු වීමට බොහෝ දුරට ඉඩ ඇති බවයි.  

අයිතිකාරිය ද බොහෝ කාලයක් තීරණයක් ගත නොහැකිව සිට අවසන ,  නරියෙකු ලෙස භෞතිස්ම කරන්නට සැරසී සිටියදී හදිසියේම දිනක් බල්ලෙකු මෙන් බිරීම නිසා අවසානයේ දී ඇය විසින් මේකා බල්ලෙකු බව ඒකමතිකව තීරණය කරන ලදී. කෙසේ  හෝ උගේ අයිතිකාරියට වඩා ඒකා රුවින් සරුසාරව වැඩෙන බව නම් මේ සැවොම විසින් එක හඬින්ම පිළිගන්නා සතයයකි.



ඉතාම කුඩා කාලයේ දී බෙල්ලට වැටී ගලවා දමන ලද අගනා කර පටියත් , බලු දොස්තර මහතා පැමිණි විට පමණක් බෙල්ලට වැටෙන දම්වැලත් හැරුණ විට ඉතාම නිදහසේ වැඩෙන ලෝම කබාය ඌ ලද අගනා දායාදයකි.

අයිතිකාරිය කොහේ හෝ ගොස් නිවසට පැමිණෙන පාරට හැරෙන තැනට එන විට ම ඉතා ප්‍රීතිමත් දෑස් කලබලයෙන් දිලිසෙමින් ද, වලිගය හතර අතේ වනමින් ද , උඩපනිමින් ද පිළිගැනීමේ ගීතය ගායනා කරන්නට මේ කළු ලෝම ගුලිය සැදී පැහැදී සිටී.

ඇය තම දෑසට දකින තුරුම ගීතය නොනවත්වන මේ ජීවියා ඇය දුටු වහා තම ඉදිරි ගාතා ඇගේ උරහිසට තබා මුහුණට මුහුණ තබා පිළිගන්නා අතර , ප්‍රීතිමත් කෙල වලින් මුහුණ නෑවිමට ද අමතක නොකරයි. ඉන් පසු ඔහු සංසුන් වීමට නම් හිස අතගා , ආදර බස් තෙපලා , බත් කෑව ද , හොඳින් හිටිය ද ඇසිය යුතු ය. 

අයිතිකාරිය නිවෙසින් දවස් දෙක තුනකට වඩා වසන්ව සිට පැමිණිය හොත් මේ ජීවියාගේ පිළීගැනීමේ ගීතයේ මුල් කොටස මන්ද්‍ර ස්වරයෙන් ගැයෙන නෝක්කාඩු ස්වභාවයක් ඉසිලූවත් , තත්පර කිහිපයකි දී යලිදු ප්‍රීතිමත් ගැයීමක් බවටම පත් වේ.

ඉතාම කීකරු සතෙකු වෙන මේ විශාල ලෝම කුට්ටිය ජලයට ඉතාම ආසා කරයි. කොල පැහැති බලු ෂැම්පු බෝතලය දුටු විට ලෝම පිරි වලිගය සට පට ගා සලමින් පසු පස ගාතා වලින් සිට ගනිමින් ඉදිරි ගාතා දේක උස්සා ප්‍රීතිමත් හාවෙකු මෙන් හැසිරෙන්නේ “ මෙ උදා වන්නේ ජල ක්‍රීඩා අවස්ථාව “ බව ඉවෙන් දැන ගැනීමෙනි.


කිසිදා භාජනයක ලූ ජලය බීමට දිව දිගු නොකරන මේකා , රට පුරා සවාරි ගසා හති දමමින් පැමිණි විටත් , දිව ගිලෙනා සා පිපාසාව දැනෙනා විටත් ජල කරාමය අසලට වී සිටින්නේ කිසිවෙක් හෝ පැමිණ එය විවෘත කර දෙන තුරුය. ඉවසීමේ සීමාව ඉක්මවා ගිය දවස් දෙක තුනකදීම තමා විසින්ම කරාමය විවෘත කිරීමට ගන්නා උත්තාස වලට පිං සිදු වන්නට කැඩී බිදී ගිය කරාම ගනන තුනකි. නමුත් ඒ අවස්ථා තුනම ඒකාට ගෙන දුන්නේ අසීමිත ප්‍රීතියකි.  කැඩුනු කරාමයෙන් විසිරෙන ජලයට හිස අල්ලමින් ද , ඇඟ අල්ලමින් ද , විසිරෙන ජල රැළි කටින් ග්‍රහණය කරමින්ද ඌ ලබා ගන්නා ප්‍රීතිය දකින විට දී කරාම කැඩූ නිසා සිදු වූ අලාභය ගැන සිතේ ඇතිවන පසු තැවිල්ල ද සේදී යයි.

මේකා ජලජ ජීවියෙකු ලෙස සිතීමට සිදු වන අවස්ථා ගණනාවක් උදා වී තිබූ අතර ඉන් පළමු අවස්ථාව වූයේ මේකාට මාස තුනේ  දී පමණ නිවසට ගෙනා දෙවන දිනය යි.  

සුපුරුදු පරිදි උදයේ අලුත ගෙනා බලු පැටවා සිටිනා ඉසව්ව බලද්දී කුඩා බලු පැටියා එතන නොසිටියෙන්  ප්‍රථමයෙන් උගෙ අයිතිකාරිය ද දෙවනුව නිවසේ සැවොමද එකතු වී නිවසේ ඇදන් පුටු යට පවා එඹෙමින් , කිසිදා නොදුටු අහු මුළු ද පිරික්සමින් බලු පැටවා සොයන්නට විය. 

