..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Saturday, October 21, 2017

දඬු පෝඩ්

දඬු පෝඩ්



නිවාඩු දවස් වල දි වගේම ඉස්කෝල ඇරිල ගෙදර ආව ගමනුත් මගේ කාලය වැඩිමනක් ගත වන්නේ ගෙදර පල්ලෙහා තියෙන “විජේ  අයියා “ ගේ සිල්ලර කඩේ.

විජේ අයියා ගේ කඩේ කීවට ,  විජේ අයියා තමා කඩේ වැඩ කරපු ගෝලයා . ඒ උනාට විජේ අයියා ,  මුදලාලි මාමාටත් වඩා හොඳින් හාල් ඇටයේ ඉදන් කඩේ ඇති  සියළු දේ ගැන සියල්ල හොඳින් දැන හිටි යා. ඒ නිසා තමයි මුදලාලි මාමා වුනත් ගොඩක් වෙලාවට “ විජේ ළමයෝ , අද මොනාද කඩේට ගේන්න ඕනි “ කියල විජේ අයියගෙන්ම අහන්නේ.

මම වැඩිමනක් මේ කඩේ කාලය ගත කරන්නේ මගේ පරීක්ෂන වැඩ , අලුත් නිෂ්පාදන වැඩ වලට ඕනි වෙන අඩුම කුඩුම සොයා ගන්න නිධානයක් වගේ තැනක් නිසා. කොටින්ම දැන් කාලේ වචන වලින් කියනවා නම් මේ කඩේ මගේ වැඩ වලට “ සම්පත් මධ්‍යස්ථානය“  ක්.  මායි අපෙ අයිය යි , එහා ගෙදර අක්කයි එකතු වෙලා හදල පැදපු ,  “ කරත්තය “ ගැන කතාව මම මීට කලින් ඔයාලට කියල තියනවා. ඒ කරත්තෙ හදන්න ඕනි වෙච්චි ගොඩක් දේවල් හොයා ගත්තෙත් මේ කඩෙන් තමයි.

අන්න ඒ වගේ මහා අනර්ඝ නිපදවීම් සඳහා අවශ්‍ය වන ඉවත දමන සන්ලයිට් කැට ගේන ලී පෙට්ටි , ගෝනු නූල් , කාඩ්බෝඩ් පෙට්ටි , රෙදි රෝල් වල ලේබල්  කොටින්ම කඩෙන් අයින් කරන හැම කුණු ගොඩකම අයිතිකාරයා වුනේ මේ පුංචි වොට්සන්  වෙච්චි මම තමයි.

කඩේ ඉස්සරහටම වෙන්න තිබ්බ ලෑලි රාක්කෙ තිබ්බ පාට පාට අලියා බීම බෝතල් , ලොකු මහත ගැණු අය වගේ වීදුරු බෝතල් වල තිබ්බ සීනි බෝල , බුල්ටො , විස්කිරිඤ්ඤා තාමත් මට මතකයි.

විජේ අයියා ඒ කාලේ වයස විස්සක විතර හොඳ තරුණ හාදයා. කඩේ හැම වැඩකටම උදව් වෙච්චි , කිසිම කම්මැලිකමක් නැතිව වැඩ කරන්න පුලුවන් විජේ , මට කීවේ “ චූටි මල්ලි “ කියලා. පවුලේ බාලය වෙච්චි , කාගෙත් හුරතලා වෙච්චි  “චූටි මල්ලි “ ට විජේත් හරි ආදරෙන් හිටපු නිසා , “ මම ඉල්ලන ඕනිම දෙයක් නොපැකිලව සොයා දෙන්න විජේ දෙසැරයක් හිතන්නේ නැහැ.

ඔන්න ඉතින් එදත් මගේ කාලය ගෙවුනෙ මේ කඩේ. මොකද කියනව නම් එදා මට ලැබ්බෙකෙත් කරන්න කියල ඒ හැටි වැඩක් තිබ්බෙ නෑ. කොහොමත් මම එදා හදපු “විද්‍යා විනෝදය“ පොත බලල පොතේ හැටියට ම තිතට හදල ගුවන් ගත කරපු “ රොකට්ටුවෙන් “  පස්සේ ලැබ්බෙකේ වැඩ තාවකාලිකව නවත්තලා ලැබ්බෙක ට සීල් තියන්න වුනා. ඒ ගැන කතාව කියවල නැති අයට මෙන්න මෙතැනින් ගිහින් කියවන්න පුලුවන්.

ඉතින් , ලැබ්බෙකත් වහල නිසා , ගෙදරත් කරන්න ඒ හැටි වැඩකුත් නැති නිසා විජෙ අයියගෙ කඩේ ඉස්සරහ තිබ්බ කොට බංකුවෙ වාඩි වෙලා කකුල් දෙකත් පද්ද පද්ද තමා මම හිටියේ. කොට බංකුවෙ වාඩි වෙලත් මගෙ කකුල් බිම නොගෑවුනේ මම ඒ වෙද්දි අවුරුදු දහයක එකොලහක විතර පුංචි කොල්ලෙක් නිසා.


ඔන්න ඒ ඉද්දි මම දැක්කා , කඩේට පාන් ගේන සෝමපාල අයියගේ “දඬු ෆෝඩ්ඩෙක “ වංගු අරන් කන්ද උඩින් මතු වෙනවා. විජෙ අයිය වගේම තමා දඬු ෆෝර්ඩ්ඩෙක පැද්දෙ සෝමපාල අයිය වුනාට දඬු ෆෝර්ඩෙක එයාගේ නෙමෙයි කියල මම දැන ගත්තෙ පස්සෙ කාලෙක. ඒ කොහොම වුනත් මේ අපූරු “දඬු ෆොර්ඩෙක“ ඇසට හරිම මිහිරි දසුනක්. වාහනේ දැක්ක ගමන් මම දන්නෙම නැතිව වාඩි වෙලා හිටි කොට බංකුවෙන් නැගිට්ටිලා කඩෙනුත් අඩි කිහිපයක් ඉස්සරහට ගිහින් තිබ්බෙ දඬු ෆෝර්ඩෙක පිළිගන්න පෙර මඟ යනව වගේ.

තටම තටම ආපු සෝමෙ අයියගෙ දඬු ෆෝඩ්ඩෙක හරියටම කඩේ ඉස්සරහ නතර කරා. සෝමෙ අයිය කියල කිවට එයාට ඒ වෙද්දි පනස් පහක් විතර ඇති. ඒත් එයාට හැමෝම කීවේ “ සෝමෙයියා “ කියල නිසා මාත් එයාට ඒ නමම කීවා.

සෝමෙ අයියා වැඩි කතා නැති මහ ආඩම්බර මිනිහෙක්. එයාගේ ඒ ආඩම්බරකමට හේතුව වුනේ ඉස්රහින් පොල්ලක් දාලා කරකවල ස්ටාට් කරන , ගමටම එකක් වෙන්න තිබ්බ මේ අපූරු දඬු ෆොර්ඩ්ඩෙක පදින්නෙ එයා කියන එක තමා.

ගමේ කොල්ලො කුරුට්ටොන්ට මැජික් එකක් වෙච්චි මේ දඬු ෆෝඩ්ඩෙකේ ඇතුල බලන්න වුන් වගේම මාත් හිටියෙ හරිම ආසාවෙන්. ඉතින් . . . .  . මේ වෙද්දි කඩේ ඉන්න මගෙ ඉස්සරහ පිට නවත්තලා තියන් කඩේට පාන් බෙදන මේ  ෆෝඩ්ඩෙක් ඇතුලට එඹිලා ඒක ඇතුලෙ මොන වගේද කියල බලන්නත් මට තිබ්බෙ පුදුමාකාර කුතුහලයක්.

සෝමෙ අයියා සාමාන්‍ය යෙන් දඬු ෆෝඩ්ඩෙකෙන් බිමට බහින්නෙ කලාතුරකින්. කඩේ ඉස්සරහ නවත්තපු ගමන් විජේ දුවල ගිහින් , මූණ ළඟටම එනකම් උණු උණු පාන් එක පිට එක ගහන් ෆොඩ්ඩෙකෙන් කඩේට අරන් එන නිසා , අඩුම තරමේ සෝමෙ අයියට  වාහනේ හෝර්න් එකවත් ගහන්න ඕනි වෙන්නෙ නෑ.

විජේ , පාන් කුළුණත් හදන් ෆොඩ්ඩෙක ගාවින් අයින් වෙනව එක්කම මම වාහනේ ඇතුලට මූණයි ඇඟයි ඔබන්න හැදුවා විතරයි.

වම් අත දික්කරල මාව තල්ලු කරල දැම්ම පාරට මම නැවතුනෙ අලුත තාර දාලා තිබ්බ පාරේ පස්ස පැත්තත් ඇනිල. වෙච්චි ලැජ්ජාවටයි , රිදුන රිදිල්ලටයි  මම අඬ අඬාම ගිහින් නැවතුනේ කඩේ ඇතුලෙ. ඒ වෙද්දි විජේ හිටියේ වීදුරු කබඩ්ඩෙකේ , ගෙනාපු පාන් අහුරන ගමන්.

“ මොකෝ චූටි මල්ලි අඬන්නේ ?“

“ අරූ මාව තල්ලු කලා නේ , මූසලයා , මට වාහනේ ඇතුල බලන්න දුන්නෑ “

“ ඕකා කොහොමත් මහ ගානට වැඩී චූටි මල්ලි , අපි ඌට හොඳ වැඩක් කරමු . ටිකක් ඉන්න “

කඩේ ඇතුලට ගියපු විජේ , තරමක අර්තාපල් ගෙඩියක් ගෙනත් මගේ අත මිට මෙලෙවුවා. 

“ මම ආපහු දෙසැරයක් යනවා වාහනෙන් පාන් ගේන්න , අන්න ඒ වෙලාවෙන් ප්‍රයෝජන අරන් මම කීව විදිහට වැඩේ කරන්න “ 

විජේ කලින් රහසින් මට කියල තිබ්බ හැමදේම ආය සැරයක් හොඳට හිතට ගත්ත මම තොල් තද කරන් , අතේ තිබ්බ අර්තාපල් ගෙඩිය ත් ගැම්මට තද කරන් හිස කෙලින් කරන් විජේගෙ පස්සෙන්ම වැටුනෙ සොමෙ අයියට හොඳ පාඩමක් උගන්වන්නයි.

විජේ අයිය දැන් ෆොර්ඩෙකෙන් පාන් ගණන් කර කර මූණ වැහෙනකම් හිමින් හිමින් පාන් කුළුණ හදනවා. වාහනේ දුම් බටේ ළඟට කිට්ටු වෙච්චි මම විජේ කීවා වගේ අර්තාපල් ගෙඩිය බටේ ඇතුලට දාලා කකුලෙන් තද කරා විතරයි අල ගෙඩිය බටේ ඇතුලටම ගියා. විජේ අයිය මා දිහා හොරෙන් බැලුවම මමත් වැඩේ හරි කියල විජේ අයියට කීවේ ඇස් වලින් සහ කෙලින් කරපු මාපටැගැලිල්ලෙන්.

දැන් ඔක්කම හරි , විජේ පාන් බාල ඉවරයි.ආඩම්බරේට ෆෝඩ්ඩෙකෙන් බැස්ස සෝමෙ අයියා පොල්ල දාලා කරකනවා කරකනවා , ම්හ්...... වාහනේ  කිසි හැල හොල්මනක් නෑ. දැන් දැන් සෝමෙ ගෙ ආඩම්බරකමත් ටික ටික දියාරු වෙලා දාඩියත් එක්ක වැක්කෙරනවා. ඒත් වාහනේ ස්ටාට් වෙන පාටක් නෑ. මේ මුකුත් ගැන වැඩි උනන්දුවක් නැතිව වගේ කොට බංකුවෙ වාඩි වෙච්චි මම කකුල් දෙක පද්ද පද්ද ඒ දිහා බලාන ඉන්නවා.

