..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Friday, August 26, 2016

දුවන පඩිපෙල

දුවන පඩි පෙළ


ටයිල් අතුරන ලද පොළව යට සිට පඩි පේලි එකින් එක මතුව උඩට විත් ඉහළට පාවී යයි. ඔහු ඉන් එකක් කෙසේ තෝරා ගත්තේ දැයි නොවැටහුනත් , ඉන් එකකට පය තබන්නට කලින් මාගේ දකුණතින් අල්ලා ගත යුතුව තිබුණා නොවෙ ද?
දුවෙන පඩි පෙළකින් උඩට ගොස් යළිත් එවැනිම වූ දුවන පඩි පෙළකින් පහළට යාමට සැරසෙත්ම පළමුවර මෙන් සමතුලිතතාවය නොමැති වීමට ඉඩ දිය නොහැකි නිසා පළමු පඩියට පය තැබීමට ප්‍රථම දැඩිව ඔහුගේ වමතින් අල්ලා ගත්තෙමි. නිවරදිව පඩියට අඩිය තැබීමට එවර හැකි වූ මුත් මා සිටි පඩිය පහළට ගමන් කිරිමට පටන් ගත් සැණින්ම ඒ අතෙහි ග්‍රහණය මුදා හලෙමි.

එවර අප ඇතුලු වූ ශාලාව නොයෙකුත් ආකාරයේ ගැහැණුන් ගෙන් සහ පිරිමින්ගෙන් ද කුඩා දරුවන් සහ යොවුවනයන්ගෙන්ද විශේෂයෙන්ම ආදරවන්තයන් යැයි සිතිය හැකි අයගෙන්ද පිරී පැවතුණ අතර , එහා මෙහා යන සෙනඟටත් වඩා වැඩි පිරිසක් වූයේ කුඩා මේස වටා වූ පුටු වල වාඩී ආහාර ගනිමිනි.

“ මොනව ද කන්නේ ? සිංහල කෑම කනව ද , පිටරට කෑම කනවද ?“

වෛවාරන මිනිසුන්ගේ අපූර්වත්ය නැරඹිමට ඉඩක් නොතියාම  කෑම වලින් පිරි භොජුන් හලක් වෙත  ට නෙත් යොමන්නට සිදු විය. 

මිනිසුන්ගේ වෛවාරන වලටත් වඩා කඩයේ වූ කෑම සියළු අතින්ම  විචිත්‍රවත් බවක් ඉසිලීය. කෙසෙල් කොළයේ එතූ පුංචි කෑම පාර්සලයේ පටන් , නොයෙකුත් අන්දමේ සිංහල කෑම වර්ග වලින් පුංචි ලස්සන කඩය පිරී තිබුණි.

කෑම පිළිගන්වන්නට ද , කෑම පිළිබඳව සියළු රස රහස් එළි කරන්නට ද සිටියේ මැනවින් හැද පැළඳ ගත් තරුණ මහත්තරුන් කීප පොලකි. ඔවුන් කෙතරම් පිළිවලට සිටියා ද යත් ඔවුන් දැක්වූ ආචාරශීලීභාවය සහ ඉවසිලිවන්තභාවය මා තුල කෑම දැකීමෙන් හට ගත් නොයිවසිලිමත්භාවය මැඩලීමෙහි සමත්විය. 

“ මොන ද කියන්න කන්නේ “ 

කීපසැරයක් ම ඇසූ ඒ පැණයට පිළිතුරක් සොයා ගත් නොහැකිව අසරණ වූ මට අවසානයේ දී සොයා ගත හැකි වූයේ ඉතාම ජනප්‍රිය මෙන්ම කටට දිවට හුරු වූ එකම කෑම වර්ගය වූ “ ෆ්‍රයිඩ් රයිස් “ පමණි.

“ බුරියානි කමු ද ? “ 

“ බුරියානි එපා “ දෙවරක් නොසිතාම පිලිතුරු දුන්නේ බුරියානි වලට නොකමැත්තෙන් නම් නොවේ.

“ඔයා යන්න ටේබල් එකක් අල්ල ගන්න “ 

මිනිසුන් විසින් අයිතිකර ගෙන සිටි කුඩා මේස සිසාරා නෙත් හෙලූවද “හිස් තැනක් “ නම් ඒ කොතනකවත් නොවීය. ඒ සියළු දෙනා අවට සිටියවුන් ගැන කිසිත් නොවිමසමින්ම තම තමන්ගේ ලෝක සහ තම තමන් සමඟ පැමිණියවුන්ගේ කුඩා ලෝකවලට වී කෑම කමින් , කතා කරමින් සහ විටෙක සිනා සෙමින් සතුටින් ද ඇතැමෙකු අත රැදි ජංගම දුරකතනට එඹෙමින් ද , කමින්ද , බොමින් ද මේස වටාම වාඩි වී සිටිති.

