..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Saturday, May 14, 2016

සාක්ෂරතාව

සාක්ෂරතාව




පාසලේ අවසන් කාලච්ඡේදයයි. මා හට නියමිත කාලච්ඡේදයක් නොවූ හෙයින් එදින පාසල් නොපැමිණි ගුරුවරියකගේ කාලච්ඡේදවක් ආවරණය කිරීම සඳහා මට පැවරී තිබුණි. එවන් කාලච්ඡේද හඳුන්වනු ලබන්නේ “සහන කාලච්ඡේද“  යනුවෙනි. 

ඒ සඳහා මට ලැබී තිබුනේ හය වන ශ්‍රේණියේ පන්තියකි. හය පන්ති සඳහා යාමට පාසල දෙකට බෙදමින් දිවයන අලුතින් සෑදු කාපට් පාරේ කහ ඉරෙන් පැන එහා පසට යා යුතු විය. 

මා එහි යන විට ද විනාඩි කිහිපයක් ගත ව තිබූ අතර ළමයින් ඔවුන්ගේ ලෝක වල බරටම වැඩය. ලොකු පන්ති වලට උගන්වන ගුරුවරියකගේ පැමිණිම හයේ ළමයින් සිත ඇති කරන්නේ ගෞරවය මුසු කුතුහලාත්මක බැල්මකි. එබැවින් ඔවුන්ගේ උණුසුම් පිළිගැනීම මට කවදත් හිමි වේ.

අවසන් කාලච්ඡේදය බැවින් ඔවුන්ගේ නිදහස සීමා කිරීමට නොසිතූ අතර මා ද ගුරු පුටුවට වී ඔවුන්ගේ වැඩ කටයුතු දෙස බලා සිටියේ කොයි වේලාවක හෝ යම් අකටයුත්තක් සිදු වීමට යතොත් ඔවුන් එයින් මුදවා ගැනීම මා සතු වගකීමක් බැවිනි.

පිරිමි ළමයි තුන් හතර දෙනා බැගින් කණ්ඩායම් වී විවිධ සෙල්ලම් කරති. විටෙක වරින් වර “ ටීචර් කසුන් පෑන ගත්තා “ “ ටීචර් සුපුන් අපට ඉන්න දෙන්නෑ “ “ ටීචර් මෙයා කුණුහරුප කියනවා “ වැනි පැමිණිලි ලැබෙන්නේ ගැහැණු ළමුන්ගෙන් පමණි.

මේ සියල්ලන් අතර එක් පිරිමි ළමයෙකු පමණක් පෙළ පොතක් පෙරලා ගෙන අභ්‍යාස පොතේ විග විගහින් යමක් ලියමින් සිටියි.

පෙනුම අවිහිංසකය. සුදු ඇදුම කහ ගැසී ඇති අතර මතක ඇති කාලයක ඉස්තිරික්ක පහසක් ලැබී නැත. බොත්තම් කිහිපයක් ගැලවී ඇති අතර බොත්තම් නැති අඩුව කොහොමින් හෝ සපුරා කමිසය පියවා ඇත. 

“ පුතා .... අර අන්තිම පේළියට ඉස්සරහ ඉන්න ළමයා මොනා ද ලියන්නේ ? “ 

“ ඒ අයියා සෞඛ්‍ය ලියනවා “

“ ඉතින් ඔයාලට නැද්ද ලියන්න ?“

“ අපි ඒවා ලියල පෙන්නුවා. එයා ලියපුවා ඔක්කම වැරදි .ඒ නිසා අපහු ලියනවා “


“එයාට එන්න කියන්න පොතුත් අරන් මෙතනට “

ඊළඟ තත්පරයේ ඔහු ගුරු මේසය මත පෙළ පොතත් අභ්‍යාස පොතත් තබා මා දෙස බලා සිටියි.

මම ඔහුගේ ලියන පොත පිරික්සුවෙමි. පෙළ පොතෙහි ඇති ප්‍රශ්න සියල්ලම එලෙසින්ම සටහන් කර පිළිතුරු ලිවීමට ඉඩ තබා ඇත.

“ මිනිසාගේ මූලික අවශ්‍යතා තුන මොනවා ද?  ඉතින් ඇයි මේ ඉඩ තියලා.උත්තර ලියන්නෙ නැද්ද.

