..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Wednesday, November 30, 2016

ප්‍රේමය හරිම මනරම්


ප්‍රේමය හරිම මනරම්




මටත් මා නැති කළ

නුඹ මට කවර නම් පල
ඇතොත් මතකයෙ ඉස්සර
කොනිති ගසලා ඉවත් කළ මැන
වෙතත් මට සරදම්
නුඹ සුවඳ මට හැමකල් 
රිදුම් දෙන්නැති හිත්
වලට ප්‍රේමය හරිම මනරම්

“ ඔහු හමුවුනොතින් , මා ඔහු මතක් කළ බැව් ඔහුට කියන්න.  “

- සොඳුරු සිත -

If I die Tell Him I Loved Him 

Tuesday, November 29, 2016

නිහඬ නුඹයි


නිහඬ නුඹයි


පෙර කතාව (මගේ )
----------------------------

බසය ඉදිරියට ම ඇදෙනවා. ඒත් සාපේක්ෂ චලිතයක් නෑ.

මට ඉස්සරම ආසනය එතනමයි.මට පිටුපස ආසනයත් එතනමයි. මා ළඟ තියන ජනේලයෙ ඩොක ඩොක හඬ මිසක ජනේලයත් එතනමයි.

මගේ දකුණු අත පැත්ත.........

ඒ වෙද්දි මේ ලෝකෙ තියන වටිනාකම වැඩිම වස්තුව .....ඔවු ඒ වෙද්දි මේ ලෝකේ මට වටිනාකම වැඩිම වස්තුව තිබ්බෙ මගේ දකුණු අත පැත්තේ. කේක් ගෙඩිය වගේ වාඩි වෙලා. චුට්ටක් වත් සාපේක්ෂ චලිතයක් නැතිව.

ඒ මදිවට අහක බලන්........

මගෙ හුස්ම වැදිල ද කොහෙද යන්තම් මූණ බලල හිනා වුනා....

මෙච්චර කාලයක් දුරින් ඉදල අච්චර ගොඩාරියක් කතා කරල. මෙච්චර මේ ළඟට ඇවිත් අහක බලන් ඉන්නෙ ලෝකෙ වචන ඔක්කම ඉවරෙලා වගේ.....

හිනාවෙන් ගැම්මක් ගත්ත මන් මගේ දකුණු අත එයාගේ වම් අත යටින් දාලා මගේ පිරුණු දිග ඇඟිලි ටික එයාගේ පිරුණු කොට ඇඟිලි වලට උඩින් තියා ගත්තා..... ඒ කරල මාත් අහක බලා ගත්තා....

ඒත් ඇඟිලි ටික ඔක්කම එක සැරේ ගල් රෝලකට අහුවුනා වගේ තද වෙද්දි , කියා ගන්න බැරි තරම් ආසාවකින් එයාගේ වම් උරහිසට මගේ ජීවිතේම බර කරල සැනසිල්ලේ ඇස් පියා ගත්තා.............



ඒ උරහිස - මගෙ මේ හිස

දරන් හිටපු තරමට උස

මා හිත රස - ආදර බස

නිහඬ නුඹයි පෙම්වත යස



- වත්සලා -


පසු කතාව (මගේ නෙමේ )  පින්තූරය ගත්තේ  :- චිත්‍රපටය “තන්ග මගන්“

Sunday, November 27, 2016

අපේ ගෙදර සහ අපේ ගෙදර අය ගොඩාක් ආදරය කරන ගමේ ගෙදර


අපේ ගෙදර සහ අපේ ගෙදර අය ගොඩාක් ආදරය කරන ගමේ ගෙදර 

----------------------------------------------


අපේ ගමේ තියනව ගෙදරක් , ඒ ගෙදර පාලනය කරන්නෙ තාත්තා , ඒ තාත්තා ඒ ගෙදර අයට ගමේ වෙන කිසිම ගෙදරකට යන්න දෙන්නෙ නෑ. 

