..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Tuesday, April 7, 2015

රෙ‍කෝඩින් කොහා

රෙකෝඩින් කොහා





රෙකෝඩින් කොහා කුඩුවෙන් එළියට ආවේ ඇගටම ඇලිල තැලිල තිබ්බ තටු දිගාරින ගමන්. අතාරල දාලා තිබ්බ කපුටු කූඩුුවෙන් ආපු කපුටු ගදින් වායු ගෝලය පිරිලා ගියා. කුඩුව යාන්තමින් රැදිල තිබ්බ අත්ත කෙළවරටම ආපු රෙකෝඩින් කොහා යාන්තමට උගුර පාදල කෑගහන්න වගේ හදල ආයෙමත් හොට පියා ගත්තේ මහා කම්මැලිකමින් වගේ.


ඒ කම්මැලිකමින්ම මා දිහාවට හැරුණු රෙකෝඩින් කොහා මා දිහා බැලුවේ " මේ මොන කරදරකාරියෙක් " ද කියන හැගිමෙන්.


" අනේ කරදරයක් වුනා නම් සමාවෙන්න "


මම අරන් ආපු කජු පුහුලන් මල්ල රෙකෝඩින් කොහාට පේන විදිහට තියන ගමන් කීවා.

" හරි , හරි දැන් මොකද මේ පැත්තේ ආවේ ? , අනික ඔහෙ කොහොමද මාව සොයා ගත්තේ "


" සොයා ගන්න නම් හරියට අමාරු වුනා. ඉස්සර ඔහේ සද්ද කරලත් හොයා ගන්න බැරි කොට , නිස්සද්දව ඉද්දි හොයා ගන්න කොහොමත් අමාරුයි නෙව . ඒකනේ ඒ කාලේ කොහෝ කොහෝ  . . .  කොහේ ඉදන් කොහෝ කියන ව දෝ ?  කිය කීවෙත් "


" හෙහ් හෙහ් හෙහ් . . . .  "



මෙච්චර වෙලා කම්මැලිකම පිරිලා තිබ්බ රොකෝඩින් කොහාගේ මූණට අමුතුම එළියක් වැටුනා.



" ඒ කාලේ තමා කාලේ. . . . .  හ්ම් . . . . . " 


සුසුමක් හෙලපු රොකෝඩින් කොහා ආපහු කලින් තිබ්බ කම්මැලි බුක මූන දා ගත්තා.


ගද ගහන, අපිළිවෙල , කැඩෙන්න ඔන්න මෙන්න තිබ්බ කපුටු කූඩුවේ ඇතුලට මම එඹුනේ ගොඩාක් දුර ආපු ගමන නිසා උගුර කට වේලිල්ල නිසාමයි.


" හාමිනේ නැහැ . . . . " 

ඔලුව හරවන්නෙවත් නැතිව යටැසින් මා දිහා බලපු රොකෝඩින් කොහා කීවා.



" ළමයි ? " ඒ ප්‍රශ්ණය මගෙන්.


"උන් ඔය තැන තැන කපුටු කූඩවක් අයිතිකරන් කොහාට වෙලා හරි ඇති "


" එයාල  . . . . .  එයාලවත් දැන් සින්දු කියන්නැද්ද ? "


" පුහ් . . . . උන් ජීවිතෙට කරටක් ඇරල සින්දු කියල නැහැ. උන් තාමත් තනිකඩ ව ඉන්නේ ඒකනේ '


" මොකක් ද ඒ දෙකේ සම්බන්ධය ? "


" ඉස්සර අපි . . .  හ්ම්  . . . . . . (දිග සුසුමක් . . ) කෙටි නිහැඩියාවක් . . . . . . ඊට පස්සේ ආයෙත් කතාව පටන් ගත්තා.


" ඉස්සර අපි  ,  එරබදු මල් පොට්ටු දාගෙන එන කාලේට තමා අපේ ජීවිතෙත් මල් මල් කාලේ. ඒ කාලෙට අපි බලන්නේ කොහොම හරි තියෙන ලස්සනම සින්දුව කියලා , පළාතේ ඉන්න ලස්සනම කිරිල්ලිව අල්ල ගන්න " 


" එතකොට ඒක ද ඒ කාලෙට සින්දු කියන්නේ  " යැයි බොළද ප්‍රශ්ණයක් අහන්න මට සිතුනත් , රෙකෝඩින් කොහා ගේ මූණේ ඇදී තිබූ විස්තර කළ නොහැකි සිතුවම නිසා ඔහුට බාධා කිරිමට නොසිතුවෙමි.


