..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Monday, February 29, 2016

හිතවත් ලියෝ,

හිතවත් ලියෝ, 


හිතවත් කියල ලියන්න හිතුනෙ ඔයා රඟපාන චිත්‍රපටිත් එක්ක බැදුනු හිතවත්කම නිසාමයි.ඔයා කොච්චර දුර හිටියත්, ඔයා මාව දැකල නැතත් , අපි එක රටක නොවුනත් ඒ හිතවත්කම ඔයාට නැති කරන්න බෑ...... 

ඉතින් ලියෝ ඔයාව මම ඉස්සරෝම දැක්කේ ලස්සන රොමැන්ටික් චිත්‍රපටියකින්...ඒ තමා "ටයිටැනික්".අපි ඒ කාලේ ඒ චිත්‍රපිටියට පිස්සු වැටිලා හිටියේ.මම ඇතුළු අපේ පන්තියේ කෙල්ලො ‍ඔයාගේ පෙම්වතිය වුනු රෝස් වගේ ඉන උඩට දාපු ගවුම් මහල ඇන්දා මට තාම මතකයි..... ලියෝ...

එදා ඉදලා අද වෙනකම් මම ඔයා රගපාපු ෆිල්ම් බැලුවෙ හරිම ආසාවෙන්.එයිනුත් Inception කියන්නේ ඒකෙ තියෙන අර බඹරේ වගේ මාව කරකවල අතෑරපු චිත්‍රපටියක්.ඒක තේරුම් ගන්න මම ෆිල්ම් එක කීසැරයක් නම් බැලුව ද ... 

ඇයි අර මහ අමුතු කතාවක් තිබ්බ ශටර් අයිලන්ඩ්... ඒක බලල මට පිස්සු නොහැදුනා විතරයි.ඒ ඔයාව දැකල නෙමේ. ඒකේ ඔයා රගපාපු චරිතය දැකලා...

හැබැයි මම කැමතිම චරිතය තමා " කැච් මී ඉෆ් යූ කැන් " ඒකේ ඔයා හරිම අපූරුවට රගපෑවා..අදටත් මම ඉස්කෝලෙ උගන්වද්දි සමහර ළමයිගේ වැරදි වැඩ දැක්කම "කැච් මී ඊෆ් යූ කැන් " වල ෆ්‍රෑන්ක් මතක් වෙනවා.......

ඉතින් ලියෝ....අද මම ඉන්න පුංචි රටේත් සිංහල නිව්ස් වලට ඔයා ගැන කියද්දි අපි හරි ආසාවෙන් අහන් හිටියා. ඔයා වෙනුවෙන් හදවතින්ම සතුටු වුනා. ... ෆේස් බුකියේ අපේ සිංහල පිටුත් ඔයාගේ පින්තූර වලින් , ඔයාට පතපු සුබ පැතුම් වලින් පිරිලා ගියා...

ඉතින් ලියෝ ඔයා අන්තිමට අර ඉංග්‍රීසියෙන් කියපු කතාව නම් මට හරියටම තේරුන්නෑ. (Let us not take this planet for granted. I do not take this night for granted") මොකද හැමදාමත් ඔයාගේ චිත්‍රපටි බැලුවේ සිංහල උපසිරැසි දාගෙන. හැබැයි ඒ කියපු කතාව හැගීම්බර අර්ථවත් දෙයක් කියල නම් හිතුනා.

ඔස්කාර් සම්මාන වල ලගටම නම ඇවිත් නම කැපිල යද්දි ඔයාට දැනුන දේ මොනා වුනත් දිත්‍රපටි බලන රසික රසිකාවියන් විදිහට අපේ රටේත් ගොඩාක් දෙනාගේ හිත් වල "ඔස්තාර්" කෙනෙක් වෙලා ඔයා හිටියා...........

එහෙනම් ලියෝ ඔබේ ගමන කොහොමත් සුභයි.... 

