..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Friday, December 30, 2016

වැඩිහිටි සමිතියේ තරුණ සාමාජිකාව (The Young Member of The Elders' Club.)

වැඩිහිටි සමිතියේ තරුණ සාමාජිකාව (The Young Member of The Elders' Club.)
----------------------------------------------

නිවාඩු දවස් වලට වැඩිපුර නිදියන්න කැමැති , හදිසියකට කඩයටවත් යවා ගන්න බැරි, කුණු කෙළ පිටින් උනත් දවසම ඉන්න ඇහැකි කුණු කෙල්ලෙක් වෙලා හිටපු මට , නිවාඩුවක් ආපු ගමන් ඇවිදින්න යන්න ආස හිතෙව්වෙ මගේ ෆේස් බුක් යාළුවෙක්.
ඉස්සෙල්ලම එයා ගන්න පින්තූර වලට වහ වැටිච්චි මන් ඊළඟට වහ වැටුනේ එයාගේ ඇවිදිල්ලට. පුදුම ඇවිදිල්ලක් ඒක , ලංකාවේ හැමතැනම රිංග රිංග ගන්න පින්තූර දැකල මෙච්චර පුංචි ලංකාවේ කොච්චර ලස්සන තැන් තියනවද කියල මට පුදුම හිතුනා. ඇවිදින්න හිතට කකුල් ආවේ ආන්න ඒ විදිහට.
ඒත් හරහට හිටියේ මගෙ තනිකඩ ගෑණුකම. “ලංකාවෙ බැරි නම් ලෝකෙ පුරාම වුනත් ඇවිදිපන් කසාද බැඳල.“ ...
මම උත්සාහය අතෑරියෙ නැහැ. කසාද බැදල මොන ඇවිදිලි ද? හිතේ එකම අධිෂ්ටානයක් තියනම් ඒ දේ හොඳ වුනත් නරක වුනත් ස්වභාදහම එයට උදව් කරනව කියනෙක මම පිළිගත්තෙ ඊට පස්සේ.
මම රාජකාරි කරපු තැනට ලියාපදිංචි සහතිකයක් ගන්න ආපු වයස මහත්තයෙක් මගෙන් අහනවා “ නැද්ද මේ ඔෆිස් එකේ වයසක අය ට්‍රිප් යන්න කැමති “ බැලින්නම් උන්දෑ අපේ බල ප්‍රදේශයට අයිති “වැඩිහිටි සමිතියක ලේකම් “ චාරිකාවක් සංවිධානය කරල කට්ටිය මදි වෙලා. “ වයසක අයට විතරෙයි ඇහැක්කෙ , ඇයි මට බැරිය ?“
එතනින් පටන් ගත්ත ඇවිදිල්ල , මහ නඩයක් එක්ක වුනත් හිතට සතුටක් ගෙනාවා. වැඩිහිටි සමිතියේ නිත්‍ය තරුණ සාමාජිකාවක් වෙන්න මට උදව් උනේ මගේ කැමරාව. ඒකෙන් ගන්න පින්තුර වලින් ලස්සන ඇල්බම් එකක් හදා දෙන්න පුලුවන් වුන නිසා ඉන් පස්සෙ එයාල යන හැම චාරිකාවකටම මගේ නම ස්ථිර වුනා.
ගුරු පත්වීම ලැබුනයි පස්සෙත් පරණ කාර්යාලයේ අය එයාලගේ සුභ සාධක සුහද චාරිකාවට මාව එකතු කර ගන්න හේතු වුනෙත් ඔය කාරණාවම තමයි.....
පාසල් චාරිකා නම් නිදහස් මනසින් යන්න බැරි චාරිකා වෙන්නේ ළමයින්ගේ වගකීම් හිස මත පැටවෙන නිසා. ඒ උනත් පාසල් චාරිකාවලදි “උපමාලි ටීචර් “ ගෙ නම ළමයින් යෝජනා කරන්නෙත් ටීචර්ට වඩා ටීචර්ගෙ කැමරාව ළමයින්ට සුන්දර පින්තූර අරන් දෙන නිසා.....
එහෙම පටත් ගත්ත කම්මැලිච්චිගෙ ඇවිදිල්ල අද වෙද්දි බොහෝ දුර ගෙනිහින්...
කසාඳ බදිනෙක පහුවෙන තරමට හොඳයි කියල හිතෙන්නෙත් මේ ඇවිදිල්ල බැඳල දාන්න කසාදෙ හේතුවෙයි කියල හිතෙන නිසාමයි...
කොච්චර වුනත් ලංකාවේ ගැහැණියක් බිරිඳක්, අම්ම කෙනෙක් වුනාට පස්සෙ දැගලිල්ල විතරක් නෙමේ ඇවිදිල්ලත් වැඩට යන්නයි කුස්සියට යන්නයි විතරක් ම සීමා වෙනව නේද..........?
විශේෂ ස්තුතිය - තරිඳු අමුණුගම මගේ දයාබර මිතුරාට
ප/ලි- මෙහි වැඩිහිටි සමිතිය යන්න වයස 55ට වැඩි අය එක්ව සාදා ගත් සමිතියක් බැව් කරුණාවෙන් සලකන්න.

Saturday, December 24, 2016

ඇවිදින බාබර් සාප්පුව


ඇවිදින බාබර් සාප්පුව

---------------------------------


මම ඉස්කෝල ගියපු වසර 13 දිම මට තිබුනෙ ඉතාම කෙටි කොණ්ඩයක්. කොණ්ඩය වවල අග්ගිස්ස වෙනකම්ම කරල් දෙකට ගොතල ,  පිටි පස්සට දාලා පද්ද පද්ද යන්න කොච්චර නම් ආස වුනත් ගෙදරින් ඒකට කිසිම අනුබලයක් ලැබුනෙ නැහැ. 

ඒ විතරක් නෙමෙයි , කොණ්ඩ ගස් පොඩ්ඩක් වැවීගෙන එද්දි , නලලට කොණ්ඩ කැලි වැටෙද්දි , කොණ්ඩ ගස් අස්සෙන් ඇහැ දාලා බලද්දි ඇස් වපරවෙනවා කියලා බලෙන්ම එක්කරන් ගිහින් කොණ්ඩය කැප්පුව හැටි තාම මතකයි..... 

ඒ කාලේ මගෙ පන්තියෙ ගොඩක් යෙහෙළියො හිටියෙත් කෙටි කොණ්ඩයේ හිමිකාරියො වෙලා වුනත් කොණ්ඩ කරල් දෙකක් ගොතපු ගැහැණු ළමුන්ගෙ අමුතු සුන්දර ගතියක් තිබුනා කියලා ඒ කාලේ මට හිතුනා.

අම්ම තාත්තගෙන් කාලා ඇඳල හිටපු කාලේ නිසාත් අද කාලේ ළමයින්ට වගේ දෙමාපියන්ට එරෙහිව යාමේ හැකියාවන් දියුණු වෙලා තිබ්බෙ නැති නිසාත් , කරබාගෙන ගිහින් කොල්ල වගේ කොණ්ඩය කපන් ඇවිත් කණ්නාඩියෙන් මූණවත් නොබල හිටපු කාලේ තාමත් මට මතකයි. 

