..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Tuesday, April 7, 2015

රෙ‍කෝඩින් කොහා

රෙකෝඩින් කොහා





රෙකෝඩින් කොහා කුඩුවෙන් එළියට ආවේ ඇගටම ඇලිල තැලිල තිබ්බ තටු දිගාරින ගමන්. අතාරල දාලා තිබ්බ කපුටු කූඩුුවෙන් ආපු කපුටු ගදින් වායු ගෝලය පිරිලා ගියා. කුඩුව යාන්තමින් රැදිල තිබ්බ අත්ත කෙළවරටම ආපු රෙකෝඩින් කොහා යාන්තමට උගුර පාදල කෑගහන්න වගේ හදල ආයෙමත් හොට පියා ගත්තේ මහා කම්මැලිකමින් වගේ.


ඒ කම්මැලිකමින්ම මා දිහාවට හැරුණු රෙකෝඩින් කොහා මා දිහා බැලුවේ " මේ මොන කරදරකාරියෙක් " ද කියන හැගිමෙන්.


" අනේ කරදරයක් වුනා නම් සමාවෙන්න "


මම අරන් ආපු කජු පුහුලන් මල්ල රෙකෝඩින් කොහාට පේන විදිහට තියන ගමන් කීවා.

" හරි , හරි දැන් මොකද මේ පැත්තේ ආවේ ? , අනික ඔහෙ කොහොමද මාව සොයා ගත්තේ "


" සොයා ගන්න නම් හරියට අමාරු වුනා. ඉස්සර ඔහේ සද්ද කරලත් හොයා ගන්න බැරි කොට , නිස්සද්දව ඉද්දි හොයා ගන්න කොහොමත් අමාරුයි නෙව . ඒකනේ ඒ කාලේ කොහෝ කොහෝ  . . .  කොහේ ඉදන් කොහෝ කියන ව දෝ ?  කිය කීවෙත් "


" හෙහ් හෙහ් හෙහ් . . . .  "



මෙච්චර වෙලා කම්මැලිකම පිරිලා තිබ්බ රොකෝඩින් කොහාගේ මූණට අමුතුම එළියක් වැටුනා.



" ඒ කාලේ තමා කාලේ. . . . .  හ්ම් . . . . . " 


සුසුමක් හෙලපු රොකෝඩින් කොහා ආපහු කලින් තිබ්බ කම්මැලි බුක මූන දා ගත්තා.


ගද ගහන, අපිළිවෙල , කැඩෙන්න ඔන්න මෙන්න තිබ්බ කපුටු කූඩුවේ ඇතුලට මම එඹුනේ ගොඩාක් දුර ආපු ගමන නිසා උගුර කට වේලිල්ල නිසාමයි.


" හාමිනේ නැහැ . . . . " 

ඔලුව හරවන්නෙවත් නැතිව යටැසින් මා දිහා බලපු රොකෝඩින් කොහා කීවා.



" ළමයි ? " ඒ ප්‍රශ්ණය මගෙන්.


"උන් ඔය තැන තැන කපුටු කූඩවක් අයිතිකරන් කොහාට වෙලා හරි ඇති "


" එයාල  . . . . .  එයාලවත් දැන් සින්දු කියන්නැද්ද ? "


" පුහ් . . . . උන් ජීවිතෙට කරටක් ඇරල සින්දු කියල නැහැ. උන් තාමත් තනිකඩ ව ඉන්නේ ඒකනේ '


" මොකක් ද ඒ දෙකේ සම්බන්ධය ? "


" ඉස්සර අපි . . .  හ්ම්  . . . . . . (දිග සුසුමක් . . ) කෙටි නිහැඩියාවක් . . . . . . ඊට පස්සේ ආයෙත් කතාව පටන් ගත්තා.


" ඉස්සර අපි  ,  එරබදු මල් පොට්ටු දාගෙන එන කාලේට තමා අපේ ජීවිතෙත් මල් මල් කාලේ. ඒ කාලෙට අපි බලන්නේ කොහොම හරි තියෙන ලස්සනම සින්දුව කියලා , පළාතේ ඉන්න ලස්සනම කිරිල්ලිව අල්ල ගන්න " 


" එතකොට ඒක ද ඒ කාලෙට සින්දු කියන්නේ  " යැයි බොළද ප්‍රශ්ණයක් අහන්න මට සිතුනත් , රෙකෝඩින් කොහා ගේ මූණේ ඇදී තිබූ විස්තර කළ නොහැකි සිතුවම නිසා ඔහුට බාධා කිරිමට නොසිතුවෙමි.