" ඉතින්  . . .  අපේ එකෙක් ගේ සින්දුවකට දපනෙ වැටෙන , කළු පසුබිමේ ලස්සන තිත් රටාවක් වැටුණු කිරිල්ලියෙක් එක්ක , සින්දු කිය කිය මුළු පළාතෙම කුරුල්ලයි-කිරිල්ලියි වගේ රවුම් ගහනවා. කැලෑවෙන් එළියට ඒ කියන්නේ මනුස්ස වාසය ආසන්නයටම ඇවිත් කිරිල්ලිට පෙන්වනවා අපි කොයි තරම් නිර්භීත ද කියලා . . . . . . . . . . 



මදකට කතාව නතර කරපු රෙකෝඩින් කොහා කපුටු කූඩුවෙ දිරච්ච කොණකට බර දීලා වාඩි වුනා. කර කරස් සද්දෙත් එක්ක කූඩුව ටිකක් හෙල්ලිලා ගියාම කූඩුව ඇතුලෙ  හිටි මාත් ටිකක් බය වුනා.



" ඉතින්  . . . . ඊට පස්සේ  . . . ."



රෙකෝඩින් කොහාගේ මූණෙ තිබ්බ පෙම්පාට හේදිලා යන්න කලින් ම මම ඇහුවා.



" දන්නැද්ද ඉතින් , දෙන්නගෙම තරුණ කාලේ නේ. සින්දු කිය කිය අරහෙ මෙහෙ යන ගමන කෙළවර වෙන්නෙ ඉතින් කෙහී ගැබ්බර වෙලා . "


" ඉතින් . . . . . ."



" ඉතින්  ගෙවල් දොරවල් හදන්න වෙලාවකුත් නැහැ. ඒව ගැන මතකයට එන්නෙත් නැහැ. ලග තියෙන කපුටු කූඩුවක් දවසකට දෙහෙකට හරි කුලියට ඉල්ලන්  යන්තමින් දවස් දෙකක් ඉදලා කිරිල්ලි බිත්තර දාපු ගමන් අතේ මිටේ ගෙවන්න කුලියත් නැති නිසා හොරෙන්ම එතනින් පැන ගන්නවා. . . "


" එතකොට බිත්තර . . . . .? "


" බිත්තර ටික කපුටු කූඩුවෙ කපුටු බලාගන්නවා. කපුටා කොච්චර කරදරකාරයෙක් වුනත් උගේ හිත හොදයි. කට්ටිය හිතුවට කපුටා නොදැන කොහාගේ බිත්තර රකිනවා කියලා , කපුටා ඒ වැඩේ කරන්නේ කපුටගේ තියෙන හිත හොද මනුස්සකමට "


" මනුස්සකමට ? " ඒ වෙලාවේ නම් මනුස්ස දුවෙක් හිටියට මාත් ටිකක් ගැස්සිලා ගියා.



" බිත්තරෙන් පැටියා ආවම පන්නල දැම්මත් , ඒ වෙනකොට ඌට හොදට හොයාන කන්න බොන්න පුලුවන් මට්ටමකට ඇවිත් . උනුත් ඉතින් එරබදු මල් පිපිනෙ කාලෙට ගෑණියෙක් හොයාන සින්දු කියන්න පටන් ගන්නවා. ඔය චක්කරේ තමා ඉතින් අපේ ජීවන චක්කරේ. "



" ඒත් . . . . . ළමයි තාම තනිකඩයි කීවා නේද ? "


" උන් සින්දු කියන්න දැන ගන්න නම් කලින් සින්දුවක් අහල තියෙන්න එපෑයා. "


" ඒ කියන්නේ සින්දු කියනෙක නැවතුනා ? "


" ඔවු . . .  සින්දු කියනෙක නැවත්තුවා " 


" කවු ද  ? "


මගේ ඒ ප්‍රශ්ණෙට නම් රෙකෝඩින් කොහාගේ මූණ තරහින් පිම්ඹුනා. උන් තැනින් නැගිටල ආපු කොහාගේ කතාව රළු ස්වරූපයක් ගත්තා.



හරියටම එරබදු පොට්ටු පිපෙන්න ඔන්න මෙන්න තියෙද්දි  දවසක් මම ඉන්න තැන හොයාන මිනිස්සු ටිකක් ආවා.  එදා මහ අවාසනාව කියන්නේ මයෙ හාමිනේත් හිටපු දවසක් "






ඒ ආපු ගැටවු නානාප්‍රකාර දේ අරන් ඇවිත් තිබ්බා. මටයි මගෙ හාමිනේටයි ජීවිතකාලෙටම මුකුත් නොකර ජීවත් වෙන්න පුලුවන් තරම් දේවල් ගොඩාක්.


