..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Saturday, November 7, 2015

ආදර උයන - The Orchard Of Love

ආදර උයන

The Orchard  Of Love




  





" අපි යමු විහාරමහ දේවි පාර්ක් එකට "






නිදහස් චතුරස්‍රයේ එල්ලිච්චි ඇස් අයින් කර ගන්න කලින් එයා කීවා. මෙච්චර වෙලා බෙල්ල ගැලවෙනකම් දේවල් බලලත් , තව දේවල් ගොඩක් බලන්න මට ඉතිරි වෙලා තිබ්බත් පැන්න ගමන් මාත් හා කීවා.






ඊට පස්සේ කෙටි පාරවල් , දිග පාරවල් දිගේ පාර දිගටම අපි ඇවිදන් ගියා . . . . . කොළඹ කොහෙන් ගියත් පාරක් තියෙනවා. හැබැයි ඉතින් කකුළුත් රිදෙනවා. අපරාදේ බයිකෙක දාලා එන්න කීවේ කියලා මගෙ හිත මටම දොසුත් තියනවා.






අරහෙන් මෙහෙන් පැන පැන වෙලාවකට එයාගේ ගාණටමත් වෙලාවකට එයාට පහු වෙලත් මම ඇවිදන් යනවා , හැබැයි කොයි වෙලාවකවත් එයාට ඉස්සර උනේ නම් නැහැ. කහ ඉරවල් ලඟ දි ඉඹේම අත් පැටලෙනවා. ඒ පැටලුනු අත් ලිහලා දාන්නේ මම .






" තව දුර ද ? "







" ඔවු ගොඩක් අපි බස් එකේ යමු. ඔයා කුඩ පාවිච්චියක් නැද්ද ? "


" ඇයි නැත්තේ , මමත් කුඩේ දානවා. "









හිටි ගමන් ගමන නතර වුනා. දෙකට නැමි නැමි එයා හිනා වෙන්න ගත්තා. මට නම් මුකුත් හිතා ගන්නවත් බැහැ.




" කුඩේ දානවා . . . කුඩේ දානවා "

" කුඩේ දාන්නැතිව මොකක් ද කරන්නේ ? "


" අපි නම් කුඩ ඉහලනවා "

මහ ගොඩේ ගතියක් එක්ක ආපු ලැජ්ජාව වහගන්න ගිහින් තව ඩිංගෙන් පාරේ මැද්දේ වාහනයකට යට වෙනවා. ආයාසයෙන් තොර එන හිනාව මතු කරන්න පුළුවන් එහෙමත් කෙනෙක්ට. දැනටත් මතක් වුනාම නිරායාසයෙන් ම ඒ හිනාව ආපහු එනවා. ඒක තමයි නියම සතුට.








කොහොමින් කොහොම හරි පාර්ක් එකට ආවා. මට නම් ආපු පාර මතක නැහැ. හැබැයි පාර්ක් එකට ආපු පළවෙනි දවස නම් අද වගේ මතකයි. එතකොට මම අටේ පන්තියෙ විතර ඇති. ඉස්කෝලෙන් ආපු අධ්‍යාපන චාරිකාව අතරතුර දවල් කෑම ගන්න අපිව එක්කරන් ආපේ මේ පාර්ක් එකට. කෙහෙල් කොළේ ඔතපු තඩි බත් එකේ අම්ම බිත්තර ගෙඩි දෙකක්ම දාලා තිබ්බා මට තාමත් මතකයි.




හැබැයි ඒ කාලේ මේ පාර්ක් එක වටේ තාප්පයක් තිබුණා. දැන් ඒක නැහැ. හරි පිරිසිදු පිළිවල උද්‍යානයක්.