" ඉතින්  . . .  අපේ එකෙක් ගේ සින්දුවකට දපනෙ වැටෙන , කළු පසුබිමේ ලස්සන තිත් රටාවක් වැටුණු කිරිල්ලියෙක් එක්ක , සින්දු කිය කිය මුළු පළාතෙම කුරුල්ලයි-කිරිල්ලියි වගේ රවුම් ගහනවා. කැලෑවෙන් එළියට ඒ කියන්නේ මනුස්ස වාසය ආසන්නයටම ඇවිත් කිරිල්ලිට පෙන්වනවා අපි කොයි තරම් නිර්භීත ද කියලා . . . . . . . . . . 



මදකට කතාව නතර කරපු රෙකෝඩින් කොහා කපුටු කූඩුවෙ දිරච්ච කොණකට බර දීලා වාඩි වුනා. කර කරස් සද්දෙත් එක්ක කූඩුව ටිකක් හෙල්ලිලා ගියාම කූඩුව ඇතුලෙ  හිටි මාත් ටිකක් බය වුනා.



" ඉතින්  . . . . ඊට පස්සේ  . . . ."



රෙකෝඩින් කොහාගේ මූණෙ තිබ්බ පෙම්පාට හේදිලා යන්න කලින් ම මම ඇහුවා.



" දන්නැද්ද ඉතින් , දෙන්නගෙම තරුණ කාලේ නේ. සින්දු කිය කිය අරහෙ මෙහෙ යන ගමන කෙළවර වෙන්නෙ ඉතින් කෙහී ගැබ්බර වෙලා . "


" ඉතින් . . . . . ."



" ඉතින්  ගෙවල් දොරවල් හදන්න වෙලාවකුත් නැහැ. ඒව ගැන මතකයට එන්නෙත් නැහැ. ලග තියෙන කපුටු කූඩුවක් දවසකට දෙහෙකට හරි කුලියට ඉල්ලන්  යන්තමින් දවස් දෙකක් ඉදලා කිරිල්ලි බිත්තර දාපු ගමන් අතේ මිටේ ගෙවන්න කුලියත් නැති නිසා හොරෙන්ම එතනින් පැන ගන්නවා. . . "


" එතකොට බිත්තර . . . . .? "


" බිත්තර ටික කපුටු කූඩුවෙ කපුටු බලාගන්නවා. කපුටා කොච්චර කරදරකාරයෙක් වුනත් උගේ හිත හොදයි. කට්ටිය හිතුවට කපුටා නොදැන කොහාගේ බිත්තර රකිනවා කියලා , කපුටා ඒ වැඩේ කරන්නේ කපුටගේ තියෙන හිත හොද මනුස්සකමට "


" මනුස්සකමට ? " ඒ වෙලාවේ නම් මනුස්ස දුවෙක් හිටියට මාත් ටිකක් ගැස්සිලා ගියා.



" බිත්තරෙන් පැටියා ආවම පන්නල දැම්මත් , ඒ වෙනකොට ඌට හොදට හොයාන කන්න බොන්න පුලුවන් මට්ටමකට ඇවිත් . උනුත් ඉතින් එරබදු මල් පිපිනෙ කාලෙට ගෑණියෙක් හොයාන සින්දු කියන්න පටන් ගන්නවා. ඔය චක්කරේ තමා ඉතින් අපේ ජීවන චක්කරේ. "



" ඒත් . . . . . ළමයි තාම තනිකඩයි කීවා නේද ? "


" උන් සින්දු කියන්න දැන ගන්න නම් කලින් සින්දුවක් අහල තියෙන්න එපෑයා. "


" ඒ කියන්නේ සින්දු කියනෙක නැවතුනා ? "


" ඔවු . . .  සින්දු කියනෙක නැවත්තුවා " 


" කවු ද  ? "


මගේ ඒ ප්‍රශ්ණෙට නම් රෙකෝඩින් කොහාගේ මූණ තරහින් පිම්ඹුනා. උන් තැනින් නැගිටල ආපු කොහාගේ කතාව රළු ස්වරූපයක් ගත්තා.