ගමට එන අලුත් දේවල් කිසිම දෙයක් භාවිතා කරන්න දෙන්නෙ නෑ. ඒ ගෙදර පාවිච්චි කරන වාහනෙත් දැන් හෙන පරණ යි මෝස්තරෙත් ගොඩාක් පරණයි. 

ඒ ගෙදර පොඩි කොල්ලා යන්තමට හරි ඉගෙන ගත්තා. එයා කැමැති ගෙදරින් පිට ගිහින් රස්සාවක් කරල හොදට හම්බ කරන්න.ඒත් ඒ ගෙදර තාත්තා ඒකට ඉඩ දෙන්නෑ. 

තාත්තට දැන් වයස නිසා ගෙදර පාලනය තාත්තගෙ අදහස් ළඟින්ම යන ගෙදර ලොකු අයියට දීලයි තියෙන්නේ.

 එයාල ගොඩාක් දුප්පත් වෙලා හිටියත් ගෙදරින් පිට ගිහින් හොඳට කාලා ඇදල ජීවත් වෙන්න පුලුවන් උනත් තාත්ත ඒකට කැමැති නැති නිසා ලැබුන විදිහකට කාලා ඇදල නටල ගයල එයාල ඉන්නවා.....

කොහොම වුනත් ඒ ගෙර අය , ගමේ කාටත් යම් තරමකට බලපෑම් කරමින් ඉන්න ගමේ තියන ලොකුම ගෙදරට හිස නොනමන නිසා අනිත් ගෙවල් වල අය ඒ ගෙදර දිහා පුදුමෙන් බලන බව අපි දන්නවා.

ඒත් , මම හිතනවා ඒ ගෙදර අයත් ආස ඇති ගමේ අනිත් ගෙවල් වල අය වගේ ලෝකය දකින්න........මොකද මේක විශ්ව ගම්මානයක්....

ඒ ගෙදර තාත්තා මේ ළඟ දී මැරුණා.... ඒත් ඒ ගෙදර සමහර අයට දුකක් දැනුනේ නැහැ. ඒකට හේතුව මම කියන්න ඕනි නැහැ.....

ඒත් එයාගේ ලොකු පුතා කලින් වගේම ඒ ගෙදර පාලනය කරයි ද කියල හරියටම කියන්න මම දන්නෙත් නැහැ.....

අපේ ගෙදර ඒ ගෙදර වගේ වෙනවට මම කැමතිත් නෑ. 

ඒත් , ඒකට අපේ තාත්ත නම් ගෙදර හැමෝගෙන්ම බදු ගහනවා. 

ඒ බදු වලින් අපේ ගෙදර දියුණු කරනව කියලයි තාත්ත නම් කියන්නේ.

ඒත් තාම ගෙදර තීන්ත ටිකක් වත් ගාගන්න තාත්තට බැරි වුනා. 

ගමේ ලොකුම ගෙදර පාලනය කරපු ලොක්කත් වෙනස් වුනා.එයා ටිකක් අපේ ගෙදර කලින් පාලනය කරපු සීයා වගේ කෙනෙක්.  

අනේ මන්දා ඉතින් .......බලමු මොනා වෙයිද කියලා.


“ කොහොමද ටීචර් මෙච්චර හොඳ මිනිස්සු හොයා ගන්නේ ?“


කොහොමද ටීචර් මෙච්චර හොඳ මිනිස්සු හොයා ගන්නේ ?“

---------------------------------------------------------------------------------



“ බස් එක තාම නැහැනේ “

“ වෙන බස් එකක ද දන්නේ නෑ ටීචර් “


“ අෆෝ එහෙම වෙන්නෙ නැහැ.මේ පාරේ කොළඹ බස් දෙකයිනේ දුවන්නේ “

ගිනි අවුවට වෙලා මායි උසස් පෙළ ළමයි හතර දෙනයි සහෝදර ගුරුවරියයි මඟ බලන් හිටියේ කොළඹින් පටවපු තෑගි මල්ල ඉස්කෝලෙට එනකම්. බස් එක වෙනදට වඩා ප්‍රමාදයි කියල හිතුනෙ අපේ හිත් ඒ තරම් ආසාවෙන් මඟ බලා හිටපු නිසා වෙන්නැති.