කොහොම වුනත් කොණ්ඩය කපන්න යන ගමනෙ එක්තරා ආකාරයක සතුටකුත් තිබ්බා. මොකද අම්ම දන්නවා අපි කොණ්ඩය කපන්න යන්නේ හිතේ දුකින් කියලා. ඒ නිසා කොණ්ඩය කප්පන් එමින් ගමන් රස කැවිලි අරන් දෙන්නත් අම්ම අමතක කලේ නැහැ.


මේ අතර කාලයක දි හිටියා ඇවිදින බාබර් සාප්පු හිමිකරුවෙක්. එයා අපටත් වඩා හොඳින් අපේ කොණ්ඩය සීමාව ඉක්මවා දික්වෙන කාල සීමාව දැනන් හිටියා. හරියටම පලවෙනි කොණ්ඩ ගහ සීමාව පනිද්දිම ඒ ඇවිදින බාබර් අපේ ගෙදර වැට කඩොල්ලෙන් පනිනවා.

එයා ළඟ තිබ්බ පුංචි බෑග්ගෙකේ  බාබර් සාප්පුවක තියෙන්න ඕනි හැමදේම තිබ්බා. පුටුව නම් හදල දෙන්නෙ අපේ තාත්තා. ඇදි පුටුවක් අරන් උස් තැනකින් තියල තව ඒ මදිවට බාබර් සාප්පුවේ වගේ හරහට ලෑල්ලක් දාලා මගේ අත් උර අස්සෙන් උස්සල අරන් ඒ ලෑල්ල උඩින් මාව වාඩි කරලා මගේ හිස අතගාලා තාත්ත මගේ කොණ්ඩය කපන්න ඇවිදින බාබර් මාමාට අවසර දෙනවා.

ඒ දවස් වල තිබ්බා ලස්සනම වගේම ප්‍රසිද්ධම කට් එක තමා “ඩයනා කට්ටෙක “ . වැඩියම කොට නොකර කොණ්ඩය ටිකක් ලිහිල්ව හිටින ඒ කට්ටෙකට මාත් හරිම මනාපයි. දැන් කාලේ වගේ නැතත් හීනියට කළුවට හිටපු මාත් “ඩයන කටේටෙක “ කපල එංගලන්තෙ ඩයනා වගේ ඇස් ඇගින් කණ්නාඩිය දිහා බලල හිනා වුනා මට මතකයි.

සුන්දර පහු ගිය අතීත කාලය මතක් වෙන්න හේතුව වුනේ , මේ දවස් වල පාරට බැස්සම දකින  පොඩ්ඩන් සහ පොඩ්ඩන්ගෙ දෙමාපියන් නිසා. පොත් ලිස්ටෙක ගන්න කඩවල් වල  පොරකන අය වගේම , මූණු දෙක කරන් වදෙන් පොරෙන් බාබර් සාප්පුවලට යන පොඩ්ඩො , මගේ අතීතය මට මතක් කරල දුන්නා.

මේ නිවාඩුවට පිස්සන් වගේ කොණ්ඩය වවන් හිටපු ළමයිනුත් , කට්ටෙකක් ගහල නිදහසේ රස්තියාදු ගහපු පිරිමි ළමයිනුත් තමන්ගේ හිතේ ආසාවන් කැප කරල සිරිසිරිමල් විදිහෙ විනීත කට්ටෙකෙන් කොණ්ඩය කපලා පිළිවලකට ඉස්කෝලෙ ඒවි කියල බලා ඉන්න,  

මම
ඔබේ ගුරුතුමී
සොඳුරු සිත 


Tuesday, December 13, 2016

ඩයිනෝ සහ කොල්ලා

ඩයිනෝ සහ කොල්ලා 




මේ සැරේ කොල්ලගෙ උපන් දිනේට හම්බුනු ලස්සනම තෑග්ග වුනේ , දිවත් එළියට දාන් ඇසුත් පත්තු කරන් සද්දෙකුත් දාන් ඇවිදන් යන ඩයිනෝසරස්. 

video


කොල්ලා මේ තෑග්ගට කොච්චර නම් කැමති ද කියනවා නම් නින්දට යන්නෙත් මේ අපූරු ඩයිනෝව තුරුළු කරන්.

කොල්ලා ගෙදර ඉන්න වෙලාවට නිකමටවත් ඩයිනෝව අල්ලන්න අපට චාන්ස් එකක් නැති නිසා කොල්ලා ගෙදර නැති වෙලාවක මේ අපූරු ඩයිනෝව පරික්ෂා කර කර හිටපු අම්මාච්චිගෙ අතින් ඩයිනෝව බිමට වැටිලා උගෙ ලස්සන වලිගෙ ඇගෙන් වෙන් වුනා. 

අම්මාච්චි හොඳටම බය වුනා. 

දැන් කොල්ලා ගෙදර ආහම මක්කැයි කියන්නේ. 

මේස උඩ තිබ්බ බයින්ඩර් ගම් එක ආච්චි දැක්කෙ වෙලාවට. ඉක්මනින්ම ගම් ගාලා ඩයිනොගෙ වලිගෙ හයිකලේ පරක්කු උනොත් වලිගෙ මැරිල යයි කියල හිතාගෙන වගේ...

ඒත් අප්පොච්චියේ කොල්ලා ගෙදර ආහම නේ වැඩේ තේරුනේ .

“ අම්මාච්චි ඇයි මේ ඩයිනොගේ වලිගෙ අනිත් පැත්ත ගැහිලා “ 



දැන් ඉතින් ආය වලිගෙ හරි පිට හරවනෝ බොරු.....හෙහේ...


Wednesday, December 7, 2016

නිරීක්ෂක

ඔබේ නිරීක්ෂක


ලෝකේ කරන්න තියන අමාරුම ඩියුටි වලින් එකක් තමා නිකම් ඔහේ බලාන ඉන්නෙක.පැයක් ද දෙකක් ද එක දිගට පැය තුනක් ඔහේ බලාන ඉන්නෙක.....?
දෙයියනේ කියලා අන්න ඒ වෙලාවට මගෙ තනියට හිතට එන්නේ ඔයා, ඉතින් ඒ වෙලාවට මෙන්න මෙහම කටු ගෑවුනා...
ටිකක් ඇවිත් ළඟට මගේ
අහන් ඉන්න හිත
හොඟක් සුවද දැනේවි නුඹ
නමටම ලියවුන
කෙනෙක් වෙතොත් මේ ලෝකයේ
පණ ද දෙවෙනි වෙන
නුඹ විතරයි , නුඹ පමණයි
දන්නවා ද එය

ඔබේ නිරීක්ෂක
මම
෴ සොඳුරු සිත ෴

Wednesday, November 30, 2016

ප්‍රේමය හරිම මනරම්


ප්‍රේමය හරිම මනරම්




මටත් මා නැති කළ

නුඹ මට කවර නම් පල
ඇතොත් මතකයෙ ඉස්සර
කොනිති ගසලා ඉවත් කළ මැන
වෙතත් මට සරදම්
නුඹ සුවඳ මට හැමකල් 
රිදුම් දෙන්නැති හිත්
වලට ප්‍රේමය හරිම මනරම්

“ ඔහු හමුවුනොතින් , මා ඔහු මතක් කළ බැව් ඔහුට කියන්න.  “

- සොඳුරු සිත -

If I die Tell Him I Loved Him 

Tuesday, November 29, 2016

නිහඬ නුඹයි


නිහඬ නුඹයි


පෙර කතාව (මගේ )
----------------------------

බසය ඉදිරියට ම ඇදෙනවා. ඒත් සාපේක්ෂ චලිතයක් නෑ.

