..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Saturday, November 7, 2015

ආදර උයන - The Orchard Of Love

ආදර උයන

The Orchard  Of Love




  





" අපි යමු විහාරමහ දේවි පාර්ක් එකට "






නිදහස් චතුරස්‍රයේ එල්ලිච්චි ඇස් අයින් කර ගන්න කලින් එයා කීවා. මෙච්චර වෙලා බෙල්ල ගැලවෙනකම් දේවල් බලලත් , තව දේවල් ගොඩක් බලන්න මට ඉතිරි වෙලා තිබ්බත් පැන්න ගමන් මාත් හා කීවා.






ඊට පස්සේ කෙටි පාරවල් , දිග පාරවල් දිගේ පාර දිගටම අපි ඇවිදන් ගියා . . . . . කොළඹ කොහෙන් ගියත් පාරක් තියෙනවා. හැබැයි ඉතින් කකුළුත් රිදෙනවා. අපරාදේ බයිකෙක දාලා එන්න කීවේ කියලා මගෙ හිත මටම දොසුත් තියනවා.






අරහෙන් මෙහෙන් පැන පැන වෙලාවකට එයාගේ ගාණටමත් වෙලාවකට එයාට පහු වෙලත් මම ඇවිදන් යනවා , හැබැයි කොයි වෙලාවකවත් එයාට ඉස්සර උනේ නම් නැහැ. කහ ඉරවල් ලඟ දි ඉඹේම අත් පැටලෙනවා. ඒ පැටලුනු අත් ලිහලා දාන්නේ මම .






" තව දුර ද ? "







" ඔවු ගොඩක් අපි බස් එකේ යමු. ඔයා කුඩ පාවිච්චියක් නැද්ද ? "


" ඇයි නැත්තේ , මමත් කුඩේ දානවා. "









හිටි ගමන් ගමන නතර වුනා. දෙකට නැමි නැමි එයා හිනා වෙන්න ගත්තා. මට නම් මුකුත් හිතා ගන්නවත් බැහැ.




" කුඩේ දානවා . . . කුඩේ දානවා "

" කුඩේ දාන්නැතිව මොකක් ද කරන්නේ ? "


" අපි නම් කුඩ ඉහලනවා "

මහ ගොඩේ ගතියක් එක්ක ආපු ලැජ්ජාව වහගන්න ගිහින් තව ඩිංගෙන් පාරේ මැද්දේ වාහනයකට යට වෙනවා. ආයාසයෙන් තොර එන හිනාව මතු කරන්න පුළුවන් එහෙමත් කෙනෙක්ට. දැනටත් මතක් වුනාම නිරායාසයෙන් ම ඒ හිනාව ආපහු එනවා. ඒක තමයි නියම සතුට.








කොහොමින් කොහොම හරි පාර්ක් එකට ආවා. මට නම් ආපු පාර මතක නැහැ. හැබැයි පාර්ක් එකට ආපු පළවෙනි දවස නම් අද වගේ මතකයි. එතකොට මම අටේ පන්තියෙ විතර ඇති. ඉස්කෝලෙන් ආපු අධ්‍යාපන චාරිකාව අතරතුර දවල් කෑම ගන්න අපිව එක්කරන් ආපේ මේ පාර්ක් එකට. කෙහෙල් කොළේ ඔතපු තඩි බත් එකේ අම්ම බිත්තර ගෙඩි දෙකක්ම දාලා තිබ්බා මට තාමත් මතකයි.




හැබැයි ඒ කාලේ මේ පාර්ක් එක වටේ තාප්පයක් තිබුණා. දැන් ඒක නැහැ. හරි පිරිසිදු පිළිවල උද්‍යානයක්.







තරුණ ගැහැණු පිරිමි ළමයින්ගෙන් පිරිලා. මම වගේ මැදි වයස් වල අයත් ඉදල හිටල හිටියා. කිසිම කෙනෙක් කිසිම කෙනෙක්ව ගනන් ගත්තෙ නැහැ. තම තමන් තම තමන්ගේ ලෝක වල දැවටිලා හිටියා. කවුරුවත් කිසි කෙනෙක්ට මුකුත් කීවේ නැහැ. කවුරුවත් කිසි කෙනෙක් ගැන මුකුත් සෙවුවෙත් නැහැ.