මේ එන්නේ කවදාවත් දැකල නැති මා ගැන විශ්වාසය තියල ,කවදාවත් දැකල නැති අපේ ඉස්කෝලේ ළමයිට දුර රටක ඉන්න කෙනෙක් එවපු තෑගි................. 




පාසල් අවසාන වාර විභාගෙ නිසා උදේ ආපු ළමයි ඒ වෙලාවේ ඉස්කෝලෙන් ගිහින් , යන්තම් උසස් පෙළ ළමයි දෙතුන් දෙනෙක් ඉදල අඩගහ ගත්තට මේ තෑගි අයිති එයාලට නෙමේ , අපේ ඉස්කෝලෙ ඉගෙන ගන්න පුළුවන් නමුත් ආර්ථික දුශ්කරතා තියන ළමයින්ට. 


බස් එක අන්තිමට ආවා. තෑගි ටික උණුසුම්. ට්‍රැවලින් බෑග් එක දෙන්නෙක්ට බා ගන්නත් බැරි තරම්. පාසල් ඇරෙන වෙලාව පහු වෙලා හැමදෙනාම ගෙවල් වලට ගිහින් ඉද්දි පාසලේ කාර්යාලය ඇරගෙන විදුහල්පතිතුමා හිටියේ මේ ලැබෙන තෑගි ළමයින්ට බෙදල දෙනකම් ආරක්ෂා ඇති තැනක තැම්පත් කරන්න ඕනි නිසා. 
තෑගි ටික කාර්යාලයට ගෙනාවම ඒව දැකපු ප්‍රින්සිපල්ගෙ මූණ දිලිසුනා.මගෙන් ඇහුවෙ එක දෙයයි.

“ කොහොමද ටීචර් මෙච්චර හොඳ මිනිස්සු හොයා ගන්නේ ?“


ප/ලි- සිකුරාදා හවස ලැබුනු තෑගි ඒවයෙ අයිතිකාරයෝ තාම දැක්කෙ නැහැ. ආහ්.....තව කවකටු පෙට්ටි 100ක තෑග්ගකුත් මඟ එනවා.....මේ ඔක්කම ඉදිරි දවසක තෑගි අයිතිකාරයින්ට වසර අවසාන රිපෝට් එකත් එක්කම වසර අවසාන පාසල් රැසිවීමේදි මේ තෑගි බෙදා දෙන්නයි අපි හිතන් ඉන්නේ.මොකද එතකොට කාරණා දෙකක් සිද්ධ වෙන නිසා.

1. ත්‍යාග ලාභීන් පාසල ඉදිරියේ ඇගයීමට ලක්කිරීමට ( ආර්ථික දුෂ්කරතා තිබ්බත් ඉගෙනීමෙන් තැනකට එන්න පුළුවන් කියලා එයාලට වගේම අනිත් අයටත් වටහා දෙන්න පුලුවන්)

2. තෑගි ලැබෙනව දැකලා අනිත් අයත් ඉගෙන ගන්න දශමයක හරි උනන්දුව වැඩි කර ගන්න උත්තේජයක් විදිහට.


අනික් ප්‍රධාන කාරණාව තමා.......මේ ලෝකේ තාමත් ලස්සන මිනිස්සු ඉන්නව කියලා ළමයින්ට , ගුරුවරුන්ට ,ගමට , රටට විතරක් නෙමේ මුළු ලෝකෙටම පෙන්වන්න.......

