..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Thursday, November 24, 2016

බෙන් ගෙ කතාව


බෙන් ගෙ කතාව
------------------------


බෙන් හරිම අප්‍රසන්න දරුවෙක්. කොයි වෙලෙත් ඉන්නෙ මූණ එල්ලන්. ඇඳන් ඉන්නේ කිලිටි බේරෙන ඇඳුම් , ඔහුගෙ පොතක් පතක් වත් අල්ලන්න අප්‍රසන්නයි. ඒ තරමට කිලිටි. 

ඔහු පන්තියෙ ළමයි අතරත් කොන් වුන චරිතයක්. නිහඬ බවේ ගිලිල වැලලිලා ඉන්න ඒ කිලිටි ජීවියා මට ඒ පන්තියෙම එපා වුනු එකම දරුවා. 

බෙන්ගෙ පොත් බලන්න මම වැඩි වෙලා ගන්නෙ නැහැ. මොකද ඒ පොතේ බලන්න කිසිම දෙයක් නෑ. හිතේ තියන තරහටත් එක්ක පුලුවන් තරම් ලොකුවට රතු පෑනෙන් ප්‍රශ්නාර්ථයක් දාලා කට අනිත් පැත්තට ගැහිච්ච මූණක් මම බෙන්ගෙ පොතේ අදින්නේ කාලකණ්නි සතුටකින්.

එක දවසක් ඉස්කෝලෙ පියන් තඩි ෆයිල් කවර මිටියක් අරන් ඇවිත් මගේ මේසෙ උඩ අතාරිනකම්ම බෙන් කියන්නේ මට එපාම වුනු ළමයා වුනා.

එදා මගේ මේසෙ උඩ ගෙනත් අතෑරපු ෆයිල් වල තිබ්බේ මගේ පන්තියෙ ළමයින් ගෙ වාර්තා . ඒ ළමයි පාසලට ඇතුළු කරපු දවසෙ ඉදලා විස්තර ඒ ෆයිල් වල සටහන් කරල තිබ්බෙ ඒ ඒ කාල වල දි ඒ ළමයින්ගෙ පන්ති භාරව හිටපු ගුරුවරු සහ ගුරුවරියෝ. මටත් තිබ්බෙ ඒ ෆයිල් වල මේ ළමයි වෙනුවෙන් සටහනක් තියන්න.

සටහන් තියන ගමන්  එයින් සමහර ෆයිල් කියවල බලන්න මට හිතුනා. . . . කියවන්න සතුට දනවන ඒ විස්තර අතරේ බෙන්ගෙ ෆයිල්  එක කියවන්න කිසිම උනන්දුවක් මට ඇති උනේ නැහැ. මම කරේ කෙලින්ම සටහන තියන එක.

මගේ සටහන උනේ ,
පාසල් නොපැමිණෙන අතර කිසිදු පිළිවලක් ,පිරිසිදුකමක් නොමැති සිසුවෙකි. වෙනත් පන්තියකට මාරු කරන්නේ නම් මැනවි.

ඒත් . . . . .  මොකක් දෝ හේතුවකට සටහන තියලා ෆයිල් එක අනිත් පැත්තට මාරු කරද්දිම මගේ අතින් ෆයිල් එක බිම වැටිලා පිටු පෙරලිලා ගියා. පෙරලිච්චි පිටුව වුනේ බෙන්ගේ පලවෙනි අවුරුද්ද...... ෆයිල් එක ගන්න බිමට නැමෙන ගමන්ම ඒ අකුරු උඩ මගේ ඇස් දිවුවා.

පළමු වසර
බෙන් හරිම ප්‍රියමනාප දරුවෙක්. ඉගෙනීමට දක්ෂ අතර මිතුරු ඇසුරෙහි ද උද්යෝගීමත් සහ ප්‍රීතිමත් දරුවෙකි.

වෙන්න පුළුවන් දෙයක් ද? මේ කිලිටි ළමයා ? මම ඊළඟ පිටුව පෙරළුවෙ හිතේ කුතුහලයෙන්.

දෙවන වසර 
පන්තියේ සිටන දක්ෂතම දරුවාය. නමුත් ඔහුගේ මව බරපතල අසනීපයකින් පෙළෙන හෙයින් පාසල් පැමිණිම දුර්වල වෙමින් පවතී.

තුන්වන වසර
මවගේ මියයැමත් සමඟින් බෙන්ගේ තත්ත්වය සතුටුදායක මට්ටමින් පසු බසිමින් බවතී. පියාගේ නිසි අවධානය ලක් නොවන බැව් පෙනී යයි.

සිවුවන වසර
පාසල් පැමිණිම ඉතාම දුර්වල වන අතර , පාසල් පැමිණි දිනයන්හිද පන්තියේ පාඩම් අතර තුර නිදාගනයි. ඉගෙනීමට දුර්වලයි.යහළුවන් නොමැත.


