..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Tuesday, July 28, 2015

.ඉතිරි බාගේ...............


ඉතිරි බාගේ...............




මේ ලෝකේ තවත් එක මනුස්ස ජීවියෙක් වුනු එයාට තිබ්බේ එකම අරමුණයි. ඒ තමා තමන්ටම හරියන තමන්ගේ ඉතිරි අර්ධය හොයා ගන්නෙක. ඒකට එයා දිවා රාත්‍රී වෙහෙසුනා. ලෝකේ හැමතැනම ඇවිද්දා. ගොඩාක් කරදර වින්දා, දුක් වින්දා.

ඒත් එයා එයාගේ සෙවිල්ල නතර කලේ නැහැ. එයා කිසිම කෙනෙක් කියපු දෙයක් ඇහුවෙත් නැහැ. ගොඩාක් අය එයාව අතෑරල දැම්මා. ඒත් එයාගේ මේ අත් නොහැරිය සෙවිල්ලෙ දී එයා එක්කම කෙනෙක් හිටියා.

එයා තමා මෙයාගේ ලෙඩට දුකට බැලුවේ , මෙයාගේ දුක අහන් හිටියේ , මෙයාගේ සතුටෙ දි හිනා වුනේ , අඩන කොට වාරුවට හිටියේ. වැටෙන කොට නැගිට්ටුවේ.......එයත් මෙයා එක්කම මෙයා යන හැමතැනම එයාගේ පස්සෙන්ම ගියා.

කොහොම හරි කාලය ගත වුනා. සෙවිල්ල නිම වුනේ නැහැ. සොයපු දේ හමු වුනෙත් නැහැ. නමුත් ජීවිතය වයසට ගිහින් තිබ්බා. පණ නල මේ ලෝකේ අතෑරල යන්න කිට්ටු වුනා. 

පණ යන්න ඔන්න මෙන්න තියෙද්දි වගේ එයාට හිතුනා මෙච්චර කල් තමන්ගේ පස්සෙන්ම ආපු , අදටත් තමන්ව දාලා නොයන මනුස්සයගෙන් මෙහෙම අහන්න.

" ඔයා ඇයි ඔයාගේ ඉතිරි බාගය හොයන්නේ නැත්තේ ?"


ඒකට මේ මනුස්සයා දුන්නේ හරිම අපූරු පිළිතුරක්.....................

" මම හැමදාමත් හිටියේ මගේ ඉතිරි භාගය එක්ක තමයි "



තාමත් ඉතිරි අර්ධය සොයන 

මම




We are all searching for our other half.

Friday, July 17, 2015

෴ ඔෆිස් කතාවක් ෴

෴ ඔෆිස් කතාවක් ෴  




සාමාන්‍යයෙන් රජයේ ආයතන වල දී යම් ගැටළුවක දී තීරණ ගන්නේ ඉහළ නිළධාරීන් , ලිපිකරුවන්ට තියෙන්නේ ඒ තීරණය අදාළ අයට ලිපි මගින් දැනුම් දීම. 

එතන දි මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ ලිපිගොනු හරහා.... ලිපිකරුවා හෝ ලිපිකාරිණිය කරන්නේ තීරණය අවශ්‍ය වන අදාල ලිපිය ,ගොනුවේ අමුණලා . සිද්ධිය ගැන අතීත කතාව පොඩ්ඩක් කෙටියෙන් සඳහන් කරලා , තමන්ගේ අදහසක් එහෙම තියනව නන් තීරණය ගන්න ලේසි වෙන්න ඒකත් ලියල උපදෙස් සදහා ඉ/ කරමි කියල සටහන අවසන් කරනෙක. 

මෙතනදි ඉ/කරමි කියන්නේ ඉදිරිපත් කරමි කියනෙක. 

මේ වගේ කෙටි යෙදුම් ගොඩක් කාර්යාල සටහන් වල තියෙනවා..... 

උදාහරණ විදිහට මෙහෙම යවන සටහන යටින් සමහර වෙලාවට ලොක්කා ලියල එවනවා අ/ කරමි කියල. පොඩි අත්සනකුත් එක්කම. ඒ කියන්නේ ලිපිකරුවා ලියල තියෙන අදහස අනුමත කරමි කියනෙක.
 
ඊට පස්සෙ එම ගොනුව ලිපිකරුවාට ආවම එයා කරන්නේ ඒ අදහස අනුව පිළිතුරු ලිපිය සකස් කරලා ලොක්කට වඩා පහළින් ඉන්න චූටි ලොක්කෙක්ට යවලා අත්සන දම්මලා ලිපිය අදාල කෙනාට යවනෙක.