වැඩි දුරක් ඇවිදන් යාමට නම් නොහැකි වන්නට ඇතැයි කියූ එකෙකු , නිවස වටා ද, අවසානයේ දී  පොළව මට්ටමට තිබූ බැද නොමැති ළිං පතුලට ද එඹී බලා පැවසූවේ . බලු පැටවා නොමැති බවත් රාත්තිරියේ කවරෙකු හෝ පැමිණ බලු පැටවා රැගෙන යන්නට ඇති බවත් ය.

දින දෙකක් අපහා විසු සුරතල් බලු පැටවා නැති වීමේ ශෝක ජනක අවස්ථාව සැමරීම නිසා එදින දෛනික කටයුතු  ද  ප්‍රමාද වී තිබුණ බැවින් පෙරදා සේදීමට සිතා සෝදන කුඩු සහිත වතුරේ දමන ලද රෙදි සේදීමට ගිය අවස්ථාවේ දුටු දර්ශනයෙන්  යලිදු  නිවසියන් හට අප්‍රමාණ සතුටු සාගරයක කිමිදි යාමට අවස්ථාව උදා විය.

පෙණ බුබුළු සහිත ජලයේ  තෙත රෙදි ගොඩ මැද කළු පුළුන් ගුලියක් නිනව්වක් නැතිව වකුටු වී ඔහේ නිදි ය. 

දැන් නම් ඒ බේසමේ බැස නින්දක් නිදා ගැනීමට සිතන්නටවත් බැරි තරමට ඒ කුඩා බලු පැටවා , තඩියෙකු වී හමාරය.

ලෝම විහිදෙන ඇදුම ඇද , වලිගයෙන් කතා කරමින් , ප්‍රීතිමත් දෑස් වලින් තම අයිතිකාරිය දෙස බලනා මේ සෙනෙහෙවත් ජීව ගුලිය තම ස්වාමි දුවට මුළු හදවතින්ම ලෙංගතු , පෘථිවියේ සිටින එකම ජීවියා වීමට නොහැකි ද???


9 ප්‍රතිචාර:

Chanaka Munasinghe said...

ලෝකෙ ඉන්නවලු එක වගේ බව්වො 7 දෙනෙක්

හංසි(swan) said...

අපේ බලු සාමාජිකයෝ දෙන්නයි ටෝමිය වතුර කිව්වොත් දුවන ජාතියේ කම්මැලියෙක්. ටිමියව නම් වඩාගෙන ගිහින්ම නවන්න පුළුවන් :) හැබැයි මේ තරම් වතුරට ආස නැහැ දෙන්නම වැඩියෙන්ම ආස ලඟට වෙලා ඔලුව අතගානවානම් :)

sumudu chamikara said...

අපෝ අපේ ටාසන් නම් ..ඌ නාවන කොට වැඩිපුරම නාන්න වෙන්නේ නාවන කෙනාට ..කොච්චර හොදට නාවලා වැලි නැති තැනක ගැට ගැහුවත් වැඩක් නෑ ..ලිහිව්ව ගමන් වැලි නාවන ඒක තමයි උගේ වැඩේ ..

ඒ මිට අවුරුදු ගනනකට කලින්..දැන් ඌ නැත..එදා මෙදා තුර ටාසන් ගේ අඩුව පුරවන්නට කවුරුවත් පැමිණියේ නැත ...

විභීෂණ II said...

වතුර සීන් එක ඇරෙන්න බල්ලෝ නම් සේරම ඔය වගේ අපිට නොසෑහෙන්න ආදරෙයි.

ලියනවා නම් ආදී ගානක පොස්ට් එහෙකින් වුනත් ලියන්න පුළුවන්,

[°•_•°] {`^`…´^´} (~•`_´•~) said...

තාම ඔහේලා එයැයිගෙ ආහාර සලාකෙට වෙනසක් කලේ නැතෙයි ?

Mahesh Rathnayake said...

බව්වො නෙ...
නෑනේ බව්වියෙක් ඉන්නෙ. උටත් මං වගේම පිස්සු.. කෑමට එක.. බුරන්නෙ නං නෑ මළාට..
කොච්චර කෑවත් ඉරට්ට වගේ.. කියන්න තං‍තෝසයි ....‍
හේහ‍ේ

Wmk Samarasekara said...

හිත දින කතාවක්. මටත් හිටියා බල්ලෙක් ඊක දිග කතාවක් ,වෙලාවක මමත් ඒක ලියන්න ඕනෑ

Pra Jay said...

තරහවෙන්න එපා කිව්වට මට නම් මේක ඔබේ හොඳම පෝස්ට් එක. එක හේතුවක් මං කාව්‍යාබාධිත නිසා ඔය කවි වගේ ඒවා තේරෙන්නෙ නෑ. ලොකුම හේතුව මගේ ප්‍රියතම දේවල් දෙක කම්බයින් කරපු නිසා - කියවීම සහ බල්ලන්

"Outside of a dog, a book is a man's best friend. Inside of a dog it's too dark to read." - Groucho Marx

කොළොම්පුරේ (අසංග රණසිංහ ආරච්චි) said...

බල්ලෝ හොදයි මැක්කෝ නැත්නම්
බල්ලෝ හොදයි මයිල් හලන්නේ නැත්නම්

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...