..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Friday, October 7, 2016

අතුරුදහන් වූ සොයුරා - My Missing Brother


අතුරුදහන් වූ සොයුරා - My Missing Brother
---------------------------------------------------------

දැක්කම මෙච්චර වයසයි කියල කියන්න බැරි තරමට අයියා තරුණ පාටයි.ගාණට උසයි , ඒ තරමට මහතයි. ඇඳුම හරිම පිළිවලයි. 

ඒ වගේම විඳින්න හිතෙන තරමට පිරිමි සුවඳයි. ගැහැණියක් වගේ ඇස් වලින් කතා කරන්නත් පුළුවන්. තමන් ඉස්සරහ ඉන්න කෙනාව හිටි ගමන් හිනස්සවන්නත් පුළුවන්. 

බිත්තියක හැප්පුනත් සොරි කියන , පුංචිම උදව්වටත් කට පුරා තැන්කිව් කියන ගති නම් ඇමරිකාවෙන් ආනනයන කරපුවා උනත් ඒ මහත්මා රූපෙට ඒ ගති හොඳටම ගැලපෙනවා. 

හැබැයි තාමත් හරිම මනමාලයි.එක සැරයක් හිනා වුනොත් ආය බලල හිනා වෙන්න හිතුනත් අයියා නෙමේ ආය සැරයක් හැරිලවත් බලන්නේ. ආන්න ඒ අහංකාරකම පිරිමිකමට නියමෙටම ගැලපිලා තිබ්බා.

තරුණකාලේ හරි පැණියා වුනත් අං නැති ගැහැණුන්ට අයියගෙ හිතේ තිබ්බෙ ගෞරවයක්. අයියා ළඟ තිබ්බ පැණි වචන සෙට් එක නිසා ගැහැණූන් ඔහු පස්සෙන් වැටිලා හිටියත් ඔහුගෙ හිත නතර වුනේ පෙනුමෙන් නොදිලිසුනත් ඔහු දැක්කම දිලිසුනු හිතක් ගාව. හිත් දෙකම දිලිසි දිලිසි තිබ්බට එක අහසක එක වෙලාවක එල්ලිලා දිලිසෙන පින ඒ දෙන්නට නැති උනා.අයියා කසාද බැන්දා. අර නෝනා අදටත් තනි වුනා. 

ඒ අස්සෙ  අයියා නිරපරාදේ තමන්ගෙ හිත අයාලෙ යැවුවෙ නැති උනත් කිසිම කෙනෙක්ට ආදරය නොකලත් සුන්දර ගැහැණු ළඟ නිකමට වගේ නැවතිලා නොතිබ්බ කියල නම් කියන්න බෑ. 

කිසිම කෙනෙක්ට ගොඩාක් ආදරය නොකරපු අයියා තමන්ගේ වගකීම් නම් තක්තෙටම ඉටු කරන කෙනෙක්. බොහොම භයානක රෝගයකින් පීඩා විඳින ගමන් , ඉක්මන් ප්‍රතිකාර ලබා ගැනීමත් කල්දාමින් තමන්ගෙ යුතුකම් ඉටු කරන්නේ ආන්නේ නිසා. 

අයියට සමාජය ගැන හෙන කැක්කුමක් ඇත්තටම තියනවා. තනියෙන් හදා ගත්ත , තද ඉංග්‍රීසි වචන දැම්ම ලියුම් ටිකක් අරන් පාරේ බස් එකේම ආණ්ඩුවෙ ලොකු මහත්තරු හම්බෙන්න යන්නේ ආන්නෙකයි.

කොයි තරම් හොඳ උනත් හිටි ගමන් අසූහාදාහට කේන්ති ගන්නත් මගෙ අයිය හරිම දක්ෂයි. සමාජෙ ගැන ඇත්තම කැක්කුමක් තියන අයට ලංකාවේ කියන්නේ “පිස්සා “ කියල උනත් මගේ ඒ පිස්සු අයියා සමාජ යහපත වෙනුවෙන් කරන් යන කිසිම වැඩක් නතර කරන පාටක් නැහැ.

මේ ළඟදි මගෙ පිස්සු අයියට ආණ්ඩුවෙ ඉහළ ම තැනක පුටුවකින් සවන් යොමු කරේ අයිය තමන්ගේ තනි සටන අතාරින්නෙම නැති නිසා වෙන්නැති. 


