..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Saturday, May 14, 2016

සාක්ෂරතාව

සාක්ෂරතාව




පාසලේ අවසන් කාලච්ඡේදයයි. මා හට නියමිත කාලච්ඡේදයක් නොවූ හෙයින් එදින පාසල් නොපැමිණි ගුරුවරියකගේ කාලච්ඡේදවක් ආවරණය කිරීම සඳහා මට පැවරී තිබුණි. එවන් කාලච්ඡේද හඳුන්වනු ලබන්නේ “සහන කාලච්ඡේද“  යනුවෙනි. 

ඒ සඳහා මට ලැබී තිබුනේ හය වන ශ්‍රේණියේ පන්තියකි. හය පන්ති සඳහා යාමට පාසල දෙකට බෙදමින් දිවයන අලුතින් සෑදු කාපට් පාරේ කහ ඉරෙන් පැන එහා පසට යා යුතු විය. 

මා එහි යන විට ද විනාඩි කිහිපයක් ගත ව තිබූ අතර ළමයින් ඔවුන්ගේ ලෝක වල බරටම වැඩය. ලොකු පන්ති වලට උගන්වන ගුරුවරියකගේ පැමිණිම හයේ ළමයින් සිත ඇති කරන්නේ ගෞරවය මුසු කුතුහලාත්මක බැල්මකි. එබැවින් ඔවුන්ගේ උණුසුම් පිළිගැනීම මට කවදත් හිමි වේ.

අවසන් කාලච්ඡේදය බැවින් ඔවුන්ගේ නිදහස සීමා කිරීමට නොසිතූ අතර මා ද ගුරු පුටුවට වී ඔවුන්ගේ වැඩ කටයුතු දෙස බලා සිටියේ කොයි වේලාවක හෝ යම් අකටයුත්තක් සිදු වීමට යතොත් ඔවුන් එයින් මුදවා ගැනීම මා සතු වගකීමක් බැවිනි.

පිරිමි ළමයි තුන් හතර දෙනා බැගින් කණ්ඩායම් වී විවිධ සෙල්ලම් කරති. විටෙක වරින් වර “ ටීචර් කසුන් පෑන ගත්තා “ “ ටීචර් සුපුන් අපට ඉන්න දෙන්නෑ “ “ ටීචර් මෙයා කුණුහරුප කියනවා “ වැනි පැමිණිලි ලැබෙන්නේ ගැහැණු ළමුන්ගෙන් පමණි.

මේ සියල්ලන් අතර එක් පිරිමි ළමයෙකු පමණක් පෙළ පොතක් පෙරලා ගෙන අභ්‍යාස පොතේ විග විගහින් යමක් ලියමින් සිටියි.

පෙනුම අවිහිංසකය. සුදු ඇදුම කහ ගැසී ඇති අතර මතක ඇති කාලයක ඉස්තිරික්ක පහසක් ලැබී නැත. බොත්තම් කිහිපයක් ගැලවී ඇති අතර බොත්තම් නැති අඩුව කොහොමින් හෝ සපුරා කමිසය පියවා ඇත. 

“ පුතා .... අර අන්තිම පේළියට ඉස්සරහ ඉන්න ළමයා මොනා ද ලියන්නේ ? “ 

“ ඒ අයියා සෞඛ්‍ය ලියනවා “

“ ඉතින් ඔයාලට නැද්ද ලියන්න ?“

“ අපි ඒවා ලියල පෙන්නුවා. එයා ලියපුවා ඔක්කම වැරදි .ඒ නිසා අපහු ලියනවා “


“එයාට එන්න කියන්න පොතුත් අරන් මෙතනට “

ඊළඟ තත්පරයේ ඔහු ගුරු මේසය මත පෙළ පොතත් අභ්‍යාස පොතත් තබා මා දෙස බලා සිටියි.

මම ඔහුගේ ලියන පොත පිරික්සුවෙමි. පෙළ පොතෙහි ඇති ප්‍රශ්න සියල්ලම එලෙසින්ම සටහන් කර පිළිතුරු ලිවීමට ඉඩ තබා ඇත.

“ මිනිසාගේ මූලික අවශ්‍යතා තුන මොනවා ද?  ඉතින් ඇයි මේ ඉඩ තියලා.උත්තර ලියන්නෙ නැද්ද.

“ දැන්නෑ ටීච“

“ මට කියන්න මොනව ද අපිට ජීවත් වෙන්න ඉස්සරෝම ඕනි වෙන්නෙ කියලා....... එතනින් ඇරඹි පාඩම මා ඔහු වෙත තේරුම් කර දී අවසානයේ දී 


“ ඉතින් දැන් ලියන්න උත්තර “ යැයි පැවසුවෙමි.

“ ටීච මම අතනට ගිහින් ලියන්නම් “

ඔහු ට පන්තිය තුල හිමි ඔහුගේ අවකාශය වෙත ගිය ඔහු පසු පසින්ම ටික වේලාකින් මාද සිට ගත්තෙමි.

