..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Saturday, March 21, 2015

෴ කාලච්ඡේදය ගැන ඡේදයක් ෴


කාලච්ඡේදය ගැන ඡේදයක්




--------------කාලච්ජේදය අවසන් වන සීනුව නාද කළ පසුවත් එය නෑසුනා සේ දිගටම පාඩම කරගෙන යන ගුරුවරුන් ගැන සිසුන් තුළ ඇත්තේ අසතුටක් බැව් මා දන්නා කරුණකි. පාඩම කොතරම් මිහිරි වුවත් අමිහිරි වුවත් ඔවුනට ඇවැසි වන්නේ සීනුව නාද වූ වහාම පාඩම ද නතර වීමයි. එයට හේතු භුත සපයන ඇතැම් වෙළද දැන්වීම් වල දැක්වෙන පරිදි ගුරුවරයා පන්තියේ සිටිය ද සීනුව නාද වූ වහා ඩෙස් පුටු උඩින් පැන පන්තියෙන් එළියට බසින සිසුන් නොසිටීම එකාතකින් වාසනාවකි.

 කාලච්ඡේදය අවසන් වන්නේ කුමන අවස්ථාවේ දැයි බලමින් පන්තියේ රැදී සිටින ඇතැම් ගුරුවරුන්ට ද සීනු නාදය අතිශය මිහිරක් ගෙන එයි. මා පාඩම් සකසා ගන්නේ හැකිතරම් විනාඩි 40ට සීමා වන ලෙසිනි. නමුදු සිසුවකුගේ නොසිතූ පැණයක් නිසා හෝ සිසුන්ට නෝතේරෙන සියුම් තැන් ඇති බැව් පෙනී ගිය හොත් පාඩම නොසිතූ ලෙස විනාඩි 40 කාලය ඉක්මවා යන අවස්ථා උදාවේ. එවැනි එක් දිනක පාඩමෙන් පිට ගොස් වෙනත් දෑ ද සදහන් කිරීමට සිදුවුවෙහොත් සීනුව නාද කළ ද කාලච්‍ඡේදය අවසන් වූව ද පන්තියෙන් පිට යාමට ඔවුන් අකැමැති වේ. විද්‍යා විෂයට පරිභාහිර එදිනෙදා ජීවිතයේ කරුණු පිළිබදව දැන ගැනීමට ඔවුන් ඉතා ආසා කල ද විදුසර පත්තරයක් , සතියේ පත්තරයක් බැලීමට දක්වන්නේ මැලිකමකි. 

රැකියාව වෙනස් වී ගුරු රස්සාවට ගිය අලුතම විනාඩි 40න් හැරෙන්නටවත් බැරි බව මට සිතුන ද දැන් නම් ඒ විනාඩි 40 ඇතුලත නොකල හැක්කක් නොමැති බැව් අත්දැකීමෙන් තේරුම් ගෙන සිටිමි. 

කාලච්ඡේද හොරකම් කර ගෙන උගන්වන ගුරුවරුන් සිටින අතර එවැනි ගුරුවරයෙකුගේ කාලච්ඡේදයට පසු කාලච්ඡේදයක වැඩ කිරීමට සිදුවීම නම් අමිහිරි අත්දැකීමකි.එයට හේතුව වන්නේ "පොඩ්ඩක් ඉන්න ,තව පොඩ්ඩක් ඉන්න " යැයි පවසමින් අනෙකාගේ කාලච්ඡේදයෙන් සැලකිය යුතු විනාඩි ගණනක් සොරකම් කිරීමයි. 


