..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Tuesday, February 28, 2017

“ පන්තියේ කසිබිලිකාරයා හෙවත් චාමර ගේ කතාව“


 “ පන්තියේ කසිබිලිකාරයා හෙවත් චාමර ගේ කතාව“

-----------------------------




“චාමර“ ........................................................    

ඒ නම ඇහෙද්දිත් මගෙ හිතට මහා කලබල ගතියක් දැනෙන්න ගන්නවා. “ මොන විජ්ජුම්බරයක් කරගෙන ද ?“ කියල හිතන්න ගන්නවා. 



අඩි තුනක් තුනාමාරක් විතර උස , තලෙළු ජීවියෙක් මා ලඟ හිටගෙන  අත් දෙක පිටි පස්සට තියන් බැදගෙන , බෙල්ල  උස්සන් මා දිහා බලාගත්ත කළු කර ගත්ත මූණ හද හද බොරු ගොඩාක් එක දිගට කියාන යනවා පේන්න ගන්නවා. විටින් විට එයාගේ පිටුපසට බැදිච්චි දෑත් නිදහස් වෙලා මගෙ පැත්තට දික්වෙන්න ගන්නෙ සිද්ධිය වඩ වඩාත් මට පැහැදිලි කරන්න. 

පන්තියෙ අනිත් ළමයි හැමෝම අපි දෙන්න වටේ අඩ කවයක් විදිහට පෙළ ගැහිලා චාමරට ඇඟිල්ල දික්කරන්  , රවල බලන ගමන් “මෙයා තමා ටීචර්“ කියල එක හඬින් කියනව මට ඇහෙන්න ගන්නවා... 

ඒ මදිවට සුදු ෂර්ට් එකයි සුදු කලිසමයි ඇද ගත්ත වේවැලක් පිටිපස්සට කර ගත්ත කණ්නාඩිදාපු මහත්මයෙක් “ තාමත් බැරි වුනා නේද ටීචර්ට මෙයාව හරියට හදා ගන්න “ කියලා මට තරවටු කරනවා දැනිල මුළු ඉස්කෝලෙම එපා වෙන්න ගන්නවා. 

චාමර කියන්නේ අන්නෙහම මට මහ දවාලේ භයානක හීන පෙන්වන්න ගන්න පුංචි ජීවියෙක්ගෙ නමක්......................

මගේ පන්තියෙ හිටියට මොකද  චාමර සුපර් ස්ටාර් කෙනෙක් වගේ මුළු ඉස්කෝලෙම හඳුනන ළමෙක්. එයිනුත් ළමයි විතරක් නෙමෙයි. හැම ගුරුවරයම “චාමර“ ව අඳුරනවා. 

විදුහල්පති ළඟට අරන් එන නඩුවල විත්තිකරුවන්ගේ නම් ලිස්ට්ටෙකේ ඒ නම නොතිබ්බොත් “ කෝ චාමර ඉදල නැද්ද එදා “ කියල අහන තරමට චාමරගේ හැකියාවන් දිනෙන් දින දියුණු වෙනවා. ඒ නිසා බොහෝ විට නොයෙකුත් අභූත චෝදනා වලටත් නිස්කාරනේ “චාමර“ව අහුවෙනවා. 

පන්තියෙ නම් ලකුණු කරද්දි “චාමර ඉන්නව ද“ කියල ඇහුවම පන්තියෙ ගොඩක් ළමයි. “අෆෝ ටීචර් අද එයා නෑ. අද කණක් ඇහිල ඉන්න පුළුවන් “ කියල කීවත් , චාමර නැති පන්තියේ මට අඩුවක් දැනෙන්න ගන්නවා. චාමර පන්තියෙ ඉන්නෙක වෙලාවකට මහ හරි පහසුවක් අරන් එනවා. පන්තියෙ නම් ලකුණු කරද්දි , පිළිවලට එකින් එක නම් කියා ගෙන යද්දි නමේ අයිතිකාරයාට ත් කලින්ම උත්තර දෙන්නෙ චාමර.

 “ ඉන්නව ටීචර් “ 

“ ඉන්නෝ.......“ 

“ඉන්නවෝ.........“

“ එයා අද නෑ ටීචර්.... මාළු අල්ලන්න ගිහින් “

“ සඳුන් සිරිපාදේ වන්දනාවේ ගිහින් ටීචර්, තව සතියකටවත් එනේකක් නෑ...“ 

“ ඊයෙ පියුමි ආවෙ නැත්තෙ දානෙ ගෙදරක ගිහින් ටීචර්“ 

චාමර නැති දවසට චාමරගෙ යාළුවො කොච්චර සතුටු වුනත් චාමර නම් තමන්ගෙ පන්තියෙ හැම යාළුවෙක් ගැනම ඉන්නෙ අවධානයෙන් කියල ඒ උත්තර අහද්දි මට තේරෙනවා.

