..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Friday, December 30, 2016

වැඩිහිටි සමිතියේ තරුණ සාමාජිකාව (The Young Member of The Elders' Club.)

වැඩිහිටි සමිතියේ තරුණ සාමාජිකාව (The Young Member of The Elders' Club.)
----------------------------------------------

නිවාඩු දවස් වලට වැඩිපුර නිදියන්න කැමැති , හදිසියකට කඩයටවත් යවා ගන්න බැරි, කුණු කෙළ පිටින් උනත් දවසම ඉන්න ඇහැකි කුණු කෙල්ලෙක් වෙලා හිටපු මට , නිවාඩුවක් ආපු ගමන් ඇවිදින්න යන්න ආස හිතෙව්වෙ මගේ ෆේස් බුක් යාළුවෙක්.
ඉස්සෙල්ලම එයා ගන්න පින්තූර වලට වහ වැටිච්චි මන් ඊළඟට වහ වැටුනේ එයාගේ ඇවිදිල්ලට. පුදුම ඇවිදිල්ලක් ඒක , ලංකාවේ හැමතැනම රිංග රිංග ගන්න පින්තූර දැකල මෙච්චර පුංචි ලංකාවේ කොච්චර ලස්සන තැන් තියනවද කියල මට පුදුම හිතුනා. ඇවිදින්න හිතට කකුල් ආවේ ආන්න ඒ විදිහට.
ඒත් හරහට හිටියේ මගෙ තනිකඩ ගෑණුකම. “ලංකාවෙ බැරි නම් ලෝකෙ පුරාම වුනත් ඇවිදිපන් කසාද බැඳල.“ ...
මම උත්සාහය අතෑරියෙ නැහැ. කසාද බැදල මොන ඇවිදිලි ද? හිතේ එකම අධිෂ්ටානයක් තියනම් ඒ දේ හොඳ වුනත් නරක වුනත් ස්වභාදහම එයට උදව් කරනව කියනෙක මම පිළිගත්තෙ ඊට පස්සේ.
මම රාජකාරි කරපු තැනට ලියාපදිංචි සහතිකයක් ගන්න ආපු වයස මහත්තයෙක් මගෙන් අහනවා “ නැද්ද මේ ඔෆිස් එකේ වයසක අය ට්‍රිප් යන්න කැමති “ බැලින්නම් උන්දෑ අපේ බල ප්‍රදේශයට අයිති “වැඩිහිටි සමිතියක ලේකම් “ චාරිකාවක් සංවිධානය කරල කට්ටිය මදි වෙලා. “ වයසක අයට විතරෙයි ඇහැක්කෙ , ඇයි මට බැරිය ?“
එතනින් පටන් ගත්ත ඇවිදිල්ල , මහ නඩයක් එක්ක වුනත් හිතට සතුටක් ගෙනාවා. වැඩිහිටි සමිතියේ නිත්‍ය තරුණ සාමාජිකාවක් වෙන්න මට උදව් උනේ මගේ කැමරාව. ඒකෙන් ගන්න පින්තුර වලින් ලස්සන ඇල්බම් එකක් හදා දෙන්න පුලුවන් වුන නිසා ඉන් පස්සෙ එයාල යන හැම චාරිකාවකටම මගේ නම ස්ථිර වුනා.
ගුරු පත්වීම ලැබුනයි පස්සෙත් පරණ කාර්යාලයේ අය එයාලගේ සුභ සාධක සුහද චාරිකාවට මාව එකතු කර ගන්න හේතු වුනෙත් ඔය කාරණාවම තමයි.....
පාසල් චාරිකා නම් නිදහස් මනසින් යන්න බැරි චාරිකා වෙන්නේ ළමයින්ගේ වගකීම් හිස මත පැටවෙන නිසා. ඒ උනත් පාසල් චාරිකාවලදි “උපමාලි ටීචර් “ ගෙ නම ළමයින් යෝජනා කරන්නෙත් ටීචර්ට වඩා ටීචර්ගෙ කැමරාව ළමයින්ට සුන්දර පින්තූර අරන් දෙන නිසා.....
එහෙම පටත් ගත්ත කම්මැලිච්චිගෙ ඇවිදිල්ල අද වෙද්දි බොහෝ දුර ගෙනිහින්...
කසාඳ බදිනෙක පහුවෙන තරමට හොඳයි කියල හිතෙන්නෙත් මේ ඇවිදිල්ල බැඳල දාන්න කසාදෙ හේතුවෙයි කියල හිතෙන නිසාමයි...
කොච්චර වුනත් ලංකාවේ ගැහැණියක් බිරිඳක්, අම්ම කෙනෙක් වුනාට පස්සෙ දැගලිල්ල විතරක් නෙමේ ඇවිදිල්ලත් වැඩට යන්නයි කුස්සියට යන්නයි විතරක් ම සීමා වෙනව නේද..........?
විශේෂ ස්තුතිය - තරිඳු අමුණුගම මගේ දයාබර මිතුරාට
ප/ලි- මෙහි වැඩිහිටි සමිතිය යන්න වයස 55ට වැඩි අය එක්ව සාදා ගත් සමිතියක් බැව් කරුණාවෙන් සලකන්න.