තරුණ ගැහැණු පිරිමි ළමයින්ගෙන් පිරිලා. මම වගේ මැදි වයස් වල අයත් ඉදල හිටල හිටියා. කිසිම කෙනෙක් කිසිම කෙනෙක්ව ගනන් ගත්තෙ නැහැ. තම තමන් තම තමන්ගේ ලෝක වල දැවටිලා හිටියා. කවුරුවත් කිසි කෙනෙක්ට මුකුත් කීවේ නැහැ. කවුරුවත් කිසි කෙනෙක් ගැන මුකුත් සෙවුවෙත් නැහැ.







මට මතක් වුනේ ගාලු උද්‍යානය සහ ගාලු කොටුව. ඉස්සර ඒවයෙත් තරුණ ජෝඩු පිරිලා හිටියා. නමුත් වර්තමානයේ එහෙම දකින්න නැත්තේ ගාලු කොටුව තුළ හා ගාලු උද්‍යානය තුළ ආදරය කිරීම සම්පුර්ණයෙන්ම තහනම් නිසා. බැරි වෙලාවත් අසභ්‍ය විදිහට ආදරය කරොත් අල්ලන් යන්න පොලිසියෙනුත් ගාලු කොටුවේ ඉන්නවා.




ඒත් මෙතන වෙනස් , ආදරය දොරේ ගලනවා , සතුට හිනාව හැම තැනම පිරිලා.




දෙන්න දෙන්නා විතරක් නෙමේ. සමූහ පිටින් සතුටින් ඇවිදිනවා. එක තැනක දෙපිලට බෙදිලා කෙල්ලො කොල්ලො සෙල්ලමක් . බොහෝ විට තෘතික අධ්‍යාපන ආයතනයක ඉගෙන ගන්න ළමයි වගේ.




" ඒ මොකක් ද ඒ සෙල්ලම "



" බල්ලයි මස් කට්ටයි "
 
සෙල්ලම ගැන සම්පූර්ණ විස්තරයක් කෙරුනා.




එයයි මායි වාඩි වෙච්චි බංකුවත් ආදරයෙන් පිරිලයි තිබ්බේ. හැබැයි ඉතින් කතා කරද්දි බංකුවේ අනිත් පැත්තේ ඉන්න දෙන්නාට කරදරයක් වෙන්න බැහැ කියලා එයයි මට කීවේ.




අපි ගොඩාක් දේවල් කතා කරා. චෙස් සෙල්ලම් කරන හැටි , ඉස්සර මේවා තිබුන හැටි, ගෝඨාභය කොළඹ හැඩ කරපු හැටි , පයින් අපි ඇවිදපු හැටි විතරක් නෙමේ එයාගේ කලින් හිටපු ගෑණු ළමයි ගැනත් එයා මට කීවා. එයාල එක්ක මේ පාර්ක් එකට ආපු මතක සටහන් , එයා ල හමවුන හැටි , එයාල නැති වුනු හැටි . . . . .







ගොඩක් දේවල් මට තේරුම් ගන්න පුළුවන් උනත් , මට නොතේරුනු එකම දේ තමා ඇයි එයාල මේ වගේ කෙනෙක්ව දාලා ගියේ කියනෙක.





" ඒක ඔයා කවදහරි තේරුම් ගනිවි "






මටත් කියන්න ගොඩක් දේ තිබ්බා. හැබැයි ඒවා හරි කෙටියි. මගෙ කතාව හිටි ගමන් උස් හඩක් ගන්නවා. මම හිතන්නේ ඒ බංකුවට විතරක් නෙමේ තවත් බංකු කිහිපයක් එහා ඉන්න අයටත් ඇහෙන තරමට කතාව උස් හඩක් ගන්නවා.







" ස්...........ස්.....................හෙමින් හෙමින් " ඒ වෙලාවට එයා මතක් කරනවා.

" මොනා කරන්න ද මම ටීචර් කෙනෙක් නෙහ් " මම නිදහසට කරුණූ කියනවා.





ටීචර් කොල්ලෙක් එක්ක පාර්ක් ඇවිත් ? ළමයෙක් දැක්කොත් මොනා හිතයි ද?





