..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Saturday, October 29, 2016

ඉරට්ට කඩපු ළමයා

ඉරට්ට කඩපු ළමයා


පුංචි පන්ති වල හැමවෙලේම තියෙන්නේ කණට නිවනක් නැති සද්දයක්. ඒ පන්ති වල වහලෙ උළු ඔය තරමින් හරි තියෙන එකත් පුදුමයක්.

ඒ වගේම රණ්ඩු සරුවල් වලත් නිමක් නෑ. 

“ ටීචර් මෙයා මගේ පැන්සල ගත්තා “ 

“ටීචර් ශෙහාන් මගෙ කෑම එක හොරෙන් කෑවා“ වගේ නිතර දෙවේලෙ ඇහෙන රණ්ඩු වලට අමතරව හොරකම් කිරිල්ලත් ඉදහිට හරි සිද්ධ වෙනවා.ආන්නෙහම හොරකමක් වුනු වෙලාවක සිද්ධ වෙච්චි දෙයක් තමා මේ.

සංදීප ගෙ තාත්ත රට ඉදල ආපු නිසා සංදීප ළඟ වෛවාරණ බඩු ගොඩාක් පිරිල තිබ්බා. ටීචර් කොච්චර කීවත් මේ බඩු ගෙදර තියල එන්න කියලා, සංදීප නෙමේ ඒවා කණකට ගත්තේ. 

සංදීපගෙ වැඩේම මේ අපූරු බඩු භාණ්ඩ යාළුවන්ට පෙන්වන එක. 

සුවඳ හමන මකන , නවන්න පුළුවන් පැන්සල්, පාට හතරේ පෑන් , ඉඹේ වැහෙන පැන්සල් පෙට්ටි , සුංරගනාවියක් ඉන්න පැන්සල් උල්කරනය මේ අතර පන්තියෙ ළමයින්ගෙ සිත් පැහැර ගෙන තිබ්බා. 

මේ මාසය පුරාම පන්ති කතා බහට ලක් වුනේ සංදීප කීවොත් ඒක කිසි වරදක් නෑ. ඒ වෙද්දි පන්තියෙ වීරයා බවට පත්වෙලා තිබ්බෙ සංදීප. සංදීප වටේ ළමයි එකතු වෙන එක සාමාන්‍ය සිද්ධියක් වෙලා තිබ්බා. 

ඒත් මේ හැමදේ ගැනම නොසතුටින් බලා හිටපු එක පුංචි දරුවෙකුත් හිටියා. 

දවසක් උනේ හරිම සිද්ධියක් තමයි. කට්ටිය සෙල්ලම් කරන්න පිට්ටනියට ගිහින් පන්තියට එද්දි , සංදීප ගෙ සුවඳ ගහන නැමෙන පැන්සල කෑලි කෑලි වලට කඩල පන්තියෙ දොරකඩ විසිරවල තිබ්බා.

දැන් ඉතින් පන්තියෙ එකමයුද්ධයයි. ටීචර්ට නඩුව ඉදිරිපත් වුනේ විනාශයට පත් වෙච්චි නඩු භාණ්ඩයත් එක්කමයි. සංදීපට වෙච්චි වැඩේ ගැන දුක් වුන ළමයි සහ සංදීපට වුන වැඩේ හොදම වැඩේ කියන ළමයිත් වශයෙන් පන්තිය දෙකට බෙදිල ගියා. 

පැමිණිල්ල විභාග නොකර වෙනද වගේ මඟෑරල යන්න ටීචර්ටත් බැහැ. මොකද කියනව නම් සංදීපගෙ තාත්තා රට ඉදල එද්දි ගෙනාපු ඇපල් දොඩම් සහ රට චොකලට් ටොෆි බෑග් එක තාමත් ටීචර්ගෙ ගෙදර සාලේ මේස උඩ තිබ්බා. 

ඉතින් ටීචර් නඩුව විසඳන්න පටන් ගත්තා..............

කොච්චර ප්‍රශ්න කලත් ලංකාවේ උසාවියක ඇහෙන නඩුවක් වගේ මේ නඩුවත් ඇදි ඇදි යනව මිසක හොරා අල්ල ගන්න පුළුවන් විදිහක් තිබුන්නෑ.

