..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Saturday, December 24, 2016

ඇවිදින බාබර් සාප්පුව


ඇවිදින බාබර් සාප්පුව

---------------------------------


මම ඉස්කෝල ගියපු වසර 13 දිම මට තිබුනෙ ඉතාම කෙටි කොණ්ඩයක්. කොණ්ඩය වවල අග්ගිස්ස වෙනකම්ම කරල් දෙකට ගොතල ,  පිටි පස්සට දාලා පද්ද පද්ද යන්න කොච්චර නම් ආස වුනත් ගෙදරින් ඒකට කිසිම අනුබලයක් ලැබුනෙ නැහැ. 

ඒ විතරක් නෙමෙයි , කොණ්ඩ ගස් පොඩ්ඩක් වැවීගෙන එද්දි , නලලට කොණ්ඩ කැලි වැටෙද්දි , කොණ්ඩ ගස් අස්සෙන් ඇහැ දාලා බලද්දි ඇස් වපරවෙනවා කියලා බලෙන්ම එක්කරන් ගිහින් කොණ්ඩය කැප්පුව හැටි තාම මතකයි..... 

ඒ කාලේ මගෙ පන්තියෙ ගොඩක් යෙහෙළියො හිටියෙත් කෙටි කොණ්ඩයේ හිමිකාරියො වෙලා වුනත් කොණ්ඩ කරල් දෙකක් ගොතපු ගැහැණු ළමුන්ගෙ අමුතු සුන්දර ගතියක් තිබුනා කියලා ඒ කාලේ මට හිතුනා.

අම්ම තාත්තගෙන් කාලා ඇඳල හිටපු කාලේ නිසාත් අද කාලේ ළමයින්ට වගේ දෙමාපියන්ට එරෙහිව යාමේ හැකියාවන් දියුණු වෙලා තිබ්බෙ නැති නිසාත් , කරබාගෙන ගිහින් කොල්ල වගේ කොණ්ඩය කපන් ඇවිත් කණ්නාඩියෙන් මූණවත් නොබල හිටපු කාලේ තාමත් මට මතකයි. 

කොහොම වුනත් කොණ්ඩය කපන්න යන ගමනෙ එක්තරා ආකාරයක සතුටකුත් තිබ්බා. මොකද අම්ම දන්නවා අපි කොණ්ඩය කපන්න යන්නේ හිතේ දුකින් කියලා. ඒ නිසා කොණ්ඩය කප්පන් එමින් ගමන් රස කැවිලි අරන් දෙන්නත් අම්ම අමතක කලේ නැහැ.


මේ අතර කාලයක දි හිටියා ඇවිදින බාබර් සාප්පු හිමිකරුවෙක්. එයා අපටත් වඩා හොඳින් අපේ කොණ්ඩය සීමාව ඉක්මවා දික්වෙන කාල සීමාව දැනන් හිටියා. හරියටම පලවෙනි කොණ්ඩ ගහ සීමාව පනිද්දිම ඒ ඇවිදින බාබර් අපේ ගෙදර වැට කඩොල්ලෙන් පනිනවා.

එයා ළඟ තිබ්බ පුංචි බෑග්ගෙකේ  බාබර් සාප්පුවක තියෙන්න ඕනි හැමදේම තිබ්බා. පුටුව නම් හදල දෙන්නෙ අපේ තාත්තා. ඇදි පුටුවක් අරන් උස් තැනකින් තියල තව ඒ මදිවට බාබර් සාප්පුවේ වගේ හරහට ලෑල්ලක් දාලා මගේ අත් උර අස්සෙන් උස්සල අරන් ඒ ලෑල්ල උඩින් මාව වාඩි කරලා මගේ හිස අතගාලා තාත්ත මගේ කොණ්ඩය කපන්න ඇවිදින බාබර් මාමාට අවසර දෙනවා.

ඒ දවස් වල තිබ්බා ලස්සනම වගේම ප්‍රසිද්ධම කට් එක තමා “ඩයනා කට්ටෙක “ . වැඩියම කොට නොකර කොණ්ඩය ටිකක් ලිහිල්ව හිටින ඒ කට්ටෙකට මාත් හරිම මනාපයි. දැන් කාලේ වගේ නැතත් හීනියට කළුවට හිටපු මාත් “ඩයන කටේටෙක “ කපල එංගලන්තෙ ඩයනා වගේ ඇස් ඇගින් කණ්නාඩිය දිහා බලල හිනා වුනා මට මතකයි.

සුන්දර පහු ගිය අතීත කාලය මතක් වෙන්න හේතුව වුනේ , මේ දවස් වල පාරට බැස්සම දකින  පොඩ්ඩන් සහ පොඩ්ඩන්ගෙ දෙමාපියන් නිසා. පොත් ලිස්ටෙක ගන්න කඩවල් වල  පොරකන අය වගේම , මූණු දෙක කරන් වදෙන් පොරෙන් බාබර් සාප්පුවලට යන පොඩ්ඩො , මගේ අතීතය මට මතක් කරල දුන්නා.

මේ නිවාඩුවට පිස්සන් වගේ කොණ්ඩය වවන් හිටපු ළමයිනුත් , කට්ටෙකක් ගහල නිදහසේ රස්තියාදු ගහපු පිරිමි ළමයිනුත් තමන්ගේ හිතේ ආසාවන් කැප කරල සිරිසිරිමල් විදිහෙ විනීත කට්ටෙකෙන් කොණ්ඩය කපලා පිළිවලකට ඉස්කෝලෙ ඒවි කියල බලා ඉන්න,  

මම
ඔබේ ගුරුතුමී
සොඳුරු සිත 


4 comments:

  1. අම්පාරෙ ඉන්න කාලෙ පුරා ම වගේ අපේ කොණ්ඩ (කොණ්ඩ නෙමෙයි හරි වචනෙ කෙස්) ((කොණ්ඩෙ කියන්නෙ ගුලියක් වෙන්න ගහපු කෙස් රොදකටයි..!!)) කැපුවෙ අපේ තාත්තාමයි. ඊට පස්සෙ කුඩම්මා ආවට පස්සෙ ඈ තමි කෙස් වහල්ල කැපුවෙ.
    කොළඹ ආවාට පස්සෙ දෙතුන් විටක් විතරක් බාබර් සාප්පුවට ගිහින් කෙස් වහල්ල කප්පෝගත්ත. ඊට පස්සෙ ඒක කපාගත්තෙත් මේ අපි අපිමයි.
    ඒ බාබරට ගෙවන්න සල්ලි නැති නිසයි.

    ReplyDelete
  2. මාත් මුලදි කැපුවෙ ඩයනා කට්..පස්සෙ නිකම් කැඩෙට් කට් එකටම ලඟ කට් එකක් අපේ අම්මා කැපුවා නෙ...අපේ මල්ලිලයි මායි කොණ්ඩෙ කපන්න ගියේ අර නිල්වලා ගඟෙ මාතර පාලම ගාවින් තියන පාරෙ තිබුන සැලුන් එකට...ඒකෙ නම මතක නෑ නෙව දැන්

    ReplyDelete
  3. නිර්මාණය ලස්සනයි

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...