පන්තිභාර ගුරුවරයෙකුට බොහෝ දුරට දවසේ පළවෙනි කාලච්ඡේදය ලැබෙන්නේ තමන් භාර පන්තියේ ඉ‍ගැන්වීම් සිදු කිරීමට ය. දවසේ පළමු කාලච්ඡේදය වන එහි , 

නම් ලකුණු කිරීම ,
නොපැමිණිමට හේතු විමසීම , 
පන්තිය හෝ අවට පිරිසිදු කිරීමට අමතර වේලාවක් ලබා දීම , 
පුංචි පුංචි නඩුහබ සමථයකට ගෙන ඒම. 
සුහද කතා බහ සහ මුදල් එකතු කිරීම , 
වැඩසටහන් ගැන සිසුන් දැනුවත් කිරීම 

වැනි කරුණු එකකට වඩා වැඩියෙන් යෙදෙ‍න හෙයින් "ළමයි එහෙනම් පාඩම පටන් ගමු " කියන කොටම අර ඉමිහිරි සීනු නාදය ඇසෙන්නට ගනී.................

විනය රකින ,විස්වාසය රකින සිසුවෙකු පාසල් කාලච්ඡේදය අවසන් වන සීනුව නාද කිරිමට පාසල් පරිපාලනයෙන් පත් කර ඇත. නමුත් එක් දඩබ්බර සිසුවෙකු විසින් සීනුව නාද කරන සිසුවා ළග තිබු ඔරලෝසුවේ වේලාව වෙනස් කිරීම නිසා කාලච්ඡේද විග විගහින් අවසන් වීම නිසා  පාසල පත් වූ අපහසුතාවය අද දින සිහිකරන විට නම් මුවට ගෙන එන්නේ සිනහවකි.

අප පාසල් ගිය කාලයේ දී කාලච්ඡේද අාරම්භ වන අවසන් වන බව මුළු පාසලටම දැනුම් දීම සඳහා සකසා තිබ්බේ තඩි යකඩ රිම් එකකි. පාසලේ උසම ස්ථානයේ සවිමත් ලෙස සවි කර ඇති එයට යකඩ කූරක් වැනි දෙයකින් හැකි වෙර යොදා ටාං ටාං ටාං යන තාලයට සීනුව නාද කිරීම සිදුවිය. 

නමුත් තාක්ෂණයත් සමගින් සීනුව ගීත කණ්ඩයක් බවට පත් වී වාදනය වුව ද අදද විදුලිය නොමැති අවස්ථා වල දී කිසිම අමනාපයක් නොමැතිව පිහිටට එන්නේ අර තඩි යකඩ රිම් එකයි.

මෙම සීනුව නාද කිරිමට පහළ වූ මැඩලිය නොහැකි ආසාව සංතර්පනය කර ගැනීමට ගොස් විදුහල්පතිගෙන් බඩකට පුරා කෑ සිසුවෙකු ද අප පාසලේ සිටී.

කෙසේ හෝ ගුරුවරුන්ගේ සහ ළමයින්ගේ ඉමිහිරි සීනු නාදය වන්නේ පාසලේ අවසන් කාලච්ඡේදය අවසන් කරන සීනු වයි. එය මා කුඩා ළදැරියකව සිට පාසල් යාමට පටන් ගත් කාලයේ සිටම ගුරුවරිටකව පාසල් යන කාලයට ද එක ලෙස වලංගු වේ.


ටාං ටාං ටාං ටාං ... . . . . . . . . . . . .


හරි ළමයි එහෙනම් ගාථා කියන්න ලෑස්ති වෙන්න ...................


කාලච්ඡේදය අවසන් වන තෙක් බලා සිටි 
මම
෴ සොදුරු සිත෴ 

9 ප්‍රතිචාර:

කුරුටු ගෑ ගී පවුර said...

මම නං කැමතිය බෙල් දෙකක් තියනවා... 1. ඉන්ටර්වල් ඒකට කලින් බෙල් ඒක. 2. පාසල් අැරෙන බෙල් ඒක

Lakmina Jayamal said...

අදයි මුලින්ම බ්ලොගේ පැත්තෙ ආවෙ.. මෙතන කියවන්ට කලිං බුකියෙන් පෝස්ටුව කියෙව්වෙමි..

