..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Tuesday, June 30, 2015

සයිබර් කුමට රියැලිටියට එන්න බැරී

 සයිබර් කුමට රියැලිටියට එන්න බැරී


හදිසයේම මොනා හරි දෙයක් ඕනි වෙලා හොයන කොට , හොයාන හොයාන හොයාන යද්දි හම්බෙන්නේ ඊට කලින් කවදහරි දවසක ඕනි වෙලා හොයපු, නමුත් හොයා ගන්න බැරි වුනු දෙයක්.ඉතින් එතනින් හොයා ගැනිල්ල නවතිනවා. 

අදත් එහෙම එකක් වුනා.හොයාන හොයාන හොයාන යද්දි හම්බවුනේ කලින් දවසක හොයල හොයල හොයල හොයා ගන්න බැරි වුනු දෙයක්....හෙහේ. ඉතින් මම අද හොයපු දේ හෙවිල්ල නතර කරල දැම්මා.මොකද අද හොයපු දේ වෙන දවසක වෙන දෙයක් හොයද්දි හමුවෙයි කියලා මං දන්නවා.

මේ තියෙන්නෙ එහෙම කලින් දවසෙ හොයලා හොයා ගන්න බැරි වුනු ,අහම්බයෙන් වෙන දෙයක් හොයද්දි අද හම්බුනු කවියක්.....



                         ෆෙස් බුක් එකේ , චැට් තීරුවෙ නුඹව පෙනී
                         නැවතී බලනවා මොහොතක් කොහොම හරී
                         කතා නැතිව සිටියත් ගොළු වෙලා අපී
                         දාහක් දේ තිබේ කීමට බැරිව වැසී

චැට් බොක්ස් එකට දාහක් ඇස් ඇති හින්දා
චැට්බොක්ස් කවද හරි හැක් වී යන හින්දා
කවදාවත්ම නුඹ මුණ නොගැහෙන හින්දා
ඉන්විසිබල් හොඳයි විසිබල් දුක හින්දා

                         චැට් බොක්ස් කුමට සිතුසේ චැට් කරනු බැරී
                         ස්කයිප් මොටද සිතු සේ දැක ගන්න බැරී
                         ෆේස් බුක් කුමට ලයික් එකක් දමනු බැරී
                        සයිබර් කුමට රියැලිටියට එන්න බැරී

                                                  - සොඳුරු සිත-

Sunday, June 28, 2015

නිහඩ වූ චමරිය 2

නිහඩ වූ චමරිය 2


කලකට පසුව පැමිණි රජයේ නිවාඩු දිනයක් වූ එදිනසෙති මැදට වැටී තිබීම නිසා චමරියේ කොලු නඩය එය සැමරීම වස් සූදානම් වන බවක් පෙනී යන්නට විය. 

එවැනි දිනක ඔවුන් අවදි වන්නේ මහපාන්දර දහයත් පසු වීය . ඉන් පසු අවට නිවෙස් වල වහලවල් වලට බෝල පාස් කරමින් හයේ හතරේ පහරවල් වලට පොඩි දරුවන් මෙන් කෑගසමින් ක්‍රිකට් සෙල්ලම් කරයි.

සවස තුන හතර පමණ වන විට  තරමක් සංසුන් වන ඔවුන් මෝටර් බයික් වල නැගී පිටව ගොසින් හය හත පමණ වන විට එකා එකා නැවත චමරිය වෙත පැමිණේ......

රෑ අට නමය පමණ වන විට නැගී එන සංගීතය ඇසීමට මම ද සූදානම්ව සිටියෙමි..... සිතු ලෙසින්ම බෝගෝ සහ ගිටාර් වාදනයත් සමගින් නැගී ආ සංගීත රාවය වෙනදාට වඩා උත්කර්ශවත් බවක් ඉසිලීය. . . 