“ දැන්නෑ ටීච“

“ මට කියන්න මොනව ද අපිට ජීවත් වෙන්න ඉස්සරෝම ඕනි වෙන්නෙ කියලා....... එතනින් ඇරඹි පාඩම මා ඔහු වෙත තේරුම් කර දී අවසානයේ දී 


“ ඉතින් දැන් ලියන්න උත්තර “ යැයි පැවසුවෙමි.

“ ටීච මම අතනට ගිහින් ලියන්නම් “

ඔහු ට පන්තිය තුල හිමි ඔහුගේ අවකාශය වෙත ගිය ඔහු පසු පසින්ම ටික වේලාකින් මාද සිට ගත්තෙමි.

ඔහු පිළිතුරු අමුණයි.....නමුත් අකුරු ලියන්නේ අපහසුවෙනි.... අකුරු වල කොටස්  කොහේ හෝ හැලී ඇත.

අහර , වතය , ජලය 

මා ඔහු නිවරදි කිරීමට නොගියෙමි. මා උගන්වන ලොකු පන්ති වල ඇතැම් දරුවන්ගේ ද මේ අකුරු ප්‍රශ්නය ඉදහිට හමුවන අතර විද්‍යා විෂයේ දී ලියා ඇති දේ කියවන මට වැටහේ නම් මම ලකුණු ලබා දීම සිදු කරමි. මා එසේ කරන්නේ ඔවුන් මහාචාර්යවරුන් කරනු නියාවෙන් නොව ඔවුන්ට හැගුන දේ මගේ සිතට ද පැහැදිලි නිසා ලකුණක් දෙකකින් හෝ ඔවුන් සිත තුටු වනු දැකීමට ඇති කැමැත්ත නිසා ය. ඔවුන් මා ඉගැන්වූ දේ අවබෝධ කර ගෙන ඇති නිසා ය. 

ඇතැම් අවස්ථා වල දී ඔවුන් ලියා ඇත්තේ නිවරදිම පිළිතුර නොවුනත් ඔවුන්ගේ කණට ඇසුනු ශබ්දය විදිහට බැව් මට හැගී ගිය එක් අවස්ථාවක සිට මම විසින් සෑම අමාරු වචනයක්ම නියමිත ලෙස කළු ලෑල්ලේ ලිවීමට පුරුදු වූයේ එදින සිටයි. බොහෝ දරුවන් විසින් “ අයියෝ ටීචර් ඕක ලියන්නත් ඕනෑද “ යැයි පැවසූව ද එසේ කිසිත් නොපවසා ලියා ගැනීමට නොහැකි දරුවන් ඔවුනතර නිහඩව සිටින බැව් මම දනිමි.

අදටත් බැංකුවට ගොඩ වූ විට මා මගේ රිසිට් පත හැරුනු කොට වෙනත් රිසිට් පත් අනුන් වෙනුවෙන් පුරවා දෙමි. එය බොහෝ විට වයසක සීයා කෙනෙකුගේ වන අතර ඇතැම් විට කණ්ණාඩිය ගෙන ඒමට අමතක වූ වැඩිහිටියෙකුගේය. සම්පූර්ණ කර අවසානයේ “මෙතනින් අත්සන් කරන්න “ යැයි පවසා එදෙස බලා සිටන මට ඔවුන් ඉතා අපහසුවෙන් වෙව්ලන ඇගිලි වලින් අත්සන් කරනු දැක මා සිත අතිශය කණගාටුවට පත් වේ.

දරුවන්ගේ නිල ඇදුම් වවුචර් බෙදා දීමට මෙවර පාසලට පැමිණිමට දෙමාපියන්ට සිදු වූ අතර එක් තරුණ මවක් මා ඉදිරිපිට සිට අත්සන් නොකර ඔහේ බලා සිටන අවස්ථාවේ දී වෙනත් මවක් නැගිට “ටීචර් එයාට අත්සන් කරන්න බෑ ටීචර් “ කියූ විටද මා හට දැනුන අපහසුව සහ සිත් වේදනාව හදුනා ගත් දෙවෙනි මව “ මම අත්සන් කරන්නම් ටීචර් එයා වෙනුවෙට “ යනුවෙන් ක්ෂනිකව ඉදිරිපත් විය.

වසර 11ක් පාසල් පැමිණ හරියට වාක්‍යයක් ලියා ගැනීමට බැරි දරුවෙකු ද මට හමු වී ඇත. 