මට මතක් වුනේ ගාලු උද්‍යානය සහ ගාලු කොටුව. ඉස්සර ඒවයෙත් තරුණ ජෝඩු පිරිලා හිටියා. නමුත් වර්තමානයේ එහෙම දකින්න නැත්තේ ගාලු කොටුව තුළ හා ගාලු උද්‍යානය තුළ ආදරය කිරීම සම්පුර්ණයෙන්ම තහනම් නිසා. බැරි වෙලාවත් අසභ්‍ය විදිහට ආදරය කරොත් අල්ලන් යන්න පොලිසියෙනුත් ගාලු කොටුවේ ඉන්නවා.




ඒත් මෙතන වෙනස් , ආදරය දොරේ ගලනවා , සතුට හිනාව හැම තැනම පිරිලා.




දෙන්න දෙන්නා විතරක් නෙමේ. සමූහ පිටින් සතුටින් ඇවිදිනවා. එක තැනක දෙපිලට බෙදිලා කෙල්ලො කොල්ලො සෙල්ලමක් . බොහෝ විට තෘතික අධ්‍යාපන ආයතනයක ඉගෙන ගන්න ළමයි වගේ.




" ඒ මොකක් ද ඒ සෙල්ලම "



" බල්ලයි මස් කට්ටයි "
 
සෙල්ලම ගැන සම්පූර්ණ විස්තරයක් කෙරුනා.




එයයි මායි වාඩි වෙච්චි බංකුවත් ආදරයෙන් පිරිලයි තිබ්බේ. හැබැයි ඉතින් කතා කරද්දි බංකුවේ අනිත් පැත්තේ ඉන්න දෙන්නාට කරදරයක් වෙන්න බැහැ කියලා එයයි මට කීවේ.




අපි ගොඩාක් දේවල් කතා කරා. චෙස් සෙල්ලම් කරන හැටි , ඉස්සර මේවා තිබුන හැටි, ගෝඨාභය කොළඹ හැඩ කරපු හැටි , පයින් අපි ඇවිදපු හැටි විතරක් නෙමේ එයාගේ කලින් හිටපු ගෑණු ළමයි ගැනත් එයා මට කීවා. එයාල එක්ක මේ පාර්ක් එකට ආපු මතක සටහන් , එයා ල හමවුන හැටි , එයාල නැති වුනු හැටි . . . . .







ගොඩක් දේවල් මට තේරුම් ගන්න පුළුවන් උනත් , මට නොතේරුනු එකම දේ තමා ඇයි එයාල මේ වගේ කෙනෙක්ව දාලා ගියේ කියනෙක.





" ඒක ඔයා කවදහරි තේරුම් ගනිවි "






මටත් කියන්න ගොඩක් දේ තිබ්බා. හැබැයි ඒවා හරි කෙටියි. මගෙ කතාව හිටි ගමන් උස් හඩක් ගන්නවා. මම හිතන්නේ ඒ බංකුවට විතරක් නෙමේ තවත් බංකු කිහිපයක් එහා ඉන්න අයටත් ඇහෙන තරමට කතාව උස් හඩක් ගන්නවා.







" ස්...........ස්.....................හෙමින් හෙමින් " ඒ වෙලාවට එයා මතක් කරනවා.

" මොනා කරන්න ද මම ටීචර් කෙනෙක් නෙහ් " මම නිදහසට කරුණූ කියනවා.





ටීචර් කොල්ලෙක් එක්ක පාර්ක් ඇවිත් ? ළමයෙක් දැක්කොත් මොනා හිතයි ද?





හිත මහා කණගාටුවකින් පිරෙනවා.වරදකාරි හැඟීමක් දැනෙනවා.








ටීචර්ට ආදරේ හොඳ නැද්ද. අනික පාර්ක් එකට එන්නේ ආදරය කරන්න විතරම ද ?






අපි පාර්ක් එකට යන කොට වගේම පාර්ක් එකෙන් ආපහු එන කොටත් උද්‍යානය ආදරයෙන් පිරිලා තිබුනා.