මට ඉස්සරම ආසනය එතනමයි.මට පිටුපස ආසනයත් එතනමයි. මා ළඟ තියන ජනේලයෙ ඩොක ඩොක හඬ මිසක ජනේලයත් එතනමයි.

මගේ දකුණු අත පැත්ත.........

ඒ වෙද්දි මේ ලෝකෙ තියන වටිනාකම වැඩිම වස්තුව .....ඔවු ඒ වෙද්දි මේ ලෝකේ මට වටිනාකම වැඩිම වස්තුව තිබ්බෙ මගේ දකුණු අත පැත්තේ. කේක් ගෙඩිය වගේ වාඩි වෙලා. චුට්ටක් වත් සාපේක්ෂ චලිතයක් නැතිව.

ඒ මදිවට අහක බලන්........

මගෙ හුස්ම වැදිල ද කොහෙද යන්තම් මූණ බලල හිනා වුනා....

මෙච්චර කාලයක් දුරින් ඉදල අච්චර ගොඩාරියක් කතා කරල. මෙච්චර මේ ළඟට ඇවිත් අහක බලන් ඉන්නෙ ලෝකෙ වචන ඔක්කම ඉවරෙලා වගේ.....

හිනාවෙන් ගැම්මක් ගත්ත මන් මගේ දකුණු අත එයාගේ වම් අත යටින් දාලා මගේ පිරුණු දිග ඇඟිලි ටික එයාගේ පිරුණු කොට ඇඟිලි වලට උඩින් තියා ගත්තා..... ඒ කරල මාත් අහක බලා ගත්තා....

ඒත් ඇඟිලි ටික ඔක්කම එක සැරේ ගල් රෝලකට අහුවුනා වගේ තද වෙද්දි , කියා ගන්න බැරි තරම් ආසාවකින් එයාගේ වම් උරහිසට මගේ ජීවිතේම බර කරල සැනසිල්ලේ ඇස් පියා ගත්තා.............



ඒ උරහිස - මගෙ මේ හිස

දරන් හිටපු තරමට උස

මා හිත රස - ආදර බස

නිහඬ නුඹයි පෙම්වත යස



- වත්සලා -


පසු කතාව (මගේ නෙමේ )  පින්තූරය ගත්තේ  :- චිත්‍රපටය “තන්ග මගන්“

Sunday, November 27, 2016

අපේ ගෙදර සහ අපේ ගෙදර අය ගොඩාක් ආදරය කරන ගමේ ගෙදර


අපේ ගෙදර සහ අපේ ගෙදර අය ගොඩාක් ආදරය කරන ගමේ ගෙදර 

----------------------------------------------


අපේ ගමේ තියනව ගෙදරක් , ඒ ගෙදර පාලනය කරන්නෙ තාත්තා , ඒ තාත්තා ඒ ගෙදර අයට ගමේ වෙන කිසිම ගෙදරකට යන්න දෙන්නෙ නෑ. 

ගමට එන අලුත් දේවල් කිසිම දෙයක් භාවිතා කරන්න දෙන්නෙ නෑ. ඒ ගෙදර පාවිච්චි කරන වාහනෙත් දැන් හෙන පරණ යි මෝස්තරෙත් ගොඩාක් පරණයි. 

ඒ ගෙදර පොඩි කොල්ලා යන්තමට හරි ඉගෙන ගත්තා. එයා කැමැති ගෙදරින් පිට ගිහින් රස්සාවක් කරල හොදට හම්බ කරන්න.ඒත් ඒ ගෙදර තාත්තා ඒකට ඉඩ දෙන්නෑ. 

තාත්තට දැන් වයස නිසා ගෙදර පාලනය තාත්තගෙ අදහස් ළඟින්ම යන ගෙදර ලොකු අයියට දීලයි තියෙන්නේ.

 එයාල ගොඩාක් දුප්පත් වෙලා හිටියත් ගෙදරින් පිට ගිහින් හොඳට කාලා ඇදල ජීවත් වෙන්න පුලුවන් උනත් තාත්ත ඒකට කැමැති නැති නිසා ලැබුන විදිහකට කාලා ඇදල නටල ගයල එයාල ඉන්නවා.....

කොහොම වුනත් ඒ ගෙර අය , ගමේ කාටත් යම් තරමකට බලපෑම් කරමින් ඉන්න ගමේ තියන ලොකුම ගෙදරට හිස නොනමන නිසා අනිත් ගෙවල් වල අය ඒ ගෙදර දිහා පුදුමෙන් බලන බව අපි දන්නවා.

ඒත් , මම හිතනවා ඒ ගෙදර අයත් ආස ඇති ගමේ අනිත් ගෙවල් වල අය වගේ ලෝකය දකින්න........මොකද මේක විශ්ව ගම්මානයක්....

ඒ ගෙදර තාත්තා මේ ළඟ දී මැරුණා.... ඒත් ඒ ගෙදර සමහර අයට දුකක් දැනුනේ නැහැ. ඒකට හේතුව මම කියන්න ඕනි නැහැ.....

ඒත් එයාගේ ලොකු පුතා කලින් වගේම ඒ ගෙදර පාලනය කරයි ද කියල හරියටම කියන්න මම දන්නෙත් නැහැ.....

අපේ ගෙදර ඒ ගෙදර වගේ වෙනවට මම කැමතිත් නෑ. 

ඒත් , ඒකට අපේ තාත්ත නම් ගෙදර හැමෝගෙන්ම බදු ගහනවා. 

ඒ බදු වලින් අපේ ගෙදර දියුණු කරනව කියලයි තාත්ත නම් කියන්නේ.

ඒත් තාම ගෙදර තීන්ත ටිකක් වත් ගාගන්න තාත්තට බැරි වුනා. 

ගමේ ලොකුම ගෙදර පාලනය කරපු ලොක්කත් වෙනස් වුනා.එයා ටිකක් අපේ ගෙදර කලින් පාලනය කරපු සීයා වගේ කෙනෙක්.  

අනේ මන්දා ඉතින් .......බලමු මොනා වෙයිද කියලා.


“ කොහොමද ටීචර් මෙච්චර හොඳ මිනිස්සු හොයා ගන්නේ ?“


කොහොමද ටීචර් මෙච්චර හොඳ මිනිස්සු හොයා ගන්නේ ?“

---------------------------------------------------------------------------------



“ බස් එක තාම නැහැනේ “

“ වෙන බස් එකක ද දන්නේ නෑ ටීචර් “


“ අෆෝ එහෙම වෙන්නෙ නැහැ.මේ පාරේ කොළඹ බස් දෙකයිනේ දුවන්නේ “

ගිනි අවුවට වෙලා මායි උසස් පෙළ ළමයි හතර දෙනයි සහෝදර ගුරුවරියයි මඟ බලන් හිටියේ කොළඹින් පටවපු තෑගි මල්ල ඉස්කෝලෙට එනකම්. බස් එක වෙනදට වඩා ප්‍රමාදයි කියල හිතුනෙ අපේ හිත් ඒ තරම් ආසාවෙන් මඟ බලා හිටපු නිසා වෙන්නැති.