Thursday, November 24, 2016

ආදරේ බින්දුවක් තියනවා


ආදරේ බින්දුවක් තියෙනවා




තනිවෙච්ච නුඹ ගාව 
තනිවෙච්ච මගෙ හිතත්
ආදරය වගෙ එකක් සොයනවා

හමුවන්න පෙර අපට අප මෙලොව
හමුවෙච්චි අය තවත් ඉන්නවා

හිත අරන් , බිඳුනු හිත්
එක්ක අපි තනිකරපු
අය සිනා සී දිවිය ගෙවනවා

තනිවෙච්චි නුඹ ළඟත්
තනි වෙච්චි මා ළඟත්
ආදරේ බිංඳුවක් තියනවා

ජීවිතේ ඉතිරි දුර
එළි කරන් සැනසෙන්න
ඒ ටිකත් ඇති කියල දැනෙනවා

තනිවෙච්චි නුඹ ගාව
තනිවෙච්චි මගෙ හිතත්
ආදරය වගෙ එකක් සොයනවා 

තනිහිතක් ළඟ තනිවුන 
මම
෴ සොඳුරු ෴


ප/ලි - love comes softly චිත්‍රපටය නැරඹීමෙන් පසුව ඇති වූ සිතුවිල්ලකි.

අපි නොහිතන , අපි දැඩිව ප්‍රතික්ෂේප කරන මිනිස්සු ළඟ අපි වෙනුවෙන් ආදරය පිරිලා. 

බෙන් ගෙ කතාව


බෙන් ගෙ කතාව
------------------------


බෙන් හරිම අප්‍රසන්න දරුවෙක්. කොයි වෙලෙත් ඉන්නෙ මූණ එල්ලන්. ඇඳන් ඉන්නේ කිලිටි බේරෙන ඇඳුම් , ඔහුගෙ පොතක් පතක් වත් අල්ලන්න අප්‍රසන්නයි. ඒ තරමට කිලිටි. 

ඔහු පන්තියෙ ළමයි අතරත් කොන් වුන චරිතයක්. නිහඬ බවේ ගිලිල වැලලිලා ඉන්න ඒ කිලිටි ජීවියා මට ඒ පන්තියෙම එපා වුනු එකම දරුවා. 

බෙන්ගෙ පොත් බලන්න මම වැඩි වෙලා ගන්නෙ නැහැ. මොකද ඒ පොතේ බලන්න කිසිම දෙයක් නෑ. හිතේ තියන තරහටත් එක්ක පුලුවන් තරම් ලොකුවට රතු පෑනෙන් ප්‍රශ්නාර්ථයක් දාලා කට අනිත් පැත්තට ගැහිච්ච මූණක් මම බෙන්ගෙ පොතේ අදින්නේ කාලකණ්නි සතුටකින්.

එක දවසක් ඉස්කෝලෙ පියන් තඩි ෆයිල් කවර මිටියක් අරන් ඇවිත් මගේ මේසෙ උඩ අතාරිනකම්ම බෙන් කියන්නේ මට එපාම වුනු ළමයා වුනා.

එදා මගේ මේසෙ උඩ ගෙනත් අතෑරපු ෆයිල් වල තිබ්බේ මගේ පන්තියෙ ළමයින් ගෙ වාර්තා . ඒ ළමයි පාසලට ඇතුළු කරපු දවසෙ ඉදලා විස්තර ඒ ෆයිල් වල සටහන් කරල තිබ්බෙ ඒ ඒ කාල වල දි ඒ ළමයින්ගෙ පන්ති භාරව හිටපු ගුරුවරු සහ ගුරුවරියෝ. මටත් තිබ්බෙ ඒ ෆයිල් වල මේ ළමයි වෙනුවෙන් සටහනක් තියන්න.

සටහන් තියන ගමන්  එයින් සමහර ෆයිල් කියවල බලන්න මට හිතුනා. . . . කියවන්න සතුට දනවන ඒ විස්තර අතරේ බෙන්ගෙ ෆයිල්  එක කියවන්න කිසිම උනන්දුවක් මට ඇති උනේ නැහැ. මම කරේ කෙලින්ම සටහන තියන එක.

