..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Wednesday, April 6, 2016

සුන්දර දෙඩවිල්ල

දෙඩවිල්ල



ටීචර් රස්සාවට එන්න කලින් මම රජයේ කාර්යාලයක ලිපිකාරිණියක්.

ගුරු විභාගේ පාස් වෙලා ගුරු පත්වීමක් හම්බෙලා , වැඩ කරපු කාර්යාලයේ සඟයන්ට සමුදෙද්දි ඒ අය ගොඩක් දෙනා මට කීවේ “ අනේ මන්දා ඔයා ළමයිට කටක් ඇරල උගන්වයිද දන්නෑ “ කියලයි. මොකද කියනවා නම් ඒ වෙද්දි ඒ කාර්යාලයේ දවසට අඩුවෙන්ම වචන කතා කරපු ගැහැණු කෙනා මම යි.



ගැහැණුන්ටම උරුම වෙච්චි , ගැහැණූ ගතියක් වෙච්චි ඔහේ දිගටම කියවන එක එහෙමත් නැත්තම් දොඩවන එක මට පිහිටලාම තිබ්බෙ නැති තරම්. ගැහැණුන්ට කියවන්න මෙච්චර දේවල් කොහෙන්ද කියනෙක ඒ කාලෙ මටත් හරියට ගැටළුවක් උනා. කියවන්න පටන් ගන්නා දෙයින් වෙනත් වෙනත් මාර්ග දිගේ හැරෙමින් පෙරෙලෙමින් කතාව ඔහේ ඇදී යන නිසා කතාව පටන් ගත්ත අරමුණ කවදාවත් ඉටු වුනේ නැහැ වගේම ඒ ගැන එයාල දුක් වුනේ වත් ඒ ගැන එයාලට මතක තිබ්බෙවත් නැති බව දැනෙන්නේ අනිත් දවසෙත් එයාලගේ කතාවට කලින් දවසේ කතා කරපුවා ආයෙ ආයෙත් සම්බන්ධ වෙන නිසා.


මේ සුන්දර ගැහැණු දෙඩවිල්ල නැති නිසා මට වෙච්චි අසාධාරණ නම් බොහෝමයි.

මංගල යෝජනා වල මනමාලයෝ මාව බලන්න එද්දි එයාල එක්ක වැඩිය කතා නොකරනවා කියලා මට නිතර නිතර දෝසාරොප්න එන්න පටන් ගත්තා. “ ගෑණු ළමය නම් හොදා කතා කරන්නේ නැහැ නේ “  ඒ එන ප්‍රධාන දෝශාරොපණ වලින් එකක්.

 පිරිමි ගැහැණූන්ගේ මේ සුන්දර දෙඩවිල්ලට කැමති වෙන්නේ පෙම්වතිය විදිහට ඇයව දකින කාලෙදි විතරයි කියලයි මට හිතෙන්නේ... කණට මී පැණි වක්කරනවා වගේ මිහිරියි. බලා ඉන්න ආසා හිතෙන තරම් සුන්දරයි. නමුත් . ඉන් පස්සේ විවාහය තුල දි මේ සුන්දර දෙඩවිල්ල “කණ්කරච්චලයක් “ බවට දකින්නෙත් පිරිමින්මයි. එහෙව් පිරිමි සොයන්න ඕනි වැඩිය කතා බහ නොකරන ගැහැණූ නෙමෙයි ද?

ඉස්කෝල රස්සාව හම්බුනාට පස්සේ “දොඩවන්නේ කොහොමද “ කියල මට අමුතුවෙන් ඉගෙන ගන්න ඕනි වුනේ නැහැ. ඒ මොකද කියනවා නම් මම උගන්නපු හැම පන්තියකම වාගේ කටට නිවනක් නැතිව කතා කරන්න පුරුදු වෙච්චි පිරිමි ළමයි හිටියා.

