..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Sunday, April 9, 2017

බල්ලෙකුගේ හදවත

බල්ලෙකුගේ හදවත


 
“ අපෝ මේකා යකෙක් නේ “ යැයි ඇතැමෙකු පවසන අතරේ , තවත් ඇතැමෙකු පවසන්නේ ඒකා වෘක පරම්පරාවේ එකෙකු වීමට වඩාත් ඉඩ ඇති බවයි. ඒ අතරේ ද ඇතැමෙකු  ඌ දෙස වඩා විමසිලිමත්ව බලමින් පමණට  වඩා අසාමාන්‍ය ලෙස දිගු හොම්බ සාක්ෂි කර  පවසන්නේ ඒකා නරියෙකු වීමට බොහෝ දුරට ඉඩ ඇති බවයි.  

අයිතිකාරිය ද බොහෝ කාලයක් තීරණයක් ගත නොහැකිව සිට අවසන ,  නරියෙකු ලෙස භෞතිස්ම කරන්නට සැරසී සිටියදී හදිසියේම දිනක් බල්ලෙකු මෙන් බිරීම නිසා අවසානයේ දී ඇය විසින් මේකා බල්ලෙකු බව ඒකමතිකව තීරණය කරන ලදී. කෙසේ  හෝ උගේ අයිතිකාරියට වඩා ඒකා රුවින් සරුසාරව වැඩෙන බව නම් මේ සැවොම විසින් එක හඬින්ම පිළිගන්නා සතයයකි.



ඉතාම කුඩා කාලයේ දී බෙල්ලට වැටී ගලවා දමන ලද අගනා කර පටියත් , බලු දොස්තර මහතා පැමිණි විට පමණක් බෙල්ලට වැටෙන දම්වැලත් හැරුණ විට ඉතාම නිදහසේ වැඩෙන ලෝම කබාය ඌ ලද අගනා දායාදයකි.

අයිතිකාරිය කොහේ හෝ ගොස් නිවසට පැමිණෙන පාරට හැරෙන තැනට එන විට ම ඉතා ප්‍රීතිමත් දෑස් කලබලයෙන් දිලිසෙමින් ද, වලිගය හතර අතේ වනමින් ද , උඩපනිමින් ද පිළිගැනීමේ ගීතය ගායනා කරන්නට මේ කළු ලෝම ගුලිය සැදී පැහැදී සිටී.

ඇය තම දෑසට දකින තුරුම ගීතය නොනවත්වන මේ ජීවියා ඇය දුටු වහා තම ඉදිරි ගාතා ඇගේ උරහිසට තබා මුහුණට මුහුණ තබා පිළිගන්නා අතර , ප්‍රීතිමත් කෙල වලින් මුහුණ නෑවිමට ද අමතක නොකරයි. ඉන් පසු ඔහු සංසුන් වීමට නම් හිස අතගා , ආදර බස් තෙපලා , බත් කෑව ද , හොඳින් හිටිය ද ඇසිය යුතු ය. 

අයිතිකාරිය නිවෙසින් දවස් දෙක තුනකට වඩා වසන්ව සිට පැමිණිය හොත් මේ ජීවියාගේ පිළීගැනීමේ ගීතයේ මුල් කොටස මන්ද්‍ර ස්වරයෙන් ගැයෙන නෝක්කාඩු ස්වභාවයක් ඉසිලූවත් , තත්පර කිහිපයකි දී යලිදු ප්‍රීතිමත් ගැයීමක් බවටම පත් වේ.

ඉතාම කීකරු සතෙකු වෙන මේ විශාල ලෝම කුට්ටිය ජලයට ඉතාම ආසා කරයි. කොල පැහැති බලු ෂැම්පු බෝතලය දුටු විට ලෝම පිරි වලිගය සට පට ගා සලමින් පසු පස ගාතා වලින් සිට ගනිමින් ඉදිරි ගාතා දේක උස්සා ප්‍රීතිමත් හාවෙකු මෙන් හැසිරෙන්නේ “ මෙ උදා වන්නේ ජල ක්‍රීඩා අවස්ථාව “ බව ඉවෙන් දැන ගැනීමෙනි.


