..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Saturday, March 21, 2015

෴ කාලච්ඡේදය ගැන ඡේදයක් ෴


කාලච්ඡේදය ගැන ඡේදයක්




--------------කාලච්ජේදය අවසන් වන සීනුව නාද කළ පසුවත් එය නෑසුනා සේ දිගටම පාඩම කරගෙන යන ගුරුවරුන් ගැන සිසුන් තුළ ඇත්තේ අසතුටක් බැව් මා දන්නා කරුණකි. පාඩම කොතරම් මිහිරි වුවත් අමිහිරි වුවත් ඔවුනට ඇවැසි වන්නේ සීනුව නාද වූ වහාම පාඩම ද නතර වීමයි. එයට හේතු භුත සපයන ඇතැම් වෙළද දැන්වීම් වල දැක්වෙන පරිදි ගුරුවරයා පන්තියේ සිටිය ද සීනුව නාද වූ වහා ඩෙස් පුටු උඩින් පැන පන්තියෙන් එළියට බසින සිසුන් නොසිටීම එකාතකින් වාසනාවකි.

 කාලච්ඡේදය අවසන් වන්නේ කුමන අවස්ථාවේ දැයි බලමින් පන්තියේ රැදී සිටින ඇතැම් ගුරුවරුන්ට ද සීනු නාදය අතිශය මිහිරක් ගෙන එයි. මා පාඩම් සකසා ගන්නේ හැකිතරම් විනාඩි 40ට සීමා වන ලෙසිනි. නමුදු සිසුවකුගේ නොසිතූ පැණයක් නිසා හෝ සිසුන්ට නෝතේරෙන සියුම් තැන් ඇති බැව් පෙනී ගිය හොත් පාඩම නොසිතූ ලෙස විනාඩි 40 කාලය ඉක්මවා යන අවස්ථා උදාවේ. එවැනි එක් දිනක පාඩමෙන් පිට ගොස් වෙනත් දෑ ද සදහන් කිරීමට සිදුවුවෙහොත් සීනුව නාද කළ ද කාලච්‍ඡේදය අවසන් වූව ද පන්තියෙන් පිට යාමට ඔවුන් අකැමැති වේ. විද්‍යා විෂයට පරිභාහිර එදිනෙදා ජීවිතයේ කරුණු පිළිබදව දැන ගැනීමට ඔවුන් ඉතා ආසා කල ද විදුසර පත්තරයක් , සතියේ පත්තරයක් බැලීමට දක්වන්නේ මැලිකමකි. 

රැකියාව වෙනස් වී ගුරු රස්සාවට ගිය අලුතම විනාඩි 40න් හැරෙන්නටවත් බැරි බව මට සිතුන ද දැන් නම් ඒ විනාඩි 40 ඇතුලත නොකල හැක්කක් නොමැති බැව් අත්දැකීමෙන් තේරුම් ගෙන සිටිමි. 

කාලච්ඡේද හොරකම් කර ගෙන උගන්වන ගුරුවරුන් සිටින අතර එවැනි ගුරුවරයෙකුගේ කාලච්ඡේදයට පසු කාලච්ඡේදයක වැඩ කිරීමට සිදුවීම නම් අමිහිරි අත්දැකීමකි.එයට හේතුව වන්නේ "පොඩ්ඩක් ඉන්න ,තව පොඩ්ඩක් ඉන්න " යැයි පවසමින් අනෙකාගේ කාලච්ඡේදයෙන් සැලකිය යුතු විනාඩි ගණනක් සොරකම් කිරීමයි. 


පන්තිභාර ගුරුවරයෙකුට බොහෝ දුරට දවසේ පළවෙනි කාලච්ඡේදය ලැබෙන්නේ තමන් භාර පන්තියේ ඉ‍ගැන්වීම් සිදු කිරීමට ය. දවසේ පළමු කාලච්ඡේදය වන එහි , 

නම් ලකුණු කිරීම ,
නොපැමිණිමට හේතු විමසීම , 
පන්තිය හෝ අවට පිරිසිදු කිරීමට අමතර වේලාවක් ලබා දීම , 
පුංචි පුංචි නඩුහබ සමථයකට ගෙන ඒම. 
සුහද කතා බහ සහ මුදල් එකතු කිරීම , 
වැඩසටහන් ගැන සිසුන් දැනුවත් කිරීම 

වැනි කරුණු එකකට වඩා වැඩියෙන් යෙදෙ‍න හෙයින් "ළමයි එහෙනම් පාඩම පටන් ගමු " කියන කොටම අර ඉමිහිරි සීනු නාදය ඇසෙන්නට ගනී.................

විනය රකින ,විස්වාසය රකින සිසුවෙකු පාසල් කාලච්ඡේදය අවසන් වන සීනුව නාද කිරිමට පාසල් පරිපාලනයෙන් පත් කර ඇත. නමුත් එක් දඩබ්බර සිසුවෙකු විසින් සීනුව නාද කරන සිසුවා ළග තිබු ඔරලෝසුවේ වේලාව වෙනස් කිරීම නිසා කාලච්ඡේද විග විගහින් අවසන් වීම නිසා  පාසල පත් වූ අපහසුතාවය අද දින සිහිකරන විට නම් මුවට ගෙන එන්නේ සිනහවකි.

අප පාසල් ගිය කාලයේ දී කාලච්ඡේද අාරම්භ වන අවසන් වන බව මුළු පාසලටම දැනුම් දීම සඳහා සකසා තිබ්බේ තඩි යකඩ රිම් එකකි. පාසලේ උසම ස්ථානයේ සවිමත් ලෙස සවි කර ඇති එයට යකඩ කූරක් වැනි දෙයකින් හැකි වෙර යොදා ටාං ටාං ටාං යන තාලයට සීනුව නාද කිරීම සිදුවිය. 

නමුත් තාක්ෂණයත් සමගින් සීනුව ගීත කණ්ඩයක් බවට පත් වී වාදනය වුව ද අදද විදුලිය නොමැති අවස්ථා වල දී කිසිම අමනාපයක් නොමැතිව පිහිටට එන්නේ අර තඩි යකඩ රිම් එකයි.

මෙම සීනුව නාද කිරිමට පහළ වූ මැඩලිය නොහැකි ආසාව සංතර්පනය කර ගැනීමට ගොස් විදුහල්පතිගෙන් බඩකට පුරා කෑ සිසුවෙකු ද අප පාසලේ සිටී.

කෙසේ හෝ ගුරුවරුන්ගේ සහ ළමයින්ගේ ඉමිහිරි සීනු නාදය වන්නේ පාසලේ අවසන් කාලච්ඡේදය අවසන් කරන සීනු වයි. එය මා කුඩා ළදැරියකව සිට පාසල් යාමට පටන් ගත් කාලයේ සිටම ගුරුවරිටකව පාසල් යන කාලයට ද එක ලෙස වලංගු වේ.


ටාං ටාං ටාං ටාං ... . . . . . . . . . . . .


හරි ළමයි එහෙනම් ගාථා කියන්න ලෑස්ති වෙන්න ...................


කාලච්ඡේදය අවසන් වන තෙක් බලා සිටි 
මම
෴ සොදුරු සිත෴ 

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...