ඒ ළමයි ගේ කියවිල්ලෙ තරමටම මගේ පිළීතුරු දීමත් සංවර්ධනය වුන නිසා පන්ති කාමරය ඇතුලෙදි මගේ දෙඩවිල්ලත් නරකම වුනේ නැහැ.

ඉස්කෝල පන්ති වල දි නම් දෙඩවිල්ල වැඩිම “චැටර් බොක්ස්ල “ වෙන්නේ පිරිමි ළමෝ. පිරිමි ළමයි ඒකට කප් එක ගහල ඉන්නේ. කෙල්ලන්ට උන් එක්ක හැරෙන් තියා හිතන්නවත් බැහැ.

මට මතකයි දහයේ පන්තියේ චැටර් බොක්ස් එක වෙච්චි ඉෂාරගේ කතාව නවත්තන්න හිතන් මට ඉෂාර එක්ක ඔට්ටුවක් අල්ලන්නත් වුනා. මම උගන්වන පීරියඩ් එකේ දි අදාළ නොවන දෙයකට කට නෑර හිටියොත් කොල්ලට මම ගානේ චොකලට් එකක් . පන්තියෙ ළමයි නම් කීවේ ඉෂාර වැඩි වෙලාවක් නොයා පරාද වෙනවා කියලයි. ඒත් මට නම් හිතුනේ මම පරාද වෙන්න යනවා කියලයි. අන්තිම මොහොතේ අන්තිම තත්පරේ බෙල් එක ගහන්න කලින් උඩින් ගියපු ඉබ්බා වගේ ඉෂාරට බැරි වුනා කට වහන් ඉන්න........ ඒ  තරමට ඒ වයසෙ දි පිරිමි ළමයි දොඩවන්නෝ වෙලා ඉන්නවා..........


ඒ වගේම ලොකු උස් මහත වෙච්චි තලස්තෑනි ඇතැම් පිරිමිත් දොඩවන්න ගියාම ඉවරයක් නැති වෙලාවල් තියනවා 

මෙතන දි මට මතක් වෙනවා මට හමුවුනු නන්ස්ටොප් කියවන කතාකාරයෙක්ව .....කොටින්ම කතාව මෙන්න මෙහෙමයි.

“ඔයා හරිම අඩුවෙන් කතා කරන්නේ.හැබැයි මම කැමති හැමවෙලේම දොඩවන කෙල්ලෙක්ට.ඔයාට කියන්න...මම කලින් යාළුවෙලා හිටියා කෙල්ලෙක් එක්ක.එයාගේ වැඩේම ඔහේ කියවන එක.එයා කියවන දේවල් එකකට එකක් කොහොම සම්බන්ධ කරනව ද කියලා මට හිතා ගන්න බැහැ.ඒත් මම එයා කතා කරන දිහා පුදුමෙන් වගේ බලා ඉදල තියනවා. ඒක කොච්චර පුදුමයක් ද කියනවා නම්, සමහර වෙලාවට මට හිතෙනවා එයාගේ යටි හක්ක දැන් වැටෙයි දැන් වැටෙයි කියලා.....“


අන්න එතනදි මගේ නිහඬ බව බිදිල ගිහින් නවත්ත ගන්න බැරි හිනාවක් එළියට පැන්නා. පිරිමි කොච්චර කියෙව්වත් මේ වගේ කියවන පිරිමියෙක් මම නම් දැක්කමයි.

“ අනේ මට ඒ වචන ටික කොපි කර ගන්න දෙනව ද? “ පුලුවන් තරම් හිනා වුනාට පස්සේ මම එයාගෙන් ඇහුවා.