ලැබුන සම්මානෙට මගෙනුත් හෘදයාංගම උණුසුම් සුභ පැතුමක්.පිළිගන්න ඔයාගේ ඔය හදවතේ ඉඩ නැති වෙන එකක් නැහැ.......................

Friday, February 26, 2016

පීසා පුටු


පීසා පුටු 

-----------------








එච්චර ලොකු පීසා එකක් මම දැක්කෙ පලවෙනි වතාවට.


" ඉතින්... මෙන්න ඔයාට ‍මගේ ගානේ......" 


එයා පීසා එක මගේ දිහාට තල්ලු කරමින් කීවා.


මම කවදාවත් පීසා කාලා නැති විත්තිය එයාට මතක තිබ්බ එක ගැන මගෙ හිත සතුටින් පිරිලා තිබ්බේ. ඒ සතුට සමරමින් තිබ්බ මගේ හිතේනිහඩතාවයේ සද්දෙ ටික ටික වැඩි වෙද්දි වාඩි වෙලා හිටිපු මගේ ලගට

 ආපු එයා මගේ ලගින් හිට ගත්තා. මගේ හිස අතගෑවා.ඔළුව පහත් කර ගත්ත ගමන්ම මම ඔහේ හිටියා.......... 


" අද ඔයා මගේ විශේෂ අමුත්තා " 

රවුමට තිබ්බ ලොකු පීසා කෑල්ලක් කේන්ද්‍රයෙන් වෙන් කරන්නඋත්සාහ කරමින් එයා කීවා.

" මෙන්න . . ." 

පරිස්සමින් වෙන් කරපු ලොකුම පීසා කෑල්ල එයා මට දික්කරා......අපි පීසා කෑලි දෙක දෙක කෑවා. පුංචි යෝගට් කොප්පයක වගේ තිබ්බ නම මතක නැති කෑමෙක බාගෙට කද්දි මට කැරකිල්ල වගේ දැනුනා.ඒක ඒ තරමට පැණි රසින් වැඩියි.ඊට පස්සේ එයා පැතලි පෙට්ටියක දාලා තිබ්බ ලස්සන පැතලි වීදුරුබෝතලය අරන් මේස උඩින් තිබ්බේ හරි සතුටින්.

ඒක ගොඩක් පරණ පාටට තිබ්බට සීල් එකවත් කඩල නැහැ. පුංචි වීදුරු

 දෙකට එයින් ටික ටික වක් කරපු එයා ස්ප්‍රයිට් බෝතලෙන් වැඩි කොටසක් දැම්ම වීදුරුව මට දික්කරා.......... 

" මම මේක අරන් තිබ්බේ විශේෂ කෙනෙක් ආවොත් දෙන්න. "

ඒ කියන්නේ ගොඩාක් කාලෙකින් එයාට විශේෂ අමුත්තෙක් ඇවිත්නැහැ කියනෙක ද?

"ගන්න............." 

දෙවරක් හිතනෙක නතර කරලා එයාගේ අතින් වීදුරුව අරන් කටට ලංකරද්දි නහයට දැනුන ස්ප්‍රයිට් සැරත් බොන කොට උගුරට දැනුන අමුතු තිත්ත මිශ්‍ර වුනු උගුර පිච්චෙන ගතියත් මට මේ දැනුත් දැනෙනවා වගේ........ 


එදා පීසා එකේ තිබ්බ කපපු පීසා කෑලි එකිනෙක සවි කරල තිබ්බ පුංචි
පුටු වගේ සුදු පාට ප්ලාස්ටික් කෑලි ටිකත් , හිස් වෙච්චි පැතලි වීදුරුබෝතලයත් තාම මා ළඟ පරිස්සමට තියනවා..................

Wednesday, February 24, 2016

ආදරය


ආදරය

--------




සාමාන්‍යයෙන් අපි ආදරය කරන්නේ පුද්ගලයෙකුගේ මෙන්න මේදේට කියල හරියටම කියන්න පුළුවන් ද? 