Saturday, December 24, 2016

ඇවිදින බාබර් සාප්පුව


ඇවිදින බාබර් සාප්පුව

---------------------------------


මම ඉස්කෝල ගියපු වසර 13 දිම මට තිබුනෙ ඉතාම කෙටි කොණ්ඩයක්. කොණ්ඩය වවල අග්ගිස්ස වෙනකම්ම කරල් දෙකට ගොතල ,  පිටි පස්සට දාලා පද්ද පද්ද යන්න කොච්චර නම් ආස වුනත් ගෙදරින් ඒකට කිසිම අනුබලයක් ලැබුනෙ නැහැ. 

ඒ විතරක් නෙමෙයි , කොණ්ඩ ගස් පොඩ්ඩක් වැවීගෙන එද්දි , නලලට කොණ්ඩ කැලි වැටෙද්දි , කොණ්ඩ ගස් අස්සෙන් ඇහැ දාලා බලද්දි ඇස් වපරවෙනවා කියලා බලෙන්ම එක්කරන් ගිහින් කොණ්ඩය කැප්පුව හැටි තාම මතකයි..... 

ඒ කාලේ මගෙ පන්තියෙ ගොඩක් යෙහෙළියො හිටියෙත් කෙටි කොණ්ඩයේ හිමිකාරියො වෙලා වුනත් කොණ්ඩ කරල් දෙකක් ගොතපු ගැහැණු ළමුන්ගෙ අමුතු සුන්දර ගතියක් තිබුනා කියලා ඒ කාලේ මට හිතුනා.

අම්ම තාත්තගෙන් කාලා ඇඳල හිටපු කාලේ නිසාත් අද කාලේ ළමයින්ට වගේ දෙමාපියන්ට එරෙහිව යාමේ හැකියාවන් දියුණු වෙලා තිබ්බෙ නැති නිසාත් , කරබාගෙන ගිහින් කොල්ල වගේ කොණ්ඩය කපන් ඇවිත් කණ්නාඩියෙන් මූණවත් නොබල හිටපු කාලේ තාමත් මට මතකයි. 

කොහොම වුනත් කොණ්ඩය කපන්න යන ගමනෙ එක්තරා ආකාරයක සතුටකුත් තිබ්බා. මොකද අම්ම දන්නවා අපි කොණ්ඩය කපන්න යන්නේ හිතේ දුකින් කියලා. ඒ නිසා කොණ්ඩය කප්පන් එමින් ගමන් රස කැවිලි අරන් දෙන්නත් අම්ම අමතක කලේ නැහැ.


මේ අතර කාලයක දි හිටියා ඇවිදින බාබර් සාප්පු හිමිකරුවෙක්. එයා අපටත් වඩා හොඳින් අපේ කොණ්ඩය සීමාව ඉක්මවා දික්වෙන කාල සීමාව දැනන් හිටියා. හරියටම පලවෙනි කොණ්ඩ ගහ සීමාව පනිද්දිම ඒ ඇවිදින බාබර් අපේ ගෙදර වැට කඩොල්ලෙන් පනිනවා.

එයා ළඟ තිබ්බ පුංචි බෑග්ගෙකේ  බාබර් සාප්පුවක තියෙන්න ඕනි හැමදේම තිබ්බා. පුටුව නම් හදල දෙන්නෙ අපේ තාත්තා. ඇදි පුටුවක් අරන් උස් තැනකින් තියල තව ඒ මදිවට බාබර් සාප්පුවේ වගේ හරහට ලෑල්ලක් දාලා මගේ අත් උර අස්සෙන් උස්සල අරන් ඒ ලෑල්ල උඩින් මාව වාඩි කරලා මගේ හිස අතගාලා තාත්ත මගේ කොණ්ඩය කපන්න ඇවිදින බාබර් මාමාට අවසර දෙනවා.