අයියා කාට නැතත් මට නම් හෙනම ආදරෙයි. හෙවනැල්ලක් වගේ පස්සෙන් ඉන්නත් , ජිවිතේ පහුගිය තැන් එකක් නෑර කියවන්නත් එයා තෝරා ගන්නෙ මාව.එයාට මක්ක මතක නැති උනත් එයාගේ ජිවිත ගමනෙදි හමුවුනු සුන්දර ගැහැණු ළමයිගේ ඇහිපිල්ලමක පැල්ලමක් පවා අයියට මතකයි. 

ඒත්..... ..........................අයියගේ අසනීප තත්වෙ දැන් හොඳටම වැඩි වෙලා.කොච්චර කීවත් අහන්නැති මුරණ්ඩු ගතිය මෙල්ල කර ගන්න සිද්ධ වෙලා. එයා බෙහෙත් ගන්න ,ඔපරේශන් කරන්න ළඟදිම නැව් නගීවි. 

ආයෙමත් ලොකු හෙවනක් නැතිව ගිනි අව්වෙ තනියෙන් පිච්චෙන්න මේ නංගිට සිද්ධ වේවි. මම නම් කියන්නේ, ගියාට කමක් නෑ සනීප වෙලා ඉක්මනට එන්න.එන ගමන් මතක ඇතිව ඇමරිකාවේ ඇපල් වත්තකට පැනල මට ඇපල් ගෝනියකුත් අරන් එන්න.

එතකොට අපි දෙන්නට පුලුවන් ඒ ඇපල් කකා මට හරියන කොල්ලෙක් තෝරන්න. ඔයාගේ පරණ කෙල්ලො ගැන මතක් කරන්න.

ඉතින් සනීප වෙලා ඉක්මනින් එන්න.............





8 ප්‍රතිචාර:

Duminda Abeysekara said...

ඇත්තක්ද ? නැත්තන් නිර්මාණයක්ද? ලස්සනයි.

ජයවේවා!!!

ඉයන් said...

මෙය සත්‍ය කථාවක් නම්, ඔබේ සොහොයුරාට ඉක්මන් සුවය ලැබෙන ලෙස ඉත සිතින් පතමි.

තුශානි said...

නිර්මාණයක්ද ඇත්තක්ද කියලා මටත් හිතා ගන්න බෑ..

අයියලා කොහොමත් නංගිලාට ගොඩක් ආදරෙයි.. ඒ වගේම ගොඩක් වෙලාවට හැමදේම නංගිලත් එක්ක කියනවනේ. මේ සිදුවීම ඇත්තක් නම් අයියට ඉක්මනින් සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

Rajendra said...

I met him.
He is a dreamer, who is dreaming of a just society. He writes not to the public but to the rulers and implementers of this country. He has a little collection of his writings to so called categories for what he boasts.
He says that the constructive journalism currently engages in criticism. As to him the country need healers than critics. Criticism has deeply penetrated to the grass-root level of the society. The civil society criticizes its rulers. They say that the rulers are corrupted. They neglect the fact that they too are corrupted.
His opined on journalists unfavorably. He says that the majority of them contribute to the public just news with no depths. The journalists possess similar opinion as with public and political authorities that the general public is ignorant. Today, constructive journalism focuses more over building on self image of knowledge comparison than delivering constructive messages to the public. Said induces are solely of his.
The question arises how far he can deliver to the rulers and implementers of this land. A couple of years back he wrote “Emotions have overpowered my skills. My fingers are not moving on the key board. My thoughts have come to a standstill. The darkest hour of the day has arrived. But I am yet to finish……”
I observe that physical unfitness is overpowering his fingers, which do not move properly on the keyboard. The darkest hour of his life has arrived. Still, he is yet to finish ……

නිම්නයක තනි වී හීන දකින්නී. said...

//විඳින්න හිතෙන තරමට පිරිමි සුවඳයි.//
විඳින්න නෙමේ ඉඹින්න හිතෙන තරන්

නංගිගේ ආදරේ අයියා මෙල්ල කරන්න මදි වගේ..ඒත් නංගි අයියා, අක්කා මල්ලි කියන්නේ අසීමිතව සැබෑ ආදරය තියන බැඳිම් එකිනෙකා වෙනුවෙන් කිසිම හේතු දැක්වීමකින් තොරව කිසිඳු දෙයක් ආපිට බලාපොරොත්තු නොවි ජිවිතයට පණ දෙන...

Ajith Perakum Jayasinghe said...

ජයවේවා කිව්වා!

Veer Weerakkodi said...

ජය වේ්වා
මටත් ඔින අන්න ඒ වගේ අයිය කෙනෙක් වෙන්න

Ravi said...

සොයුරාට ඉක්මන් සුව පතමි!

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...