මේ එන්නේ කවදාවත් දැකල නැති මා ගැන විශ්වාසය තියල ,කවදාවත් දැකල නැති අපේ ඉස්කෝලේ ළමයිට දුර රටක ඉන්න කෙනෙක් එවපු තෑගි................. 




පාසල් අවසාන වාර විභාගෙ නිසා උදේ ආපු ළමයි ඒ වෙලාවේ ඉස්කෝලෙන් ගිහින් , යන්තම් උසස් පෙළ ළමයි දෙතුන් දෙනෙක් ඉදල අඩගහ ගත්තට මේ තෑගි අයිති එයාලට නෙමේ , අපේ ඉස්කෝලෙ ඉගෙන ගන්න පුළුවන් නමුත් ආර්ථික දුශ්කරතා තියන ළමයින්ට. 


බස් එක අන්තිමට ආවා. තෑගි ටික උණුසුම්. ට්‍රැවලින් බෑග් එක දෙන්නෙක්ට බා ගන්නත් බැරි තරම්. පාසල් ඇරෙන වෙලාව පහු වෙලා හැමදෙනාම ගෙවල් වලට ගිහින් ඉද්දි පාසලේ කාර්යාලය ඇරගෙන විදුහල්පතිතුමා හිටියේ මේ ලැබෙන තෑගි ළමයින්ට බෙදල දෙනකම් ආරක්ෂා ඇති තැනක තැම්පත් කරන්න ඕනි නිසා. 
තෑගි ටික කාර්යාලයට ගෙනාවම ඒව දැකපු ප්‍රින්සිපල්ගෙ මූණ දිලිසුනා.මගෙන් ඇහුවෙ එක දෙයයි.

“ කොහොමද ටීචර් මෙච්චර හොඳ මිනිස්සු හොයා ගන්නේ ?“


ප/ලි- සිකුරාදා හවස ලැබුනු තෑගි ඒවයෙ අයිතිකාරයෝ තාම දැක්කෙ නැහැ. ආහ්.....තව කවකටු පෙට්ටි 100ක තෑග්ගකුත් මඟ එනවා.....මේ ඔක්කම ඉදිරි දවසක තෑගි අයිතිකාරයින්ට වසර අවසාන රිපෝට් එකත් එක්කම වසර අවසාන පාසල් රැසිවීමේදි මේ තෑගි බෙදා දෙන්නයි අපි හිතන් ඉන්නේ.මොකද එතකොට කාරණා දෙකක් සිද්ධ වෙන නිසා.

1. ත්‍යාග ලාභීන් පාසල ඉදිරියේ ඇගයීමට ලක්කිරීමට ( ආර්ථික දුෂ්කරතා තිබ්බත් ඉගෙනීමෙන් තැනකට එන්න පුළුවන් කියලා එයාලට වගේම අනිත් අයටත් වටහා දෙන්න පුලුවන්)

2. තෑගි ලැබෙනව දැකලා අනිත් අයත් ඉගෙන ගන්න දශමයක හරි උනන්දුව වැඩි කර ගන්න උත්තේජයක් විදිහට.


අනික් ප්‍රධාන කාරණාව තමා.......මේ ලෝකේ තාමත් ලස්සන මිනිස්සු ඉන්නව කියලා ළමයින්ට , ගුරුවරුන්ට ,ගමට , රටට විතරක් නෙමේ මුළු ලෝකෙටම පෙන්වන්න.......

Thursday, November 24, 2016

ආදරේ බින්දුවක් තියනවා


ආදරේ බින්දුවක් තියෙනවා




තනිවෙච්ච නුඹ ගාව 
තනිවෙච්ච මගෙ හිතත්
ආදරය වගෙ එකක් සොයනවා

හමුවන්න පෙර අපට අප මෙලොව
හමුවෙච්චි අය තවත් ඉන්නවා

හිත අරන් , බිඳුනු හිත්
එක්ක අපි තනිකරපු
අය සිනා සී දිවිය ගෙවනවා

තනිවෙච්චි නුඹ ළඟත්
තනි වෙච්චි මා ළඟත්
ආදරේ බිංඳුවක් තියනවා

ජීවිතේ ඉතිරි දුර
එළි කරන් සැනසෙන්න
ඒ ටිකත් ඇති කියල දැනෙනවා

තනිවෙච්චි නුඹ ගාව
තනිවෙච්චි මගෙ හිතත්
ආදරය වගෙ එකක් සොයනවා 

තනිහිතක් ළඟ තනිවුන 
මම
෴ සොඳුරු ෴


ප/ලි - love comes softly චිත්‍රපටය නැරඹීමෙන් පසුව ඇති වූ සිතුවිල්ලකි.

අපි නොහිතන , අපි දැඩිව ප්‍රතික්ෂේප කරන මිනිස්සු ළඟ අපි වෙනුවෙන් ආදරය පිරිලා. 

බෙන් ගෙ කතාව


බෙන් ගෙ කතාව
------------------------


බෙන් හරිම අප්‍රසන්න දරුවෙක්. කොයි වෙලෙත් ඉන්නෙ මූණ එල්ලන්. ඇඳන් ඉන්නේ කිලිටි බේරෙන ඇඳුම් , ඔහුගෙ පොතක් පතක් වත් අල්ලන්න අප්‍රසන්නයි. ඒ තරමට කිලිටි. 

ඔහු පන්තියෙ ළමයි අතරත් කොන් වුන චරිතයක්. නිහඬ බවේ ගිලිල වැලලිලා ඉන්න ඒ කිලිටි ජීවියා මට ඒ පන්තියෙම එපා වුනු එකම දරුවා. 

බෙන්ගෙ පොත් බලන්න මම වැඩි වෙලා ගන්නෙ නැහැ. මොකද ඒ පොතේ බලන්න කිසිම දෙයක් නෑ. හිතේ තියන තරහටත් එක්ක පුලුවන් තරම් ලොකුවට රතු පෑනෙන් ප්‍රශ්නාර්ථයක් දාලා කට අනිත් පැත්තට ගැහිච්ච මූණක් මම බෙන්ගෙ පොතේ අදින්නේ කාලකණ්නි සතුටකින්.

එක දවසක් ඉස්කෝලෙ පියන් තඩි ෆයිල් කවර මිටියක් අරන් ඇවිත් මගේ මේසෙ උඩ අතාරිනකම්ම බෙන් කියන්නේ මට එපාම වුනු ළමයා වුනා.

එදා මගේ මේසෙ උඩ ගෙනත් අතෑරපු ෆයිල් වල තිබ්බේ මගේ පන්තියෙ ළමයින් ගෙ වාර්තා . ඒ ළමයි පාසලට ඇතුළු කරපු දවසෙ ඉදලා විස්තර ඒ ෆයිල් වල සටහන් කරල තිබ්බෙ ඒ ඒ කාල වල දි ඒ ළමයින්ගෙ පන්ති භාරව හිටපු ගුරුවරු සහ ගුරුවරියෝ. මටත් තිබ්බෙ ඒ ෆයිල් වල මේ ළමයි වෙනුවෙන් සටහනක් තියන්න.