මන් දන්නෑ ඒක හරියටම.............

ඒත් මං හිතනවා , මට කවුරු හරි ආදරේ නම් එයා මට ආදරය වෙන්න ඕනි මගේ විදිහට කියලා. 

මෙතනදි මගේ "විදිහ "කීවම රූපය විතරක් නෙමේ. කතා කරන විදිහ, ඇවිදින විදිහ, අදින පලදින විදිහ, මම යාළුවො ආස්රය කරන විදිහ, මගේ රස්සාව, මගේ ආකල්ප කියන හැමදේටම හරි මෙයින් කීපයක්ට හරි වෙන්න පුලුවන්.

ඒත් අපි ආදරය කරන පුද්ගලයා එන්නේ අපි කැමති හැමදේම සහිත පැකේජ් එකක් විදිහට නෙමේ. අපි චුට්ටක් හරි අකැමැති දේවලුත් අර අපි කැමැති විදිහ ඇතුලෙ තියෙන්න පුලුවන්. 

ආදරය කරද්දි ඒ අකැමැති දේවල් සැගවිලා යනවා. ඒත් කවදහරි විරසක වුනාම අපි කැමැති කෙනා ඇතුලෙ තිබිච්චි අකැමැති දේවල් අපිට පේන්න ගන්නෙ අන්න ඒකයි.ඒ කියන්නේ අපි ඇත්තටම ආදරය කරල නැහැ කියනෙක. 

අපි කෙනෙක්ට ආදරෙයි නම් අපි ඒ කෙනාගේ සම්පූර්ණ පැකේජ් එකටම ආදරය වෙන්න ඕනි.අන්න ඒකයි ඇත්ත ආදරේ.

උදාහරණයක් කියනව නම්. මම පිරිමියෙක්ට කවදාවත් එක සැරේ ආදරය වෙලා නැහැ.පෙුනමට කවදාවත් මම බැදිලා නැහැ. පෙනුමට බැදෙන්නේ අන්තිමට .. ඒ පුද්ගලයාගේ පිරිමි ගතියට , කරන වැඩ වලට , වැඩ කරන විදිහට , කරුණාවන්තකමට , වෙනස් විදිහට තමා ආදරය වෙන්නේ..

ඒත් එහෙම ආදරය වෙද්දි මම අකැමැතිම දෙයක් එයා හරි කැමැත්තෙන්ම කරනව මම දකිනවා. උදාහරණයකට මම අකැමැතිම දෙයක් තමා දුම් පානය.ඒත් එයා දුම් බොනවා.

ඒක වැරදි වැඩක් කියලා මමම වගේම එයත් දන්නවා.මොකද එයා වැඩිහිටියෙක්. 

මම එයාට ආදරය නිසා එයාගේ දුම් බීම නතර කරවනව ද? 

මං දන්නැ ඔබ මොනව කරයි ද කියලා.

ඒත් මං එයාගේ දුම් බිමට විතරක් නෙමේ, එයාගෙ දුම් සුවඳ පිරිණු හාදු ගන්නත් කැමැති වුනා.........

මම ආදරය දකින්නේ "සම්පූර්ණ පුද්ගල පැකේජ් එකටම" කරන ආදරයක් විදිහට මිසක් "පස්සෙ හදාගන්නම් " පදනම යටතේ "කොටස් වශයෙන් කරන ඔප්ශනල් " ආදරයක් විදිහට නෙමේ............... 

ඉතින් ආදරණිය දුම් බොන්නා...මට අයිතිකර ගන්න බැරි උනත් මමඔයාට හැමදාමත් ආදරෙයි..............ඒ ඔයාගේ "සම්පූර්ණ පැකේජ් එකටමයි"

මේ මගේ අදහස විතරයි. ඔබේ අදහස මීට බොහොම වෙනස් ඇති. මම ඒකෙ වරදක් දකින්නෑ.....