හිත මහා කණගාටුවකින් පිරෙනවා.වරදකාරි හැඟීමක් දැනෙනවා.








ටීචර්ට ආදරේ හොඳ නැද්ද. අනික පාර්ක් එකට එන්නේ ආදරය කරන්න විතරම ද ?






අපි පාර්ක් එකට යන කොට වගේම පාර්ක් එකෙන් ආපහු එන කොටත් උද්‍යානය ආදරයෙන් පිරිලා තිබුනා.

16 ප්‍රතිචාර:

jay-c z said...

ටීචර්ලා ආදරය කලයුතුය. එවිටයි පාසල් ළමුන්ට හොඳ ගුරුවරියක් ලැබෙන්නේ.

දේශක යා said...

මට විතරද සිංහල අවුල් කියල පේන්නේ.. එයා ගැන කියන එක නවත්වනව කිව්ව ඔයා මෙන්න බොලේ බ්ලොග් පෝස්ට් දාලා.. හැක්

JP said...

ටීචර් ලාද මනුස්සයෝය !! ? :)


සෝසි ,

එක පාරටම මගේ හිතේ පොඩි කෙටි චිත්‍රපටයක් ඇඳෙනවා . විහාරමහාදේවි එකේ බංකුවක දෙකොනේ කපල් දෙකක් ඉඳගෙන , රහස් මුමුනවා . එක කපල් එකක ගෑනු ළමයා , තමන්ගේ අම්මාගේ අසනීපේ ගැන කියනවා . අනෙක් එකේ කොල්ලා කෙල්ලට සමාජ වාදය උගන්නවා ... ඈත බංකුවක ඉඳගෙන ඉන්න මැදි වයසේ මනුස්සයෙක් පත්තරේක හිල කින් බලාගෙන ඉන්නවා ... මුන් ට වල වැඩ කරන්න හොඳ නම් , අපි බැලුවම මොකද ..ඔහු ඔහුටම කියා ගන්නවා

Chathuranga Buddhika said...

මොකෝ ටීචර් කියලා වෙනසක්...

මටත් දෙයක් මතක් වුණා...
මගේ දෙමළ යාළුවෙක් අපේ ගෙවල් වලට කිට්ටු සිංහල කෙල්ලෙක් එක්ක සෙට් වෙලා ඉන්නේ...
කොල්ලා යාපනේ...
කෙල්ලගේ ගෙවල් වලින් කැමතිත් නෑ...
කොල්ලාට නුවර ඇවිත් නවාතැන් දුන්නේ අපෙ නෑදෑ ගෙදරක් කතා කරලා...
පස්සෙ දෙන්නාට කතා කර කර ඉන්න තැනකුත් ලෑස්ති කරා...
ඒත් කෙල්ල කැමති වුණේ නෑ...
හේතුව ගෙදරට බයේ එහෙම නෙමෙයි...
"මගේ ළමයි දැක්කොත් හරි නෑ" කියලා තමයි ඒ කෙල්ල කිව්වේ...
එයාත් "ටීචර්" කෙනෙක්...

upali jayasekera said...

අනේ දුවේ මේ අකුරු හරියට ටයිප් කරල මේක අයිත් දාපං.කියවන්න ආසයි.ඒත් වෙහෙසයි.මම වයසක මනුස්සයෙක්.බොලා වගේ ගැටව්,ගැටිස්සියො ලියන කියන දේවල් බලා කියා ගන්න,පෙං කොරන හැටි සොබා දැනකීයා ගන්න ඉහ වහාගිය ආසාවකින් පෙලෙනව.මේ වගේ තාක්ෂනික බාදා විංදනේට බාදාවක් දුවේ.

upali jayasekera said...

අනේ දුවේ මේ අකුරු හරියට ටයිප් කරල මේක අයිත් දාපං.කියවන්න ආසයි.ඒත් වෙහෙසයි.මම වයසක මනුස්සයෙක්.බොලා වගේ ගැටව්,ගැටිස්සියො ලියන කියන දේවල් බලා කියා ගන්න,පෙං කොරන හැටි සොබා දැනකීයා ගන්න ඉහ වහාගිය ආසාවකින් පෙලෙනව.මේ වගේ තාක්ෂනික බාදා විංදනේට බාදාවක් දුවේ.