ඒ දවස් වල තිබ්බා ලස්සනම වගේම ප්‍රසිද්ධම කට් එක තමා “ඩයනා කට්ටෙක “ . වැඩියම කොට නොකර කොණ්ඩය ටිකක් ලිහිල්ව හිටින ඒ කට්ටෙකට මාත් හරිම මනාපයි. දැන් කාලේ වගේ නැතත් හීනියට කළුවට හිටපු මාත් “ඩයන කටේටෙක “ කපල එංගලන්තෙ ඩයනා වගේ ඇස් ඇගින් කණ්නාඩිය දිහා බලල හිනා වුනා මට මතකයි.

සුන්දර පහු ගිය අතීත කාලය මතක් වෙන්න හේතුව වුනේ , මේ දවස් වල පාරට බැස්සම දකින  පොඩ්ඩන් සහ පොඩ්ඩන්ගෙ දෙමාපියන් නිසා. පොත් ලිස්ටෙක ගන්න කඩවල් වල  පොරකන අය වගේම , මූණු දෙක කරන් වදෙන් පොරෙන් බාබර් සාප්පුවලට යන පොඩ්ඩො , මගේ අතීතය මට මතක් කරල දුන්නා.

මේ නිවාඩුවට පිස්සන් වගේ කොණ්ඩය වවන් හිටපු ළමයිනුත් , කට්ටෙකක් ගහල නිදහසේ රස්තියාදු ගහපු පිරිමි ළමයිනුත් තමන්ගේ හිතේ ආසාවන් කැප කරල සිරිසිරිමල් විදිහෙ විනීත කට්ටෙකෙන් කොණ්ඩය කපලා පිළිවලකට ඉස්කෝලෙ ඒවි කියල බලා ඉන්න,  

මම
ඔබේ ගුරුතුමී
සොඳුරු සිත 


Tuesday, December 13, 2016

ඩයිනෝ සහ කොල්ලා

ඩයිනෝ සහ කොල්ලා 




මේ සැරේ කොල්ලගෙ උපන් දිනේට හම්බුනු ලස්සනම තෑග්ග වුනේ , දිවත් එළියට දාන් ඇසුත් පත්තු කරන් සද්දෙකුත් දාන් ඇවිදන් යන ඩයිනෝසරස්. 



කොල්ලා මේ තෑග්ගට කොච්චර නම් කැමති ද කියනවා නම් නින්දට යන්නෙත් මේ අපූරු ඩයිනෝව තුරුළු කරන්.

කොල්ලා ගෙදර ඉන්න වෙලාවට නිකමටවත් ඩයිනෝව අල්ලන්න අපට චාන්ස් එකක් නැති නිසා කොල්ලා ගෙදර නැති වෙලාවක මේ අපූරු ඩයිනෝව පරික්ෂා කර කර හිටපු අම්මාච්චිගෙ අතින් ඩයිනෝව බිමට වැටිලා උගෙ ලස්සන වලිගෙ ඇගෙන් වෙන් වුනා. 

අම්මාච්චි හොඳටම බය වුනා. 

දැන් කොල්ලා ගෙදර ආහම මක්කැයි කියන්නේ. 

මේස උඩ තිබ්බ බයින්ඩර් ගම් එක ආච්චි දැක්කෙ වෙලාවට. ඉක්මනින්ම ගම් ගාලා ඩයිනොගෙ වලිගෙ හයිකලේ පරක්කු උනොත් වලිගෙ මැරිල යයි කියල හිතාගෙන වගේ...

ඒත් අප්පොච්චියේ කොල්ලා ගෙදර ආහම නේ වැඩේ තේරුනේ .

“ අම්මාච්චි ඇයි මේ ඩයිනොගේ වලිගෙ අනිත් පැත්ත ගැහිලා “ 



දැන් ඉතින් ආය වලිගෙ හරි පිට හරවනෝ බොරු.....හෙහේ...


Wednesday, December 7, 2016

නිරීක්ෂක

ඔබේ නිරීක්ෂක


ලෝකේ කරන්න තියන අමාරුම ඩියුටි වලින් එකක් තමා නිකම් ඔහේ බලාන ඉන්නෙක.පැයක් ද දෙකක් ද එක දිගට පැය තුනක් ඔහේ බලාන ඉන්නෙක.....?
දෙයියනේ කියලා අන්න ඒ වෙලාවට මගෙ තනියට හිතට එන්නේ ඔයා, ඉතින් ඒ වෙලාවට මෙන්න මෙහම කටු ගෑවුනා...
ටිකක් ඇවිත් ළඟට මගේ
අහන් ඉන්න හිත
හොඟක් සුවද දැනේවි නුඹ
නමටම ලියවුන
කෙනෙක් වෙතොත් මේ ලෝකයේ
පණ ද දෙවෙනි වෙන
නුඹ විතරයි , නුඹ පමණයි
දන්නවා ද එය

ඔබේ නිරීක්ෂක
මම
෴ සොඳුරු සිත ෴

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...