හොරා කවුද කියලා ගොඩාක්  ළමයි වගේම ටීචරුත් අනුමාන කරත් , අනුමානෙට දඩුවම් දෙන්න තරම් ටීචර් මෝඩ වුනේ නෑ.

අන්තිමට ටීචර්ට ඝන දෙවි නුවන පහළ වුනේ ඝන දෙවියො ටීචර්ගේ යාළුවෙක් හින්දනම් නෙමේ.

ටීචර් ළමයෙක් පිටත් කරලා අමු පොල් කොළ ටිකක් ගෙන්න ගත්තා. ළමයෙක් ලව්වම අමු පොල් කොළයෙන් ඉරට්ට බේර ගත්තා. ඊට පස්සෙ ඉරටු ටික එකට තියලා එක සමාන ඉරටු මිටියක් වෙන්න ඉරටු ටික හදා ගත්තා.

පන්තියෙ ළමයි ටික තමන් ඉස්සරහ පෙළට තියලා ,අර ඉරටු මිටියෙන් ඉරට්ට ඉරට්ට ගානේ ළමයින්ට බෙදල දුන්නා.

ඊට පස්සෙ උපදෙස් දෙන්න පටන් ගත්තා.

“ ඔය ළමයි උදේ හවා බුදුන් වදිනව. හොරකම් කරන්නෑ කියල පොරොන්දු වෙනවා.ඒ විතරක් නෙමේ බොරු කියන්නෙත් නෑ කියල පොරොන්දු වෙනවා.ඒත් ඔයාල මේ පැන්සල කැඩුවෙ කවුද කියල තාම කීවේ නැති නිසා මට මේකට හොරු අල්ලන බොහොම පරණ කුමයක් පාවිච්චි කරන්න වෙනවා.“

දරුවො ටික කටත් ඇරන් ටීචර්ගෙ මේ අපූරු ක්‍රමය දැන ගන්න උනන්දුවෙන් අහන් ඉන්නවා.

“ මේ ක්‍රමයෙ දි ඔයාල හැමෝම මම දුන්න ඉරට්ට අත් දෙකෙන් පිටිපස්සට කරන් ඇස් වහන් ඉන්න ඕනි. ඒ ඉන්න ගමන් මේ පැන්සල කඩපු කෙනා අහුවෙන්න කියලා පතන්නත් ඕනි . හරිද ?“

ළමයි දන්නෙත් නැතිව දෙපැත්තට ඔළුව වැනෙනවා.

“ මම ඇස් අරින්න කීව ගමන් ඔයාල ඇස් ඇරල අතේ පිටි පස්සෙ තිබ්බ ඉරට් මට පෙන්වන්න ඕනි හරිද ?“

“ ඉරට්ට අතුරුදහන් වෙනව ද ටීචර් ?“

ඉවසන් ඉන්න බැරිම තැන එක ළමයෙක් ඇහුවෙ පුදුමයෙන්.

“ නෑ නෑ....මේ පැන්සල කඩපු ළමය අතේ තියන ඉරට්ටෙ දික් වෙලා තියනවා.ඔය තියන තරමට වඩා දිග ඉරට්ටක් වෙනවා . හරි දැන් කවුරුත් ඇස් වහගෙන ඉරට්ට පිටිපස්සට කරල අත් දෙකෙන් අල්ල ගන්න “

ළමයි ඇස් පිල්ලන් තද කරන් වහ ගන්නවා.එයාලට ඇස් අරින්න ඕනි උනත් ඇස් පියන් තද කරන් ඉන්නේ වැරදිලා හරි ඇස් ඇරුනොත් ඉරට්ට දික්වෙයි කියල බයට.

ටික වෙලාවක් ගත වෙනවා. ටීචර් කියනවා ළමයින්ට ඇස් අරින්න කියලා. ඊට පස්සෙ කියනවා අතේ තියන ඉරට්ට ඉස්සරහට කරල පෙන්වන්න කියලා.

කාගෙක් ඉරටු කෑලි කලින් ගානටම තියෙද්දි , එක ළමයෙක්ගෙ අතේ තිබ්බ ඉරටු කෑල්ල විතරක් තිබ්බට වඩා ................................ කොට වෙලා.

