..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Sunday, January 10, 2016

කොස් කතාව


 කොස් කතාව 





කොස් කියන්නේ , වතුර දාලා තැම්බුවත් , පොල් දාලා මැලෙව්වත් , කිරි දාලා ඉවුවත් ඉතා රසවත් කෑමක්. මස් හොදි වැනි පොශ් හොද්දක් සමඟත් කිරි හොඳි වැනි දුගී හොද්දක් සමඟත් යහමින් ගැලපෙන කොස් කෑවිට ගැහැණුන්ගේ පස්ස ආරා එන බව පවසයි. කොස් කැමටත් වඩා රසවත් වන්නේ කොස් කැඩීමත් , කෑමට සුදුසු ලෙස කොස් පිළියල කර ගැනීමේත් ක්‍රියාවලියයි.

ගොඩාක් වෙලාවට අපේ ගෙදර කොස් කන්නෙ කාටත් නිවාඩු දවසට. මොකද එදාට කවුරුත් ගෙදර ඉන්නවා. ඒ වගේම කොස් කඩන්න , කොස් සුද්ද කරන්න අවශ්‍ය මිනිස් ශ්‍රම බලකායත් එදාට ගෙදර ඉන්නවා.

ඉතින් ඉස්සරෝම කට්ටිය කතා වෙලා කෙක්කක් එහෙම බැදන් වත්ත පහළ කොස් ගහක් ගානේ යනවා හොඳ පැහිච්චි කොස් ගෙඩියක් හොයා ගන්න. පලපුරුද්දෙන් අපි දන්නවා රස කොස් ගස් මොනාද කියලා. කොස් තිබ්බ පලියට හැම කොස් ගහකම කොස් රසවත් නැහැ. ඒ නිසා ඉස්සෙල්ලම අපේ විපරමට අහුවෙන්නේ රස කොස් ගහ.

හොයා ගත්ත කොස් ගෙඩිය කඩලා පිහියෙන් චුට්ටක් හිල් කරල බලනවා ගෙඩිය පැහිල ද කියලා. ඊට පස්සේ කොස් ගෙඩිය අරන් ඇවිත් දෙකට කපලා ආයෙ කොටස් වලට කපලා අරන් අතට හරියන පොඩි කොටස් වලට කැපුනට පස්සේ කොස් වහල්ල කපලා දාලා කොස් මදුලු ගලවන්න ගන්නවා.

මේ හැමදේටම හරහට ඉන්න කොහොල්ල නොගාව ගෙන වැඩ කරන ක්‍රම සහ විධි වැඩිහිටියෝ කියා දෙන්නේ පොඩි කාලෙමයි. වතුර , පොල් තෙල් වගේම භුමිතෙලුත් ඒ වෙලාවට අපට උදව්වට එනව.

විශේෂ දෙයක් තමා භුමිතෙල් ගෑවුනත් වෙනත් කෑම වර්ග කන්න බැරි වුනාට කොස් වලට ඒ නීතිය බල නොපාන එක.

අනික තමා , අතේ තියන ජරාව ගෑවුනොත් මිස කොස් ආයෙ හෝදන්නවත් ඕනි නැතරම් පිරිසිදුයි. අහිතකර රසායන ද්‍රව්‍ය නම් ඇත්තමෙ නැහැනේ.

ඊට පස්සෙ මදුලු වල ඇට පන්නල මදුලු ටික ගාණකට කපා ගන්නවා. ඇට ටික අළු පොඩ්ඩක තවරල අරන් මිටියෙන් පොඩ්ඩක් තට්ටුවක් දාලා තලල පොතු අයින් කරල සෝදල අරන් කපපු මදුලුයි ඇට ටිකයි දාලා වතුරත් ටිකක් දාලා ලිපේ තියනවා.

සමහරු හරිම කැමති කොස් ඇට කන්න. හැබැයි ඉතින් කොස් ඇට කෑහම සමහරුන්ට අධෝ වාතය නිතර නිතර පිට කරන්න සිද්ධ වෙන එකනම් අතුරු විපාකයක් තමා.



