..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Sunday, March 27, 2016

බලාපොරොත්තුව ----------------------


බලාපොරොත්තුව

----------------------




තණ කොළ බිස්ස වේලීලා බලන්නට දුකය. තණ කොළ ගොඩේ දගලන බල්ලාට ද තණ කොළ අග්ගිසි නැති පාළුව දැනී ඇත. ගහ කොළ මැල වී නොසෙල්වී සිටින්නේ සෙළවීමකටවත් ඇවැසි ශක්තිය නොමැති ලෙසිනි. 



කහ පාට ලීටරේ ,හිස් අයිස් ක්‍රීම් පෙට්ටිය පුරවා ඇති වතුරේ, ගිලෙමින් ,පියාපත් තෙමමින් සිටි කොණ්ඩ කුරුල්ලාව ගේ කුරුළු දෙමාල්ලන් විසින් පලවා හැරියේ මේ දැන්ය. වෙනදාට නම් ලීටරයේ ප්ලාස්ටික් වතුර පෙට්ටිය ගැන කිසිම කුරුල්ලෙකුට වගේ වගක් නොතිබුනි. හදිසියේ හෝ එයින් නෑවේ කම්මැලි දෙමලිච්චකු පමණි.

දවසේ මා වඩාත්ම කැමැති වේලාව මේ සැන්දෑවයි. සැන්දෑව වන විට මාගේ දෛනික චර්යාවේ වැඩ බොහෝමයක් අවසන් වූවත් බොහෝ දෙනෙකුගේ කාර්ය බහුලම වේලාවයි. දිනයේ වැඩ අවසන් කර නා , වැඩි කහට තේ කෝප්පයක් තොල ගාමින් පාර දෙස බලා සිටිනා මට හැන්දෑවේ කලබලය දෘශ්‍ය චරිත එහා මෙහා යන කතාන්දර පොතක් මෙනි.


පාසල් නිල ඇදුමෙන්ම දැඩි තෙහෙට්ටුවෙන් නිවස වෙත ගාටන දරුවන් ද , 
නිල ඇදුමින්ම වුවත් තවත් දැගලිය හැකි ශක්තිය සහිත ක්‍රියාශීලී දරුවන් ද , 
දවස පුරා ආදර සක්මන් කර වෙන්වීම දරා ගත නොහැකි පෙම්වතුන් ද , 
පුද්ගලික පන්තිය ඇරෙන තෙක් බලා සිටිනා නොයිවසිලි දෙමාපියන් ද,
 බෑග් මළු පුරවා ගෙන ගෙවුනු සපත්තු අතුල්ලමින් නිවස කරා යන වැඩිහිටියන් ද දකිමින් මම නිදහසේ ගත කරමි.


නමුත් අද සැන්දෑව වෙනස් වී ඇත. ලහි ලහියේ ගමන් කරන වුන්ගේ සිත පිරී ඇත. අහස දෙස බලන මා සිත ද උද්දාමයෙන් පිරේ. කට වරද්දා ගන්නට හොද නැතැයි සිතුනත් මේ උද්දාමය නොකියාම බැරි තැන කලකට පසුව වුවත් මෙසේ ලියන්නට සිතුනි. මහාකළු වැහි වලාවක් ප්‍රදේශයම වසා ගනිමින් අහසේ නැවතී ඇත. නාස් කුහරයෙන් පිටවන වියළි හුස්මටත් වළාකුළ පාවී යතැයි බිය සිතේ. මහා වරපටක් ගෙන වැහි වලාවට පලා යා නොහැකි ලෙස බැඳ දැමීමට සිතෙයි.


මින් පෙර දින වල දී ද අහසේ පෙනි පෙනී නොපෙනී ගිය බලාපොරොත්තුවේ කළු වැහි වලා මතකයට එයි..... තණ කොළ ගොල්ල ද සිනා සෙමින් උඩම බලා සිටියි.... ගහ කොළ නොසෙල්වී වැහි බිඳු පිළිගැනීමට හිස් නවා ගත් ගමන්ය.





මේ ආරාධනා ඉතින් 


ඉවතා නොම ලන්නේ 


පොළවටම විත් අයෙත් 


හැරී නොම යන්නේ 


නොරවටා මා වියළි සිත මිතුරේ 


වැස්ස වී දොඹ ගෙඩි තරම් 


වහිනු මැන සිතු සේ

Friday, March 18, 2016

චිප් බල්ලා

බල්ලා ලෙඩ වෙලාය...........



අද උදෑසන මොකක් දෝ අඩුවකින් පිරී තිබුණි. උදෑසන අවදි වී කබ කඩ කඩා ඇඟමැලි හරිමින් යද්දී මුළු තැන් ගෙට පිවිසෙන ස්ථානයේ දී ලැබෙන උණුසුම් පිළිගැනීම අද නැත.

 උදෑසන තේ කෝප්පය සාදා ගැනීමට කේතලය ලිපෙන් බානතෙක් බලා සිට ආරම්භ වී , සුදු කිරි පිඟාන ළඟට ලැබෙන තෙක් නොනවතින ආයාචනාත්මක හුරතලය ද අද නැත.