හරියටම එරබදු පොට්ටු පිපෙන්න ඔන්න මෙන්න තියෙද්දි  දවසක් මම ඉන්න තැන හොයාන මිනිස්සු ටිකක් ආවා.  එදා මහ අවාසනාව කියන්නේ මයෙ හාමිනේත් හිටපු දවසක් "






ඒ ආපු ගැටවු නානාප්‍රකාර දේ අරන් ඇවිත් තිබ්බා. මටයි මගෙ හාමිනේටයි ජීවිතකාලෙටම මුකුත් නොකර ජීවත් වෙන්න පුලුවන් තරම් දේවල් ගොඩාක්.


" ඉතින්  . . . . "


" එයාල අපි දෙන්නව තැනකට එක්කරන් ගිහින් අපේ ලස්සනම සින්දු රෙකා්ඩ් කර ගන්නත් , ආයේ ජිවිතේට ඒ සින්දු නොකියන්නත් එකග කර ගත්තා "


" නෑ හ් . . . . . . . . . . . . . . . . . . . . . . . .  "


" නෑ නෙමේ ඔවු . . . . . ඒ කාලේ හැටියට , ඒ වයසෙ හැටියට අපිට ඒක පුදුමාකාරයේ වාසනාවක් කියල හිතුනා. අනික ගෑණිගෙන් මට ඔළුව බේරගන්න බැරි වුනා.ඒකි මට මේකට කැමැති වෙන්නම කියල බලකරා.  "





" ඉතින් උඹ ඒකට කැමැති වුනා  . . . " හිටපු තැනින් නැගිටපු මම දැඩි ස්වරයෙන් ඇහුවා.


කර කියාගන්න කිසිම දෙයක් නැති ගාණට මා දිහා බලපු රෙකෝඩින් කොහා යමක් කියන්නත් කලින් , මගේ කෝපය නිසා සෙලවුනු දිරච්ච කපුටු කූඩුව කැඩිලා බිමට වැටුනා . . .  



කොහෝ . . . .  කොහෝ . . .  කියලා මගේ ෆෝන් එක නාද වෙන්න ගත්තා. 



20 comments:

  1. නියමයි. රෙකෝඩින් කොහාගෙ සද්දෙ ඇහෙද්දි සොසීගෙ කතාවයි මතක් වෙන්නෙ.
    බලන්නන කෑම බීම ටිකකට රැවටිලා කරගත්ත විනාසෙ!

    ReplyDelete
  2. ලෝකයේ සුන්දරත්වය අද වෙනකොට තාක්ෂණයට සීමාවෙලා... නිදහසක් නැති.... කරදර පිරුණු.... වස විස ළං කරගත්තු ලෝකයක අපි අතරමං වෙලා..... සුන්දර නිදහස් ජීවිත අපෙන් අෑත් වෙලා.... අපි ජීවිතය වෙනුවට වෙන වෙන දේවල් බදාගෙන

    ReplyDelete
  3. ඈ වත්, මං මේ නොදන්නා කමොටයි අහන්නෙ.. කොහා අර හෙහ් හෙහ් ගාලා හිනාවෙන්නෙ අපේ රවියාගෙන් පුරුදු වෙලාද? :-O

    ReplyDelete
  4. හරිම අපූරුයි. මේක තමයි ඉතින් තිත්ත ඇත්ත

    ReplyDelete
  5. ඒ දවස්වල කළුබෝවිල අපේ ගෙදර සියඹලා ගහට ඇවිත් අවුරුදු කිට්ටු වෙනකොට කෑ ගහන කොහෙක් හිටියා.... මම කරන්නේ අර අත් දෙක එකතු කරලා, මහපට ඇඟිලි දෙක එකට තියලා කොහාගේ සද්දෙන් කෑ ගහන එක. ඒ සද්දෙට අර සියඹලා ගහේ ඉන්න කොහත් ප්‍රතිචාර දක්වන්වා.... ඌ හිතාගෙන ඉන්නේ ඌ පතාගෙන ආපු කෙහී ඉන්නේ අපේ ගේ ඇතුලේ කියලා.... ඔය විදිහට උදේ ඇවිත් රෑ දෙගොඩහා වෙනකං කෑ ගහන කොහාට, මමත් පුළු පුළුවන් වෙලාවට ප්‍රතිචාර දෙනවා.... අනේ ඌ හැම අවුරුද්දෙම අපේ සියඹලා ගහට එන්නේ කොහොම හරි මේ ගේ ඇතුලේ ඉන්න දඩබ්බර කෙහීව සෙට් කරගන්න හිතාගෙන වෙන්නැති.....!