" ඉතින්  . . . . "


" එයාල අපි දෙන්නව තැනකට එක්කරන් ගිහින් අපේ ලස්සනම සින්දු රෙකා්ඩ් කර ගන්නත් , ආයේ ජිවිතේට ඒ සින්දු නොකියන්නත් එකග කර ගත්තා "


" නෑ හ් . . . . . . . . . . . . . . . . . . . . . . . .  "


" නෑ නෙමේ ඔවු . . . . . ඒ කාලේ හැටියට , ඒ වයසෙ හැටියට අපිට ඒක පුදුමාකාරයේ වාසනාවක් කියල හිතුනා. අනික ගෑණිගෙන් මට ඔළුව බේරගන්න බැරි වුනා.ඒකි මට මේකට කැමැති වෙන්නම කියල බලකරා.  "





" ඉතින් උඹ ඒකට කැමැති වුනා  . . . " හිටපු තැනින් නැගිටපු මම දැඩි ස්වරයෙන් ඇහුවා.


කර කියාගන්න කිසිම දෙයක් නැති ගාණට මා දිහා බලපු රෙකෝඩින් කොහා යමක් කියන්නත් කලින් , මගේ කෝපය නිසා සෙලවුනු දිරච්ච කපුටු කූඩුව කැඩිලා බිමට වැටුනා . . .  



කොහෝ . . . .  කොහෝ . . .  කියලා මගේ ෆෝන් එක නාද වෙන්න ගත්තා. 



Friday, April 3, 2015

නමක් නැති කතාව


ආරම්භයේ දීම නමක් නොතබා ලියන්නට පටන් ගැනීම මගේ පුරුද්දකි. ලියා අවසන් වන විට බොහෝ විට එයට නමක් ඉඹේම ගොඩනැගී අවසන් වේ. නමුත් , අද මා විසින් ලියැවෙන දේට නමක් තිබිම ඔබට භාර කරමි. 


මීට වසර කිහිපයක් ඈතට යන්නේ නම්,


ඉලෙක්ට්‍රොනික තැපෑලට දිනපතාම පාහේ ඔහුගෙන් ලැබෙන ලිපිය සෑම උදෑසනකම සිත මිහිරෙන් පුරවා ලන්නට වූයෙන් එයින් ඵල ලැබුවේ මාගේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ය. අහම්ඹයකින් හෝ ඉලෙක්ට්‍රොනික් ලිපි මල්ලේ ඔහුගෙන් ලිපියක් නොලැබුන හොත් එය මුලින්ම දැන ගන්නේ ද මාගේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ය.



"ටීචර් අසනීපෙන් ද? " යැයි එවැනි බොහෝ දිනක ඔවුන් මගෙන් විමසයි.



ඔහු හා මා අතර මෙම සබධතාව ගොඩනැගීමට මුල් වූයේ මා අතින් ලියැවෙන මේ බොළද බ්ලොග් පිටුවයි.



එහි දිනපතා පාහේ කුමක් හෝ යමක් ලිවීම මා තනිකඩ කාලයේ දී නොකඩවාම සිදු වූ අතර , අහම්බයකින් මෙන් අන්තර්ජාලයේ සැරිසරද්දි පාර වැරදී මෙන් ඔහු මාගේ බ්ලොග් අඩවියට ගොඩ වී තිබුණි.

මා විසින් ලියැවුනු බ්ලොග් පෝස්ටුවකට ඔහු විසින් බොහෝ දෝශාරෝපණ එක් කිරීමේ කමෙන්ටුවක් පල වී තිබුණු අතර එය " ඇනෝනිමස් " ලෙසින් පළ කර තිබුණි. එහි දී ඇරඹුනු සංවාදය දිගින් දිගටම ගොස් නතර වූයේ බිිදිය නොහැකි සබධතාවයකට අඩිතාලම වැටීමෙනි.

නමුත් ඔහු මා හෝ මා ඔහු හෝ කවුරුන්දැයි නිසැකවම නොදැන සිටියෙමු. එය නොදැන සිටීම මැනැවැයි දෙදෙනා විසින්ම එකගතාවයකට පැමිණ නොතිබුණු නමුත් නොදැන සිටීමේ තිබූ අමුතුම ආකාරයේ සුන්දරත්වය බිදී යාමට ඉඩ නොදීමට නම් දෙදෙනාම එකගතාවයකට පැමිණ සිටි බවක් හැගේ.