හැබැයි ඉතින් කපන කපන ගානේ මදුලක් දෙකක් නෙමේ සැලකිය යුතු ගාණක් අමුවෙන්ම කටෙන් බඩට යනවා. ඒ වෙලාවට ආච්චි නම් කියන්නේ " දැන් ඉතින් මොකටද මේ ඉතිරි ටික උයන්නේ.ලුණු කැටයක් කාලා පස්සට ගිනිකූරක් ගැහුවනම් ඉවරයි " කියලා.




කඩේ තියෙන කොස් තියෙන්නේ සිවිඩි ඇරල සුද්ද කරල නෙමේ. ගෙඩිය පිටින් කපල කපල දාලා. තවත් සහරු මදුලු කපන්නෙම නැතිව තම්බල ගන්නවා.මම ඒ ක්‍රමයට කැමැතිම නැහැ.

කපපු මදුලු ටික වතුර දාලා තම්බල ගාණට ආහම කොච්චි දාලා අඹර ගත්ත පොල් ටික දාලා කූරු ගාලා ගන්න කොස් තමා මම ආසම කොස්....

මගේ පස්සෙත් ඒ හැටිම වරදක් නැත්තේ සමහර විට කොස් කන්න මේ තරම්ම ආස නිසා වෙන්නත් ඇති. ලස්සන හැඩ පස්සක් කියන්නෙ ඉතින් ගැහැණු කෙනෙක්ට ආභරණයක් නෙව.





කොස් කන්න ආස 
මම
සොඳුරු සිත

20 ප්‍රතිචාර:

ඉයන් said...

හොඳ වෙලාවට කොස් පිඟානෙ පින්තූරයක් දැම්මට පස්සේ පින්තූරයක් නොදැම්මේ. එහෙම වුනානම් 18+ පෝස්ට් එකක් වෙනව හැක්

ආචාර්ය Weerakoon said...

ඉදියප්ප තම්බන ස්ටිමරේට කොස් ටික දාල ලුණු වතුර තිකක් යටට දාලා තම්බල බලන්න රසෙහි ලොකු වෙනසක් තියෙනවා...ඊට පස්සේ නිවෙන්න කලින් පොලුයි අබරගත්ත කොච්චි එකතු කරන්න..කරෝල හෝඩි ටිකකුත් තිබ්බ නම් ගොඩේ ගොඩ

ගස් ලබ්බ said...

පුච්චපු කරවල/ඌරුමස්+තම්බපු කොස්/කිරිකොස්+සුදු බත්+නයිමිරිස් එක්ක කොච්චි සම්බෝල/පොල්
කැමති කම්බිනේශන් එකක් බුරුය උල් වනතෙක් කෑමට ගනු යෙහෙකි.
ජයවේවා..!!

පත්තර මල්ලි said...

හැච්බැක් + කොස් = සෙඩාන්

කුරුටු ගෑ ගී පවුර said...

කොස් කන්න ආස
මම
කුගෑගීප

අඟහරුවා. said...

ඔය කොස් වල ඉරි බදිනවා දන්නවද? ඒකත් රහයි. දවසක් අත්තම්මා හදල දුන්නා. අත්තම්මා හදන තව කෑමක් තමා කොස් ඇට බැදුම. ආය මොනවද උම්බලකඩ සම්බෝල් වගේ. බත් පිඟන් දෙකතුනකට වග කියන්න පුළුවන්.

විභීෂණ II said...

පොස්ට් එක කියෙව්වයින් පස්සේ ඔන්න් ඓතින් කෝස් කන්න ආසාවක් ආව...

දැන් හොයාපන්කෝ "රැස් කොස් "ගහක්.

අම්බලන්ගොඩ කථා said...

අපිට කොයින්ද දෙයියෝ කොස්... කොස් නැති අපිට කොස් පෙන්නලා පෙරේතකම වැඩි කරාට කොටියම කාපිය..

වීතරාගී said...

මමත් ආසම කෑමක් කොස්.... :)

Dinesh said...