අන්තිමට විජේ අයියත් මුකුත් නොදන්න ගානට මේ කැරකැවිල්ලට එකතු වුනා.ම්හ්......... කොච්චර කැරකුවත් වාහනේ ස්ටාට් වෙන්නෑ.

“ බලපන් බන් , මුකුත් ලෙඩක් නැතිව තිබ්බ වාහනේ , එක සැරේට මොනා වුනා ද කියලා “

අන්තිමට බැරිම තැන සෝමෙ අයියා පරාජය බාර ගත්තා. ඉන් පස්සෙ පයින්ම ටවුමට ගියපු සෝමෙ අයියා , මිකැනික් කෙනෙක් එක්ක ආවේ තඩි පරණ ලොරියකුත් එක්කමයි. 

මිකැනික්ටත් ලෙඩේ හොයා ගන්න බැරි වුන තැන ලොරියෙ ගැට ගහපු ෆෝඩ්ඩෙක ඇද ගෙන යද්දි , ඒක නොපෙනී යනකම් බලන් හිටපු විජේයි මායි බඩවල් අල්ලන් හිනා වුනේ “ ඕකාට අද නම් හොඳ ම වැඩේ “ කියලයි.

ප:ලි- 

විජේ කාලෙකට පස්සෙ කඩෙන් අයින් වෙලා ගිහින් එයාගේ ගම් පලාතේ මැණික් ගරල , මේ වෙද්දි ලොකු මුදලාලි කෙනෙක් වෙලා. දැන් නම් එයාට ෆොර්ඩ් නැතිවුනාට හොඳ හයිබ්‍රිඩ් වාහන දෙක තුනකම හිමිකාරයෙක්.

එදා අර්තාපල් අලේ කොහොම ගත්ත ද දන්නෑ කියල තාමත් හිතන , හිටි ගමන් පුංචි කාලෙට මාත් එක්ක ගිහින් එන  වොට්සන් නම් , ලොකු ලොකු වැඩ කරන මිකැනිකල් ඉංජිනේරු මහත්තයෙක්. ෆොඩ්ඩෙකේ ඇතුල බලන්න බැරි වුනාට මොකද “ ලෑන්ඩ් රෝවරේ “ නැගල රට වටේ හිටි ගමන් ඇවිදින සුන්දර හිතක් තියන වොට්සන් ගෙ කතා තව ගොඩක් මගෙ ලග ලියන්න පරිස්සමට තියල තියන මේ වොට්සන් , මට හමුවුනු “කතා නිධානයක් “

ඒ නිසා විශේෂ ස්තුතිය වොට්සන් මහතාට පිරිමනම අතර , ඔහු ගැන කතා කියවන්න මේ ලින්ක් එකට යන්න. වොට්සන් ගෙ පුංචි කාලේ ගැන මම ලීව අනිත් කතා උඩ කතාවේ ලින්ක් කරල ඇති.

Wednesday, October 18, 2017

ආදර ප්‍රදී 8 - වැරදුනු කුරුමානම

ආදර ප්‍රදී
8 - වැරදුනු කුරුමානම



“ උඹ මගෙ කතාව වෙනස් කරනවා “  ඒක නම් කීවෙ ටිකක් විතර නොරිස්සුමෙන්මයි.

“ අනික ......... උඹ දැන් මගෙ කතාව ලියනෙක දවසින් දවස පහු කරනවා “ නොරිස්සුමට තවත් ටිකක් ඔහු එකතු කලා.

“ ඇත්ත ට ........... මට ඉරිසියයි.ඒකයි නොලියන්නේ “ අත් දෙක පිටිපස්සට කරල බංකුවට බර දීලා හිටපු මම දකුණු පැත්තෙ උරහිස පද්දල අරන් ඔහුගෙ උරහිසෙ වද්දන ගමන් කීවේ , ඒ කතාව වැඩිය සීරියස් ගන්නෙ නැති විදිහට. ඒත් දැන් බලද්දි ඇත්තටම මට “ප්‍රදී “ ගැන හරිම ඉරිසියාවක් ඇති වෙමින් තියනව වගේ

“ උඹ මගෙ කතාවේ කොටසක්ම නැති කරල දාලා “

“ මට කීව ටික තමා අනේ මම ලීවේ. ප්‍රදී ඉස්කෝලෙන් ගියාට පස්සෙ , එතන මොකක්ද හිස් ගතියක් තිබ්බ නේ. “

“ නෑ ....... මම උඹට කීවා. ප්‍රදී ෆස්ට් ශයි එක කරාට පස්සෙ සෙකන්ඩ් ශයි එක කරන්න ගාලු ගියා. මට මතක හැටියට නම් සංඝමිත්තෙට. එයාලට තිබ්බා ගාලු කොටුව ඇතුලෙ ලොකු ගෙයක්.ඒක අයිති එයාගේ තාත්තට. හැබැයි .......ඒකෙ හිටියෙ එයාගෙ නැන්දා...........ප්‍රදී ගියේ මේ නැන්ද ළඟට.......... ඒත් උඹ කතාව එහෙම් පිටින්ම වෙනස් කරල “

තව දුරටත් ඒ නොරිස්සුම දරන්න බැරි නිසා නිහඬ වුනු මම පරිගණකය විවෘත කරපු ගමන් ඔහු මට මීට කාලෙකට කලින් එවල තිබ්බ හැම ඊමේල් එකක්ම ආපහු චෙක් කරන්න ගත්තෙ මට මඟෑරුනු ඒ කොටස් ටික හොයන්න.


-------------------------------------------------------------------

ප්‍රදී ව ඇරලන්න ප්‍රදීගේ දඹේතැන්න ගෙදරට ගිය දවස මතකයේ සුන්දර දවසක් වෙලා අදටත් ඉතිරි වෙලා තියනවා. “ සිහින ලොවක් දුටුවා  ...... මතකයි “ සිංදුව ඇහෙද්දි , ඇස් දෙක පියාන ඒ දවසට යන්න අදටත් එයාට පුලුවන් ඇති. 

එදා ඇතිවුනු මිතුරුකම  මේ තරම් සිත රිදවන එකක් වෙයි කියලා මීෂාටවත් හිතෙන්නෙ නැතිවැති.

අනූෂා අත්කර දුන් ප්‍රථම ප්‍රේමයේ මිහිරි මතකයත් , ප්‍රථම විරහවේ අමිහිරි දුකත් හමුවේ , උසස් පෙළ ලියූ මීෂාගේ ප්‍රතිඵලය සුබ දායක එකක් වුනේ නැති නිසා දෙවන සැරේට විභාගයට පෙනී සිටීමට ඔහුට සිදු වූයේ අනූෂා නිසා ඇති වූ අමතක කල නොහැකි විරහව ත් එක්ක.

සිත් වේදනා නැති කරන්න වෙනත් බොහෝ ක්‍රියාවන් හි නිරත වූ මීෂා ගේ සිත සුවපත් කිරීමට “ ප්‍රදී “ ගේ ආශ්‍රය ඉවහල් වෙන්න ඇති කියල මට ත් හිතෙනවා.

ඒත් , ප්‍රදී . . . .  පලවෙනි සැරේ විභාගයට පෙනී සිටිමෙන් පස්සෙ එයාගේ තාත්තගෙ ගම් ප්‍ර දේශය වෙච්චි ගාලු පුරවරය බලා ගියපු නිසා  මීෂා ගේ විරහී සිත තවත් වේදනාවට පත් වෙන්නට ඇති.

ප්‍රදී ගේ තාත්තාගේ නිවස ගාලු කොටුව තුල වූ විශාල පැරණි නිවසක් කියලත් එහි දැනට පදිංචි වී සිටින්නේ පියාගේ සහේදරයික කියලත් ප්‍රදී , මීෂා ට ලියපු ලියුම් වල තිබිල තියෙනවා.. ඒ ලියුම් පිටු ගාණක් දිගයි කියල මිෂා මට කියල තියෙනවා.

මීෂා ගේ දෙවන උසස් පෙළ කාලය ආරම්භ වන්නේ මෙවැනි ගැටළුකාරී ජීවන අත්දැකීම් මත වුවත් ඔහුගේ සිත ප්‍රදී ළඟ නතර නොවී යැයි කියන්නට තරම් සාධක මට නැහැ.. නමුත් ප්‍රේමයත් - මිතුරුදමත් අතර තැනක නැවතුනු නිමේශයක උපන් ස්නේහයක් ඇය වෙනුවෙන් ඔහු සිත තුල හටගෙන අද වෙනතුරු ද නොනැසී පැවතීම නම් මා සිත තුල ඉරිසියාව ජනිත කරුවන කරුණක් බැව් නොකියාම බැරිය.

පිටු ගණන් දිගැති ඒ ලියුම් පසුකාලීනව මීෂාගේ රූමත් පුද්ගලික ලේකම්වරිය විසින් පුලුස්සා නොදමන්නට , අද වන විට මේ කතාව ගෙතීමට තිබූ “ස්වර්ණමය දායදයක් “ වන්නට ඉඩ තිබුනි.

ඉගෙනීමත් , විරහී සිතත් තුලනය කර ගැනීමට මීෂා “ කරාතේ “ ඇකැඩමියකට බැදී පුහුණුව ලැබූ අතර , එහි සිදුවන සෑම දේම ප්‍රදීට ලියා යැවීමට ද අමතක නොකලේය.

ගුරුවරියක වන මීෂාගේ මවගෙන් කිසිදු උපකාරයක් , දිරි ගැන්වීමක් කරාතේ පන්තිය සදහා නොලැබීම නිසා පන්ති ගාස්තු සොයා ගැනීමට මීෂාට සිදු වූ තවත් අභ්‍යගයකි. නමුත් අද වගේ ඩිජිටල් යුගයක් නොවූ එකල කඩ , සිනමා ශාලා ආදියෙහි නාම පුවරු  ඇදීමෙන් ලබා ගත් මුදල් ඔහුගේ වියදම් පියවා ගැනීමට තරම් ප්‍රමාණවත් වී තිබුනි.

පළවු වර නිමා කර ගත නොහැකි වූ විෂය නිර්දේශයන් නිම කර ගැනීමට පුද්ගලික පන්ති යාමට මීෂාට සිදු වූ අතර ඒ සඳහා කොළඹ නැවතීමත් , නැවතුනු නිවහනේ ගැහැණු ළමයින් සම්බන්ධ කතා ලිවීමටත් තවත් පිටු ගානක් වැය කිරීමට මට සිදු වනු ඇත.

කොළඹ නැවතීමට ඔහුට සිදු වන්නේ පාසලේ සිටි උසස් පෙළ ගුරුවරුන් සියල්ලන්ම ඔහුගේ පාසලේ විදුහල්පති සමඟින්ම කොළඹ නගරයේ ප්‍රධාන පාසලකට ස්ථාන මාරු කල බැවිනි. අද මෙන් පුද්ගලික පන්ති බහුල නොවූ එකල කොළඹට විත් දෙවන වර විභාගයට ඇවැසි නොලැබූ දැනුම ලබා ගන්නට සිදු වූ ව ද , සතියේ දින දෙක තුනක පාසල් මිතුරන් සමඟින් එක් වී පාඩම් වැඩ කිරීමට ද කරාටේ පන්තියට යාමට ද , ප්‍රදීට පිටු ගණන් ලියුම් ලිවීමට ද ඔහුට තිබූ හැකියාව ගැන මම තවමත් පුදුම වන්නෙමි.