Sunday, February 14, 2016

෴ ගමන ෴


- ගමන -



ඒ කතාව වැඩිය දිග කතාවක් නෙමේ හැබැයි හිතේ දිග කාලයක් ..ඒ කියන්නේ අදටත් හෙටත් මිහිරියාවකින් රැදිල තියෙන කතාවක්. එයා දිගටම කතාව කියන්න ගත්තා. මං කරේ අහන් ඉන්නෙක විතරයි. මෙතන ඉදන් දිගටම කතාව කියන්නේ එයා .

------------------------------------------------------------------

නොයෙකුත් ගැටළු නිසා මට ඒ ඉස්කෝලෙන් යන්න වැඩකටයුතු සිද්ධ වෙලා තිබ්බේ. එයා ඒ ගැන හරියට කණගාටු වුනා. එයා මගෙ හිත හදන්න නොයෙකුත් විට දි උත්සාහ කරා.

"කවුද එයා ?" ඒ බාධා කිරීම මගෙන් 

එයා . . . . .  තළෙළු , උස , වයස 24ක විතර ගැහැණු ළමයෙක්. එයාගේ මූණ ගොඩාක් ලස්සන නැහැ. හැබැයි කැතත් නැහැ. එයාට ලස්සන හැඩ ඇඟක් තිබ්බා. එයාව අපේ ඉස්කෝලෙ වැඩට ගත්තෙ මම. ඒ කීවේ එයාව ඉන්ටවීව් කරේ මම. ඒ විතරක් නෙමේ ඔන් ජොබ් ට්‍රේන් කරෙත් මම.

"හරි ඉතින් "


මම එහෙන් යනවට එයා හරියට දුක් වෙලා මගේ හිත හදන්න උත්සාහ ගත්තා කියල මං ඔයාට කීවනේ. එයා මට දිගටම ටෙස්ට් කරන්න ගත්තා. මගේ හිත හදන්න.


අන්තිමට රාජාකාරි බාර දීලා මම ආපහු කොළඹ එන දවස ළං වුනා. ඇත්තටම ඒ දවස වුනේ ඉස්කෝලේ වාර අවසාන නිවාඩු දවස.එයත් මාත් එක්ක කොළඹ යන්න එනවා කියලා එයා මට මැසේජ් කලේ අන්න ඒ අතරේ. මොකද කියනව නම් එයා එක දිගටම  මට මැසේජ් කරපු නිසා එදිනෙදා වෙන හැමදෙයක්ම , මම කරන්න යන හැම දෙයක්ම එයා දැන ගෙනයි හිටියේ.





-----------------------------------------------------------------------------


අපි නැවතුන නවාතැන තිබ්බේ ලස්සන නිහඩ පලාතක. එයා තීරණය කළා දවල් කෑම සූදානම් වෙනකම් සහ හවස් වෙනකම් ඒ පලාතේ ඇවිදින්න .


එයා පුංචි ළමයෙක් වගේ වෙලාවකට මට ඉස්සර වෙලා මහ පාර මැදින් නට නටාත් ,තවත් වෙලාවකට පාර අයිනෙන් ගාට ගාටත් , සමහර වෙලාවකට හිතලම මට පහු වෙලත් ඒ පාළු කාපට් පාර දිගේ යන්න ගත්තා...... මාත් මේ වෙන්නේ මොනාද කියල තේරුම් ගන්න බැරිව , ඒත් වෙන දේට බොහොම සතුටින් මුහුණ දෙමින් කිසිම අරමුණකින් තොරව ඒ පිරිසිදු පාළු කාපට් පාර වැටිල තිබ්බේ රක්ෂිතයකට. 


පාර දිගේම ඔහේ ඇවිදන් ගිහින් කාපට් පාරෙන් කැලේ ඇතුලට වැටිල තිබ්බ පුංචි අතුරු පාරකත් එයා ඇවිදින්න පටන් ගත්තා.......ඒ පාරේ ඇවිදින්න විතරක් නෙමේ , අපි ආපහු එන්න ඕනි කියලා තීරණය කළෙත් එයා.