යමෙකුට අකුරු බැරි වීම නිසා ඔහු හෝ ඇය පත්වන දැඩි අසරණ ස්වභාවය හදවතටම දැනුන චිත්‍රපටයක් මට නිතර සිහි වේ. එය ඉංග්‍රීසි චිත්‍රපටයක් වන “ද රීඩර් “ චිත්‍රපටයයි.


ගුරුවරියක ලෙසින් මා නිසා දරුවෙකුට අකුරු ලිවීමට බැරි වන්නේ නම් එය ආත්ම ගණනක් විදවීමට වන පාපයක් බව මට නිතර සිතේ. මක් නිසාද  යත් එය මූලික අවශ්‍යතා තරමට ම මිනිසාගේ ගැහෙන ජීවිතය හා සමීප බැවිනි.


මම
ඔබ ගැන තැවෙන ගුරුතුමී
සොඳුරු



14 ප්‍රතිචාර:

C.J. Vidanapathirana said...

ද රීඩ්ර් හරියට බලුවෙ තුන් වෙනි පාර..

ගනන් ගන්න එපා ටීචර් 7 පන්තියේඩිත් පංතියෙන් එලියට දම්මා පොත කියවන්න බේ කියල...


ජයවේව,,,උ

අඟහරුවා. said...

මේ ප්‍රශ්නය මට දහම්පාසලේදීත් දැනිලා තියනවා. ඒ නිසා මමත් දැන් ගොඩක් වචන බෝඩ් ඒකෙ ලියන්න පුරුදු වෙලා. අර උඩින්ම කියල තියන ලොකු පංති වල ටීචර් කෙනෙක් පහල පංතියකට ආවම තියන ගෞරවය නම් ඇත්ත. අපේ ඉස්කෝලේ නම් අපි කියන්නේ Acting දානවා කියලා.

Ravi said...

/ මා ඔහු නිවරදි කිරීමට නොගියෙමි. මා උගන්වන ලොකු පන්ති වල ඇතැම් දරුවන්ගේ ද මේ අකුරු ප්‍රශ්නය ඉදහිට හමුවන අතර විද්‍යා විෂයේ දී ලියා ඇති දේ කියවන මට වැටහේ නම් මම ලකුණු ලබා දීම සිදු කරමි. මා එසේ කරන්නේ ඔවුන් මහාචාර්යවරුන් කරනු නියාවෙන් නොව ඔවුන්ට හැගුන දේ මගේ සිතට ද පැහැදිලි නිසා ලකුණක් දෙකකින් හෝ ඔවුන් සිත තුටු වනු දැකීමට ඇති කැමැත්ත නිසා ය. ඔවුන් මා ඉගැන්වූ දේ අවබෝධ කර ගෙන ඇති නිසා ය. /

ඔයා කරන විදිහ හරි. කොහොමත් අවුරුදු ගානක් අතපහු වෙච්චි දේවල් එක මාසෙකින් දෙකකින් හරිගස්සන්ට අමාරුයි. අනික ලකුණු දෙන එකෙන් ඒදරුවා විෂයට තවත් උනන්දු වෙනව.

/ ඇතැම් අවස්ථා වල දී ඔවුන් ලියා ඇත්තේ නිවරදිම පිළිතුර නොවුනත් ඔවුන්ගේ කණට ඇසුනු ශබ්දය විදිහට බැව් මට හැගී ගිය එක් අවස්ථාවක සිට මම විසින් සෑම අමාරු වචනයක්ම නියමිත ලෙස කළු ලෑල්ලේ ලිවීමට පුරුදු වූයේ එදින සිටයි. /

බොහොම හොඳයි, බොහොම හොඳයි..මේ තරුණ නෝනා මහත්මිය ඇත්තටම ඉතාම උනන්දුවෙන් තම රාජකාරිය ඉටුකරන බව සක්සුදක්සේ පැහැදිලියි. මේ අධ්‍යයන වසර අවසානයේ ගුරු සේවයේ 11 අ ඛණ්ඩයට අන්තර්ග්‍රහණය කරන ලෙස නිර්දේශ කරමි.

තිසර said...

අම්ම උගන්වන පාසලේ විභාගයක උත්තර පත්තර බලන්න වරක් උදව් වුණා. තාල වාදන භාණ්ඩයක් නම් කරන්න තිබුණු තැනක ළමයෙක් ලියල තිබ්බ 'ඩෙස්ක් එක' කියලා... ඒක නිවැරදියි කියල පිළිගන්න තීරණය කලා...

JP said...