පාසලේ ප්‍රධාන ගොඩනැගිල්ලක පන්ති කාමරයක කුටු කුටු ගානා කෙල්ලන් කොල්ලන් රැසක් ලොකු ගැටළුවකට මුහුණ දී ඇති බැව් දුර සිටන මට පෙනේ.පාසලේ ඉඩ කඩ මදි වූයෙන්  ද යහළුවන් සියල්ලන්ටම එකතු වීමට හැකි කාලය වූයෙන් ද ඔවුන් සියළු දෙනා පාසලේ එකතු වන්නේ ඇදිරි වැටුන විට බැව් ඔවුන්ගේ කතාවෙන් හැඟේ

“ මේ වැඩේ කරන්න බෑ බන් . බලහන් දැන් කොහොමද කියලා ඕර්ගනික් කෙමිස්ට්‍රි ටික මම අහ ගන්නේ “

“ චුරු චුරු ගාන්නැතිව හිටපන් කො බන් ගෑණි වගේ . මගෙ ලග හොද ප්ලෑන් එකක් තියනවා. වරෙන් කො යන්න.අනිත් වුන් හිටපල්ලා. අපි ඉක්මනට එනවා.... “

ඉස්සර වූ කොල්ලෙකු , තවත් කොල්ලන් දෙන්නෙකු ද සමඟින් පාසලෙන් පිටව යනු පෙනේ. මීෂා ද ඒ අතර වේ.

පාසලෙන් පිටත වැටි ඇති පාර දිගේ යන ඔවුන් වසා ඇති කුඩා කඩයක් ළඟ නතර වෙනු පෙනේ. ඉස්සර වී පැමිණි කොල්ලා වට පිට විපරමෙහි යෙදෙන අතර  , තවකෙකු කඩයේ විවෘත වී ඇති කොටසට ගමන් කර එහි වහලය දෙස විපරමින් බලයි. නැවත එළියට එන ඔහු අනිත් දෙදෙනාට “වරෙන් “ යැයි හිසින් සන් කරයි.

දැන් තිදෙනාම සිටින්නේ කඩයේ කුඩා විවෘත හිඩැසේය. තිදෙනාම වහලය දෙසට යොමූ නෙත් ඇතිව කටත් අයාන බලා සිටිති. මම ද හිස හොවා උඩ බැලූවෙමි.




සිංහල උළු හෙවිලි කර වහලේ කිසිදු විශේෂත්වයක් මට නම් නොපෙනේ. නමුත් වහලය බිම් මට්ටමේ සිට සැලකිය යුතු උසකින් යුතු ය.

“ උඹ නැගපන් කරට “

ඉස්සර වී පැමිණි කොල්ලා මීෂා ගේ පිටට තට්ටු කරමින් හිමින් පවසයි. එ් වදන් ගිලිහෙත්ම අනිකාගේ පිටට නැගි කෙට්ටු මීෂා ගේ අත වහලයේ තිබූ යමක් වෙත දිගු වනවාත් සමඟම කඩයේ විවෘත කොටසේ තිබූ ආලෝකය නැතිව ගොස් ඝන අදුර පැතිර යන්නට විය.

අහෝ ............මුන් වැනි ජඩ කොල්ලන්. කඩයේ විවෘත කොටස ආලෝකමත් කරමින් තිබූ බල්බය දැන් ඇත්තේ , පාසලේ ඔවුන් කලින් නැවතී සිටි පන්ති කාමරය ආලෝකයෙන් පුරවා ලමිනි. ඔවුන් පාඩම් කරයි. එකිනෙකාට විහිලු ද කරයි. ඒ අතර මීෂා ට ප්‍රදී ගේ මතකය ද විටින් විට විත් යයි.ඇතැම්  විට අනුෂා ද සිත පාරයි. එවිට ඔහු කොළයක කොණක අදින බලි කුරුටු මගින් තම හැඟීම් මුදා හරියි.

“ මොනා ද බන් කරන්නේ , අනේ බන් මට මේ ටික තේරෙන්නෑ කියා දීපන් කෝ. උඹ ඉතින් කොළඹ ගිහින් අතෑරිච්චා ඉගෙන ගෙන ආවට අපට කොයින්ද බන් එහෙම චාන්ස් “ 

“ ඒ බන් අපි බල්බෙක ගලවල තියල යමු ද?“

“ ඕනි නෑ බන් . අපි වගේ මරිසි වැඩ කරන වුන් වෙන නැතිවැති නෙ. අනික ඉස්කෝලෙ බල්බ් උස්සන්නෙ කවුද බන් “ රැ බෝ වී වැඩිවිට එකිනෙකාගෙන් සමුගන්නා ඔවුහු යලිත් හමුවන පොරොන්දු පිට සමුගනිති.

නමුත් , ඔවුනටද වඩා මරිසියන් සිටිනා බැව් දැන ගන්නා විට ප්‍රමාද වැඩි ය. දින දෙක තුනකින් අතුරුදන් වන ඔවුන්ගේ විදුලි බල්බයේ හිස් තැන පිරවීමට නැවතත් මීෂා ඇතුලු තිදෙනා පැරණි කඩයේ විවෘත හිඩැසේ එකා පිට එකා නැගිලාය.

කෙට්ටු , සැහැල්ලු මීෂා උඩම කොණේය. ඔහු බල්බය ගැනීමට අත දිගු කලා පමණි.

“සලා..............................න් .“  

එකවර  සියල්ල අඳුරු වූ අතර  තිදෙනා ගෙම්බන් පොලවෙ ගැසුවා සේ  විසිරී ගොස්තැ න තැන වැටී සිදුවු කිසිවක් ගැන නිච්චි නැතිවා සේ අතපත ගාන්නට විය.

“ මොකක් ද යකෝ ඒ වුනේ ?“

“ කවුද යකෝ බල්බ් එකට පයිල් කටුවක් ගහපු පරයා ...............“  

“ වරෙන් බන් යන්න ..........“

බිදුනු වීදුරු කටු ද , ඇනුනු දණහිස් කටු ද , රිදෙන ඇග පත ද සමගින් තිදෙනා පාසල වෙත දුවනු පෙනේ..... 

“ හොඳ වැඩේ “ යැයි සිනා සෙමින් මා ඔවුන් තිදෙනා දෙස බලා සිටිමි. . .. . .  ඉදිරියෙන්ම දුවනා කෙට්ටු නමුත් හැඩකාර මීෂා දෙස බලා සිටිමි.  

Friday, October 13, 2017

ගුරු පඬුරු

ගුරු පඬුරු


සත්‍ය කතාවක් ඇසුරිනි ............

කුඩයට දැරිය නොහැකි වැසි බිදු හමුවේ , කුඩය යටින් යන ඇය වැසි දෙකකට හසුවූවාක් මෙන් තෙමී ගියා ය. සාරිය ඇඟට ඇලී පය පැටලී වැටෙන්නට ද ගියා ය. නමුත් වැස්ස කිසිදු අනුකම්පාවක් නොමැතිව වසිමින් තිබූ අතර , ඇය හා වරුසාව අතරින් වාහන  එහා මෙහා ගියේ මහා ඝෝසාවෙන් නලා හඬවමිනි. 

වේගයෙන් කටු කැරකැවෙමින් ඇති නගරයේ ඔරලෝසුවට වැස්ස නිසා හිමින් කැරකරවීමට බැරිවාක් මෙන් ම සඳුදා දිනයේ එහා මෙහා දුවනා මිනිසුන්ට ද වරුෂාවකට මොහොතක් නැවතීමට ඉඩක් නම් කොහෙත් ම නැතිවාක් මෙනි.

ඇය සිටියේ මහ නගරයක තදාසන්න උප නගරයක තුන්මන් හංදියක් අසල වූ කුඩා බස් නැවතුමක කුඩයක් ඉහලා ගෙනය. අද ඇයට පාසල් යා යුතු දිනයක් නොවූ අතර රාජකාරිමය කටයුත්තක් සඳහා කලාප කාර්යාලයට යා යුතුම වී තිබුනි.

ඇය යා යුතු වූයේ ඇගේ වම් පසට  දිවෙනා බසයක වූ අතර ඇය වෙනදාට යන්නේ ඇගේ දැන් දකුණු පසට දිවෙනවා බසයකට ගොඩ වී ය. ඇය යනෙන මේ ගමන අතර තුර දී නිතර ඇයට මුණ ගැසෙන අය  අතර ඇගේ ගෝලයන් ද වූ අතර එය ඉතා සාමාන්‍ය වී , ඇය ගුරුවරියක වීම කිසිදු විටක කිසිවෙකුට වැදගත් නොවී ය.

මඟට බට වහා අපි කවුරුන් ද යන්න කිසිදු විටක කිසිවෙකුට වැදගත් නොවන අතර වැදගත් එකම දේ කෙසේ හෝ තමන්ගේ ගමනාන්තයට ළඟා විමයි.

ඇය සිටිනා ස්ථානයට ලම්භකව දිවෙන්නෙ නගරයට යා යුතු ප්‍රධාන මාර්ගයයි. තුන්මන්සල වෙන් කිරීමට යොදා ඇති රවුමේ විවිධ වර්ගයේ මල් පිපී වැස්සට තෙමී පොළව බදාගෙන මියැදෙන්නට ආසන්නව ඇත. නමුත් වැස්ස පායන පාටක් නම් ඇත්තේම නැත.

ඒ ප්‍රධාන මාර්ගයේ වැස්සට තෙමෙමින් තම රාජකාරි කරමින් සිටි පොලිස් නිළධාරියකුගේ ඇස් වසා හදිසියේම ඇය සිටි පැත්තට කැපූ ත්‍රීවිලයක වැසි ආවරණය ක්ෂණිකව එක් අතකින් නිරාවරණය වනවාත් , ත්‍රී විලය ඇය ළඟින් නතර කරනවාත් සමඟින්ම ඇය ත්‍රීවිලය තුලට විසිවූයේ ත්‍රීවිල් රියදුරාගේ කෑගැසීමේ තමටමට ය.

 “ නගින්න මිස් නගින්නනනනන...නගින්න නගින්න..... ඉක්මන් කරල නැත්තම් අරූ ලියනවා “

චාරයක් නැති ත්‍රීවිලය වහාම වාහන අතරින් කපා ඇය පාසල් යන දෙසට හෙවත් ඇගේ දකුණු පසට පදවන්නට ගත් වහාම ඇය පියවි සිහියට විත් “ අනේ ළමයෝ මම අද ඉස්කෝලෙට නෙමේ යන්නේ “ යැයි යන්තමින් කියා ගත්තාය.

“අයියෝ ............ටීචර් .........හරි කමක් නෑ ..........දැන් ටීචර්ට යන්න ඕනි  කොහාට ද “ 

“මට යන්නෝනි කොළඹ පැත්තට.මට 234ක් ගන්න පුලුවන් තැනකින් බස්සන්න ළමයෝ “

“ හරි හරි  .......ඔහොම ඉන්න “ නැවතත් පොලිස් නිලධාරියාගේ දෑසට වැලි ගසමින් ගිනිමහ වැස්සේ ප්‍රධාන පාරෙන් කොළඹ දෙසට කැපූ ත්‍රීවිලය එක හුස්මට කොළඹ දෙසට පිඹින්නට විය.

