..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Saturday, October 29, 2016

ඉරට්ට කඩපු ළමයා

ඉරට්ට කඩපු ළමයා


පුංචි පන්ති වල හැමවෙලේම තියෙන්නේ කණට නිවනක් නැති සද්දයක්. ඒ පන්ති වල වහලෙ උළු ඔය තරමින් හරි තියෙන එකත් පුදුමයක්.

ඒ වගේම රණ්ඩු සරුවල් වලත් නිමක් නෑ. 

“ ටීචර් මෙයා මගේ පැන්සල ගත්තා “ 

“ටීචර් ශෙහාන් මගෙ කෑම එක හොරෙන් කෑවා“ වගේ නිතර දෙවේලෙ ඇහෙන රණ්ඩු වලට අමතරව හොරකම් කිරිල්ලත් ඉදහිට හරි සිද්ධ වෙනවා.ආන්නෙහම හොරකමක් වුනු වෙලාවක සිද්ධ වෙච්චි දෙයක් තමා මේ.

සංදීප ගෙ තාත්ත රට ඉදල ආපු නිසා සංදීප ළඟ වෛවාරණ බඩු ගොඩාක් පිරිල තිබ්බා. ටීචර් කොච්චර කීවත් මේ බඩු ගෙදර තියල එන්න කියලා, සංදීප නෙමේ ඒවා කණකට ගත්තේ. 

සංදීපගෙ වැඩේම මේ අපූරු බඩු භාණ්ඩ යාළුවන්ට පෙන්වන එක. 

සුවඳ හමන මකන , නවන්න පුළුවන් පැන්සල්, පාට හතරේ පෑන් , ඉඹේ වැහෙන පැන්සල් පෙට්ටි , සුංරගනාවියක් ඉන්න පැන්සල් උල්කරනය මේ අතර පන්තියෙ ළමයින්ගෙ සිත් පැහැර ගෙන තිබ්බා. 

මේ මාසය පුරාම පන්ති කතා බහට ලක් වුනේ සංදීප කීවොත් ඒක කිසි වරදක් නෑ. ඒ වෙද්දි පන්තියෙ වීරයා බවට පත්වෙලා තිබ්බෙ සංදීප. සංදීප වටේ ළමයි එකතු වෙන එක සාමාන්‍ය සිද්ධියක් වෙලා තිබ්බා. 

ඒත් මේ හැමදේ ගැනම නොසතුටින් බලා හිටපු එක පුංචි දරුවෙකුත් හිටියා. 

දවසක් උනේ හරිම සිද්ධියක් තමයි. කට්ටිය සෙල්ලම් කරන්න පිට්ටනියට ගිහින් පන්තියට එද්දි , සංදීප ගෙ සුවඳ ගහන නැමෙන පැන්සල කෑලි කෑලි වලට කඩල පන්තියෙ දොරකඩ විසිරවල තිබ්බා.

දැන් ඉතින් පන්තියෙ එකමයුද්ධයයි. ටීචර්ට නඩුව ඉදිරිපත් වුනේ විනාශයට පත් වෙච්චි නඩු භාණ්ඩයත් එක්කමයි. සංදීපට වෙච්චි වැඩේ ගැන දුක් වුන ළමයි සහ සංදීපට වුන වැඩේ හොදම වැඩේ කියන ළමයිත් වශයෙන් පන්තිය දෙකට බෙදිල ගියා. 

පැමිණිල්ල විභාග නොකර වෙනද වගේ මඟෑරල යන්න ටීචර්ටත් බැහැ. මොකද කියනව නම් සංදීපගෙ තාත්තා රට ඉදල එද්දි ගෙනාපු ඇපල් දොඩම් සහ රට චොකලට් ටොෆි බෑග් එක තාමත් ටීචර්ගෙ ගෙදර සාලේ මේස උඩ තිබ්බා. 

ඉතින් ටීචර් නඩුව විසඳන්න පටන් ගත්තා..............

කොච්චර ප්‍රශ්න කලත් ලංකාවේ උසාවියක ඇහෙන නඩුවක් වගේ මේ නඩුවත් ඇදි ඇදි යනව මිසක හොරා අල්ල ගන්න පුළුවන් විදිහක් තිබුන්නෑ.