කිසිදා භාජනයක ලූ ජලය බීමට දිව දිගු නොකරන මේකා , රට පුරා සවාරි ගසා හති දමමින් පැමිණි විටත් , දිව ගිලෙනා සා පිපාසාව දැනෙනා විටත් ජල කරාමය අසලට වී සිටින්නේ කිසිවෙක් හෝ පැමිණ එය විවෘත කර දෙන තුරුය. ඉවසීමේ සීමාව ඉක්මවා ගිය දවස් දෙක තුනකදීම තමා විසින්ම කරාමය විවෘත කිරීමට ගන්නා උත්තාස වලට පිං සිදු වන්නට කැඩී බිදී ගිය කරාම ගනන තුනකි. නමුත් ඒ අවස්ථා තුනම ඒකාට ගෙන දුන්නේ අසීමිත ප්‍රීතියකි.  කැඩුනු කරාමයෙන් විසිරෙන ජලයට හිස අල්ලමින් ද , ඇඟ අල්ලමින් ද , විසිරෙන ජල රැළි කටින් ග්‍රහණය කරමින්ද ඌ ලබා ගන්නා ප්‍රීතිය දකින විට දී කරාම කැඩූ නිසා සිදු වූ අලාභය ගැන සිතේ ඇතිවන පසු තැවිල්ල ද සේදී යයි.

මේකා ජලජ ජීවියෙකු ලෙස සිතීමට සිදු වන අවස්ථා ගණනාවක් උදා වී තිබූ අතර ඉන් පළමු අවස්ථාව වූයේ මේකාට මාස තුනේ  දී පමණ නිවසට ගෙනා දෙවන දිනය යි.  

සුපුරුදු පරිදි උදයේ අලුත ගෙනා බලු පැටවා සිටිනා ඉසව්ව බලද්දී කුඩා බලු පැටියා එතන නොසිටියෙන්  ප්‍රථමයෙන් උගෙ අයිතිකාරිය ද දෙවනුව නිවසේ සැවොමද එකතු වී නිවසේ ඇදන් පුටු යට පවා එඹෙමින් , කිසිදා නොදුටු අහු මුළු ද පිරික්සමින් බලු පැටවා සොයන්නට විය. 

වැඩි දුරක් ඇවිදන් යාමට නම් නොහැකි වන්නට ඇතැයි කියූ එකෙකු , නිවස වටා ද, අවසානයේ දී  පොළව මට්ටමට තිබූ බැද නොමැති ළිං පතුලට ද එඹී බලා පැවසූවේ . බලු පැටවා නොමැති බවත් රාත්තිරියේ කවරෙකු හෝ පැමිණ බලු පැටවා රැගෙන යන්නට ඇති බවත් ය.

දින දෙකක් අපහා විසු සුරතල් බලු පැටවා නැති වීමේ ශෝක ජනක අවස්ථාව සැමරීම නිසා එදින දෛනික කටයුතු  ද  ප්‍රමාද වී තිබුණ බැවින් පෙරදා සේදීමට සිතා සෝදන කුඩු සහිත වතුරේ දමන ලද රෙදි සේදීමට ගිය අවස්ථාවේ දුටු දර්ශනයෙන්  යලිදු  නිවසියන් හට අප්‍රමාණ සතුටු සාගරයක කිමිදි යාමට අවස්ථාව උදා විය.

පෙණ බුබුළු සහිත ජලයේ  තෙත රෙදි ගොඩ මැද කළු පුළුන් ගුලියක් නිනව්වක් නැතිව වකුටු වී ඔහේ නිදි ය. 