“ ඔය  ළමයායායා...................“

“ අයියෝ ..........මාව ටීචර්ට මතක නැතිව ඇති. ඒ අනාට මම ටීචර්ගෙ ඉස්කෝලෙට තමා ගියේ. මම හැමදාම දකිනවා ටීචර් ඉස්කෝලෙට යන්න ඉන්නවා.මම හිතුවෙ අදත් ඉස්කෝල යන්න කියලා. වැස්ස නිසා තමයි ආටා එක ඇල්ලුවේ “

“ පුතා කොයි පැත්තට යන ගමන් ද “

“ මම කිරිබත්ගොඩට යන ගමන් “

“ එහෙම ද, අනේ පුතේ මාව 234ක ට දාන්න“

“ හරි හරි ටීචර් බය නැතිව ඉන්න කෝ. යන්න ඕනි කලාපෙට නෙ .මම බස් එකක් අල්ලල නතර කරන්නම් “

වාහන අස්සෙන් රිංගමින් , ඇතැමුන්ට මහ හඩින් බනිමින් ඉතා අවිචාරවත් ලෙස එලවු ත්‍රීවිලය අවසානයේ දී තමාට ඉදිරියෙන් ගමන් කරමින් තිබූ 234 බසයක් පසු පස ලුහුබදින්නට විය. අවසානයේ දි එක් නැවතුමක බසය නතර වූ වහා ම නැවතූ බසය පසු කරමින් ගොස් බසයට ඉදිරියෙන් ත්‍රීවිලය නැවතූ හෙතෙම ත්‍රීවිලයෙන් බැස ගියේ ෂර්ට් කොලරය බෙල්ල පසුපසට කරමින් දෑත් දෙපසට දිගු කරමිනි.

“ එන්න ටීචර් ........... “

“ නගින්න ටීචර් ............“

ඇය බසයට ගොඩවන විට ඇය පසු පසින්ම බසයේ පාපවුරුවේ පඩි දෙකක් නැගගත් කොල්ලා “ මේ අපේ ටීචර් .........කවුරු හරි සීට් එකක් දෙන්න වාඩි වෙන්න “ යැයි හඩ නැගුවේ මුළු බසයටම ඇසෙනා ලෙසටය.

ඒ හඬින් මදක් පසුබා ගිය ගුරතුමිය ලත් තැනම වූ ආසනය ට ඉක්මනින් සිය සිරුර බර කර ආසනය තුලට ගිලී ගියා ය.

“ එහෙනම් ටීචර් මම යනවා“ ඉතා යටහත් ලෙස පැවසූ ඔහු පාපුවරෙුවෙන් බිමට බැස , පාපුවරුවට නැග ගත් කොන්දොස්තරට “ මේ අර අපේ ටීචර් කෙනෙක් හරිය. කලාපෙ ලගින් බස්සනවා තේරුනා ද. නැත්තම් මම බලා ගන්නම් .මතකනේ කලාපෙ ලග “ යැයි පවසමින් කොන්දොස්තර කොලුවාගේ පිට හරහා තම අත්ලේ පහස මුදා හැරියේය.

මේ සියල්ල නිසා තක්බීර් වී සිටි ගුරුතුමිය , තම ගමන මුලුල්ලේ මද , නිවසට පැමිණි තැන සිට නින්දට යනතුරු ද ඒ ළමයා කවුදැයි මතක් කල ද අද වනතුරුත් ඔහු කවුරුදැයි හඳුනා ගැනීමට ඇගේ ගුරු සිත අපොහොසත් වී ඇත.

Tuesday, October 10, 2017

ආදර ප්‍රදී - 7

ආදර ප්‍රදී - 7  පිලිස්සුනු මතක




--------------------------------

පාසල් විවේකය තවත් එක් සාහිත්‍ය කාලච්ඡේදයක් වන්නේ විවිධ විෂයයන් උගන්වන ගුරුවරුන් කිහිප පොලක් ම කුඩා ආපන ශාලවට රැස් වූ විට යි. එකිනෙකා ගේ දැනුම නොදැනුවත්ම බෙදී විසිරී තේ සුවඳත් වඩේ කර රසත් සමඟින් මුසු වී යන මේ විනාඩි 15ක කාලය ගෙවී යනවා නොදැනේ.

අඩි දහයක් පමණ දිග , අඩි හතරක් පමණ පළල සිහින් තීරුවක තබනා ලද පැරණි උසැති බංකු මේසයක් , ඒ මේසය එක් පස තබා ඇති එවැනිම දිගැති කොට බංකුවක් , අනිත් පස ඇති ඉවත් කරන ලද සිසු පුටු හතරත් විවේකෙ කාලයේ දී ආපන ශාලාවට එන සියළු ගුරුවරුන්ට අසුන් ගැනීමට මදි වූ ඉඩ කඩ වූව ද කිසිවෙකුත් කිසිවෙක්ට දොස් නොකියා ගතවූ කාලච්ඡේද හතරෙහි වියළී ගිය උතුර තේ කහට උණුසුමින් සතපා ගනියි.

“ අපි තේ බොනවා “ කොතරම් දෙනා සිටියත් ගවු ගනනක් දුර සිටිනා ඔහුට මම කෙටි පණිඩියක් තැබුවේ දකුණු අතේ ඇගිලි දෙකක ගුලිකර ගත් හකුරු ගොට්ට සීරුවට සමතුලිත කර ගනිමිනි.

“ ඔයා ගෙ අර ප්‍රදී කතාව දැන් ලියන්නෙ නැතෙයි “ මට කෙලින්ම බංකු මේසය එහා පැත්තේ පුටුවක වාඩි වී සිටි ගුරුතුමිය අසයි. 

පළමුව දැනුන ලැජ්ජාව වසන් කර ගනිමින් “ අයියෝ ...මිසුත් ඒක කියවනවා දැයි මම අසමි “

“ ඔවු ..... ඔයා ඒ ලියන්නේ කාගෙ හරි ඇත්ත කතාවක් ද ?“ ඇය මා දිරිමත් කරමින් අසන්නීය.

“ඔවු .............. මේ ඉන්නෙ එයා .................“ ඒ වන විටද මා අතැගිලි යටට වී තිබූ දුරකතනයේ වූ ඔබේ පින්තූරයක් මම ඇයට පෙන්වමි.

“ කතාවෙ කියල තියන විදිහට මම හිතුවා ලස්සන කෙනෙක් කියලා. ඒ විදිහටම ඉන්නවා “ ඇය පවසන්නේ ඔබේ කඩවසම් මුහුණ දෙස හොඳින් බලමිනි.

“ දැන් මෙයා බැඳල ඉන්නෙ ප්‍රදී ව ද?“  ඇය යළිත් අසයි. 

ආදර ප්‍රදී ලියන්නට මා ඇඟිලි කලකින් නොනැමුනේ ඇයි දැයි එවිට මට සිතේ. එය මා සිත අරක් ගත් එක්තාර ආකරයක ගැහැණු ඉරිසියාවක් වන්නට ද බැරි නැත.

නමුත් නතර කර තැන් පටන් මම නැවත කෙසේ එය ගොතන්නට පටන් ගැනීම අරබන්නේ දැයි මේ වනතුරුද හිතට නිච්චියක් නැත. නමුත් මේ වන විට ද ඇරඹුමක් ලැබී ඇති එහි අවසානයක් දකින තුරු මා ඔබට දුන් පොරොන්දුව අවසන් නොවනු ඇත.

--------------------------------------

තරමක අවුල් වී ගිය හිස කෙස් ය , රැවුල හොඳටම වැවී ඇති අතර ට්‍රිමරයක පහස කලකින් ලැබී නොමැති බවක් හැඟේ. තැනින් තැන සුදු වී ගෙන එන අලුත් කෙස් ගස් ය. කළු කෙස් විරාජමානව වැජඹුනත් , තැන තැන හිස ඔසවමින් සිටිනා සුදු වුන් ඒ මුහුණට අනවශ්‍ය මුහුකුරායමක් එක් කිරීමට තැත් කරයි.

රැවුල් ගස් අතරින් සොයා ගත් ඒ දොතොලෙහි සිනාවක අතීත ලකුණක්වත් දැකිය නොහැකි තරමට ගල්වී ඇත. මුහුණෙහි හැඟීම් කියවා ගැනීමට නොහැකි තරමට අජීවී බවින් පිරී ඇත. කණ්නාඩි දෙකෙන් වසන් වී ඇති දෑස් මේසය මත ඇති සුදු කොළයේ කළු අකුරු වලින් එහා මහා කළු කුහරයක නතර වී ඇති බැවක් හැඟේ.

අතෙහි නිතර රැදෙනා කළු තීන්ත පෑන පසෙකින් තැබූ ඔහු තමා ආසන්නයේ ඇති මේස ඇන්ද දෑතින්ම අල්ලා ගෙන සිටිමින් මද කල්පනාවක නිරත වී සිට , කුමක් හෝ සිතන්නටත් කලියෙන්ම තමා කෙලින්ම තිබූ මේස ලාච්චුව අරින්නට වූයේ හඬ නොනැගෙනා ලෙස සීරුවට නම් නොවේ. 

ලාච්චුව අරින හඬින් ගැස්සී ගිය ඔහුගේ දකුණු පස වූ මේසය අසල වූ සුදු හීන්දෑරි යුවතිය කරමින් සිටි වැඩය නවතා ඔහු දෙස බැලූවත් ඔහුට ඒ වගක් වත් නොවීය.

හැරුන මේස ලාච්චුව ඔහුගේ ඉදිරියට ඒමට පටන් ගනිමින් තිබූ කුසෙහි වැදී නරත වී තිබූ අතර මේස ලාච්චුවට අත දැමූ ඔහු ඉතා සීරුවට එයින් එළියට ගත්තේ 4ආර් තරමේ පින්තූරයකි.

එදෙස බලා සිටිනා ඔහුගේ මුහුණේ තදැතිව තිබූ පේශි ලිහිල් ව යනු පෙනෙනු ඇත.වියළිව ගොස් තිබූ දෑස් තෙත්ව දිලිසෙනු දැකිය හැකි වනු ඇත.දෙතොල්  මදහසත් , අමනාපයත් අතර තැනක නැවතෙනු  පෙනෙනු ඇත. 

අද මේ දැන් සිට දින කිහිපයක්ඔහු කිසිවෙක් සමඟින් කතා නොකරන බවත් මුම්බාගත් වනම සිටිනා බවත් ඔහුගේ ඔෆීසි කාමරයේ සිටින  සුදු හීන්දැරි ගැහැණු ළමයා අත්දැකීමෙන් දනී. ඇය ඔහුගේ පුද්ගලික ලේකම්වරියයි.

මෙය ඉවසිය නොහැකි වූ එක් දිනක් , ඇය සැමට රහසේ ඔහුගේ මේස ලාච්චුව හැර , තම ප්‍රධානියා දුක්බරිත කරවන ඒ අපූරු වස්තුව කුමක්දැයි සොයා ගත්තාය.

කළු සුදු ඡායාරූපයක් වූ එහි සිටියේ ඉතාම කෙසඟ සිරුරකට හිමිකම් පෑ තළෙලු යැයි සිතිය හැකි තරුණියකි. ඇගේ දෑස් ඉතාම සෝබමාන විය . කොණ්ඩය කෙටි වූ අතර තරමක් කැරලි ගැසී තිබුනි. බැලූ බැල්මට ඇගේ ප්‍රධානියාත් , ප්‍රධානියා දින ගණකකට ගොළු කර තබනා ඡායාරූපයේ සිටින තරුණියත් එක හා සමාන හැඩරුවින් යුතු බැව් ඇයට සිතුණි. කෙසේ වුවත් ඔහු පැමිණෙන්ට පෙර වහාම මෙය විනාශ කර දැමිය යුතුබැව් හැගුන බැවින් ඉතා කුඩා කැබලි වලට ඉරන ලද ඡායාරූපය ඉන් පසු ගිනිදෙවියා වෙත පුදන්නට යෙදුනි.

--------------------------

“ අයියෝ .............ඇයි එයා ඒක පිච්චුවේ “ දැන් මට එයා කළු ද සුදු ද කියලවත් බලා ගන්න නෑනේ . කවුද ඇත්තටම ඒ පින්තූරෙ හිටියෙ ? 