    මම ඩුබායි ආවට පස්සෙත් තාම ඌ සියඹලා ගහට ඇවිත් කෑ ගහනවලු....තාමත් ඌ තනිකඩයි....!

    ReplyDelete
  6. කොහා ගැන අහපු ලස්සනම කතාව මේක!

    ReplyDelete
  7. කොහා කොහාට හරි යන්න ඇති ඉන්පස්සෙ!

    ඇත්තටම කෙටි දිග කතාවක්. නියමයි සොසියො...

    ReplyDelete
  8. අප්පේ කොහාට වෙච්ච දේ. දැන් ඉතින් රෙකෝඩින් කොහාව තමයි අහන්න වෙන්නෙ සොසී.

    ReplyDelete
  9. ලස්සනයි සොසි.අදමයි ඔයාගේ බ්ලොග් එක දැක්කේ,, කොහා පව්

    ReplyDelete
  10. කතාව හරිම ලස්සනයි සොඳුරු. පුදුම නිර්මාන හැකියාවක් තියෙන්නේ. නොලියා ඉන්නේ අපරාදේ. මෙන්න මේ වගේ දිගටම ලියන්ටලු.:D

    ReplyDelete
  11. මිනිස්සු සංකීර්ණ වෙලා ගොඩක් සුන්දර දේවල් වලින් ඈත් වෙලා නේද කියලා හිතෙනවා.. මොනවා කරන්නද ඉතින්..

    ReplyDelete
  12. අපේ ජීවිතත් ඔය වගේ කියලා හිතෙනවා....

    ReplyDelete
  13. Very nice.. A lot of things said in a short story..

    ReplyDelete
  14. හොඳ වැඩේ කොහා කලේ... මම හිතාගෙන හිටියෙ පහුගිය අවුරුදු දොලහ දහතුන තිස්සෙ මට කොහා මිස් වුනා කියල මේ කාන්තාරෙට ආවැයින්... එහෙනම් ගමේත් කොහා මියුට් දැන්.. ලොල්..

    ReplyDelete
  15. කොහා ගැන නියම කතාවක් කියලා තියෙන්නේ. කාලෝචිතයි. හැබැයි ගමක් නොවුනත් අපේ පැත්තට නම් තාම කොහා එනවා.... හැබැයි මිනිහා ඒකට චාජ් කරනව ද කියලානම් හරියටම දන්නේ නෑ..... එරබදු මල් නම් මම ජීවිතේටම දැකලා තියෙන්නේ හතර වතාවයි.

    ReplyDelete
  16. කොහා ගැන නියම කතාවක් කියලා තියෙන්නේ. කාලෝචිතයි. හැබැයි ගමක් නොවුනත් අපේ පැත්තට නම් තාම කොහා එනවා.... හැබැයි මිනිහා ඒකට චාජ් කරනව ද කියලානම් හරියටම දන්නේ නෑ..... එරබදු මල් නම් මම ජීවිතේටම දැකලා තියෙන්නේ හතර වතාවයි.

    ReplyDelete
  17. Podi Kumarihami said...
    කතාව හරිම ලස්සනයි සොඳුරු. පුදුම නිර්මාන හැකියාවක් තියෙන්නේ. නොලියා ඉන්නේ අපරාදේ. මෙන්න මේ වගේ දිගටම ලියන්ටලු.://

    මාත් පොඩිකුමාරිහාමිගෙ ඉල්ලීමට එකතුවෙනවා.
    දේශපාලනේ නිසා අපේ නිර්මානාත්මක හැකියාවන් තිබෙන
    ලේඛක ලේඛිකාවන්ගේ සොඳුරු සුමට හා අදරණීය නිමැවුම්
    හා ඔවුනගේ භූමිකාව මග හැරී යනවා;
    පොඩි කුමාරිහාමිනේ ද ඇතුලුව.
    මා අජිත් ධර්මාගෙන් ඉල්ලා සිටිනවා ඒ අංශය ගැන දිරිමත් කිරීමක් අත්‍යවශ්‍යය කියලා

    ReplyDelete
  18. මාකටින් කොහා උඹ නියමෙට විකිණිලා එහෙනම්. තාමත් මනුස්ස අපිට හරි වටිනාකමක් දෙන්න සතෙක් බිහිවෙලා නෑ මාකටින් කොහෝ

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...