එක් කොණක වූ මේසයක් හිස්වත්ම එහි භාරකාරකත්වය පවරා ගත් මා රිසිසේ අවට සිරි නැරඹීමට  පටන් ගත්තෙමි.

ඔහු සිටිනා කෑම කඩය පමණක් නොව දිගින් දිගටම එක පෙළටම වූයේ වෛවාරණ ආහාර පාන වර්ග බව ත් ලෝකයේ දසදිග රටවල් වල ආහාර සියල්ලක්ම ඒ එක් එක් කුඩා වෙළඳ සැල් වල විකිණිමට ඇති බවත් දැක ගන්නට හැකි වූයේ සෙනඟ පිරි මිනිසුන් අතරිනි.

මා කවදත් උන්හිටි ගමන් ඔහු ඉදිරියේ ප්‍රාතිර්භුත වී ඔහුව පුදුමයට පත් කරන්නාක් මෙන්ම  , ඔහුද ඒ සෑම විටකම මෙවැනි ස්ථාන වෙත මා එක්කරන් විත් මා පුදුමයෙන් පුදුමයට පත් කරයි.


මීට පැය කිහිපයකට කලින් මා සිටියේ රාජකාරි මට්ටමේ හමුවක අවසන් පැය කිහිපයේ ය. රාජකාරි රැස්වීමේ මුලසුන හෙඹ වූ අය විසින් රැස්වීම කියු වේලාවටත් වඩා ඉතා වේලාසනින් නිම කිරීම නිසා මා සිතට ආවේ මුරණ්ඩු සිතුවිල්ලකි.

ඉන් පැයකට පසුව ඔහුගේ ඔෆීසි දොරකඩ හමුවේ මා ප්‍රාතිභූර්ත විය. නමුත් නියමිත දොරටුව සොයා ගත නොහී අසරණ වූයෙන් කලකින් ඩයල් නොකල අංකය සෙවීමට ඩයල් නම්බර් තීරුවේ පහළටම යාමට සිදු වූයේ ඔහුගේ අංකය කිසිදාක සේව් නොකරන්නෙමියි සිතා අවසන් වරටත් දුරකතන නාමාවලියේ ස්ථිර මතකයෙන් මකා දැමූ බැවිනි.

දෙවරක් ඩයල් උවත් පිළීතුරක් නොලද තැන්හි යළිත් ආපසු ආමඟට හැරී පියවර කිහිපයක් යත් ම ජංගම දුරකථනයේ දෙදැරීම දැනුනේ හදවතට ය.

“මම ඉන්නේ චෛත්‍ය යට “ 

“ ඔහොම ඉන්න . හෙලවෙන්නෙවත් නැතිව ඔතනම ඉන්න“

එතනම නැවතුන මා බෙල්ල කරකවමින් දෑසට පෙනෙන සියළුම පාරවල් වෙත එබිකම් කළේ ඒ අපූරු රුව කොහෙන් හෝ මතුවන බව පසක් වූ බැවිනි.

විනාඩි කිහිපයකින් වසර ගණනක් නොැදක සිටියත් , යොදුන් ගාණක් දුරක සිටියත් හදුනා ගත හැකි ඒ ගමන් විලාශයත් , ඒ රුවත් , ඔහුට හඳනා ගත හැකි වූ මා රුවත් දැන් දහවල් ආහාරය ගනිමින් සිටිමු.
කතා කල වචන ගණන විස්සකටත් වඩා අඩුවූවත් වෙන්වී යාම සැමදා මෙන් හිත නොසන්සුන් කරන්නටම විය.

දෙවරක් ආ ගිය දුවන පඩිපෙල පයට හුරු ඇතැයි සිතු මා ඔහුගේ අතගැනීමට  නොගිය බැවින් පය පැටලී වැටෙන්නට යද්දි අසමතුලිත සිරුර සමතුලිත කළේ ඔහු වුවත් , එය නොසලකාම ඉන් උඩ පඩියකට ගොඩ වූ මම ඉන් පැය කිහිපයකට පසුව නිවස කරා එන බසයේ වීදුරු කොණ අසුනකට බර වී හිත පතුලේ වූ ඊයම් බරු මැනබලනු වස් දෑස් පියා ගත්තෙමි..........

දුවන පඩි පෙළ දිගටම පොළවෙන් මතුවන්නට විය...........