 මෙතන දී ලොක්කා නේ තීරණය අනුමත කලේ ඒ වෙලාවට ඉතින් සූටි ලොක්කගේ අත්සන තිබ්බත් අ/කළේ කියලා ලොකු ලොක්කගේ නමත් දානවා.ඒ කියන්නේ ලොකු ලොක්කා අනුමත කරපු බව.

දවසක් ලිපිකාරිණියකට ආවලු ලොකු ගැටළුවක් තියෙන ලිපියක්. මේකට ඉක්මනින් පිළීතුරු යවන්නත් ඕනි නිසාත් ගැටළුව බරපතල නිසාත් ලිපිකාරිණිය ඉක්මනින් ලිපිය ගොනුවේ අමුණලා...සටහන් කොළේ විස්තරයත් ටිකක් ලියලා, තීරණය ගන්න උදව්වෙන දේවලුත් ලියල ඉ/කරමි කියල ලියල සර්ට යැවුවලු....

ලොක්කා ටත් මේ ලිපියේ ගැටළුව හෙනම ගැටළුවක් ලු. කොහොම හිතුවත් උත්තරයක් තීරණයක් හිතා ගන්නත් බෑලු. අන්තිමට ලොක්කා සටහන යටින් ලීවලු. ඕ/පු කියලා. කෙටි අත්සනක් දැම්මලු.......
 
මේ ලිපි ගොනුව ලිපිකාරිනිය ලගට ආවම එයා තක්බීර් වෙලා ගිහින්. මොකද කියනව නම් මෙහෙම කෙටි යෙදුමක් ඇය දැනගෙන ඉදලම නැහැ............. ඒත් මං දන්නවා ඒකේ තේරුම මොකක් ද කියලා....................හෙහේ.................ලොක්කන්ටත් එහෙම හිතෙන නම් අපිට මොනා හිතුනම මොකද නේද ?


ප/ලි - ජීවිතේ මොන දේ උනත් ඕ/පු කියල ඉන්න පුලුවන් නම් කොච්චර හොදද ?

ප/ප/ලි - ඒත් ඉතින් එහෙම මම ඉන්නත් බෑනේ ..........

ප/ප/ප/ලි - නෑ ඕනි නැහැ............


ලොක්කගේ සටහන දැකලා තක්බීර් වුනු ලිපිකාරිණිය
මම
 සොඳුරු සිත

Thursday, July 2, 2015

පන්තිභාර ගුරුතුමියකගේ සටහනක්

පන්තිභාර ගුරුතුමියකගේ සටහනක්



පන්තිභාර ගුරුතුමියක් වීම යනු පාසලක ගුරුවරියක්ට ලැබෙන විශාල වගකීමකි. පංතිභාරකම නිසා දවසේ උදෑසන පළමු කාලච්ඡේදය වෙන් වන්නේ පන්තිභාර ගුරුතුමියගේ විෂය සඳහායි. නමුත් පන්තිභාරගුරුතුමියක් විෂය නිර්දේශය අඩුවෙන්ම කවර් කරන්නේ තමා භාර පන්තියට බැව් පැවසුවොත් එය පුදුම වන්නට කාරණාවක් නොව. පන්තිභාර පන්තියට උදෑසනම ගිය විට ඇති රාජකාරි රැසකි. 

පන්තිය අතුගා ඇත්දැයි බැලිය යුතුය. නැතිනම් කට රිදෙන තෙක් ළමයින්ට බැනිය යුතුය. මේස රෙද්ද , පන්ති නාම ලේඛනය , පන්ති වාර්තා පොත, හුණු කූරු ආදිය ගෙනැවිත් නැති නම් කාර්යාලයේ ඒවා තිබෙනු දැක ප්‍රින්සිපල් කෑගැසීමට පෙර එවා විගසින් රැගෙන එන ලෙස පන්තිනායකයාට පැවසිය යුතුය. වේලාව වඩාත් ප්‍රමාද වී ඇතිනම් ප්‍රින්සිපල්ට නොපෙනෙන ලෙසට ඒවා රැගෙන එන ලෙසට විශේෂ උපදෙස් ලබා දිය යුතුය.  