සටහන් තියන ගමන්  එයින් සමහර ෆයිල් කියවල බලන්න මට හිතුනා. . . . කියවන්න සතුට දනවන ඒ විස්තර අතරේ බෙන්ගෙ ෆයිල්  එක කියවන්න කිසිම උනන්දුවක් මට ඇති උනේ නැහැ. මම කරේ කෙලින්ම සටහන තියන එක.

මගේ සටහන උනේ ,
පාසල් නොපැමිණෙන අතර කිසිදු පිළිවලක් ,පිරිසිදුකමක් නොමැති සිසුවෙකි. වෙනත් පන්තියකට මාරු කරන්නේ නම් මැනවි.

ඒත් . . . . .  මොකක් දෝ හේතුවකට සටහන තියලා ෆයිල් එක අනිත් පැත්තට මාරු කරද්දිම මගේ අතින් ෆයිල් එක බිම වැටිලා පිටු පෙරලිලා ගියා. පෙරලිච්චි පිටුව වුනේ බෙන්ගේ පලවෙනි අවුරුද්ද...... ෆයිල් එක ගන්න බිමට නැමෙන ගමන්ම ඒ අකුරු උඩ මගේ ඇස් දිවුවා.

පළමු වසර
බෙන් හරිම ප්‍රියමනාප දරුවෙක්. ඉගෙනීමට දක්ෂ අතර මිතුරු ඇසුරෙහි ද උද්යෝගීමත් සහ ප්‍රීතිමත් දරුවෙකි.

වෙන්න පුළුවන් දෙයක් ද? මේ කිලිටි ළමයා ? මම ඊළඟ පිටුව පෙරළුවෙ හිතේ කුතුහලයෙන්.

දෙවන වසර 
පන්තියේ සිටන දක්ෂතම දරුවාය. නමුත් ඔහුගේ මව බරපතල අසනීපයකින් පෙළෙන හෙයින් පාසල් පැමිණිම දුර්වල වෙමින් පවතී.

තුන්වන වසර
මවගේ මියයැමත් සමඟින් බෙන්ගේ තත්ත්වය සතුටුදායක මට්ටමින් පසු බසිමින් බවතී. පියාගේ නිසි අවධානය ලක් නොවන බැව් පෙනී යයි.

සිවුවන වසර
පාසල් පැමිණිම ඉතාම දුර්වල වන අතර , පාසල් පැමිණි දිනයන්හිද පන්තියේ පාඩම් අතර තුර නිදාගනයි. ඉගෙනීමට දුර්වලයි.යහළුවන් නොමැත.


---------------------------------------------------------------------

නත්තල් කාලේට නිවාඩු දෙන දවස ළං වුනා , සුපුරුදු පරිදි පන්තියේ දරුවන් මට තෑගි ගෙනත් තිබ්බා. ලස්සනට ඔතපු තෑගි අස්සේ කඩෙන් බඩු ඔතල දෙන රළු ග්‍රොසරි කවරයකින් ඔතපු නොගැලපෙන තෑග්ගක් එතන තිබ්බා.

හිතට ආපු කුතුහලයත් එක්ක , ඒ තෑග්ග මම පන්තියෙදිම විවෘත කරා. ඒ ඇතුලෙ තිබ්බෙ ගල් අල්ලපු පරණ මෝස්තරයෙ වලල්ලක් , සමහර ගල් හැලිලා , තිබුන ගල් වලට වඩා හැලිච්චි ගල් සංඛ්‍යාව වැඩියි. ඒක දැකපු පන්ති ළමයි හිනා වුනා , මම බෙන්ගෙ මූන දිහා බැලුවා. පරණ වලල්ල විතරක් නෙමේ ඉවර වෙන්න ඔන්න මෙන්න තිබ්බ පුංචි සුවඳ විලවුන් බෝතලයකුත් ඒකෙ තිබ්බා. විලවුන් බෝතලය අතට ගත්ත මන් ඒකෙන් ටිකක් කාටත් පේන්න ඇදුමට ඉහ ගත්තා.

එදා අපි කාටත් සතුටු දවසක් , ඒ වසරේ පාසලේ අන්තිම දිනය. ළමුන් කවුරුත් සතුටින් පාසලෙන් යද්දි අන්තිමට පන්තියෙ ඉතිරි වුනු බෙන් මගේ ළඟට ඇවිත් මෙහෙම කීවා.


“ අද ටීචර් ළඟ මගෙ අම්මගෙ සුවඳයි “


---------------------------------------------------------

ප/ලි - කතාව ඉවර නැහැ. තව තියනවා. ඔයාල ඒක අන්තර්ජාලයෙන් හොයන් කියවයි කියල මම හිතනවා. මොකද මම කතාවෙ කැමතිම හරියෙන් කතාව නතර කරන්න මම කැමති.......

------------------------------------------------------------


මගේ පන්තියෙ බෙන්ල ඉන්නවා , එයාලගෙ හිත් මම නිසා රිදෙනව නම් , මම තරම් කාලකණ්නි ගුරුවරියක් තවත් නැහැ නේද ?

මම

නුඹේ හිත නොරිදවන ගුරුතුමිය

සොඳුරු



Tuesday, November 22, 2016

මගේ මතක නුඹ හට අමතක වේවා


මගේ මතක නුඹ හට අමතක වේවා 




එපා නම් මා , හැර යන්න
නැතේ තරහක බිඳක් වත්
හැබැයි මට කියලා යන්න
බලා නොයිනට මඟ දිගේ නෙත අලවා 
හිත පහන් වැට දල්වා
බලා නොසිටිමි එවිට මං
ගිය පසුව හිත දල්වා

෴ ඔබට සුබ ගමන් ෴ 


සිතන පතන සෑම දෙයම ඉටු වේවා
යනෙන මඟක දුක් කරදර නොම වේවා
හිතට දුකක හෙවනැල්ලක් වත් නේවා
මගේ මතක නුඹහට අමතක වේවා

෴ සුබ පැතුම් ෴

Monday, November 21, 2016

මතක එක්ක තනියෙන්

මතක එක්ක තනියෙන් 


ජීවිතයේ එක් එක් වයස් සීමාවන් වල දී අපේ සිතුවිලි වෙනස් වෙනවා. ජීවිතය ගැන බලන විදිහ , ජීවිතය දකින විදිහ වෙනස් වෙනවා. බොහෝ දුරට වයසත් එක්ක අපි අපේම  අදහස් හෝ සිතුවිලි වෙනස් කර ගන්නේ “ හිත හදා ගන්න “ 

ඒත් , කොච්චර අපේ සිතුවිලි වෙනස් උනත් , පරණ මතකයන් උඩට ඇවිත් පරණ සිතුවිලි එක්ක තනිවෙලා කාලයන්තරේක නැගල වගේ අතීතයට යන්නත් අපි පසුබට වෙන්නෑ. ගොඩාක් වෙලාවට ඒ පරණ සිතුවිලි අලුත් කරන්නේ වෙනස් වුනු “සජීවී “ දෙයකට වඩා නොවෙනකස් වුනු “ අජීවී “ වස්තු . 