Friday, October 28, 2016

බයිට් හොරා


බයිට් හොරා
-------------------



ඔහු සවසට එක්රොක් වන මධුරසලෝලී මිතුරු හවුලේ හොඳ මිතුරෙකි, රසබර සාමාජිකයෙකි.මෑතක දී සිට නිතර දෙවේලේ මධූපාන සැසියට ඔහු එකතු නොවන අතර ඉදහිට හෝ සංගමයට එක් වූ විට දී ඔහුගේ මුහුණ ද පෙණ දමන මධු බඳුනක් මෙන් පිපෙයි. ...............

නමුත් ඉතාම මෑතක දී සිට ඔහුගේ හැසිරීමේ පැහැදිලි වෙනසක් ඇති බැව් ඔහුගේ සමීපතම සඟයන් පවසයි. මධුවිත පුරනා මේසයේ දී ද ඔහු හැසිරෙන ආකාරයේ වෙනසක් ඇතත් ඒ වෙනස හරියටම කුමක්දැයි පහදා දීමට හෝ පහදා ගැනීමට ඒ කිසිදු සඟයෙකුට නොහැකි  වේ.

මේසයට ගෙනෙනා බයිට් තසිම දකිනා ඔහු තනිව සිනාසෙනු ඔහු දෙස ඕනෑකමින් බලන්නෙකුට නම් පැහැදිලිව දැකිය හැකි වුවත් ඔහුගේ සඟයින්ගේ දෙනුවත් යොමු වන්නේ මධු බදුනට බැවින් බයිට් තසිමට වැටෙන ඔහුගේ මන්දස්මිතය ඔවුනට මඟ හැරෙයි.

වෙනදාට විඟහින් අහවර වන මධු බඳුන වෙනුවට , විඟහින් අවසන් වන්නේ ඔහු ආසන්නයේ ඇති බයිට් තසිමයි.එය කෙතරම් වේගයෙන් අවසන්වේද යත් ඇතැමෙකුට එකදු කුකුල් කෑල්ලක් වත් කටට ඔබා ගැනීමට අවස්ථාව නොලැබේ.

නමුත් , එක් දිනක් මේ ගැන ඇස ගසා ගෙන සිටි එක් මිතුරෙකු විසින් සොයා ගන්නා ලද කරුණ වූයේ , තම අමුතු මිතුරා විසින් බයිට් සොරා ගන්නා බවයි. සොරා ගන්නා බයිට් ඔහු විසින් කෑමට ද නොගන්නා අතර ඒවා රහසින් සඟවා ගෙන ඔහු විසින් රැගෙන යයි.

කිසිදු විටකදි මෙවැනි යමක් තම මිතුරාගෙන් බලාපොරොත්තු නොවුවාටත් වඩා ඔහු විසින් සිදු කරන්නා වූ මෙම ක්‍රියාවේ අර්ථය වටහා ගැනීමේ නොසන්සිදුනු කුතුහලය විසින් එක් මිතුරකු සොයා ගන්නා දේ මෙසේ ය,

“ බීලා ආවට කමක් නෑ . මට හැබැයි ඔයාගේ බයිට් පංගුවෙන් ටිකක් අරන් එන්න ඕනි හොදද. “


“ ඉතින් මචං , යන ගමන් බයිට් තසිමක් අරන් ගියානම් ඉවරනේ “


“ නෑ ....එයා ඉල්ලන්නෙ ටේබල් එකෙන් හොරකම් කරපුවා “


Sunday, October 16, 2016

නුඹේ සෙනෙහස

නුඹේ සෙනෙහස



නුඹ ට මිසක අන් කවරෙක්
වෙත සෙනෙහසපා න
සැම විටදි නුඹේ රුවම
මැවේවි මසිත ගාව
ජීවිතයේ අත් වැල වෙන්නට
බැරි නුඹ පෑව
සෙනෙහස ඇයි මේ තරමට
මිහිරි මසිත තාම


තාමත් ආදරෙයි
මම
- වත්සලා -

Tuesday, October 11, 2016

දරුවන්ට දඬුවම් දෙමු


දරුවෙකුට තඩි බෑ චීවරදාරියෙකු ගැන පුවතක් .. අසා ලියන්නට සිත්විය..........