‍“මොන වචන ටික ද?“

“ අර ...යටි හක්ක දැන් වැටෙයි දැන් වැටෙයි කියල කීව ටික“

“හරි... ගන්න අනේ.ඒත් මොකටද ඔයා ඒවා කොපි කර ගන්නේ ?“

“ නෑ ..ඒ වචන මරු..මට හොඳයි ඒ ටික ලියන්න ගන්න“

“ ගන්න අනේ ගන්න......... මම කොහොමත් ඔයවගේ කතා ගොඩාක් ඔෆිස් එකේ දි කියනවා...............“

එයා ආයෙමත් දිගටම දොඩවන්න ගත්තා.... මම ඒ කටින් හැලෙන හැම වචනයක්ම අහුල න්න ගත්තේ ඒ සමහර වචන ඇත්තටම ගැහැණියක්ව හිනස්සන්න පුලුවන් වචන නිසා. ඔහු කවුද කින්ද මන්ද මම දන්නැති වුනත් මට ඒ වෙලාවේ ඕනි වෙලා තිබ්බේ සතුටින් ඉන්න විතරමයි.


ඔන්න ඕකයි ඒ කතාව..................

මුලදි කීවා වගේ මම බොහොම අඩුවෙන් කතා කරන කෙනෙක් වුනත් ඒකටත් එක්ක හරියන්න මගේ කතා කරන්නේ ඇගිලි අග්ගිසි තමා......................................

හිතේ නලියන නමුත් කටින් වචන වෙලා එළියට නොඑන ගොඩාක් දේවල් කඳුළු වෙලා හරි ලියවිල්ලක් වෙලා හරි මේ විදිහට එළියට එනේකෙත් ගතියක් නැත්තෙම නැහැ නේද......


නිහඩ බව අගයන
නිහඬ 
මම
෴ සොඳුරු සිත ෴

17 ප්‍රතිචාර:

jay-c z said...

කොහොම උනත් අකුරු වලින් කරපු මේ දෙඩවිල්ල නම් අපුරුයි.

අටම්පහුර said...

අකුරු පොඩියි කියවනකොට ඇස් රිදෙනවා

Sanjaya Srikanth said...

@අටම්පහුර

අකුරු නම් සෑහෙන පොඩියි තමා. මට මතක් වුනේ ටැබූගේ බ්ලොග් එක. මේ අකුරු නම් ඊටත් වඩා පොඩියි.

@සොඳුරු සිත

මම නම් අහල තියෙන්නේ ඔය මංගල යෝජනා වලදි මනාලයො එහෙම බලන්න ආවම ගෑණු ළමයි හිතලම නිශ්ශබ්දව හරිම විනීත විදියට ඉන්නව කියල. මොකද ගොඩක් පිරිමි අය කියවන ගෑණු ළමයින්ට අකමැති වෙන නිසා. පළවෙනි දවසෙම මෙහෙම කියවනව නම් මෙහෙම ගෑණු ආම්බාං කරන්නේ කොහොමද කියල හිතනව වෙන්න ඇති (මම දන්නෙ නෑ, මොකද මට එහෙම අත්දැකීම් නැති නිසා).

නිශ්ශබ්දව ඉන්නවා කියන්නේ ඒකෙන් කියවෙන අනිත් දේ තමයි හොඳ ඇහුම්කන්දෙන්නෙක් කියන එක. ගොඩක් අය කතා කරනව විතරයි, අනිත් කෙනාට ඇහුම්කන් දෙන්නෙ නෑ. මමත් වක්කඩේ ඇරලා වගේ කියෙව්වට වෙන කෙනෙක් කතා කරද්දි නම් ඉඩ දීලා අහන් ඉන්නවා. විශේෂයෙන්ම ඒ අයගේ ප්‍රශ්න කියද්දි. ඒ නිසා වෙන්න ඇති ගොඩක් අය ඒ අයගේ දුක්ගැනවිලි, රහස් එහෙම මා එක්ක හරියට කියනවා. මම ඇහුම්කන් දෙන නිසයි තැනින් තැන කියන්නෙ නැති නිසයි වෙන්නැති.

ඔයාගේ නිහඬ බව බ්ලොග් ලිවිල්ලෙන් හරි බිඳින එක හොඳයි. ජය !