සොසි
ලජ්ජාවෙන් උනත් කියන්න වෙනවා, මේ යතාර්තය මානොදැන සිටි බව. ඔබ ගේ ක්‍රමය ගැන මොකුත් නොකීවොත් එයත් අඩුවක්. අඳුරට සාප නොකර එක එලියක් හෝ දැල්වීමයි වැදගත්.

kumara said...

ඔය අවුල ලංකාවෙ විතරක් තියන එකක් නෙමෙයි. පහුගිය සතියේ මේ කැන්ගරු දේසෙත් ඕක තියනවය අනෙක් දියුනු රටවල්වලට සාපේක්ශව කියල වහාම ඒ ගැන පියවර ගන්න තීරනය වුනා.මෙහෙ ගුරුවරයෙක් වෙන්න නම් ඩිග්‍රි එක අධ්‍යපනය ගැන කරල තියෙන්න හෝ( Primary Education/Secondry Education) Educatin Post Grad එකක් තියෙන්න ඕනැ.එහෙව් රටෙත් මහම නම් ලංකාව ගැන පුදුම වෙන්න ඕන නෑ. පහුගිය දවස්වල දැක්කා කට්ටියක් කියල තිබුන ඒගොල්ලන්ට කිසිම විභාගයක්,පුහුනුවක් නැතුව ගුරු පත්වීම් දෙන්න කියල.

kumara said...

ඔය අවුල ලංකාවෙ විතරක් තියන එකක් නෙමෙයි. පහුගිය සතියේ මේ කැන්ගරු දේසෙත් ඕක තියනවය අනෙක් දියුනු රටවල්වලට සාපේක්ශව කියල වහාම ඒ ගැන පියවර ගන්න තීරනය වුනා.මෙහෙ ගුරුවරයෙක් වෙන්න නම් ඩිග්‍රි එක අධ්‍යපනය ගැන කරල තියෙන්න හෝ( Primary Education/Secondary Education) Education Post Grad එකක් තියෙන්න ඕනැ.එහෙව් රටෙත් මෙහෙම නම් ලංකාව ගැන පුදුම වෙන්න ඕන නෑ. පහුගිය දවස්වල දැක්කා කට්ටියක් කියල තිබුන ඒගොල්ලන්ට කිසිම විභාගයක්,පුහුනුවක් නැතුව ගුරු පත්වීම් දෙන්න කියල.

Maathalan - Priyantha Hewage said...

උඹට පුළුවන්නම් ඔය දරුවට වෙනම හරි අකුරු ටික කියලා දියන්... අම්මට සිරි ලංකාවේ දෙමව්පියෝ දරුවෝ පාසල් එවන්නේ අකුරු ඉගෙන ගන්න... ඉතින් ඒකත් බැරි නම්....

Bindi said...

Taare Zameen Par
චිත්‍රපටය මතක් වුනා.

Dinesh said...

හැබැයි ඉතින් තව ඉස්සරහට යන්න යන්න තව දුර්වල වෙන්න බැරි නෑ. ඒ හන්දා හරි වැරදි හදාගන්න උදව් කරන්න කල් ගන්න එකත් හොදම නෑ අක්කේ.

පොකුරු වැහි said...

මම නම් හිතන්නේ දරුවෙක්ව වරදක් එක්ක ඉදිරියට යවනවාට වඩා හොඳයි, ඒ වරද නිසි තැනදීම නිවැරදි කිරීම. හිත් රිදවීමක් ඇති නොවන විදියට වරද නිවැරදි කිරීම තිබෙන්නේ එය නිවැරදි කරන්නා අතේ.

සිතූ said...

බැංකුවලදි එහෙම අනන්තවත් ඔය වගේ අය මුණ ගැහෙනවා නේද? වයසක අය නෙවෙයි.. තරුණ අයත් ඉන්නවා...

හංසි(swan) said...

මේ කතාව කියෙව්වට පස්සෙ මට The Reader ෆිල්ම් එක බලන්න හිතුන. අද බැලුව.ගොඩක් ලස්සන කතාවක්. මේ සටහනේ වගේ ළමයි අපේ කාලේ පන්ති වලත් හිටිය සමහර ගුරුවරු උගන්නන්න උත්සහ කළා තවත් අය අතැරලාම දැම්ම.

Dayal Bathee said...

Sri Lanka's 92% is one of the best in the world and highest in Asia. May be this boy is one from remaining 8% ha ha. Please help this boy.

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...