“ ප්‍රදී “

“ මොනවා ...............?“

“ ඉතින් ඇයි ඔයාගේ සෙක්‍රරටරි ඒ පින්තූරය පුච්චල දැම්මේ ?“

“ ඒ වෙද්දි මම කසාද බැදල නිසා.මට දරුවො ඉන්න නිසා.පින්තූරෙ බැලුවට පස්සෙ දවස් ගානක් කතා නොකර බුම්මන් ඉන්න නිසා “

“ ඒ කියන්නේ............ඉස්කෝලෙ කාලෙන් පස්සෙ ප්‍රදීව හමුවුනේ නැද්ද ඔයා “

“ හමුවුනා........ අපි ඉස්කෝලෙන් අවුට් උනාට පස්සෙත් එයා මට දිගටම ලිවුවා. “

“  මට දෙන්න කො ඒ ලියුම් “

“ ඒ ලියුම් ටිකත් අර ෆොටෝ එකත් එක්කම අර කෙල්ල පුච්චල දැම්මා “

“ හ්ම් .....................“

“ ප්‍රදී ........ විභාගෙන් පස්සෙ එයාගේ අම්මල ලඟට ගියා. ගියා නෙමේ ...ඇත්තටම එයාට යන්න සිද්ධ වුනා. එයාගේ තාත්තයි අම්මයි වෙන් වෙලා හිටියෙ කියල මම ඔයාට කියල ඇති නේ. තාත්ත ළඟ එයා හිටියේ. ඒත්  .........එයාගේ අවාසනාවට වගේ තාත්තත් නැති වුනා ........ ඊට පස්සෙ එයා එයාගෙ අම්ම ළඟට ගියා “

“ අම්ම ළඟට ..........ඉතින් හොඳයි නෙ. කෙල්ලෙක්ට අම්ම ළඟ ඉන්න තියනම් කොච්චර හො දද ?“

“ අම්ම ........ ආයපු කසාඳ බැදල හිටියෙ. ඒ මනුස්සය මිනීමරුවෙක් ද කොහෙ ද ? ප්‍රදීටත් ඒ මිනිහගෙන් කරදර තිබ්බා . . . . කොහොම වුනත් ප්‍රදීට මගෙ අතින් වුනේ ආපහු කවදාවත් හදන්න බැරි වරදක් ........ “

“ ඔයා ප්‍රදීප බලන්න ගියා ද?“

“ ඔවු .......... එක ලස්සන වෙසක් පෝය දවසක් අල්ලල මම ගියා එයා බලන්න “


ඒ ගමන ගැන දැන ගන්න නම් ඊළඟ කොටස කියවන්න වෙනවා....





Saturday, October 7, 2017

වසර පහකට පෙර අද වැනි දිනක

වසර පහකට පෙර අද වැනි දිනක


ලිපිය ලැබී දින කිහිපයක් ගත වී තිබුණ ද සිතෙහි පැවති දෙගිඩියාව නොමැකී තිබුනි. සිතා මතා ගන්නා තීරණ වලට නොසෑහෙන්න පටහැනි තීරණයක එලඹ ගෙන , හතිලමින් හුස්ම අල්ලමින් කඳු නගිනා බසයක අසුනක කොනක වාඩි වී, සියල්ල අමතක කර බෑවුම් වල පෙනෙනා කුඩා නිවාස දෙස විමසිල්ලෙන් බලමි. වළාකුළු වලින් වැසී ඇති කඳූ පන්ති හඳුනා ගැනීමට උත්සාහ කරමි. කඳු බෑවුමේ ඝනට පෙළට වැවී ඇති තේ පඳුරු අස්සේ දළු නෙලනා උන්ගේ මුහුණු වල හැඟීම් කෙසේ වන්නට ඇතිදැයි අනුමාන කරමි. පාර අයිනක පෙළට ඇති එකම වාගේ කුඩා කාමර සහිත ලැයින් නිවාස තුළ මිනිසුන් වාසය කරන හැටි පිළිබඳව සෝක උපදවා ගනිමි.
මේ සියල්ල පයිසෙකට මායිම් නොකරන බසය හතිලමින් ගුරුත්වාකර්ශන බලයට එදිරිවාදිව මීදුම අතර ට කාබන් මොනොක්සයිඩ් , කාබන් ඩයොක්සයිඩ් එකතු කරමින් පුස් පුස් යැයි හඬ තලමින් ඉහළටම ඇදෙයි.... 

“දැන් ඉතින් හැමදාම යතෑකි නේ. හිමින් සැරේ ඕවා බලාගතෑකි. රවන්නැතිව ඉන්න “ දුම් දමන අතරේ බසය මට ඔලොක්කු කරයි....

වැඩ බාර ගැනීමට තිබුනු දිනය පසු වී දින දෙකක් ගත වී ඇත. මීට දින දෙහෙකට පෙර රාජකාරි කල ස්ථානය නිවසේ සිට පයින් යනෙන විනාඩි පහ පමණක් ගතවෙන තැන වූ කාර්යාලය , ගමේ කවුරුත් හඳුනන මම , ත්‍රී වීල් ඩ්‍රැයිවර් , මාළු මුදලාලි , මස්කඩ මුදලාලි සිට පොත්කඩ මුදලාලි දක්වා ද, ගස් කපන්නන් , පිං පඩිකාරියන් ,මහජනාධාර ඉල්ලුම්කරුවන් , දුගියන් , පොහොසතුන් කොටින්ම උප්පැන්නයේ සිට , විවාහය සහ අවසානයේ මරණ සහතිකය ද ඉල්ලා පැමිණෙන්නන් අතර ලිපිකාරිණියක (එවක නම් කළමණාකරණ සහකාර දෙවන පන්තිය ) ලෙස සිටි මා අද හදිසියේ ම ගුරුවරියක වීමට නිවසේ සිට කි.මි 43ක් දුරකට යාමට බසයකට ගොඩ වී ඇත.


“ අපරාදේ .........ගෙවල් ගාව ඉදල පයින් යන දුර ඔෆිස් එක දාලා යන්නේ “


“ එකනෙමේ දැන් කැම්පස් අවුට් වෙලත් සෑහෙන කල් නේ. ඔයාට ඔය පාඩම් උගන්වන්න මතකෙයි උගන්වන්න “


“ හරි ෂෝක් අනේ නිවාඩු මාසම තුනක් නේ “


“ ඕවට ගියාම ලේසියට ලෝන් එකක් ගන්න බෑ අනේ. ඔයා දැන් එකවුන්ට් බ්‍රාන්ච් එකේ නිසා ටක් ගාලා ලෝන් ගන්න පුළුවන් , අනික ඉස්කෝල වල වැඩ කිසි පිළිවලක් නෑ “


“බස් එකටත් වියදම වැඩි නේද? එහෙ නතර වෙනේක ඔයිට හොඳ නැතෙයි “


හති දමමින් ආ බසය මද විවේකයකට මෙන් ලොකු සුසුමක් සමඟින් පොඩි ටවුමක නැතර විය. මා වෙත පැමිණි කොන්දොස්තර කොලුවා ඉතිරි සල්ලි ගනිමින් දිගු කරන ගමන් , ඔහුට මා බසයට නගින විට කළ ඉල්ලීම ද ඉටු කරන්නට විය.


“ බහින්නැද්ද මිස් , මෙතනින් බැහැල තව බස්සේක යන්නෝනි. ඒක නම් දැන් ගිහින් , ඒ බස් එක හත වෙද්දි ස්ටෑන්ඩ් එකෙන් යනවා. ආය තියෙන්නේ හතයි පනහ “


“ එහෙනම් අද ත්‍රීවීල් එහෙකවත් යනවා. අනිත් දවසෙ ඉදන් කලින් බස්සෙකට එනවා “


“ ඔවු , අකුරැස්සෙන් හයේ බස්සෙකේ නැග්ගාම හරි “


“ හරි එහෙනම් , ගොඩක් ස්තුති “


බසයෙන් බසින තැනම වූ ත්‍රීවිල් නැවතුමෙන් ත්‍රීවිලයක නැගුනු මා මට යාමට අවශ්‍ය පාසල පවසා හරි බරි ගැහී වාඩි වුයෙමි.


“ ටීචර් ඉස්කෝලෙට අලුතින් ද ?“

තරුණ රියදුරා ඉදිරි දකුණු පැති කණ්නාඩියෙන් මා දෙස බලමින් විමසයි. එයින් ඇරඹි කතාව අවසන් වූයේ අධ්‍යාප අමාත්‍යාංශයේ සියල්ලන්ට දොස් පවරමිනි. කතාව අවසන් වනවාත් සමඟම පාසල් ගේට්ටුව අසලට පැමිණීමට හැකි වුන අතර , නියමිත ගාස්තුවට වඩා අඩුවෙන් ගාස්තුව ගත් තරුණ රියදුරා නැවතත් ඕනෑම අවස්ථාවක දී තම සේවය සැපයීමට ඇති කැමැත්ත ප්‍රකාශ කිරීමට ද පසුබට නොවීය. 


තම ලෙංගතුබව හැඟවූ ත්‍රීවිලය ද යාන්තමින් නලාව නාද කර හැරී ගිය පසු මා හිසට ඉහළින් ඇති කණ්ඩිය උඩින් පෙනෙනා පාසල දෙස මදක් වෙලා බලා සිටියෙමි. 

විශාල නවීන බස් දෙකකට කිසි කරදරයක් නොමැතිව දෙපසට මාරු විය හැකි තරමට  අඩි ගණනාවක් පළලැති. මනාව කාපට් කර ඇති නව තාර පාර දෙපසින්ම විරාජමානව වැජඹුනු පාසලට අයත් වී තිබුනි. දරුවන් තාර පාර මැදින් ඇති කහ ඉර දිගේ ගෙදර යන්නාක් මෙන් පාර මාරු වෙයි. මා සිටින්නේ දැන් ප්‍රධාන ගේට්ටුවට මුහුණලාය.

මාගේ දකුණු පසින් අඩි දහයක් පමණ උස පස් කණ්ඩියකි. එයින් උඩ ඇති ගොඩනැගිල්ලි දෙකක වහලය සීමාව පෙනේ. මාගේ වම් පසින් පාර එහායින් පාර මට්ටමේ සිට අඩි දහයක පමණ සෘජු බෑවුමකි. එම බිමෙහි ඇති එක් දෙමහල් ගොඩනැගිල්ලක උඩ මහල පෙනෙන්නේ මහ පාර මට්ටමේ පිහිටනා ගොඩනැගිල්ලක් මෙනි “ මේ ඔබේ දරුවාගේ පාසලයි“ පාසලේ පිහිටි එකම දෙමහල් ශාලාවේ දිගට පාරට පෙනෙන සේ දෙමහල් ශාලාවේ පිටත බිත්තිය දිගට ලොකු අකුරින් ලියා ඇත. 

පාර මට්ටමේ ඇති ගේට්ටුවෙන් ඇතුලු වන තැන ගැහැණු දරුවන් කිහිපදෙනකු මල් පොකුරු අතින් අරන් විමසිල්ලෙන් පසු වෙනු පෙනේ.
මා දුටු විට ඔවුන්ගේ විමසිලි දැස් එකිනෙකා වෙත යැවුනේ “ මේ කවුදැයි අසන්නාක් මෙනි “ ඔවුන් එයින් ගලවා ගනු වස් මම මා සිත ඇති පැණය විසි කලෙමි. “ පුතා , ඔෆිස් එක තියෙන්නෙ කොහෙ ද?“ එතැන වුන් එක් කෙල්ලෙකු මැදට මැන ඇය අත වූ මල් පොකුර මා වෙත දිගු කර , “මෙතනින් උඩට යන්න ටීචර් “ යැයි පවසා ලොකු සිනහවකින් ද සංග්‍රහ කිරීම මා අද වෙන තුරු ලත් ලොකුම පිලිගැනීමයි.