හරියට මට ගාලු කොටුව වගේ  ,

වෙලාවත් වැරදියි
හරියට එදා වාගෙයි

මුහුදු සුළඟත් උසුලයි
හරියට එදා වාගෙයි

මගෙ සුසුම හසු වී
සුළඟ මාගෙන් විමසයි
සුසුම් බර නැහැ දැන් ?
හරියට එදා වාගේ 

නුඹෙ සුවඳ නැගුවත්
එයත් අමතක ගාණයි
සුවඳ කොයිබද රැඳුනේ
හරියට එදා ළඟ වුන්
නුඹෙ රුවත් මතකයෙ
බොඳ වෙච්චි ගාණයි
දැක නුවන් සැනහූ
එදා මා නෙත  පිනවූ

ඒත් ගල් කුළ නොසෙලී 
හරියට එදා වාගෙයි

පිටුපාල යද්දි
ගල් කුළ මගෙන් විමසයි

එදා මෙහි ආ ගිය
නුඹ සමඟ යා වුන
පෙම්බරා කොයි බ ද
ගල් හිතක් ඔහු ළඟත් තිබුණි ද?


ගාලු කොටුවෙ මතක එක්ක තනිවුනු
මම
- වත්සලා -


Saturday, October 29, 2016

ඉරට්ට කඩපු ළමයා

ඉරට්ට කඩපු ළමයා


පුංචි පන්ති වල හැමවෙලේම තියෙන්නේ කණට නිවනක් නැති සද්දයක්. ඒ පන්ති වල වහලෙ උළු ඔය තරමින් හරි තියෙන එකත් පුදුමයක්.

ඒ වගේම රණ්ඩු සරුවල් වලත් නිමක් නෑ. 

“ ටීචර් මෙයා මගේ පැන්සල ගත්තා “ 

“ටීචර් ශෙහාන් මගෙ කෑම එක හොරෙන් කෑවා“ වගේ නිතර දෙවේලෙ ඇහෙන රණ්ඩු වලට අමතරව හොරකම් කිරිල්ලත් ඉදහිට හරි සිද්ධ වෙනවා.ආන්නෙහම හොරකමක් වුනු වෙලාවක සිද්ධ වෙච්චි දෙයක් තමා මේ.

සංදීප ගෙ තාත්ත රට ඉදල ආපු නිසා සංදීප ළඟ වෛවාරණ බඩු ගොඩාක් පිරිල තිබ්බා. ටීචර් කොච්චර කීවත් මේ බඩු ගෙදර තියල එන්න කියලා, සංදීප නෙමේ ඒවා කණකට ගත්තේ. 

සංදීපගෙ වැඩේම මේ අපූරු බඩු භාණ්ඩ යාළුවන්ට පෙන්වන එක. 

සුවඳ හමන මකන , නවන්න පුළුවන් පැන්සල්, පාට හතරේ පෑන් , ඉඹේ වැහෙන පැන්සල් පෙට්ටි , සුංරගනාවියක් ඉන්න පැන්සල් උල්කරනය මේ අතර පන්තියෙ ළමයින්ගෙ සිත් පැහැර ගෙන තිබ්බා. 

මේ මාසය පුරාම පන්ති කතා බහට ලක් වුනේ සංදීප කීවොත් ඒක කිසි වරදක් නෑ. ඒ වෙද්දි පන්තියෙ වීරයා බවට පත්වෙලා තිබ්බෙ සංදීප. සංදීප වටේ ළමයි එකතු වෙන එක සාමාන්‍ය සිද්ධියක් වෙලා තිබ්බා. 

ඒත් මේ හැමදේ ගැනම නොසතුටින් බලා හිටපු එක පුංචි දරුවෙකුත් හිටියා. 

දවසක් උනේ හරිම සිද්ධියක් තමයි. කට්ටිය සෙල්ලම් කරන්න පිට්ටනියට ගිහින් පන්තියට එද්දි , සංදීප ගෙ සුවඳ ගහන නැමෙන පැන්සල කෑලි කෑලි වලට කඩල පන්තියෙ දොරකඩ විසිරවල තිබ්බා.

දැන් ඉතින් පන්තියෙ එකමයුද්ධයයි. ටීචර්ට නඩුව ඉදිරිපත් වුනේ විනාශයට පත් වෙච්චි නඩු භාණ්ඩයත් එක්කමයි. සංදීපට වෙච්චි වැඩේ ගැන දුක් වුන ළමයි සහ සංදීපට වුන වැඩේ හොදම වැඩේ කියන ළමයිත් වශයෙන් පන්තිය දෙකට බෙදිල ගියා. 

පැමිණිල්ල විභාග නොකර වෙනද වගේ මඟෑරල යන්න ටීචර්ටත් බැහැ. මොකද කියනව නම් සංදීපගෙ තාත්තා රට ඉදල එද්දි ගෙනාපු ඇපල් දොඩම් සහ රට චොකලට් ටොෆි බෑග් එක තාමත් ටීචර්ගෙ ගෙදර සාලේ මේස උඩ තිබ්බා. 

ඉතින් ටීචර් නඩුව විසඳන්න පටන් ගත්තා..............

කොච්චර ප්‍රශ්න කලත් ලංකාවේ උසාවියක ඇහෙන නඩුවක් වගේ මේ නඩුවත් ඇදි ඇදි යනව මිසක හොරා අල්ල ගන්න පුළුවන් විදිහක් තිබුන්නෑ.

හොරා කවුද කියලා ගොඩාක්  ළමයි වගේම ටීචරුත් අනුමාන කරත් , අනුමානෙට දඩුවම් දෙන්න තරම් ටීචර් මෝඩ වුනේ නෑ.

අන්තිමට ටීචර්ට ඝන දෙවි නුවන පහළ වුනේ ඝන දෙවියො ටීචර්ගේ යාළුවෙක් හින්දනම් නෙමේ.

ටීචර් ළමයෙක් පිටත් කරලා අමු පොල් කොළ ටිකක් ගෙන්න ගත්තා. ළමයෙක් ලව්වම අමු පොල් කොළයෙන් ඉරට්ට බේර ගත්තා. ඊට පස්සෙ ඉරටු ටික එකට තියලා එක සමාන ඉරටු මිටියක් වෙන්න ඉරටු ටික හදා ගත්තා.

පන්තියෙ ළමයි ටික තමන් ඉස්සරහ පෙළට තියලා ,අර ඉරටු මිටියෙන් ඉරට්ට ඉරට්ට ගානේ ළමයින්ට බෙදල දුන්නා.

ඊට පස්සෙ උපදෙස් දෙන්න පටන් ගත්තා.

“ ඔය ළමයි උදේ හවා බුදුන් වදිනව. හොරකම් කරන්නෑ කියල පොරොන්දු වෙනවා.ඒ විතරක් නෙමේ බොරු කියන්නෙත් නෑ කියල පොරොන්දු වෙනවා.ඒත් ඔයාල මේ පැන්සල කැඩුවෙ කවුද කියල තාම කීවේ නැති නිසා මට මේකට හොරු අල්ලන බොහොම පරණ කුමයක් පාවිච්චි කරන්න වෙනවා.“

දරුවො ටික කටත් ඇරන් ටීචර්ගෙ මේ අපූරු ක්‍රමය දැන ගන්න උනන්දුවෙන් අහන් ඉන්නවා.

