..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Wednesday, February 22, 2017

අරුම පුදුම ළමයි - wonderful children - 01

අරුම පුදුම ළමයි - Wonderful Children  - 01


මා පන්ති භාරකාරත්වය උසුලන පන්තිය ( "ICU" පන්තිය ) අමුතුම පන්නයේ ළමයින් ගෙන් පිරී ඇත. 

එහි සිටිනා සියළුම ළමයින් එකෙකුට එකෙක් බෙහෙවින්ම වෙනස් ය. නමුත් ඔවුන් සියළු දෙනාටම පොදු වූ සාධකද පවතින අතර ඒවා ද ඔවුන් හා සමාන්තර අනිකුත් පන්ති වල ළමයින්ට වඩා වෙනස්යැයි මට සිතේ.

ඔවුන් නිතරම සිටින්නේ
සිනාමුසු මුහුණිනි.අසාමාන්‍ය තරමේ සතුටු පොදි ඔවුන් සියළු දෙනා ළඟම කොහේ හෝ රහස් ස්ථානයක සඟවා ඇති අතර නිතර නිතර එම රහස් සතුටු පොදි විවෘත කරමින් තමාගේ ද , තමා ළඟ සිටිනා  අනෙකාගේ ද ඒවා තැවරීම  ඔවුන්ගේ ප්‍රධානම කාර්යයයි..

මා ඔවුන්ගේ දුක්කදායක ගුරුවරියයි. නමුත් ඔවුන්තර සිටින විට දී , ඔවුන් එකිනෙකා අතර නිතර නිතර හුවමාරු වන සතුටු පොදි වැදී මා සිතට ද සතුට බෝවී මම ද සතුටින් පිනා යන්නියක බවට පත් වන්නෙමි. 

ඒ සඳහා මා ඔවුන්ට බෙහෙවින්ම ණයගැතියැයි මට සිතේ.

මා සිත කෝප කරවන තරමට ම ඔවුන්ගේ   ක්‍රියාශීලීත්වය බෙහෙවින්ම වැඩි ය. මා ඔවුන්ගේ කම්මැලි ගුරුවරියයි. ඔවුන්ගේ ක්‍රියාශීලීත්වය කෙතරම්ම වැඩි ද යත් එක් සීරුවකට පුටුවේ වාඩි වී විනාඩි තුනක් සිටීමට ද බැරි තරම් ය. කට නොසෙල්වා සිටිය හොත් කතා කිරීමට බැරිවේයැයි බියක් ඔවුනතර ඇතිවා මෙනි. 

ඔවුන් අතර නිතර නිතර තරඟයට සිදු වන පුංචි පුංචි රණ්ඩු බේරීමට මැදිහත් වීමෙන්ම මා ද ක්‍රියාශීලි ගුරුවරියකට බවට නිරායාසයෙන්ම පත්වී ඇති බවක් මට හැඟී යයි.

එකෙකුගේ කලබලවීම් වලට මැදිහත් වී මාගේ ආසනයට පැමිණීමටත් පෙරම තවකෙකු සමඟින් පැටලෙන ළමයකු කරා යාමට සිදු වන නිසා මට ද එක විනාඩියක් එක ලෙසට ගුරු පුටුවේ වාඩි වී සිටීමට නොලැබෙන බැවින් මම ඔවුන්ගේ දඩිබිඩි ගුරුවරිය වීමට සුදුසුකම් ඕනෑවටත් වඩා සපුරා ඇති බව මටම හැඟී ය යි.

මොවුන් සියළු දෙනාගේම දැකිය හැකි අනිත් පොදු ලක්ෂණය නම් දුක්කදායක එකකි. මොවුන් සියළු දෙනාගේම සාක්ෂරතා හැකියාව , කියවීම, ගණිත හැකියාව , තර්කන හැකියාව , විශ්ලේශණ හැකියාව අනිකුත් සමවයස් ළමයින්ට වඩා අඩු වීමයි ඒ.

නමුත් , ඉදිරිපත් වීම් , සෞන්දර්ය කුසලතා , කණ්ඩායම් හැඟීම් , සංවේදීබව මෙන්ම ශක්තිමත් බවින් ද ඔවුන් අනිකුත් අයට වඩා ඉදිරියෙන් සිටීම මා සිත අස්වසාලයි. ඉතා සරලම උදාහරණයක් මඟින් දක්වන්නේ නම් , මාගේ  කටින් “ අපි එහෙනම් දැන් මේ පින්තූරය එල්ලමු“ යැයි පිටවු සැණින්  අනිත් මිනිත්තුවේ ඔවුන් මා අසල සිටින්නේ අවශ්‍ය කලමණා සියල්ල අතින් කටින් එල්ලා ගෙනය. 

මොවුන් සියළු දෙනාම මා වැනි ගුරුවරියන් පසු කරමින් පැමිණ ,  පසුගිය වසර කිහිපය තුල දී සිදුවූවාක් මෙන්ම මේ වසර අවසානයේ දී මා ද හැර යනු ඇත. නමුත් ඔවුන්ගේ මතක හැර යාමට ඉඩ දිය නොහැකි වන්නේ ඔවුන් අනිකුත් සියළුම දෙනාට වඩා මට සුවිශේෂී වන බැවිනි.