---------------------------------------------------------------------

නත්තල් කාලේට නිවාඩු දෙන දවස ළං වුනා , සුපුරුදු පරිදි පන්තියේ දරුවන් මට තෑගි ගෙනත් තිබ්බා. ලස්සනට ඔතපු තෑගි අස්සේ කඩෙන් බඩු ඔතල දෙන රළු ග්‍රොසරි කවරයකින් ඔතපු නොගැලපෙන තෑග්ගක් එතන තිබ්බා.

හිතට ආපු කුතුහලයත් එක්ක , ඒ තෑග්ග මම පන්තියෙදිම විවෘත කරා. ඒ ඇතුලෙ තිබ්බෙ ගල් අල්ලපු පරණ මෝස්තරයෙ වලල්ලක් , සමහර ගල් හැලිලා , තිබුන ගල් වලට වඩා හැලිච්චි ගල් සංඛ්‍යාව වැඩියි. ඒක දැකපු පන්ති ළමයි හිනා වුනා , මම බෙන්ගෙ මූන දිහා බැලුවා. පරණ වලල්ල විතරක් නෙමේ ඉවර වෙන්න ඔන්න මෙන්න තිබ්බ පුංචි සුවඳ විලවුන් බෝතලයකුත් ඒකෙ තිබ්බා. විලවුන් බෝතලය අතට ගත්ත මන් ඒකෙන් ටිකක් කාටත් පේන්න ඇදුමට ඉහ ගත්තා.

එදා අපි කාටත් සතුටු දවසක් , ඒ වසරේ පාසලේ අන්තිම දිනය. ළමුන් කවුරුත් සතුටින් පාසලෙන් යද්දි අන්තිමට පන්තියෙ ඉතිරි වුනු බෙන් මගේ ළඟට ඇවිත් මෙහෙම කීවා.


“ අද ටීචර් ළඟ මගෙ අම්මගෙ සුවඳයි “


---------------------------------------------------------

ප/ලි - කතාව ඉවර නැහැ. තව තියනවා. ඔයාල ඒක අන්තර්ජාලයෙන් හොයන් කියවයි කියල මම හිතනවා. මොකද මම කතාවෙ කැමතිම හරියෙන් කතාව නතර කරන්න මම කැමති.......

------------------------------------------------------------


මගේ පන්තියෙ බෙන්ල ඉන්නවා , එයාලගෙ හිත් මම නිසා රිදෙනව නම් , මම තරම් කාලකණ්නි ගුරුවරියක් තවත් නැහැ නේද ?

මම

නුඹේ හිත නොරිදවන ගුරුතුමිය

සොඳුරු



10 ප්‍රතිචාර:

Pathum Herath said...

මේ කතාව මම කියවල තියෙනවා . හැබැයි සිංහලෙන් කියවද්දී සංවේදී වැඩියි. Freedom Writers ෆිල්ම් එකක් තියෙනවා. බලල තියෙනවද? මෙන්න මේක http://www.imdb.com/title/tt0463998/?ref_=nv_sr_7

෴සොඳුරු සිත෴ said...

@Pathum Herath
ඔවු මම දෙසැරයක් බැලුවා ඒක...

Duminda Abeysekara said...

කලින් කියවලා නෑ. සංවේදී කතාවක්

ජයවේවා!!!

ලොකු පුතා said...

මේක කියවන්න දෙන්න වටින්නේ (විශේෂයෙන් පොඩි පන්ති වලට උගන්වන) ගුරුවරුන්ට...
මගේ අත්දැකීම් අනුව ගුරුවරු ගැන මගේ හිතේ හොඳ රූපයක් නැහැ...

උඩුවාගේ සටහන් said...

ආහ්! එළ... තෑන්ක්ස්....
ළමයි සහ ගුරුවරු සම්බන්ධ රසවත් කතා තියෙනවා...
අපේ ඕලෙවල් වලට තිබුණා මිදිපොකුර කියල කෙටිකතාවක්

තුශානි said...

කලින් කියවල තිබුනත් ඔබේ මේ රචනා ශෛලිය හිත සංවේදී කලා..

යාළුවා (සුමින්ද ඇල්පිටිය) said...

එලමයි

asanka amarasingha said...

මටත්!!!

asanka amarasingha said...

අපූරුයි.. සියල්ලම පරිවර්තනය කරන්න!!!

ගස් ලබ්බ said...

අපේ අම්මා ප්‍රාථමික අංශයේ සේවය කලේ.ඇය මේ කතාව බොහොම අමාරුවෙන් කිව්වා දවසක්.අපිත් බොහොම අමාරුවෙන් අහගෙන හිටියා.මේ ලඟදි ඇය විශ්‍රාම ලැබුවෙ.මේ වගේම තෑගි ඇයට ලැබිල තිබුනා.
ජයවේවා..!!

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...