----------------------------------------------------------------



දරුවෙකුට ජීවිතේදිම මම ගහල තියෙන්නෙ එකමෙක පාරයි. ඒ පාරත් රිදුනෙ දරුවට නෙමේ මට. ජුරාසික් පාක් එකක් වගේ පන්තිකාමරයේ දී නොගහ හිටියොත් ළමයි කරෙත් නඟිනවා තමා. ඉතින් මොක ද ළමයි කියන්නේ කරේ තියන් යන්න ඕනි අය තමා. මම ත් ළමයින්ට දඩුවම් දෙනවා. ඒව හරි විනෝදජනක සුන්දර දඩුවම්.
උදාහරණ - 
“කෑ ගැහුවොත් තව එක ප්‍රශ්නයක් වැඩි කරනවා ගෙදර වැඩ වලට හරිද? “
“ කතා කරන්නෙපා මාත් එක්ක.“ (බ්‍රහ්ම දණ්ඩනය වගේ එකක්. පිරිමි ළමෝට තමා මේ දඩුවම ඉවසන්නම බැරි. ටීචර් එක්ක කතා නොකර ඉන්න බෑ එයාලට.කට නලියනවා.ඒත් මම නෙමේ කතා කරන්නේ. )
“ ඊළඟ පීරියඩ් එකෙත් මම උගන්වනවා හරි ද? “ (සමහර වෙලාවට ඊළඟට තියන විෂය බලල සමහර ළමයි “ හා ටීචර් “ කියනවා හරි සංතෝශයෙන් .එතකොට ඒ දඩුවමෙන් පලක් නෑ.
තව පුංචි පුංචි දඩුවම් ගොඩාක් තියනවා මගේ ළඟ. ඔය වේවැල පැත්තක දාලා එන්න මම ඒවා කියා දෙන්නම්. වේවැලට වඩා අත්දුටුවයි සත්තයි..ආදරණියයි.
ප/ලි- මම උගන්වන ඉස්කෝලෙත් හිටියා වීචරදාරි විනය පාලක ගුරුවරයෙක්. වේවැල පස්සෙ ගහන් ඉස්කෝලෙ වටේ යනවා.දැන් එයා ගිහි වෙලා. 

Friday, October 7, 2016

අතුරුදහන් වූ සොයුරා - My Missing Brother


අතුරුදහන් වූ සොයුරා - My Missing Brother
---------------------------------------------------------

දැක්කම මෙච්චර වයසයි කියල කියන්න බැරි තරමට අයියා තරුණ පාටයි.ගාණට උසයි , ඒ තරමට මහතයි. ඇඳුම හරිම පිළිවලයි. 

ඒ වගේම විඳින්න හිතෙන තරමට පිරිමි සුවඳයි. ගැහැණියක් වගේ ඇස් වලින් කතා කරන්නත් පුළුවන්. තමන් ඉස්සරහ ඉන්න කෙනාව හිටි ගමන් හිනස්සවන්නත් පුළුවන්. 

බිත්තියක හැප්පුනත් සොරි කියන , පුංචිම උදව්වටත් කට පුරා තැන්කිව් කියන ගති නම් ඇමරිකාවෙන් ආනනයන කරපුවා උනත් ඒ මහත්මා රූපෙට ඒ ගති හොඳටම ගැලපෙනවා. 

හැබැයි තාමත් හරිම මනමාලයි.එක සැරයක් හිනා වුනොත් ආය බලල හිනා වෙන්න හිතුනත් අයියා නෙමේ ආය සැරයක් හැරිලවත් බලන්නේ. ආන්න ඒ අහංකාරකම පිරිමිකමට නියමෙටම ගැලපිලා තිබ්බා.

තරුණකාලේ හරි පැණියා වුනත් අං නැති ගැහැණුන්ට අයියගෙ හිතේ තිබ්බෙ ගෞරවයක්. අයියා ළඟ තිබ්බ පැණි වචන සෙට් එක නිසා ගැහැණූන් ඔහු පස්සෙන් වැටිලා හිටියත් ඔහුගෙ හිත නතර වුනේ පෙනුමෙන් නොදිලිසුනත් ඔහු දැක්කම දිලිසුනු හිතක් ගාව. හිත් දෙකම දිලිසි දිලිසි තිබ්බට එක අහසක එක වෙලාවක එල්ලිලා දිලිසෙන පින ඒ දෙන්නට නැති උනා.අයියා කසාද බැන්දා. අර නෝනා අදටත් තනි වුනා. 