දැන් නම් ඒ බේසමේ බැස නින්දක් නිදා ගැනීමට සිතන්නටවත් බැරි තරමට ඒ කුඩා බලු පැටවා , තඩියෙකු වී හමාරය.

ලෝම විහිදෙන ඇදුම ඇද , වලිගයෙන් කතා කරමින් , ප්‍රීතිමත් දෑස් වලින් තම අයිතිකාරිය දෙස බලනා මේ සෙනෙහෙවත් ජීව ගුලිය තම ස්වාමි දුවට මුළු හදවතින්ම ලෙංගතු , පෘථිවියේ සිටින එකම ජීවියා වීමට නොහැකි ද???


Sunday, April 2, 2017

බොඩිය හැඩවෙන්න , මොළය වැඩි වෙන්න ,යන්න ඕනි තැන මෙන්න

බොඩිය හැඩවෙන්න , මොළය වැඩි වෙන්න ,යන්න ඕනි තැන මෙන්න
For body beautiful , 
For mind impressive 
The place to go 
Is none other than this
-------------------------




හැටේ පොල් ගෙඩිය වගේ අත් ගොබ  හදාගත්තට ,  අටේ අලගෙඩිය තරම් මොළේ කලදක් නැති කොල්ලො රිංගන තැන තමා ජිම්මෙක.

අතේ තියන පිච්චියත් නැති කරගෙන නිච්චියක් නැති ලෙඩ හදා ගන්න තැනක් තමා ජිම්මෙක.

මසට හදන බොයිලර් කුකුල්ලු වගේ ඔහේ හැදිලා , වේලාසන මැරිල යන්න රිංගන තැනක් තමා ජිම්මෙක.

ගොඩක් අය ජිම්යන අය ගැන වගේම ජිම් එකට රිංගල කාලය ගත කරන කොල්ලන් ගැන හිතන්නෙ එහෙමයි. වෙනේකක් තියා මාත් හිතුවෙ එහෙමයි.

ඒත් , කායවර්ධනය කියන්නේ අපි හිතන තරමින් ගොඩාක් එහාට විහිදිලා ගියපු නොසිතූ විදිහෙ වාසි රැසක් ලබා දෙන ක්‍රියාවලියක් කියල හරියටම දැන ගත්තෙ ඊයේ.

කොටින්ම කාය වර්ධන ඉතිහාසය ග්‍රීක-රෝම යුගයට ම දුරයි. මනස සහ කය අතර බැදීම තරමටම ළඟ යි. මනස ගැන ලොකු සංවාදයක් ඇති වුනු ග්‍රීක යුගයේ දී මනස හා බැදුන ශරීරය ත් එයාල අමතක කරේ නැහැ. ඔලිම්පික් වගේ ශරීරය හා බැදුන දේවල් ඉස්මතු වෙලා ආවෙ ඒකයි. කොටින්ම නිරෝගී ශරීරය සහ සමතුලිත මනස අතර සම්බන්ධය එයාල දැනන් ඉදල තියනවා.

නමුත්  වර්තමානය වෙද්දි , කාය වර්ධනය බොහෝ දෙනා සලකන්නේ මනසේ පාලනයට යටත් නොවන ශරීර වර්ධනයක් කියලා. 

කොටින්ම සමහරු හිතනවා ශරීරය ඒ විදිහට වර්ධනය වෙද්දි මනස කුඩා වෙලා නැති වෙලා යනවා කියලා. පුරුශ ශක්තිය හීන වෙනවා කියලා. 

ඒත් ඇත්තටම වෙන්නේ කායවර්ධනය සඳහා යොදා ගන්නා ක්‍රමවත් ක්‍රියාපිළිවල නිසා වර්ධනය වන ශරිරයත් එක්කම මනසේ ක්‍රියාවලියත් ඵලදායි ලෙස වැඩිවීම. 



කොටින්ම කියනව නම් නිකම් තියන අපේ මනස කායවර්ධන ක්‍රියාවලිය නිසා මනසේ වැඩකට ගන්නැතිව තිබ්බ තැන් ක්ලියර් වෙලා මනසේ ධාරිතාවය වැඩිවීම.