එදින සංගීතය මහ රාත්‍රී  පසුවන තෙක් ඇදී යන බවක් හැගී ගිය අතර මා වෙත නොදැනීම නින්ද ලගා වී තිබුණි.


මා එකවර නින්දෙන් ඇහැරුනේ මහා කලබලයක් ඇසෙන්නට වූ බැවිනි. ඇස් පිසිමින් ජංගම දුරකථනයේ වේලාව බැලූ විට මධ්‍යම රාත්‍රීයද පසුවෙමින් තිබුණි.

කලබලය ඇසී මව ද නින්දෙන් නැගිටවිත් තිබුණි.

" මොකක් ද කලබලේ "

" චමරිය පැත්තෙන් ඇහෙන්නේ "

" කොල්ලො බීලා රණ්ඩු කරනව ඇති. යන් යන් නිදාගන්න "

එසේ පවසමින් සියල්ල විසදා ගත් අප නැවත නින්දට වැටුණි. 

පසුදින පාන්දර ම සේවය සදහා පිටත්ව ගිය මට පෙර දින රාත්තිරියේ සිදුවීම අමතකව ගොස් තිබුණු නමුදු..... සේවය නිමා වී නිවසට පැමිණෙන අතර මුණ ගැසුණු පොලිස් නිළධාරියෙක් චමරියේ ලිපිනය පවසා ඒ කොහිදැයි විමසූ බැවින් නැවතත් පෙරදින මතකය අලුත් වන්නට විය.

චමරියේ කොල්ලන්ට විරුද්ධව පොලිස් පොතේ පැමිණිල්ලක් ඇති බවත් එය විමර්ශනය කිරීමට ඔහු පැමිණි බවත් මා සමගින් පැවසීය.

සිදුව ඇති දේ හරියටම දැන ගැනීමට මාසයක් පමණ ගත වූයේ කාර්ය බහුල ජීවිතයත් සමගින් පොර බදන නිසාම වන්නට ඇත. නමුත් මාසයේ 10 වන දින  වන විට චමරිය දෙසින් ඇසෙන සිහින් සංගීත රාවය බලාපොරොත්තුවෙන් සිට එය නොමැති තැන බලාපොරොත්තු කඩ වූ මා අම්මාගෙන් ඇසුවේ කොල්ලන් චමරිය හැර ගොස් දැයි කියාය .

" ඒ කොල්ලන් චමරිය දාලා කොහ යන්න ද, ඔය උදෙත් වැඩට ගියේ "

" මොකද දන්නෑ ඉස්සර වගේ සද්ද නැත්තේ දැන් "

" පවු . . .  කොච්චර උනත් කොල්ලො නේ. උන්ට කරපු වැඩේ වැරදි "

" ඇයි  . . .  මොනාද වුනේ "

මව පැවසූ පරිදි සිද්ධිය මෙසේය. 

අවසන් වරට චමරියේ සංගීත රාත්‍රී දිනයේ රාත්‍රී එකොලහට පමණ ඔවුන් සින්දු කියමින් සිටි තැනට කොහෙන් හෝ පැමිණ ඇත්තේ තැඹිලි කෝම්බයකි.  අවාසනාවට එය වැදී ඇත්තේ බඹන මතට කිට්ටුවෙමින් සිටි කොල්ලෙකුගේ නලලටයි.

ඇවිස්සුනු කඩි රැළ මෙන් ඔවුන් තැඹිලි කෝම්බය පැමිණි ඉසව්ව වෙත රංචුව සමගින් ගොස් ඇති නමුදු කිසිවෙකුද සොයා ගැනීමට නොලැබී ඇත.

පසුව අවට නිවෙස් කිහිපයක් සමගින්ම බහින්බස් වීමට ගොස් ඇති බීමත් කොලු නඩය ට විරුද්ධව යාබද නිවෙස් කිහිපයක් විසින්ම පැමිණි කර ඇත්තේ එදින සිදු වූ සිදු වීමටත් වඩා ඔවුන් විදින විනෝදය කෙරේ කලින් සිටම උරණ වෙමින් සිටි පලිය ගන්නට වන්නට ඇත.