------------------------------------------------------------


අපි දෙන්නා ඒ රේල්  පාර දිගේ ඇවිදන් යන්න ගත්තා. ටික වෙලාවකින් එයා රේල් පීලක් උඩට ගොඩ වෙලා අත් දෙක දෙපැත්තට කරල ඇඟ බැලන්ස් කරමින් යන්න පටන් ගත්තා.මාත් එයාට සමාන්තරව නමුත් රේල් පාරේ මැදින් ඇවිද්දා. එයා කොයිම වෙලාවකවත් රේල් පීල්ලෙන් බිමට වැටුනෙ නැහැ.මොකද එයා බැලන්ස් නැතිව වැටෙන්න ගියපු හැම වෙලාවකම මගේ උරහිසට අත තිවුවා.....


එතකොට ඔයාල කොළඹ ගියේ නැද්ද ?


ගියා.හැබැයි අපි දෙන්නා තීරණය කරා කෙළින්ම කොළඹ නොගිහින් කොළඹට විරුද්ධ දිශාවට කෝච්චියේ ගිහින් කොහේ හරි නැවතිලා , පහු වෙනිදා රෑ කෝච්චියෙන් කොළඹ යන්න.ඇත්තටම කියනව නම් හැමදේම තීරණය කළේ එයා.මට තිබ්බේ එයා කියන විදිහකට වැඩ කරන්න විතරයි.



--------------------------------------------------------



ඒ කෝච්චියේ මම අපි දෙන්නට වෙන් කරල තිබ්බේ නිදන මැදිරියක්. ඒක මගේ තීරණයකට වඩා ඇගේ තීරණයක්.දෙන්නෙකුට හරියට හුස්ම ගන්නවත් බැරි ඒ පුංචි මැදිරියේ එක්කෙනෙකුටවත් හරියට හාන්සි වෙන්න බැරි ඇන්දන් දෙකක් තිබ්බා.හැබැයි ඒවා තට්ටු ඇන්දන්. කාමරය දිහා ටික වෙලාවක් බලා හිටපු ඇය අගේ ලට්ට ලොට්ට පිරි බෑගය උඩ ඇදට දැම්මා. මගේ අතේ තිබ්බ බෑග් එකත් අරන් උඩ ඇඳට දාන ගමන් එයා කීවේ " අපිට ඇන්ඳන් දෙකක් ඕනි නැහැ" කියලා.................


එතකොට ඔයාල කලින් දවසෙ කොහෙද නැවතුනේ.?


සති අන්ත නිවාඩු දවස් නිසා හැම නවාතැනක්ම පිරිලයි තිබ්බේ. අපි නතර වුනේ පහසුකම් අඩු පුංචි නවාතැනක.


" එකම කාමරේ ? "


ඔවු . . එකම කාමරේ. අපි දෙන්නට කාමර දෙකක් වැඩක් නැහැ කියලා.


" තීරණය කලේ එයා ?"


ඔවු. . . .


" ඉතින් . . .  එදා හරි ලස්සන රාත්‍රියක් වුනා ද? "



ඔවු. . . . .  එයා එයාගේ ඇදේ දිගා වුනා. දිගටම කතා කරන්න ගත්තා. ටිකකින් අතින් එයාගෙ ලග ඇදට තට්ටු කරලා එයාගේ හිසින් මට  කතා කළා. . . . 

.

මොකක් දෝ නාදුනන බලවේගයක් විසින් මාව මෙහෙයවනව වගේ දැනුනත් මම ඒ වෙනදේට අවනත වෙලා හිටියේ කැමැත්තෙන්මයි. මාත් එයාගේ ලගට ගිහින් එයා හිටපු විදිහටම හාන්සි වුනා..... 