මොකක් හරි පෙරළියක් කරන්න කියලා ,හැමදාම උදේම ඉස්කෝලෙ එන චාමර ගෙ දිනපතා පැමිණීම අනර්ඝයි, උදේම ඉස්කෝලෙ එන චාමර ඊට පස්සෙ ඉස්කෝලෙ වටේ රස්තියාදුවෙ යනවා.චාමරට බැරිම වැඩේ තමා හිමින් කතා කරනෙක.ඒ බව මතක් කරල දෙන්න මම කියන්නේ “ චාමර මගේ කණ් දෙක තාම හොඳට ඇහෙනව පුතේ “ කියල විතරයි. කොයි වෙලාවකවත් හිමින් ගමනක් නැති , හිමින් කතා නොකරන චාමර, කට ඇරිය ගමන් අටේ පන්තියෙ උළු උඩ යනවා.

පලවෙනි කාලච්ඡේදයට සීනුව නාද වෙලා ත් විනාඩි ගාණක් පහුවෙලා පන්තියට එන චාමර ගෙ නරක පුරුද්ද නැති කරන්න හිතන් දවසක්  මගෙන් හොඳටම බැනුම් අහල මූණ කළු කරන් ඉදපු දවසෙට පස්සෙන්දා දවසෙ ඉදන් සීනුව ගහපු ගමන් පන්තියට ඇවිත් වාඩි වෙලා යාළුවො එක්ක ගුස්ති අල්ලන්න දැන් චාමර පුරුදු වෙලා. 

මගේ බැනුමෙන් පස්සේ මටත් කලින් පන්තියට එන චාමර නිසා මම පන්තියට එන්නත් කලින් චාමරගෙ නම ඉස්සරහින් ලියැවිච්චි නඩු ගොඩක් පන්තියෙ දොරකඩම පොදි ගැහිල මාව පිළිගන්න බලා ඉන්නවා.ඒ වෙලාවට චාමර මයෙ දිහා බලන්නේ “ඕකනෙ ටීචර් මම පන්තියට පරක්කු වෙලා එන්නෙ “ කියන ජයග්‍රාහී ලීලාවෙන්.

චාමර ඉස්කෝලෙ නේන්නෙ එහෙමත් ඉදහිට දවසක නිසා පන්තියෙ ළමයින්ට ඇත්තටම ඒ දවස සමරන්න තරම් විශේෂ දවසක් වෙනෙකෙත් අහන්න දෙයක් නෑනේ කියලා මේ කියවන ඔයාලටත් හිතෙනව ඇති.

ඒත් චාමර ගෙ නොපැමිණීම පන්තිය පාළුවෙන් පුරවනවා. ඒකට මට මගේම හේතු තියනවා. 

චාමරගෙ විශේෂ ලක්ෂණයක් තමා මම පන්තියෙ ඉන්න හැම වෙලේකම මගෙ ළඟින්ම ඉන්න ඕනිකම.ඒකට එයාට විවිධ හේතු තියනවා. විශේෂ හේතුවක් නැතිම උනත් හේතු හදාගන්න චාමර දක්ෂයි. ඒ වගේම එයා තමා මගෙ පන්තියෙ ඉන්න කසිබිලිකාරයා.

කහඹිලියා ඇඟේ ගෑවුනාම ඉන්න බෑ කසනවා.ඒකට හේතුව තමා කහඹිලා කොළේ තියන බූව.ඒ බූව ගෑවුනාම හොඳට සබන් දාලා හෝදල යනකම්ම කසනව. එක විදිහකට ඉන්න බැරි , නිතරම එහා මෙහා දුවන පුංචි ළමයි දැක්කාම ගෙදර වැඩිහිටියො කියන දෙයක් තමා “ මේ ළමය මොනා වෙලා ද කහඹීලියා ගෑවිල වගේ “ කියලා. චාමර ගෙ කල්ක්‍රියාව දැක්කාම මට මතක් වුනෙත් පුංචි කසිබිලිකාරයෙක්.