Yashyantha Srinath said...

ඇයි සමහර වෙලාවට අපි අකමැති විෂයක හරි අකමැති ගුරුවරයෙකුගේ හරි කාලච්ඡේදයක් ආරම්භ වීමට වදින සීනුවට අපි ආසම නෑ නේද....
කැමරාවෙන් එහා ලෝකය

Dinesh said...

සමහර පීරියඩ් තිබුනා අපි ඉවර වෙනවට ආසම නැති.. සමහර එවුවා තිබුනා පටන් අරන් අනිත් පැත්තට ඉවර වෙනවනම් හොදයි කියලා හිතුන.. අන්න ඒවයෙ නම් අර ඇඩ් වල වගේ ඩෙස් උඩින් පැනලා යන්නම තමයි හිතෙන්නේ..

ලොකු පුතා said...

ඉස්කෝලේ අරින්න ගහන බෙල් එක තමයි අපිත් අහන්න ආස කරපුම සද්දේ... හෙහ්

කුරුටු ගෑ ගී පොත said...

හිත අතීතයට ගියා....

Chandi said...

ඔයා කියන්නෙ ඇත්තම තමා. හිත අතීතයේ සැරි සැරුවෙ නොදැනුවත්වම. පාසැල් කාලෙ අපි හැමෝගෙම සුන්දර මතකයන්.

දුමී said...

ඉස්කෝලේ නමය වසරේ ඉන්නකොට මට තමයි බෙල් එක ගහන ජොබ් එක තිබුනේ.....ඒක ඉෂ්ඨ කලේ හරියට දේව කාරියක් වගේ...උණක් හැදිලා හිටියත් පොරකාලා ඉස්කෙලේ ගියා මොකද රාජකාරිය පැහැර හරින්න බැරි නිසා....!

ඒ දවස්වල බෙල් එක ගහන වාර ගාණෙන් දෙන්න ඕනේ පණිවිඩ තිබුනා....

පීරියඩ් එක ඉවර වෙන්න ගහන්නේ බෙල් තුනයි, ඉන්ටර්වල් එකට බෙල් 5යි, ඉන්ටර්වල් එක ඉවර වෙන්න බෙල් 5යි, ඉස්කෝලේ ඇරෙන වෙලාවට, දවල් 1.20 ට බෙල් 5යි, ඒ පාඩම නවත්වන්න, ඊට පස්සෙ 1.25 බෙල් තුනයි. ඒ "යෝවාද තම්පව.." ගාථාව කියන්න.... 1.30 ට අපහු බෙල් 3ක් ගැහුවම පෝලිම් හැදිලා පිලිවෙලට ගේට්ටුව දක්වා එන්න ඕනේ.....!

නොනවත්වාම ගහනවා කියන්නෙ හදිසියක්, හැමෝම එසම්බ්ලි එකට පෝලිම් හැදිලා එන්න ඕනේ.....

හරිම සුන්දර මතක ඒවා....!

තිස්ස දොඩන්ගොඩ said...

අපේ ගුරුවරුන්ට ඇඩ්මින් වැඩ හොඳටම වැඩී - ඒක ඇත්තම ඇත්ත
ඇඩ්මින්, එකවුන්ටන්ට්, නර්ස්, මැජිස්ට්‍රේට් ඔක්කොම භූමිකාත් එක්කයි උගන්වන්න වෙන්නේ
එල කිරි වට උගන්නල අනෙක් මෙලෝ දේකට සම්බන්ද නොවන අයත් ඉන්නවා
ඒත් දරුවෙකුට ගුරු පියෙක් වෙන්නවත් ගුරු මවක් වෙන්නවත් එයාලට බෑ
දලු දා හැදෙන පැල වගේ ලමයින්ට ගෙදරින් එළියට බැස්සම ගුරුවරුන් හැර වෙන සරණක් කොයි??

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...