..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Monday, January 9, 2017

පොත් පෙන්නීම‍

පොත් පෙන්නීම‍
එකිනෙකා බොහොම ආසාවෙන් බලා සිටි අවස්ථාව උදාවිය.
අලුත් පොත්ය, අලුත්ම පෑන්ය, මුල් පිටු ය.
ටීචර්ගේ ද රතු ජෙල් පෑන අලුත්ය. පසෙකින් ඇත්තේ රතු තරු ඉස්ටිකිර කොලයයි.
ටීචර් වෙනදා මෙන් නපුරු නැත. රතු පෑනෙන් හිත කුරුටු නොගායි. වරද පෙන්වා නැවත හදා ගැනීමට ළමයාටම අවස්ථාව ලබා දී ලස්සන කෙටි අත්සන යොදා දිනය දමයි. රතු තරුව සීරුවට ස්ටිකර් කොළයෙන් ගලවා අලවයි. නිල් සහ කහ තරු අද ටීචර්ට අමතකව ගොසිනි.
ටීචර්ගේ අත්සන ඉතා කෙටි වුව් ද, තත්පරයෙන් අත්සන ගැසූවද ළමයින්ට එය අපහසු වැඩක් බව එය උත්සාහ කර බැලූවො පවසති. එසේ උත්සාහ කළ අයකු ටීචර්ගෙන් හොඳ දෙසුමක්ද අසා ගෙන ඇත. ටීචර් වේවැලෙන් ගැසුවා නම් එයට වඩා හොඳ යයි සිතේ.
ටීචර්ගේ අත්සනේ සහ දින දැමීමේ ඇත්තේ අමුතුම කලාවකි. එයත් හරියට ටීචර් වාගේමය.ඒ කලාව පිටු හතලිහේ පොතක් ඉවරෙනු තුරු අත්සන් කල ද ලබා ගත නොහැක.
ඇය කවදත් පොත් බැලීම ආරම්භ කරන්නේ පිරිමි ළමයි වන අපේ පැත්තෙනි. ගැහැණු ළමයින්ගේ පොතක් දෙකක් බලා අවසන් වූ පසු පිරිමි ළමයින්ගේ පොත් බලා පලක් නැති බැව් ඇය අත්දැකීමෙන් දනී.
ඒත් ගැහැණු ළමයින්ට ඉවසිල්ලක් නැත. පිරිමි ළමයින් පොත් පෙන්වා අවසන් වන්නට ප්‍රථම ගැහැණු ළමයින්ද එකා දෙන්නා පැමිණ ටීචර්ගේ මේසය වටා රොක් වෙති. ටීචර් එවිට අනුගමනය කරන්නෙ දැඩි පියවරකි.
“ ඔතන හිටන් ඉන්න අය හිටන් ඉන්න කෝ. සිංහල තේරෙන්නෑනේ මේ ළමයින්ට. මම පොත් බලන්නේ අර වාඩි වෙලා ඉන්න අයගෙ විතරයි. “ ඇය පවසනවාත් සමඟම ඇගේ මේසය වටා සිටි උන් තත්පරයෙන් ගොස් පුටුවල වාඩි වී අවසන් වෙයි.
ටීචර් අපට නොපෙනෙන්නට මේසයට සිනා සෙයි.
ටීචර්ගේ මූණ අද නම් සතුටු පාටය. සමහර දින වලට ,සමහර පොත් බලද්දි ඇගේ මූණ බලා සිටිද්දි හැකිලී යයි, තොල් පිට පොට යයි රතු පෑන දෙතුන් විටක් වචන යටින් දුවයි. පොත අයිතිකාරයා දෙස හොරහින් බලයි. නපුරු මුහුණක් මවා ගනිමින් රතු පෑනෙන් පොතට තට්ටු කරමින් පොතේ අයිතිකරුට දොස් කියන ගමන් පොතට දඩුවම් දෙයි.
අද නම් එසේ නැත. මූණ සතුටින් පිරිලාය. ඇය ට අපි අලුත්ය. අපිට ඈ අලුත්ය. ඒ නිසා ඇය අපේ නම අපට හොරෙන් බලන්නේ මුල් කවරය පෙරලලාය. නම එවෙලේ බලා ගත්ත ද ,ඇය කතා කරන්නේ සංසාරය පුරා අප දන්නා පරිදිය.
“ දුෂාන් , හරි හොඳයි. හොඳට වැඩ කරල. පොත ඉවර වෙනකම්ම මේ විදිහටම අකුරු තියෙන්න ඕනි හරි ද ?“
ඇය පවසයි.
අවසානයේ ඇය ඉතා සතුටින් ගුරු පුටුවෙන් නැගිට්ටාය.
“ අද නම් කවුරුත් හොඳයි. අකුරු අඩු නැතිව ලියල. පොත් බලන්නත් වෙලා ගියා. “
ඇය පවසයි. අපටද සතුටු ය. පසුගිය වසර පුරාම ගුරුවරු අපට බැන්නා මතකය. සමහරු අපේ පොත් බැලුවේ වත් නැත. වචන දෙකක් ලියු විට එක වචනයක් කොහෙත්ම සොයා ගත නොහැකි ලෙස අකුරු අඩු වීම ඊට හේතුවයි. මෙදා සැරේ අකුරු අඩු නැත. එය අපට සතුටකි. දැන් අපෙන් අකුරු වලට බේරී පලා යා නොහැක. පලා ගියත් අපේ ටීචර් පලාගිය අකුරු කණෙන් අල්ලා ගෙනැවිත් පොතේ හරි තැනින් තබා ගැනීමට අපට උදව් කරන බව නිසැකය.
නමුත් චතුරගේ කඩ වැඩිය. නමටම ඔබින කොල්ලෙකි.
“ එහෙනම් ටීචර් , හෙට ඉදන් ආය අකුරු අඩු කරන්නම්. පොත් බලන්නත් ලේසිනෙ “
“ හොඳයි බලාගමුකො අඩු කරලා . “
ටීචර් දෑසින් රැවුවාය. මුවින් සිනාසුනාය.
මම නම් මින් මතු අකුරු අඩුවෙන් නොලියන්නට ඉටා ගතිමි.