ඔෆීසිය ගුරුවරුන්ගෙන් පිරී තිබුන අතර එකිනෙකා මහ හඬින් සුහද සාකච්ඡා වල නිතර වී සිටිනු දැකිය හැකි වුවත් මාගේ පැමණිමත් සමඟින් ඔවුන්ගේ කතා වල ත්‍රීවුරතාවය තාවය අඩු වී ගොස් සියල්ලන්ගේම පාහේ දැඩි අවධානයත් කුසු කුසු හඬත් මා වෙත යොමු වනු දැනුනි.





“මිස් ඇවිල්ල තියෙන්නේ මාර දවසක නේ“

එළකිරි වීදුරුවක් සහ කිතුල් හකුරු කෑල්ලක් දිකුගරමින් එකකු පවසන්නට විය.


ඔහු වෙත හෙලු බැල්මෙ රැදි පැනය හදුනා ගත් අනෙකා.


“හරි හරි මිස් සංග්‍රහය බුක්ති විදල ඉන්න කෝ. “ පැවසූ අතර , එදින ඔක්තෝම්බර් පස්වෙනිදාවක වූ සිකුරාවක් බවත් , හෙට එළඹෙන සෙනසුරාදා දිනය  ගුරු දිනය බවත් එදින නිවාඩු දිනයක් බැවින් පාසලේ ගුරු දිනය සැමරීමට අද දිනය යොදා ගෙන ඇති බැවත් මම දැන ගතිමි.


එදා සිට අද දක්වා වසර පහකුත් දවසක් ගෙවී යමින් ඇත. මා ලද දේ සහ අහිමි වූ දේ අතරින් , ලද දේ වැඩියැයි හැඟේ. නමුත් අදට ද ගමේ ඇතමෙකු “ මිස් දැක්කෙ නෑනේ කාලෙකින් ඒජී ඔෆිස් එකේ ,දැන් කොහද වැඩ“ යැයි විමසයි. රාජකාරි ලිපි ලියවා ගැනීමට නිවසට මා සොයා පැමිණෙයි. අසල්වැසි දරුවන් පාඩම් අසා ගැනීමට ද විටින් විට පැමිණේ. වසර පහක්.... එක ස්ථානයක රැදිය යුතු අවම කාලය මා දැන් සම්පූර්ණ කර ඇත. 


නිවස අසල පාසලකට යාමට ඉල්ලුම්කිරීමට සුදුසුකම් සපුරා ඇත. නමුත් සීතල පරිසරයක කඳු බෑවුමක පහළ සිට ඉහළට දිවෙන සුන්දර පාසලක දිනෙන් දින වැඩෙනා දරුවන් දකිමින් සිටිමින් ඔවුන් හැර යාම ද සිත චංචල කරවයි. නමුත් මේ මාගේ පස්වෙනි ගුරු දිනය වන අතර හෙට සිට ඇරඹෙන්නේ මගේ ගුරු ජීවිතයේ සයවෙනි වසරයි.

Tuesday, October 3, 2017

වොට්සන්ගේ කරත්ත පැදිල්ල

වොට්සන්ගේ කරත්ත පැදිල්ල


වොට්සන් පුංචි කාලේ හරිම ක්‍රියාශීලි දරුවෙක්. දැන් ලොකු මහත්තයෙක් වෙලා යකඩ වලට ප්‍රේම කර කර කම්මලේ වැඩ කරාට මොකද ඒ කාලෙත් යාන්ත්‍රික අංශයෙන් හොඳ දස්කම් පෙන්නපු දරුවෙක්. මේ කරත්ත පැදිල්ලත් ආන්න ඒ වගේ එක වැඩක්.
අනික මේ කරත්ත හැදිල්ලයි පැදිල්ලයි වොට්සන් තනියම කරන දෙයක් නම් නෙමෙයි. ඒක ඇවිල්ල වොට්සන්ගෙ වචන වලින්ම කියනව නම් “නිවාඩු කාලේ ප්‍රොජෙක්ට් එකක්“ දැන් ඉස්කෝල වල තියන බොරු ප්‍රොජෙක්ට්ස් වගේ නෙමෙයි මේ ප්‍රොජෙක්ට්. හැබෑවටම ක්‍රියාත්මක වෙන ක්‍රියාකාරී ව්‍යාපෘති.
ඔන්න ඉතින් නිවාඩු කාලේ ආවම වොට්සන් ඇතුළු පිරිස මේ වැඩේ පටන් ගන්නවා.මේ පිරිස අතර ඉන්නවා වොට්සන් , වොට්සන්ගේ අයියා , එහා ගෙදර ඉන්න නැන්දගෙ දූලා (මතකද දන්නෑ වොට්සන් හදපු රොක්ට්ටුව ඩූම්..........ගාලා හැප්පුන ගෙදර ) අන්න ඒ ගෙදර ඉන්න දූලා තමයි මේ. ඉතින් මේ ඔක්කම එකතු වෙලා තමයි මේ කරත්තය හැදිල්ලත් පැදිල්ලත් සිද්ද කරන්නේ.

කලින් මම කීවා වගේ මේකට එයාල හොයා ගන්නවා මෙන්න මේ දේවල්.
කරත්ත ප්‍රොජෙක්ට් එකට අවශ්‍ය ද්‍රව්‍ය
------------------------------------------------ 
1. සන්ලයිට් සබන් කැට එන අර ලී පෙට්ටිය.
2. රූපයේ පේන විදිහෙ රීප්ප පටි
3. සිවිලිමේ ලයිට් හයි කරන්න ගන්න ලී රෝද (මේවා අද කාලේ දකින්න නම් නෑ.මේවා තමයි කරත්තෙ රෝද විදිහට ගන්නේ ) මේවා හිල් කරල තමයි ගන්නේ. අනිත් කතාව තමයි වොට්සන්ගෙ ගෙදර සියළුම වඩු උපකරණ තිබ්බ නිසා මේ හිල් කිරිලි , හයි කිරිලි ඒ හැටි  අරුමයක් වෙලා නෑ.
4.ටවුමේ ගරාජ් වලින් අහක දාපු රේසර් 

5. අයින් කරපු සෙරෙප්පු වල පටි

6.කොහු ලණු
7. ඇණ
8. වඩු උපකරණ



ක්‍රමය 
------
මේකට ඉස්සෙල්ලාම ඒ කාලේ සන්ලයිට් සබන් කැට ආපු අර ලී පෙට්ටිය ඕනි කරනවා. ඒක තමයි කරත්තයේ මූලිකම දේ. ( වොට්සන්පුංචි කාලේ , පුංචියට හිටපු අනිත් අයටත් මතක ඇති ඒ කාලේ සන්ලයිට් වගේ සබන් එන ලී පෙට්ටිය )

ටයර් වලට ගන්නේ අර සිවිලිමට ලයිට් හයි කරන ලීරවුම්. මේවා වඩු උපකරණ භාවිතා කරල හිල් කරනවා.ඒකට ටවුමෙ ගරාජ් වලින් අහක දාන රේසර් කදට ගහනවා.  ඊට පස්සෙ ඒක වටේට රබර් සෙරෙප්පු වලින් ගන්න සෙරෙප්පු පටි ඉරලා රෝදෙ වටේ ගැහුවාම “ කරත්ත රෝදේ හරි “.

පෙට්ටියේ හරි මැදින් ඉස්සරහට තව රීප්පයක් ඇණ ගහලා හයි කරනෝ. ඒකෙ හිලක් විදලා ඉස්සරහ ඇක්සෙල් එක  බෝල්ට් ඇණයකින් දැම්මාම මේක හරවන්න පුළුවන්.

කොහු ලණ්න තමා ස්ටියරින් වීල්ලෙක.ඉස්සරහ වාඩි වෙන කෙනා තමා ඩ්‍රැයිවර්. හරියට හරවන වගකීම තියෙන්නෙ එයාට. තවවවව පස්සෙන් සෙරෙප්පුවක් පෙට්ටියට ඇණ ගහලා හයි කරනෝ. ඒක බිම ඇතිල්ලෙන්න. ඒක බිමට අතින් තද කරාම බ්‍රේක්. කොහොම ද ටිකිරි මොළේ ................

ඔන්න දැන් ප්‍රොජෙක්ට් එකේ මුල් අදියර ඉවරයි.ආහ් මට කියන්න බැරි වුනා බ්‍රේක් එකේ වැඩි හොඳට අපි සෙරෙප්පු දෙකක්ම හයි කරා.දැන් තියෙන්නේ වාහනේ පාරට දානෙක.

දැන් මේකත් අරන් අපි සෙට් එක ගියා පාර උඩහට. මායි ,අයියයි , ලොකු නංගියි තමයි පාර උඩහට ගියේ.අපේ ගෙදර ඉදල උඩහට තව මීටර් 500ක් විතර වෙනකම් කන්ද.ඒ වගේම ගේ ළඟ ඉදන් පහළට තව මීටර් 400ක් විතර බෑවුම.ඒ බෑවුම හොඳටම පල්ලමක්. ( ඔයාල දන්නැතිව  ඇති වොට්සන් ගෙ පුංචිකාලෙ ගෙවුනේ කඳුකර සීත පළාතක )

මේ පල්ලම මොන වාහනයකින් වත් ෆස්ට් ගියර් එක නැතිව නම් නගින්න බැරි පල්ලමක්. දැන් ඔයාලට හරියටම පැහැදිලි කරනව නම් මෙන්න මේ වගේ. එතකොට මෙතන තියනව වංගු තුනක්. එකක් හරියටම අංශ 90ක වංගුවක් සහ තව පුංචි වංගු දෙකයි.



දැන් උඩටම , ඒ කියන්නේ A වලට ගිහින් තුන්දෙනාම නැග්ග වාහනේට. මම තමා ඩ්‍රැයිවර්. (ඒ කියන්නේ වොට්සන් තමා රියදුරු ) නංගි මැද , අයිය පිටිපස්සේ .අයිය තමා බ්‍රේක් එක බලා ගන්නේ.

දැන් මම යකඩ අශ්වය පදිනව වගේම ඒ කාලෙත් මම හොඳ ඩ්‍රැයිවර්. ඒ නිසා නිතරඟයෙන්ම මට ඒ තනතුර ලැබෙනෙක දෙවියන් වහන්සෙට වත් වලක්වන්න බැරි වුනා.

ඔන්න ඉතින් අපි උඩහ ඉදල පහලට එනවා....... 

 ඩොක ඩොක ඩකට ඩොක ඩොක ඩොකන් ...........ඩක ඩක .......

ඔක්කම හරියටම ආවා. ගෙවල් ගාව වංගුවෙදි බ්‍රේක් ගැහුවා.....

මොන ....................  

“සෙරෙප්පු දෙක අතේ “

දැන් ඊළඟට එන්නෙ අර නසරාණි පල්ලම .........

ආය කොහෙ නවතින්න ද .... භටත් පල්ලම ඉවරවෙන කොට පාලමක්. අර දිය රෙද්ද ගිය පීල්ල...අන්න එතන....

කරත්තෙ යනවා හෝ ගාලා. අයියා සෙරෙප්පු දෙකත් අතේ තියන් පුදුමයෙන් බලන් ඉන්නවා.

 ඩොක ඩොක ඩකට ඩොක ඩොක ඩොකන් ...........ඩක ඩක ....... ඩොක ඩොක ඩකට ඩොක ඩොක ඩොකන් ...........ඩක ඩක ....... සද්දෙ එන්න එන්න වැඩි වෙනවා. අපේ කොන්ඩ හුළඟට විසිරිලා පස්සට යනවා. මාර සනීපයි.

හැබැයි ඉතින් මේ සනීපෙන් අපි යන්නේ මරු තුරුලට. වේගය මරුවා කැදවයි.

මම ගත්තා හදිසි තීරණයක්. මොකද සුක්කානම මගෙ අතේ.ගේ පහුවෙන කොටම ඇද්ද ලණුව , කැපුව කරත්තෙ එහා වත්තට. 

අප්පට සිරි ...............