මම හරි බරි ගැහිලා මම හිටපු තැන ඇද මෙට්ටය උණුසුම් වෙනකම් විතරක් එයා නිහඩව හිටියා. ආයෙත් එයාගේ කතාව පටන් ගත්තා. එයාගේ ආදර කතාව.එයා දිගටම කියන්න ගත්තා.සමහර තැන් වලදි නිහඩ වුන එයාගේ නිහඩ බව බිදින්න මට ඕනි වුනේ නැහැ.


"හරියට මම දැන් ඔයාගේ කතාව අහනව වගේ "


ඔවු. . . . හැබැයි වෙනසක් තියනවා.ඔයාට මගේ කතාව මතක හිටියට.මට එයාගේ කතාවේ එක පේළියක්වත් මතක නැහැ.



" හරි හරි ඉතින් මොකද එදා වුනේ . . . .  ?"

ඔයා හිතන කිසිම දෙයක් එදා වුනේ නැහැ. එයා දිගටම කතාව කීවා.කතාව ඉවර වෙද්දි එයාගේ වම් අතේ ඇගිලි මගේ දකුණු අතේ ඇගිලි එක්ක පැටලිලා තිබිලා කියල මං දැන ගත්තේ කෝච්චියට යන්න තියපු එලාම් එක වදිද්දි.


--------------------------------------------------------------------------------

ඉතින් ඔන්න කෝච්චියේ එක්කෙනෙකුට වත් ඉඩ නැති ඒ පුංචි ඇ‍ද‍ේ අපි දෙන්නම හාන්සි වෙලා උන්නා. අපි මූණු ළං කරන් හිටියේ හිතලම නෙමේ. ඇදේ ඉඩ මදිකම නිසා අපිට එහෙම ඉන්න සිද්ධ වුනා. එයා මගේ ඇස් වලත් මම එයාගේ ඇස් වලත් ගිලිලා හිටියේ.මට මතක් වුනේ ප්‍රෙමකීර්ති ගේ 


නුඹේ ඇසට ඇස තියලා බැලූයෙමී

කිසියම් රුවක් ඇස් අතරේ මුවා වුණී


නුඹේ කණට කණ තියලා ඇසූයෙමී


කිසියම් හඬක් පිළිරැව් දී තුනී වුණී




ඒ කවුරුන්ද මා විපරම් කෙරූයෙමී

ඒ හැම වරෙක නුඹ නොදොඩා සිනාසුණී


කෝච්චිය දිගටම ගියේ එකම වේගෙකින් , පොඩ්ඩක් වත් ගැස්සෙන්නෙ නැතිව දිගටම කොළඹ දිහාවට ගමන් කරමින් තිබ්බා..... හැබැයි එයා දිගටම මගේ ඇස් දිහා බලා හිටියෙ නැහැ.


" ඉතින් . . . . . . . .දිගටම කියන්න ...........ඇයි දිගටම ඇස් දිහා බලා හිටියේ නැත්තේ ?" නිහඩ බව බිදින්නටත් වඩා එයා එතනින් කතාව නවත්තයි කියල හිතුන නිසා මම එහෙම කීවා.


දිගටම ඇස් දිහා බලා ඉන්න ඇති.ඒත් මං දන්නෑ ඒක හරියටම. මොකද මං නින්ද ිහින් තිබ්බා. මං අැහැරුනේ මගේ තොල් වලට සීතලක් දැනුන නිසා.


එයා මාව ඉඹිනවා කියල ඇස් පියාන උන්නත් මට දැනුනා.... මම ඒක එහෙමම වෙන්න දුන්නා.ඒකට අනුගත වුනා.


"ඊට පස්සේ ?"


ඊට පස්සෙ නෙමේ ඊට කලින් වගේම ඉදිරියටත් වුනේ එයාට ඕනි දේ. එයා මාව එයාගේ පිරුණු පපුවට පහත් කරන් තුරුළු කර ගත්තා. එයාගේ ඇග කොටස් වශයෙන් මට බලන්න ඉඩ දුන්නා.මාත් ඒ හැමදේටම අනුගත වුනා.