MPP Gunasinghe said...

මේ අපූරු පෝස්ටුවේ අකරු කියවන්න අටම් කිව්ව වගේ වයසක මටත් අමාරු උනා. අකුරු තව පොඩ්ඩක් ලොකු කරනෝ

කිඹුලී said...

සොදුරැ අක්කා අනේ දිගටම ලියමු ... මේ වචන හරි ලෙන්ගතුයි....

ගල්මල්-Coral said...

දුවන අතැඟිලි කරන වචන කරන දෙඩවිල්ල සොඳුරුය

ලේ පාට හීන said...

බෙහෙවින් සුන්දර අකුරු ඇමුණුමක්.. පෙම්වතිය කාලෙ කියවිල්ල ගැනනම් අත්දැකීම් තියනව. මට බොහොම උද්යෝගිමත් අසන්නෙකුත් ඉන්නව. පෙම්වතී අයිති කරගත්තු දාටත් ඔහු ඒ විදියටම ඇහුම්කන් දෙයිද කියලනං මටත් සැකයි සොඳුරු සිතැත්තී...

Upul Nishantha said...

දෙඩවිල්ල නැති ගෑණු පරාණයක් දැක්කමයි

වැසි දැරිය - The Rain Girl said...

පිරුණු කලේ දිය නොසැලේ කියලත් කතාවක් තියනව නොවැ..))

Sula (සුලා) said...

හම්මේ සොසියගේ දෙඩවිල්ල අවසන වෙනකම්ම අහන් හිටියා........

සිතුවිලි සිතූ said...

අකුරු ටිකක් ලොකු කරන්නකෝ අක්කෙ.. හරිම ආසාවෙන් කියවන බ්ලොග් එකක් මේක..

Lalith perera said...

සමහරු කියවනකොට අහගෙන ඉන්ඩ ආසයි, ටීචර්ලා ගොඩදෙනෙක් කියවන්ඩ දක්ෂයි...

පිලේ පැදුර said...

අවුරුදු 7ක් තිස්සෙ උඹ මේ දොඩවන දෙඩවිල්ලම මදෑ...

ඇත්තටම කියනව නම් මට නම් ඔය දෙඩවිලි නැති උනාමයි පාළු..
අපි ඒකට කියන්නෙ "ගිරා කතා" කියලා..
ඔය ගිරා කතා සෙෂන් එකක් පටන් ගත්තම ආයෙ ඉවරවෙන වෙලාව මම දන්නෙත් නෑ උන්දෑ දන්නෙත් නෑ...
සමහර වෙලාවට තරහවෙලා තමයි ඉවර වෙන්නෙ....
ඊට පස්සෙ මම ගිරව වෙනව... කියවල කියවල තමයි ගොඩදාගන්නෙ ආපහු...

Dayal Bathee said...

මන් හිතන්නේ ඔබ තනිකම අගයකරනවා හැම දේටම වඩා.

Thilaka Sitha said...

සොඳුරුයි. මේක කියවලා මටත් කෙනෙක් මතක් වුනා. ආන් ලිව්වා

මෙතූ said...

අදයි මේ පැත්තේ ආවෙ .

නිහඬ බව අගය කළ සොඳුරු සිත නිහඬවම අකුරු කළ සොඳුරු දෙඩවිල්ල සොඳුරුයි සත්තකින්ම ....

රූ.... said...

සොඳුරු සිතේ නිහඬ බව මේ වගේ ලියවිිලිවලින් බිඳෙන එක හොඳයි ඒත් කඳුලකින් බිඳෙන එක නම් දුකයි.. මේ ලියවිලිවල ලස්සන තියෙන්නේ ගොඩක් වෙලාවට පේලි අතරිනුත් කතාවක් කියැවෙන නිසා..එතකොට එක ලියැවිල්ලකින් කතා ගොඩයි..

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...