හොරා කවුද කියලා ගොඩාක්  ළමයි වගේම ටීචරුත් අනුමාන කරත් , අනුමානෙට දඩුවම් දෙන්න තරම් ටීචර් මෝඩ වුනේ නෑ.

අන්තිමට ටීචර්ට ඝන දෙවි නුවන පහළ වුනේ ඝන දෙවියො ටීචර්ගේ යාළුවෙක් හින්දනම් නෙමේ.

ටීචර් ළමයෙක් පිටත් කරලා අමු පොල් කොළ ටිකක් ගෙන්න ගත්තා. ළමයෙක් ලව්වම අමු පොල් කොළයෙන් ඉරට්ට බේර ගත්තා. ඊට පස්සෙ ඉරටු ටික එකට තියලා එක සමාන ඉරටු මිටියක් වෙන්න ඉරටු ටික හදා ගත්තා.

පන්තියෙ ළමයි ටික තමන් ඉස්සරහ පෙළට තියලා ,අර ඉරටු මිටියෙන් ඉරට්ට ඉරට්ට ගානේ ළමයින්ට බෙදල දුන්නා.

ඊට පස්සෙ උපදෙස් දෙන්න පටන් ගත්තා.

“ ඔය ළමයි උදේ හවා බුදුන් වදිනව. හොරකම් කරන්නෑ කියල පොරොන්දු වෙනවා.ඒ විතරක් නෙමේ බොරු කියන්නෙත් නෑ කියල පොරොන්දු වෙනවා.ඒත් ඔයාල මේ පැන්සල කැඩුවෙ කවුද කියල තාම කීවේ නැති නිසා මට මේකට හොරු අල්ලන බොහොම පරණ කුමයක් පාවිච්චි කරන්න වෙනවා.“

දරුවො ටික කටත් ඇරන් ටීචර්ගෙ මේ අපූරු ක්‍රමය දැන ගන්න උනන්දුවෙන් අහන් ඉන්නවා.

“ මේ ක්‍රමයෙ දි ඔයාල හැමෝම මම දුන්න ඉරට්ට අත් දෙකෙන් පිටිපස්සට කරන් ඇස් වහන් ඉන්න ඕනි. ඒ ඉන්න ගමන් මේ පැන්සල කඩපු කෙනා අහුවෙන්න කියලා පතන්නත් ඕනි . හරිද ?“

ළමයි දන්නෙත් නැතිව දෙපැත්තට ඔළුව වැනෙනවා.

“ මම ඇස් අරින්න කීව ගමන් ඔයාල ඇස් ඇරල අතේ පිටි පස්සෙ තිබ්බ ඉරට් මට පෙන්වන්න ඕනි හරිද ?“

“ ඉරට්ට අතුරුදහන් වෙනව ද ටීචර් ?“

ඉවසන් ඉන්න බැරිම තැන එක ළමයෙක් ඇහුවෙ පුදුමයෙන්.

“ නෑ නෑ....මේ පැන්සල කඩපු ළමය අතේ තියන ඉරට්ටෙ දික් වෙලා තියනවා.ඔය තියන තරමට වඩා දිග ඉරට්ටක් වෙනවා . හරි දැන් කවුරුත් ඇස් වහගෙන ඉරට්ට පිටිපස්සට කරල අත් දෙකෙන් අල්ල ගන්න “

ළමයි ඇස් පිල්ලන් තද කරන් වහ ගන්නවා.එයාලට ඇස් අරින්න ඕනි උනත් ඇස් පියන් තද කරන් ඉන්නේ වැරදිලා හරි ඇස් ඇරුනොත් ඉරට්ට දික්වෙයි කියල බයට.

ටික වෙලාවක් ගත වෙනවා. ටීචර් කියනවා ළමයින්ට ඇස් අරින්න කියලා. ඊට පස්සෙ කියනවා අතේ තියන ඉරට්ට ඉස්සරහට කරල පෙන්වන්න කියලා.