තුන්දෙනාම එක රොත්තට වැලි ගොඩ ගැහුවා වගේ. හීරිලා ......කැපිලා .... තුවාල වෙලා...........හැබැයි හොඳ වෙලාවට කාගෙවත් ඇට කටු ටික නම් කුඩු වෙලා නෑ.

වෙලාවට ඒ කාලේ මේ පාරේ වේග සීමා නෑ. නැතිනම් අපිට උසාවි ගානෙත් ලඟින්න නම් අනිවාර්යෙන්ම සිද්ධ වෙනවා.

අන්තිමට තාත්තා කරත්තෙ විසික්ක කරා. හැබැයි විසික්ක කරන්න එතන කරත්තක් තිබ්බෙ නෑ. තිබ්බෙ කුඩුවෙලා ගියපු සුන්බුන් ගොඩක්.

හැබැයි ඒ මගේ ජීවිතයේ පලවෙනි ඩ්‍රැයිවින් ට්‍රයල් එක....නරකම නෑ නේද මගෙ ඩ්‍රැයිවින්..... 


ප.ලි :- නුවර ඉදන් රජ මාවතේ රන්දෙණිගලත් බලල ආපහු දහ අට වංගුවෙන් උඩට නැගපු වෙලාවේ මගෙ ළඟ හිටපු උඹ තරම් වෙන කවුද මගේ ඩ්‍රැයිවින් ගැන දන්නේ...... 

ප.ප.ලි - කරත්තෙ හදන තැන ඉදල කන්ඩෙම් කරපු කරත්තෙ කම්පැනියෙන් අයින් කරනකම් කොටස ලියල තියන්නෙ වොට්සන්ගෙ වචන වලින්......

Monday, September 25, 2017

පුංචි වොට්සන් ගේ ලොකු පරීක්ෂණ


පුංචි වොට්සන් ගේ ලොකු පරීක්ෂණ 


මන් අටේ ඉද්දි , අම්ම ගෙනත් දුන්නා අනුර සී. පෙරේරා ගෙ “ විද්‍යා විනෝදය“ පොත. මගෙ ළඟ ඒ පොත තාමත් තියනවා. බොහෙම රසවත් පරීක්ෂන පිරිච්චි පොතක්. කොච්චර කියෙව්වත් ආය ආය කියවන්න ආස හිතෙන පොතක්.

මගේ අම්මා ගුරුතුමියක්. එයා නිතර අපි තුන්දෙනා ගැන අවධානයෙන් හිටපු නිසා , ඉස්කෝලෙ  වගේම ගෙදරත් ඉස්කෝලයක සිරි ගත්තා. ඒත් අම්ම නිතර නිතර අධ්‍යාපන වැඩ වලටම එහෙට මෙහෙට වෙන්න ගත්තාම අපිට ගෙදර ඉතින් “ ප්‍රින්සිපල් නිවාඩු ගියපු ඉස්කෝලෙ “ වගේ තමයි.

ඔන්න ඉතින් දෙසැම්බර් නිවාඩුව කියන්නෙත් ඒ වගේ කාලයක්. අම්ම දෙසැම්බර් නිවාඩුවට පේපර් මාකින් යනවා. අපි ඒකට කැමැති හේතු ගොඩක් අතරෙ ප්‍රධානම හේතු දෙකක් තියනවා. එකක් තමයි දෙසැම්බර් නිවාඩුව වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම “නිවාඩුවක්“ වෙනේක. දෙක තමයි. අම්ම පේපර් මාකින් ගියාම මාසික පඩියට අමතරව ලැබෙන මුදල නිසා අපට කන්න අලුත් රසකැවිල්ලක් ලැබෙනේක.

ඔන්න ඉතින් අවුරුද්ද අන්තිමේ දී එහෙම දවසක් උදා වුනා. අම්ම ගියා පේපර් මාකින්. අපිට ඉතින් “නිවාඩුව“ ලැබුනා.... පොත කියවල හිතේ හොල්මන් කර කර හිටපු දෙයක් එළියට දාන්න කාලේ ආවා. විද්‍යාඥයෙකුට උනත් පරීක්ෂණයක් කරන්න “නිදහසක් “ ලැබෙන්න ඕනි.ඒකයි මමත් හිතේ නිදහසින් පරීක්ෂණ ටික කරල දාන්න මේ නිවාඩුවම තෝර ගත්තේ.

මම කලින් වරින් වර අවශ්‍ය දේවල් හොයල එක්කාසු කරන් හිටියෙ. වරින් වර අහල හොයා ගත්ත නිසා ගෙදරට වුනත් කිසි සැකයක් ඇති වුනේ නෑ.

“ පොටෑසියම් නයිට්‍රේට් “ , ඒ කියන්නෙ වෙඩි ලුනු , ගෙන්දගම්, සහ තවත් මොනවදෝ වගයක් තිබ්බා. අම්මගෙන් ඒ මොනාද කියල ඇහුවම එයා කීවේ “ වෙද සීයගෙන් ඉල්ල ගන්න “ කියලා.

 වෙද සීයා කියන්නේ තාත්තගෙ බාප්පට. එයා හරි ප්‍රසිද්ධ පාරම්පරික වෙද මහත්තයෙක්

ඉතින් තහකනියක් එහෙ ගිහිල්ලා අඩුම කුඩුම අරන් එනවා. 

ඒ ගෙනාපු දේවල් ඔක්කම පොතේ හැටියට අබරල , රෙදි ඔතන බටේකට පුරවල , ඉස්සරහට කෝන් ශේප් කාඩ්බෝඩ් එකක් එහෙම හයි කරලා හැදුවා රොකට්ටෙක....... ආය බලන්න ලස්සනයි 


හදල ඉවරුනාම ඉස්සරහින් ද පස්සෙන් ද පැත්තෙන්ද වටෙන් ද හැම ඈන්ගල් එහෙකින්ම රොකට් එකේ ලස්සන බලල ඉවරුනාම තිබ්බෙ රොකට් එකේ පස්ස පැත්තට ගිනි තියන්න විතරයි.

ඉතින් හිතේ හැටියට රස වින්ද රොකට් එකේ පස්ස පැත්තට ගිනි තියන ඒ  ඓතිහාසික  වෙලාව උදා වුනා.පොතේ නම් තිබ්බේ දිග කඹේක එල්ලල යවන්න කියල. කල්පනා කරල බැලුවම අපේ ගෙදර රෙදි වැල මේකට ගාණට හරියනවා.වැලේ දිග අඩි 20ක් 30ක් විතර. ඒ රෙදි වැලේ එක කෙළවරක් ජෑම් ගහෙත් අනිත් කෙළවර අල්ලපු ගෙදර නැන්දලගෙ බිත්තියෙ තමයි ගැට ගහල තිබ්බේ.

රෙදි වැල දිගේ කීප පාරක් එහා මෙහා ගියාට පස්සෙ හිතට දැනුනෙ “ මේ රෙදි වැල නම් හදල තියෙන්නේ මේ වැඩේටම තමයි “ කියලා.

එල්ලුවා රොකට්ටුව වැලේ. දැන් ඔක්කම සූදානම්. පත්තු කරා රොකට්ටුවේ පස්ස පැත්ත.ආය නිකම් නෙමෙයි. අවරෝහණ පිළිවලට ගාණට ගනන් කරලා.බින්දුවෙදි බින්දුව කියන්නෙ නැතිව ගනන් කරපු රිද්මෙටම රොකට්ටුවෙ පස්සට ගිනි තිබ්බා.


දුම්දාගෙන පත්තු වෙලා ගියා. අසරැ සැණින්....ඉතා වේගෙන්......වේගෙන් ............වේ...............ගෙන්ම....... දුම් දාගෙන්..............දුම් ......................... දාගෙන.......................

නැන්දලගෙ බිත්තිය දිහා...............................ටම ගිහින්


“ ඩූ.................................ම් “ ගෑවා විතරයි මතකයි.


වෙන මුකුත් අවුලක් නෑ. පොතේ හැටියටම වැඩේ හරි. සද්දෙ තමයි ඉතින් ටිකක් අවුල් ගියේ.ඒකයි මෙච්චර කට්ටිය පිරුනේ..... කොහොමත් ඉතින් හඳට රොකට්ටුව යවපු දවසෙත් කොච්චර නම් කට්ටිය පිරුන ද.... ඒ නිසා මේ සෙනඟ ඒ හැටි ගානක් නෑ..........

හවස ඉතින් අම්ම ආහම ටොකු පෝළිමකුත් හම්බුනා තමයි. ඒත් ඉතින් ඒ ටොකු වලට බැරි වුනා හඳට යවපු රොකට්ටුවෙන් ලැබුනු සතුට වලලල දාන්න...

ඒ පොතේ තිබ්බ ඔක්කම පරීක්ෂණ ටික ඒ නිවාඩු කාලේ ඉවර කරල දාන්න තරම් මම දක්ෂයෙක් වුනත් මේ රොකට්ටුවෙ වැඩෙන් පස්සේ , කරපු හැම පරීක්ෂනයක්ම පරිස්සමට කරන්න මට අවශ්‍ය ශක්තිය ලැබුනටත් වඩා මම පටන් අරන් තිබ්බෙම පොතේ තිබ්බ සද්දෙ වැඩිම පරීක්ෂනයෙන් වීම තමා ලොකුම ගැටළුවකට තිබ්බේ....

ඒත් මොක ද... පොතේ තිබ්බ හැටියටම , හිතේ තිබ්බ ඔක්කම පරීක්ෂණ ටික ඉවර කර ගන්න පුලුවන් වුනායින් පස්සෙ හිතේ බරක් නැතිව නිවාඩුව ඉවරෙලා ඉස්කෝලෙ යන්න ලැබුනෙකම මදැයි.


--------------------------------------------

ප/සු - වොට්සන් ලොකු උනාට පස්සෙ කම්මලක වැඩට යනවා. නිකම් නෙමෙයි. අවුරුදු ගාණක් විශ්ව විද්‍යාලයක ඉගෙන ගෙන. යකඩ වලටම ආදරෙන් බැදිලා.යකඩත් එක්ක හරි අපූරු වැඩ කරන්න එයාට පුලුවන්. නමුත් යකඩ වලට වඩා මෘදු හිතක් තියන වොට්සන් ගෙ පුංචි කාලේ කියන්නෙ කතා මල්ලක්. ඒ කතා අහන්න මම හරිම ආසයි. ඒ විතරක් නෙමේ .ඒ කතා කියද්දි ඒ මූණ දිහා බලා ඉන්නෙක මම ආසා කරන දේවල් වලින් එකක්.


---------------------------------------------------------

SMALL WATSON’S BIG EXPERIMENT




When I was in Grade 8 m mother bought me Anura C. Perera’s ‘Vidya Vinodaya’ (Entertainment of Science). I still have the book with me. It is a book filled with lots of interesting experiments. However much this book is read, there is always the urge to read it again and again.


My mother is a teacher. Since she was always attentive towards the three of us, like the school, the home too took the form of a school. But when our mother had to often go here and there on educational activities, for us the home was like a ‘school with the principal off on vacation’.


So, the December holidays are also such a time. Mother goes for paper marking during December holidays. There are two main reasons among the numerous reasons for us to like this. One is the December holidays being really a ‘holiday’ just as the word is meant to be. The second is, when mother goes for paper marking, we get to eat new sweetmeats since she earns an additional income apart from her salary. 

So then, by the end of the year such a day dawned. Mother went for paper marking. So we got our ‘holidays’. The time came to try out something that had been haunting my mind after reading the book. Even a scientist has to enjoy “freedom” to carry out an experiment. That is why I too chose these particular holidays to carry out and complete the experiments with freedom of mind.

I had already collected the necessary items from time to time. Since I had asked and collected these at intervals, nobody at home even suspected anything.

