..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Saturday, April 23, 2016

හින්නි නෝනා

හින්නි නෝනා



ඔහෙල දන්නවැයි මගේ ගම මාතර දිස්ත්‍රික්කයේ අග්ගිස්සක තියන ගමක්. ගම කියන්නේ ඉපදුනු වෙලාවේ හිටපු ගම ද  නැතිනම් දෙමාපියන්ගෙ උරුමෙන් ලැබුන ගමද නැතිනම් තමා කුඩා කාලයේ දී ජීවත් වූ ගමද කියලා මට හරියටම හිතා ගන්න බැරිවා වගේම ඒ හැමදේම හිතා බැලුහම  මගේ ගම මොකක් දකියල කියනෙකත් හරිම සංකීර්ණයි.


“ මම දිස්තිරික්කේ අග්ගිස්සක තියෙන ගමක ඉස්කෝලෙක ඉන්න හින්නික් විතර දරුවොන්ට උගන්වන ගුරුතුමියක් තමා. මේ ගැන පෝස්ට් එකක් ෆේස් බුකි ගත කරපු වෙලාවක දී සමහර අයට ගැටළුවක් ආවා මොකක් ද මේ “හින්නික්තර “ කියන්නේ කියලා.


කොටින්ම අපේ ගෙදර ඉස්සරහ ගෙදර ඉන්න අන්කල් හවසට ගෙදර එන්නේ සිග්-සැක් ක්‍රෙම්ට. ඉතින් කවුරු හරි කීවොත් “ අද ටිකක් වැඩි වගේ “ කියලා අන්කල් ඇසක් පුංචි කරන ගමන් දකුණු අතේ මාපටගිල්ලයි දබරැගිල්ලයි ගොඩාක් කිට්ටු කරල ඇහැ ලඟට අරන් ගාණ හරිද බලල අනිත් කෙනාට අත දිගෑරල ඇඟිලි දෙක අතර පුංචි පරතරය පෙන්වන ගමන්  කියන්නේ “ පිස්සුයැ මම මේ හින්නික් විතර ගත්තේ “ කියලා. කොටින්ම වීදුරුවේ අඩිය වත් වැහෙන්න අරන් නැහැ ඒ කියන්නේ.

ඔහෙල අහල තියේ ද මන්දා “ ලණ්න දිගේ හින්නො යනෝ “ කියල කතාවක්. ඒ වගේම ඔහෙල දන්නවද දන්නෑ මේ අහා හැම ගෙදරකම වගේ ඉන්නවා “හින්නි නෝනා “ කෙනෙක්  එහෙමත් නැත්තම් “හින්නි මහත්තය“ කෙනෙක්

ගෙදර ඉන්න පුංචිම එකී කොච්චර ලොකු උනත් “හින්නි නෝනා“ . සමහරු ආදරේට “හින්නි “ කියලත් කියනෝ.

ඔහෙලට තේරෙනවද මන්දා , ඇහැක් නම් මේවා තේරුම් ගන්න බලන්න හින්නික් විතර අඩික් ගහල කටකමිස්සිරියාව ට දොඩවන්නෙ නැතිව පැත්තක් අල්ලන් ඔහේ බලාගත්තතේ ඉන්න ඈයෝ දැන් අපේ අහා ඇත්තෙම නැති තරම්.


මේ අහා ඉන්න හින්නි නෝනලට කටට රසට වගේම කටට සැරටත් උයන්න පුළුවන්.ආන්න ඒ නිසා තමා හඳේ ගියත් “මාතර හෝටලය“ ක් තියෙන්නේ.

කටට රසට සැරට උයන්න විතරක් නෙමේ හින්නි නෝනල හදවත පැලෙන්න ආදරය කරන්නත් ඉස්තරම් හරිය.


මාතර අහා ඉන්න හින්නි නංගි

මම

වත්සලා

19 comments:

  1. මාතර ජනවහර සහ වෙනත් කටයුතු ගැන දැනගන්න ලියවුනු හොදම පොත තමා සමරසිංහ ගුණසේකර මහතාගේ් "අපේ ගම මාතර" පොත

    ReplyDelete
  2. කටට රසට සැරට උයන්න පුළුවන් එක නම් මරැ...අම්මපා අපේ අයියෙක්වත් නෑනේ ටීචර්ව නෑනා කර ගන්න ;)

    ReplyDelete
  3. හිච්චි නගේ හිච්චි නගේ..

    ඔහේල පොල් ඔයනවා කියල අර මාරයා නං කාලෙකට කලින් කිව්වා..