කාගෙක් ඉරටු කෑලි කලින් ගානටම තියෙද්දි , එක ළමයෙක්ගෙ අතේ තිබ්බ ඉරටු කෑල්ල විතරක් තිබ්බට වඩා ................................ කොට වෙලා.

18 comments:

  1. ඔව්වා මහ පව් වැඩ හරිද

    ReplyDelete
  2. ඔව්වා මහ පව් වැඩ හරිද

    ReplyDelete
  3. යන්තම් අද රෑ කියන්න කතාවක් හොයා ගත්තා. කියල කියල කතන්දර ඉවරයි දැන්.

    ReplyDelete
  4. සුපිරි ටීචර් නොනේ...

    ReplyDelete
  5. //අන්තිමට ටීචර්ට ඝන දෙවි නුවන පහළ වුනේ ඝන දෙවියො ටීචර්ගේ යාළුවෙක් හින්දනම් නෙමේ//

    ඝන දෙවියෝ නෙවෙයි, ගණ දෙවියෝ. ඝන කියන්නේ solid/cubic යන අර්ථයෙන්.

    මේ ගුරුවරිය, ළමා මනසට ගැලපෙන, හොඳ සම්‍යක් ප්‍රයෝගයක් කර තිබෙනවා.

    ReplyDelete
  6. මම තුමා දැන් වගේම ඒ දවස් වලත් හරිම අහිංසක ධාර්මික දරුවෙක්. අවුරුදු 35කට හොරකම් කරලා තියෙන්නේ එක අතක ඇඟිලි ගානටත් අඩුවෙන් (වෙන්න ඇති ). මේ ලියවිල්ලෙන් මම තුමා කුඩා කාලේ කරපු හොරකමක් මතක් වුනා සහ පළමු වරට පාපොච්චාරණය කරන්න හිතුනා.

    කලිනුත් කිව්වනේ මම එහෙම පුරුද්දක් හැටියට හොරකම් කරන ළමයෙක් නොවේය කියල. ඔහොම දැහැමෙන් සෙමෙන් කාලය ගත කරන කොට, පන්තියේ එක ළමයෙකුට ලස්සන අමුතු තීන්ත පෑනක් හම්බ වෙලා තිබුනා. ඔය වගේ එකක් අරං දෙන්න කියල ගෙදරදී කරදර කරලා ෂොපින් ගියත් එහෙම ඒවා කඩේ නෑ. ඉතිං ටික දවසක් යන කොට මගේ තෘෂ්ණාව වැඩි වෙලා අර පැන හොරකම් කලා.

    ටික වෙලාවකින් ලොකු කලබලයක්. පැන හොයා ගන්න බැරිව අයිතිකාරයා පළමු පැමිණිල්ල කළා. පන්තිභාර ගුරුතුමී මැදිහත් වෙලා හෙව්වත් හම්බ වුනේ නෑ. අයිතිකාරයටවත් , ගුරුතුමීටවත්, කාටවත් අහිංසක සූටි එකා ගැන සැකයක් ආවේ නෑ. බෑග් වල එහෙම හෙව්වත් හම්බ වුනේ නෑ. මොකද හොරකම් පුරුදු නැති අහිංසක හොරා ඉක්මනට පෑන රහසිගත ප්‍රදේශයක සඟවා ගැනීම නිසා.

    තවත් පැය කීපයක් ගියා. අයිතිකාරයා ගිහින් ලොකු අම්මව, ඒ කියන්නේ පාසලේ නියෝජ්‍ය විදුහල්පතිනිය එක්කරගෙන ආවා. උන්දැ හරිම වසයි. හොරා බය වුනා. නමුත් අහිංසක ආධුනික හොරා දිගටම සූක්ෂම වුනා. අයිතිකාරයා ළඟටම ගිහින් කාටවත් නොදැනෙන්න පෑන බිම තියලා එන්න හොරාට පුළුවන් වුනා.

    නියෝජ්‍ය විදුහල්පතිනිය ඥාති පුතාට සැර දාල යන්න ගියා. ඒ පුතයි පංති භාර ගුරුතුමියයි ලොකු අපහසුතාවකට පත් වෙන්න ඇති. ඒ දෙන්නම සහ සුද්දෙන් දන්නවා කලින් පෑනක් එතන තිබුනේ නෑ කියන එක.