එබැවින් , ඔවුන්ගෙන් එකෙකු බැගින් ගෙන ඔවුන් වටා ගොඩනැගී ඇති කතාන්දර ය ඔබ හා බෙදා ගැනීමට මෙය අවස්ථාවක් කර ගැනීමට සිතේ............

මතක තබා ගන්න. 
මේ පන්තිය අරුම පුදුමය. 
එහි සිටින අරුම පුදුමකරුවන් ගණන 6ක් වන අතර අරුම පුදුමකාරියන් ගණන 12කි. 

මෙතැන් සිට ඉදිරියට එයින් එකෙකු බැගින් ගෙන ඔවුන්ගේ සතුටේ රැස් වලල්ල වටා ගෙතී ඇති දුක්කදායක කතා දිගහැරීමට මම බලාපොරොත්තු වෙමි.


-----------------------------------------------------------------------------


පළවෙනි දිගහැරුමෙන්  - “පන්තියේ කසඹිලිකාරයා“ ගේ කතාන්දරය බලාපොරොත්තුවන්න.

ප/ලි- මෙහි දී යොදා ගන්නා නම් , ගම් සියල්ල මන:කල්පිත ඒවා වන බව කරුණාවෙන් සලකන්න. ළමයින්ට ද ඔවුන්ගේම පුද්ගලිකත්වයක් ඇති අතර එය සුරැකීම ඔවුන්ගේ ගුරුවරිය වන මාගේ වංගකීමයි.


අරුම පුදුම ළමයින්ගේ , ගුරුවරිය

මම
෴ සොඳුරු සිත ෴

7 ප්‍රතිචාර:

Lahiru Pawan said...

ගොඩක් සංවේදීයි...කතා ටික ගල් හිතක් තියෙන කෙනෙක් උනත් උණු කරන්න පුළුවන් වෙයි කියල හිතනවා. ඔබ තුමී වැනි ගුරුතුමියන් ලංකාවේ සියලුම සිසුන්ට ලැබෙනවා නම් මේක පුදුම ලස්ස්සන රටක් වෙයි, අතීතකාමයටයි කවි නිසදැස් වලටයි විතරක් සීමා නොවුන. ඇත්තටම විශේෂ අවශ්‍යතා තියෙන අය ඔබතුමිගේ පන්තියේ ඇත්තටම නැතුව ඇති....මොකද මන් දකින විශේෂම අවශ්‍යතාව තමයි ආදරය. ඔබ තුමී මේ කතන්දර ඉදිරිපත් කරලා කරන වටිනා වැඩේ නම් අකුරු වලින් කැටයම් කරන්න මන් දන්නේ නෑ. එත් තියෙන එකම පැතුම මෙතන ලියල යන්නම්.. ඔබ වැනි ගුරු උතුමියන් ලොව සියලු සිසුන්ට ලැබේවා. ඔබට ජය (මන් බ්ලොග්ස් ගොඩක් කියවනවා අවුරුදු තුනක විතර ඉදල.. එත් එහෙම එකක කමෙන්ට් කරපු තුන් වෙනි පාර මේ..ඒ තරමටම හිතට දැනුන. නැවතත් ඔබට ස්තුතියි සමාජය නොදකින පැත්තක් සුන්දරව හිතන්න යමක් ඉතිරි කරලා ඉදිරිපත් කරනවට )

MPP Gunasinghe said...

වටිනා ආරම්භයක්. ඕනෑම ගුරු චරිතයකට හමුවන ඕනෑම පන්තියක සිටින ළමුන් සම්බන්ධව සැබෑ ගුරුවරියකගේ කතන්දර සමූහයක් ඔබ විසින් ගෙතෙනු ඇති බව නිසැකය. මේ ඇරඹුමට සුබපැතුම්

Unknown said...

බලාපොරොත්තුවෙන් සිටිමි.. ආරම්භය හොඳයි..

Maathalan - Priyantha Hewage said...

පොඩි මාතලන්ගේ පන්තියෙත් ඉන්නේ නසරානියෝ සෙට් එකක්.. හැබයි ඔය තත්වෙම නෙමෙයි පට්ට බ්‍රයිටොත් ඉන්නවා.. ඒත් මුන් ඔක්කෝම අමු නසරානියෝ.. හැබයි ටීචර්ට පන වගේ ආදරෙයි.. ටීචත් එහෙමයි..

ඕනමැන්ටල් said...

සෑහෙන්න කාලෙකට පස්සෙ බ්ලොග් පැත්තෙ ආවෙ. හොඳ කතා ටිකක් කියවන්න ලැබෙයි කියල හිතෙනව. හැඳින්වීමෙන්ම තේරුම්ගිය විදියට හැමදාමත්ම මගේ මම වැටුන ජාතියෙ පන්තියක් මේක. හැබැයි අපේ ටීචර්ල නං අපිව අතෑරලමයි හිටියෙ (ගණිතය උගන්නපු ක්‍රිෂ්නරත්න සර් ඇරෙන්න).

Praසන්ன said...

මං හිතන්නෙ ඔබතුමී වගේ ගුරුවරියක් ලැබුන හින්ද මේ අවුරුද්දෙවත් ඒ ළමයින්ගෙ දුක්ඛදායී බව ටිකක් හරි අඩු වෙන්න ඇති.

කතා ටික අහන්න බලාපොරොත්තුවෙමින්....

එල ද බ්‍රා මෙන්ඩා said...

මමත් එනවා කතා ටික බලන්න

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...