ඒ අස්සෙ  අයියා නිරපරාදේ තමන්ගෙ හිත අයාලෙ යැවුවෙ නැති උනත් කිසිම කෙනෙක්ට ආදරය නොකලත් සුන්දර ගැහැණු ළඟ නිකමට වගේ නැවතිලා නොතිබ්බ කියල නම් කියන්න බෑ. 

කිසිම කෙනෙක්ට ගොඩාක් ආදරය නොකරපු අයියා තමන්ගේ වගකීම් නම් තක්තෙටම ඉටු කරන කෙනෙක්. බොහොම භයානක රෝගයකින් පීඩා විඳින ගමන් , ඉක්මන් ප්‍රතිකාර ලබා ගැනීමත් කල්දාමින් තමන්ගෙ යුතුකම් ඉටු කරන්නේ ආන්නේ නිසා. 

අයියට සමාජය ගැන හෙන කැක්කුමක් ඇත්තටම තියනවා. තනියෙන් හදා ගත්ත , තද ඉංග්‍රීසි වචන දැම්ම ලියුම් ටිකක් අරන් පාරේ බස් එකේම ආණ්ඩුවෙ ලොකු මහත්තරු හම්බෙන්න යන්නේ ආන්නෙකයි.

කොයි තරම් හොඳ උනත් හිටි ගමන් අසූහාදාහට කේන්ති ගන්නත් මගෙ අයිය හරිම දක්ෂයි. සමාජෙ ගැන ඇත්තම කැක්කුමක් තියන අයට ලංකාවේ කියන්නේ “පිස්සා “ කියල උනත් මගේ ඒ පිස්සු අයියා සමාජ යහපත වෙනුවෙන් කරන් යන කිසිම වැඩක් නතර කරන පාටක් නැහැ.

මේ ළඟදි මගෙ පිස්සු අයියට ආණ්ඩුවෙ ඉහළ ම තැනක පුටුවකින් සවන් යොමු කරේ අයිය තමන්ගේ තනි සටන අතාරින්නෙම නැති නිසා වෙන්නැති. 


අයියා කාට නැතත් මට නම් හෙනම ආදරෙයි. හෙවනැල්ලක් වගේ පස්සෙන් ඉන්නත් , ජිවිතේ පහුගිය තැන් එකක් නෑර කියවන්නත් එයා තෝරා ගන්නෙ මාව.එයාට මක්ක මතක නැති උනත් එයාගේ ජිවිත ගමනෙදි හමුවුනු සුන්දර ගැහැණු ළමයිගේ ඇහිපිල්ලමක පැල්ලමක් පවා අයියට මතකයි. 

ඒත්..... ..........................අයියගේ අසනීප තත්වෙ දැන් හොඳටම වැඩි වෙලා.කොච්චර කීවත් අහන්නැති මුරණ්ඩු ගතිය මෙල්ල කර ගන්න සිද්ධ වෙලා. එයා බෙහෙත් ගන්න ,ඔපරේශන් කරන්න ළඟදිම නැව් නගීවි. 

ආයෙමත් ලොකු හෙවනක් නැතිව ගිනි අව්වෙ තනියෙන් පිච්චෙන්න මේ නංගිට සිද්ධ වේවි. මම නම් කියන්නේ, ගියාට කමක් නෑ සනීප වෙලා ඉක්මනට එන්න.එන ගමන් මතක ඇතිව ඇමරිකාවේ ඇපල් වත්තකට පැනල මට ඇපල් ගෝනියකුත් අරන් එන්න.

එතකොට අපි දෙන්නට පුලුවන් ඒ ඇපල් කකා මට හරියන කොල්ලෙක් තෝරන්න. ඔයාගේ පරණ කෙල්ලො ගැන මතක් කරන්න.

ඉතින් සනීප වෙලා ඉක්මනින් එන්න.............





Monday, October 3, 2016

නන්දිකඩාල් පාර දිගේ යමං පුතා ගෙදර එයි.

නන්දිකඩාල් පාර දිගේ යමං පුතා ගෙදර එයි.