හම්මේ, මෙවුවා කියවලා ඉතින් අපි අපේ හිත් රවට්ට ගන්න තමයි ඕන.

Mahesh Nishantha said...

කටට කෙළ උණන රසවත් සටහනක් , අවාසනාවට ටින් එකේ එක “කොස්“ හැරෙන්නට ගහෙන් කඩා ගත් අළුත් කොස් මදුලක රස බලන්න අපට ලැබෙන්නෙ නැති තරම් නමුත් මෙහෙම හරි රස විඳින්නට ඉඩක් දුන්නාට ස්තුතියි ඔබට

දේශක යා said...

කොස් ගැන අපි එක පාරක් බෝම බරසාරෙට කතා කරා හිරුකේ කොස් කෑමෙදි...

උපේක්ෂා said...

ඇයි කොස් ඇට වලින් හදන කළුපොල් මාළුව??? අර කිව්ව වාසිය ලැබෙනවා නම් මම මෙලහට.. හෙහ් හෙහ්...

රාජ් said...

කොස් වලට වැඩි කැමැත්තක් නෑ. කොස් කන කෙල්ලන්ට නං මනාපයි. මගේ කොස් කෑම තියෙන්නෙ ළපටි සහ මහළු කොස්.

තිසර said...

කිම් කාර්ඩෂියන් නෝනා දවසට තුන්වේලම කොස් ලු කන්නේ...

දුමී said...

අම්මේ, මගේ ප්‍රියතම කෑම තමයි කොස් තම්බලා, කට්ට කරෝල හොද්දකුයි, හොඳට කට දන තාලේ පොල් සම්බෝලෙකුයි. එහෙම හදපු දාට මම තුන් වේලටම කන්නේ කොස්.........!

දැන් කොස් කෑවම ගෑණුන්ගේ පස්ස ආරනවා වගේ පිරිමින්ගේ ආරන්නේ මොන අංගෙද ?

Maathalan - Priyantha Hewage said...

මාතලන් නම් ආසා කොස් කිරන වැඩේට...

අකීකරු මද්දුමයා said...

කොස් කිරලද උයන්න පටන් ගන්නේ නැත්නම් කොස් මැනලද...කොහොම උනත් පොඩි පහේ ස්වයං වෙළඳ ප්‍රචාරණයක් තියෙනවා කියල අන්තිම වාක්‍ය දෙක තුනෙන් හිතෙනවා...

ηiRσ said...

මගේ ආසම කෑම! ගම පළාතත් කොස් මාමගේ ඒරියා එක නේ.
සොසී ඉතින් මේ දවස්වල කොස් කිරනවද?

Buru Babe said...

මම කොස් කන්න ආසයි. ඒත් කෑවම පොඩ්ඩක් බඩ රිදෙන්න ගන්නවා. ඒක හින්දා අඩුවෙන් කන්න වෙලා තියෙනවා. ඒත් කොස් තම්බලා කරවල හොදි මගෙත් ආසම කෑමක්. මම හිතන්නේ කෑමටත් වඩා ඒක නොස්ටැල්ජ්ක් කෑමක් මට. පොලොස්, කොස් හා ලපටි කොස් නම් ( මම හිතන්නේ ඒවා හීනියට කපලා තෙල් දාලා ගන්නේ කොස් මැල්ලුම වෙන්න ඕනේ ඒ වගේ නමක් අපේ ගමේ කීවා වගේ මතකයි. අන්තිමට කෑවේ සෑහෙන කාලෙකට කලින්.) වරකා ඉතින් කොයි තරම් බඩ රිදුනත් කනවා එක මදුලක් හරි ගෙදර ගියාම.
තවමත් කොහොම හරි කොස් ගස් ගනණක් තිබුනත් එක කොස් ගෙඩියක් හරි රිළවුන්ගෙන් බේරගන අපිට කන්න ලැබෙන එකම මදිද? අපේ වත්තේ ගස් වල ගෙඩි හැම එකක්ම අපි වඳුරන්ට පවරලා දීලා වගෙයි. අපිට කන්න හම්බවෙන්නේ බයි චාන්ස්

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...