    ReplyDelete
  4. ඇත්තටම මොකද්ද ඔය ලන්න දිගේ හින්නෝ යනෝ කියන්නේ? මම හිතන් හිටියේ ඒක මොකක් හරි කුනුහරුපයක් කියල :D

    නාලක මල්ලි

    ReplyDelete
  5. ඇයි ඔහෙලයි පැත්තෙ නේද හින්නාරං තියෙන්නෙත්

    ReplyDelete
  6. ඇයි ඔහෙලයි පැත්තෙ නේද හින්නාරං තියෙන්නෙත්

    ReplyDelete
  7. අපේ මල්ලි "හින්නි පුතා" නංගි "හින්නි දූ" මම "ලොක්කා"

    ඒ කාළේ අපේ ගෙදරට කිරි ගේන කිරි මාමත් "ලොක්කා"... ඒ යකා තනිකර දොන් සිරිසේන... ඒ නිසා කියලා කියලා "ලොක්කා" කියන එක නවත්ත ගත්තා... ඒත් තාමත් ගියාම සද්දේ ඇහුනම අම්මගෙන අහන්නේ "ලොක්කා" ඇවිල්ලද කියලා...

    ReplyDelete
  8. හාපෝව්..බොලායෙ අහ දොඩන ආකාරෙ ගැන කතා කොරන්ට එපා.

    " පැටි නැන්දේ........ සාලුව හෝදල පනිට්ටුවෙම තියන්ටෙයි? නැහ්නං කකුස්ස ගාව වැලේ වනන්ටෙයි?"

    අපෙ ඉන්නව පැටි නැන්ද, පැටි මල්ලි, පැටි නංගි...නැත්තං නිකම්ම පැටී.....

    මම හිතන්නෙ අර සිංදුව ලියල තියෙන්නෙත් බොලයි අහ එකෙක්. " ලොකු නැන්ද එනව නැන්ද එනව අපේ දිහාවේ..කොන්ද නමල කන්ද නැඟල ලණ්ණ දිගේ උන්දැ එනව අපේ දිහාවෙ" එක්කො එහෙමයි නැහ්නං ලොකු නැන්ද කියන්නෙ හොඳම සෑම්පලේ සරකෙස් කාරියක්

    ReplyDelete
  9. ඔහෙලගෙ අහ බාසාව කලින්නම් අමුත්තක් තිබුනා.. දැන් නම් අහලම පුරුදු වෙලා..

    ReplyDelete
  10. දැන් හින්නු අයට සතුටු ඇති................

    ReplyDelete
  11. මේ වචනය මම නම් අසා ඇත්තේ හින්නිකිතර කියා ය. හින්නිකිතර කියන්නේ හින්නෙක් විතර කියන එක ය. දකුණේ හින්නා කියන්නේ කූඹියාට ය. හින්නිකිතර කියන්නේ කූමියෙක් විතර පුංචි කියන එක ය.

    ReplyDelete
  12. ඔහේ මාතරය වත්සලා අක්කෙ..? මං දවසක් දැක්ක ඔය වචනෙ පොතක හරි පත්තරේක හරි. හැබැයි හින්නිකිතර කියල තිබුණෙ. දවස් ගාණක් උඩ යට පෙරලල තමයි තේරුම හොයාගත්තෙ

    ReplyDelete
  13. ඔහේගෙ බ්ලොගයක් කියෙව්වෙ හෙන කාලෙකින්. ඒත් ඒක හින්නිකිතර නිසා දොඩන්නත් මොකක්ද වගේ උනා.

    ReplyDelete
  14. ඔය හින්නික්කිතර ලන්න දිගේ හින්නොන්ට වගේම කොඩෙයන්ටත් යන්න ඈකි..:D

    ReplyDelete
  15. ඔය මාතර කොනේ බාසාවනෙ ඔහේ කිව්වෙ. මාතර හින්නි කියන එක කලුතර-ගාල්ල මායිම ට එනකොට හිච්චි වෙනව මයෙ හිතේ. හිච්චි මාම, හිච්චි පුතා, හිච්චි දුව, හිච්චි සීය අපේ පැත්තෙ ඉන්නව.

    හින්නි නෝනා කියල පෝස්ට් එකේ නම තිබුනම මං හිතුවෙ අපේ ආච්චිගැන කව්රුහරි ලියල කියලනෙ. උන්දැගෙ ඔරිජිනල්ම නමත් හින්නි නෝනා.

    ReplyDelete
  16. ඇහැක් විදිහකට කනක් අඳින්නයි, අන්න පිජ් එකේ කෑම ඇත. ඇහැක් නම් කන්න බැරිනම් වහ දාන්නයි දන්නවද?

    ReplyDelete
  17. අපේ ගෙදරත් ඉන්නවා හිච්චි මහත්තයෙක්. ඒ අපේ තාත්තා.. :) තාත්තා නම් අකුරැස්සෙ.. ටීච්ර්ලගෙ ගමත් ඒ කිට්ටුවද??

    ReplyDelete
  18. අපේ ගමේ හිටියා හින්නි මාමා,,, හින්නි ලොකුඅම්මා ඒ වගේ කට්ටිය... මගේ අලුත්ම බ්ලොග් පොස්ට් එකේ තියෙනවා හින්නි ලොකු අම්මා ගැන .. එයාගේ නම හින්නිහාමිනේ

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...