මගේ සටහන උනේ ,
පාසල් නොපැමිණෙන අතර කිසිදු පිළිවලක් ,පිරිසිදුකමක් නොමැති සිසුවෙකි. වෙනත් පන්තියකට මාරු කරන්නේ නම් මැනවි.

ඒත් . . . . .  මොකක් දෝ හේතුවකට සටහන තියලා ෆයිල් එක අනිත් පැත්තට මාරු කරද්දිම මගේ අතින් ෆයිල් එක බිම වැටිලා පිටු පෙරලිලා ගියා. පෙරලිච්චි පිටුව වුනේ බෙන්ගේ පලවෙනි අවුරුද්ද...... ෆයිල් එක ගන්න බිමට නැමෙන ගමන්ම ඒ අකුරු උඩ මගේ ඇස් දිවුවා.

පළමු වසර
බෙන් හරිම ප්‍රියමනාප දරුවෙක්. ඉගෙනීමට දක්ෂ අතර මිතුරු ඇසුරෙහි ද උද්යෝගීමත් සහ ප්‍රීතිමත් දරුවෙකි.

වෙන්න පුළුවන් දෙයක් ද? මේ කිලිටි ළමයා ? මම ඊළඟ පිටුව පෙරළුවෙ හිතේ කුතුහලයෙන්.

දෙවන වසර 
පන්තියේ සිටන දක්ෂතම දරුවාය. නමුත් ඔහුගේ මව බරපතල අසනීපයකින් පෙළෙන හෙයින් පාසල් පැමිණිම දුර්වල වෙමින් පවතී.

තුන්වන වසර
මවගේ මියයැමත් සමඟින් බෙන්ගේ තත්ත්වය සතුටුදායක මට්ටමින් පසු බසිමින් බවතී. පියාගේ නිසි අවධානය ලක් නොවන බැව් පෙනී යයි.

සිවුවන වසර
පාසල් පැමිණිම ඉතාම දුර්වල වන අතර , පාසල් පැමිණි දිනයන්හිද පන්තියේ පාඩම් අතර තුර නිදාගනයි. ඉගෙනීමට දුර්වලයි.යහළුවන් නොමැත.


---------------------------------------------------------------------

නත්තල් කාලේට නිවාඩු දෙන දවස ළං වුනා , සුපුරුදු පරිදි පන්තියේ දරුවන් මට තෑගි ගෙනත් තිබ්බා. ලස්සනට ඔතපු තෑගි අස්සේ කඩෙන් බඩු ඔතල දෙන රළු ග්‍රොසරි කවරයකින් ඔතපු නොගැලපෙන තෑග්ගක් එතන තිබ්බා.

හිතට ආපු කුතුහලයත් එක්ක , ඒ තෑග්ග මම පන්තියෙදිම විවෘත කරා. ඒ ඇතුලෙ තිබ්බෙ ගල් අල්ලපු පරණ මෝස්තරයෙ වලල්ලක් , සමහර ගල් හැලිලා , තිබුන ගල් වලට වඩා හැලිච්චි ගල් සංඛ්‍යාව වැඩියි. ඒක දැකපු පන්ති ළමයි හිනා වුනා , මම බෙන්ගෙ මූන දිහා බැලුවා. පරණ වලල්ල විතරක් නෙමේ ඉවර වෙන්න ඔන්න මෙන්න තිබ්බ පුංචි සුවඳ විලවුන් බෝතලයකුත් ඒකෙ තිබ්බා. විලවුන් බෝතලය අතට ගත්ත මන් ඒකෙන් ටිකක් කාටත් පේන්න ඇදුමට ඉහ ගත්තා.

එදා අපි කාටත් සතුටු දවසක් , ඒ වසරේ පාසලේ අන්තිම දිනය. ළමුන් කවුරුත් සතුටින් පාසලෙන් යද්දි අන්තිමට පන්තියෙ ඉතිරි වුනු බෙන් මගේ ළඟට ඇවිත් මෙහෙම කීවා.