මගේ පහස එයා එයාගේ සිරුරින් වින්දා. හැබැයි . . .  ඔයා බලාපොරොත්තුවෙන් ඉන්න දේ  අපි අතර වුනේ නැහැ.


-----------------------------------------------------------


එකම තාලේට , එක දිගට ආපු කෝච්චිය එක සැරේටම ගැස්සිලා නතර

වුනා. අපි කොළඹට ඇවිත්. මම එයාව එයාගේ බස් එකට ඇරලුවා.   මගේ


හිතට දුකක් දැනෙමින් තිබ්බත් , එයා සුපුරුදු සිනාවෙන් අත වනමින් මට

සමුදුන්නා.


මම ගෙදරට යන්න ත්‍රී වීල් එකකට ගොඩ වෙන කොටම එයාගෙන් එස්එම්එස් එකක් ආවා. 



" Maava amthaka karanna. Heta indan aluth jivithayak patan ganna.

 Oyata varadin na - oya godak honda kenek"



-----------------------------------------------


ඉන් පස්සෙ කිසිම දවසක එයා මට මුණගැහුනෙ වත් , කතා කරේවත් 

එස්එම්එස් කරේ වත් නැහැ. නමුත් මම ජිවිතයේ ගිය ලස්සනම ගමන 

තමා ඒක. ඒකට ගහන්න ගමනක් තව අද වෙන තුරු  මම ගිහින් නැහැ.


" එයාට ඕන වෙන්න ඇත්තේ එයාගේ හිත සුවපත් කර ගන්න.ඒකට එයා ඔයාව පාවිච්චි කළා " 

වෙන්නැති.නොවෙන්නත් ඇති.ඒත් එයා කරපු දේ විශ්ලේෂණය කරන්න මට ඕනි නැහැ. අදටත් මතක් කරලා සතුටු වෙන්න පුළුවන් දවසක් එයා මට දීලා ගියා. 

------------------------------------------



ප/ලි - 

මෙය සැබෑ කතාන්දරයක් වන අතර මා වෙත පැවසූ කරුණු වලින්

බිදක් පමණක් ගෙන මෙය ලියා ඇත. සැබැවින්ම ඔහුගේ කතාව ඇසූ

මාද ඔවුන් දෙදෙනා සමඟින් එම මාවත් දිගේ ඇවිද්දෙමි. ගල් තලා මත

වැතිරී ඔවුන් සමඟින් අහස බැලූවෙමි. විශාල පිරිසිදු පාළු කාපට් පාරේ

මැද වැතිරී සිටියෙමි. මහ රෑ සීතලේ දුම්රිය නැවතුමේ ඔවුන් දෙදෙනා ගුලි

වී තුරුළු වී වාඩි වී සිටි අසුනේ කොණක සිටිමින් ඔවුන් දෙදෙනා දෙස

බලා සිටියෙමි. මේ ආදරය දැයි මම නොදන්නා අතර සිදු වූ දෙය අර්ථ

දැක්වීමෙන් වැළකී සිටින්නෙමි. මක් නිසාද යත් සමහර දේ සිදු වන්නේ

පසු විපරම් කර විසදීමට නොවන බැවිනි

Tuesday, February 9, 2016

ඉස්කෝලෙ දවසක්

ඉස්කෝලෙ දවසක්


උදේ පළවෙනි කාලච්ඡේදයේ සහ දවසේ අවසන් කාලච්චේදයේ දී අත් දෙකත් පස්සට කරන් බොරුවට අඩිය බර කරන් , පාසලේ පන්ති කාමර  තියන ශාලා අතර එහේ මෙහේ යනේක අපේ ආයතන ප්‍රධානියාවෙච්චි විදුහල්පතිතුමාගේ පුරුද්දක් . 