පොලිසිය පැමින සිද්ධිය සමථයකට පත් කළ අතර අවසානයේ දී සොයා ගත් පරිදි තැඹිලි කෝම්භය විසි කර අැත්තේ යාබද නිවෙස් පෙලේ නිවෙස් දෙදකට එහායින් නිවසක සිටි වයස 17ක ගැහැණු ළමයින් දෙදෙනු විසිනි. තැඹිලි කෝම්ඹය විසි කළ ඔවුන් දෙදෙනා හොර පූසියන් මෙන් නිවසට පැමිණ කිසිවෙකුටත් ඇස නොගැටෙන ලෙස සිට ඇත. ගමේමම සිටින සක්කර වට්ටම් දෙක (ඔවු එහෙම තමා ගමේ මිනිස්සු කීවේ)  වන ඔවුන් චමරියේ කොල්ලන් සමඟ උරණ වූයේ ඇයි දැයි මට නොතේරේ.

කෙසේ හෝ ඉන් පසු කලබල  චමරිය නැවතත් නිහඩ නිසංසල පරිසරයක ගිලී ගොසිනි.

මිනිසුන් මෙතරම් කුහක වන්නේ ඇයි?

" කොල්ලන් යනු කොල්ලන්ය "

Friday, June 26, 2015

නිහඬ වූ චමරිය

නිහඬ වූ චමරිය


ඉද හිට වාහනයක් යන හඩත් , කුරුල්ලෙකු ගේ කිචිබිචියත් , නිකරුනේ බිය වැදුනු ලේනකුගේ අදෝනාවත් හැරුණු විට මුළු පරිසරයම නිහඩ නිස්කලංකයක ගිලී ගිය පරිසරයක මහා නිවසක ඇති කුඩා කාමරයක ඇරුණ ජනේලය ළගට වී පිටතට යොමු කර ගත් කණ් ඇතුව පූසියක මෙන් සිටින්නෙමි.

අප නිවස අද්දරින් දිවෙන කුඩා පාරේ මීටර් තුනක් පමණ ගොස් වමට හැරී තවත් මීටර් තුනක් පමණ ගිය විට හමුවන පාළුවට ගිය ඉඩමේ ඇති පාළුවට ගිය නිවසට නව පණක් ලැබුනාක් වැන්න.

මහ හඩින් එහා මෙහා යන නවීන පන්නයේ අලුත්ම මෝටර් බයික් විනාඩියෙන් විනාඩියෙන් නිවස දෙසින් සැර දමමින් පිටත්වෙයි. තවත් ටික වේලාවකින් ආපසු පැමිණෙයි. ඒ පළාතම දෙදරවමිනි. ඉන් ටික වේලාවකට පසුව සංසුන් බවක් පැතිර ගිය ද ඒ මොහොතකට පමණි.

උඩින් පැමිණි යමක් මහ හඬ නංවමින් ටකරන් වලින් සෙවිලි කර ඇති දර ගෙය වහල උඩට වැටුණේ මහා සද්දයක් නගමිනි. " හයයි හයයි බන් හයයි............. "

දැක පුරුදු නැති තරුණ පිරිමි මුහුණු කිහිපයක් පහුගිය දින කිහිපයේ ඔය නිවස පැත්තට ඇදෙනවා දුටු බව අම්මා කීවු බව මතකයට නැගුනේ එවිට ය. පාසල් වයස ඔන්න මෙන්න ඉක්මවූ බව කියා පාන කොලු මුහුණු කිහිපයක තාවකාලික වාස්සථානය බවට එම නිවස පත්වී ඇති බැව් පැහැදිලිවම පෙනී ගිය අතර , ඉන් පසු උදාවූ සෑම පෝදාකම ඒ නිවස දෙසින් කලබලකාරි තරුණ ජවය පිරි ප්‍රාණවත් හඩ ලේනුන්ගේ කලබලකාරි නාදය ඉක්මවමින් ඇසෙන්නට විය. 