“ මේ ක්‍රමයෙ දි ඔයාල හැමෝම මම දුන්න ඉරට්ට අත් දෙකෙන් පිටිපස්සට කරන් ඇස් වහන් ඉන්න ඕනි. ඒ ඉන්න ගමන් මේ පැන්සල කඩපු කෙනා අහුවෙන්න කියලා පතන්නත් ඕනි . හරිද ?“

ළමයි දන්නෙත් නැතිව දෙපැත්තට ඔළුව වැනෙනවා.

“ මම ඇස් අරින්න කීව ගමන් ඔයාල ඇස් ඇරල අතේ පිටි පස්සෙ තිබ්බ ඉරට් මට පෙන්වන්න ඕනි හරිද ?“

“ ඉරට්ට අතුරුදහන් වෙනව ද ටීචර් ?“

ඉවසන් ඉන්න බැරිම තැන එක ළමයෙක් ඇහුවෙ පුදුමයෙන්.

“ නෑ නෑ....මේ පැන්සල කඩපු ළමය අතේ තියන ඉරට්ටෙ දික් වෙලා තියනවා.ඔය තියන තරමට වඩා දිග ඉරට්ටක් වෙනවා . හරි දැන් කවුරුත් ඇස් වහගෙන ඉරට්ට පිටිපස්සට කරල අත් දෙකෙන් අල්ල ගන්න “

ළමයි ඇස් පිල්ලන් තද කරන් වහ ගන්නවා.එයාලට ඇස් අරින්න ඕනි උනත් ඇස් පියන් තද කරන් ඉන්නේ වැරදිලා හරි ඇස් ඇරුනොත් ඉරට්ට දික්වෙයි කියල බයට.

ටික වෙලාවක් ගත වෙනවා. ටීචර් කියනවා ළමයින්ට ඇස් අරින්න කියලා. ඊට පස්සෙ කියනවා අතේ තියන ඉරට්ට ඉස්සරහට කරල පෙන්වන්න කියලා.

කාගෙක් ඉරටු කෑලි කලින් ගානටම තියෙද්දි , එක ළමයෙක්ගෙ අතේ තිබ්බ ඉරටු කෑල්ල විතරක් තිබ්බට වඩා ................................ කොට වෙලා.

Friday, October 28, 2016

බයිට් හොරා


බයිට් හොරා
-------------------



ඔහු සවසට එක්රොක් වන මධුරසලෝලී මිතුරු හවුලේ හොඳ මිතුරෙකි, රසබර සාමාජිකයෙකි.මෑතක දී සිට නිතර දෙවේලේ මධූපාන සැසියට ඔහු එකතු නොවන අතර ඉදහිට හෝ සංගමයට එක් වූ විට දී ඔහුගේ මුහුණ ද පෙණ දමන මධු බඳුනක් මෙන් පිපෙයි. ...............

නමුත් ඉතාම මෑතක දී සිට ඔහුගේ හැසිරීමේ පැහැදිලි වෙනසක් ඇති බැව් ඔහුගේ සමීපතම සඟයන් පවසයි. මධුවිත පුරනා මේසයේ දී ද ඔහු හැසිරෙන ආකාරයේ වෙනසක් ඇතත් ඒ වෙනස හරියටම කුමක්දැයි පහදා දීමට හෝ පහදා ගැනීමට ඒ කිසිදු සඟයෙකුට නොහැකි  වේ.

මේසයට ගෙනෙනා බයිට් තසිම දකිනා ඔහු තනිව සිනාසෙනු ඔහු දෙස ඕනෑකමින් බලන්නෙකුට නම් පැහැදිලිව දැකිය හැකි වුවත් ඔහුගේ සඟයින්ගේ දෙනුවත් යොමු වන්නේ මධු බදුනට බැවින් බයිට් තසිමට වැටෙන ඔහුගේ මන්දස්මිතය ඔවුනට මඟ හැරෙයි.

වෙනදාට විඟහින් අහවර වන මධු බඳුන වෙනුවට , විඟහින් අවසන් වන්නේ ඔහු ආසන්නයේ ඇති බයිට් තසිමයි.එය කෙතරම් වේගයෙන් අවසන්වේද යත් ඇතැමෙකුට එකදු කුකුල් කෑල්ලක් වත් කටට ඔබා ගැනීමට අවස්ථාව නොලැබේ.

නමුත් , එක් දිනක් මේ ගැන ඇස ගසා ගෙන සිටි එක් මිතුරෙකු විසින් සොයා ගන්නා ලද කරුණ වූයේ , තම අමුතු මිතුරා විසින් බයිට් සොරා ගන්නා බවයි. සොරා ගන්නා බයිට් ඔහු විසින් කෑමට ද නොගන්නා අතර ඒවා රහසින් සඟවා ගෙන ඔහු විසින් රැගෙන යයි.

කිසිදු විටකදි මෙවැනි යමක් තම මිතුරාගෙන් බලාපොරොත්තු නොවුවාටත් වඩා ඔහු විසින් සිදු කරන්නා වූ මෙම ක්‍රියාවේ අර්ථය වටහා ගැනීමේ නොසන්සිදුනු කුතුහලය විසින් එක් මිතුරකු සොයා ගන්නා දේ මෙසේ ය,

“ බීලා ආවට කමක් නෑ . මට හැබැයි ඔයාගේ බයිට් පංගුවෙන් ටිකක් අරන් එන්න ඕනි හොදද. “


“ ඉතින් මචං , යන ගමන් බයිට් තසිමක් අරන් ගියානම් ඉවරනේ “


“ නෑ ....එයා ඉල්ලන්නෙ ටේබල් එකෙන් හොරකම් කරපුවා “


Sunday, October 16, 2016

නුඹේ සෙනෙහස

නුඹේ සෙනෙහස



නුඹ ට මිසක අන් කවරෙක්
වෙත සෙනෙහසපා න
සැම විටදි නුඹේ රුවම
මැවේවි මසිත ගාව
ජීවිතයේ අත් වැල වෙන්නට
බැරි නුඹ පෑව
සෙනෙහස ඇයි මේ තරමට
මිහිරි මසිත තාම


තාමත් ආදරෙයි
මම
- වත්සලා -

Tuesday, October 11, 2016

දරුවන්ට දඬුවම් දෙමු


දරුවෙකුට තඩි බෑ චීවරදාරියෙකු ගැන පුවතක් .. අසා ලියන්නට සිත්විය..........