ඔහු පිළිතුරු අමුණයි.....නමුත් අකුරු ලියන්නේ අපහසුවෙනි.... අකුරු වල කොටස්  කොහේ හෝ හැලී ඇත.

අහර , වතය , ජලය 

මා ඔහු නිවරදි කිරීමට නොගියෙමි. මා උගන්වන ලොකු පන්ති වල ඇතැම් දරුවන්ගේ ද මේ අකුරු ප්‍රශ්නය ඉදහිට හමුවන අතර විද්‍යා විෂයේ දී ලියා ඇති දේ කියවන මට වැටහේ නම් මම ලකුණු ලබා දීම සිදු කරමි. මා එසේ කරන්නේ ඔවුන් මහාචාර්යවරුන් කරනු නියාවෙන් නොව ඔවුන්ට හැගුන දේ මගේ සිතට ද පැහැදිලි නිසා ලකුණක් දෙකකින් හෝ ඔවුන් සිත තුටු වනු දැකීමට ඇති කැමැත්ත නිසා ය. ඔවුන් මා ඉගැන්වූ දේ අවබෝධ කර ගෙන ඇති නිසා ය. 

ඇතැම් අවස්ථා වල දී ඔවුන් ලියා ඇත්තේ නිවරදිම පිළිතුර නොවුනත් ඔවුන්ගේ කණට ඇසුනු ශබ්දය විදිහට බැව් මට හැගී ගිය එක් අවස්ථාවක සිට මම විසින් සෑම අමාරු වචනයක්ම නියමිත ලෙස කළු ලෑල්ලේ ලිවීමට පුරුදු වූයේ එදින සිටයි. බොහෝ දරුවන් විසින් “ අයියෝ ටීචර් ඕක ලියන්නත් ඕනෑද “ යැයි පැවසූව ද එසේ කිසිත් නොපවසා ලියා ගැනීමට නොහැකි දරුවන් ඔවුනතර නිහඩව සිටින බැව් මම දනිමි.

අදටත් බැංකුවට ගොඩ වූ විට මා මගේ රිසිට් පත හැරුනු කොට වෙනත් රිසිට් පත් අනුන් වෙනුවෙන් පුරවා දෙමි. එය බොහෝ විට වයසක සීයා කෙනෙකුගේ වන අතර ඇතැම් විට කණ්ණාඩිය ගෙන ඒමට අමතක වූ වැඩිහිටියෙකුගේය. සම්පූර්ණ කර අවසානයේ “මෙතනින් අත්සන් කරන්න “ යැයි පවසා එදෙස බලා සිටන මට ඔවුන් ඉතා අපහසුවෙන් වෙව්ලන ඇගිලි වලින් අත්සන් කරනු දැක මා සිත අතිශය කණගාටුවට පත් වේ.

දරුවන්ගේ නිල ඇදුම් වවුචර් බෙදා දීමට මෙවර පාසලට පැමිණිමට දෙමාපියන්ට සිදු වූ අතර එක් තරුණ මවක් මා ඉදිරිපිට සිට අත්සන් නොකර ඔහේ බලා සිටන අවස්ථාවේ දී වෙනත් මවක් නැගිට “ටීචර් එයාට අත්සන් කරන්න බෑ ටීචර් “ කියූ විටද මා හට දැනුන අපහසුව සහ සිත් වේදනාව හදුනා ගත් දෙවෙනි මව “ මම අත්සන් කරන්නම් ටීචර් එයා වෙනුවෙට “ යනුවෙන් ක්ෂනිකව ඉදිරිපත් විය.

වසර 11ක් පාසල් පැමිණ හරියට වාක්‍යයක් ලියා ගැනීමට බැරි දරුවෙකු ද මට හමු වී ඇත. 

යමෙකුට අකුරු බැරි වීම නිසා ඔහු හෝ ඇය පත්වන දැඩි අසරණ ස්වභාවය හදවතටම දැනුන චිත්‍රපටයක් මට නිතර සිහි වේ. එය ඉංග්‍රීසි චිත්‍රපටයක් වන “ද රීඩර් “ චිත්‍රපටයයි.


ගුරුවරියක ලෙසින් මා නිසා දරුවෙකුට අකුරු ලිවීමට බැරි වන්නේ නම් එය ආත්ම ගණනක් විදවීමට වන පාපයක් බව මට නිතර සිතේ. මක් නිසාද  යත් එය මූලික අවශ්‍යතා තරමට ම මිනිසාගේ ගැහෙන ජීවිතය හා සමීප බැවිනි.


මම
ඔබ ගැන තැවෙන ගුරුතුමී
සොඳුරු



Tuesday, May 10, 2016

හොරු ඇවිත්

හොරු ඇවිත්
==================

ඒ වන විට දහසය වන වියේ පසු වූ පිරිමි 

ළමයෙකු මුහුණ දුන් සැබෑ ත්‍රාසජනක 

සිද්ධියක් මුල් කර ගෙන ලියැවෙන්නකි.