මේ කසඹිලිගාය නිසා චාමර එයාට හිමි ආසනයේ එක දිගට විනාඩි තුනක් වත් ඉන්නෑ. බැනල , තරවටු කරල බය කරල පුටුවෙ වාඩි කරත් විනාඩි දෙක තුනකින් ළමයෙක් එක්ක රණ්ඩුවට පැටලෙන්න චාමර හරිම දක්ෂයි. ඒ වගේම “ නැ ටීචර් මම නෙමේ............“ කියමින් මගේ මේසය ළඟට එන්නට චාමරට ගත වෙන්නෙ තත්පර කිහිපයයි.

චාමර සමහර දවසට මට ජම්බු ගෙනත් දෙනවා. 

හොරෙන් සාරි ගප්පි ගෙනත් ළමයින්ට විකුණනවා.

හයියෙන් කෑගගහ ඇගිල් උරුක් කරමින් රණ්ඩුවට යනවා.

හරියට බොරු කියනවා.

ඒත් මේ හැමදේටම වඩා ,මම පන්තියෙ ඉන්න වේලාවල් වලට වැඩි වේලාවක් චාමර ගුරු මේසය ළඟම රැදෙන්නෙ ඇයි කියන ප්‍රශ්නයට මම තාමත් උත්තර හොයනවා. 

චාමර විතරක් නෙමේ හයේ පන්තියෙ තවත් පුංචි පිරිමි දරුවෙක් පන්තියට ආපු වෙලාවේ ඉදල වැඩි හරියක් කැමති ගුරු මේසය ළඟට වෙලා මා ළඟින් ඉන්න. ඒ නිසාම දැන් පන්තියෙ දි ගුරු මේසය ළඟ රැදෙන වේලාව අත්‍යාවශ්‍ය උවමනාවන් වලට විතරක් සීමා කරන්න මම පුරුදු වෙලා.ඒත් උවමනාවකට ගුරු පුටුවෙ වාඩිවුන ගමන් කොහේ හරි ඉදල මොකක් හරි හේතුවක් හදාගෙන මගෙ ළඟට එන මේ ළමයි දෙන්නා හොයන්නෙ මොනව ද?

අද උදේම කාලච්ඡේදයෙත් මම චාමර ගෙ පන්තියට ගියා. උගන්නල ඉවරවෙලා පන්තියෙන් සමුගන්න හදද්දි චාමර මගෙ ළඟට ආවා.

“ ටීචර්ට උක් ගස් ගෙනල්ලා ඕනි ද ?“

“ඇයි චාමර ඒ සැරේ මාළු බිස්නස් පැත්තක තියලා උක් ගස් විකුණනවැයි “

“ නෑ ටීචර් හෙට මම යාළුවෙක්ට උක්ගස් ගෙනත් දෙනව. ටීචර්ටත් ඕනිද ඇහුවෙ ඒකයි “

“එන්න චාමර මාත් එක්ක “

පන්තියෙන් සමුඅරන් එද්දි චාමර මගේ පස්සෙන් ආව. පඩි පෙළ ළඟ දි මම චාමර ගෙන් මෙහෙම ඇහුවා.

“ කවුද චාමරලැයි ගෙදර තව ඉන්නේ ?“

“ මායි අම්මයි විතරයි ටීච....“



“ තාත්තා ? “

“ තාත්තා නෑ ටීචර්.................................... “ 

කවදාවත් හිමින් කතා කරන්න බැහැ කියල මම හිතාන හිටි චාමර ඒ වචන ටික කීවේ නම් මගේ කණටත් ඇහෙන්නෙ නැති තරම් හිමීට.............................






චාමරගෙ පන්තියෙ ගුරුතුමිය
මම
෴ සොඳුරු සිත෴

23 ප්‍රතිචාර:

වැව් ඉස්මත්ත said...

ලස්සනයි.සිත දුකින් පිරුණා.

Kanishka Kumarasinghe said...

කතාව එචිචරයිද?

surangamlr said...

ඒ දරුවට ඕනිවෙලා තියෙන්නෙ අවධානය විතරයි. ෂුවර් ළමයගෙ අම්මත් ළමයට එච්චර හිතේසිවන්ත නැතුව ඇති. ඒකයි එයා ඔය විදිහට හැසිරෙන්නෙ. කොටිම්ම කියතොත් ඒ ළමයගෙ ජීවිතේ කේන්ද්‍රස්ථානය ටිචර් බවට පත්වෙලා ඉවරයි. මං හිතන්නෙ හොඳම දේ ඔයා එයාට වටිනාකමක් දෙන්න. පන්තියෙ සමහර දේවල් එයාට වගකීම් විදිහට පවරන්න. උගන්වන වෙලාවට සහයට අඬගහගන්න. ඒවා ඉටුකලායින් පස්සෙ හැමෝම ඉස්සරහ ඒ සේවය අගයන්න. ඔයාට ඒ දරුවගෙ ජීවිතේ දල්වන්න පුළුවන්. මේ වගේ හිතුවක්කාර ජීවිත කීපයක් හික්මවන්න රාජ්‍ය සේවය ඇතුලේ මං ඔය ක්‍රමය යොදාගෙන තියෙනව. ඒ හංදා වරදින්නෙ නෑ.