----------------------------------------------------------------



දරුවෙකුට ජීවිතේදිම මම ගහල තියෙන්නෙ එකමෙක පාරයි. ඒ පාරත් රිදුනෙ දරුවට නෙමේ මට. ජුරාසික් පාක් එකක් වගේ පන්තිකාමරයේ දී නොගහ හිටියොත් ළමයි කරෙත් නඟිනවා තමා. ඉතින් මොක ද ළමයි කියන්නේ කරේ තියන් යන්න ඕනි අය තමා. මම ත් ළමයින්ට දඩුවම් දෙනවා. ඒව හරි විනෝදජනක සුන්දර දඩුවම්.
උදාහරණ - 
“කෑ ගැහුවොත් තව එක ප්‍රශ්නයක් වැඩි කරනවා ගෙදර වැඩ වලට හරිද? “
“ කතා කරන්නෙපා මාත් එක්ක.“ (බ්‍රහ්ම දණ්ඩනය වගේ එකක්. පිරිමි ළමෝට තමා මේ දඩුවම ඉවසන්නම බැරි. ටීචර් එක්ක කතා නොකර ඉන්න බෑ එයාලට.කට නලියනවා.ඒත් මම නෙමේ කතා කරන්නේ. )
“ ඊළඟ පීරියඩ් එකෙත් මම උගන්වනවා හරි ද? “ (සමහර වෙලාවට ඊළඟට තියන විෂය බලල සමහර ළමයි “ හා ටීචර් “ කියනවා හරි සංතෝශයෙන් .එතකොට ඒ දඩුවමෙන් පලක් නෑ.
තව පුංචි පුංචි දඩුවම් ගොඩාක් තියනවා මගේ ළඟ. ඔය වේවැල පැත්තක දාලා එන්න මම ඒවා කියා දෙන්නම්. වේවැලට වඩා අත්දුටුවයි සත්තයි..ආදරණියයි.
ප/ලි- මම උගන්වන ඉස්කෝලෙත් හිටියා වීචරදාරි විනය පාලක ගුරුවරයෙක්. වේවැල පස්සෙ ගහන් ඉස්කෝලෙ වටේ යනවා.දැන් එයා ගිහි වෙලා. 

Friday, October 7, 2016

අතුරුදහන් වූ සොයුරා - My Missing Brother


අතුරුදහන් වූ සොයුරා - My Missing Brother
---------------------------------------------------------

දැක්කම මෙච්චර වයසයි කියල කියන්න බැරි තරමට අයියා තරුණ පාටයි.ගාණට උසයි , ඒ තරමට මහතයි. ඇඳුම හරිම පිළිවලයි. 

ඒ වගේම විඳින්න හිතෙන තරමට පිරිමි සුවඳයි. ගැහැණියක් වගේ ඇස් වලින් කතා කරන්නත් පුළුවන්. තමන් ඉස්සරහ ඉන්න කෙනාව හිටි ගමන් හිනස්සවන්නත් පුළුවන්. 

බිත්තියක හැප්පුනත් සොරි කියන , පුංචිම උදව්වටත් කට පුරා තැන්කිව් කියන ගති නම් ඇමරිකාවෙන් ආනනයන කරපුවා උනත් ඒ මහත්මා රූපෙට ඒ ගති හොඳටම ගැලපෙනවා. 

හැබැයි තාමත් හරිම මනමාලයි.එක සැරයක් හිනා වුනොත් ආය බලල හිනා වෙන්න හිතුනත් අයියා නෙමේ ආය සැරයක් හැරිලවත් බලන්නේ. ආන්න ඒ අහංකාරකම පිරිමිකමට නියමෙටම ගැලපිලා තිබ්බා.

තරුණකාලේ හරි පැණියා වුනත් අං නැති ගැහැණුන්ට අයියගෙ හිතේ තිබ්බෙ ගෞරවයක්. අයියා ළඟ තිබ්බ පැණි වචන සෙට් එක නිසා ගැහැණූන් ඔහු පස්සෙන් වැටිලා හිටියත් ඔහුගෙ හිත නතර වුනේ පෙනුමෙන් නොදිලිසුනත් ඔහු දැක්කම දිලිසුනු හිතක් ගාව. හිත් දෙකම දිලිසි දිලිසි තිබ්බට එක අහසක එක වෙලාවක එල්ලිලා දිලිසෙන පින ඒ දෙන්නට නැති උනා.අයියා කසාද බැන්දා. අර නෝනා අදටත් තනි වුනා. 

ඒ අස්සෙ  අයියා නිරපරාදේ තමන්ගෙ හිත අයාලෙ යැවුවෙ නැති උනත් කිසිම කෙනෙක්ට ආදරය නොකලත් සුන්දර ගැහැණු ළඟ නිකමට වගේ නැවතිලා නොතිබ්බ කියල නම් කියන්න බෑ. 

කිසිම කෙනෙක්ට ගොඩාක් ආදරය නොකරපු අයියා තමන්ගේ වගකීම් නම් තක්තෙටම ඉටු කරන කෙනෙක්. බොහොම භයානක රෝගයකින් පීඩා විඳින ගමන් , ඉක්මන් ප්‍රතිකාර ලබා ගැනීමත් කල්දාමින් තමන්ගෙ යුතුකම් ඉටු කරන්නේ ආන්නේ නිසා. 

අයියට සමාජය ගැන හෙන කැක්කුමක් ඇත්තටම තියනවා. තනියෙන් හදා ගත්ත , තද ඉංග්‍රීසි වචන දැම්ම ලියුම් ටිකක් අරන් පාරේ බස් එකේම ආණ්ඩුවෙ ලොකු මහත්තරු හම්බෙන්න යන්නේ ආන්නෙකයි.

කොයි තරම් හොඳ උනත් හිටි ගමන් අසූහාදාහට කේන්ති ගන්නත් මගෙ අයිය හරිම දක්ෂයි. සමාජෙ ගැන ඇත්තම කැක්කුමක් තියන අයට ලංකාවේ කියන්නේ “පිස්සා “ කියල උනත් මගේ ඒ පිස්සු අයියා සමාජ යහපත වෙනුවෙන් කරන් යන කිසිම වැඩක් නතර කරන පාටක් නැහැ.

මේ ළඟදි මගෙ පිස්සු අයියට ආණ්ඩුවෙ ඉහළ ම තැනක පුටුවකින් සවන් යොමු කරේ අයිය තමන්ගේ තනි සටන අතාරින්නෙම නැති නිසා වෙන්නැති. 


අයියා කාට නැතත් මට නම් හෙනම ආදරෙයි. හෙවනැල්ලක් වගේ පස්සෙන් ඉන්නත් , ජිවිතේ පහුගිය තැන් එකක් නෑර කියවන්නත් එයා තෝරා ගන්නෙ මාව.එයාට මක්ක මතක නැති උනත් එයාගේ ජිවිත ගමනෙදි හමුවුනු සුන්දර ගැහැණු ළමයිගේ ඇහිපිල්ලමක පැල්ලමක් පවා අයියට මතකයි. 

ඒත්..... ..........................අයියගේ අසනීප තත්වෙ දැන් හොඳටම වැඩි වෙලා.කොච්චර කීවත් අහන්නැති මුරණ්ඩු ගතිය මෙල්ල කර ගන්න සිද්ධ වෙලා. එයා බෙහෙත් ගන්න ,ඔපරේශන් කරන්න ළඟදිම නැව් නගීවි. 

ආයෙමත් ලොකු හෙවනක් නැතිව ගිනි අව්වෙ තනියෙන් පිච්චෙන්න මේ නංගිට සිද්ධ වේවි. මම නම් කියන්නේ, ගියාට කමක් නෑ සනීප වෙලා ඉක්මනට එන්න.එන ගමන් මතක ඇතිව ඇමරිකාවේ ඇපල් වත්තකට පැනල මට ඇපල් ගෝනියකුත් අරන් එන්න.

එතකොට අපි දෙන්නට පුලුවන් ඒ ඇපල් කකා මට හරියන කොල්ලෙක් තෝරන්න. ඔයාගේ පරණ කෙල්ලො ගැන මතක් කරන්න.

ඉතින් සනීප වෙලා ඉක්මනින් එන්න.............





Blogroll

Related Posts Plugin for WordPress, Blogger...