    කොහොමින් කොහොම හරි මේ වෙන කොට අයිතිකාරයා දේශපාලනඥයෙක්. තව අවුරුදු කීපයකින් පාර්ලිමේන්තුවට එන්න, ඇමතිකමක් ගන්න එහෙම වුනත් බැරි නෑ. එහෙම වුනොත් මට කියන්න පුළුවන්, මම මෙහෙම හිටියට අහවල් තුමාගෙ බඩුවකුත් හොරකම් කරලා තියේ ය කියලා..

    ReplyDelete
  7. හොරා අල්ලන්න වද වෙනකන් පාඩුව වෙච්ච ලමයව ශේප් කලානං නරකද? මට 3 පන්තියෙදි ඔහොම වැඩක් උනා. මම ටිචර්ට දෙපාරක් කම්පේලේන් කලත් ටිචර් නඩු ඇහුවෙ නෑ

    ReplyDelete
  8. අපේ ටීචර්ස්ල කියන්නෙ හොරා ඉදිරිපත් නොවුණොත් ආයෙ පන්තිය පැත්ත පලාතෙ එන්නෑ. ඔක්කොමල්ල එක්ක තරහයි කියල

    ReplyDelete
  9. /ඝන දෙවියෝ නෙවෙයි, ගණ දෙවියෝ. ඝන කියන්නේ solid/cubic යන අර්ථයෙන්./

    තව තියෙනව විචා...:)

    /ඉඹේ/

    ReplyDelete
  10. /කාගෙක් ඉරටු කෑලි කලින් ගානටම තියෙද්දි , එක ළමයෙක්ගෙ අතේ තිබ්බ ඉරටු කෑල්ල විතරක් තිබ්බට වඩා .... කොට වෙලා./

    ටීචර් වැරැද්දක් කරල තියනව.කලින්ම කියන්න ඕන ඉරටු කෑලිවල දිග. අඟල් පහද හයද කීයද කියල.වැරදිකාරය ඔලුව පාවිච්චි කරල මෙහෙම කිව්වනං ටීචර් අඤ්ඤකොරොස්....:)

    "මම ඇරෙන්න ඉතුරු ඔක්කෝගෙම ඉරටු දිගයි. ඒ කියන්නෙ ටීචර් මේ කට්ටියම එකතුවෙලා තමයි පැන්සල කඩල තියෙන්නෙ"

    ReplyDelete
  11. තනි තනියෙන් ප්‍රශ්න කරන එක තරම් භයානක දෙයක් තවත් නෑ.අනිවා බඩු මාට්ටු වෙනවා.
    ජයවේවා..!!

    ReplyDelete
  12. මේ කතා ලොකු අයටත් වලංගුයි භාවිතා නොකරනවා මිසක්.. :) :)

    ReplyDelete
  13. පොඩි එවුන්ට හින්දා ඉතින් ඕවා අවුලක් නෑ. ලොකු එවුන් අල්ලන්න නම් ඕවා බෑ. උන් අනික් එකෙක්ගේ ඉරට්ට කඩලා බලාගෙන ඉදීවි..

    ReplyDelete
  14. ගුරුතරුව මතක් වුණා. නුඹ නම් සැබෑම ගුරුවරියක්...

    ReplyDelete
  15. මේ බ්ලොග් එකේ කමෙන්ට්ස් වලට පිළිතුරු දීමේ පහසුකම සකස්කර දෙනමෙන්, ඉතා කාරුණිකව ඉල්ලනවා.

    මා හිතනවා, වඩාත් සරල ටෙම්ප්ලේට් එකක් දැම්මානම්, ඒ පහසුකම ඉබේම හිමිවෙයි කියා.

    ReplyDelete
  16. අම්මප තාම මේවට අහුවෙන ලමයිනුත් ඉන්නව එහෙනම් ඈ.. හොඳයි හොඳයි ටීචගේ ගණදෙවි නුවන

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...