ඔහු හා මා අතර ආදරයක් ගොඩනැගීමට ද දිනපතා පාහේ සිදුවන ඉලෙක්ට්‍රොනික් ලිපි හුවමාරුව ඉවහල් වන්නට ඇත. නමින් පෙනුමෙන් නොදැන සිටිය ද සිතින් නම් තව දුරටත් දෙදෙනකු නොවූයේ කිසිවෙකුටත් නොපවසන රහස් රැසක් ඉලෙක්ට්‍රොනික් තැපෑල හරහා හුවමාරු වූ නිසාම වන්නට ඇත.

මේ අතර ඔහුගේ සේවා ස්ථානය විදුලිය වත් නොමැති අති දුෂ්කර පෙදෙසකට මාරු වීම නිසා අපතර වූ සම්බන්ධය දුරස් වීම ඔහුට කෙසේ වෙතත් මාගේ ජීවිතය දැඩි වෙනසකට ලක් කිරීමට සමත් විය.

නොදන්නා ඔහු දුරස් වීමෙන් සිතට දැනුන පාළුව හා කාංසිය නිසා ජීවිතය ගැන නැවත සිතීමට මට ඉඩකඩ ලැබුනි. නොසිතූ පරිදි විවාහකට සිර වූ දිනයේ මම ඔහුට ඉතා දීර්ඝ ඉලෙක්ට්‍රොනික් ලිපියක් ලියා අවසානයේ දී එහුට මා ඉතා ආදරය කරන බැව් ලිවීම නිසා අද වන තෙක් ඔහුට තැපැල් නොකල ඊ ලිපිය "ඩ්‍රාෆ්ට් " ෆෝල්ඩරයට වී සැගවී සිටින රහසක් බවට පත් ව ඇත.

නමුත් මා විවාහයෙන් පසු ද ඔහුට දිගින් දිගටම මිතුරියක ලෙස ලිපි යැවීම සිදු කරමින් සිටියෙමි.එයට හේතුව වූයේ කෙදිනක හෝ ඔහු යළිත් මා වෙත අමතාවි යැයි සිතේ කොණක සැගවී තිබුණු බලාපොරොත්තුවයි.

අහම්බයෙන් නොසිතු දිනක ඔහුගෙන් ඉතා කෙටි ඊ ලිපියක් ලැබී තිබුණි. එහි සදහන් වූයේ ඔහු මා විසින් එවන ලද ඊ ලිපි සියල්ල කියවූ බවත් මාගේ යුග දිවියට සුබ පතන බවත් පමණි. 

ඔහුගෙන් ලද කෙටිම ඊ ලිපිය නිසා දිගු සතුටක උරුමකාරියක වූ ම‍ාගෙන් එදා නම් ඵල නෙලුවේ මාගේ සැමියායි.

මාගේ සැමියා ඉතා නිහඩ පුද්ගලයෙකි. ඔහුමාහට ආදරය කරන බවක් හෝ නොකරන බවක් මට හරියටම සිතා ගත නොහැකිය. ඔහු මා කිසිවිටක නොරිදවයි. නමුත් කිසිම විටක මා ගැන විශේෂ අවධානයක් ද යොමු නොකරයි. ඔහු ඉතාම හොද සැමියෙකි. නමුත් මා සිතු-පැතූ සැමියා නම් නොවේ.

ඔහු රසට කෑමට , රසට බීමට , රසට ජීවීතය විදීමට ප්‍රිය කරන බව මට දැනේ. නමුත් ඔහුගේ රස පිළිබව විමසීමට හෝ මා කැමැති රසය කුමක් දැයි පැවසීමට නොහැකි තරම් දුරකට ඔහු මා තල්ලු කර දැමුවා සේය.

මේ තල්ලුව දරා ගත නොහැකි වූ එක් දිනක පුද්ගලිකත්වය බිද හෙලා ගනිමින් මා මගේ ඊ මිතුරාට ලිපියක් ලීවෙමි. මා විවාහ වූ දිනයේ ඔහුට ලියා නමුත් නොයැවූ ලිපිය ද "ඩ්‍රාෆ් ෆෝල්ඩරයෙන් " " සෙන්ට් ෆෝල්ඩරයට" මාරු කළෙමි.

එයට පිළිතුරු ලෙස ඔහුද මා හට බෙහෙවින් ආදරය කරන බවත් මා විවාහක බැවින් ආදරය පල දැරීම සිදු කළ නොහැක්කක් බව ද, නමුත් ආදරය කිසිදා නොමැකෙන බව ද පවසමින් ඉතා දීර්ඝ ඊ ලිපියක් එවා තිබුනි.