Sunday, November 1, 2015

මම මාතර කෙල්ලෙක්මි

මම මාතර කෙල්ලෙක්මි





මාතර ගැහැණුන් කටට රසට සැරට ඉවීමෙහි රුසියන් බවත් , ආද‍රය කිරීමේ දී ද ආදරය පිදීමට මාතර ගැහැණු තරම් ත්‍යාගශීලී ගැහැණූන් නොමැති බවත් කොහේ හෝ තිබී කියෙව්වා මතකයෙහි ඇත. 

එවිට මාගේ පදිංචිය මාතර නොවූ නිසා ද උපන් ගමට යළිදු ඒ යැයි නොසිතූ නිසා ද ඒ කියවූ දේ පිළිබඳව වැඩි දුරට නොසිතූ නමුත් , මතකේ නම් අතටද ඉතිරිවී පවතී. 

නොසිතූ ලෙසට මව හා පියාගේත් මගේත් උපන් ගමට යළිදු පැමිණීමට ලැබීමෙන් පසුව වෙනත් ගමක "පිටගම්කාරයන් " වූ අපට අපේ ගමේ දී ලැබුනේ සුන්දර පිළිගැනීමකි.  

ජීවිතයේ ඒ වන විට වැඩි කාලයක් ගත කර තිබුනේ මාතරින් බොහෝ දුර උඩරට ප්‍රදේශයේ ගමක වූ මට මාතර අකුරැස්ස පෙනුනේ අමුතුම තාලයකටය. 

 කතාව හාත්පසින්ම වෙනස්ය. ඔවුන්ගේ කතාව කොතරම් ලෙංගතු වූවද පිටතින් ආ කෙනෙකුට කලක් යනකම් ඒ කතාව දැනෙනුයේ තරහින් අමනාපයෙන් සහ ආඩම්බරයෙන් කරන කතාවක් ලෙසිනි. 

ක්‍රමයෙන් මගේ කතාව "බත් කෑවද?" යන්නෙන් " බත් කෑවයි?" ලෙසටත් " ඔයාට මං ආදරෙයි" යන්නෙන් " ඔයැයිට මං ආදරෙයි" ලෙසටත් වෙනස් වීමට වැඩි කාලයක් ගත නොවූයේ ඇගේ ලේ වල මිශ්‍ර ව තිබූ මාතර ගතිය නිසා වන්නට ඇත. 

මාතර ඇත්තියන් ආදරයේ දී ඉතාම සංවේදී සහ හෘද්‍යාංගම වන බවක් මම කලින් පැවසූව ද කුරුණෑගල ප්‍රදේශයේ අහිංසක කොල්ලෙක්ට ආදරය කර ඉතා අමානුශික අන්දමින් ඔහුගේ යහළුවෙකු හා විවාහ වූ මාතර කෙල්ලක ගැන මම දනිමි. 

මාතර හා කුරුණැගල අතර ඇත්තේ අසීමිත ආදර බැදීමකි. මා දන්නා ප්‍රේමණිය යුවලවල් කිහිප පොළක් ම මාතර-කුරුණැගල ජෝඩු වීම එයට කදිම සාක්ෂියකි.

උඩරැටියන් තවමත් මාතර පහතරැටියන්ට බිය බව මම පිළිගන්නේ මා හා ආදර සම්බන්ධයක් පටන් ගැනීමට අවශ්‍ය වු සුන්දර උඩරට කොල්ලෙකුගේ හැසිරීම නිසා ය. 

රසට පිසීම අතින් නම් මාතර ගැහැණූන් කවදත් ඉදිරියෙන් සිටින බව මම තවමත් පිළිගනිමි.හඳේ ගියත් මාතර හෝටලක් තියෙන්නට ඉඩ ඇත්තේ ඒ නිසා වන්නට ඇත. 

මා වෙසෙන්නේ මාතර දිස්ත්‍රික්කයට අයත් මාතර නගරයේ සිට රට තුළට කි.මි 24ක් පමණ ගිය තැන හමුවන අකුරැස්ස නම් සුන්දර ග්‍රාමයේය. නමුත් අදටත් "ඔයා කොහේ ද? " යැයි විමසූ විට " මම මාතර " යැයි පැවසීම මගේ සිතට ද ගෙනෙන්නේ අමුතු මෙවුවා එකකි.......................


මාතර කෙල්ල
මම
වත්සලා

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...