Tuesday, August 23, 2016

ඉන්විජලේටර් ගේ සිතුවිලි

ඉන්විජලේටර් ගේ සිතුවිලි

----------------------------------------






රතු වෙච්චි ඇසි පිය

කියයි නුඹ නිදි වැරු බව

පොඩි වෙච්චි රැළි ටික

මදින්නත් ඉඩ නැති වද

හෙමි හෙමින් මුමුණයි

විටෙකදි දුරක තනිවෙයි

ඇසිපියත් නොසොලයි

මතකයේ හැම මුල්ලක්ම පීරයි

විටකදි ඇඟිලි ගනිමින්

තව විටකදී ඔළුව කසමින්

නියපොතුත් හපමින්

මොනවා ද මතක් කරමින්

දඩි බිඩියෙ ලියමින්

හිටි ගමන් මගෙ දෙසද බලමින්

වෙලාවත් අසමින්

පාරවයි මගෙ සිත ද යහමින්

කොළ අංක කරමින්

වැරදී යළිත් ලියමින්

එකට ගැට ගසමින්

“ තව ටිකක් ඉන්න “ මට කියමින්

වසර දෙක තුල ඉගෙනුම

පැය තුනට කොටු කරමින

නුඹ ගන්න වෑයම

දිවිය ජය ගැනිමට

සුබ පැතුම් වේවා

සිතින් මම පතමි

මට වඩා ලොක්කෙක්

වේවායි සිතමි


ප/ලි -විභාගේ ලියනවට වඩා අමාරු දෙයක් තමා පැය

 තුනක් වාඩි වෙලා උත්තර ලියන අය දිහා බලා

 ඉන්නෙක.................

Friday, August 12, 2016

උරහිස



මට ගොඩක් දුක හිතුන දවසක
කොහේ හරි මතකයක අස්සක
නෙතේ තෙත රැඳි තැනක තිස්සෙම
නුඹේ සුවඳක් දැනෙනවා
හිත හදන් නෙතු පියා ගත්තම
ඇවිත් මුළු රෑ දවස තිස්සෙම
තියන් මා හිස , උරස මත්තට
මගේ හිස පිරිමදිනවා
වගේ මට නුඹ දැනෙනවා
දුකත් නුඹ
සැනසුමත් 
මගෙ නුඹමයි

Thursday, August 11, 2016

නුග රුකට ලියමි

නුග රුකට ලියමි


තරු එක දෙක අහසේ මතු වෙන ලෙස

නුඹ ගැන මතකය බැබලෙනවා

සීතල හිත යට උණුසුම් ගිනි දළු

ලෙස නුඹ ගත සිත පුබුදනවා


ආයෙත් එන්න ද ?



මේ ලෙස ඉන්න ද ?



හිටි පියවර නෑ සෙලවෙන්නේ


මේ ලෙස ඉන්නට බෑ නුඹෙ සෙවනට


අත වනපන් දුවගෙන එන්නේ



නුඹ අත වනනකම් බලා ඉන්න


මම


වත්සලා

Wednesday, August 10, 2016

ඇය , ඔහු , මම සහ විභාගය


ඇය , ඔහු , මම සහ විභාගය

=========================




ඇය :- 


ගෙදර තියන නිල් , කළු පෑන් සියල්ල ද, පැන්සල් , මකන කෑලි අඩි රූල් සියල්ල ද, ඒත් හිතට මදි නම් මදි පාඩුවට කඩයෙන් තවත් පෑන් පැන්සල් මිටියක් ද රැගෙන විභාගයට එන්නීය. 

වතුර පිර වූ ප්ලාස්ටික් බෝතලය පය පාමුලින් තබා , පෑන් පැන්සල් මකන සහ අඩි රූල් මිටිය ද රෝස පැහැති මල්වැටුන සුදු පැහැති පුංචි ලේන්සුව ද පිළිවලට ඩෙස්කය මත තබයි. 

තරමක විශාල අත් ඔරලෝසුවද මුහුණත පෙනෙන පරිදි ඩෙස්කය මත තැබීමට ඇය වෙහෙසෙන අතර කුඩා ඩෙස්කය මත කිහිපවරක් තබන ස්ථාන වෙනස් කරමින් බලමින් අවසානයේ දී පළමුවෙන්ම ඔරලෝසුව තැබූ තැනින්ම එය ස්ථාන ගත කර වතුර බෝතලයෙන් වතුර උගුරක් බී , පෑන් මිටියෙන් තේරු පෑනක් රැගෙන සුබ බොහොතින් ඇය විභාගයට පිළිතුරු ගොතයි.



ඔහු :- 


විභාගය ආරම්භ වීමට නියමිත අවසන් තත්පරයේ දුවගෙන විත් කිසිදු කලබලයකින් තොරව තමාට හිමි ස්ථානයේ අසුන් ගන්නා අතර සාක්කුවෙන් ඉවතට ගන්නා එකමෙක පරණ පෑනකින් විභාගයට පිළිතුරු ලියයි.