6 comments:

  1. /නමුත් චතුරගේ කඩ වැඩිය. නමටම ඔබින කොල්ලෙකි./

    එම වැකිය කියවා මුහුණ ඇඹුල්කොටගත් ටීචර් මුල කවරය පෙරළා බැලුවාය. හ්ම්ම්....වත්සලා

    "මොකද වත්සලා මේ වචන වරද්දන්නෙ? දැන් ලොකු ළමයෙක් නේද? අවුරුදු කීයක ඉඳලද මේ රචනා ලියන්නෙ? ඈ?"

    "ඇයි ටීචර් මොකක්ද වැරැද්ද?"

    "මොකක්ද ළමයො කඩ වැඩිය කියන්නෙ? කඩ නෙවෙයි එතන හරි වචනෙ කට..මීට පස්සෙ වරද්දනව එහෙම නෙවෙයි හොඳද?"

    ReplyDelete
    Replies
    1. ලියල ඉවරුන ගමන් ප්‍රසිද්ධ කිරිමේ බටොන් එක ඔබනවා.ආය කියවන්නෙ පෝස්ට් එක වැටුනට පස්සේ.... අයිය වගේ අවධානයෙන් කියවන අයට අහුවෙයිද නැද්ද බලන්න තමා ඕක ඉතිරි කරේ...හෙහේ.

      Delete
  2. ඉස්සර අපේ ටීචර් ලා සමහර වෙලාවට පොත් ගුවන්ගත කිරීමත් කළා

    ReplyDelete
    Replies
    1. මාත් තරහ ගියාම කියනවා. “අල්ලල විසි කරනවා පොත “ කියල.ඒත් කවදාවත් කරල නැහැ. පොතක් කොහොමද අප්පා විසි කරන්නෙ එහෙම.

      Delete
  3. Replies
    1. මම එහෙ ගියා. කෝ තාම බ්ලොග් එක හිස් නෙ.... මහෝදර වෙන්න කලින් ලියන්න.

      Delete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...