Pathmakumara Jayasingha said...

අපූරුයි ටීචර්......!!!

Maathalan - Priyantha Hewage said...

ඇඟ හිරිවැටෙන්නම ලියලා... ඇස් තෙත් වෙන්නම ලියලා... මේ වගේ දරුවෝ තමයි හොඳ සමාජ සෙවකයෝ වෙන්නේ... එකම දේ උන්ට හොඳ දේ මොඅකක්ද නරක දේ මොකක්ද කියන එක කියලා දීම විතරයි.. අපේ පන්තිවල උන්න මෙහෙම උන් හැම එකාම ජීවිතේ ජයගත්තා...

චුලෝදර said...

ටීචර් ට පුලුවන් චාමරගෙ ඉශ්ඨ දේවතාවි වෙන්න. ලමයා හොයන්නෙ අවධානය, ආදරය.. ටීචර් ආදරයෙන් ලමයව හරි ට්‍රැක් එකට දා ගත්තොත් ලමයා සමාජයට හොද පුරවැසියෙක් වේවි. පෙන්ශන් ගිය කාලෙක හිත හිතා සතුටු වෙන්න පුලුවන් මතකයක් ටීචර්ටත් තියේවි.

Indranatha Thenuwara said...

මේ වගේ ම චරිතයක් මං උගන්වපු ඉස්කෝලෙකත් හිටියා.
පිටකො‍ටුවේ හද්ද නසරාණින් අතර හැදිච්ච එකා ඊටත් වඩා නසරාණි වෙන්න එපැයි.
ඒත් ඌ තරම් හිත හොඳ, ගුරුවරයාට ආදරය කරපු එකෙක් මට තාම හමුවෙලා නැද්ද මන්දා..!

Sumith Niriella said...

කොල්ලට තාත්තා හිටියනම් මෙතන “කතාවක්“ නෑ..

ඇනෝ ජපන් said...

මම ටීචර්ට දෝෂාරෝපනයක් එල්ල කරනව නෙවෙයි.
මේක ලංකාවෙ තියෙනෙ අධ්‍යාපනයේ ලොකු දුර්වලතාවක්.
බාලංශ පංතියේ ගුරුවරයා ලමයින්ගේ පවුල් පසුබිම ගැන සම්පූර්න අවබොධයක් පංතිය බාරගන්නකොටම ලබාගතයුතුයි.
අනෙක් රටවල කොහොමද දන්නෙ නෑ.
ජපානෙ නම් 1 වසර (Elementary School) පටන් ගාන්නකොට පංතිබාර ගුරුවරයා හැන්දෑවට හැන්දෑවට සෑම ලමයෙකුගෙම
ගෙදරට ගිහින් පැය බාගයක් විතර දෙමව්පියන් සමග කතාකරල අවබෝදයක් ගන්නවා.
එදාට කලින් කෝල් කරල දෙමව්පියන් දෙන්නාම සහභාගි වියහැකි දවසක් යොදගන්නවා.
එතනදි තේ එකක් බිබී කතාකරමින් ලමයගේ පොඩි කාලෙ ඉඳල තියෙන හොඳ, නරක, අඩුපාඩු ගැන දෙමවුපියන්ගෙන් සහ නිවසේ නිරික්ෂනයෙන් ලබාගන්නවා
ඒකට කියන්නෙ කතේ හෝමොන් (家庭訪問) කියල.
ජූනියර් හයි ස්කූල් (7 වසර) පටන් ගන්නකොටත් මේය කරනවා.

ලිඛිතා said...

මම දන්නවා සොඳුරුට මගෙන් නම් උපදෙස් ඕනේ නැහැ චාමර ගැන ඉදිරයට කරන්න ඕනේ මොකද්ද කියල තේරුම් ගන්න. බාගයක් කියෝගෙන යනකොටම මට වැටහුනා චාමරගේ 'මිසින්' කොටස. 'කහඹිලියා' ගෑවුනා වගේ ඉන්නේ ඔහුගේ මොලේ ගොඩක් ක්‍රියාකාරී නිසා. ඌ හොඳ එකෙක් වෙයි; දිසාපාමොක්ලා ටික කෑවේ නැත්තම් වැඩේ

Praසන්ன said...