එයින් පසු අප දෙදෙනාගේ සිතුවිලි ඉලෙක්ට්‍රොනික් සංකේත දිගේ එකිනෙකාට ගලා යැම සිදු වූ අතර නැවතත් ජීවිතයට නව්‍යතාවයක් එක් වෙමින් තිබුණි. පෙර මා සතුටින් නම් එයින් ඵල ලැබූවේ ශිෂ්‍යයන් සේ ‍දෙවන අවස්ථාවේ එයින් මහගු ඵල නෙලා ගත්තේ මාගේ ස්වාමියා බව කිවයුතුමය.

මා ඔහුට රසට උයා දෙන්නට , අලුත් කෑම වට්ටෝරු සාදා දෙන්නට , නිවස අලංකාරව තබා ගන්න ට මෙන්ම ඔහුට සතුටම බෙදා දෙන්නට තරම් සතුටින් උද්දාම වී සිටියෙමි.

ඔහුද පෙරට වඩා සතුටින් සිටන බවක් දැනී ගිය ද ඔහුගේ සංසුන්කම ඔහුගේ හැගීම් වසා ගිල ගනිමින් ම සිටියෙන් ඔහු ගැන නිවරදි අවබෝධයක් ලබා ගැනීම උගහට විය. නමුත් එයින් නොසැලුනු මා නොදන්නා නොපෙනෙන මිනිසෙකු නිසා උද්දාමයටත් අසිරිමත් සතුටටකටත් උරුමකාරියක්ව සිටියෙ මි.

නමුත් සියල්ල නොසිතූ ලෙසින් වෙනස් වන්නට වූයේ ඊයේ පැමිණි ඊ ලිපිය නිසා ය.

" වහාම හමුවීමට අවශ්‍යයි. විවාහයෙන් වෙන් වන්නේ නම් ඔබව භාර ගැනීමට ඉතා කැමැත්තෙන් සිටි මි "

විවාහයෙන් වෙන් වීමට තරම් කාරණාවක් සොයා ගැනිමට නොහැකි බවත් , මේ ගැන සිතා බැලීමට කාලය අවශ්‍ය බවත් මම ඔහුට දැන්වූයෙමි.

මෙතෙක් සැගවී සිටි බුද්ධිය එළියට බසින්නට ගත්තේ ඉන්පසුවයි. නොදන්නා පුද්ගලයෙකුගේ වචනයට අවනතව හරියටම නොදන්නා නමුත් නීත්‍යානුකූලව අයිතිකරගත් පුද්ගලයා හැර යන්නේ ද?

ජීවිතය නොදන්නා තැනක ඔහේ අතර දමන්නේ ද? වසර ගණනක් නොදැක ඇති නමුත් හොදින් සිත් අදුනනා කෙනෙකු ලගට යන්නේ දැයි සිතමින් දින දින ගෙවී යන්නට විය.

මේ අතර සිත තුල තිබූ ව්‍යාකූලත්වය සගවා ගැනීමට නොහැකි වූ බැවින් ජීවිතය ද හැල හැප්පීම් මැද ගෙවී යන්නට විය. නිවස ප්‍රියතැනක් නොවීය. නමුත් සැමියා සැමදා මෙන් නිහඩ නිසංසල පුද්ගලයාම විය.


මා විදිනා මානසික වේදනාව ඉතා දරුණු වූයෙන්  දෙකෙන් එකක් තීරණය කර ගැනීමට මා ඔහු හමුවීමට කැමැත්ත පළ කළෙමි.

එදින ඉතා අක්‍රමික දවසක් විය. සැමියාට දහවල් කෑම වේල සාදා දීමට ද නොහැකි විය. ඔහු කඩයෙන් කන බව පවසා මා සිත අස්වැසුවේ ය. පාසල් බස් රථය වැරදුනි. කෙසේ හෝ මා ඔහු පැවසූ ස්ථානයට ළගා වුනෙමි. මැදිවිය පසු කරත් කොල්ලෙකු මුණ ගැසෙන්නට යන කෙල්ලක පරිද්දෙන් හිත නොසන්සුන් උන්මාදයකින් ඉපිලෙමින් තිබුනි.

ඔහු පැවසු දිනයේ, ඔහු පැවසූ වේලාවට, ඔහු පැවසු ස්ථානයට ඉතාම ආසන්නයෙන් මම සිටිමි.

ඒ කෙතරම් ආසන්නයෙන් ද යත්,

ඔහු පැවසූ දිනයේ , ඔහු පැවසූ වේලාවේ ,ඔහු පැවසූ ස්ථානයේ මාගේ සංසුන් සැමියා නොසන්සුන් අයුරින් වාඩි වී සිටිනු දකින්නට හැති කරම් ආසන්නයෙනි . . . . . . . . .



Blogroll

Related Posts Plugin for WordPress, Blogger...