මම :- 


මටත් මෙවැනි වයසක් තිබුනා දැයි ඔවුන්ගේ පිළීතුරු පත්‍ර වෙත එඹමෙින් සොයමි'


විභාගය :- කිසිවෙකුටත් යටත් නොවන අතර අවසන් මිනිත්තුව තෙක් ගලා යයි....

Saturday, August 6, 2016

නින්ද

නින්ද





නින්ද කියන්නේ සුරංගනා ලෝකෙන් අපට ලැබුනු තෑග්ගක්. එහෙම හිතුවෙ පුංචි කාලේ. ආන්න ඒ තෑග්ගට ස්තූති කරන්න තමා පුංචි කාලේ මල් වගේ පුංචි ළමයි නින්ද ගියාම ලස්සනට සුරංගනාවියෙ එක්ක හිනා වෙන්නේ.

නින්ද සිරාවටම නින්දක් බවට පත්වෙන්නේ අවුරුදු 8-10 විතර කාලයේ. හවස් වරුවම කණ් රත්වෙන්න සෙල්ලම් කරල ඇදට වැටුනු ගමන් නින්ද ලගාවෙන්නේ ආන්නේකයි.

ඒත් ඔය වයස පහු වෙච්චි ගමන් රෑට රෑට නින්ද අහලකටවත් එන්නෙ නැති වෙනවා. රෑට ඇස් නොපියවීම හීන පේන්න ගන්නෝ...ඔන්නොහෙම නැති වෙන නින්ද අන්තිමට සමහරුන්ට නම් සදාකාලික නින්දක් බවටත් පත් වෙනකම්ම දුර දිග යනවා.

ඔය නින්දක් නැති කාලේ කොහොමින් කොහොම හරි පහුකර ගත්තා කියන්නේ ඊළගට එන්නේ නින්ද එනවට පස්ස වතුර බේසමේ ඔබා ගන්න කාලේ.

සමහරුන්ට නින්ද එන්නෙ කකුල දිගේ නිසා එයාල කකුල් වතුර බේසමේ ඔබා ගන්නවා. මට නම් ඒ කාලේ හැම හවස්වරුවම නිදි ලෝකයක්.... මට නින්ද එන්න පටන් ගන්නේ ඇසි පිල්ලමේ අග්ගිස්සමෙ ඉදන්. මුළු ලෝකෙම බර ඇස්පිල්ලම උඩට එද්දි  මොහොතකට විතරක් ඇවිත් යන නින්ද පුදුමාකාර වාසනාවක්....ආන්න ඒ වෙලාවට නිදිනෑ වගේ ඉන්න , නිදිනෑ වගේ පෙන්වන විවිධ ඉරියවු දියුණූ කර ගත යුතු වෙනවා.


බේසම් නින්ද නැති කරන් ගොඩ ගිය අයට ඊලගට එළඹෙන්නේ සුවසේ නිදන්න  පුලුවන් කාලයක්. එහෙම නැතිව නිදාගෙනම හිටි අයට පස්සෙන් පහු කාලේ නින්දක් නැති වෙනවා.

ඊට පස්සෙ එන්නේ “මල් කැඩීම “ කියන අවදිය නිසා මේ සුන්දර නින්ද එන්නෙ නැති කාලයක්. දෙයියනේ කියලා මට නම් මොන මල කැඩුවත් අතේ දුරකතනය තියන් හෑන්ෆ්‍රී කනේ ගහන් හ්ම්...හ්ම්... කිය කිය නිදියල හොදට පුරුදුයි.



ඊළගට එන්නේ මල් කැඩීම සාර්ථක උනාට පස්සෙ තුරුළු වෙලා නිදියන ඒ සුන්දර කාලය.ඒ කාලය කෙලවර වෙන්නේ නින්ද නැති කරන සුරතලෙක් තිලින වෙලා තමා. ආයෙත් නින්ද නැති වෙන්නෙ මහ නරකම විදිහට. බබාට අන්දන නැපි ඔෆිස් අරන් එන ,නින්දෙන් වගේ ඇවිදින ඒ කාලේ කට්ටිය බෙල්ල කඩාන නිදියන්නෙම බස් එකේ........

ඔහොම ගිහින් ඇහැකණ පියන් නිදියන්න බැරි කාලයක් ආපහු එන්නේ කොන්දෙ අමාරු , දණිස් පොල්කට්ටෙ අමාරු , වාත අමාරු අර සුර නින්ද සොරා ගන්න නිසා.....

අන්තිමේදි අපිව සදා නින්දට යනකම්ම හිතේ හැටියට නින්දක් නිදා ගන්න ලැබෙන්නෙ නම් වාසනාවන්තයින්ටම විතරයි.


නිදි විකාරෙන් නින්ද ගැන ලීව
මම
වත්සලා

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...