Ravi said...

/ " අපි නම් කුඩ ඉහලනවා " /

මොකද බං කටවහගෙන හිටියෙ? උඹටත් දෙන්න තිබ්බෙ අනික් පැත්තට…

" හෙහ්, කුඩ ඉහළන්නෙ කොහොමද හලෝ?...ඉහලනවා කියන්නෙ ඉහේ දානවා ඒ කියන්නෙ ඔලුවෙ දානවා. ඔන්න තොප්පිය නම් හරි.ඒත් කුඩේ ඉහේ දාන්නෙ නෑනෙ. ඒ හින්ද කුඩේ ඉහලනව කිව්වොත් වැරදියි."

හරිම තේරුම එන්නෙ නම් නෑ..ඒත් අපි කියමු කුඩේ දිග අරිනව කියල..

එතකොට බොලා අර සිංදුව කියන්නෙ මෙහෙමද? …:)

මුතුකුඩ දාගෙන මල් වරුසාවේ,
උඩ ඉගිලෙන විට වැහිලේණී,

හංසි(swan) said...

ටීච්ර්ල ආදරේ කරන එකේ වරදක් මම දකින්නේ නැහැ.ඉස්කෝලෙ කාලේ ළමයි ආදරේ කරලා අහුවෙලා සමහර ටීචර්ල අමානුෂික විදිහට දඬුවම් කරන විදිහ දැක්කම හිතිලා තියනවා ඇත්තටම ඒ ටීච නම් ජීවිතේට ආදරේ කරලා නැතිව ඇති කියල.මේ ටීච නම් ළමයි දිහා සංවේදීව බලල තේරුම් කරලා දෙන්න පුළුවන් කෙනෙක් කියල හිතෙනවා :)

කුරුටු ගෑ ගී පවුර said...

ගුරුවරුන්ද මනුෂ්‍යයෝය

උපේක්ෂා said...

බිත්තර ගෙඩි.... හික් හික්... ගහේ වෙන්න ඇති 'ගෙඩි' වෙන්නේ... හි හි හි

අවංක ආර්යන් said...

ලස්සනයි........

අඟහරුවා. said...

අපිත් ඔන්න කුඩේ ඉහලනවා. මම ඔය පාක් එකට එක පාරයි ගිහිං තියන්නේ. පොඩි කාලේ අප්පච්චිත් එක්ක. ඔකේ එක පැත්තක පරණ පුංචි කෝච්චියක් තිබ්බා ඒ දවස් වල.

ආචාර්ය Weerakoon said...

සොදුරු අතිතෙකට හිත අරන් ගියාට බොහොම ස්තුති...
මාත් හරි අස තැනක් හැබැයි බැංකුවක ඉන්න නෙමෙයි ලොකු ගහක් මුල බිම වැඩි වෙලා ගහට හේත්තු වෙලා කතා කරන්න ගහේ සිසිලසත් එක්ක අමුතුම හැගීමක් චමත්කාරයක් මැවෙනවා

සී.ජේ. විදානේ. said...

අනේ මන්දා

අතරං මං වෙනවා..

ජ ය වේ වා !!!

ηiRσ said...

//කවුරුවත් කිසි කෙනෙක්ට මුකුත් කීවේ නැහැ. කවුරුවත් කිසි කෙනෙක් ගැන මුකුත් සෙවුවෙත් නැහැ.//
පාර්ක් එකෙන් පිටත් මෙහෙම තිබුණා නම්!

අම්බලන්ගොඩ කථා said...

පාර්ක් එකට එන්නේ ආදරය කරන්න විතරම ද ????? ඒත් අපේ මිනිස්සු එහෙම හිතන්න කැමති නැහැ ..

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...