මම හිතන්නෙ චාමරගෙ ජීවිතේට ගැලපෙන ගුරුවරයෙක් ඉස්සරවෙලාම හම්බවෙලා තියෙන්නෙ දැන්.
සුරංග කියල තියෙනව වගේ ඒ ළමයට වගකීම් පවරන්න පුලුවන්නං ඔය කහඹිලිය ගායෙන් ප්‍රයෝජනයක් ගන්න පුලුවන් වෙයි.

sumudu chamikara said...

ළමයින් බලා ගැනිල්ලයි අලි බලා ගැනිල්ලයි ඒක වගේ කියනවනේ..මොකද දෙගොල්ලොඅම අනෙකාගේ අවදානය ගන්න කැමති ය කියනවනේ..ලමයින්ට තමන් ගැන තියෙන අවදානය නැති වෙන කොට අවදානය ගන්න මොකක හරි කරනවා ..ඒක හොඳද නරකඳ කියනන් දේට වැඩිය තියෙන්නේ..ඕක ඔය පවුල් පසු බිම වගේ දේවල් නිසා එන දෙයක්..ලු

Lalith perera said...

//චාමර ගුරු මේසය ළඟම රැදෙන්නෙ ඇයි කියන ප්‍රශ්නයට මම තාමත් උත්තර හොයනවා. //
මම හිතුවේ මේ ළමයිගෙ අම්ම නෑ කියල..

නාඩියා නාඩිරත්න said...

ගොඩක් වෙලාවට පොඩි උන් අපෙන් හොයන්නේ නැති වෙච්චි ආදරේ...

itnishantha said...

මේ එදා හිටිය මං ගැනත් අද මගේ කොල්ල ගැනත් නේද ලියලා තියෙන්නේ කියලා හිතුනා.

විසිරි සිහින said...

අවධානය සොයන හොඳම ක්‍රමය චාමර දන්නවා...ඒ දරුවා හදාගන්න ලේසියි ටීච

විභීෂණ II said...

අනේ මන්දා මොනා කියන්න ද කියලා...

හොඳටම හිතට වැදුන...

C.J. Vidanapathirana said...

මං මුලින් හිතුවේ අම්මා නැතුව ඇති කියලා...

දැනුනා..

ජ ය වේ වා !!!

ඕනමැන්ටල් said...

අනිත් කට්ටියගෙ විස්තර ටිකත් එනකං බලාන ඉන්නව

හා පැටික්කි (MS) said...

චාමර ගැන ටිචර්ගේ තියන අාදරය චාමර දන්නවා.... තුන් වෙනි කෙමන්ට් ඒෙක් තිබුන දේම තමා මගේ හිතටත් අාෙව්..... අක්කා කහඹිලියා වලින් ලස්සන නිර්මාණයක් කරයි හිෙතනවා අවුරු්ද්ද ඉවර ෙවද්දි....

Aruna Perera said...

ඔයා අපිව පිස්සු වට්ටනවා....අපි චාමරට ආදරෙයි කියන්න. ඔයා හොඳ ගුරු තුමියක්. ඊටත් වඩා හොඳ මනුස්සයෙක් බව හිතෙනවා.

A Simple man said...

මට මේ දරුවා තුලින් හොද රංගන ශිල්පියෙක් හෝ හොද නිතිඥයෙක් මැවිලා පේනවා හොද මග පෙන්වීමක් ලැබුනොත් අනාගතය සාර්ථක වේවි

Anith kona said...

"කියමනක් තියෙනවා දරුවන්ගේ ආත්මය තුල / හිත තුල එයාලගෙ අම්මලාගේ හැඩය ගත් හිස් ඉඩක් තිබෙනවා කියලා. අම්මා කෙනෙක්ට ඒ හිස් ඉඩ පුරවන්න බැරි වුනොත් ඒ දරුවන් ජීවිත කාලයම...ඔව් ජීවිත කාලයම ඒ හිස් ඉඩ නිසා පීඩා විඳිනවා."
ඔවුන් වැඩිහිටියන් වුනු පසුත් මේ හිස් ඉඩ නිසා සමාජයට පරිපූර්ණ වූ මනස් ඇත්තන් ලෙස ඉදිරිපත් වෙන්නේ නෑ. මේ මා සති කිහිපයකට කලින් ලියූ සටහනක්. මේ දරුවාට ඔබ වැනි ගුරුවරියක් ලැබීම නිසාම ඔහු හොඳ අතට හැරේවි සොසි ටීචර්... ඇත්තටම ඇස් කඳුළෙන් පිරුනා...

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...