“ අද ටීචර් ළඟ මගෙ අම්මගෙ සුවඳයි “


---------------------------------------------------------

ප/ලි - කතාව ඉවර නැහැ. තව තියනවා. ඔයාල ඒක අන්තර්ජාලයෙන් හොයන් කියවයි කියල මම හිතනවා. මොකද මම කතාවෙ කැමතිම හරියෙන් කතාව නතර කරන්න මම කැමති.......

------------------------------------------------------------


මගේ පන්තියෙ බෙන්ල ඉන්නවා , එයාලගෙ හිත් මම නිසා රිදෙනව නම් , මම තරම් කාලකණ්නි ගුරුවරියක් තවත් නැහැ නේද ?

මම

නුඹේ හිත නොරිදවන ගුරුතුමිය

සොඳුරු



Tuesday, November 22, 2016

මගේ මතක නුඹ හට අමතක වේවා


මගේ මතක නුඹ හට අමතක වේවා 




එපා නම් මා , හැර යන්න
නැතේ තරහක බිඳක් වත්
හැබැයි මට කියලා යන්න
බලා නොයිනට මඟ දිගේ නෙත අලවා 
හිත පහන් වැට දල්වා
බලා නොසිටිමි එවිට මං
ගිය පසුව හිත දල්වා

෴ ඔබට සුබ ගමන් ෴ 


සිතන පතන සෑම දෙයම ඉටු වේවා
යනෙන මඟක දුක් කරදර නොම වේවා
හිතට දුකක හෙවනැල්ලක් වත් නේවා
මගේ මතක නුඹහට අමතක වේවා

෴ සුබ පැතුම් ෴

Monday, November 21, 2016

මතක එක්ක තනියෙන්

මතක එක්ක තනියෙන් 


ජීවිතයේ එක් එක් වයස් සීමාවන් වල දී අපේ සිතුවිලි වෙනස් වෙනවා. ජීවිතය ගැන බලන විදිහ , ජීවිතය දකින විදිහ වෙනස් වෙනවා. බොහෝ දුරට වයසත් එක්ක අපි අපේම  අදහස් හෝ සිතුවිලි වෙනස් කර ගන්නේ “ හිත හදා ගන්න “ 

ඒත් , කොච්චර අපේ සිතුවිලි වෙනස් උනත් , පරණ මතකයන් උඩට ඇවිත් පරණ සිතුවිලි එක්ක තනිවෙලා කාලයන්තරේක නැගල වගේ අතීතයට යන්නත් අපි පසුබට වෙන්නෑ. ගොඩාක් වෙලාවට ඒ පරණ සිතුවිලි අලුත් කරන්නේ වෙනස් වුනු “සජීවී “ දෙයකට වඩා නොවෙනකස් වුනු “ අජීවී “ වස්තු . 

හරියට මට ගාලු කොටුව වගේ  ,

වෙලාවත් වැරදියි
හරියට එදා වාගෙයි

මුහුදු සුළඟත් උසුලයි
හරියට එදා වාගෙයි

මගෙ සුසුම හසු වී
සුළඟ මාගෙන් විමසයි
සුසුම් බර නැහැ දැන් ?
හරියට එදා වාගේ 

නුඹෙ සුවඳ නැගුවත්
එයත් අමතක ගාණයි
සුවඳ කොයිබද රැඳුනේ
හරියට එදා ළඟ වුන්
නුඹෙ රුවත් මතකයෙ
බොඳ වෙච්චි ගාණයි
දැක නුවන් සැනහූ
එදා මා නෙත  පිනවූ

ඒත් ගල් කුළ නොසෙලී 
හරියට එදා වාගෙයි

පිටුපාල යද්දි
ගල් කුළ මගෙන් විමසයි

එදා මෙහි ආ ගිය
නුඹ සමඟ යා වුන
පෙම්බරා කොයි බ ද
ගල් හිතක් ඔහු ළඟත් තිබුණි ද?


ගාලු කොටුවෙ මතක එක්ක තනිවුනු
මම
- වත්සලා -


Blogroll

Related Posts Plugin for WordPress, Blogger...