ඔන්න ඉතින් ටික ටික රෑ වුනා. ගෙදර එක එක්කෙනා හිමින් හිමින් තම තමන්ගේ කාමර වලට වුනා. නිවසේ ආලෝක බුබුලු එකින් එක නිවිලා ගිහින් සාලේ ආලෝකයත් නිවිලා ගියාම හිතට දැනුනෙ පුදුම සතුටක්.




එදා දවසේ රෑ මගේ හිත වැඩ කරේ ලෝකේ ඉන්න ලොකුම හොරාගේ හිතයි මොළෙයි වැඩ කරන තරම් ඉස්තරම්ම විදිහට.


මගේ කණ් දෙක තමා ඒ වෙද්දි ලෝකෙ තිබ්බ සුපිරිම කණ් දෙක වෙන්න ඇත්තේ. කණ් ඒ තරම් අවධානයෙන් හැම පුංචි සද්දයක්ම අහන් හිටියා. පුංචිම පුංචි කුරුළූ පිහාටුවක් ඒ වෙලාවේ බිමට වැටුනත් මගේ කණ් වලට ඇහෙන තරමට කණ් දික් වෙලා තියුණූ වෙලයි තිබ්බේ.


කණට ඇහුනු හැම භයානක සද්දයක්ම නතර වෙලා නිවස නිස්කලංක වෙලා රැහැයි සද්දෙ විතරක්ම ඇහෙන කොට විදුලි පන්දමත් අරන් දෙතුන් සැරයක් පන්දම අතට තද කරන් හිතට ධෛර්ය අරන් ඇදෙන් බැස්සා. ඒ කාලේ වෙද්දි ඇදෙන් නිතර නිතර ඇහුන කිරි කිරි සද්දෙට මම ඒ වෙද්දි පිලියම් යොදල තිබ්බ නිසා ඇද නිකමට වත් හ්ම් කීවේ නෑ.





පූසෙක් වගේ හොර අඩි තියලා , මගේම ගෙදර සාලෙ හොරෙක් වෙලා මගේම ගෙදර රූපවාහිනය ඉස්සරහ මම හිටගෙන හිටියා.


ඊළඟ සුනංගුවේ රූපවාහිනියයි. ඩෙක් එකයි මගේ කාමරේ . දැන් සියල්ල හරි. දොර හොදට වහලා මෙච්චර වෙලා පරිස්සම් කරන් හංගන් හිටපු ඩෙක් පීස් එක ඩෙක් එකට දැම්මම හිතට දැනුන සතුට ............... නිම වෙලා යන්න වැඩි වෙලාවක් ගියේ නෑ.



“ අම්මේ............... අම්මේ............. හොරු පැනලා .............අම්මේ ..................“


නංගිගෙ මර ලතෝනියට මෙච්චර වෙලා නිහඩ අදුරෙ ගිලිලා තිබ්බ ගෙදර ආලෝකමත් වෙලා බියෙන් වෙව්ලන්නට වුනා. මාත් හිතුවෙ ගෙදරට හොරු පැනල තමා කියලා.


කාමරේ දොර ඇරගෙන සාලෙට එද්දි මුළු ගෙදරම අය සාලෙට එකතු වෙලා.



“ මොකද වෙලා තියෙන්නේ ? “



“ අනේ අයියේ.... මේ..........................“ නංගි සාලේ ටිවි එක තිබ්බ තැනට අත දික්කරලා පෙන්නුවා.



ඊට පස්සෙ මෙහෙම කීවා “ මම ටොයිලට් එකට යන්න ආවේ. එතකොට දැනුනා සාලේ මොකක් හරි අඩුවක්. මම කල්පනා කරල බලද්දියි මට තේරුනේ ටිවි එක නෑ නේද කියලා .“



“ අනේ දෙයියනේ ළමයිනේ බලන්න තව මොනාද අඩු කියලා “ අම්ම කීවේ ගෙදර හැමෝගෙම මුණු දිහා බලමින්.



අන්න ඒ වෙලාවෙයි මට වෙලා තියන දේ තේරුනේ....ඊට ටික වෙලාවකට පස්සෙයි මට වෙන්න යන දේ තේරුනේ........


“ හරි හරි..... මට නින්ද යන්නැති නිසා මම ටිවි එක කාමරේට ගත්තා “



යන්තම් වැඩේ ශේප් කරත් වෙනදට මහ රෑ තනියෙන් සාලෙට ඇවිත් බලන ටිවි එක කාමරේට ගත්තෙ ඇයි කියලා ඒ වෙද්දි තේරුම් යන්න ඇත්තේ තාත්තට විතරයි.

Tuesday, May 3, 2016

තනි කවියක්

තනි කවියක්



හිමින් හඬන හිත හදන්න “


“ උරහිස හිස සතපවන්න “


“ බරින් පිරුණු මගේ හිසේ “


“ ගැට පිරිච්චි කෙස් ලෙහන්න“


“ අඬන්නෙපා නොම කියන්න“


“ අඬන්න මට ඉඩ හරින්න“


“ කවුරු නැතත් මං ඉන්නවා “


“ හීන් සැරෙන් මට කියන්න 




මම


වත්සලා

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...