 ඒ මතු නොව කරකවා පොල් ගාන්න පටන් ගන්නා හඩ ඇසෙන තැන සිට පොල් කට්ටේ දාරය දිගේ පොල් තීරුව සමඟින් කට්ට කැමට ඉල්ලා කෙරෙන තර්ජනාත්මක කෑගැසිල්ල ද අද නැත. 

මේ සියල්ල සිදු කරනා උදෑසන නිවසේ ප්‍රාණය වන් ඔහු ලැග ගත් තැන ඔත්පලව මෙන් ඔහේ වැතිරී සිටී. යාන්තමින් ඔළුව නොසෙල්වා ඇස් ඔසවා බලයි. අදහාගත නොහැකි වේගයෙන් දික්වී තිබූ වලිගය සොලවා ගැනීමට නොහැකිව මෙන් සෙමින් ගැස්සේ. මගේ හිත ඊට වඩා වේගයෙන් සැලේ. 

පෙරදා අපෙන් අඩුපාඩුවක් වූවාදැයි මම ස්මරණය කළෙමි. 

බඩ පිපිරෙන්නට කන්නට දුන්නෙමි. 
සෙල්ලම් කළෙමි. 
නින්දට පෙර රැහැන් පටින් මුදා හලෙමි..... 

අඩුවක් වුවත් බල්ලන් මිනිසුන් මෙන් ඒවා සිහි තබා නොගන්නා නමුත් අපෙන් වරදක් වුවාදැයි යලි යලිත් සිහිපත් කළෙමි.

වසක් විසක් කැවිලා වන්නට බැරිද? එහෙත් කන්නට හැකි වසක් විසක් ගන්නට හැකි තැනක ද නැත..... 

" ළමයෝ බල්ලට මොනා වෙලා ද? " අම්මා අසන්නේ ද සංතාපයෙනි.............................


මා ළගටත් ආවෙ වත් නැහැ "

 " දෙන දෙයක් කන්නෙත් නැහැ " 

"අනේ මන්දා " 

අම්මා දිගින් දිගටම පවසන්නීය. 

" පණු බේත් දුන්නෑ නේද කාලෙකින්.ගිහින් එන කොට පණු පෙත්තක් ගේන්න" අම්මා හිත හදා ගත්තේ එසේය....

මම තව ටික වේලාවක් ලෙඩා අසල ගත කළෙමි. ඔහු සිටි හාත්පස සිසාරා බැලුවෙමි. 

කන්නට දුන් පිගාන සුපුරුදු පරිදි මුනින් අතට නවා අැත්තේ ඔහු විසිනි. අවසාන බත් ඇටය තෙක්ම කෑම ගෙන තිබුණි. 

පිගාන සමඟ සෙල්ලම් කල බව ට ආයේ කතා දෙකක් නැත්තේ එය මුනින් අතට නවා තිබුු නිසාය. 

අපේ බල්ලාගේ හැටි එහෙමය. කා බී පිගන් නවා තබයි.වේලාව ගත වෙයි. රැකියාවට යාමට ප්‍රමාද වේ... 

වරද පනුවන්ට පවරා පනු බේත් රැගෙන ඒමට සිහි තබා ගෙන පාසල් ඒමට පිටත් වූයෙමි. 

පාසල් ගිය පසු මට නම් සියල්ල අමතකව ගොසිනි. බලු පැටවුන්ට වඩා දඟ පැටව් සමගින් සිටිනා විට එසේ වීමේ පුදුමයක් නැත...නැවතත් එය මතකයට ආවේ පාසල් ඇරී ගෙදර එද්දීය. 

පනු පෙත්ත අත් බෑගයේ සුරුකිව ඇත. 

නිවසේ ගේට්ටුව පැන්නුවා පමණි..... 

උදේ අතුරුදන්ව තිබූ පිලිගැනීම දෙගුණ තෙගුණ වී ඇසෙන්නට විය. හිත සතුටින් පිරුණි..... 

බල්ලාට උදෑසන වූයේ කුමක් ද?................................ 

මා හිස ගල්වන්නට රැගෙන ආ තරමක විශාල ප්‍රමාණයේ ෂැම්පු බෝතලය භාවියට ගෙන දින දෙකක් නොයික්මවූ තරම්ය. 

අද උදෑසන එය අම්මාට හමුවී ඇත්තේ තැනින් තැන වූ සිදුරු සහිතව බල්ලා සෙල්ලම් කරන මේසයක් යට තිබිය දීය. 

ෂැම්පු දියරය ඉසිරී තිබී ඇති අතර ප්ලාස්ටික් බෝතලය පුරාම කවුදෝ සිදුරු විදලාය........... 

බල්ලා ලෙඩ වෙලාය...........



ප/ලි - සමහර මිනිස්සු බල්ලාට "ගුඩ් බෝයි " කියති. තවත් සමහරු " පුතා " කියාද අමතති. හැබැයි මේ සියල්ල , ගෙදර බල්ලාටය .තමන්ගේ එකාටය. අනිත් සියළුම බල්ලන්"චිප් බල්ලාය"

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...