එහෙම යද්දි අනිවාර්යෙන්ම පන්ති කාමරය ඇතුලට එඹිලා බලනවා.  ඒ විතරක් නෙමේ එඹිලා බලන වෙලාවේ පන්තියෙ කවුරුවත් නැත්තම් පන්තියට ගොඩ වෙනේකත් එයාගේ පුරුද්දක්.... 

ඉතින් අද ඒ කාලච්ඡේද දෙකේදිම මම හිටියේ මම බාර පන්තියේ. උදේ පළවෙනි කාලච්ඡේදය පන්තිය බාර පන්තියට යනව කියන්නේ ඒ කාලච්ඡේදය පුරාම කෙරෙන්නේ කතා බහ තමයි. පන්ති අතුගාල ද බලල , පහන තියල ද , හඳුන්කුරු පත්තු කරල ද,  අඩු පාඩු මොනාද හොයල බලල , ඒවා හරියට කරල නැත්තම් මූණ ට තරහක් අරන් පොඩ්ඩක් බැනලා නම් ටික ලකුණු කරල , ආවේ නැති අය ගැන තොරතුරු අහලා , පන්තියේ පුංචි පුංචි ආරවුල් සමථයකට පත් කරලා උගන්වන්න පටන් ගද්දිම කාලච්ඡේදය ඉවරෙන සීනුව නාද වෙනවා....

අද සුපුරුදු වැඩ ටිකට අමතරව තීන්ත ගාපු නිසා බිත්තියේ අලවන්න පරක්කු වෙච්චි කාල සටහන් , පිරිසිදු කිරීම් , දින දසුන සහ මගේ ගානේ පන්තියට දෙන ආවර්තිතා වගුව වගේ දේවල් බිත්තියේ හයි කරා. 

ඒ වෙලාවේදි මං හිටියා කියල නැහැ කොල්ලොන්ගෙ කටවල් වට්ටි තාත්තල පරාදයි. ඒ මදිවට කෙල්ලො , කොල්ලො කරන වැඩ වල වැරදි හොයනවා. පන්තියම ඝෝෂාකාරී.හැබැයි ජීවයෙන් පිරිලා. 

සපුරුදු පරිදි විදුහල්පතිගෙ සක්මන සිද්ධ වුනේ ඔන්න ඔය වෙලාවෙදි. පන්තියේ ඉස්සරහ බිත්තියෙ අලවන දේවල් වල ඇද කුද හොයන්න පන්තියේ පිටිපස්සටම ගිහිල්ලයි මම ඒ වෙලාවේ හිටියේ. 

ළමයි දන්නෑ ප්‍රින්සිපල් ඇවිත් කියලා. යක්කු ටික වගේ කෑගගහ එයාල බිත්තියේ අලවනවා. පි්‍රින්සිපල් එඹුනා. ම්හ්....ගුරු මේසය ගාව කවරුවත් නැහැ. මාව එයාට පෙන්නෙත් නැහැ. කොල්ලන්ගෙ සද්දෙ අඩු වෙන්නෙත් නැහැ. 

මම ඇස් ලොකු කරල ළමයි දිහා බැලුවා. ඇස් ලොක කරාම සද්දෙ තව වැඩි වුනේ සද්දෙ වැඩි කරන බොත්තම වැඩිම අංකෙට කැරකුවා වගේ.. බැරිම තැන මම ගුරු මේසෙ ලගට යද්දි ම පන්තියට ගොඩ වෙන්න තියපු අඩිය ආපස්සට ගත්ත විදුහල්පතිතුමා සද්ද නොකරම යන්න ගියා...

ඒ උනාට අද හවස වෙද්දි කවුදෝ කේලමක් කියලා.පන්තියේ ළමයිගේ හැසිරීම අන්තිමයිලු . ගිය අවුරුද්දෙ පන්තිභාරත් මම නෙමෙයි ලු.


ප/ලි- ගිය අවුරුද්දෙ පාසලේ හොඳම පන්තියට තේරුනේ ඒක.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...