සැප්තැම්බරය හෙන අමාරුම මාසයකි.
වියදම වැඩිය.
අවශ්‍යතා වැඩිය.
නමුත් වැටුප එකමය.
අලි මදිවට කොටි කියමින් රට වටේ යන්නට සෙට් වෙන්නේද මේ මාසයේ වීම සිත කකියවනවා කරුණකි.
චාරිකාව යාමට පෙර දින සවස නොදන්නා අංකයකින් ඇමතුමකි...... “ නන්දිකඩාල් ඇවිත් මිස්ගෙ පොත ගෙනියන්න “
එදින බෘහස්පතින්දාවකි. පියඹා ගොස් පොත ගෙන ඒමට නොහැක. ලෝබය වැක්කෙරෙයි. සඳුදා වන තෙක් පොත නතර කර ගැනීමට හැකි විය.
සිකුරාදා උදයේ මාතරට පැමිණ මා බලාපොරොත්තතුව රැදී සිටිනා තවත් පොතකි. පොත් දෙකම ගෙදර ගෙන ආවේ අදය.
මේ සටහන ඒ දෙවෙනි පොත ගැනය.
ඒ එහි අකුරු ලොකු නිසාම නොව නන්දිකඩාල් වල අතැම් කොටස් වල අහුමුළු ද දෙවෙනි පොතේ තැනින් තැන තිබී මට හමුවීමද එක් හේතුවක් පමණි.ගෙදරට ගෙන ආ විගස , ඒකළ යුධ පුවත් බැලීම බොහෝ අවධානයෙන් සිදු කළ අම්මා විසින් පළමු පොත ඩැහැගැනීම ද තවත් හේතුවකි. පොත විශාල වූ තරමට කියවීමට රුචි නොවීම ද නොසලකා හැකි නොහැකි තවත් එක් කරුණකි.

ඔහු ගේ ලිවිල්ල ගැන ලියන්නට හෝ තක්සේරුවක් දෙන්නට මා තරම් නොවන්නියක බැව් මම දනිමි. නමුත් ඔහුගේ පාඨකයෙකු ලෙසින් ඉතා මැදිහත් සිතින් මෙසේ සටහන් කරමි.

සරල බව පොත පුරාවටම තැවරී ඇත. කවරයෙන් පටන් ගන්නා එම සරල බව , පිදුමේ පටන් මුළු පොත පුරාවටම විහිදේ.

වාක්‍ය ඉතා ම කෙටිය.සිත් ගන්නා සුළුය.කියවීම වඩවන ලෙසින් පෙළ ගැසී ඇත.තම ව්‍යක්ත බහුශ්‍රැත බව පෙන්වීමට භාවිතා කරන එකදු වචනයක් වත් දුටුවේම නැති තරම්ය.

කියවා ගෙන යන විට දී “ මම ආස මේ කතාවට “ යැයි මට සිතුන ද, ඊළඟ කතාව කියවද්දි මගේ සිතුවිල්ල වෙනස්ව ගොස් ඒ කියවන කතාව හොද යැයි සිතේ. ඉතින් දිගටම කියවන්නට සිතේ.දිගටම කියවමි..... කියවා ලියමි....

කෙතරම් සරල වුවත් ඒ සරල බව පුරා විහිදී ඇති ගැඹුරු තැන් වල මා එරී ගිය අවස්ථා වලදී පොතින් ඉවතට ගන්නා දෑස අනන්තයට යොමු කරමි.

ඔහු වාඩි වී සිටිනා තැන සිටන් ම මම ද ඒ කතාව අසමි. ඒ පරිසරය විදිමි. එතකදු පමණක් නොව ඔහු හා දොඩන මිනිසාගේ හැඩරුව ඔහුගේ ඇසින් මම දකිමි.

ඉතිහාසයක් ඇති වර්තමානයක් ද යන්තමින් ඇති අප නාදුනන මිනිසුන්ගේ අනාගත කතාව ගලපා ගත නොහැකිව අප අතරමං කෙරුම ඔහුගේ අරමුණ නම් , එය ඉතාම සාර්ථක ව ඇති බවද අවසානයක් ලෙස සටහන් කරමි.

ප/ලි:- මිල ද දැරිය හැකි මට්ටමක පැවතීම අතිරේක වාසියකි. නියෝජිතයෙකු හරහා තැපෑලෙන් ගෙන්වා ගත්ත ද ගෙවීමට සිදුවූයේ පොතේ මිල පමණි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...