විශේෂයෙන් සතියේ අතර මැදි දිනයක යෙදෙන රජයේ නිවාඩු දිනය ඔවුනට අතිවිශේෂ වෙයි. එවන් දිනක රෑට ඇසෙන්නට ගන්නේ ගිටාර් සහ බොංගෝ හඩ සමඟින් මිශ්‍ර වන කපුගේ , ටීඑම් , නන්දා මාලනී ඇතුළු ක්ලැසි ගායක ගායිකාවන්ගේ ගීතයි. මත් බවත් එක්ව ගැයෙනා ඒ ගීත අවසන් වන්නේ මහ රාත්තිරි යේ හදිසියේම පැමිණෙන ත්‍රී රෝද රථයේ හඩත් සමඟිනි.

ත්‍රී රෝද රථයෙන් පැමිණෙන්නේ ගැහැණියක බව දැන ගන්නට ලැබෙන්නේ ඇගේ උස් සිනාහඩිනි. එම සිනාහඩ විසිර යෑමත් සමඟින්ම මත් ගායකයින්ගේ ගීතවත් හඩ වියකී ගොස් නිහඩ බව උදා වෙයි. තෘප්තිමත් කෙදිරි හඩක් ඇසේ දැයි කණ් දී ඇසීමට වඩා ඇගේ වියැකි යන සිනාවට සංසුන් වන පිරිමි න් ගැන සතමින් සතුටු සිතින් මම ද නින්දට යමි. කෙසේ හෝ පසුදා හිරු එළිය බිමට වැටීමටත් බොහෝම කලියෙන් ඇය  ත්‍රී රෝද රථයේ නැගී පලා යන හඩින් මම අවදි වෙමි.

කෙසේ වුවත් තාරුණ්‍ය විදින සතුට පිරි ජීවීන් රැසක් අප යාබද නිවසට පැමිණ පැල පැදියම් වීම වනාහි මා සිතට ගෙනාවේ සතුටකි.

සතිය මැද උදාවන රජයේ නිවාඩු දින වලට අමතරව , මාසයේ දහවන දිනට ද මේ මහා සංගීත රාත්‍රීන් උදාවන්නට විය. මහ රාත්තී වන තෙක් මත් බව පිරි සුභාවිත ගීත වලට සවන් දෙන්නට  මම ද පුරුදු වූයේ මගේ කාමරයට ඒ හඩ මැනවින් ඇසෙන නිසා වන්නට ඇත.

ඇතැම් දිනෙක ඔවුන්ගේ ප්‍රීතිමත් කෑකොස්සන් හඩ ඇසෙන මට සිතෙන්නේ මාද නැවත උපදින්නේ නම් මෙවන් පිරිමි භවයක උපත ලද යුතු බවයි. ඔවුන් එතරම් ඉරිසියාවක් මා සිත තුළ වගා කරන්නට විය.

නමුත් දැනට සති කිහිපයක සිට එදෙසින් කිසිම හා හූවක් නැත. ඔවුන් නිවස හැර ගොසින් ද?  නැත. ඔවුනට මුහුණ දීමට සිදුවී ඇත්තේ නොසිතූ අකරතැබ්බයිකට බැව් මා දැන ගත්තේ අදයි.. . . . . . . . ඒ හේතු කාරණා දැන ගත් පසු මා සිතට ආවේ කලකිරීමක් මුසු දුකකි...... 

ඒ කතාවත් එක්ක හෙට හමුවෙන තෙක් ඔබ සියළු දෙනාටම සතුට පිරි රාත්‍රියක් පතන මම -  සොඳුරු 

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...