“Potassium Nitrate”, that is gunpowder, sulphur and there were several other items. When asked what they were, mother said, “Get them from Veda Seeya”. 

Veda Seeya is our father’s uncle. He is a very famous traditional physician. 

So I go there in a hurry and bring the necessary things.

All the items thus brought were mixed according to the book, packed into a cloth wrapping tube, a cone shaped piece of cardboard fixed to its front end, and a rocket was made. Oh! How beautiful it was!

Once completed, after the beauty of the rocket had been admired from the front, behind, both sides and from every angle, what remained was only to ignite the back of the rocket.

So, the historic moment dawned to ignite the back of the rocket that I admired to my heart’s content. The book said to hang it on a long rope and launch it. After thinking for a while, I observed that our clothesline was perfect for this. The clothesline was about 20 to 30 feet in length. One end of this clothesline was tied to the Jam tree and the other to our next door aunty’s wall.

After walking along the clothesline several times, I felt that “This clothesline has been made exactly for this.” 

I hung the rocket on the clothesline. Now everything was ready. I ignited the back of the rocket. Not merely for the sake of doing it! It was after a methodical countdown. When I reached zero, I ignited the rocket to the rhythm of the count without uttering zero!

It ignited billowing smoke. At lightning speed…… very fast…. fast… faaaaast….. billowing….. smoke….. 

Reached aunty’s wall……..

“Booom…..” that was all I could remember.

There were no other problems. It went according to the book. Only the noise was a bit of a problem. That is why there was such a large crowd. Anyway, wasn’t there a larger gathering on the day a rocket was sent to the moon? So, this crowd was nothing so serious.

But when mother returned home in the evening, a row of knocks on the head had to be endured. But those knocks failed to dampen the happiness gained from sending a rocket to the moon.

Though I was so clever to have completed all the experiments in that book within those holidays, after this rocket experiment, more than gaining the strength to carry out all the other experiments very carefully, my main problem was having begun with the experiment in the book which caused the loudest noise. 

Who cares….. wasn’t is enough to be able to go back to school with a light heart at the end of the holidays, after being able to complete all the experiments according to the book and to my heart’s content. 

--------------------------------------------------------------------------------

PS: After growing up, Watson goes to work in a workshop. No just, but after having attended a university for several years. He has fallen so much in love with metals. He can do wonders with metals. But the softer-than-iron hearted Watson’s childhood is a bag-full of stories. I so much love to hear those stories. Apart from that, watching his face when he relates these stories is one among the things I like most.


විශේෂ ස්තුතිය - ටී.බී.සිගලක්සානා මහතාට. https://www.facebook.com/singalaxana

Sunday, September 24, 2017

මොළේ මැටි ද? මැට්ටෙක් ද? කොච්චර ඉගැන්නුවත් වැඩ බෑ ද?

මොළේ මැටි ද? මැට්ටෙක් ද? කොච්චර ඉගැන්නුවත් වැඩ බෑ ද?



කොච්චර ඉගැන්නුවත් මුකුත්ම බැරි ළමයි ඉන්නවා.හැබැයි එයාල හරිම උනන්දුයි. කොච්චර නම් උනන්දුයි ද කියනව නම් අහන ඕනිම ප්‍රශ්නයකට එයාල උත්තර දෙනවා.හැබැයි ඒ උත්තර වැරදි. 
නමුත් මොකක් හරිම උත්තරයක් හයියෙන් කෑගහල කියන්න තරම් එඩිතර ගතියක් එයාලට තියනවා. උත්තරේ නම් අහන ප්‍රශ්නයට ගෑවිලාවත් නොයන එකක් වුනත් උනන්දුවෙන් ඉන්න බව දැනෙනෙක සතුටක්. 
ඒත් මෙයාලට කොහොම උගන්වන්නද කියල මට තේරෙන්නෑ. කොච්චර ඉගැන්නුවත් බෑ. මම එයාලගේ දෙවෙනි විද්‍යා ටීචර්. කලින් කෙනා අයින් වුනා. දැන් මම අහුවෙලා. මම දැන් උගන්වන්නෑ. එයාල කැමැති දේවල් කරන්න දෙනවා. ආහාර දාමයක් කියන්නෙ මොකක් ද කියලා කොච්චර ඉගැන්නුවත් එයාලට තේරෙන්නෑ. අන්තිමට පින්තූර ගේන්න කියලා ආහාර දාම හදල අලවන්න දුන්නා. ඔන්න ඒ සැරේ ටික දෙනෙක් ගොඩ ගියා. තව ටික දෙනෙක් තාමත් එහෙමයි. 
එයාලට හිතාගන්න බෑ ඊහිස දාන්න ඕනි කොයි අතට ද කියලා. පූසා කන්නේ මීය ද ? මීයා කන්නෙ පූසා ද ? කියල ටික වෙලාවකින් එයාලට ප්‍රශ්නයක්..... ඒක ඇයි එයාලට ප්‍රශ්නයක් වෙන්නෙ කියනෙක මට ඊට වඩා ප්‍රශ්නයක්...
එකම දේ දස වතාවකට වඩා කියල දීලා එකම ප්‍රශ්නය ආපහු ඇහුවම ත් උත්තර දීගන්න බැරි වුනාම මට පිස්සු හැදෙන්න ඔන්න මෙන්න වගේ. වසන්කර ගන්න හදන කේන්තිය එක්ක මගේ මුහුණ දකින එයාලගෙ මූණු මා ගැන අනුකම්පාවෙන් පිරෙනව දකිද්දි මටත් හරිම දුකක් දැනෙනවා.
සමහර එයාලට වැඩ බෑ කියල මුහුණටම කියනව. සමහරු එයාලගේ පන්ති වලට ඉගැන්වීම ප්‍රතික්ෂේප කරනවා. තවත් සමහරු ඇවිත් මොකක් හරි දෙයක් කියා දීලා යනවා. ඒත් ඒ කිසිම වෙලාවක මේ දරුවන් ගුරුවරයා එක්ක තරහක් නැහැ. එයාලට තියෙන්නෙ දුකක්.ඒ තමන් ගැන නෙමෙයි. තමන්ට මෙච්චර මහන්සි වෙලා උගන්නලත් ඇයි අපට ටීචර්ව සතුටු වෙන උත්තරයක් දෙන්න බැරි කියන දුක. ඒ දුක මට දැනෙන නිසා මට තවත් පීඩනය වැඩි වෙනවා. කොහොමද උගන්වන්නේ ?
“ ක්‍රියාකාරකම් “ - ක්‍රියාකාරකම් කරන්න එයාල හරිම කැමැති. පන්තියක ඉන්න දක්ෂ ළමයින්ට වඩා , දෙයක් ගේන්න කීවම නොවරදවා පන්තියට අරන් එනවා. ඒ විතරක් නෙමෙයි. ගෙනාපු වෙලාවෙ ඉදලම “ මොකටෙයි ටීචර් මේක ගෙන්න කීවේ “ “ මක්කයි මේකෙන් වෙන්නෙ ටීචර්“ “ අනේ ටීචර් අද මේ පාඩම කරන්නැතෙයි “ දාහක් ප්‍රශ්න.
“ප්‍රායෝගික වැඩ“ - ලැබ් එකට එන්න කොයි ළමයත් හරිම කැමැති. ඒත් පුංචි පන්ති වල ළමයි ආවම ටීචර්ට ටිකක් විතර කරදරයි. ඇහැ ගහගෙන ඉන්න වෙනවා. නැතිනම් පරමාණු බෝම්බයක් හදල පුපුරවල තමා ඒ ගොල්ලො ආපහු යන්නේ. ඉගෙනීමේ වැඩ කොහොම වුනත් . ප්‍රාෙයා්ගික වැඩ කරන්න ඒ තරම් එයාල සූක්ෂමයි.
“ ක්ෂේත්‍ර චාරිකා “ - ඇවිදින්න......... අනේ ටීචර් මරු. අපි දොළට යමු. ඇළෙන් වතුර ගේමු. පිට්ටනියට යමු. ඇවිදින්න එයාල හරිම ආසයි. මට තේරෙන විදිහට මේ ළමයි අකැමැති පන්ති කාමරයට. පන්තියෙ තියන පුටු වලට. මේසෙට , ඒ ඔක්කටම වඩා පොතට සහ පෑනට.
“ සෙල්ලම් “ - සෙල්ලම් කරන්න ? මේ ටීචර්ට නම් පිස්සු.සෙල්ලම් කරන්න දෙනවද පීරියඩ් එකේ. කියල මුලින් හිතුවත් පස්සෙ එයාලම සෙල්ලමට යනවා.හැබැයි පාඩම සෙල්ලමට සම්බන්ධ කරන්නෙ කොහොමද කියන එක නම් සෙල්ලම් වැඩක් නෙමෙයි.
“ ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන් “ - හරි කැමැති.හැබැයි දෙන උත්තර වැරදි. ඒ නිසා අපට උත්තර ගන්න පුලුවන් විදිහෙ ප්‍රශ්න අහන්න වෙනවා. දිනන පිළට බිස්කට් එකක් , කඩි බිත්තර පැකට් එකක් හරි දෙන්න පුලුවන් නම් වටිනවා.
නාට්‍ය , සාකච්ඡා , පැවරුම් මෙකී නොකී තව ගොඩාක් ක්‍රම තියනවා. හැම ක්‍ර මේම හැමේකටම හරියන්නෑ. එක එක දේට හරියන ක්‍රම හොයා ගන්න වෙනවා. ටීචර්ට නම් වැඩ වැඩි වෙනවා. හැබැයි හිමින් හිමින් දියුණූ වෙන නිසා සෑහෙන ඉවසන්නත් වෙනවා.
ලකුණු 70කට යන්න එයාලට බැරි වෙයි. හැබැයි හිටියට වඩා ගොඩාක් හොඳ වෙයි.
මීටත් වඩා හොඳයි එක එක ළමයට එයාල කැමැති විදිහට උගන්වන්න පුලුවන් නම්.ඒත් විනාඩි 40ක පීරීයඩ් එකක ළමයි 40ක් එක්ක හතලිස් විදිහකට උගන්වන්න ? පුළුවන් ද?
“ සිලබස් එක “ එක පැත්තකින් තියන් “ වාර සටහන් “ දිනයටම යන්න. විභාගෙ වෙද්දි ඔක්කම කවර් කරන්න මේ හැමදේමත් එක්ක මේවා කරන්න අමාරු වැඩක් නෙමෙයි. ඇත්තටම ඒක කරන්න බැරි වැඩක්.
ගෙදර ඉන්න අම්මට තාත්තට ලියන්න කියන්න බැරි වෙද්දි. ගෙදර ඉන්න වැඩිමහලු සහෝදර සහෝදරියන්ගේ ළමයි බලා ගන්න වෙද්දි. හත් අට දෙනා එකම කාමරයක නිදියද්දි . මේ ළමයි මෙහෙම හරි ඉස්කෝලෙ එනේක ගැන සතුටු වෙන්න ඕනි.
උගුර ලේ රහ වෙනකම් කියල දීලත් , බොහොම බලාපොරාත්තු සහිතව පොත උස්සන් ඇවිත් පෙන්නල “ ටීචර් මේ හරි ද?“ කියල වැරදි උත්තරයක් පෙන්වද්දි . හිනා වෙලා ඉවසන්න , ලේ කෝප කර නොගන්න. ඒ හිත නොතැලෙන්න ආයමත් කලින් වගේම වචනයෙන් වචනය කියා දෙන්න තරම් ඉවසිල්ලක් දියුණු කරගනිමින් යන

මම
෴සොඳුරු සිත෴

PS- මැටි ගොඩවල් වලින් මැටි පදම් කරල ඒවා අරන් සකයෙ තියල, කරකවල හැඩ කරල , ලස්සන මැටි භාණ්ඩ හදන්න හැමෝටම බැහැ.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...