කොහොම ද එහෙම වෙන්නේ ,?

  • සිගරට් බොන අයට සිගරට් එකක් බීවම ඇඟට එන Kick එක එයාල දන්නව ඇති. ඒක බොහොම තාවකාලික වගේම අයහපත් kick එකක් වුනත් කායවර්ධන මධ්‍යස්ථානයකට ගිහින් ගන්න kick එක නිවරදිව මේන්ටේන් කරගෙන ගියොත් ඒ කික් එක ඇගට විතරක් නෙමේ මනසටත් දැනෙනවා.
ඒක හරියට අැගේ තියන සතුට දනවන හෝමෝනය ස්‍රාවය කරවන වැඩක් වගේ. ඒ කියන්නේ මිනිස් ශරීරයේ තියන endocrine  system එක (අන්තරාසර්ග පද්ධතිය) හෝමෝන ස්‍රාවය නිසි පරිදි සිදු වීමටත් මේ ජිම් යන වැඩේ වැදගත් වෙනවා. Life එකට හොඳ  kick  එකක් ලැබෙනවා.
  • එක එක අය කායවර්ධන මධ්‍යස්ථාන වලට එන්නේ එකම අරමුණකින් නෙමෙයි. නමුත් අරමුණ මොනා වුනත් කය සහ මනස අතර මනා සම්බන්ධයක් නැති වුනොත් කායවර්ධන මධ්‍යස්ථානයකට එන එක තේරුමක් නැති වැඩක් වෙන්න පුලුවන්.
  • මොකද කියනව නම් මනස සහ කය අතර සිද්ධ වෙන භාවනක් වගේ තමා මේ කායවර්ධන ව්‍යායාම. උදාහරණයක් ගත්තොත් biceps muscle ( බාහුවෙහි මස්ගොබය ) වර්ධනය වැඩි කර ගන්න නම් ඒ බාහුවේ සංකෝචන සහ ඉහිල් වීම් වලට කරන ව්‍යායාමය ඔහේ කරනවට වඩා ඒ ගැන අවධානයෙන් ව්‍යායාමය සිදු කිරීමෙන් ඒ biceps muscle වල වර්ධනය වැඩි කර ගැනීම වේගවත් කර ගන්න පුලුවන්.

  • අද රටේ මිනිස්සු අතර නැතිම දෙයක් තමා “ස්වයංවිනය“ (self discipline ). බොඩි බිල්ඩින් වලට ජිම් රිංගන කොල්ලන්ට කොහෙද විනයක් ? 
එහෙම හිතුවට , කායවර්ධන මධ්‍යස්ථානයකට ආවට ගියාට යන්න බෑ.ඒ වගේම ඒ වර්ක්අවුට් හිතුමතේ කරන්නත් බෑ. ඒකට තියෙන්න ඕනි “විනයක්“ . කොටින්ම විනයක් හදා ගන්න බැරි කෙනෙක් කායවර්ධන මධ්‍යස්ථානයකට රිංගන එක තේරුමක් නැති වැඩක්.


  • ජීවිතයට සැනසීමක් එක්ක එදිනෙදා වැඩ වලට හිත යොමු කරන්න , හිත එක් තැන් කර ගන්න පහසුවක් ලැබෙනවා.එහෙම වෙන්නේ ජිම් යනේක හිතුමතේ කරන්න බැරි දෙයක් නිසා. වෙලාවට කලාවට ජිම් යන්න වුනාම , ඒ සඳහා සූදානම් වීමත් ඒ සඳහා පිළිවලට යන්න වෙනේකත් නිසා අරමුණක් නොමැති ජීවිතයකට සැනසීමක් නිරායාසයෙන්ම ලැබෙනවා. ඒ වගේම තමා කෙනෙක්ට යම් ගැටළුවකට විසඳුම නොපෙනෙන තරම් දුරක නම් , තමාගේම බුබුලක් ඇතුලට වෙලා ජීවත් වෙන්න කියාපු තැන තමා ජිම්මෙක'