ඒ අතර තුර පන්තියේ ඩෙස් පුටු පිළිවලට සකසා ඇද්ද , බුදුන්ට මල් පහන් පූජා කර ඇත්දැයි බැලිය යුතුය. නැතිනම් පෙර මෙන් ආයෙත් බැනිය යුතු ය. නාමලේණකය රැගෙන ආ පසු අරය ඉන්නවා ද? මෙයා ඉන්නවාද යනුවෙන් පිළිවළින් අසමින් එක හෝ බින්දුව පිරිසිදුව පිළිවලට ලකුණු කර එකේ ඉලක්කම් ගාණට හරියන සිසුන් පිරිසක් පන්තියේ සිටිනවා දැයි බැලිය යුතුය. නැතිනම් සිසුන්ට බනිමින් නැති කෙනෙක්ට දැමූ එක ලකුණ ඉවත් කරන්නේ කෙසේදැයි දස අතේ කල්පනා කල යුතුය.

  පන්තිභාර ගුරුවරයෙකුගේ චරිතයේ කැඩපතක් ලෙස සලකන නාමලේඛනය කෙළ ගා මකා හෝ කුරුටු බලි වූ අපිරිසිදු නාම ලේණකයක් නඩත්තු කිරීම යනු ගුරුවරයාගේ චරිතයම කටුගෑවි යෑමකි. එබැවින් එය එතරම්ම වැදගත් වේ. ඉන් පසු එලඹෙන්නේ ළමයින් පට්ට පල් බොරු කියන සමයයි. ඒ මක් නිසාද යනු ඊයේ බින්දු වැටුනු අය ට අද එක වැටි ඇත්නම් ඊයේ බින්දු වැටීමට හේතු වූ කරුණු විමසීමට සිදු වන බැවිනි. "සීයා මලා " " ආච්චි මලා " වැනි බොරු දැන් ළමයි නොපවසති. ඔවුන් දැන් පවසන්නේ පට්ට බොරුය..... එය දැන ගැනීමට නම් ඒවා පවසන විට ඔවුන්ගේ මුහුණ දෙස එක එල්ලේ බලා සිටිය යුතුය. එක දිගට පැමිණ අදද නොපැමිණ ඇති ළමයකු වේ නම් ඔවුන්ගේ ගෙදර කෝල් කර බැලීම ද ගුරුවරයාගේ අමතර වගකීමකි....


ඉන් පසු එළඹෙන්නේ එකිනෙකාගේ රණ්ඩු දබර විමසා ඒවා සමථයකට පත් කරන වේලාවයි. එය එතරම්ම වෙලාවක් නොයන කාරණාවක් වන්නේ බොහෝ පන්තිභාර ගුරුවරුන්ට එවැනි ගැටළු සදහා සකසා ගත් රෙඩිමේඩ් පිළියම් ඇති බැවිනි. කෙසේ හෝ මේ සියල්ල අවසන්ව " හරි ළමයි අද පාඩම තමයි............." කියද්දීම (අ) වාසනාවන්ත ලෙස පළමු කාලච්ඡේදය අවසන් වන සීනුව නාද වන්නට ගනී.

ප/ලි - අද දින පන්තියට ගොඩවන විටම දැනට දින පහකට පමණ පෙර "පැපොල" හැදුනු පිරිමි ළමෙයෙකු පාසල් ඇවිත්ය. ඔහුගේ නිවසට කතා කර ළමයා අම්මා සමගින් නිවසට පිටත් කර හැරීමට කටයුතු අවසන් කර හැරෙන විට තව කොල්ලෙකුගේ බඩේ අමාරුවකි. 

අවාසනාවන්ත ලෙස ඒ දරුවාට "බඩේ ගල්" බව පසුව දැන ගත්තෙමි...... 

කෙසේ වුවත් පන්තියේ ළමයින්ගේ මුහුණු දෙස බැලූ පමණින් අද ඔවුන් සිටින්නේ සතුටින් ද ? දුකින් ද එහෙමත් නැතිනම් කුමක් හෝ ගැටලුවකින්දැයි කීමට තරම් හැකියාවක් ඇති පන්තිභාරගුරුවරු සිටින බවද දන්වන්නට කැමැත්තෙමි........... නගරයේ පාසලක නම් "පන්තිභාරකාරත්වය " යනු නිධානයකි....නමුත් මගේ පාසලේ පන්තිභාරකාරත්වය නිසා මට ලැබී ඇත්තේ දරුවන් විසින් ලියන ලද නිසදැස් තොගයක් සහ මල් වැටුණු කුඩා කුඩයක් පමණි.......... 

නමුදු පන්තිභාරකාරත්වය යනු නිවසක ගෘහමූලිකතැන ලැබීම තරම් දෙයක් යැයි සලකන 
මම
 - සොදුරු සිත-

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...