  • මෙන්න මේක තමා හොඳම කතාව වයසට යන වේගය අඩු කර ගන්නත් මේ කාය වර්ධන ව්‍යායාම බලපානව. ඒවට කියන්නේ High Intensity Interval Training කියලා. ඒකෙ දි වෙන්නේ වයසට යමින් තිබෙන අපේ මනස සහ ශරීරයට තව තවත් දරා ගැනීමේ හැකියාව වැඩි කරල දෙනේක.එතකොට අපට පුලුවන් වෙනවා අපේ සැඟවිලා ප්‍ර යෝජනයට නොගෙන තිබුන කොටස් වලිනුත්  වැඩක් ගන්න පුලුවන් වෙන නිසා උපරිම ධාරිතාවයෙන් වැඩ කරන්න , වයසට යද්දිත් කොල්ලෙක් වගේ ඉන්න. තමන් ආස දේවල් කරන්න. කඳු නඟින්න, තනියෙන් ඇවිදින්න යන්න, මේ ඔක්කටම වඩා සතුටින් ඉන්න.....


ඉතින් මෙකී නොකී වාසි ගොඩක් අස්සේ මේ ක්ෂේත්‍රය අභාවයට යන්න හේතු වෙන කාරණාත් නැතිවම නෙමෙයි.


ඉන් එකක් තමයි තහනම් උත්තේජක. සමහර ගැටවුන්ට ඕනි වෙනවා ක්‍රමාණුකූලව , පිළිවළට පියවරෙන් පියවර ගිහින් විනයානුකූලව හැඩකර ගන්නා ශරීරයක් ලබා ගන්නා වෙනුවට , ක්ෂනික  බොඩියකට යන්න. අන්න එහෙම අය කරන දෙයක් තමා තහනම් උත්තේජක භාවිතය . අනේ ඉතින් එතන දි නම් බොයිලර් කුකුල වගේ ඉන්න ලැබෙන්නෙ බොහොම ටික කාලයයි. ඊට පස්සේ මුළූ ශරිරයම අභාවයට යන්න පටන් ගන්නවා.

අනිත් කාරණාව තමා සප්ලිමන්ට් භාවිතය. සප්ලිමන්ට් ලබා ගත යුතුමයි කියල නීතියක් නැහැ වගේම ඒවා බොහොම මිල අධික ද්‍රව්‍යය. රගර් ක්‍රීඩකයින් , වෘත්තීමය බොඩි බිල්ඩර්ස්ලා මේවා භාවිතා කරාට කිසිම ගැටළුවක් නැත්තේ එයාලගේ ඉපයීම ඒ මත රැදිල තියන නිසා.
නමුත් ශරීර සෞඛ්‍ය සඳහා සහ විනෝදය සඳහා මේවා කරන අයට සප්ලිමන්ට් ලබා ගත යුතුමයි කියල නිතියක් නැති බවයි කියවෙන්නේ.

තවත් කිය යුතු දේ බොහෝමයක් තිබුනත් , දැනට මේ ඇති. ඉතින් කාය වර්ධනය ගැන ඔබේ හිතෙත් තිබ්බ දුර්මත නැති වෙන්නත් , කාය වර්ධනය තමන්ගේ ශරිරයේ සහ මනසේ වර්ධනයට මිසක වැරදි පාරවල් වල ගොස් ශරීරයෙන් සහ මනසින් පිරිහුනු කෙනෙක් නොවෙන්නත් මේ ලිපිය පුංචි හරි හේතුවක් වුනා නම් එයයි මගේ සතුට.


----------------------------------------------

ප/ලි - විශේෂ ස්තුතිය මගේ හිත මිතුරු තරිඳු ට 

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...